Tuesday, November 1, 2016

පොලීස් ජීප් එකේ සැප සීට් එකක්


 

මෙන්න මේ සිද්දිය මට වුනේ මීට අවුරුදු පහලොවකට විතර කලින්. එත් මේ ළඟදි සිද්දවෙච්චි සිදුවිමක් නිසා මේ කතාව ආයෙමත් මතකයට නැගිලා ආවා.  මම අපේ ගෙදර ලොකු වැඩක් කරන්න හිතාගෙන ප්ලෑන් කරන් හිටියා. එත් මේ ප්‍රොජෙක්ට් එක දවස්ගානක් ඇදෙන වැඩක් නිසා මේක කරන්න බාස් කෙනෙකුට දෙන්න බෑ. එ් නිසාම මේ වැඬේ මමම කරන්නයි හිතා ගත්තේ. මේ වැඬේට උදව්වට එන්නයි මගේ නාවික පුහුණුවේ හිටපු බැජෙක්වුන නදිෂයාට කතා කෙරුවා. නදිෂ් කියන්නේ හිත හොඳ කෙල්ලෙක් වගේම හොඳ වැඩකාරයෙක්. එයාගේ තාත්තාට ලියවන පට්ටල් එහෙම තියෙන වර්ක් ෂොප් එකක් පවා තියෙනවා. ඉතිං කිව්වාත් වගේ මිනිහා පොඩි වෙල්ඩිං ප්ලාන්ට් එකයි හෙඞ්ෂිල්ඞ්, වයර් රෝල්, අඩුම කුඩුම ඔක්කෝම අරගෙන හොරණ ඉදන් බස් එකේ අපේ ගෙදර ආවා. දෙන්නාත් එක්ක කොළඹ ගල්වලේ පැත්තේ රවුමක් ගිහිල්ලා වැඬේට අවශ්‍ය කරන යකඩ එල් ඇන්ගල්, අමානෝ තහඩු, රිවට් ඇන විතරක් නොවෙයි වෙල්ඩිං කුරූ පැකට් දෙකක්ම අරගත්තා. මගේ ඩිසයින් එකට ඇදපු අපේ ප්‍රොජෙක්ට් එක වැඩ ආරම්භකලේ පැරණි සුවිශාල වලව්වක් වගේ ගෙයක් තිබුණු අල්ලපු වත්තේ. එතකොට එ් නිවස බිමට සමතලා කරලා දාලා කැලේ වැවිගෙන ආපු වත්ත විතරයි තිබුනේ. දැන් නම් එ් වත්තේ තට්ටු පහලොවක ෆලැට් එකක් හදාගෙන යනවා. වෙල්ඩිං කරන්න කරන්ට් වයර් එහෙම අපේ ගෙදරින් අල්ලපු වත්තට තාප්පේ උඩිං ඇදලා වැඩ කරන්න පටංගත්තා. ඔය අතරේ මගේ පාසල් මිතුරෙකුවු වන්නියා ඉදලා හිටලා ඇවිත් උදව්වක් දෙකක් කරලා යනවා. ඔය වන්නියායි මායි තමයි නාවික පුහුණු පාසලට බැදුනේ. මේ වෙනකොට මිනිහා දෙවන නිලධාරියෙක් (සෙකන්ඞ්  ඕෆිසර්) විදිහට වෙළඳ නැව් වල සේවය කරනවා. දැන් දවස් කිහිපයකට ඉස්සරින් අපි‍්‍රකාව පැත්තේ ටෑන්කර් එකකට නගින්න යනවා කියලා ගියා. ඔන්න ඉතිං කතාවට බහිමුකෝ. මේ මගේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න සුමාණ දෙකකට කලියෙන් විතර තමයි වන්නියා නැවකින් බැහැලා ලංකාවට ආවේ. නදිෂයයි මායි අපි දෙන්නා කොහොමත් ටිකක් රෑ වෙනකම් වැඬේ කරනවා. මොකද ඉක්මනටම මේ වැඬේ ඉවරකරලා නදිෂයාවත් ගෙදර අරින්න  ඕනේ හින්දා. ඔන්න එක සෙනසුරාදා දවසක අපි හවස හතට විතර වැඬේ ඉවරකරළා හොඳ බාත් එකක් එහෙම දාලා මහන්සි ඇරගන්නත් එක්ක ටිවිඑක බල බල හිටියේ. එකක එක පාරටම වන්නියා කඩාගෙන ආවා.
මචං මොකද කරන්නේ?”
‘‘ඇයි මචං?”
‘‘සෙට්වෙමුද?”
‘‘කොහේද?”
‘‘යමු බිච් එකට. මගේ යාළුවෙක් එනවා කිව්වා. නවින්නුත් එයි.”
