Friday, May 28, 2021

හෝරස්ගේ දරුවා - දහහත් වන දිගහැරුම Son of Horus - 17

 


පොලීස් ජීප් රිය පසුදින නාරදගේ දෙහිවල වෛද්‍ය පාරේ නිවෙසට පැමිණියේ නියමිත වේලාවටය. පොලිස් නිලධාරින් දෙදනෙකු එම ජීප් රථයේ සිටියායින් නාරද තම මෝටර් රථයෙන් කුමාරිත් කැටුව මඩපාත බලා පිටත්විය. කවුරුත් හමුවිය නොහැකිය කී සුචිත්‍රාට තම නිවසේ දොරගුලු ඇරීමට සිදුවූයේ පොලීසියෙන් පැමිණීමත් සමඟය. නිවස තුළට වැඳ කාලය ගතකිරීමෙන්දෝ හේබාගිය පෙනුමක් ඇගේ තුරුණු රූසපුවෙන් දිස්වුනි. ජීවයෙන් තොර පාරජිත දෑස් වලින් අවට සිසාරා බැලූ ඈ කිසිවෙකුගේ නෙත් දෙස සෟජුව නොබලාම සැටියේ හිදගත්තාය. මුහුණ පහතට හරවාගෙන සුචිත්‍රා හිදි ඉරියව්වෙන් සිටිද්දී පොලිස් කොස්තාපල්වරයා නිහඬතාවය බින්දේය.

“අපිට මැඩම්ගෙන් කට උත්තරයක් ගන්න තියෙනවා.”

“ඇයි ඉන්ස්පෙක්ටර් මම ඔක්කෝම ස්ටෙට්මන්ට් මීට ඉස්සර දීලා තියෙනවානේ.”

සුචිත්‍රා නොකැමැත්තෙන් මෙන් කීවාය.

“අපි ආවේ මැඩම්ගේ හස්බන්ඩ්ට වෙච්ච ඇක්සිඩන්ට් එක ගැන ඉන්වෙස්ටිගේෂන් එකකට නෙමෙයි.”

“එහෙනම් මොකකටද?”

සුචිත්‍රා කෝපයෙන් මෙන් හිස ගස්සා අහක බලාගෙන ඇසීය.

“මිස්ටර් උපනන්දගේ ගාව තිබුනු ඇන්ටික් බඩුවක් ගැන දැනගන්න.”

පොලිස් කොස්තාපල් වරයාට ප්‍රථම නාරද ඈගෙන් විමසුවේය.

“එයා ළඟ ඇන්ටික් බඩු ගොඩාක් තිබුනා.”

“ඕ නාරද දෙසවත් නොබලා බිමට නැඹුරුකරගත් හිසින් යුතුව පිලිතුරු දුන්නාය.”

“ඒවාට මොකද කළේ?”

“ගෙදර විකුණන්න ඉස්සර ඇන්ටික් බඩු විකුණන සාප්පුවකට දුන්නා.”

“හික්කඩුවේ ගුණසිරි ඇන්ටික් සාප්පුවට.”

ඈ එකවරම හිස ඔසවා නාරද දෙස බැලුවේ විශ්මයට පත්වූ විලසය.

“ඔයාලා හැමදේම දැනගෙනද මගෙන් ප්‍රශ්න කරන්නේ?”

ප්‍රශ්න කිරීම් වලට තමාගේ නොකැමැත්ත ඇගේ මුවින් පිටවන්නට විය.

“මට මේ වෙච්ච දේවල් අමතක කරලා ජීවත්වෙන්න හදනවා. ඔයාලා ඇවිත් ආයේමත් ඒවා මතක් කරලා මගේ හිතට වද දෙන්නේ ඇයි?”

සුචිත්‍රා හඬන්නට මෙන් දෑසට කඳුළු පුරවාගෙන බිදුනු හඬින් ඇසීය.

“මිසිස් සුචිත්‍රා අපි ඔයාව ප්‍රශ්න කරලා මඩවන්න හදනවා නොවෙයි. අපිට අවශ්‍ය තොරතුරක් ලබාගන්නයි හදන්නේ. ඔයා අපිව හමුවෙන්න බැහැ කිව්ව නිසා තමයි අපිට පොලීසියේ පිහිට පතන්න වුනේ. අන්තර්ජාතිකව වටිනා වස්තුවක් ගැනයි අපි මේ හොයන්නේ.”

නාරද ඇයට පැහැදිලිකරද්දී මෙහෙකාරිය ඔවුන්ට තේ රැගෙන ආවාය. තේ පානය කිරීමට කාලයක් ගතවූවායින් මෙතෙක් ඇතිවෙමින් පැවති අප්‍රසන්න වාතාවරණය මඟහැරි ගියේය. අඬක් බී අහවරකළ තේ කෝප්පය පසෙක තැබූ නාරද සටහන් පොත රැගෙන යළි ලිවීමට කුමාරි සැරසෙන තෙක් මඳක් කල් ගත්තේය. 

