Sunday, August 21, 2016

කලාවට කැපවු අප‍්‍රසිද්ධියේ සිටි ප‍්‍රසිද්ධ කලා කරුවා

කවුද මේ කලාවට කැපවු අප‍්‍රසිද්ධියේ සිටි ප‍්‍රසිද්ධ කලා කරුවා? මේ කලාකරුවා නම් අන්තිම අහිංසකයෙක්, අවිහිංසාවාදියෙක්, මස්මාළු නොකන නිර්මාංශිකයෙක්,මත්පැනින් තොර සත්‍යගරුක පුද්ගලයෙක්, තමන් බැසගත් තීරණය වෙනස් නොකරන අපූරු මිනිසෙක්. එ් විතරක් නෙමෙයි කලාවට කැපවු අවිවාහකයෙක්. ඉතිං කවුද මේ? අපිට කැලණි විහාරය කිව්වාම මතක්වෙන දෙකක් තියෙනවා. එකක් තමයි අපේ ගෞතම බුදුන්වහන්සේ බුද්ධත්වයෙන් අටවෙනි අවුරුද්දේ වෙසක් පුන්පෝදා කැලණියට වැඩමකර මණිඅක්ඛිත නාරජුගේ මැණික් පුටුවේ හිද ධර්ම දේශානාවක් කිරිම. අනික තමයි විහාරයේ තියෙන ලොව පරසිද්ධ සිතුවම් ටික. සිංහල බෞද්ධයන්ගේ පූජණීය ශුද්ධ භූමියේ හෙළ මුර්ති හා චිත‍්‍ර කලාවන්ගේ කලාගාරයක්වගේ තියෙන කැළණි පන්සලේ චිත‍්‍ර හා මුර්ති ශිල්පියා කවුද? මේ ලෝප‍්‍රකට සිතුවම් වල නිර්මාණ ශිල්පියා ගැන තමයි අද අපේ කොළොම්පුරෙන් කතා කරන්න යන්නේ. 



කහවේ වලිමුනි සෝලියස් මෙන්ඩිස් නැත්නම් අපි කියන විදිහට සෝලියස් මැන්දිස් නම් අපේ චිත‍්‍රශිල්පියා හත්දෙනෙකුන්ගෙන් යුත් පවුලක දෙවෙනියා විදිහට 1897 ජුනි 17 දා මහවැව දි ආයුර්වේද වෛද්‍යවරයෙකුවු පියාට දාව උපන්නා.  කුඩා සන්දියේදි හොඩි පොත කියවන්නට මාදම්පේ කි‍්‍රස්තියානි මිෂනාරි පාසලට ඇතුලූවෙලා හත්වෙනි පන්තිය දක්වා එ් පාසලේ ඉගෙන ගත්තා. පසුව නාත්තන්ඩියේ විරහේන විද්‍යාරත්න පිරිවෙනේ සුගත තිස්ස මාහිමියන්ගෙන් පාලී හා සංස්කෘත භාෂාවන් ඉගෙනගන්නට වුනා. තාත්තාගේ සිහිනයක්වුනේ තමන්ගේ අඩිපාරේ අරන් ගිහිල්ලා ආයුර්වේද වෛද්‍යවරයෙක් බවට සෝලියස් ව පත්කරවන්නයි. එත් සෝලියස් ගේ හිත ඇදිලා ගියේ සෞන්දර්්‍යාත්මක පැත්තට තමයි. සෝලියස් මැන්දිස් තමන්ගේ ඥාතියෙක්වු සුප‍්‍රකට විහාර චිත‍්‍රශිල්පි මෙමෝනිස් සිල්වා ගුරුන්නාන්සේ වෙතට ගිහිල්ලා ඔහුගේ ගෝලයෙක් බවට පත්වුනා. සෝලියස් මැන්දිස් ශිල්පියාගේ තෙලිතුඩින් හැඩවුනු විහාරයන් ගනනාවක් තියෙනවා.මාවිල සුමනකුසුමාරාමය, ගිරිඋල්ල මැද්දේපොල රජමහා විහාරය, රණස්ගල්ල රජමහා විහාරය, පොළොන්නරුවේ ශී‍්‍ර ජයමහ විහාරය සහ මල්වානේ ලෙනගම්පොළ පුරාණ රජමහා විහාරය හබරාදුව පිටිදුව කැළණිගංගොඩ විහාරය එ් අතර වෙනවා. 