නවින් කියලා කිව්වාට මිනිහා ගේ ඇත්ත නම එ්ක නෙමෙයි. පවුලේ එකම පිරිමි දරුවා වෙච්චි නවින් ගේ තාත්තා ලංකාවේ රජයේ ආයතනයක ජෙනරාල් පොස්ට් එක දැරුවා. අපේ පාරට අල්ලපු පාරේ තමයි නවින් පදිංචිවෙලා හිටියේ. ඔය නවින් අපිට වඩා වයසින් බාලයි. අල්ලපු පාරේ උන් එක්ක ක‍්‍රිකට් ගහන්න ගිහිල්ලා සෙට්වෙච්චි එකෙක්.  ඕකා කට ඇරියොත් කියන්නේ ගල් පැලෙන අතේ පැලවෙන බොරු හින්දා අපි මිනිහාට දැම්මේ නවින ගල්පැලෙන කියලා. පස්සේ කාලෙක නවින් ගල්පැලෙන කියලා නම රෙජිස්ටර්වුනා. දැනටත් මිනිහාට නවින් ගල්පැලෙන කිව්වාම කවුරුත් දන්නවා. නවිනයාගේ ගල්පැලෙන බොරුවලට මගේ එච්චර කැමැත්තක් නැති හින්දා මම නවිනයාව ආස්සරෙන් පොඞ්ඩක් විතර ඈත් කරලා තිබ්බේ. එත් සෙට් වෙන්න තියේනවා නම් තරහා උන් එක්ක වුනත් මොකද?  ඔන්න ඉතිං වන්නියි මමයි නදිෂයයි අපි තුන්දෙනා ගෙදරින් පිටත්වුනා. අපි ගෙදරින් ගියේ නදිෂයා නිදාගන්න ඇදපු සරමයි මගේ ෂොටයි පිටින් තමයි. එතකොට නම් වෙලාව රෑ අටහාමාරට කිට්ටුවෙන්න ඇති. ගල්කිස්ස හංදියට ආපු අපිට නවිනයයි වන්නිගේ යාළුවෙක් වෙච්චි තුසිතවත් හමුවුනා. මමවත් නදිෂයාවත් තුසිතව අඳුනන්නේ නෑ. හන්දියේ ෆුඞ් සිටියෙන් බොතල්, ප්ලාටික් කොප්ප එහෙම අරගෙන ස්ටැන්ඞ් විව් හෝටලෙන් බයිට් එකක් එහෙම දාගෙන බිච් එකට යන්න පිටත්වුනා. එදා ගහපු බ‍්‍රෑන්ඞ් එක නම් මතක නෑ. හැබැයි නැවේ ඉදලා ආපු වන්නියා ළඟ සල්ලි එහෙම තිබුණ හින්දා හොඳ ජාතියක් ගැහැව්වා කියලා නම් මතකයි. මවුන්ට් ලෙවිනියා හොටලේට ළඟින් බිච් එකේ ගලක් උඩට සෙට් වෙච්චි අපි නැව්වල සිද්ධවෙච්චි රසවත් කතන්දර එහෙම කියමින් අපේ පාටිය ජයටම කරගෙන ගියා. දැන් නම් බිච් එකේ ගල් උඩ බොන්න බෑ තහනම්. බොතල් දෙක ඉවරවෙනකොට රෑ දොලහත් පහුවෙලා. ගොඩාක් රෑ වෙලා කියලාත් මතක්වුනේ දැන් තමයි. මුහුදු හුළං පාරට තවත් වැදිලා දැන් ඉතිං හොඳ ගනන් තමයි. ගල් වැටිය උඩින් අමාරුවෙන් නැගිට ගත්තු අපි පස්සපැත්තේ  තිබුණ වැලි ටිකත් ගසලා දාලා එන්න පිටත්වුනා. ඔන්න රේල් පාරෙන් එහා පැත්තට පැනපු අපි සෙට් එක පිස්සු කතා කියව කියවා පාර දිගේ ගාලූ පාර පැත්තට එනවා. එ් අතරේ තුසිතයා කොහෙන්දෝ අරගත්තු ත‍්‍රයිලෝක විජයපත‍්‍රම් එකක් පත්තු කරගත්තා. මමවත් නදිෂයාවත් ඔය දුම්පානයෙන් තොරවෙච්චි අය නිසා ඔය වැඬේට එච්චර කැමැත්තක් දැක්වුයේ නෑ. බොරු නෙවෙයි හරිද. තුසිතයයි නවින්නුයි සුරුට්ටුව උරන අතරේ කොහොම හරි අපි දැන් Cross Road  එක දිගේ සර්කියුලර් පාර ලඟටත් ආවා.
‘‘මචං මෙතනින් සර්කියුලර් පාරෙන් ගිහිල්ලා සුපර්මාකට් එක පැත්තෙන් යමු.”
මම කිව්වා.
