Sunday, August 14, 2016

ගුවනින් ආ බුලර්ස් පාරේ ළමා පිටිය.

නෙළුම්යාය බ්ලොග් සම්මාන උළේල 2016 - ඉතිහාසය තරග අංශයෙන් දෙවන ස්ථානය දිනු  ලිපිය

බුලර්ස් පාරේ කොහේද ළමා පිටියක්? කොළොම්පුරේ  ඕනෑ තරම් ළමා පිටි තිබුනත් බුලර්ස් පාරේ නම් ළමා පිටියක් පෙන්න තැනක නෑ. කොළඹ කැම්පස් එකේ නම් පිට්ටනියක් තිබුනත් එ්ක ළමා පිටියක් වෙන්න බෑනේ. එහෙනම් කොහේද මේ ළමා පිටිය තියෙන්නේ? එහෙනම් බුලර්ස් පාරේ ටිකක් ඇතුලට ඇවිද ගිහිල්ලා එ් කාලේ රේඩියෝ සිලොන් කියලා කිව්ව ගුවනින් විදුලි සංස්ථාව ඇතුලට පොඞ්ඩක් ගොඩවෙමු. එත් ඒක ඇතුලේ ළමා පිටියක් තියෙනවාද? ඔව් මේ පිටිය ඇහෙන් දකින්න නම් බෑ. කනින් අහන්න නම් පුළුවන්. මීට අවුරුදු ගනනාවකට කලින් එ් කාලේ ළමයින්ට මේ ළමා පිටියට ගොඩවෙන්න ලැබුනේ කනින් අහලා තමයි. ගුවන් විදුලියෙන් ඇරඹුනු ළමා වැඩසටහන් ගොන්නක් තිබුණා. අද කොළොම්පුරේන් කතාකරන්න යන්නේ ඒ ගැන. එහෙනම් යමුද මේ ඇහෙන් දකින්න බැරි කනින් අහන්න පුළුවන් ළමා පිටියේ තොරතුරු හොයා බලන්න.





අපේ ලංකාවේ ගුවන් විදුලිය පටන් අරගෙන අවුරුදු දහයකට පස්සේ ළමයින් වෙනුවෙන් ළමා වැඩසටහනක් කරන්න  ඕනේ කියලා හිතුනේ. "ආන්ටි කර්ක්" නමින් මේ පළමු ළමා රේඩියෝ වැඩසටහන 1935 මැයි 15 වෙනිදා සිට විකාශය කරන්න පටන් ගත්තේ. මේ වැඩසටහන මෙහෙව්වේ කර්ක් නැන්දා. හැම බදාදා දවසකම හවස 6.30 ඉදන් 7.30 දක්වා පැයක් ඉංග‍්‍රීසියෙන් මේක ප‍්‍රචාරයවුනා. මේ වැඩසටහනට ළමයින් එකතුකරගන්න රචනා තරගාවලියක් එහෙම පවත්වලා තරගෙන් ජයගන්න අයට ඉංග‍්‍රීසි ළමා පොත් තෑගි විදිහට දිලා තියෙනවා. "ආන්ටි කර්ක්" ගෙන් පස්සේ "ආන්ටි ජෙනිට" මේ වැඩසටහන මාරුවුනා. ආන්ටි ජෙනිට "අන්කල් පීටර්ද" එකතුවෙලා කරපු  මේ වැඩසටහන බදාදා දිනයෙන් බ‍්‍රහස්පතින්දා දවසට මාරුවෙලා ගියා. "ආන්ටි ජෝයි" එක්ක "අන්කල් නික්" ළමා පැයට එකතුවුනේ 1941 අවුරුද්දේදි. ඉතිං මේ ළමා පැය බ‍්‍රහස්පතින්දා හවස 6 ඉදන් 7 වෙනකම් ගුවන් ගතවෙලා තියෙනවා.

