Monday, May 24, 2021

හෝරස්ගේ දරුවා - දහසය වන දිගහැරුම Son of Horus - 16



පසුදිනම මහාචාර්යවරයා කුමාරිත් කැටිව පිළියන්දල මඩපාත පිහිටි සුචිත්‍රාගේ නව නිවහන සොයා ගියේය. මේ ගමනට කුමාරි සහභාගිකරගත්තේ කාන්තාවක් වශයෙන් ඇතිවන විශ්වාසය මත සුචිත්‍රාගෙන් යමක් දැනගැනීමට ඇති හැකියාව උපයෝගිකරගැනුමටයි.

 බොල්ගොඩ ගඟට මායිම්ව බොහෝ නිස්කලංක පරිසරයක පිහිටි නිවෙසේ සුචිත්‍රා මෙහෙකාරියත් සමඟින් ජිවත්වූවාය. ඉතා ආදරෙන් සිටි උපනන්දගේ මරණයට තමන් වගකිව යුතුයි සිතමින් ඈ පශ්චත්තාපවෙමින් පසුවන අවධියක් විය. උපනන්දගේ මරණින් පසුව ඩේමියන් සුචිත්‍රා සමඟ ඇතිකරගත් සබඳතාවය අතහැර පලාගියේය. ඉන් පසුව ඇයට කිසි දිනෙක ඔහුව දකින්නටද නොලැබුනේය. උපනන්දගේ මරණින් පසු සියලු ඥාති සබඳතා අත්හල ඈ ෂෙරිල් සමඟින් වුවත් දුරකථනය මගින් කතාකළේ ඉදහිටය. නිවස හා බඩු භාණ්ඩ විකිණීමෙන් ලද මුදල් සුරක්ෂිතව බැංකුවක තැන්පත් කළ ඈ නිවසින් පිටට ගියේ බොහෝ කලාතුරකින්ය. එසේ එළිපහලියට ගිය විටකදි හැරෙන්නට ෂෙරිල්ට කතාකළා මිසක පෙරමෙන් ඇයත් සමඟින් වැඩි පයුරුපාසනමක් ඇතිකරගත්තේද නැත. විදුලි සිනුවක් සවිනොකල ගේට්ටුවට කිහිපවිටක් තට්ටුකිරීමෙන් අනතුරුව මෙහෙකාරිය යැයි සිතිය හැකි මැදිවිය පසුකල කාන්තාවක් පැමිණ කුඩා හිඩැසකින් එබී බැලුවාය. නාරද පසේකට කළ කුමාරි ඉදිරියට පැමිණියාය.

“සුචිත්‍රා නෝනාගේ ගෙදරද?”  

“ඔව්.”

“නෝනා ගෙදර ඉන්නවාද?”

“ඉන්නවා. ඔය නෝන මහත්තුරු කවුද?”

“අපිට පොඩි කාරණාවකට නෝනාව හමුවෙන්න ඕනේ.”

“නෝනා කවුරුවත් හමුවෙන්න කැමති නැහැ.”

ඇය තම විමසිලිමත් දෑසින් ඔවුන්ව නිරික්ෂණය කර මඳ නොරිස්සුමක් සහිතව පැවසීය.

“ඔයා කියන්න මහාචාර්ය නාරද බණ්ඩාරයි එයාගේ වයිෆ් කුමාරියි ඇවිල්ලා ඉන්නවා වැදගත් කාරණාවක් කතාකරගන්න කියලා.”

“මම හිතන්නේ නැහැ නෝනා කැමතිවෙයි කියලා. හොඳයි මම කියලා බලන්නම්.”

නාරද සහ කුමාරි ආගන්තුක දෙදෙනෙක් මෙන් ගේට්ටුව අයිනේ රැඳීසිටියේ කිසිඳු කතාබහකින් තොරවය. මෙහෙකාරිය යලි ඒමට ගතවූ විනාඩි කිහිපය එය ඔවුන්ට දැනුනේ පැයක් පමණ එතැන රැඳීසිටියාක් මෙන්ය. යළි හිදැස තුළින් ඔවුන්ව හා අවට නිරික්ෂණය කළ ඈ තම ස්වාමිදුව නාරද බණ්ඩාරව හෝ කුමාරිව නොහඳුනනබවත් කිසිවෙකු දකින්නට හෝ හමුවන්නට කැමැත්තක් නොමැතිබවත් දන්වා සිටියාය. තව දුරටත් සුචිත්‍රාගේ ගේට්ටුව අසල සිට මෙහෙකාරියට බාල්දුවීමට අකමැතිවූ නාරද බඳුන ගැන සෙවීමේ උත්සාහයන් නිරත්ථක වූවාසේ කඩාවැටුනු සිතැතිව රිය පදවාගෙන එන්නට විය.

