Sunday, May 7, 2017

ගුවන් විදුලියේ පෙරගමන්කාරිනිය නික්ම ගියාය.


1949 අවුරුද්දේ කොළඹ කොටුවේ කාර්ගිල්ස් සමාගමට සිය පියාගේ මොටර් රථයේ නැගුන ප‍්‍රභා පෙරේරා සහෝදරියන් දෙදෙනා සමගින් පැමිනෙන්නේ ගුවන් විදුලි යන්ත‍්‍රයක් මිලදීගන්නටයි. එ් කාලේ ගුවන් විදුලි යන්ත‍්‍රයක් නැත්නම් රේඩියෝවක් ළඟ තබාගන්නට සල්ලිභාගේ එහෙම යහමින් තිබුනු පවුල් වලට පමණයි හිමිවෙලා තිබුනේ. ගෙදරට රේඩියෝවක් ගන්නටත් පෙර කාලෙක පාසලේදි ප‍්‍රභාට රේඩියෝවට සවන්දෙන්නට හැකිවෙලා තිබුණා. හොස්ටල් එකේ ළමයි සිරි අයියාගේ (යු. එස්. පෙරේරා.) ළමා පිටියට සවන්දෙන්න එකතුවෙනවා. කොළොම්පුරෙන් ළමා පිටිය ගැන ලිපියක් මෙයට පෙරදි පළවුනා එය මෙතැනින් බලාගන්නටත් පුළුවන්.  කොච්චර එ් වැඩසටහනට ආශා කළාද කිව්වොත් ළමා පිටියට මේ දැරිවියන් ලිපිත් දැම්මා. දවසක් මේ ප‍්‍රභා ඇතුළු ළමයි කාන්ඩය හමුවෙන්නත් සිරි අයියා ශ‍්‍රී සුමංගල බාලිකා විද්‍යාලයටත් ආවා. ගුවන් විදුලියට ප‍්‍රභාගේ සිතත් තදින්ම ඇදිලා ගිය නිසාම සිරි අයියාගේ ළමා වැසටහන්වලට ඈ ලිපි ලියා යැව්වා. ඒවා ගුවන් විදුලියෙන් ප‍්‍රචාරයත් වුනා. ගෙදර ගුවන් විදුලියක් තිබුනේ නැති නිසා තමයි තමන්ගේ සහෝදරියන්වත් කතාකරගෙන තාත්තාට කියලා ගුවන් විදුලි යන්තරයත් ගන්න කොළඹට එන්නේ. 


හෙට්ටිගොඩ කංකනම්ගේ ප‍්‍රභා පෙරේරා (පසුව රණතුංග) 1928 සැප්තැම්බර්  10 වෙනිදා පස්දුන් කෝරලේ හොරවල නම් සුන්දර ගමක උපත ලබනවා. හොරවල රජයේ පාසලේ ප‍්‍රධාන ආචාර්යවරයා වු එච්. එ්. පෙරේරා හා හෙලේනා මඩවල තමයි ප‍්‍රභාගේ දෙමව්පියන් වෙන්නේ. හොරවල පාසලෙන් ඉගෙනිම පටන්ගත්තු ඈ මතුගම ඉංග‍්‍රීසි පාසලෙන් හා  පානදුර සුමංගල බාලිකාවෙන් උසස් අධ්‍යාපනය ලබා ගන්නවා. එතැනින් නැවතුනේ නැතිව ලංකා විශ්ව විද්‍යාලයටත් ඇතුල්වෙන ප‍්‍රභා 1945 අවුරුද්දේ උපාධියත් ලබාගන්නවා. 

ගෙදර පරිසරේ හැදිලා තිබුනේ ගුරුවෘත්තිය නිසා ප‍්‍රභාටත් 1949 ජනවාරි මාසේදි මතුගම පාසලකට ගුරු පත්විමක් ලැබෙනවා. එත් හිත තියෙන්නේ ගුවන් විදුලියටනේ එ් හින්දා අපේ‍්‍රල් මාසේදි ගුරු රස්සාවෙන් ඇය සමුගන්නවා. ඔය අතරේදි 1949 අවුරුද්දේ අග වෙද්දි  නිවේදක නිවේදිකාවෝ අවශ්‍යයි කියලා ප‍්‍රභාගේ දෛවය වෙනස්කරන පත්තර දැන්විම පලවෙනවා. හැමදාමත් සිතේ රැඳිලා තිබුන ගුවන් විදුලියේ නිවේදක නිවේදිකාවන් බදවාගන්නවා කියන පත්තර දැන්විම දැක්කට පස්සේ දෙපාරක් නොසිතා එ් දැන්විමට ඇප්ලිකේෂන් එකක් දමනවා.  ඔන්න මුලින්ම වාචික පරික්ෂණයෙන්ද දෙවනුව ලිඛිත පරික්ෂණයෙන්ද  ඉහළින්ම පාස්වෙන්නට ඈට හැකිවෙනවා. පරික්ෂණ මන්ඩලයට හිටියේ මහාචාර්ය ගුණපාල මලලසේකර මහාචාර්ය නන්දදේව විජේසේකර හා ඊ.එ්. අබේසේකර විද්වතුන් පිරිසක්. 1950 දී වයස අවුරුදු 21 වු ප‍්‍රභා පෙරේරා තරුණියට එ් පරික්ෂණ වලින් පාස්වෙලා ගුවන් විදුලියට පය තබන්නට හැකිවුනා. එ් ප‍්‍රභා පෙරේරා අපේ රටේ ඉතිහාසයේ නොමැකෙන නමක් රදවා තබමින්. ප‍්‍රභා තමයි ගුවන් විදුලියේ පළමු ස්ථිර සිංහල නිවේදිකාව වන්නේ. රුපියල් 300ක ඉහළ වැටුපක් එදා ඇයට ලැබුණා. 

