“මේවා කොහෙද පුරාවස්තුවෙන්නේ. පොලීසියටත් පිස්සු. ඔයා කවදාද මේ වර්තාව දෙන්න ඕනේ?”
ඈ ෆයිල් කවරය පෙරලා බලා ඇසුවාය.
“මේ මැරිච්ච වෙන්දේසිකාරයාට ලොකු ලොකු කන්ටෑක්ස් තිබිලා තියෙනවා. ඒවායින් මේ මර්ඩර් කේස් එක හොයන්න කියලා පොලීසියට ලැබෙන බලපෑම් වැඩියි. ඒ නිසා මේක ඉක්මනටම දීලා දාලා මගේ වැඩක් කරගන්න එක මගේ නුවණට හුරුයි.”
“ඔව් ඒකනම් හොඳයි.”
ඔහු තේ කෝප්පය තොලගාන ගමන් ෆයිල් කවරයේ වූ විස්තර හා පින්තුර සසඳා බලන්නට විය.
“මේකේ තියෙන ගොඩක් ඒවා පුරාවිද්‍යාත්මක වැදගත් කමක් ඇති භාණ්ඩ ගණයට වැටෙන්නේ නැහැ. සමහර ඒවා හොඳට පරික්ෂා කරලා බලන්නේ නැතිව කියන්නත් බැහැ. මොකද සමහර අය ඩුප්ලිකේට් කරපුවා පුරාවස්තුයි කියලා විකුණන නිසා.”
“ඒක තමයි ඔයා මේ ගැන පොලීසියට පැහැදිලි කළේ නැතිද?”
“නැහැ මං මේක එහිදි බැලුවේ නැති නිසා. හරි අපි මේවායේ නොම්මර දාලා ඒවායේ වටිනාකමක් ඇතිද නැතිද විතරක් සඳහන් කරලා දෙමු.”
ඔවුන් දිගටම මේ වාර්තාව සකසමින් සිටින අතර පියසෝම මුහුදෙන් සොයාගත් බඳුන නාරදගේ ඇස ගැටුණි.
“මේ බලන්න කුමාරි මොකට මේ බුජම උන් අරගෙන ගිහිල්ලාද මන්ද?”
“සමහරවිට මේක නිධානයකින් ගත්තු එකක්ද දන්නේ නැහැ. රත්තරං හරි මැණික් හරි පුරවලා තිබ්බ.”
ඇය සිනාසෙමින් පැවසුවාය.
“මේ බඩු ඔක්කෝම තිබිලා තියෙන්නේ සේප්පුවේ. ඉතිං ඇයි මේ මැටි භාජනේ සේප්පුවේ දාලා තියෙන්නේ?”
“එහෙනම් මේක ගොඩාක් වටිනවා ඇති නාරද.”
“මේක පෙනුමෙන් නම් ලංකාවේ එකක් වාගේ නොවෙයි. මං මේ වාගේ එකක් දැකලා තියෙනවා කියලා මතකයක් එනවා. කුමාරි බලන්න මේ රේකෝඩ්ස්වල.”
“මේක අරගත්තු තැනක් නම් ලියලා නැහැ. හැබැයි අරගෙන නම් වැඩි දවසක් නැහැ. ආ මේ බලන්න මේක හමුවෙලා තියෙන්නෙ මුහුදේ තිබිලා කියලයි ෆයිල් එකේ ලියලා තියෙන්නේ.”
“මුහුදේ තිබිලා? මේක මට හොඳට පුරුදුයි.”
නාරද ඡායාරූප හතරක් එක පෙළට පෙළගස්වා ඒවා දෙස විමසිලිමත්ව බලාසිටියේය.
“කුමාරි මේක ටිකක් විශේෂයි වාගේ.”
“ඇයි නාරද මේක නිධන් කරපු භාජනයක්ද?”
“මේක මම කොහේදි හරි දැකලා තියෙනවා හැබැයි ඒ ලංකාවේදි නම් නෙමෙයි.”