‘‘බෑ බං මේ තුසිතයා ඉන්නේ දෙහිවලනේ ඔහොම උඩට ගිහාම ගාලූපාරෙන් මුව බස් එකකට දාලා හිමිහිට ගාලූ පාරෙන් ගෙදරයමු.”  
වන්නියා කිව්වා. Cross Road  එක පිහිටියේ විශාල බෑවුම් පාරකයි.  ගාලූ පාරට යන්නට  ඕනෑ නම්  බෑවුම තරණය කරන්න වෙනවා.  
‘‘ඉතිං මේ ත‍්‍රිලොකේ එක්ක ගාලූපාරට යන්න බෑනේ.” 
‘‘හිමිහිට ගහගෙන උඩට යමු. යනකොට ඉවරවෙයි.” 
වන්නියා කිව්ව නිසා අපිත් හිමිහිට කන්ද අදින්න පටන්ගත්තා. රොකට්ටුවෙ අවසන් අඩියට එද්දි අපි ඔක්කෝම  ගාලූ පාර අද්දරට ආවා. ගල්කිස්ස හන්දිය දිහාවේ ඉදන් හෙඞ් ලයිට් ගහගෙන වාහනයක් පිම්මේ අපි දිහාවට එනවා මම ඇස්කොනකින් දැක්කා. ඇගේ මවිල් කෙලින්වෙන්නවත් වෙලාවත් ගියේ නෑ. නදිෂයාවත් අල්ලාගෙන මම පස්සට පැනගත්තා. පේමන්ට් එකේ ගැට්ටට හිටින්න නතරකල වාහනේ
‘‘තොපිලා කොහේද හු #$%*  පුතාලා ටික මේ යන්නේ?”  
තව තවත් කුණු හරුප වැලක් ගලාගෙන එනවා.
‘‘කැ@!%  තොපි කොහේද මේ රෑ යන්නේ? තොපිලා බීලා නේද?   ගෙවල් නැද්ද      ”
මේ මොකාද යකෝ මේ. හෙඞ් ලයිට් එළියෙන් නීලංකාර වෙච්චි ඇස් දෙක පිහිදාලා බලන කොට අපේ කකුල් දෙක ඉස්සරා නවත්තලා තිබුනේ ගල්කිස්ස පොලීසියේ ජීප් එක. දුවනවාද නැත්නම් ඉන්නවාද කියලා හිතාගන්නත්  බැරිවුනා. ජීප් එකේ ඉස්සරා හිටියේ පොලීස් සුට් එක ඇදපු ඩ‍්‍රයිවරයයි කළු පාට ටී ෂර්ට් එකක් ඇදපු එකෙක් විතරයි. පිටිපස්සේ තව දෙතුන් දෙනෙක් හිටියා එත් කළුවරේ පෙන්නේ නෑ. මුන් එක්ක වලියක් දාගන්නත් බෑ පිටි පස්සේ ඉන්න සෙට් එක නෙලයි උතුර දකූණ මාරුවෙන්න. එ් අස්සේ කළුපාට ටී ෂර්ට් කාරයා ලොවෙත් නැති කුණු හරුප පලනවා හරියට උගේ පුත්තු ටික බීලා අහුවෙලා වගේ. වෙලාවට කොහොම හරි තුසිතයාගේ අතේ තිබ්බ රොකට්ටුව ඌ කානුවකට විසිකරලා. 
‘‘අපි මේ බිච් එකේ පාටියක් දැම්මා.”
වන්නියා කිව්වා විතරයි.
‘‘ඈ වේ  ~*%@  පාටි දාන්න මේ මහ රෑ? නැගපියව් ජීප් එකට.”
වන්නියා තව මොනවාද කියන්න හැදුවා විතරයි කළු පාට ටී ෂර්ට් කාරයාගේ  කටින් කණුහරුප ගලාගෙන එන්නේ හරියට උගේ මව්බසාව වගේ. මු සමහරවිට බලපිටිය රත්ගම පැත්තේ එකෙක්ද දන්නේ නෑ. එ් පැත්තේ උන් ඉපදෙන්නෙත් අම්මාට *+@!   කියාගෙනලූ මම අහලා තියෙනවා. මීට පස්සේ යනවා නම් අපායටත් කලියෙන් යන්න කියලා මම අහද්දි වෙන එකෙක්ට බහ දීලා ඉවරවෙච්චි කෙල්ලෙක් මට කිව්වා. ඉතිං එදායින් පස්සේ යන  ඕනේම මල දානෙකටම වේලාසනින් යන්න තමයි ට‍්‍රයි කරන්නේ.  