ඉංග‍්‍රීසියෙන් විතරක් ළමා වැඩසටහන් කරලා හරියන්නේ නෑනේ. සිංහල ළමා වැඩසටහන් අපේ රේඩියෝ එකට ආවේ 1936 අවුරුද්දේ. මේක කරගෙන ගියේ "සිරියලතා නැන්දා" නමින් කැතරින් හපුගල මහත්මියයි. සෑම සිකුරාදා දවසකම හවස 6 ඉදන් 6.25 වෙනකම් එ් කියන්නේ පැය කාලක් ප‍්‍රචාරයවුනා. 1939 නොවැම්බර් මාසේ වෙනකොට පි.ජි. ආරියරත්න මහතා "ආරියරත්න මාමා" නමින් ළමා වැඩසටහන කරගෙන ගියා. "දමයන්ති අක්කා" නමින් චන්ද්‍රා රන්හොටි මෙනවිය මේ වැඩසටහනට දායකත්වය දුන්නා. 1941 අවුරුද්දේ මේ ළමා වැඩසටහනේ විකාශ කාලය විනාඩි 40 දක්වා දීර්ඝ කරලා තියෙනවා.
 මුල්ම දෙමළ ළමා වැඩසටහන් ද 1936 අවුරුද්දේම පටන් අරන් සෙනසුරාදා දවස්වල හවස 6 ඉදන් 6.25 වෙනකම් පැය කාලක් විකාශයවුනා කියලයි සඳහන් වෙන්නේ. 



යු. එ්. එස්. පෙරේරා  "සිරි අයියා"

මුල් කාලේ විකාශය වෙච්චි එකාකාරි ළමා වැඩසටහන් වල ආකෘතිය වෙනස්කරන්නට ගුවන් විදුලි අධිකාරි විදිහට ආපු ෂර්ලි ද සිල්වා පියවර ගත්තා. මේ පරිවර්තනයේ ප‍්‍රධාන සාධකය වෙන්නේ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකුවු යු. එ්. එස්. පෙරේරා මහතායි. එයා "සිරි අයියා" නමින් ළමා පිටියේ ප‍්‍රසිද්ධවෙනවා. මේ සිරි අයියාව ළමා පිටියට එකතුකරන්නේ මහාචාර්ය ගුණපාල මලලසේකර මහත්තයා තමයි. දමයන්ති අක්කා කරගෙන ගිය වැඩසටහනට කවි විරිදු ගායනා කරන්න ආපු යු.එ්.එස්. පෙරේරාට දමයින්ති අක්කා එක්ක මේ වැඩසටහන කරගෙන යන්න කියල පස්සේ කාලෙක ඇරයුම්ක් ලැබෙනවා. එ් නිසා දමයන්ති අක්කා සහ සිරි අයියා නමින් ළමා තීරය ප‍්‍රචාරවෙන්න පටන්ගත්තා. පස්සේ කාලෙක දමයන්ති අක්කා කසාද බැඳලා ළමා පිටියෙන් පිටවෙලා ගිය හින්දා සිරි අයියාට මේ ළමා පිටිය බාරගන්න කියලා මලලසේකර මහත්තයා කියනවා. දමයන්ති අක්කා නැති නිසා "සොමි අක්කා" කියලා තවත් අයෙක් හඳුන්වලා දෙන්න කටයුතු කරනවා. මුල්ම සොමි අක්කා වුනේ ඊවා ජයසේකරයි. නන්දා කෙවිටියගල, සිරිමා ප‍්‍රනාන්දු, ධනවති මුණසිංහ සහ පස්සේ කාලෙක ප‍්‍රවිණ නිලියක්වු ටි‍්‍රලිෂියා අබේකෝන් (ගුණවර්ධන)  සොමි අක්කාගේ චරිතය බාරගත්තා. 
මේ ළමා වැඩසටහනට තේමා ගීතයක් විදිහට "මුනි නන්දන සිරිපාද වදිම්" ගීතයේ අනුවාදනය එහෙම එකතුකරලා නව මුහුණුවරක් දෙන්න සිරි අයියාට පුළුවන් වෙලා තියෙනවා. මේ ළමා තීරය අසන ළමයින් චන්ද්‍ර, සුර්ය, නන්ද, මෞර්ය නමින් නිවාස හතරකට බෙදා වැඩසටහනට දායක කරගත්තා. මේ ළමා තීරයට ලංකාවේ විවිධ පළාත් වලින් එකතුවු ළමයින් පස්සේ කාලෙක අපි කවුරුත් දන්නා නමගිය කලාකරුවන්වුනා. කරුණාරත්න අබේසේකර, රිජ්වේ තිලකරත්න, චිත‍්‍රානන්ද අබේසේකර, තලංගම පේ‍්‍රමදාස, වින්සන්ට් පන්ඩිත, ඩෝල්ටන් ද සිල්වා, රවින්ද්‍ර රූපසිංහ, පි.වි. නන්දසිරි, හෙන්රි ජයසේන, ටි‍්‍රලිෂියා අබේකෝන් (ගුණවර්ධන),දොස්තර උපුල් ජයවර්ධන, දොස්තර හඞ්සන් ද සිල්වා ආදින් ළමා තීරයෙන් රටම හඳුනාගත් පිරිසෙන් කිහිප දෙනෙක්.  1953 අවුරුද්දේ මේ ළමා තීරය නතර කරලා දැම්මා. 