“මේ බලන්න නාරද මේකේ විශේෂයක් ඔයා දකින්නේ මේ පියනේ තියෙන මුණක් වාගේ කොටස නිසා වෙන්න පුළුවන්.”
“ඔව් ඒක හින්ද තමයි මට මේක විශේෂයෙන්ම මතකයට එන්නේ. මුණ මොකක්ද කියලා හරියට බලාගන්න බැරි මුහුදේදි ඛාදනය වෙලා තියෙන හින්ද වෙන්න ඇති. අනික බදේ අකුරු විශේෂයක් කොටලා තියෙන බවක් දකින්නට තියෙනවා. ඒත් මේ ෆොටෝස් වලින් හරියට ක්ලියර්ව බලාගන්න බැහැනේ.”
මහාචාර්ය නාරද බණ්ඩාරට යමක් මතක්වූ ලෙසින් කුමාරි ඇමතුවේය.
“කුමාරි ටක්ගාලා මගේ ලැප්ටොප් එක අරගෙන එන්න. අපි ඉන්ටනෙට් එකෙන් සර්ච් කරලා බලමු.”
කුමාරි ලැප්ටෙප් පරිගණකය රැගෙන Jars යනුවෙන් සර්ච් කරන්නට සැරසුනි.
“වැරදියි වැරදියි ඔයා කළ විදිහ. ඉස්සෙල්ලා අපි මේ වාගේ බුජමවල් වල පින්තුර තියෙනවාද කියලා හොයමු. ඔයා ගූගල්වල ඉමේජර්ස් වලින් Jars කියලා ටයිප් කරලා සර්ච් කරන්න.”
පරිගණක තිරයේ විවිධ වර්ගයේ බඳුන් රාශියක් පෙන්නුම් කරන්නට විය. ඔවුන් එම පින්තූර එකින් එක පිරික්සන විටදී තමා ළඟ තිබෙන බඳුනට සමාන හැඩයේ බඳුන් පෙළක පින්තූර දිස්වෙන්නට විය.
“බලන්න කුමාරි මේ ෆොටෝ එකේ තියෙන බුජමට සමානයි නේද? මම කිව්වේ මට මතකයි කොහේදි හරි දැකලා තියෙනවා කියලා. බලන්න නම මොකක්ද තියෙන්නේ කියලා.”
“ඒකේ තියෙන්නේ කැනොපික් ජාස් (Canopic Jars) කියලා.”
“එහෙනම් දැන් ඉමේජර්ස් වලින් අයින්වෙලා කැනොපික් ජාස් (Canopic Jars) කියලා ටයිප්කරලා සර්ච් කරන්නකෝ.”
“ආ මේ තියෙන්නේ.”
“හරි හරි දැන් මතක් වුණා මේ වාගේ බුජම් තිබුනා ඊජිප්තුවේ කයිරෝ මියුසියම් එකේ.”
“ඔයා හරි මේ බලන්න මේවා පිරමිඩ්වල තැන්පත් කරලා තිබිලා තියෙනවා.”
“ඕක බලන්න ඕනේ නැහැ. මා ගාව පොතක් ඇති මම ඒක අරගෙන එන්නම්.”
නාරද වහාම තම පුස්තකාලයට වැද එහි තිබූ හම්බැම්මෙන් බැඳ ඇති විශාල පොතක් රැගෙන ආවේය.
“මේ බඳුන වැදගත් වෙන්නේ මමීකරණය (Mummification) කරද්දියි.”
ඔහු මමීකරණය (Mummification) කොටස පෙරලාගෙන
“ඊජිප්තුවේ මමීකරණයට ලක් කරලා තියෙන්නේ විශාල වශයෙන් රජවරුනුත් රැජිනියනුත් තමයි. ඒත් ඒ එක්කම හමුවෙලා තියෙනවා රජවරුන්ගේ සොහොන් ගැබ්වලට ආසන්නයෙන් ප්‍රභූවරුන්ගේ හා ඔවුන්ගේ සුරතල් සතුන්ද මමීකරණයට පත්කරලා තැන්පත් කරපු සොහොන් ගැබවල්. පුජකයින් තමයි විශේෂිත පුද්ගලයෙක් මිය ගියාම මමීකරණයට පත්කරන්නේ. එයාලා මුලින්ම නයිල් ගංගාවේ වතුරින් සිරුර නහවලා පිරිසිදු කරගන්නවා. ඊට පස්සේ තමයි මේ බඳුන් වැදගත් වන්නේ.”