1930 දශකයේදි කැලණිරජමහා විහාරයේ පිළිසකර කිරිම ඇරඹෙනවා. මේ යුගයේදි යුරෝපයේ දේවස්ථානයන්හි සිතුවම් කලාව ඇසුරෙන් දීප්තිමත් වර්ණ යොදාගෙන තාත්වික සිතුවම් නිර්මාණය කිරිම ආභාසයට ගෙන තිබෙනවා. කැලණි පන්සලේ ප‍්‍රධාන දායිකාව වෙලා සිටිය හෙලේනා විජයවර්ධන මැතිනිය යුරෝපයේ ශෛලීය අනුගමනය නොකර පෙරදිග ශෛලියට අනුව සාම්ප‍්‍රදායික විදිහට අදින්න පුළුවන් චිත‍්‍ර ශිල්පියෙක් හොයන්නට වුනා. අති දක්ෂ තරුණ සිතුවම් නිර්මාණ කරුවෙකුවු සෝලියස් මැන්දිස් ගැන දැනගන්නා හෙලේනා විජයවර්ධන මැතිනිය කැලණි පන්සලේ සුවිශේෂි කාර්්‍යය ඔහුට පවරා දුන්නා. 

මේ සුවිශේෂි කාර්්‍යය ඉටුකරන්නට අවශ්‍ය නිර්මාණාත්මක අදහස්වලින් තම දැනුම වැඩිකරගන්නට සෝලියස් මහතා අජන්තා, එල්ලෝරා හා සාරනාත් වල තිබෙන චිත‍්‍ර අධ්‍යනය කරන්නට ඉන්දියාවට පිටත්වෙලා යනවා.  ඔහු ආයෙත් ලංකාවට එන්නේ තමන් අධ්‍යනය කරන්ට ගිය චිත‍්‍රවල සටහන් හෝ පිටපතක්වත් නැතිව. තමන්ගේම ශෛලියක් බිහිකරගැනිමට ඔහු කරන්නේ ඉන්දියාවේ බෞද්ධ සිතුවම්වල තිබෙන සියුම් ලක්ෂණ සහ අමුදව්‍ය හා අපේ රටේ හෙළ බිතුසිතුවම් හා සංස්කෟතිය එකතුකරවිමයි. 


කැලණි විහාරයේ සිතුවම් නිර්මාණය කරන්නට පටන් ගන්න කොට සෝලියස් මැන්දිස් ගේ වයස අවුරුදු 30 පසුකලා විතරය. ඔහු තමන්ගේ ජිවිත කාලයෙන් අවුරුදු 18 ක් පමණ අපමණ වෙහෙසක් දැරුවේ කැලණි පන්සලේ චිත‍්‍ර අවසන් කරන්නටයි. මේ ඔහුටම විශේෂිතවු ශෛලීයෙන් කරපු නිර්මාණ විචාරකයින්ගේ මතයවන්නේ පෙළොන්නරු යුගයෙන් පසුව ශ‍්‍රී ලංකාවේ නිර්මාණයවු විශිෂ්ඨතම කෘතින් බවයි. අනෙක් බොහෝ චිත‍්‍රශිල්පින්ගේ සිතුවම් බුද්ධාගමික හා සම්බුද්ධ චරිතය ඇතුලූ ජාතක කතා වලින් නිර්මාණ කල එවා වුවත් සෝලියස් මැන්දිස් මහතා ඊට වෙනස් නව මංපෙත් ඔස්සේ සිතුවම් ඇන්දා. මෙතෙක් පැවතගෙන ආ විහාරචිත‍්‍ර ක‍්‍රමයවු බිත්තිවල හරස් තීරුවල චිත‍්‍රාවලි ඇදිම වෙනස් කර සම්පුර්ණ බිත්තියක් මුළුමනින්ම රූපරාමුවක්  ලෙස ගෙන චිත‍්‍ර ඇදිම සිදුකලා. ජාතක කතා නිරූපනය නොව බෞද්ධ එතිහාසික කතා එහි ඇන්දා. දන්ත කුමරු හා හේමමාලා කුමරිය දන්ත ධාතුන් වහන්සේ ලංකාවට රැුගෙනඑම, බුදුන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩමකරවිම, මාතලේ අළුවිහාරයේ බුද්ධඝෝෂ හිමියන් විසුද්ධි මග්ගය අත්පිටපත් කිරිම. ජයසිරිමහා බෝධින් වහන්සේ ලංකාවට වැඩවමකිරිම, සංඟරාජහිමියන්ට අක්තපත‍්‍ර බාරදිම, රහතන්වහන්සේ නමක් තෙල් කටාරමේ හිදවා  මැරිම ආදි එතිහාසික සිද්ධින් තොරාගත්තා. ඔහු එම අවස්ථා නිරුපණය කරන මිනිස් රූප ජිවමාන ප‍්‍රමාණයටම ඇදිම සිදුකළා. මේ සිතුවම් වල ද්විමාන ලක්ෂණ ඉවත දමා ති‍්‍රමාණ ලක්ෂණ වලට ඇදි ඉතාමත් සියුම් රේඛා සහ වේගවත් රේඛා මගින් ස්භාවිකත්වය ඉස්මතුකරලා තියෙනවා. මේ කලාකෘති අතර විවිධ මල්වර්ග, කුමර කුමරියන්,රජවරුන් ,භික්ෂුන් වහන්සේලා මෙන්ම ඔවුන් අඳින ලද ඇඳුම් වර්ග, ආභරණ ආදිය සියුම්ව මතුකර ඇති බව පෙනේනවා. 

