Saturday, August 9, 2025

පුරස්ථිග්‍රන්ථිය ඉදිමීම

 ගොඩක් දෙනෙක් පුරස්ථිග්‍රන්ථිය ඉදිමීම ගැන ලියන්න කියලා ඉල්ලලා තිබුනා. ඒ නිසා අද ඒ ගැන ලියන්න හිතුවා. 

සමහර විට ඔයාගේ තාත්තා, සැමියා මේ රෝග ලක්ෂණ එක්ක පීඩා විදිනවා වෙන්න පුලුවන්. සමහර විට ලජ්ජාව නිසා කියන්නේ නැතුව ඇති.



පුරස්ථි ග්‍රන්ථිය කියන්නේ පිරිමි අයගේ මුත්‍රාශයට යටින්, ගුද මාර්ගය ඉස්සරහින් තියෙන කුඩා ග්‍රන්ථියක්. මේ ග්‍රන්ථියෙන් තමයි ශුක්‍ර තරලය හදන්නේ. ඒ නිසා, පිරිමින්ගේ ප්‍රජනන පද්ධතියේදී පුරස්ථි ග්‍රන්ථිය ගොඩක් වැදගත්.


අපි වයසට යනකොට පුරස්ථි ග්‍රන්ථිය එහි සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වෙන්න පුලුවන් (BPH - Benign Prostatic Hyperplasia). ග්‍රන්ථිය විශාල වෙනකොට මුත්‍රාශය හා මුත්‍ර මාර්ගය තද වෙනවා. ඒ නිසා මුත්‍රා ගමනේ ගැටලු ඇතිවෙනවා.


✅️BPH ඇතිවෙන්න හේතු

✔️වයස අවුරුදු 50ට වඩා වැඩි උනාම BPH ඇතිවීමේ අවදානම වැඩියි. (60-70 ට වඩා ගියාම ගොඩක් පිරිමින්ට මේ තත්ත්වය තියෙනවා.)

✔️ටෙස්ටොස්ටිරෝන් හා එහි උප ආකාරයක් වන DHT (Dihydrotestosterone) නිසා ග්‍රන්ථි සෛල වර්ධනය වෙනවා.

✔️පවුලේ තව කෙනෙකුට BPH තිබුණොත් ඔබටත් ඒක ඇතිවෙන්න පුළුවන්.


✅️BPH තියෙන අයට බහුලව දකින්න ලැබෙන රෝග ලක්ෂණ:

✔️මුත්‍ර පිටවෙන්න ගොඩක් වෙලා ගන්නවා, හෝ බලෙන් තල්ලු කරන්න වෙනවා.

✔️ මුත්‍ර ගලා යන්නේ හිමින්.

✔️මුත්‍ර කිරීම අවසන් වුණත් තවමත් බිංදු බිංදුවට එනවා.

✔️නිතර නිතර මුත්‍ර යෑම (රෑටත් කිහිප වතාවක් ඇහැරෙන්න වෙනවා.)

✔️මුත්‍ර කළාට පස්සෙත් තවමත් මුත්‍ර තියෙනවා වගේ හැඟීමක්.

✔️හදිසියේම මුත්‍ර යන්න ඕන වෙනවා, ඉවසන්න බැරි තරමට.


රෝග ලක්ෂණ තියෙනව නම් BPH කියලා තහවුරු කරන්න පහල තියෙන පරීක්ෂණ කරනවා.


1️⃣ඩිජිටල් රෙක්ටල් පරීක්ෂාව (Digital Rectal Examination - DRE)

ගුද මාර්ගයෙන් ඇඟිල්ලක් දාලා පුරස්ථි ග්‍රන්ථියේ ප්‍රමාණය, හැඩය, එහි ඝනකම බලනවා. 


2️⃣PSA (Prostate-Specific Antigen) රුධිර පරීක්ෂාව

PSA කියන්නේ පුරස්ථි ග්‍රන්ථියෙන් නිපදවෙන ප්‍රෝටීනයක්. BPH, පිළිකා, හෝ ග්‍රන්ථියේ ආසාදන එක්ක PSA මට්ටම ඉහළ යන්න පුළුවන්. 


3️⃣මුත්‍ර ප්‍රවාහ පරීක්ෂාව (Uroflowmetry)

මේකෙන් මුත්‍ර ධාරාවේ වේගය හා ප්‍රමාණය මනිනවා. 


4️⃣Post-Void Residual Volume Test

මුත්‍ර කරාට පස්සේ මුත්‍රාශයේ ඉතිරිවෙලා තියෙන මුත්‍ර ප්‍රමාණය මනිනවා. මේකට Ultrasound එකක් භාවිතා කරනවා. 


5️⃣අල්ට්‍රාසවුන්ඩ් (Ultrasound)

මේකෙන් ග්‍රන්ථියේ ප්‍රමාණය හා එහි ව්‍යුහය හඳුනාගන්න පුළුවන්.