“ඒ මොකටද?”
“පුජකයින් මුලින්ම කළේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ඉවත් කරපු එක. හැබැයි ශරීරයේ හදවත විතරක් ඉතුරු කළා.”
“ඇයි හදවත විතරක්?”
“මොකද එයාල විශ්වාස කරනවා ඒ මියගිය තැනැත්තා මලවුන්ගේ ලෝකය (Under World) හරහා ගමන්කරනවා කියලා. එහිදී තමයි හදවත වැදගත් කියලා සලකන්නෙ, ඊළඟ ජීවිතයට තමන් කරපු හොඳ නරක පිළිබඳව විනිශ්චයකට එන්න හදවත අවශ්‍යයි කියල එයාලා හිතපු නිසා. මොළය ඉවත් කරන්නේ නාසය තුළින් කූරක් යවලා. ඊට පස්සේ මියගිය පුද්ගලයාගේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ඒ කියන්නේ අක්මාව, පෙණහලු, අතුනු බහන් හා ආමාශය අයින් කරලා ඒවා වෙන වෙනම හණ රෙදිවලින් ඒ කියන්නේ ලිනන් වලින් ඔතලා හොරස්ගේ පුත්තු හතරදෙනාගේ ( Four sons of Horus) බඳුන්වලට දානවා. මේ බඳුන් වලට දුම්මලයි ලාටුයි පවිත්‍ර කරගත් තෙල් වර්ගයි පුරවලා ඒවා අමරණීය කරගන්නවා.”
“කවුද මේ හෝරස්? පුත්තු හතරදෙනා කවුද?”
“හෝරස් (Horus) කියන්නේ මනුෂ්‍ය සිරුරක් තියෙන උකුසු මුහුණක් ඇති අහසට සහ හිරුට අධිපති දෙවියායි. ඒත් මේ පුත්තු හතරදෙනා කියන්නේ මේ බඳුන් හතරටයි. එක්කෙනෙක් තමයි හාපි (Hapi) එයාට තියෙන්නේ බැබුන් හිසක්. එයා තමයි මියගියකෙනාගේ පෙණහලු ආරක්ෂා කරන්නේ. දෙවනියා තමයි ඉම්සෙටි (Imsety) එයාට තියෙන්නේ මනුෂ්‍ය හිසක්. එයා තමයි අක්මාව ආරක්ෂා කරලා තියාගන්නේ. ඊළඟට ඩුවාමුටේෆ් (Duamutef) ආමාශය රැකබලාගන්නේ එයා තමයි. එයාට තියෙන්නේ නරියෙකුගේ මුහුණක්. අන්තිමයා ක්බේෂ්සෙනුෆ් (Qebehsenuef) එයාටනං තියෙන්නේ තාත්තාගේ මුහුණමයි ඒ කියන්නේ උකුසු මුහුණයි. එයා අතුනුබහන් ආරක්ෂා කරනවා. ඔයා දන්නවාද කුමාරි මේ හතරදෙනා සතර දිශාව නියෝජනය කරනවා කියලා.”
“ඒ කොහොමද?”
“හාපිට උතුරු දිශාවයි ඩුවාමුටේෆ්ට නැගෙනහිරයි ඉම්සෙටිට දකුණු දිශාවයි ක්බේෂ්සේනුෆ්ට තමයි බස්නාහිර දිශාව අයත්වන්නේ.”
“එහෙනම් මේ පින්තුරයේ ඉන්නේ හෝරස්ගේ පුතෙක් නේද?”
“අන්න ඔයාට දැන් තේරුනා.”