 

මෙම සියලූම චිත‍්‍රවලට යොදාගත් වර්ණ සෝලියස් මෙන්ඩිස් විසින්ම අපේ රටේම ද්‍රව්‍ය උපයෝගි කරගෙන සදාගත්තා. මේවාට එළවළු, පැලෑටි, පත‍්‍ර, මකුලූ මැටි ආදිය සමගින් කල් පැවැත්ම සඳහා තවත් අමුද්‍රව්‍ය යොදාගත්තා. මේ වර්ණ දිප්තිමත් දිස්නයක් ගෙනෙන වර්ණ නොවන නිසා ඇසට පි‍්‍රය සෞම්‍ය බවක් ගෙනදෙනවා. කැලණි විහාරයේ සිතුවම් වලට අමතරව සොලියස් මැන්දිස් කලාකරුවා අතින්  ගෘහ නිර්මාණයද පිළිම ඇඹිමද සිදුවුනා. මේ අග‍්‍රගන්‍ය කලාකරුවා ඇදි සිතුවම් තිබෙන තවත් ස්ථානයක් ලෙසින් ගිරිඋල්ලේ මැද්දේපොල රජමහාවිහාරය හඳුන්වා දෙන්න පුළුවනි.


සොලියස් මැන්දිස් කලාකරුවා බොහෝ වෙහෙස වෙමින් අවුරුදු 18 ක් කැලණි විහාරයේ සිතුවම් නිමකලත් ඔහුගේ කාර්්‍යය අවසන් කරගන්නට නොහැකිවුවයි කියවෙනවා. කිසියම් හේතුවක් නිසා කැලණි නව වෙහෙරේ බුදු පිලිමයේ පසුබිම් චිත‍්‍ර ඇදිමට විදේශික චිත‍්‍ර ශිල්පියෙකුට පැවරුවා. ඉන් බොහෝ සිත් වේදනාවකට පත්වෙච්චි අපේ කලාකරුවා නිහඬව පලංචියෙන් බැස යන්නට ගියා. ඔහුට ඇතිවු සිත්වේදනාව නිසා යළි කිසි දිනෙක සිතුවම් ඇන්දේ නැහැයි කියවෙනවා. 


ඔහුගේ අවසන් කාලයේ තමන් සතු සියලූ වස්තුන් අසරණයන් සඳහා කැප කෙරේව්වා. තමන් පදිංචිව සිටි මාදම්පේ නිවස පිරිමි අනාථ ළමුන් සඳහා පරිත්‍යාග කළා. එ් නිවාසයේ නඩත්තුව වෙනුවෙන් තමන්ගේ අක්කර 85 ක පොල්වත්තද පවරාදුන්නා. මහවැව සිව්රාජ අනාථ නිවාසය තමයි ඔහු පරිත්‍යාග කරපු නිවස. අද මේ නිවස අඳ ගොළු බිහිරි ළමුන්ට රැකවරණය දෙන නිවාසයක්.