“මෙච්චර දේවල් හොයාගෙන ගිහිල්ලා අන්තිමට මේ උද්දච්ච ගෑණිගෙන් තොරතුරක් ගන්න බැරිව ඔක්කෝම අල්ලලා දාන්න වෙයි වාගේ. ඇයි මෙයා කාවවත් මුණගැහෙන්න අකමැති?”

“ඒකනම් ප්‍රහේලිකාවක් තමයි.”

“මෙයාව කතාකරවන්න පුළුවන් කවුරු හරි කෙනෙක් යොදාගන්න පුළුවනිනම්.”

“මෙයාගේ ඝනකම අනුව නම් කට අරින්න පොලීසියෙන් ගෙන්න වෙයි.”

නාරද කට කොනකට සිනාවක් නගාගනිමින් උපහාසයට මෙන් කිවේය.

“ඒකනෙන්නම් ඇයි ඔයා එස් එස් පි මනෝජ්ගෙන් උදව් ගන්නේ නැත්තේ? පොලීසියෙන්  කිව්වාම ඉබේටම කට අරියි.”

“ඔය ආවේ නියම අයිඩියා එකක්. තෑන්ක්ස් කුමාරි.”

නාරදගේ බලාපොරොත්තු අතහැර දැමිය යුතුනොවීය. ඔහු කුමාරිව නිවසින් බස්සවා විශ්ව විද්‍යාලයට ගියේ පස්වරුවේ කලයුතු දේශනයක් සදහාය. සවස දේශනයෙන් පසු පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ එස් එස් පි මනෝජ් වෙත ගියේ සුචිත්‍රාගේ වැසුනු මුව විවර කරගැනීමට උදව් ඉල්ලීමටය.

“ගුඩ් ආෆ්ටනුන් ප්‍රොපෙසර්. මොකද මේ පැත්තේ? අලුත් විස්තර එහෙම තියෙනවාද?”

“ගුඩ් ආෆ්ටනුන්, මටත් ඒකම තමයි දැනගන්න ඕනේ.”

“අපිට කිසිම සස්පෙක්ට් කෙනෙක් අත්අඩංගුවට ගන්න බැරිවුනා. නිකං ආවට ගියාට මිනිස්සු අත්අඩංගුවට අරගන්න දැන් බැහැ. අපේ ඔත්තුකාරයෝ හැමතැනටම දාලයි ඉන්නේ. අපි අනුමාන කරන්නේ මේ වැඩේ අලුත් සෙට් එකක් දුන්නු ගේමක් කියලායි. ප්‍රොපෙසර්ගේ පැත්තෙන් විස්තර කොහොමද?”

“දැනට මම ගොඩක් විස්තර හොයාගත්තා. ඒත් තව මේක ඉදිරියට ගෙනියන්න නම් මට ඉන්ස්පෙක්ටර්ගෙන් විශේෂ උදව්වක් වුවමනාවෙනවා.”

“ඒ මොකක්ද?”

“මගේ ඉන්වෙස්ටිගේෂන් එකේ සන්ධිස්ථානයකටයි මම දැන් ඇවිල්ලා ඉන්නේ. මේ සුචිත්‍රා කියන ගෑණු කෙනා කාවවත් හමුවෙන්න බැරිය කියනවා. මෙයාගෙන් විස්තර ගන්නේ නැතිව මේක ඉදිරියට ගෙනියන්න බැහැ.”

“කියන්න අපේ පැත්තෙන් මොකක්ද අවශ්‍යය වෙන්නේ?” 

“ඒ ගෑණුකෙනාගේ වැහුනු කට අරවන්න විතරයි.” 

“සිම්පල් කේස් එකක්නේ. මෙහේට කුදලාගෙන ඇවිත් කට ඇරවන්නද?”