“ඉතිං නාරද ඊජිප්තුවේ පිරමීඩයක හරි සොහොන්ගැබක හරි තිබ්බ මේ බඳුන් වලින් එකක් විතරක් කොහොමද ලංකාවට ආවේ?”
“ඔන්න දැනුයි ප්‍රශ්නේ පටන්ගන්නේ. මොකද මේ පොතේ හැටියට නම් හෝරස්ගේ පුත්තු හතරදෙනා එකට තියලා තියෙන්නේ කැනොපික් චෙස්ට් (Canopic Chest) එකක් ඇතුළේ. ඒ කියන්නේ මේ බඳුන් හතර තවත් පෙට්ටියක දාලා මියගිය කෙනාගේ මෘත ශරීරයත් එක්ක සොහොන්ගැබේ තැම්පත්කරලා තියෙනවා. ඉතිං මේවාගේ කැනොපික් ජා එකක් විතරක් ලංකාවට ආවේ කොහොමද? එහෙමනම් මේකත් එක්ක අනෙක් බඳුන් තුනත් මෙහේ තියෙන්න ඕනේ.”
“අනෙක් තුනත් තියෙනවානං ඊජිප්තුවේ මමියකුත් තියෙන්න ඕනේ.”
“ඔව් ඒකත් කියන්න බැහැ. ඒත් කවුද කුමාරි ඊජිප්තුවේ ඉඳලා ලංකාවට මමී අරගෙන එන්නේ?”
“ඒත් නාරද මේවායේ වටිනා දෙයක් නෑනේ.”
“රජවරු මිය ගිහිල්ලා එයාලගේ සිරුර තැන්පත් කරද්දී එයා ජීවත්ව ඉන්නැද්දී පාවිච්චිකළ සියල්ලක්ම සොහොන් ගැබේ තැන්පත් කළා යළිත් ආත්මයක් ලැබුනාම පාවිච්චියට ගන්න. සමහරු මේවා රත්තරං වලින් හදලා තිබ්බා. මතකද ටුටන්කාමුන් රජතුමාගේ සොහොන් ගැබේ තිබුන භාණ්ඩ?”
“නිධන් කරපු වස්තු ගන්න හොරුන් ගොඩාක් සොහොන් ගැබවල් මංකොල්ලකෑවා එහෙම නේද?”
“ඔව් සමහරවිට එහෙම මංකොල්ලකාරයන්ට අහුවුනු මමියක් හරි කැනොපික් චෙස්ට් එකක් හරි ලංකාවට ආවාද දන්නේ නැහැ.”
“එහෙම නැතිව මේක ඒවාගේ හදපු බොරු එකක්ද දන්නේ නැහැ.”
“හරි බලමුකෝ කුමාරි මේ පින්තූරවලින් අපේ බඳුනත් මේවාගේමද කියලා. හෝරස්ගේ කීවෙනි පුතාද කියලත්.”
නාරද තම පරිගණකය ආශ්‍රයෙන් කැනොපික් ජාස් වල පින්තූර රැසක් ලබාගත්තේය.
“මට පේන්නේ නාරද මේ ඉන්නේ හාපි හරි ඉම්සෙටි හරි වෙන්න ඕනේ.”
“ඔව් අනෙක් දෙක නම් වෙන්න බැහැ. මේ පින්තූර වල හැටියට නම් මේ බඳුනත් ඊජිප්තුවේ එකක්මයි. ඒත් මේක අතට අරගෙන පරික්ෂණයක් කරන්නේ නැතිව හරියටම කියන්නත් බැහැ. සමහරවිට මේක කවුරුහරි දන්න කෙනෙක් ඉමිටේට් කරපු මගඩියක්ද දන්නේ නැහැ.
මට හිතෙනවා කුමාරි මේ බඳුන හමුවෙච්ච මුහුදු ප්‍රදේශය හොයාගෙන යන්න.”
“ඒක නම් ලේසි වැඩක් නම් නෙමෙයි.”