සිරි අයියාගෙන් පස්සේ ළමා තීරය ආපහු ඇරඹුනේ කරුණාරත්න අබේසේකර මහතා ළමා හා කාන්තා වැඩසටහන් බාරගැනිමත් එක්කයි. මේ කරුණාරත්න අබේසේකර මහත්තයාගේ කාලේ තමයි ළමා පිටියේ ස්වර්ණමය කාලේ උදාවෙන්නේ. කරුණාරත්න අබේසේකර ප‍්‍රසිද්ධවුනේ "කරු අයියා" නමින්. කරු අයියා ළමා තීරය තුලින් ළමා ගීත රැසක් නිර්මාණය කරලා ඉදිරිපත් කළා. සෑම වැඩසටහනකදිම අළුත් ගීතයක් වැඩසටහන ආරම්භයේදිම ලියා තනු යොදා පුහුණු කරවා ඉදිරිපත් කරන්නට සමත්වුනා.         



කරුණාරත්න අබේසේකර    "කරු අයියා" 

අගහරුවාදා දවස්වල පැයභාගයක් වෙන්කර තිබුණේ  "ළමා රංග පීඨය" නම් වැඩසටහනේ ළමා නාට්‍ය සඳහායි මේ නාට්‍යවලට අවුරුදු 16 න් පහළ ළමයි යොදාගෙන චරිත නිරුපණය කෙරේව්වා. මේ ළමා රංගපීඨය එදා බොහෝ ජනප‍්‍රිය වැඩසටහනක් වුනා. "ටිකිරි සිනා රැලි" නම් වැඩසටහන මඩවල එස්. රත්නායක මහතා බදාදා දවස්වල ඉදිරිපත්කළා. මේ වැඩසටහන සාහිත්‍යට බර නව රචකයින් සඳහා වෙන්කරපු එකක්වුනා. මේ  මගින් ළමා ලිපි, රචනා,ගීත,කවි ආදි විචිත‍්‍රාංගයන් ඉදිරිපත් කෙරුවා.
වයස අවුරුදු 3 ත් 6ත් අතර ළමයින් ඉල්ක්ක කරගත් තවත් වැඩසටහනක්වු "මා වැනි බිලින්දා" වැඩසටහනයි ප‍්‍රචාරය වුනේ බ‍්‍රහස්පතින්දා දවස්වලයි. මෙය කරුණාරත්න අබේසේකර මහතා ඉදිරිපත් කෙරුවා. සෙනසුරාදා දිනවල "ශනිදා හමුව" ලෙසින් සුදර්මන් සිල්වා සම්පාදක ලෙසින් කටයුතු කෙරුව වැඩසටහනක්දවුනා.  