කිසිදු  ප‍්‍රසිද්ධියකට කැමති නැති මේ නිරහංකාර කලාකාමියා අවුරුදු 78 ක් ආයුවලදා 1975 සැප්තැම්බර්  01 වෙනිදා අප අතරින් වෙන්ව ගියා. 2016 සැප්තැම්බර් 01 වෙනිදාට ඔහු මිය ගිහින් අවුරුදු 41 වෙනවා.  ඉතිං අපිත් මේ සැප්තැම්බර් 1 යමු කැලණි විහාරයට ගිහිල්ලා වෙහෙර වැඳපුදාගෙන විහාරයේ සේලියස් මැන්දිස් කලාකරුවා ඇදි සිතුවම් ටිකත් නරඹමු. හැබැයි අමතක කරන්න එපා අවුරුදු 41ට කලින් වියෝවුනු අපේ නිරහංකාර අග‍්‍රගන්‍ය කලාකරුවාට පිංපෙත් පමුනවලා ඔහුට නිවනේ අමාඵල බලන්න ප‍්‍රර්ථනා කරන්න.  


5 comments:

  1. හරිම වටින ලිපියක්... සෝලියස් මහතා අමුඩයක් ගහගෙන වැඩ කර කර ඉද්දි (මතක හැටියට කුඹුරු වැඩ වෙන්ට ඕනේ.. ) කෙනෙක් ඇවිල්ලා සෝලියස් මැන්දිස් කොහෙද ඉන්නෙ කියලා ඇහැව්වලු. ඊට පස්සෙ එයා පැලක් පෙන්නලා කිව්වලු එහෙ ඉන්නෙ ම්න් අඩගහගෙන එන්නන් කියලා.. ඊට පස්සෙ මෙතුමා පැලට ගිහිල්ලා සරමක් ඇදගෙන ඇවිල්ලා කිව්වලු මමයි ඔයා හොයන කෙනා කියලා... තමන්ගේ සියලු සැප සම්පත් දන් දුන් සැබෑ නිරහංකාර කලාකරුවෙක්... ඔබට නැවතත් ස්තුතියි ...

    ReplyDelete
  2. ස්තූතියි මිතිල. සැබෑ නිරහංකාර මේ කලාකරුවාව ගැන කිසිදු සැමරුමක් නෑ. රටකාපු මෝඩ දේශපාලුවන්ගේ නමින් පාරවල් ගොඩනැගිලි නම් කරද්දි මේ රටට අගනා සේවයක් කල කලාකරුවා ගේ නමින් කිසිදු සැමරුමක් නැතිව අමතක කර දැමිම බොහෝම කනගාටුවට කරුණක්. සැප්තැම්බර් පලමුවෙනිදාට වැඩි දවසක් නෑ මේ අවුරුද්දේ බැරිවුනත් අපි ඔහු වෙනුවෙන් යමක් කරන්නට ලබන අවුරුද්දේවත් බලමු.

    ReplyDelete
  3. රටට සේවයක් කරන උදවියට මේ රටේ තැනක් නෑ සහෝ...

    ReplyDelete
  4. මයිකල් ආන්ජිලෝ, ලෙනාඩෝ ඩාවින්සි, රපායල්, පිකාසෝ වැනි අපරදිග සිත්තරුන් ගැන, ඇසූ සැනින් දිගු කතිකාවකට කරුණු ගොනුකල හැකි, වත්මන් සිත්තර පරපුර මෙහෙයවන වැඩිදෙනෙකුට හා අනාගත සිතුවම්කලාවෙන් පෙරට එන්නට දිරිගන්නා වූ නව ලොව සිත්තරුන් හා සිත්තර කලාව අගයන්නන්ට, දේශීය සිත්තරෙකුගේ අගය හා ශ්‍රේෂ්ඪත්වය හෙලිකරදෙන ඉතාමත් වටිනා ලිපියක් බව මගේ පිලිගැනීමයි.

    කොලොම්පුරේ බ්ලොග් පිටුව මෙහෙයවන අසංග රණසිංහ ආරච්චි මහත්මා විසින් සමාජය වෙනුවෙන් කරණ ලද මේ මහඟු ක්‍රියාව වෙනුවෙන්, පිලිගන්න මගේ ගෞරවාචාරය. - 2017.03.15

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

හෝරස්ගේ දරුවා - විසිතුන් වන දිගහැරුම Son of Horus - 23

     පොලීසියට අවශ්‍යය කරන පුද්ගලයෙකුවූ සුදු මහත්තයා මිතුරෙකුගේ සෙවනගල ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් සිටියදී අත්අඩංගුවට පත්වෙන්නේ මේ අතරතුරේද...