“එපා එපා එහෙම අවශ්‍යය නැහැ. අපි එහේට ගිහිල්ලා මේ අවශ්‍යය විස්තර ටිකක් ස්ටේට්මන්ට් එකක් ගන්නවා වාගේ අරගන්න විතරයි තියෙන්නේ.”

“හොඳයි මම අපේ දෙන්නෙක් එවන්නම්. හෙට උදේට කමක් නැද්ද?”

“කමක් නැහැ ඉන්පෙක්ටර්. නමයට දහයට විතර ගියාම ඇති.”

“එහෙනම් හෙට උදේට මම එවන්නම්. කොහොමත් පොලීසියෙන් කිව්වාම ගොළුවොත් කතා කරනවා.”

මනෝජ් සිය ස්ථුල ශරිරය සොලවමින් සිනාසෙන්නට වුනි. 

 


   සුපුරුදු ලෙසින් කපිලත් චුට්ටාත් අරක්කු බෝතලයක් හා එයට අවශ්‍යය කළමනාත් රැගෙන මංජුගේ නිවසට ගොඩවදින්නේ ගොම්මන් කළුවරත් සමඟිනි. නිවසට ඈතින් බළල් පොරයක කෑ ගැසීම් ඇසෙන්නට ගත්තත් ඔවුන්ට එය දැනුනේ නැත. වීදුරුවෙන් වීදුරුව හිස්වෙද්දී මෙතෙක් නිහඬව සිටිවුන් දොඩමලුවන්නට පටන්ගති. චුට්ටාගේ සිතේ මෙතෙක් දිනක් පැසවෙමින් සිටි කාරණාවත් මේ සමඟින්ම එළියට ඈදි එන්නට විය. 

“අරුන් අපිට ඇරියා එහෙනම්.”

“කවුද බං?”

“උඹේ යාළුවා රංගයා.”

“ඇයි දැන් ඌ මොනවාද කරලා තියෙන්නේ?”

“කරලා තියෙන්නේ. කරලා තියෙන්නේද? කෝ අපේ සල්ලි? උන් අපිට ඇරලා පැන්නා.”

“මොන සල්ලිද බං? ඇයි උඹේ සල්ලි රංගයා දුන්නේ?”

කපිල ඇසීය. 

“ඒ සල්ලි හරි. කෝ බඩුවල සල්ලි?”

“මොන බඩුද බං?”

“ඇයි ස්ටැන්ලියාගේ බඩු. උඹට දැන් ඒකත් අමතකද?”

“ආ ඒ බඩුවල කොටහද මේ ඉල්ලන්නේ? උඹට ඒකෙන් කොටහක් නෑනේ.”

චුට්ටාව විහිළුවකට ලක්කිරීමට මෙන් මංජු හක හක ගා සිනාසෙන්නට විය. ඒ සිනාවට කපිලත් එක්වූයේය. මේ අතර පිලීකන්න දෙසින් මූසල බළල් කෑගැසීම් හඬ උත්සන්න විය.

“බලපං කපිල මූසල බළල් රැලක් කෑගහනවා. ගලකින් ගහලා උන්ව එලවලා  දාපං.” 

බයිට් පිගානෙන් ගත් වඩේ කෑල්ලක් කටේ රුවාගත් කපිල නිවස පිටුපසට ගියේ කෑගසන බළලුන් සොයාගෙනය. මේ අතර මංජුගේ විහිළුවෙන් කිපුණු චුට්ටා, 

“ඇයි මට කොටහක් නැත්තේ? මමත් මේ ගේම් එකේ හිටියා. මට මගේ කොටහ ඕනේ.”

“ඇයි දුන්නේ නැත්නම් මොනා කරන්නද?”

“මම කරන හරිය දන්නවා.”

පදම වැඩිවී මත්ව හුන් චුට්ටා තම කෝපය පිටකිරීමට මේසයට තදින් අතමිට මොළවා පහරක් එල්ල කළේය. ඉන් ගැස්සී ගිය මේසයේ අයිනට වන්නට තිබුනු සෝඩා බෝතලය එකවරම මංජුගේ උකුලට පෙරලුනි. උකුල තෙත්කරමින් පහළට ගලා යන සෝඩා වතුරේ සීතල යටිකයට දැනෙද්දී මංජුගේ විහිළුව කෝපයකට ක්ෂණිකව පරිවර්තනය විය.

“මොකක්ද යකෝ මේ කරන්නේ?”