“මට දැනගන්න පුළුවන්ද ඒ විකුණපු බඩු අතරේ විශේෂ හැඩයේ බඳුනක් වගේ එකක් තිබුනාද?”

“ඒ ගොඩේ බඳුන් කිහිපයක් තිබුනා. විශේෂ හැඩයේ එකක් තිබුනා වාගේ නම් මතකයි.” 

“මෙන්න මේකද?”

නාරද ෆයිල් කවරය තුලින් බඳුනේ ඡයාරුපයක් රැගෙන පෙන්වීය.

“ඔව් මේක තමයි. ඇයි මේක ගැන අහන්නේ?”

“ඒ ගැන පස්සේ කියන්නම්. ඔයාට කියන්න පුළුවන්ද මේක උපනන්දට ලැබුනේ කොහෙන්ද කියලා?” 

“මට මතක විදිහට උපනන්ද මැරෙන්න ඉස්සර මාසෙකට කලින් විතර අරගෙන ආවේ. එයා මේක දිහා බල බලා ඔය බඳේ කොටලා තියෙන අකුරු කියවන්නත් හැදුවා වාගේ මතකයි.” 

“එයා කිව්වාද මේක මුහුදෙන් අරගත්තු එකක් විත්තිය?”

“ඔව් එහෙම කතාවක් කිව්වා තමයි.”

“එතකොට මේක එයාට හමුවෙලා තියෙන්නේ කොහෙන්ද?”

“මට දුන්න කෙනාගේ නම මතක නැහැ. හැබැයි එයා උපේට මාළු අල්ලලා දුන්නු කෙනෙක් වෙන්න ඕනේ.”

“ඔය පුද්ගලයා කොහෙද ඉන්නේ?”

“මම දන්නේ නැහැ. අනික ඕවා මතක තියාගන්න තරම් වැදගත් කමක් තිබුනේ නැහැ.”

“කොහොම හරි අපිට මේ පුද්ගලයා හොයාගන්න වෙනවා. මිසිස් සුචිත්‍රා ඔයා දන්න කවුරු හරි ඉන්නවාද මේ පුද්ගලයාව දන්න කියන?”

“උපේ ළඟ වැඩකරපු නන්දන දන්නවා ඇති එයාව.”

සුචිත්‍රාගෙන් නන්දනගේ ලිපිනය ඉල්ලූමුත් ඈ එය නොදන්නා බව කීවාය. සුචිත්‍රාගෙන් ප්‍රශ්නකිරීම් වලින් සෑහිමකට පත්වූ නාරද බණ්ඩාර ඇයට ස්තුති කර එතැනින් පිටව ගියේ දුරකථන ඇමතුමක්දී එස් එස් පි මනෝජ්ටද තුතිකරමින්ය.


      නිවෙස බලා ගිය පසුව සවස් වරුවේ නාරද කුමාරි තබන ලද සටහන් පරීක්ෂා කරන්නට පටන්ගත්තේය. දුම් දමන තේ කෝප්පයක් රැගෙන නාරද වෙත ආ කුමාරි එය ඔහුට පිලිගන්වා මේසයේ අනෙක් පස පුටුවේ හිදගත්තේය.

“මේ බලන්න කුමාරි මේ බඳුන සොයාගත්තු එක්කෙනා ලඟටම අපි ඇවිල්ලා ඉන්නේ. අපිට මෙයාව ඉක්මණටම හොයාගන්න පුළුවන්වෙයි.”

“ඒත් නාරද නන්දන ඔය කියන මාළු අල්ලන එක්කෙනාව දන්නේ නැතිනම්?” 

“එහෙම වෙන්නත් පුළුවන්. ඒත් මම හිතන්නේ නැහැ එයා නොදන්නවා කියලා. එයා දන්නේ නැතිවුනත් එයා මාළු අල්ලන කවුරු හරි දන්න කෙනෙක් ඇතිනේ අපි එයාගේ මාර්ගයෙන් ඔය කියන පුද්ගලයාව හොයාගමු.”

“ඔයාට ෂුවර්ද ඔය පුද්ගලයා හරියටම මුහුදු මාළු අල්ලන කෙනෙක්මද කියලා?”

ඈ සැක පහල කළාය.

“මටත් ඒකම හිතුනා. නමුත් උපනන්දගේ ව්‍යාපාරය අනුව නම් එයාට මුහුදු මාළු සප්ලයි කරපු කෙනෙක් වෙන්න පුළුවනි.”

“ඇයි ඔයා පියරත්න මහත්තයාට කතාකරන්නේ නැත්තේ? එයා දන්නවා ඇති නේද ගාල්ල පැත්තේ මුහුදු මාළු අල්ලන අයව?”

“එයාට කියන්න ඕනේ නන්දනව හොයන්න කියලා.” 