“එහෙම මුහුදු ප්‍රදේශය දැනගන්න හමුවුනොත් අපිට පුළුවන් වෙයි අනෙක් බඳුන් තුනත් හොයාගන්න. අලුත් පුරාවස්තූන් හොයාගන්නත් ඒවාගෙම ඉතිහාසයේ අපි නොදන්නා පැත්තක් හොයාගන්නත් පුළුවන්වෙයි නේද?”
“දැන් ඔය බඳුන ගැන හොයන්නේ නැතිව මේ වාර්තාව ඉක්මනටම ඉවරකරලා දාන්න.”
කුමාරි පුටුවෙන් නැගී සිටිමින් කීවාය. වසර ගණනාවක් පැරණි පුරාවස්තුවක් මහ පොළව කැන සොයාගත්තාක් වැනි ප්‍රබෝධමත් ජයග්‍රාහී හැඟුමකින් නාරදගේ සිත පුරවාලන්නට විය. ඔහු එදින නින්දට ගියේ වාර්තාවේ කොටසක් ඉවර කිරීමෙන්ය.
★ ★ ★ ★ ★ ★
ස්ටැන්ලි වික්‍රමපාලගේ මරණය සිදුකරමින් මුදල් හා වටිනා බඩු භාණ්ඩ කොල්ලකා පැනගිය කල්ලිය මෙහෙයවූයේ රංග නැමති ආරක්ෂක අංශයේ සේවයෙන් පලාවිත් හුන් අවුරුදු විසිපහක තරම් ළාබාල හීන්දෑරි තරුණයෙකි. ඔහු හා එක්වූ මංජු ඉක්මනින් කිපෙන සුළු මෙයට පෙර මංකොල්ලයන් කිහිපයකට සහභාගිව පොලිසියට කිසිවිටෙකත් හසුනොවුනු පුද්ගලයෙකු වූයේය. අනෙක් තරුණයන් තිදෙනාද මෙයට පෙර සුළු සුළු හොරකම්වල නිරතවූවන් වුවත් මෙසේ සංවිධානාත්මක ලෙසින් කිසිවක් කර නොතිබූ අතර මෙතෙක් පොලිස් ඇසට හසුවන තරම් අපරාධයන් කළ පුද්ගලයින්ද නොවීය. ඔවුන් මෙලෙස එක්වූ පසු සංවිධානාත්මක ලෙස කළ විශාලතම මංකොල්ලය මෙයද විය. තම කණ්ඩායමේ ප්‍රථම ගේම් එක සාර්ථකව අවසන්කර අවසන් මොහොතේදී මංජු මනුෂ්‍ය ඝාතනයක් සිඳුකරලීම ගැන රංග සිටියේ බොහෝ කෝපයෙනි. තම කණ්ඩායම සමඟින් මංජුගේ අතුරුගිරියේවූ නිවසට පැමිණි පසු රංග මංජු වෙත අතදිගහැර කම්මුල් පහරක් එල්ල කළේ අනෙක් තිදෙනා විස්මයෙන් මුව අයා බලාසිටිද්දීය.
“පර බල්ලා, යකෝ තොට කියලා තියෙනවා නේද ආයුධ ගත්තාට මිනිස්සු මරන්න එපා කියලා. දැන් ඉතිං හැංගෙන්න තැනක් හොයා ගනිල්ලා. පොලීසිය පිස්සු බල්ලෝ වගෙ දැන් අපේ පස්සේ පන්නන්න ගනියි.”