පෙරලී ගිය සෝඩා බෝතලය මේසය මත තැබූ ඔහු පුටුවෙන් නැගිට කලිසමේ හැලුනු සෝඩාවතුර ගසා දැම්මේ තරහායින් පිපිරෙමින්ය.

“උඹට කොටහක් නැහැ. ගේම් එක ප්ලෑන් කළේ මමයි. මටයි වැඩි කොටහක් එන්න ඕනේ. රංගයා පොරොන්දු වුනා මට ඒ බඩුවල සල්ලි දෙන්න.”

“බලාගෙන හිටපන් රංගයා දෙනකං. ඒ සල්ලි උඹට විතරක් ගන්න දෙන්න බැහැ. අපිත් මේකට මහන්සි වුණා.”

“හොඳ මහන්සිය, උඹේ මහන්සියේ තරම හොඳ හින්දා තව ඩිංගෙන් ස්ටැන්ලියාගෙන් මම මැරුන් කනවා. තෝ හරියට වැඩේ නොකල හින්දයි ස්ටැන්ලියාව මරන්නත් වුනේ.”

“ඉතිං මමද යකෝ මිනි මැරුවේ?”

“තෝ තමයි මේකට වගකියන්න ඕනේ. රංගයාට කියලා එදාම එලවලා දාන්නේ නැතිව තියාගත්තායින්නේ මු තව සල්ලි ඉල්ලන්නේ.” 

“මාව එලවන්න? ඒවට ආවොත් මම තොපි ඔක්කෝම බාවනවා.” 

“පලයන් යන්න මෙතන මැරුම් නොකා.”

කෝපයෙන් පසුවූ මංජු චුට්ටාව තල්ලුකර දැමීය. වෙරි මරගාතේ සිටි චුට්ටා කුණාටුවකට හසුව ගිය පරඬැලක් සේ විසිවී ගොස් මේසයේ හැපී එහි තිබූ බෝතල් වීදුරු ආදියත් පෙරලාගෙන බිම ඇදවැටීය. කොණ්ද බිම ඇනුන චුට්ටාට ඉන් නැගුන වේදනාව පරයා කෝපය උතුරා හැලෙන්නට විය. ඔහු යළි නැගීසිටියේ බිම වැටී තිබූ සෝඩා බෝතලයක්ද රැගෙනය. උමතුවූවෙකු සේ වියරු වැටී හුන් චුට්ටා මේසයේ ගසා බෝතලේ අඩිය කඩාදැම්මේ එය ආයුධයක් ලෙස යොදා ගන්නට මෙන්ය. 

“තොපිලා දන්නේ නැහැ මේ චුට්ටා කවුද කියලා. තොපිලා ඔක්කෝම බල්ලෝ වගේ මරලා දානවා.”

කියමින් අඩිය කැඩූ සෝඩා බෝතලයෙන් මංජුට අනින්නට සැරසී එහා මෙහා වනන්නට පටන්ගත්තේය. චුට්ටාගේ ප්‍රහාරයෙන් බේරෙන්නටත් බෝතලය උදුරාගෙන ඔහුව අඩපණ කරලීමට ගොඳුරකට කුරුමානම් අල්ලන කොටියෙකුසේ තම අවස්ථාව එනතෙක් මංජු කල්මැරීය. එහෙත් අනපේක්ෂිත ලෙස බෝතල් පහරක් මංජුගේ බාහුවකට එල්ලවීමත් සමඟම ඔහු චුට්ටාගේ ඉදිරියට පැන පොරබදන්නට පටන්ගත්තේය. බෝතල් පහරින් ලේ ගලන තුවාලයේ වේදනාව මංජුගේ කෝපය වැඩිකරවූ බැවින් බෝතලය උදුරාගත් පමාවෙන් හේ චුට්ටාගේ යටි බඩ හරහා දෙතුන් වතාවක් ඇන දැමීය. චුට්ටා ඇද හුන් සුදු පැහැති ටීෂර්ටය රක්ත වර්ණ ගන්වමින් රුධිරය ගලාහැලෙන්නට වුනි. උදරයට අත තබා ලේ නැහැවුනු අත දෙස මඳක් බලා සිටි චුට්ටා හිස ඔසවා මංජු දෙස බැලුවේ උඹ මට මේ මොකද කළේ යැයි අසන්නට මෙනි. කිසිදු කතාවක් නොමැතිව නිහඬව මංජු දෙස බලා සිටි චුට්ටා කපා හෙලූ ගසක්මෙන් සිහිසුන්ව බිම ඇදවැටුනේ කෙදිරිල්ලක් නිහඬ වාතලයට එක්කරමින්ය. 