    නාරද පියරත්න මහත්තයාට දුරකථන ඇමතුමක් දීමට ගිය අතරවාරේ කුමාරි යලිත් තම සටහන් පොත කියවන්නට පටන්ගත්තාය. නාරද පියරත්න මහතාට සුචිත්‍රා හමුවීමට ගිය බවත් ඇගෙන් වැඩි යමක් දැනගැනීමට නොහැකිවූ බවත් පැවසීය. මෙම බඳුන උපනන්දට ලබාදුන් පුද්ගලයා පිලිබඳව ඈ නොදන්නා බවත් මත්ස්‍යාගාරයේ පාලක නන්දනගෙන් බොහෝවිට මෙම පුද්ගලයා ගැන දැනගැනීමට හැකියාවක් ඇතිබව ඇය ප්‍රකාශ කළබවත් ඔහුට කීවේය. නන්දන ගැන සොයා බලන ලෙස පියරත්න මහතාගෙන් ඉල්ලා, ඇමතුමෙන් පසු ඔහු යළි කුමාරි වෙත ආවේය.

“මේ බලන්න නාරද මේක.”

“ඇයි මොකක්ද ප්‍රශ්නේ?”

“ඔයාට තේරුනේ නැද්ද මෙතන විශේෂ දෙයක් වෙලා තියෙනවා කියලා.”

“නැහැ. ඒ මොකක්ද?”

“මේ බලන්න මේ බඳුන අරගත්ත අය හැමෝම මැරිලානේ.”

“ඇත්ත නේන්නම් මට ඒක කල්පනාවකට ආවේම නැහැ.”

“අනික මේ බඳුන අරගත්ත අය වැඩි දවසක් ජීවත්වෙලා නැහැ. මේ බලන්න මෙයාලා හැමෝටම ස්වභාවික මරණයක් නෙමෙයි සිද්ධවෙලා තියෙන්නේ.”

“කෝ බලන්න කුමාරි.”

“මෙන්න. දැනට අපි දන්න විදිහට මුල්ම එක්කෙනා උපනන්ද එයා මේක ලැබිලා මාසෙකට විතර පස්සේ පඩිපෙළෙන් වැටිලා මළා.  ඊලඟට ගුණසිරි මේක අරගත්තා. එයා අරගෙන සති ගානයි එයාව ලොරියකට යට වුනා. ඊටත් පස්සේ ස්ටැන්ලි එයා මේක අරගෙන දවස් කිහිපයයි එයාවත් හොරුවගයක් මැරුවා. දැන් තේරෙනවාද මේකේ විශේෂත්වයක් තියෙන බව?”

“එක්සලන්ට් කුමාරි එක්සලන්ට්. ඔයාවයි යවන්න තිබුනේ පොලීස් ඉන්වෙස්ටිගේෂන් ටීම් එකට.”

නාරදගේ මුහුනේ ජයග්‍රාහි සිනාවක් ඇදුනි. කුමාරි කොතරම් දක්ෂ දැයි ඔහුට මෙවරද ඔප්පුකර පෙන්වූවාය.

“එහෙනම් මේ ඔක්කෝම අය මැරිලා තියෙන්නේ හදිසි අනතුරකින්. කුමාරි ඔයා නියම හෝඩුවාවක් තමයි හොයාගත්තේ.”

“ඉතින් නාරද අපිට හොයලා බලන්න පුලුවන්වෙයි මේ බඳුන මුලින්ම හොයාගත්තු එක්කෙනාත් මේවාගේම හදිසි අනතුරකින් මැරිච්ච කෙනෙක්ද කියලා.”

“සමහරවිට එහෙම වෙන්නත් පුලුවන්. අපි බලමුකෝ පියරත්න මහත්තයා නන්දනව හොයාගත්තායින් පස්සේ.” 

පසුදින හවස්වන විට පියරත්නගෙන් නාරදට දුරකථන ඇමතුමක් ලැබුනේ ඔහුගේ නන්දන සෙවීමේ බලාපොරොත්තුව බොඳ කරවමින්ය. උපනන්දගේ ව්‍යාපාරය වසා දැමුවායින් පසු රැකියා විරහිතයින්ගේ ගොඩට වැටුනු නන්දන ආර්ථික ප්‍රශ්න වලින් හෙම්බත්ව සිටි බවත්, මිනුවන්ගොඩ බිංගෙය අසළදි දුම්රියට පැන ඔහු දිවිනසාගෙන ඇතිබවත් සැල කළේය. 

“එහෙමනම් උපනන්දට මාළු අල්ලලා දුන්නු අයගෙන්වත් මේ ගැන හොයලා බලන්නවෙයි.”

“මිස්ටර් පියරත්නට පුළුවන්ද උපනන්දට මාළු අල්ලලා දුන්නු අයව හොයාගන්න?” 

“හොඳයි මම උත්සාහ කරන්නම්. ඒත් හරියට නමක් ගමක් නැතිව ඉක්මණටම හොයන්න අමාරුවෙයි. මේක බොහොම කල්ගතවෙන වැඩක්.”