රංගගේ කම්මුල් පහර තම අභිමානයට පහරක් වූවත් එයට විරුද්ධව කිසිවක් නොකියා රතුවීගිය දෙනෙතින් යුතුව මංජු රංග දෙස කෝපාග්නි විසුරවමින් බලාසිටියේය. තව වචනයක් හෝ කීවොත් ගුටි වරුසාවක් ඒකාන්තයෙන්ම ලැබෙන බව දන්නා සියල්ලෝම රංගගේ කෝපය නිවෙනතුරු නිහඬව සිටියෝය. බුර බුරා නැඟ එන කෝපය මැඩගනු වස් රංග සිගරට්ටුවක් දල්වාගෙන නිවසින් එළිමහනට ගියේ පොලිස් උකුසු ඇසින් බේරීම ගැන සිතමින්ය. ඒ අවස්ථාවෙන් මංජු හා අනෙක් සගයන් කොල්ලකාගත් මුදල් හා අනෙකුත් භාණ්ඩ තෝරාගන්නට විය. භාණ්ඩ බෙදාගැනීමේදී එකිනෙකා පරයා ගැටීමෙන් ඇතිවූ ඝෝෂාව කන වැකුනු රංග වහා නිවෙස තුළට පැන්නේ එය වළක්වමිනි. අන්තිම සිගරට් උගුරත් උරා දොරින් පිටතට විසිකල රංග කෑගැසීය.
“යකෝ දැන්මම පදිරි වෙන්නද කෑගහන්නේ. මෙහෙට ගනින් සල්ලි ඔක්කෝම. කීයක් තියෙනවාද මෙතන?”
“ලක්ෂ දහයක් විතර.”
“හරි මෙන්න උඹලාට ලක්ෂ දෙක ගානේ. හැබැයි ඔක්කෝම සල්ලි දැන්ම නෙමෙයි.”
“එහෙම හරියන්නේ නැහැ රංග අයියා.”
මංජු එයට විරුද්ධ වෙමින් කීවේය.
“හරියන නොයන එක මම දන්නවා. තොපිලා දැන්මම මේවාට මරාගන්න හදනකොට. මේ සල්ලි අරගෙන පිස්සු කෙළියි. එතකොට නිකම්ම අපි පොලීසියට මාට්ටු. ඒක නිසා දැන් පනස්දාහ ගානේ දෙන්නම් පස්සේ ඉතුරු සල්ලි ටික බේරමු. හැබැයි මේ සල්ලි වලින් වැඩි වැඩ දාන්න බැහැ. වෙනදා හිටියා වාගේ හිටපල්ලා මේ උණුසුම යනකං.”
ඒ යෝජනාවට මංජු ඇතුළු අනෙක් සගයන් එතරම් කැමැත්තක් දැක්වූයේ නැත.
“රංග අයියා මේ ප්ලෑන් එක ඇන්දෙ මම. ඒ නිසා මට වැඩිපුර ගාණක් එන්න ඕනේ.”
අනෙක් තිදෙනාද මේ කතාව ඇසුවායින් පසුව රහසින් මෙන් මුමුනන්නට විය.
“යකෝ උඹ වැඩේ හරියට කළාද? තව මිනියකුත් මරලා වැඩිපුර ගාණක් ඉල්ලනවා. තෝ හින්ද අපේ බෙල්ලට තොණ්ඩුව වැටිලා කියලා හිතෙන්නේ නැද්ද?”
සල්ලි මිටි කිහිපය අතේ තබාගත් රංග ටික වේලාවක් ඒ දෙස බලාගෙන කල්පනාවට වැටුනේය. යළි කල්පනාවෙන් මිදුන ඔහු දිගු හුස්මක් පිටකරලීය.
“උඹලා දැන් හිතනවා ඇතිනේ මම මේ සල්ලි ඔක්කෝම ටික අරගෙන මාරු වෙයි කියලා. මට උඹලාගේ සතයක් වත් එපා. ඉඳා ගනිල්ලා මේ සල්ලි. හැබැයි උඹලා මේ සල්ලි සුද්දෝ වාගේ වියදම් කරන්න හදලා පොලීසියට මාට්ටු වෙන්න එපා. මංජු උඹට වැඩිපුර ඕනෙ නම් මම දෙන්නම් හැබැයි මේ සල්ලි වලින් නෙමෙයි. මේ බඩු ටික සල්ලි කරලා ඉවරවෙලා. කෝ ඔක්කොම බඩු මෙතන තියෙනවාද? දාපල්ලා හංගගත්තු ඒවා.”
“මේ මොකද්ද මේ මුට්ටිය?”