පිලිකන්නේ සිටි කපිල නිවස ඇතුලේ සිදුවූ කලබලය ඇසී ඇතුලට දිව එද්දී රුධිරයෙන් නැහැවුනු චුට්ටා දැක එතැනම ගල් ගැසුනි. ඔහු අතිශයෙන් බියට හා කබලයට පත්වූයේය.

“මංජු අයියා මොකක්ද බං මේ කළේ?”

“බලපන් මු මැරිලාද කියලා?”

“පේන විදිහට නම් මැරිලා වගේ. දැන් මොකද කරන්නේ ? ඉස්පිරිතාලෙටවත් ගෙනියමුද?”

“පිස්සුද යකෝ එහෙම ගියොත් නිකම්ම පොලීසියට මාට්ටු වෙනවා.”

“නොගියත් අපිව දැන් මාට්ටුවෙනවා. මොනාද බං උඹ මේ කළේ ?”

කපිල අතිශයෙන් කලබලයට පත්ව පුටුවක් මතට ඇදවැටී දෑතින්ම හිස බදාගත්තේය.

“කරන්න දෙයක් නැහැ. ඌ තමයි ගේම ඉල්ලුවේ.”

“ඉතිං ගේම ඉල්ලුවාට ඌව මරන්න ඕනෙද?”

“මම ඕනෑකමින් කළේ නැහැනේ. උඹ බය නැතිව හිටහං. දැන් කරන්න තියෙන්නේ මේකට මොනවා හරි කරන්නයි.” 

“උඹලත් එක්ක ඉදලා මමත් නිකං එල්ලුම් ගස්යනවා. උඹ චුට්ටාට ඕනේ දෙයක් කරගනින් මම ගෙදර යනවා.”

“යකෝ උඹත් මගෙන් මැරුම් කන්නේ නැතිව හිටපං. තෝ හදන්නේ මාව මූත් එක්ක මෙතනදාලා මාරු වෙන්නද?”

කෝපාවිශ්ට වූ මංජුගේ මුහුණ දෙස ටික වේලාවක් බලා සිටි කපිල යලිත් පුටුව මත වාඩිවුනේය. 

“මූව කොහේ හරි වළදාමු. වරෙන් බලන්න පිලිකන්න පැත්තට.”

ඔවුන් දෙදෙනා නිවසේ පිටුපස පැත්තට ගොස් අවට නිරික්ෂණය කළේය. බළලුන්ගේ පොරකෑමේ කෑගැසීම් ශබ්දයන් නිවෙස් කිහිපයකට ඈතින් සිට ඇසෙන්නට විය. 

“අර පල්ලෙහා කෙහෙල් පදුර ගාව වළක් කපලා මූව වලදාමු.”

“කොහේ වලවල් කපන්නද මංජු අයියා, උඹයි මමයි වළවල් කපනකොට අහල පහල උන්ට පෙනෙයි නේද?”

“එහෙනම් කක්කුස්සි වළට දාමු. ඒකට දැම්මාම කාටවත් මාට්ටු වෙන්නේ නැහැ. කෝ අරගනින් අලවංගුවක් කොන්ක්‍රිට් ලෑල්ල අරින්න. ඔය කුස්සිය පැත්තේ තිබුනා.”