“කොහොම හරි එයාව හොයාගන්න ඕනේ. අපි කල්ගත්තා වැඩියි, තවත් කල්ගතකර කර ඉන්න වේලාවක් නැහැ. දැනටමත් හොරු මේක විනාශකරලාද දන්නේ නැහැ.”

“මේ ලඟදි මුහුදේ විසිතුරු මාළු අල්ලන කිමිඳුම් කරුවන් එකතුවෙලා සමුපාකාර සමිතියක් පිහිටුවාගෙන තියෙනවා. මම ඒ පැත්තේ ගිහිල්ලා බලන්නම්. ඒත් මේ නමේ ප්‍රශ්නේ තමයි.” 

“මට තේරෙනවා මිස්ටර් පියරත්න සමහරවිට මේ පුද්ගලයා ගාල්ල ප්‍රදේශයේ කෙනෙක් නොවෙන්නත් පුලුවන්.”

“ඒක තමයි මාත් හිතුවේ. නන්දන නැතිව අපිට මෙතනින් එහාට යන්න පුලුවන් කමක් නැහැ.”

“ආ තව ඩිංගෙන් මට අමතක වෙනවා. බලන්න මේ ළඟකදි මාළු අල්ලපු කෙනෙක් මැරුණාද කියලා.”

“මැරුනු කෙනෙක්?”

“ඔව් මැරුනු කෙනෙක්. සමහර විට මේ මැරුනු පුද්ගලයා අපි හොයන කෙනා වෙන්නත් පුලුවන්.”

“ඒ කොහොමද නාරද මහත්තයා එහෙම කියන්නේ?”

“මෙහෙමයි,  උපනන්දට මේක ලැබුනා එයා මැරුණා. ඊටපස්සේ ගුණසිරි අරගත්තා එයත් මැරුණා. ඊළගට ස්ටැන්ලි, ස්ටැන්ලි අරගත්තා එයාත් මැරුවා. එහෙමනම් මේ බඳුන ඉස්සරෝම ලැබිලා ඇත්තේ අපි හොයන පුද්ගලයාටනම් එයත් මැරිලා වෙන්න පුලුවන්.” 

“තර්කානුකුලව බැලුවොත් එහෙම වෙන්නත් පුලුවන්. ඒත් සමහර විට මේ පුද්ගලයා ජීවතුන් අතර ඉන්නත් පුලුවන් නේද?”

“ඔයා කියන දේත් වෙන්න පුලුවන් මිස්ටර් පියරත්න, ඒත් අපි මේ අනුමානය ඔස්සේ ගිහිල්ලා බලමු. සමහරවිට මෙහෙම පුද්ගලයෙක් හිටියාද කියලා දැනගන්න පුලුවන් වේවි.”

“හොඳයි මම ඒ ගැන හොයලා බලලා කොල් එකක් දෙන්නම්.”



   චුට්ටාගේ මරණින් පසුව මංජු නිවසින් එළියට නොබැස හිටිය අතර කපිල හමුවන්නටද නොගියේය. දින කිහිපයකට පසු නොසන්සුන් ගමනින් මංජුව සොයා කපිල ආවේය. 

“මංජු අයියා අන්න අරහේ චුට්ටාගේ ගෙදර උන් ඌව හොයනවා.” 

“ඉතිං උඹ මොකද කලබල වෙන්නේ?”

“ඉතිං තමයි මම මේ ගිනි පත්තුවෙලා ආවේ.”

“ඇයි බං?”

“ඇයි කියන්නේ? දැන් කොයි වේලාවෙ හරි උන් මගෙන් අහනවා චුට්ටා කෝ කියලා.”

“උඹ බය වෙන්නේ නැතිව කියපං උඹ දන්නේ නැතෙයි කියලා.”

“උන් ඒකාව හොයලා ඊට පස්සේ යයි පොලීසියට චුට්ටා මිසින් කියලා.”

“කවුරු ඇහැව්වත් බය වෙන්නේ නැතිව කියපං දවස් ගානකිං ඌව දැක්කෙ නැහැ කියලා, එච්චරයි. දැන් කාටවත් ඒකා ඉන්න තැන හොයන්න බැහැ.”

“පොලීසියෙන් අපිව සැක කළොත්?”

“සැක කරන්න විදිහක් නැනේ චුට්ටා අපි එක්ක අන්තිමට හිටියා කවුරුත් දැකලා නැති නිසා.”

“ඒත් මට සැකයි එදා මාත් එක්ක මෙහේට එනවා කවුරු හරි දැක්කාද කියලා.”

“හරි හරි උඹ බය නැතිව හිටපං. අහුවුනොත් මාවනේ මාට්ටු වෙන්නේ.”

මඳක් කල්පනාවේ යෙදුන කපිල,

“එදා චුට්ටා වෙරි මරගාතේ කිව්ව දේවල් හරි තමයි.”

“මොකක්ද බං?”

“අරුන් බඩු විකුණලා ඉතුරු සල්ලි බෙදන්නේ නැතෙයි කිව්ව එක. දැන් කොච්චර දවසක් ගියාද?”   

