Friday, August 12, 2016

කොළොම්පුරේ පත්තරේ බලමුකෝ විස්තරේ


කොළොම්පුරෙන් තමයි ලංකාවටම පත්තර අච්චුගහලා බෙදාහරින්නේ. දන්නවාද අපේ ලංකාවේ පත්තර කලාව පටන්ගත්ත හැටි? එහෙනම් පත්තරේ විස්තරේ දැනගන්න යමු මාත් එක්ක කොළොම්පුරේ සවාරියක්.


















සිතට පිරිය බස් ලියුමට පෑන අතට         ගත්තා
පවට හොබින දුසිරිත් දුර ලැම නිතර      යුත්තා
කවට කමත් ලැබුනොත් අතහරින එක  සත්තා
ලකට පහලවු මමවද කවටකති          මුත්තා

මේ තියෙන්නේ 1876 වර්ෂයේ පෙබරවාරි 01 වෙනි දින මුද්‍රණයෙන් පළවු "කවට කතිකයා " නම් වු පත්තරේ මුල් පිටුවේ තිබු කවි පදයකුයි. 

කොළොම්පුරේ පත්තර ගැන කතා කරනකොට ලන්දේසින් අමතක කරන්න බෑ.  ලන්දේසින් තමයි පළමුවෙන්ම මුද්‍රණ ශිල්පය ලංකාවට හඳුන්වලා දුන්නේ. ඔවුන් 1737 වර්ෂයේදි කි‍්‍රස්තියාණි යාඥා පොත සිංහලෙන් මුද්‍රණය කරලා දුන්නේ තමන්ගේ ආගම සිංහලයන් අතරේ ප‍්‍රචාරය කරවන්නයි. 1796 දි ලන්දේසින්ගෙන් අපේ රට අල්ලාගත් ඉංග‍්‍රීසින් ලන්දේසින්ට අයත්ව තිබු මුද්‍රණාලය ආණ්ඩුවේ මුද්‍රණාලය ලෙසින් ගොඩනැංවූවා. මේ මුද්‍රණාලයෙන් අපේ  මුල්ම නිල වාරිකයවු "ලංකාණ්ඩුවේ ගැසට් පත‍්‍රය" (Government Gazette) 1802 මාර්තු 15 පළකළා. මේ ගැසට් පත‍්‍රය බි‍්‍රතාන්‍ය මහලේකම්ගේ අධික්ෂණය යටතේ ආණ්ඩුවේ නිවේදන, ප‍්‍රසිද්ධ දැන්විම්, සමාජික හා පෞද්ගලික තොරතුරුද අඩංගුවූනා. පස්සේ කාලෙක මේ ගැසට් පත්තරේ සාහිත්‍ය ලිපි පවා පලවුන නිසා ඒක සමාන්‍ය පත්තරේක ස්වරුපයක් ගත්තා. සෑම සඳුදාවකම නිකුත්වු මේ පත්තරේ මිල රික්ස් ඩොලර් දෙකක්. පසු කාලෙක සෑම සෙනසුරාදා දිනයන්ට මුද්‍රණයෙන් නිකුත්කරන්නට කටයුතු සම්පාදනය කළා. 



ලංකාවේ පළමු නිදහස් පුවත්පත ලෙසින් අපට සලකන්නට හැකිවෙන්නේ ගැසට්පත‍්‍රය මුද්‍රණයෙන් වසර 30කට පසුව 1832 ජනවාරි 07 දින නිකුත්වු  "ද කලම්බු ජර්නල්"  (The Colombo Journal)  පුවත්පතයි. සාහිත්‍යට හා ලේඛන කලාවට ඇල්මක් දැක්වු විල්මට් හොර්ටන් ආණ්ඩුකාරවරයාගේ කාලයේ තමයි මේක බිහිවෙන්නේ. මේ පත්තරේ කර්තෘ ධුරය දැරුවේ එවකට හිටපු තැපැල්පති ජොර්ජ් ලී  (Goorge Lee) මහතායි. මුද්‍රණය බාරව කටයුතුකලේ රජයේ මුද්‍රණ අධිකාරි ජේ. වුට්ලර් මහතායි. රජයේ මුද්‍රණාලයෙන් පුවත්පත් පළ කිරිම මෙන්ම නිදහස් මතධාරි හා විවේචනාත්මක ලිපි පළකිරිම ගැන බි‍්‍රතාන්‍ය බලධාරින් අසතුටට පත්වුනා. ඒ නිසා මේ කලම්බු ජර්නල් පත්තරේ 1833 දෙසැම්බර් 31 දින පළකරපු කලාපයෙන් පසුව මුද්‍රණය නවතා දැම්මා.