ඕකත් ආදර්සෙට අරන් ජීප් එකේ පිටිපස්සේ දොරත් ඇරන් මම ගොඩවුනා. හුටා ඇතුලේ හිටියේ පොලීසියේ උන් නෙමෙයි. කොහෙන්ද අල්ල ගත්තු කුඞ්ඩෝ තුන්දෙනෙක්. එතකොට කළු ටීෂර්ට්කාරයා  මූ අපිට සද්දේ දාන්නේ තනියම ඉදන්. මමත් ජීප් එකේ දෙපැත්තට ගහපු සීට් එකේ හරිබරි ගැහිලා ඉද ගත්තා. අනිත් උන් ටිකත් නැග්ගාට තුසිතයාටයි නදිෂ්ටයි වාඩිවෙන්න සීට් තිබුන් නෑ. සරම වලාපට ගහගත්තු නදිෂයා ජීප් එකේ බිම වාඩිවුනා. ඔන්න මුන් දැන් අපිවත් අරන් දෙහිවල පැත්තට යනවා. අසුඅට අසුනමය කාලේ නම් සෙට් එකම ටයර් සෑයේ තමයි. එ් අස්සේ හුලංපාරට නින්දත් යනවා. මම ෆුල් ට‍්‍රයි එක දුන්නේ නින්ද යන එක වලක්වා ගන්නයි. මඟ දිගටම පාරේ හිටපු මළ ගෙවල් වල නයිට් ගහලා සිගරට් හොයන්න පාරට ආපු උන්, ෆුල්  ඕගනික් සුරුට්ටු හොයන්න ආපු උන් විතරක් නෙමෙයි පාන්දරට අපේ පැත්තේ ගෙවල් වල නයිට් සිකුරිටි කරනා සුද්දෝදනලා එකෙක් දෙන්නෙක් අල්ලලා දාගත්තා. දැන් ඉතිං ජීප් එක පොල් පටවලා වගෙයි. ගල්කිස්ස කනත්ත ගාවට ගිහිල්ලා ආපහු හරවා ගත්තු ජීප් එක ගල්කිිස්ස පැත්තට එන්න පටන්ගත්තා. ජීප් එකේ ඉඩ නැති හින්දාද කොහේදෝ  කළු ටීෂර්ට්කාරයාගේ  මව්බාසාවේ කුණු හරුප ටිකක් අහගත්තු උන් එකෙක් දෙන්නෙක්ට බේරිලා යන්න ලැබුණා. මට ඔය ටික එච්චර මතක නැත්තේ බීලා හිටපු බඩුවල පවර් එකට නින්ද ගිය නිසයි. මට ආයෙත්  ඇහැරුනේ ජීප් එක පොලිසියට දානකොටයි. මුං ජීප් එක පොලීසිය වටේ වටයක් කරකවලා ඉස්සරා ඇවිත් නතර කළා.    
‘‘බැහැපියව් වේ %$@    පුතාලා ටික. තොපිලට අද ? මෙහේ බුදියන්න පුළුවනි.”
ජීප් එකෙන් එළියට බැස්ස කළු ටී ෂර්ට්කාරයා කිව්වා. බිමට බැස්ස වන්නියා  කළු ටී ෂර්ට්කාරයා එක්ක කතා කරන්න හැදුවා විතරයි.
‘‘නෑ නෑ කතා  ඕනේ නෑ. යමල්ලා ඔක්කෝම ඇතුලට.”
මිනිහා ඇතුලට ගියා. අපිත් මොකක්ද කාපු රිලව් වාගේ පස්සේන් ගියා. ඇතුලේ බංකුවල වාඩිවෙලා හිටපු උන් ටිකත් මිනිහා දැක්කාම නැගිට්ටා. දැන් ඉතිං ඔක්කෝම දොලහකට වැඩියි. 
‘‘ගනිව් තොපිලා අයිඩෙන්ටි කාඞ් ටික.” 
හුටා සරමේ කොහේද පර්ස් දාන්නෙ. නදිෂයාගේ පර්ස් එක අපේ ගෙදර. අපේ අයිඩින්ටි කාඞ් දික් කෙරුවා. 
‘‘කොහේද ගෙවල් ?”
‘‘ගල්කිස්සේ.”
‘‘ගල්කිස්සේ තමයි කොහේද?”
‘‘ටෙම්පල්ස් රෝඞ් එකේ.”
‘‘ආ ටෙම්පල් පාරේ. .....  කොහේද වැඩ කරන්නේ?”
‘‘නැවේ.”
‘‘එතකොට උඹ කොහේද?”  
මගෙන් පස්සේ වන්නියා දිහාවට හැරනු කළු ටිෂර්ට්කාරයා ඇහුවා.
‘‘හුළුදාගොඩ පාරේ. වැඩකරන්නේ නැවේ.”
ඉතුරු ටික අහන්නත් කලියෙන් වන්නියා උත්තර දුන්නා. ඊළඟට හිටියේ නදිෂ්. දෙන්න අයිඩින්ටියක් නෑ.
‘‘කෝ අයිඩින්ටිය.”
‘‘ගෙනාවේ නෑ.”
‘‘ඈ යකෝ තෝ දන්නේ නැද්ද මේ කාලේ අයිඩින්ටි ඇරගෙන යන්න  ඕනේ කියල? කොහේද ගෙවල්?”
‘‘හොරණ.”
‘‘මෙහේ මොකද කරන්නේ?”
‘‘මෙයාලගෙ ගෙදර වැඩකට උදව්කරන්න ආවා.”