“ඌ කිව්ව එකත් ඇත්ත තමයි. මමත් ඔය ගැන හිතුවා. දැන් ටික දවසක් ඉදලා රංගයවත් සුදු මහත්තයාවත් දැක්කේ නැහැ.”

“එක තමයි අපි රංග අයියා ගෙන් අහමුද?”

“පිස්සුද බං ෂුවර් එකටම එකා කියයි දැන්ම බඩු විකුණන්න කල් වැඩියි කියලා.”

“අනික ඔය බඩු හුඟාක් වටිනවා. අපිට ඕවා විකුණන්නේ නැතිව බෙදලා දුන්නානම් හරිනේ. අපිට අවශ්‍යය වෙලාවට විකුණාගන්නත් පුලුවන්නේ.”

“ඒක ඇත්ත. මේවා හුඟාක් වටිනවා හින්දානේ ස්ටැන්ලිකාරයා ඔක්කෝම බඩු සේප්පුවේ දාලා තිබ්බේ.”

මංජුට එදා රංග එල්ලකල කම්මුල් පහරේ වේදනාවට සිතේ පිලිසිඳගත් වෛරය නැවත ඇතිවෙන්නට පටන්ගත්තේය.

“මට හිතෙන්නේ බඩු ටික ඇත්තේ රංගයාගේ ගෙදර. බලමුද මුගේ ගෙදරට පැනලා, රංගයටත් නොදැනෙන්න බඩු ටිකට ගේමක් දෙමු.” 

“පිස්සුද මංජු අයියා, එහෙම ලේසියෙන් කරන්න පුලුවන්ද?”

“ලේසියෙන් කරන්න නම් බැරිවෙයි. ඒත් මේච්චර ලොකු ගේම් එකක් දුන්නු අපිට මේකත් වැඩක් නෙමෙයි නේද?”

මංජු කල්පනාබරිතව සිට කීවේය.


    කපිල හා මංජු කතාබස් කරගත් පරිදි රංගගේ නිවෙස සෝදිසි කර ස්ටැන්ලිගෙන් කොල්ලකාගත් බඩුභාණ්ඩ සොරකම් කිරීමට සුදුසු දිනයක් එනතෙක් බලා සිටියහ. දෙසතියකින් පමණ ඉක්මනින් ඒ දිනය උදාවූයේ රංගගේ ඥාති සහෝදර දියණියක් වැඩිවියට පත්වීමේ කොටහළු උත්සවයක් සඳහා නිවසේ අය කූරුණෑගලට පිටත්ව ගිය බැවින්ය.

 ඥාතිමිත්‍රාදින්ගේ ඇසුරට වැඩි කැමැත්තක් නොමැති රංග නිවසේ ආරක්ෂාවටය කියා නතරවිය.

“බලපන් මම කිව්වා හරි නේද? මුගේ ගෙදර තමයි බඩු ඇත්තේ. ඒකයි මූ අර පාටියට නොගිහින් ගෙදර නතරවුනේ.

මංජු නොවසිල්ලෙන් කීවේය.

රාත්‍රි අටට පමණ රංගගේ වත්තට හොරෙන් ඇතුලුවූ ඔවුන් නිවෙස අසළ තිබූ කෙසෙල් පඳුරු ගොන්නක් අතරට වැඳගන්නේ නිවෙස හොඳින් දර්ශනයවන ආරක්ෂාකාරීව සැඟවී සිටීමට හැකිව තිබුනු එකම ස්ථානය බැවින්ය.

“ඔහොම හැංගිලා බලාගෙන ඉමු රංගයා ගෙදරින් යනකං.”

එහෙත් ඔවුන් බලාපොරොත්තු නොවුනු ලෙසින් සුදු මහත්තයා රංග සොයා පැමිණියේ ඒ අතරවාරයේදීය. 

“අන්න අරූත් ඇවිල්ලා. මංජු අයියා අද මූත් මෙහේ නවතියිද දන්නේ නැහැ.”

“කෑ නොගහා බලන් හිටපන්.”

“බලපං බං මංජු අයියා, අද මූං සෙට්වෙයි වාගේ. අරූ බෝතලයක්ද කොහේද අරන් ඇවිල්ලා තියෙන්නේ. අද අතහැරලා දාමූ බං.”

“පිස්සුද අදවගේ දවසක් ආයෙත් එන්නේ නැහැ. පොඩ්ඩක් ඉවසලා හිටහං.”