ගුවන් විදුලියට ආ ප‍්‍රභාට මුලින්ම ළමා හා කාන්තා වැඩසටහන් සතියට එක බැගින් කරන්නත් වුනා. එ් ඇගේ කැපවිමේ ප‍්‍රතිඵලයක් විදිහට 1951 අවුරුද්දේදි වැඩසටහන් පිළිබඳ සහකාර අධ්‍යක්ෂක තනතුරද ලැබුණා. 1952 අවුරුද්දේ ගුවන් විදුලියේ අධ්‍යක්ෂක ජෙනරාල් වරයාවු ජොන් ලැම්ප්සන් මහතාගෙන් පසුව පළමු සිංහල අධ්‍යක්ෂක ජෙනරාල් වරයායෙකු පත් වෙනවා. ඔහු තමයි ඇම්.ජේ. පෙරේරා. කොළොම්පුරෙන් ඔහු ගැන පළවුනු ලිපියක් මෙතැනින් බලාගන්නටත් පුළුවන්. ඔහු යටතේ ගුවන් විදුලියත් නව ආරකට ගොඩනැගෙනවා. 

ගුවන් විදුලියේ නිශ්පාදකයෙකු වශයෙන් සේවය කරපු පියසේන රණතුංග මහතා හා ප‍්‍රභා මෙනවිය විවාහ වෙන්නේ 1959 අවුරුද්දේ දී තමයි. ඉන් පසුවයි ප‍්‍රභා පෙරේරා මෙනවිය ප‍්‍රභා රණතුංග මහත්මිය බවට පත්වෙන්නේ. ගුවන් විදුලියේ රසිකයන්ට නම් ප‍්‍රභා රණතුංග යන නාමය නම් අමතක වෙලා නැතිව ඇති. මේ විවාහයෙන් දියණියක් හා පුතුන් දෙදෙනෙක් ඈ මෙලොවට දායදකරනවා. 

ගුවන් විදුලියට ආ පටන් දිගටම ළමා හා කාන්තා වැඩසටහන් කරමින් සිටින අතරමඟදි 1974 අවුරුද්දේ ඉන් ඉවත්වන ප‍්‍රභා මහත්මිය ඇගේ ඉල්ලීමක් හින්දා ගුවන් විදුලි අභ්‍යාස ආයතනයට එකතුවෙන්නේ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක තනතුරටයි. 1979 වසර දක්වා අභ්‍යාස ආයතනයේ  සේවය කරමින් ඇගේ දැනුම් සම්භාරය අනෙක් අයටත් බෙදා දෙන්නට හැකිවෙනවා. 

වසර 32ක් ගුවන් විදුලියට සේවය කළ ප‍්‍රභා රණතුංග මහත්මිය 1981 දි තම විශ‍්‍රාම යාමට නියමිත කාලයට මදක් කලින් සේවයෙන් සමුගත්තා. එහෙත් විශ‍්‍රාම සුවය ගත කරන්නට ඈට නොහැකි විය. රජයට පවරාගෙන ගුවන් විදුලි සංස්ථාව යටතට පත් කෙරුනු ශාන් වික‍්‍රමසිංහ මහතා විසින් ආරම්භකරන ලද ලංකාවේ පළමු රූපවාහිනි නාලිකාව වු ස්වාධින රූපවාහිනි සේවයේ (අයි ටි එන්)  ප‍්‍රවෘත්ති අංශයට බැදෙන්නට ආරාධනා කරනවා. නවකයින් පුහුණු කරමින් ප‍්‍රවෘත්ති අංශයේ නිෂ්පාදන හා සංස්කාරක කටයුතු කරන්නට ඈට සිදුවෙනවා.  1982 අවුරුද්දේ පෙබරවාරි 15 දින ආරම්භවුනු ජාතික රූපවාහිනි සේවයෙන් කැදවීමක් ලැබුන හෙයින් එයට ප‍්‍රභා රණතුංග මහත්මිය එකතුවෙනවා.  ජාතික රූපවාහිනි සේවයේ ළමා හා තරුණ වැඩසටහන් බාරගත් ඇය විශාල වැඩ කොටසක් රූපවාහිනියට ඉටුකරලා දෙනවා. ජාතික රූපවාහිනිය පටන්ගත්තු මුල්කාලේ බොහෝ ආසාවෙන් නරඹපු ළමා වැඩසටහන් වල අවසානයේ නිෂ්පාදනය ප‍්‍රභා රණතුංග නාමය සටහන් වෙනවා කොළොම්පුරයාගේ මතකයෙත් රැඳිලා තියෙනවා. 