‘‘මොකක්ද රස්සාව?”
‘‘නැවේ.”
‘‘ආ තොපිලා ඔක්කෝම නැව්කාරයෝ. රෑ තිස්සේ තොපිලා මොකද කරන්නේ?”
‘‘නෑ මම ගිය සුමානේ නැවෙන් ආවේ එකට පාටියක් දුන්නා බිච් එකේ.”
‘‘එතකොට තමුසෙත් නැවේද?”
තුසිතයාගේ අයිඩින්ටිය අතට ගත්තු පොලීස් කාරයා ඇහුවා.
‘‘නෑ සර්.” 
‘‘කොහේද ගෙවල්?”
‘‘රඹුක්කන සර්.”
තුසිතයා හිටියේ දෙහිවල එත් උගේ අයිඩෙන්ටියේ ඇඞ්රස් රඹුක්කන. මේකා මොකක් හරි හොර සීන් එකක් හින්දා දෙහිවල ඉන්නවා කිව්වේ නෑ. 
‘‘රඹුක්කන ඉදලා ආවේ මොකටද?”
‘‘මෙයාගේ පාටි එකට.”
‘‘පාටි එකට එන්න රඹුක්කන ඉදලා? කීයට ආවේ?”
‘‘උදේ ආවේ සර්.”
‘‘මොකේද තමුසේ ආවේ?”
‘‘කොච්චියේ සර්.”
‘‘කෝ ටිකට් එක? ගන්නවා බලන්න.”
‘‘ටිකට් එක ඉතිං ඉස්ටේසමෙන් ගන්නවානේ සර්”
තුසිතයා ඇදලා පැදලා උත්තර දුන්නා. එ් උත්තරේ අදටත් මගේ මනසේ රැදිලා තියෙනවා. කළු ටී ෂර්ටකාර පොලීස්කාරයාට තුසිතයාගේ ඇඹරිල්ල ඇල්ලූවේ නෑ. එ් අස්සේ වන්නියා.
‘‘මේ ඉන්නේ අර දෙපාර්තුමෙන්තුවේ ජෙනරාල් මහත්තයාගේ පුතා.”
මම වටපිට බැලවා කෝ නවිනයා කියලා. මේ ගස් මැට්ටා අපිත් එක්ක අල්ලන් ආපු දෙන්නෙක්ට පිටපස්සට වෙලා හැංගිලා ඉන්නවා. එතකොට කාවද වන්නියා මේ පෙන්නන්නේ? ඇස් ඇරගන්න බැරිතරමට හොඳටම කුඩු ගහලා අල්පද දයන්න වගේ කොන්ද කුදු කරගෙන උරහිසේ ඔලූව තියාගෙන ඉන්න බැරිගානට බෙල්ල කඩා වැටුනු පට්ට කුඞ්ඩෙක්ව  වන්නියා වෙරිමරගාතේ පෙන්නනවා. මගේ ඉස්කෙස් ගස් ඔක්කෝම කෙලින්වුනා. දනිස් පොල්කටු දෙකත් පණ නැතිවුනා වගේ දැනුනා. මේ මෝඩ ගොං අලියා වැඬේ කන්නයි හදන්නේ. මම වැලිමිටෙන් ඇන්නා. එත් මු නවත්තන පාටක් නෑ. 
‘‘යකෝ  ඕකා නෙමෙයි නවිනයා.”
මම වන්නියාගේ කනට කිට්ටු කරලා කිව්වා. එ් පාර තමන් පෙන්නන්නේ වෙන එකෙක් කියලා දැනගත්තු වන්නියා කලබලවුනා.
‘‘ආ නෑ නෑ. මෙයා නෙමෙයි අර ඉන්නේ ජනරාල්ගේ පුතා.” 
‘‘එහෙනම් උඹලා හතරදෙනා පලයල්ලා. මම මේකාව තියාගන්නවා. හෙට ඇවිල්ලා මුව ගන්න පුළුවනි.”
තුසිතයා ගේ ඇඹරිල්ල ඇල්ලූවේ නැති පොලීස්කාරයා අපිට යන්න කියලා තුසිතයාව තියාගත්තා. එකට බීලා එකට ආපු අපේ එකාව දාලා යන්න කැමති නැතිවුනු වන්නියා පොලීස්කාරයා එක්ක කතාවට ගියා.
‘‘උඹලාට යන්න බැරිනම් උඹලත් ඌ එක්කම අර කූඩුවේ හිටපල්ලා. මොකද කියන්නේ? යනවාද නැද්ද?”
‘‘මගේ පාටියට රඹුක්කන ඉදලා ආපු එකා පොලීසියේ දාලා යන්න බෑ සර්.”
‘‘යකෝ හෙට උදේට ඌව ගන්න පුළුවනි. උඹලා දන්නේ නැද්ද කූඩුව හිස් තියන්න හොඳ නෑ කියලා? දැන් පලයව්. තව කතාකරන් ආවෙත් උඹලා ඔක්කෝම දානවා කූඩුවට.”