කෙසෙල් පඳුරු අස්සේ ඔවුන් විමසිලිමත්ව සිටිනා අතරේ රංග හා සුදු මහත්තයා අරක්කු බෝතලය පානය කිරීමට පටන් ගත්හ. ඔවුන් මදුවිතෙන් සප්පායම්වෙද්දි පඳුරු අස්සේ සිටි මංජු හා කපිලගේ රුධියෙන් මදුරුවන් සප්පායම්වීම අරඹා තිබුනි. කෙසෙල් කොළ ගොන්නක් අතරට පිටුපා ගිනිකුරක් ගසා දල්වාගත් සිගරට්ටුවෙන් උගුරු කිහිපයක් උරා කපිල අතට පත් කළේ ඔහු මදුරු දෂ්ටනයෙන් බේරීමට නොහැකිව දඟලමින් සිටි බැවිනි. තවත් පැය එකාහාමාරක් පමණ රංගගේ සුරා පානය ඇදීයද්දී සිගරට්ටු කිහිපයක් ද මංජු හා කපිල අහවරකර තිබුනි. ගීයක කොටසක් මුමුනමින් ඉස්තෝප්පුවට ආ සුදු මහත්තයා අතේවූ ෆිල්ටරය තෙක් දැවුනු සිගරට් කොටය තව පාරක් උරා මිදුලට වීසිකළේය. ඉස්තෝප්පුවෙන් මිදුලට බට සුදු මහත්තයා තරමක් වැනෙමින් ගේට්ටුව දෙසට ඇවිදයද්දී පසුපසින් ආ රංග ඔහු පිටව ගිය පසු ගේට්ටුව වසා දමා වත්තේ අනෙක් කෙලවරේ තිබූ කොස්ගස පාමුලට ගියේ මුත්‍රාබර හෑල්ලු කරගැන්මටය. අන්ධකාරේ පුලිඟු කැටමෙන් දිලිසෙන ඇස්වලින් යුතුව රංග දෙස බලා සිටි කළු බළලෙක් ඉක්මණින් තාප්පෙන් බිමට පැන දිව ගියාය. කොස් ගසට ළං වෙත්ම එහි වසා හුන් ලොකු මා වවුලෙක් සටසට හඬ නංවමින් ඉගිලී ගියේය. කොස් කොළ අතරින් සර සර හඬ එද්දී ඒ දෙස විමසිලිමත් වෙමින් ආ කාරිය හමාර කරගත් රංග සිවුරුවම්බාමින් ගෙට ගොඩවැඳී ඉදිරිපස දොර වසා දැමීය. වැඩි වේලාවක් ගත නොවී විදුලි පහන් නිවී නිවස අඳුරේ ගිලීයන්නේ රංග නිදා ගැනීමට සැරසුනු බව එළියේ රැක සිටි මංජුට සංඥා කරමින්ය. 

“දැන්නම් ඉන්න බැහැ බං.”

එක තැන ඇන තියාගෙන සිටීමෙන් හිරිවැටුනු දෙකකුල් ඉදිරියට දික්කරමින් කපිල කීවේය. 

“උඹ ඕනේ දෙයක් කර ගනින් මම යනවා.”

සිගරට් දුමාරයටවත් මෙල්ල නොවූ මදුරුවන් දෂ්ට කිරීමෙන් ඇගේ පුරා නැග තිබු පලු කසමින් මංජු දෙස අමනාපයෙන් බැලු කපිල කීවේය.

“තව ටිකක් ඉවසපන් අරූට නින්ද යනකං.”

“දැනටමත් මුන් මගේ ලේ පයින්ට් එකක් විතර බීලා. තව හිටියොත් ලේ නැතිව තමයි මැරෙන්න වෙන්නේ.” 

“මේ උඹ පිස්සු නැතිව හිටපං.” 

මංජු කෝපයෙන් දිඳුලන දෑසෙන් යුතුව කපිල දෙස ඔරවා බලමින් කීවායින් ඔහු තරමකට මෙල්ල වුනි.