ඉතිං මෙච්චර විස්තරයක් කොළොම්පුරේ බ්ලොග් අඩවියට ගෙන්නට පාදකවුනේ ඊයේ (මැයි 05) එක රූපවාහිනි නාලිකාවක ප‍්‍රවෘත්ති නරඹමින් ඉන්නා විට තිරයේ යටින් දිස්වන කුඩා තිරුවේ නිවුස් ලයින් හී දර්ශණයවු එක් ප‍්‍රවෘත්තියක් නිසා. ඒ ගුවන් විදුලි සේවයේ ප‍්‍රථම සිංහල නිවේදිකාව වු ප‍්‍රභා රණතුංග මහත්මිය අවුරුදු 89ක් ආයු වළඳා අභාවප‍්‍රාප්තවිමයි.  එත් කිසිම ජනමාධ්‍යයකින් ලංකාවේ ගුවන් විදුලි මහගෙදරින් පටන් ගෙන නිවේදක නිවේදිකාවන් පුහුණු කරමින් සුවිශාල සේවයක් කළ ගුවන් විදුලියේ පෙරගමන්කාරිය ගැන වැඩිමනක් විස්තරයක් මහජනයා අතරට ගෙනගියේ නෑ. 

15 comments:

  1. හොද ලිපියක්... ඒත් සමඟම ඇයට නිවන් සුව පතමි...

    ReplyDelete
  2. හරිම ආසාවෙන් කියෙව්වා. ස්තූතියි ඔබට. මා කුඩා අවදියේ එතුමිය ගේ වැඩ සටහන් ආසාවෙන් ඇසුවා. පාසැලෙන් අස්වෙන විට ඈ විශ්‍රාම යන්නෙ. බොහොම ආදරය කරපු කෙනෙක් ඈ. නිවන් සුව පතනවා ඇයට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චාන්දි. ඇයට නිවන් සුව පතමු.

      Delete
  3. ගුවන් විදුලියේ සමාරම්භක නිවේදිකා වූ ඈ ගැන
    කොළොන්පුරයේ අසංගත් අද ලියා ඇත විස්තර දැන
    රුවන් වන් වූ එවන් චරිතෙක ගත ගැකිය ගුණ අපමණ
    නිවන් සුව ඈ වෙත පතන්නෙමි ඔබට ස්තූතිය සමගින....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමි ඔබගේ වටිනා අරුත්බර කවියට

      Delete
  4. ඇයට නිවන් සුව පතමු

    ReplyDelete
    Replies
    1. ඈට නිවනට ළගාවන්නට හැකිවේවායි පතමු.

      Delete
  5. හොද ලිපියක්... නිවන් සුව පතනවා ඇයට.

    ReplyDelete
    Replies
    1. තුශාණීට ඈව හමුවෙලා නැතිද ගුවන් විදුලියේදි?

      Delete
  6. නිවන් සුව පතමි

    ReplyDelete
  7. නම කියෙව්වම තමයි මතක් උනේ.. ඉස්සර නිතර අහපු දැකපු නමක්..

    ඇයට සුභ ගමන්!

    ReplyDelete
    Replies
    1. අපි කුඩා කාලයේ රූපවාහිනියේ නරඹපු ළමා වැඩසටහන් බොහෝමයක් කලේ ඇයයි.

      Delete
  8. මටත් මතක තිබ්බේ නැහැ නම. බොහොම ස්තුතියි. මේ වාක්‍යයක් ග යන්නෙන් ඉවර වෙන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. මම වර්ඩ් ඩොකිය්මන්ට් එකක් විදිහට අභය ෆ්‍රොන්ට් එකෙන් තමයි මුලින් මේ ලිපිය සකස් කරලා පසුව සිංහල යුනිකේත වලට හරවන්නේ. ඒ ක‍්‍රමේ මොකක් හරි අවුලක් වෙන්න ඇති සමහර පරිගණක වලට විරාම ලකුණ පෙන්වන්නේ ග ලෙසයි.

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

මෙන්න ඒ ගීත 10

ගියවර පොස්ටුවෙන් ඇහැව්වා සිංහල ගීත10 ක් පුළුවන්ද නම් කරන්න කියා. නමිනං උන්නැහැ ගීත දෙකක් ද කොළඹ ගමරාල අප්පුහාමි එක ගීතයක් ද හා වෘත්තාන්ත බ්ල...