ඉරිදා දිනවල ප‍්‍රචාරය කෙරුනු "සරස්වතී මණ්ඩපය" ළමාතීරයේ ජනප‍්‍රියතම වැඩසටහන වුනා. මේකට විනාඩි 45 ක ගුවන් කාලයක් වෙන්කර තිබුණා. සම්පාදක විදිහට කරුණාරත්න අබේසේකර මහතාත් සංගීතය ඩි.ඩි.ඩැනි මහතාත් සැපයුවා. මෙහි බොහෝ ගීත කරුඅයියා විසින්ම රචනා කරපු ගීතවිමත් විශේෂයක් වෙනවා. ළමා ශිල්පියෙකුවු හේම ශ‍්‍රී අල්විස් ගීත ලිවීමට සරස්වතී මණ්ඩපයට එක්වුනු අයෙක් බව පැවසෙනවා. ශාන්ති දිසානායක, තිලකසිරි ප‍්‍රනාන්දු, එස්.ලියනගේ, නන්දා මාලනි, ඇන්ජලින් ද ලැනරෝල්, අමිතා වැදිසිංහ, මල්ලිකා කහවිට, බුද්ධදාස බෝධිනාගොඩ,  ලීලාරත්න කංකානම්ගේ, එමර්සන් හිප්පොල සරස්වතී මණ්ඩපයට එක්වුනු අය අතරේ හිටියා. මේ නම් අතර ඔයාලටත් හුරුපුරුදු නම් තියෙනවා නේද? ඒ කාලේ ළමා ශිල්පින් තමයි අද සුප‍්‍රකට ගායක ගායිකාවෝ, විද්වතුන් වෙලා තියෙන්නේ.  මේ ළමා මණ්ඩපයෙන් දොරට වැඩිය අද සුප‍්‍රකට ගායක ගායිකාවන් තමයි නන්දා මාලනි, සනත් නන්දසිරි, නලිණී රණසිංහ, ඉන්ද්‍රාණි විජේබණ්ඩාර, නීලා වික‍්‍රමසිංහ, සුජාතා අත්තනායක, ශීලා පරණමානගේ, පුණ්‍යා කත‍්‍රීආරච්චි, දයා හේමන්තා අබේසේකර, චන්ද්‍රා කබ්රාල් හා රූපා ඉන්දුමති ආදි අයත් වෙනවා. 
මේ වැඩසටහන් වල විශේෂත්වුයේ ළමා වැඩසටහන් එසැණින් ඉදිරිපත් කිරිමයි. හොඳ ළමා ගීත පස්සේ තැටිවලට තැටිගත කරගත්තා.  මේ වැඩසටහන් වලට පිටපත් රචනයට තලංගම පේ‍්‍රමදාස, ස්වර්ණ ශී‍්‍ර බණ්ඩාර, විමල් දිසානායක, බුද්ධදාස බෝධිනාගොඩ ආදි අය සහභාගි කරවා ගත්තා.  
1965 අවුරුද්දේ ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත්වුනාට පස්සේ කරු අයියා ස්ථිර සේවයෙන් ඉවත්වෙනවා. වැඩසටහන් සම්පාදක තනතුර නිෂ්පාදක තනතුර විදිහට වෙනස්වුනා. කරු අයියාගෙන් පස්සේ මේ ළමා හා කාන්තා වැඩසටන්  භාරව කටයුතු කරන්නට වරින්වර නිෂ්පාදකයින් වෙනස්වුනා. ප‍්‍රභා රණතුංග, නන්දා ජයමාන්න, ඇග්නස් සිරිසේන, හඞ්සන් සමරසිංහ, පේ‍්‍රමකීර්ති ද අල්විස්, සුනන්දා ධර්මපාල, මහින්ද අල්ගම යන අය නිෂ්පාදකයන් වුනා.



පේ‍්‍රමකීර්ති ද අල්විස්
  
         
"මල් කියන්නේ කාට කාට - ළමයින්ටයි පාට පාට" යනුවෙන් ලියැවුනු තේමා ගිතය අහලා තියේනවාද? එ්ක තමයි "ළමා පිටියේ" තේමා ගිතය. ළමා රංග පීඨය, කනිටු සරසවිය, ළමා සංග‍්‍රහය වැනි විවිධ නම් වලින් මේ ළමා පිටිය සතිය පුරාවටම විවිධ වැඩසටහන් කළා.