තවත් පැය භාගයක් පමණ අසීරුවෙන් කෙසෙල් පඳුරු අස්සේ ගතකළ මංජු ඉන් එළියට බැස සෙමින් සෙමින් රංගගේ ගෙදර දෙසට ඇවිදගෙන එන්නට විය. නිවසේ පැති බිත්තියේ සවිකර තිබූ විදුලි මීටරය සොයාගත් මංජු ජංගම දුරකථනයේ විදුලිපන්දම දල්වා මීටරයේ පියුසය ගලවා විදුලිය විසන්ධිකර දැමීය. කපිලට කෙසෙල් පඳුරෙන් එළියට ඒමට අතින් සංඥා කළ ඔහු නිවසේ පිටුපස දෙසට ඇවිද ගියේය. අඩමානේට වසා ඇති දිරාපත්ව ගිය කුස්සියේ දොර ඉතා පහසුවෙන් විවරකරගත් ඔවුන් කුරුමාණමකට මානන සතෙකු විලසින් ගෙතුලට වැදගත්තේය. ඇතුලතවූ කෑලි කැපිය හැකි අන්ධකාරය දුරකථනයේ සිහින් විදුලි එළියේ පිහිටෙන් දුරලමින් ගෘහභාණ්ඩ වල නොවැදී ඇවිදින්නට ඉඩ සලසා දුන්නේය. සාලයේ තිබුනු කාලක් පමණ ඉතිරිව තිබූ අරක්කු බෝතලය දුටු කපිල අමුවෙන්ම උගුරක් කටට හලාගත්තේ කෙසෙල් පඳුරේ සැගවී සිටි තෙහෙට්ටුව මඟහරවා ගන්නට මෙන්ය. අනෙක් කාමර සෝදිසි කරන්නට කපිලට අණකල මංජු රංග නිදා සිටි කාමරයට එබී බැලුවේය. මදුවිතෙන් සප්පායම් වී නිදා සිටින රංගගේ පපුව රිද්මයානුකුලව ඉහළ පහළ යන්නේ උගුරෙන් නැගෙන මඳ ගොර හඬත් සමඟින්ය. රංග විසින් එල්ල කරන ලද කම්මුල් පහරේ වේදනාව දකුණු කම්මුල මත ඇඳුම්කනවා මංජුට දැනුනි. කෝපාග්නියෙන් තම සිරුර ගිනියම්ව සලිත වී යන්නට පටන්ගත්තේය. මාරයාගේ හෝරාව එලැඹි ඇතිසේය. හිනේ රුවාගෙන තිබූ කුඩා පිහිය අතට ගත් මංජු ඇඳට නැඟ අසළ වූ කොට්ටයක් ළඟට ඇදගත්තේය. සෙමින් රංගට ලංව කොට්ටයෙන් මුහුණට තබා තදකළේ කෑගැසීමටවක් ඉඩක් නොතබාය. එකවරම ගැස්සී අවදිවූ රංග කොට්ටයෙන් ගැලවීමට දඟලද්දී ඇසිල්ලකින් මංජු ගෙල හරහා පිහිපහරවල් දෙකක් ඇද දැම්මේ ගෙලේ රැදී තිබුනු රිදී මාලයද කැබලි වලට විසුරුවාලමින්ය. බල නහර කැපී වෙන්වුනු ගෙලෙන් පිටවන රුධිරය පයිප්පයකින් විදින්නාක් මෙන් සැමතැනම විසිරී යන්නටවුනි. රංගගේ දැඟෑලිල්ල අවසන්වන තෙක් මුහුණට තබා තද කරගෙන හුන් කොට්ටය හිමිහට ලිහිල් කළ මංජු ගැඹුරු හුස්මක් හෙලීය. මේ අතර කාමරයට ආ කපිල දුටු මංජු ඇඳෙන් බිමට බසින්නට තැත් කරද්දී රංගගේ මුහුණ මත තබා තිබූ රුධිරයෙන් පෙගුණු කොට්ටය පසෙකට වැටුනි. දෑස් අයාගෙන මුව විවරකරගෙන මැරී හුන් රංගගේ ගෙලේ කැපුම් තුවාලයෙන් වැස්සෙමින් තිබෙන රුධිරයෙන් මෙට්ටය පොඟවාලමින් තිබුනි. 



“මොකක්ද බං උඹ මේ කලේ?” 

දහඩියෙන් හා රුධිර බිඳු වලින් නැහැවී සිටි මංජු දැක ඇසීය.

“ඌ නැගිට්ටා බං.”

ලේ වැකුණු කුඩා පිහිය අතේ රුවාගෙන කපිල දෙසට හැරුනු ඔහු කීවේය. උණුසුම් රුධිරයෙන් නැහැවුනු මංජු අඬ අඳුරේ දිස්වුයේ මිනිකන රාක්ෂයෙකු විසලසින්ය. කෝපයෙන් වියරු වැටී සිටි මංජුගෙන් තමන්ටද අනතුරක්වෙයි සිතූ කපිල අතිශයෙන්ම බියටපත්ව පණසුන් රංගගේ නිසල සිරුර දෙස මඳක් බලාසිට එක්වරම පැන දිවයන්නට විය. 

“ඔහොම හිටපන්. දුවන්න එපා යකෝ හිටපන්.”

මංජු කෑගසා කපිලව නවත්වන්නට හැදුවත් ඔහු ඒවන විටත් නිවසින් එළියට පැන ගොස් හමාරය.  කපිල ආපසු හැරී නොබලාම පැන දිව්වේය.

කාමරය සිසාරා බැල්මක් හෙලූ මංජු කාමරයේ බඩුමුට්ටු ඇද දමමින් ස්ටැන්ලිගෙන් රැගෙන ආ දේවල් සොයන්නට වුනි. එහෙත් එම භාණ්ඩ කල් ඇතිව රංග හා සුදු මහත්තයා අත්තම්මාගේ නිවසේ සැඟවන ලද්දෙන් මංජුගේ සියලු බලාපොරොත්තු කඩවුනි. අපේක්ෂාභංගත්වයට පත්ව ගිය ඔහු රංගට සිඳුකල දේ ගැන පසුතැවෙන්නටවූයේ ඉන් අනතුරුවය. අරුණළු වැටෙන්නට ආසන්න වනතෙක් රංගගේ නිවසේ රැඳී හුන් මංජු කාටවත් නොපෙනෙන්නට නිවසින් පිටවයන අතරතුරෙදී ලේ වැකුණු පිහිය අසළ නිවසක ළිඳකට වීසිකළේය. 