මගේ වැඬේට ආපු නදිෂයාවත් කූඩුවට දැම්මොත් අපේ ගෙදරින් විතරක්නොවෙයි නදිෂ් ගේ ගෙදරින්නුත් පොරියල් එකක් කන්නයි වෙන්නේ. අනික මගේ ප්‍රොජෙක්ට් එකේ වැඩෙත් හබක්. මම වන්නියාව ඇදගෙන පොලිසියෙන් එළියට ආවා. එත් මේකා ආපහු ඇතුලට ගිහිල්ලා තුසිතයාව බේරගෙන එන්නයි හදන්නේ. 
‘‘මචං උඹ දැන් ඇතුලට යන්න එපා.  ඕකා අපිවත් තියා ගනියි. ” 
‘‘එහෙම කොහොමද තුසිතයාව තියාගන්නේ. උඹට  ඕනේ නම් පලයන් ගෙදර. මම ගෙදර යන්නේ නෑ තුසිතයා නැතිව.”
වන්නියා වෙරිමරගාතේ ලවක් දෙවක් නැතිව කියවනවා. එළියේ ගාඞ් පොයින්ට් එකේ හිටපු කොස්සෙක්ට උගේ කතාව ඇහුනා.
‘‘මල්ලිලාට දැන් යන්න දෙන්න බෑ. ලොක්කා මටත් ලෙඬේ දානවා ඇතුලට ගියොත්. දැන් ගිහිල්ලා හෙට උදේට ඇවිල්ලා එයාට ගන්න පුළුවනි.”
පොලීස්කාරයා අපිට ආයෙත් යන්න දුන්නේ නෑ. මම කොහෝම හරි වන්නියාව ඇදගෙන ගෙදර ආවා. පහුවදා උදේම හොඳට නාලා ජෙන්ටල්මන් වගේ කිට් එක ගහලා සපත්තු එහෙම දාගෙන මමයි වන්නියයි ගියා පොලිීසියට. ගිහිල්ලා වාඩිවෙලා හිටියා අර අපිව අල්ලන් ආපු කළු ටීෂර්ට්කාරයා එනකම්. තුසිතයා ෂර්ට් එක නැතිව ඩෙනිම පිටින් කුඩුව ඇතුලේ හිටියා. හැම ඉරිදාම ඇවිල්ලා පොලීසියේ තියෙන ෆයිල් වල අත්සන් දාන ලෝක අයි ආර් සි කාරයෝ පොලීස්කාරයන්ට කතාකරන්නේ මචං ලෙවල් එකෙන්. ඔය ඔක්කෝම ජෝගි බලාගෙන ඉන්න කොට අර  කළු ටීෂර්ට්කාරයා හොඳට නිදාගෙන ඉදලා එනවා ඇස්වල කබ කඩකඩා.
‘‘ආ උඹලා ආවද යාළුවා එක්කරගෙන යන්න. එයී මේ මුන් නැව්කාරයෝ ටිකක් ඊයේ බිච් එකේ බිලා පාටි දාලා. මම මුන්ගේ එකෙක් තියා ගත්තා.”
කළු ටිෂර්ට්කාර පොලීස්කාරයා ලොකුවට වගේ තව එකෙකුට කිව්වා. මුළු පොලීසියේම  හිටපු උන් අපි දිහා බැලූවේ නැව්කාරයෙක්ව දැකලා නැති ගානට.
‘‘ ඕ.අයි.සිි තව ටිකකින් එයි. ආවාම උඹලාගේ එකාව අරගෙන යන්න පුළුවනි.”
කියලා මිනිහා යන්න ගියා. ඊට පස්සේ  ඕ.අයි.සි ආවාම එයාව හමුවෙන්න ගියා. ඊටත් පස්සේ එච්.කිව්.අයි එනකම් උදේ දහය වෙනකම් හිටියා. ඊටත් පස්සේ පොලීස් ඇපදෙන්න  ඕනේ කරන කොලයකින් දහයක් පොටෝ කොපි ගහන්න එන්න ඇරියා. එ්වාගේ තවත් චාටර් දෙක තුනක් කාලා අන්තිමේදි තුසිතයාව දවල් දොලහ වෙද්දි එළියට ගත්තා. මුව ඇතුලට දාලා තියෙන්නේ සැකපිටලූ. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ තමයි. එදායින් පස්සේ තුසිතයාව නම් ඇහැට දැක්කේ නෑ. පොලීසියෙන් එළියට ආපු වන්නියා මගෙන් මෙහෙම ඇහැව්වා.
‘‘ අර කළු ටී ෂර්ට් එක ඇදපු පොලීස්කාරයා එක්ක කතා කරලා ෂේප් කරගත්තානම් අපිට මෙච්චර චාටර් එකක් කන්නවෙන්නේ නෑනේ. එත් තෝ මොකටද අරූ කිව්ව ගමන් ජීප් එකට නැග්ගේ? ”
‘‘ඔක්කෝටම ඉස්සෙල්ලා  ජීප් එකේ හොඳ සැප සීට් එකක් අල්ලගන්න මචං.”