 ලංකාවේ පළමු නිදහස් මතධාරි පුවත්පත ලෙසින් හඳුන්වන්නට පුළුවන්වෙන්නේ කොළඹ වෙළෙදුන් පිරිසක් ආරම්භ කරපු "ද ඔබ්සර්වර්  ඇන්ඞ් කොමර්ෂල් ඇඞ්වර්ටයිසර්" ( The Observer and Commercial Advertiser) පුවත්පතයි. මේක කොළඹ කුමාර වීදියේ තිබුණ ඔබ්සර්වර් මුද්‍රණාලයෙන්  1834 පෙබරවාරි 04 මුද්‍රණයෙන් නිකුත් කෙරුණා. පළමු කර්තෘ විදිහට කටයුතුකලේ ලංකාවට කොපි වගාව හඳුන්වලා දුන්නු  ජෝර්ජ් වින්ටර් මහතා තමයි. 1835 දි අයර්ලන්ත ජාතික දොස්තර කි‍්‍රස්ටෝපර් එලියට් මහතා එ් පත්තරේ කර්තෘධුරය භාරගැනිමත් එක්කම නමත් වෙනස් කළා. එ් 1835 ජුලි  24 දා සිට "ද කළම්බු ඔබ්සර්වර්" (The Colombo Observer)  නමින්.  මේ පත්තරේ අප රටේ වැවිලි කරුවන්ගේ සහ ඔවුන්ගේ ජන සමුහයේ විමුක්තිය පතා සටන් වදින පත්තරයක්වුනා. ඔහුගේ පස්සේ 1867 දි එ්. එච් ෆර්ගියුසන් මහතා කර්තෘ ධුරය බාරගත් විට පත්තරේ නම "ද සිලොන් ඔබ්සර්වර් " ( The Ceylon Observer) නමින් නම් කෙරුණා.  1873 වර්ෂයේ සිට මේ පුවත්පත දිනපතා පත්තරයත් ලෙසින් මුද්‍රණය වෙන්න පටන්ගත්තා. විටින් විට අයිතිකරුවන් මාරුවෙමින් ගිහිල්ලා 1923 දි සිලොන් ඔබ්සර්වර් පත්තරේ අයිතිය ඩි.ආර්.විජේවර්ධන මහතා මිළදි ගත්තා.  



කොළඹ කොටුවේ චැතම් වීදියේ පිහිටා තිබුණ සිලොන් ටයිම්ස් ආයතනයෙන් 1846 අගොස්තු 11 වෙනිදා "සිලොන් ටයිම්ස්" ( Ceylon Times)  පුවත්පත එළිදැක්වූවා. පළමු කතුවරයාවුනේ හියු ස්ටුවර්ට් මහතා හා ආරම්භක ප‍්‍රකාශකයාවුනේ කොරනේලිස් ඩයස් මහතා තමයි. 1864 - 1865 ව්‍යවස්ථාදායක මන්ත‍්‍රණ සභාවේ මන්ත‍්‍රිධුරයක් දැරු ජෝන් කැපර් මහතා සිලොන් ටයිම්ස් පත්තරේ මිලටගැනිමත් එක්කම එ් පත්තරේ ස්වර්ණමය යුගය උදාවුනා. 1872 දෙසැම්බර් 16 වෙනිදා සිට මේ පත්තරේ දිනපතා පත්තරයක් ලෙසින් මුද්‍රණය වෙන්න පටන්ගත්තා. 1881 අගෝස්තු 1 වෙනිදා සිට මේ පත්තරේ "ටයිම්ස් ඔෆ් සිලොන්" නමින් නම් කෙරුවා. 
අපේ රටේ පළමු සිංහල සඟරාව වුනේ  1832 දි මුද්‍රණයෙන් නිකුත්වු "මාසික තෑග්ග" නම් සඟරාවයි. මේ සඟරාව කොට්ටේ දි මුද්‍රණයකර නිකුත් කෙරුනා. පිටු අටකින් යුක්තවූ මේ මාසික සඟරාවේ සම්පූර්නයෙන්ම අඩංගුවුනේ බයිබල් කතා හා කි‍්‍රස්තියානි යාඥාවන් තමයි. සිංහලයෙක් විසින් සකස් කරන ලද පළමු සඟරාව වෙන්නේ "ශාස්ත‍්‍ර නිධානය" නම් 1846 දි මුද්‍රණය කෙරුව සඟරාවයි.  