මතුසම්බන්ධයි...
හොඳටම රහයි අද ටික නම් පුතෝ එළ
ReplyDeleteඅසුවී තිබෙයි රසිකයනගෙ හොඳම නිල
හැඩයි රූප නියමෙට ගස්සලා පෙළ
කවුන්ටරය hit කැරකෙයි, නැතිද බල!
ගොතමින් කතන්දර ගස්සවලා හරියට පෙළ
Deleteඅල්ලන්නට හැදුවේ රසිකයන්ගේ හොදම නිල
කියවන්නෝ නෑතිනම් බහිනවා ලියන්නාගේ බල
අවසන කවුන්ටරේ පෙන්නයි මේ සියලු ඵල.
ඒ අර අරුන් හතර දෙනා ඇත්තම රොබරි කාරයෝ හතර දෙනාද? යකූ නැතිනම් උන් නඩු දායි.. හෙහ් හෙහ්. උඹ උන්ව මිනීමැරුමක පටපටලවන්න යනවා කියල :))
ReplyDeleteඒක මේ එංගලන්තයේ රොබරි දුන්නු දෙමළ සැට් එකක්..
Deleteඅද දොලහ නිසා බයෙන් බයෙන් ආවා. ඉතිහාස පාඩම හොඳයි. (අර ෆොටෝ හතර නොදා හිටියනම් හොඳ නැද්ද. කොහොමත් අපිට චිත්ත රූප මවාගන්න පුලුවන්නෙ අසංග ලියන විදිහට).
ReplyDeleteගිය පෝස්ට් එකට කොමෙන්ට් එකක් වත් නැත්තේ කියලා ඇයි කියලත් බැලුවා..කොමෙන්ට් කරන අයට බදුන එවනවා කිව්වා හින්ද නේ. නිමල් අයියා මහත්තයා තමයි කිව්වේ පොටෝ දමන්නයි කියලා. නොතේරෙන උදවියට පොඩ්ඩක් තේරුම් ගන්නත් හොද නැද්ද??
Deleteහපොයි මේ නිමල් අය්යා මහත්තයා කරන වැඩ. ලඟදි ඉඳලා දො.ග.මූ බස්සෙකුත් එකතු වෙලා දෙන්න දැන් Partners in Crime තමයි.
Deleteඒක තමයි.. දැන් ටික දොහකට ඉස්සරින් ඩ්‍රැකියා කියලා වවුල් මොටෙක් සැට්වෙලා උන්නා. ඒකා පට්ට සීතලේ මොලේ හිරිවැටෙන්න නුවරඑළියට පැන්නුවාට පස්සේ දැන් බස්සෙකුත් ඇවිල්ලා..
Deleteඅනේ පව් ඩ්රැකීට එහෙම කියන එක. බස්සා නම් ආඳන්ටත් ගුරුතුමා. (මේකට එන්නෙ නෑනේද කමෙන්ට්ස් දාන්න).
Deleteරහයි
ReplyDeleteස්තුතියි
Deletehttps://www.worldhistory.org/article/1095/tomb-robbing-in-ancient-egypt/
ReplyDeletehttps://www.bbc.com/news/uk-england-birmingham-21044770
https://www.nytimes.com/2017/07/15/world/asia/china-tomb-robbing-qin-dynasty.html
ස්තුතියි මේ ලිංක් ඉදිරියට වැදගත් වෙනවා
Deleteමම මුල ඉදන් කියවගෙන එන්නම්.. ඔය හදවත හොද නරක බලන්න ඕන කියන්න හේතුවක් තියෙනවා. මැරුණට පස්සේ හදවත තරාදියක දාලා කිරනවා. ඒක පිහාටුවක බරට වඩා වැඩි වුනොත් නරක වැඩියි කියලයි හිතුවේ. හොද කරලා හදවත සැහැල්ලුව තියාගන්න ඕනලු..
ReplyDeleteදැන් ඉන්න උන්ගේ හදවත් කිරන්න බිම් තරාදියක් ගන්න වෙනවා..
Delete