22 comments:

  1. පොලිස් ජීප් එකේ ගියත් සැපට යන්න ඕනේ. මොලේ තියන කොල්ලෙක්.

    ReplyDelete
    Replies
    1. තාමත් බැනුම් අහන්නේ ඔය සිට් එකේ කේස් එකට තමයි.

      Delete
  2. උඹ වාගේ මිනිහෙක්

    ReplyDelete
  3. ඔය වගේ පොලිස් කටු මාත් කාලා තියෙනවා. ඉස්සර රෑ නයින් තර්ටි ශෝ එක බලලා එනකොට මිරිහානේ පොලිසියෙ ජීප් එකට දාගන්නවා. බලු වෑන් එක කියලා කිව්වේ ඒකට. අරන් ගිහින් පොලිස් ග්‍රවුන්ඩ් එකේ තුත්තිරි ගලවන්න දානවා එලිවෙන කම්.

    ගල්කිස්ස මටත් හොඳට හුරු නගරයක්.

    ReplyDelete
    Replies
    1. මේ ළගදි කාපු පොලිස් කට්ටත් ලිපියක් ලෙසින් ලියන්න හිතාගෙන ඉන්නවා. ඔබගේ ගල්කිස්ස ගැන ලිපියත් කියව්වා. ඔබ ඔය කියන කාල වකවානු කොයි කාලේද? මහජන පුස්තකාලේ තියෙන්නේ සුපර් මාකට් එක ඇතුලේ. ගල්කිස්සේ තිබුන ප්‍රසිද්ද හොටලයක්වුයේ ඊජිප්ෂන් හෝටලයයි.

      Delete
    2. මේ කියන්නේ අසූවේ මුලම කාලය. ලා ලැන්ගුස්ට්‍රි එකේ තමයි මගේ මුල්ම රස්සාව. ඊජිප්ෂන් හෝටලය මතකයි. මහින්ද මල් ශාලාව ගාව නේද?

      Delete
    3. ඔව් මහින්ද මල්ශාලාවට එහායින් තමයි . ඊජිප්ෂන් හෝටලේ බිෆ් කොත්තු කන්න පොඩි අපිව බාප්පා අරන්ගිය හැටි මතකයි. අසුව මුල් කාලේ අපි ඉතා කුඩා දරුවෝ.

      Delete
    4. //ගල්කිස්ස මටත් හොඳට හුරු නගරයක්//

      මටත්...:)

      Delete
  4. ටහිකෙයිනෙ මේකද යකෝ ප්‍රජාත්න්ත්‍රවාදය?. මානව හිමිකම්?

    කැ# පොලිස්කාරයගෙ අ### හු#$%% එපැයි බන්.

    ReplyDelete
    Replies
    1. ප්‍රජාත්න්ත්‍රවාදයි මානව හිමිකම් එහෙම කතා කරන්න ගියානම් පොලිස්කාරයා අපිව කුඩුවේ දාලා නඩුත් දාලයි ගෙදර යවන්නේ. මේක සිද්දවුනේ අවුරුදු පහලොවකට විතර කලියෙන් නේ මිට මාස කිහිපයකට කලියෙන්නුත් ඔය වාගේම සීන් එකක් වුනා. එකත් පස්සේ ලියන්නම්.