අපේ රටේ සිංහල පුවත්පත් කළඑළි බැස්සේ ඉංග‍්‍රිසි පත්තර මුද්‍රණය වෙලා අවුරුදු විසිගනනකට පස්සේ තමයි.  ප‍්‍රථම සිංහල පුවත් පත විදිහට සැලකෙන "ලංකා ලෝක" පත‍්‍රය මුද්‍රණය කෙරුනේ 1860 දි ගාල්ලේ තිබුණ මුද්‍රණාලයකින්. දෙවරක් පමණ මුද්‍රණයෙන් නිකුත් කෙරුණ මේ පත්තරේ මුල්ම කලාපය මේ වෙනතෙක් සොයාගන්නට හැකිවෙලා නෑ. 

ලංකාආණ්ඩුවේ ලියාපදිංචි පළමු හා පැරණිතම සිංහල පත්තරේ වෙන්නේ "ලක්මිණි පහණ" පුවත් පතයි. 1862 සැප්තැම්බර් 11 බ‍්‍රහස්පතින්දාවකයි ලක්මිණි පහණ පත්තරේ නිකුත් කෙරුනේ. සල්පිටි කොරලේ ප‍්‍රධාන මුදලිධූරය දැරු ගාල්ලේ බි.ජේ. එ්. ජි. ඩබ්ලිව් ගුණතිලක අතපත්තු මුදලිතුමා තමයි ප‍්‍රමුඛත්වය දැරුවේ. මේ පත්තරේ ආරම්භක කර්තෘ විදිහට වැඩකලේ කොග්ගල ධර්මරත්න පඬිතුමා තමයි. 



සත්හට මින් සුබ වැඩට    කැමැත්තෙමු
මුත්තට කාටත් බැඳෙන     සිතැත්තෙමු
අත්පිට නැණ දියුණුවෙහි    නියුත්තෙමු 
මෙත්කොට ලක්මිණි පහණ   පවත්තමු  

පුවත්පතේ පරමාර්ථ දක්වමින් පළකෙරුව කවියක් සිරස්තලයට යටින් ඉහලින් සටහන් කරලා තිබුනා.  මේ පුවත්පතේ කර්තෘ ධූරයට බටුවන්තුඩාවේ පඬිතුමාද, ඇම්. ධර්මරත්න පඬිතුමාද පසුව සිංහල භාෂා විශාරද මුනිදාස කුමාරතුංග මහතාද පත්වුනා.

1863 දි නිතිඥ එස්. රණසිංහ මහතාගේ කර්තෘකමින් "ලක් රිවිකිරණ " පුවත්පත ආරම්භකෙරුවා. කි‍්‍රස්තියාණි ආගමට නැඹුරුව අදහස් පළකෙරුව මේ පත්තරේ ආගමික වාද විවාද වලට අඩිතාලම දැම්මා. 

මුල්ම දිනපතා සිංහල පුවත්පත වන "දිනපතා ප‍්‍රවෘත්ති"  සි. දොන් බස්තියන් ජයවීර බණ්ඩාර කතුකමින් 1895 මාර්තු 07 වෙනිදා දොරට වැඩියා. ඉරිදා හැර අනෙක් සතියේ දවස්වල හවස්වරුවේ නිකුත් කෙරුවේ මේ පත්තරේ මිලවුනේ ශත පහක් පමණයි. පසු කාලෙක උදේ වරුවේ නිකුත් කෙරුණු මේ පත්තරේ 1907 ජුනි 07 අවසන් කලාපය නිකුත්වුනා.