මතුසම්බන්ධයි.......

18 comments:

  1. මංජුවා පොලිසියට රාජකාරිය එන්න එන්න පහසු කරනවානේ.. නැත්නම් හොයාගත්ත දවසක ඔවුන් එක එකා කී සැරයකට කියල ආයුධ පෙන්නන්න ගෙනියන්නද? :))))

    ReplyDelete
    Replies
    1. අඩේ කල්‍යාණ උන්නැහේ පාන්දරින්ම කොළොම්පුරේට ඇවිල්ලා..
      මිනිස්සු කලබල උනාම කරන කියන දේවල් ගැන හොයන්නේ නෑ. ලගදීම ආවුද පෙන්වන්න ගෙනියන්න හිතන් ඉන්නවා...

      Delete
  2. ජන්ගල් බුක් පොතේ නිධානෙ තිබුන හෙණ්ඩුවෙ කතාව මතකද?
    http://www.kiplingsociety.co.uk/rg_ankus1.htm
    http://www.multiversitycomics.com/longform/the-kings-ankus/

    ReplyDelete
    Replies
    1. ලිංක් දෙකම බැලුවා ලැජ්ජයි කියන්න මම ජංගල් බුක් කියවලා නෑ.

      Delete
    2. ප්‍රා කියවල ඇති, "කුවේණි කෝවිල" ඒකෙ නිධානෙ තිබුණෙ ඇඳේ කකුල්වල...

      Delete
    3. මොකක්ද ඒ පොත?

      Delete
  3. ඉන්ඩියානා නාරද ජෝන්ස් වැඩේ හොඳට කරගෙන යනවා. නියමයි , ඉන්ටරෙස්ටින්

    ReplyDelete
    Replies
    1. දාන්ඩ පහක්. මටත් මතක් වුණේ ඉන්ඩියානා ජෝන්ස්.

      Delete
    2. ඉන්දියන් නොවෙයි මේ සිරිලංකන් ජොන්ස් නාරද ඇන්ඩ් පියරත්න

      Delete
  4. නිකමට වගේ කියැවිණි පෙර කොටසකදී
    කුමාරිගේ වග මට නම් තිබුණි වැදී
    ඇත්තයි, එයා වගෙ අයගේ අබියසදී
    පොලිසියෙ කල්පනා යනවා කැලෑ වැදී

    ReplyDelete
    Replies
    1. හරියට හරි කිව්වා පෙර දිනකදී
      කුමාරි නම කියා හිතට වැදී
      පොලිසියට ඇත්තේ කන්හැදී
      සලකා ගෑණූ නුවන මිටේ හැදී

      Delete
  5. රංග ගාව බඳුන නැතුව ඌ මළා
    චුට්ටෙ ගාව බඳුන නැතුව ඌ මළා
    මේක තවත් දුර යන්නැති බව බලා
    ආපහු එන්නං ලිව්වම කියවලා

    ReplyDelete
    Replies
    1. කතාව තව ඇත යාමට ගලා
      යනවා සාපේ උඩුගං බලා
      ලිව්වත් මෙලෙස සිත් මල් තලා
      දැන් ඇතිද ගොඩ දෙනෙක් මළා


      Delete
  6. යකෝ අපිට කියවන්න පුළුවං වේගෙකින් ලියහංකො! උඹ ලේඛකයෙකු නෙවෙයි ලියවන පට්ටලයක්! කොටින්ම ලේත් එකක්!! එළ එළ!!! "මංජුවා???" උඹට අම්මපා වෙන නමක් තිබුනේම නැද්ද? නිකං "කමියා!" වගේ එකක්?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. කතාවේ කුතුහලය වැඩි නම් එකදිගට කියවන් යන්න ඕනේ. පරක්කු කරමින් දැම්මොත් කියවන්නාට සිදුකරන්නේ ලොකු අසාධාරණයක් නේද?
      ඔය ඉන්නේ මෙගා ටෙලියක් ගහන්න එළ චරිත.

      Delete
  7. කුමාරි ඩොට්ස් ටික යා කරගත්තා. ඒක හොඳයි.

    දැන් කතාවෙ violence ටිකක් වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද. මේ ඇච්චො බැච්චො ටික මරාගන්න එකමනෙ කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. පිලිගන්නවා violence වැඩි කියලා එත් දැන් ශාපේ බලය වැඩිවෙන අවස්ථාවක ඉන්නේ. මේ කතාව පොඩ්ඩක් Horror & Thriller පැත්තට බර කරන්නයි හැදුවේ.

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

සුබ ගමන් ආටියා...

 මගේ ලෝකය My world සුන්දර බ්ලොගය ලියූ ආටියා - කළණ ආටිගල සුහද මිතුරා අප අතරින් සමුගෙන ගොස් ඇතිබව දැන ගන්නට ලැබී ඇත.  සුබ ගමන් ආටියා.