      Delete
  5. අපිනන් ඉතින් මතින් තොරයිනේ... දවසක් යාලුවෙක්ගෙ ගෙදර ගිහිල්ලා රෑ ස්ටේෂමේ කොනක ඉදන් සිංදු කිය කිය ඉද්දි නන් පොලීසියට අහුවුනා... උන් පොඩි සද්දයක් දාලා යන්න ගියා... එක එක නසරානි වැඩ කරන්න ගිහිල්ලා අනන්තවත් මිනිස්සුන්ගෙන් බැනුම් අහලා තියෙනවා... දවසක් මියුසියස් එකේ මේරියන්ස්ලගේ කොන්සට් එකක් තිබුනා... මේකට මමයි තව යාලුවෙකුයි ගියා... යාලුවා කෝට්ටෙ ඉන්නෙ... කොන්සට් එක ඉවරවෙද්දි 11:45 වගේ උනා... ඉතින් අපිට එන්න බසුත් නෑ... අපි ඉතින් ඇවිද්ද පය දහස් වටී කියලා කොට්ටෙටම ඇවිදින්න ගත්තා... මහපාරෙ හැලහොල්මනක් නෑ... අපි ඉතින් සිංදු කිය කිය ගියා... මටත් ඉතින් නිකන් ඉන්න බෑනෙ... මම කිව්වා අපි යන ගමන් ගෙවල් වල බෙල් ගගහා යමුද කියලා... යාලුවා කිව්වා පිස්සුද බන් ඔය ගෙවල් එච්චර ලොකුත් නෑ... අඩියට දෙකය ගේට්ටුව ඇර තැහැකි අපිට යන එනමන් නැති වෙයි කියලා... කොහොමහරි මම ගෙවල් දෙක තුනකටම ඔහොම බෙල් එක ගහලා දිව්වා... අන්තිමටම එක ගෙයක් සෙට් වෙලා ඒකටත් ගහනවා කියලා හිතාගෙන බෙල් එක ගැහුවා... එතකොටම කව්ද කව්ද කියලා ඇතුලෙන් සද්දයක් ආවා... අපි දෙන්නා දිව්වා කියන්නේ දිවිල්ලක්... කොහොමහරි කෝට්ටෙට එද්දි පාන්දර 3 විතර ඇති... පහුවදා තමා දැනගත්තේ අර ගෙදර හිටපු මනුස්සයා පොලීසියෙ කෙනෙක් කියලා...

    ReplyDelete
    Replies
    1. නසරානි වැඩ ටිකක් නොකොලොත් ඉතිං උන් කොල්ලෝ නෙමෙයිනේ. පස්සේ කාලේක හරි මතක් කර කර රස විදින්න පුලුවනි නේද මිථිල.

      Delete
  6. මේ තියෙන්නෙ ගස්ලබ්බට පොලිසියෙන් හදි කොරපු අවස්ථාවක්..
    කඩුවෙන් කොටා කුඩු ගැසීම
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපි ඔක්කෝම මාර අමාරු ලෝක අපරාධකාරයෝ සෙට් එකක්නේ. (හිරේ ඉන්න මිනි දෙකතුනක් මරපු ස්ති‍්‍ර දුෂන බාල අපරාධ දුසිම් ගනන් කරපු උන් කියන්නේ උන් තරම් අහිංසක නිර්දෝෂි මිනිහෙක් නෑ කියලා. නිරපාරාදේ පාරේ ඉන්න කොට අල්ලන් ආවයි කියලා නේ . ඉතිං අපියිනේ ලෝක අපරාධකාරයෝ.)

      Delete
  7. හා හා පට්ට කුජිත සීන් එකක්.

    තව මචෝ මගෙ දික්කසාද කේස් එකට පිළියන්දල පොලිසියේ O I C මට මුලින්ම තග දැම්ම. මොකද මගේ හිටපු නෝනත් O I C ගෙ දුවත් එකම පන්තියේ නිසා.

    ඒ කේස් මම කලින් දැනගෙන හිටියෙ නැහැ.

    පස්සෙ අපි දෙන්නට ෆැමිලි කවුන්සේලින් දෙන්න ආව.

    මම එතකොට ඇහුවේ මුනටම "ඔහේ කරන්නෙ පොලීසියේ රාජකාරියද? ෆැමිලි කවුන්සලින්ද? නැත්නං ලෝයර්ගේ ජොබ් එකද?" කියල.

    ඒ සිද්දිය බ්ලොග් පොස්ට් එකකින්ම ඉතුරු ටික ලියන්නං.

    👊🏽

    ReplyDelete
    Replies
    1. අපි ටිකක් ඔලුව පාත් කොලොත් මුන් ඔක්කෝම අරින්නයි එන්නේ. කඩුව වනලා ටොක් එකක් දුන්නොත් නැට්ට දෙපරන්ද අස්සේ දාගන්නවා.
      සීන් එක ඉක්මනට ලියන්න. බ්ලොග් පොස්ට් එක කියවන්න මග බලාගෙන ඉන්නවා.

      Delete
  8. උඹ ඉපදුන නැකතේ කාකි අපලයක් තියනවද කොහෙද :-D

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

කොටහේනේ කොටි මැරිල්ල

කොටහේනේ කොටි මැරිල්ල කළේ අන්දු බයියා. ඒකට මංතුමා පොඩි සපොට් එකක් දුන්නා තමයි. ඊට වඩා දෙයක් කළේ නෑ. කවුද මේ අන්දු බයියා? ඉස්සෙල්ලාම අන්දු බයි...