හෙන්රි ස්ටිල්  ඕල්කට් තුමා ලංකායට පැමිණ පිහිටවු කොළඹ පරම විඥනාර්ථ සමාගම මගින් 1880 දි "සරසවි සඳරැස" පුවත්පත ආරම්භ කෙරුවා. සතියේ සෙනසුරාදා දිනවල පලවු මේ පත්තරේ ආරම්භක කතුවරයාවුයේ භාෂා ශාස්ත‍්‍ර පඬිවරයෙකුවු වේරගම පුංචි බණ්ඩාර ශූරින්ය. එතුමාගෙන් පසුව එච්. ඇස්. පෙරේරා, ඩබ්ලිව්. එ්. සමරසේකර , ඩි. ඩබ්ලිව්. වික‍්‍රමාරච්චි, ඩබ්ලිව්. එස්. ප‍්‍රනාන්දු යන මහත්වරුත් කතුපදවිය දැරුවා.
පළමු ඉරිදා සිංහල පුවත්පත විදිහට සැලකෙන්නේ 1924 ජුලි  13 වෙනිදා ප‍්‍රකාශයට පත්වුනු "ස්වදේශ මිත‍්‍රයා" පුවත්පතයි. විශාල පිටු අටකින් යුක්තවු මේ පත්තරේ කතුකම හා අයිතිය දැරුවේ ඩි. ඩබ්ලිව්. වික‍්‍රමාරච්චි මහත්තයායි. 

එදා සිට අද දක්වා නොකඩවා පලවන එකම පුවත්පත මොකක්ද කියලා දන්නවාද? ලංකාවේ පළමු ආගමික පුවත්පතවු "ඥානාර්ථ ප‍්‍රදිපය" පත්තරේ තමයි නොකඩවා පලවන එකම පුවත්පත. 1866 ජුනි 07 දින පළමු නිකුත් කිරිම කරපු මේ පුවත්පත අදටත් මුද්‍රණයෙන් නිකුත්කෙරෙනවා.  



කොටහේනේ දිපදුත්තාරාම විහාරස්ථානයේ සිට වාදිසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් "සත්‍ය මාර්ගය" නම් සතිපතා පුවත්පතක් ආරම්භකළා. දහනම වැනි සියවසේ මැද භාගයේ ඇතිවු බෞද්ධ පුනර්ජිවනයට හේතුවු ආගමික වාද විවාද වලට මේ පත්තරේ ගොඩාක් උදව්වවුනා. එකාලේ පැතුරුණු ක‍්‍රිස්තියාණි නිකායික පොත්පත් සඟරා සමග සටන් කිරිම එ් පත්තරේ අරමුණවුනේ. 

පුවත්පත් කලාව නවමගකට ගෙනයමින් 1871 දෙසැම්බර් 24 වෙනිදා ජි.ඩි. පෑලිස් අප්පුහාමි මහතාගේ කර්තෘත්වයෙන්  ලංකාවේ පළමු කවට පත්තරේ බිහිවුනා. "කවට කතිකයා" මේ පුවත්පතේ නමයි.ජනතාවගේ විනොදාස්වාදය සඳහාම  පත්තරයක් පළකිරිම අලූත් අත්දැකිමක්වුනා. මේ පත්තරෙන් උපහාසයට ලක්නොවෙච්චි එකදු ප‍්‍රභූ පුද්ගලයෙක්වත් හිටියේ නෑ. මේ පුවත්පත මාස 40 ක් නිකුත් කරන්නට හැකිවෙලා තියෙනවා. 

පොරණ අපි බුද්ධං
එවා දැන් විරුද්ධං
දැනට අපි සුද්ධං
මතකවත් නැත ස්වස්ති සිද්ධං  

මේ කවට කතිකයා පත්තරේ බුදුදහම අතහැර කිතුදහම වැළදගත් පවුලක් උපහාසයට ලක් කරමින් ලියා තිබු කවියකි.  

අධිරාජ්‍යවාදින්ට විරුද්ධව සිංහල ජාතිය හා බෞද්ධයින් නගා සිටුවන්නට පුවත්පත් සහ සඟරා බිහිවන්නට පටන්ගත්තා.  අනගාරික ධර්මපාල තුමා විසින් කතුකම් කරපු "සිංහල බෞද්ධයා" පුවත්පත මහාබෝධි සමාගමේ ප‍්‍රකාශණයක් ලෙසින් 1906 මැයි 07 වෙනිදා පළකෙරුණා.
"සිංහල ජාතිය" සඟරාව 1903 වසරේ දි පියදාස සිරිසේන ශුරින් විසින්ද පළකෙරුවා. 