1962 වෙළඳ සේවා අධ්‍යක්ෂකවරයා ලෙසින් ගුවන් විදුලියට පත්වෙලා ආපු පස්සේ කාලෙක ගුවන් විදුලියේ සභාපති ධුරය දැරු ලිව් ආර්. විජේමාන්න මහතා සිංහල වෙළඳ සේවය ඔස්සේ ළමා වැඩසටහනක් ඇරඹිමට අදහස් කළා. 1950 ඉදන් ගුවන් විදුලියේ ගද්‍ය ගායනා ඉදිරිපත් කරන සුමනා ජයතිලක මහත්මියට "හඳමාමා" ළමා වැඩසටහන ඉදිරිපත්කරන්නට පැවරුවා. හඳමාමා වැඩසටහනේ මුල්ම නිෂ්පාදක වුනේ පසුකාලෙක චිත‍්‍රපට අධක්ෂක කෙනෙක්වු කේ. එ්. ඩබ්ලිව්. පෙරේරා මහතායි. 1963 දෙසැම්බර් 14 වෙනිදා හඳ මාමා මුලින්ම ගුවනින් විකාශනය වුනා. එතැන් ඉදලා අද දක්වාම නොකඩවා ප‍්‍රචාරයවෙන එකම ළමා වැඩසටහන තමයි  "හඳ නැන්දා" ලෙසින් අදටත් සුමනා ජයතිලක මහත්මිය හඳමාමා ඉදිරිපත් කරනවා. සුමනා මහත්මියට ආරියරත්න මිල්ලවිතානාච්චි සහ ලැම්බට් පෙම්මාවඩු වැනි නිවේදකයින් සහායවෙලා තියෙනවා.


 සුමනා ජයතිලක   "හඳ නැන්දා" 


ලොව ගණඳුරු දුරුකරන්න
ගුණ නුවණට මඟ පෙනෙන්න
පුංචි අපට දැනුම දෙන්න
හඳ මාමාට සවන් දෙන්න

මේ තියෙන්නේ සුමනා ජයතිලක නැන්දා ලියුව මිල්ටන් පෙරේරා ගයනා කරපු හඳමාමා ළමා වැඩසටහනේ තේමා ගීතය තමයි. 

ළමා වැඩසටහන් ගුවන් විදුලියෙන් අහන්නට ළමයින්ගේ උනන්දුව අඩුවෙලා යන්නට එක හේතුවක්වුනේ රුපවාහිනී යන්තරේ ඇවිල්ලා කනට ඇහෙන්න විතරක් නෙමෙයි ඇහැට පෙනෙන්නත්  වැඩසටහන් විකාශය වෙන්න ගත්තුඑක. එදා එ් ළමා පිටියේ දඟකරපු ළමා ශිල්පින් අද වියපත්වෙලා ගිහිල්ලා. සිරි අයියලා, පේ‍්‍රමකිර්ති ද අල්විස්, කරු අයියලා මඩවල එස්, රත්නායකලා ලොවෙන් සමු අරන් ගිහිල්ලා. හැබැයි අදටත් අපිට ඇහෙන ළමා පිටියේ ළමා ගීත රාශියක් කලාකෙත රසකරවමින් අදටත් සුරැකිව තියෙනවා. 

16 comments:

  1. ඔබගේ දිරිගැන්විමට බොහෝම ස්තූතියි. බලපු කෙනෙක්ගෙන් වත් කිසිම ප‍්‍රතිචාරයක් නොලැබෙන කොට මොකටද මෙච්චර මහන්සිවෙලා බ්ලොග් ලියන්නේ කියලා හිතුනා. හොද දෙයක් දැක්කාම හොදයි කියන්න තරම් අපේ මිනිස්සු අවංක නෑ. හැබැයි නරක දෙයක් දැක්කොත් ඒක අනුකරණය කරන්න ඊට පස්සේ ඒකට පළුයන්න බනින්න තරම් දක්ෂයි. කමක් නෑ මේ මනුස්ස ජාතියේ ජන්ම ගතිය.