ඔවුන් දෙදෙනා කොන්ක්‍රිට් පියන තරමක් අසීරුවෙන් විවර කර චුට්ටාගේ සිහිසුන් සිරුර ඔසවාගෙන විත් වලට තුළට අතහැරියේය. වල ගැට්ටේ වැදී වලට වැටුන චුට්ටාගේ මුවින් කෙදිරිල්ලක් නික්මුණි. අඬක් පමණ වතුරින් පිරී තිබූ වැසිකිළි වළේ චුට්ටා ගිලීගියේ අවට වාතලයට කැලෑතුනු අපජලයෙන් නැගුනු දුර්ගන්දය එක්කරවමින්ය. නියමාකාරයෙන් යළි වැසිකිලි වළේ පියන්පත් වසා දැමූ ඔවුන් ඉන් පසුව ගෙබිම ගලාගොස් තිබුනු රුධිරය පිසදමා පිරිසිඳු කළේය. රුධිරය පිස දැමූ රෙදි කැබලිද අඩිය කැඩුනු සෝඩා බෝතලයද ඇතුලු චුට්ටාගේ අනෙකුත් දේවල්ද මංජු ගිනිතබා විනාශකරන ලද්දේ කිසිවෙකුට හසුනොවන්නටය. චුට්ටා මෙසේ අවසන් ගමන් යද්දී කපිලගෙන් මෙම මිනි මැරුම එළිනොවන්නට මංජු ඔහුව බියගන්වාලීය. 


මතුසම්බන්ධයි.......

16 comments:

  1. චිත්‍රපටියක වහේ බොහොම ඉක්මනට මැරුණනෙ තුවාලවලින්

    ReplyDelete
    Replies
    1. ඇත්තනේ බොලේ.. ලියපු මටවත් ඕක මතක්වුනේ නෑ නොවැ. කමක් නෑ ඔන්නඔහේ මෙහෙම හිතමු ඇනපු පාරට චුට්ටා මලේ මිනිහාගේ පන හයිය නැති හින්දා කියලා..හෙහ් හෙහ්..

      Delete
    2. සමහර මූවීස්වලත් ඔහොමයි. දුෂ්ටයන්ට නියපොත්තෙන් ඇන්නත් දඩාස් ගාලා මැරිලා වැටෙනවා. වීරයින් තුවාල දෙසිය පණහක් තිබුනත් ෆයිට්කරනවා. වීරයන් මැරෙනකොටත් හත්මුතු පරම්පරාවම එක්ක කතා කරලා,අන්තිම හුස්ම අරින්නෙ.

      Delete
    3. https://www.quora.com/How-long-does-it-take-to-die-from-a-stab-wound-to-the-stomach

      https://www.quora.com/People-always-die-so-fast-in-movies-when-stabbed-in-the-belly-Would-someone-really-die-that-fast-in-real-life

      Delete
    4. හරිනේ මටත් පිහියෙන් ඇනපු පාරට මැරුනේ නෑනේ.. වෙනස් කරන්න ඕනේ සිහි නැතිවුනා කියලා..

      Delete
    5. වීරයෝ එහෙම තමයි ප්‍රාජේ උන්නැහේ. මමත් ඔය එකෙක් එක්කලා මාරාන්තික සටනක් කොලේ මලාද? නෑනේ. හැබැයි පිචැර්වල වාහේ දවසින් හොදවුනේ නෑ බල්ලා මාක් ගහගෙන ඇක්සිඩට් වෝඩ් එකෙයි වාට්ටුවෙයි ඇදක දැපුවා හතරවටින් බට එල්ලන්. හෙහ් හේ..

      Delete
    6. ඔබතුමා වගේ වීරයන් විතරක් නෙමෙයි සාමාන්‍ය කෙනෙකුටවුනත් වැටෙන්න කලින් අවසන් හුස්ම යන්නනම් ඉතින් අර රෝමන් කාලෙ සුයිසයිඩ් කර ගත්තා වගේ බඩේ ඉඳලා උඩට ඇන්ගල් කරලා හාර්ට් එකට ඇනෙන්න දිග උලක් වෙන්න ඕනෙ.

      ඔව්. පණපිටින් වලට දාන එක හොඳයි. වඩා ඩ්‍රැමටික්.

      Delete
    7. අසංග හොඳ වෙලාවට ඔයා Pra Jay මහත්තයාට දෙන උත්තරේ // චුට්ටා මලේ මිනිහාගේ පන හයිය නැති හින්දා// කියලා ලියලා තියෙන්නේ. මට නිකමට හිතුණා න-ණ ගැන ඔයාත් උනන්දු වෙලා 'පණ හයිය' කියලා ලියා තිබ්බා නං වෙන දේ.... අපි පද පෙරළිවලට හුරු අයනෙ...

      Delete
    8. පද පෙරළි වලට මමත් බොහෝම මනාපයි. එත් මේක උනේ ඔපිසියේ රාජකාරි අස්සේ ජංගම දුරකථනයෙන් ඉක්මණින් කොමෙන්ටු වලට ප්‍රතිචාර දක්වන්නට ගිහිල්ලා. සමහර මහප්‍රාණ අකුරු එහෙම ජංගමයෙන් කොටන්න හොයාගන්න අමාරුයි නොවැ.