ඔන්න ඉතිං කාන්තාවන්ටත් පත්තරයක්  ඕනේ කියලා හිතුනා. දැන්නම් එක එක නම් වලින් කාන්තා පත්තර තිබුනත් පලවෙනි සිංහල කාන්තා පත්තරේ මොකක්ද කියලා දන්නවාද?  එ්ක තමයි  හේමාවති විරසේකර මහත්මියගේ සංස්කරණයෙන් හැඩවුනු "සිංහල කුලඟන" පුවත්පත. මේ පත්තරේ 1916 දි මැයි 2 නිකුත් කෙරුනා. දැන් අපේ කාන්තා පුවත්පත් වලින් කෙරෙන්නේ කෑම හදන හැටියි ඇඳුම් මොස්තරයි පළකරන එක විතරයි. හැබැයි කොච්චර කාන්තා පත්තර බැලූවත් අපේ කාන්තාවන්ට නම් හරියට කෑමක්වත් එ් තියෙන මොස්තරේට ඇඳුමක්වත් මහගන්න බෑ.( බොරුද මම කියන්නේ? පිරිමි අය උත්තර දිපල්ලා.)


ඩි. ආර්.විජේවර්ධන මහතා ලේකහවුස් පත්තර කන්තෝරුව පටන්ගත්තා. එ්  ආයතනයෙන් මුල්ම "දිනමිණ"  පත්තරේ 1909 දෙසැම්බර් 17 වෙනිදා නිකුත් කෙරුවා. මේ පත්තරේ මිල වුනේ සත තුනක්. එච්. එස් .පෙරේරා මහතා තමයි කතුකම දැරුවේ. මේ පත්තරේට "දිනමිණ" නම තිබ්බේ විද්‍යාලංකාර මහපිරිවෙනේ අධිපති රත්මලානේ ධර්මාරාම හිමියන් තමයි. 1930 මාර්තු 30 වෙනිදා ලෙක්හවුස් නිවසින් පළමු "සිළුමිණ" පත්තරේ එළිදැක්වුනා.


සිංහල හා ඉංග‍්‍රිසි පත්තර ගැනත් කතා කලත් ඇයි ද්‍රවිඩ පත්තර ගැන කතා නොකරන්නේ? ද්‍රවිඩ පත්තරත් ඒ කාලේදිම මුද්‍රණය වෙලා තියෙනවා.  1841 දි "Idea Atari"   නම් ද්‍රවිඩ පුවත්පතක් නිකුත් කෙරුනා. 1865 වර්ෂයේදි   "palliyar Nesan"     හා 1868 වර්ෂයේද  "Illankai"  නම් ද්‍රවිඩ පුවත්පත් අපේ ද්‍රවිඩ ජනතාව වෙත මුද්‍රණයෙන් පිටවුණා.1932 මැයි 15 නිකුත් කරපු "තිනකරන්" හා  1930 අගෝස්තු 06 නිකුත් කරපු "විරකේසරි"  පත්තර දෙක අදටත් මුද්‍රණය කෙරෙනවා.

ඉතිං මේන්න මෙහෙම තමයි අපේ රටේ පත්තර අච්චු ගහන්න පටන් අරගෙන තිබුනේ. මේ අවුරුදු ගනනාව තුල ගොඩාක් පත්තර කන්තෝරු ආරම්භවෙලා වැහිලා ගිහිල්ලාත් තියෙනවා. ඒ පත්තර අතරේ තවමත් යෙහෙන් වැජබෙමින් ඉන්න පත්තර ටිකක් අපේ රටේ මිනිස්සුන්ගේ දැනුම පිපාසය සංසිදවමින් ඉන්නවා.

2 comments:

අදහස් මෙතන නිදහස් කරන්න

සුබ ගමන් ආටියා...

 මගේ ලෝකය My world සුන්දර බ්ලොගය ලියූ ආටියා - කළණ ආටිගල සුහද මිතුරා අප අතරින් සමුගෙන ගොස් ඇතිබව දැන ගන්නට ලැබී ඇත.  සුබ ගමන් ආටියා.