    ReplyDelete
  2. මචං බ්ලොග් එක මරු ඇ

    ReplyDelete
  3. පුංචි කාලේ මමත් ළමා පිටියට සම්බන්ද වුන කෙනෙක් හැටියට මේ පොස්ට් එක දැක්කහම හුඟක් සතුටු හිතුනා.

    පොස්ට් එකක්ත් එක්ක සොඳුරු මතකයන් ගොඩකට ආපහු හිත ඇදිලා ගියා..

    ReplyDelete
  4. මීට කලින් කීප වතාවක් මේ පැත්තේ ඇවිත් තියනවා. අමාරුවෙන් තොරතුරු හොයාගෙන මේ ලිපිය ලියා ඇති බව පෙනෙනවා. බොහොමයක් තොරතුරු වලට අන්තර්ජාලයෙන්ම ලින්ක් දුන්නානම් හොඳයි.

    මල් කියන්නේ කාට කාට ගීතයේ වීඩියෝ හෝ හඬ පථය ලිපියට ඇතුලත් කලානම් හොඳයි.

    http://www.topsinhalamp3.com/songs/nanda-malini-mp3-songs/mal-kiyanne-kata-kata-mp3-song.php

    තවත් තොරතුරු මූලාශ්‍ර

    http://www.sundayobserver.lk/2001/pix/PrintPage.asp?REF=/2011/01/02/mon02.asp

    http://www.nation.lk/2010/10/31/eyefea1.htm


    ReplyDelete
  5. මම බොහෝවෙලාවට මේ බ්ලොග් එක කියවනවා. ස්තුතියි

    ReplyDelete
  6. බොහොම ස්තුතියි අටං. විචාරකගේ අදහසත් හිතට ගත්තා. ඉදිරියේදි තවත් හොදට ලියන්නම්. කොමෙන්ටු දාපු ඔක්කෝටම ස්තුතියි

    ReplyDelete
  7. අටංගෙ මඟපෙන්වීම ඔස්සේ ඔන්න අපි ආවා. අගේට ලියන බ්ලොගක් නෙව..
    ජයවේවා..!!

    ReplyDelete
  8. අටං පෙන්නපු පාරෙ ආවේ.නියමයි. දැන් දිගටම එනවා.

    ReplyDelete
  9. තැන්කිවු ආවට. එක්කගෙන යන්නම් කොළොම්පුරේ වටේම

    ReplyDelete
  10. අටංපහුරේ අටංට වගේම මේ බ්ලොග් එක හදාගන්න ඇහැට නොදැක කටහඩක් නොඇසී අන්තර්ජාලයෙන් ඔස්සේ උදව් උපකාර කල අනුෂ නදුන් රණවිර (www.anusha.info) මිතුරාටත් බොහෝමත් ස්තූති කරමි.

    ReplyDelete
  11. අටංපහුරේ අටංට වගේම මේ බ්ලොග් එක හදාගන්න ඇහැට නොදැක කටහඩක් නොඇසී අන්තර්ජාලයෙන් ඔස්සේ උදව් උපකාර කල අනුෂ නදුන් රණවිර (www.anusha.info) මිතුරාටත් බොහෝමත් ස්තූති කරමි.

    ReplyDelete
  12. විදුල පටන් ගත්තු කාලේ ළමා සන්නිවේදකයෙක් හැටියට හිටියා.... හරි සොඳුරු අතීතයක්

    ReplyDelete
  13. අතීතය ඉතා සුන්දරය. එවන් කලාකරුවන් දැන් බිහි වීම අඩුවී ඇත්තේ රූපවාහිනිය නිසාද?
    ස්තුතියි අසංග. ස්තුතියි අජිත්, මෙතනට මග පෙන්වූවාට.

    ReplyDelete
  14. ලංකාවේ පළමු ළමා ගීතය කුමක්ද

    ReplyDelete
  15. ඉස්සර ලමා පිටියේ තේමා ගීතය තමයි "සුරතල් අපේ පෙනීලා" ගීතය
    https://www.youtube.com/watch?v=o8jM3rnpj8I

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න