      Delete
  2. සාපෙ වැදෙන්නේ බඳුනේ හිමියන්ට
    සහ ඒ අයගෙ හෙල්පර්ලා වගෙ අයට
    විතරයි නේද? ලියනා-කියවන අපට
    කරදර නෑනෙ- සහතික කොට කියනු මට

    ReplyDelete
    Replies
    1. ඒගොල්ලන්ට උසස් පෙල

      Delete
    2. කියන්නට බෑ ටක්කෙටම මට
      කියවන මේ සැමදන හට
      නොවෙතියි කියා ලියන්නට
      සහතිකයක් රුදු සාපයකට

      Delete
  3. සුදු මහත්තයාගේ ගෙදර සොල්දරේ නේද බඳුන තිබ්බේ? මංජු ලාගේ ගෙදර සාලෙට ආවේ කොහොමද> 15 16 කොටස් දෙක එක දිගට කියෙව්වේ, මට කොහේ හරි මිස් උනාවත්ද?

    ReplyDelete
    Replies
    1. “මේ මොකද්ද මේ මුට්ටිය?”
      මංජු සුදු මහත්තයාගෙන් ඇසුවේය.

      “ඔන්න බලාපල්ලා තොපිලා වාගේ ගොන්නු රැලක්. ඉතිං උඹලාත් මෝඩයින් වාගේ මුට්ටියකුත් උස්සාගෙන ඇවිල්ලා.”

      අමනාපයෙන් සිටි මංජු මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන රංග ඇතුලු සියල්ලන්ටම දෝෂාරෝපණය කරන්නට විය.

      “තොපිලාත් වටින දේවල් අඳුරන්නේ නැද්ද? මේකෙන් මොන කෙන්ගෙඩියක් කරන්නද බං?”

      “රංග අයියායි කිව්වේ සේප්පුවේ තියෙන ඔක්කෝම බෑග් වලට දාගන්න කියලා. මේක වටින්නේ නැතිනම් සේප්පුවේ දාලා තියයිද?”

      එය ඇසුනු රංග එළියේ තබා තිබුණු බඳුන තම දෑතට ගත්තේය. එහි පියනේවූ මුහුණ දෙස මඳක් පරික්ෂාවෙන් බලා සිටින්නට විය.

      “මූ කියන එකෙත් ඇත්තක් තියෙනවා. මේක වටින්නේ නැතිනම් සේප්පුවේ දාන්නේ නැහැනේ. පරිස්සමට අරන් තියාපං.”

      සුදු මහත්තයා අතට පත්කළ එය යළිත් බෑගයට දැමීමට සැරසෙද්දී මංජු වහා උදුරාගත්තේය.

      “ඔන්න ඕක මෙහෙන් තියාපං. මේක හොඳයි ලස්සනට තියන්න.”

      සුදු මහත්තයා යමක් කීමට තැත්කර රංග දෙස බැලුවේය. රංග විසින් කළ ඉඟියකින් සුදුමහත්තයාගේ කට වසා දැමුවේ මංජුට එය තබා ගැනීමට ඉඩ සලසාදෙමිනි. වැඩි මුදලක් ඉල්ලා වස්තු තණ්හාවෙන් සිටින මංජුට බඳුන ලබා ගැනීම වළක්වාලීමට ගියහොත් ගැටුමකට එය හේතුවක් වන බවත් එය තමාගේ නායකත්වයට විශාල ලෙස බලපාන්නක් බවත් අවබෝධ වූ රංග එය ඔහුට ලබා ගැනීමට ඉඩහැරියේය.

      Delete
    2. අඩේ..හ්. කියෙව්වා තමයි. ඒ ටික අමතක වෙලා :)))

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

කොටහේනේ කොටි මැරිල්ල

කොටහේනේ කොටි මැරිල්ල කළේ අන්දු බයියා. ඒකට මංතුමා පොඩි සපොට් එකක් දුන්නා තමයි. ඊට වඩා දෙයක් කළේ නෑ. කවුද මේ අන්දු බයියා? ඉස්සෙල්ලාම අන්දු බයි...