6️⃣මුත්‍රාශය පරීක්ෂාව (Cystoscopy)

කුඩා කැමරාවක් මුත්‍ර මාර්ගයෙන් ඇතුළු කරලා මුත්‍රාශය හා මුත්‍ර මාර්ගයේ ඇතුළත බලනවා. මේකෙන් BPH නිසා මුත්‍ර මාර්ගයේ තද ගතියක් තියෙනවාද කියලා බලන්න පුළුවන්. (පළවෙනි comment එකේ Cystoscopy එකක් කරන vedio එකක් තියෙනවා)


BPH තත්ත්වය බරපතල නැත්නම්, ප්‍රතිකාර අවශ්‍ය නැති වෙන්නෙ නෑ. ඒත් රෝග ලක්ෂණ අනුව පහල තියෙන ප්‍රතිකාර ක්‍රම තියෙනවා.


💊බෙහෙත් වලින් මුත්‍ර මාර්ගයේ මාංශ පේශි ලිහිල් කරලා මුත්‍ර කරන එක ලේසි කරනවා.

💊රෝග ලක්ෂණ බරපතල නම්, TURP (Transurethral Resection of the Prostate) වගේ ශල්‍යකර්ම කරන්න පුළුවන්.


❌️BPH වල රෝග ලක්ෂණ තවත් රෝග ගණනාවකටත් පොදුයි. ඒ නිසා, රෝග ලක්ෂණ තිබුණොත් වෛද්‍යවරයෙකු හමුවෙන්න ඕනේ. BPH වලට සමාන රෝග ලක්ෂණ තියෙන්න පුළුවන් රෝග:

- පුරස්ථි ග්‍රන්ථි පිළිකාව (Prostate Cancer)

- මුත්‍රාශයේ ගල් (Bladder Stones)

- මුත්‍ර මාර්ග ආසාදන (Urinary Tract Infections - UTI)

- මුත්‍රාශයේ පිළිකාව (Bladder Cancer)

- Neurogenic Bladder) 

 

⚠️BPH කියන්නේ පිළිකාවක් නෙවෙයි. BPH එකෙන් පිළිකාවක් ඇතිවෙනවා කියලා සාක්ෂි නැහැ. ඒත්, BPH වලයි පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවෙයි එකම රෝග ලක්ෂණ තියෙන නිසා රෝග ලක්ෂණ තියෙනව රජයේ රෝහලට හරි GU Surgeon කෙනෙක් හරි හමුවෙන්න.

📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා.  මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්නේ 30k ක විතර followers ගානක්. ඒ අය මේක දකී. මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.


වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න


Saturday, August 2, 2025

Ultrasound scan ගැන

 වාට්ටුවේ scan දෙක. 



Scan එකක් කරන්න ලේසි නෑ. Scan room එකට call ගත්තම ඒකේ ඉන්න අයියා කෙනෙක් don't care level එකෙන් answer කරනවා. දැන් ඉතින් විස්තරේ කියන්න ඕනේ. 

ලෙඩා ආවේ මොනවා වෙලාද? රෝග ලකෂණ මොනවද තිබුනේ, blood reports ඔක්කොම කිව්වට පස්සේ එහෙනම් මේ වෙලාවට එවන්න කියලා කියනවා. 

Intern කාලේ ඔහොම scan දෙකක් කතා කරගත්තා. 

එකකට bladder full කරලා එවන්න කිව්වා. ඒ කියන්නේ හොදට වතුර බීලා මූත්‍රා කරන්නේ නැතුව. ඒ සීයාගේ මූත්‍රාශය බලන්න තිබුනේ.

අනිත් එක 6 hour fasting එවන්න කිව්වා. ඒ කියන්නෙ පැය 6 ක් කන්නේ බොන්නේ නැතුව. මෙයාගේ අක්මාව පිත්තාශය බලන්න තිබුනේ. 

දෙන්නට කරන්න ඕන දේවල් ටික කියලා scan එකට යන්න මේ වෙලාවට ලෑස්ති වෙන්න කියලා මම වෙන වැඩකට ගියා. 

ටිකකින් scan එකට යවන්න බලනකොට කන්න එපා කිව්ව මනුස්සයා කාලා. මූත්‍රා කරන්න එපා කිව්ව මනුස්සය හොද චූ පාරක් දාලා ඇවිත්. 

දෙකක් අමතන්න ඕන අවස්ථාවක්.  

ඔය වගේ ඒවට බැන්නම තමා hospital එකෙන් ඇවිත් රජයේ hospital වල staff වලට බනින්නේ. ලෙඩ්ඩු 80 කට 100 කට විතර staff එකෙන් 5 ක් 6 ක් ඉදලා කරන සේවයට හරිනම් පිං දෙන්න ඕනේ. 


තමන්ගේ ලෙඩ ගැන වගේම පරීක්ෂණ ගැනත් අවබෝධයක් තියෙන්න ඕනේ. අඩුම තරමේ අවබෝධයක් නැත්නම් කියන උපදෙස් ටිකවත් අහන්න ඕනේ.


අද ultrasound scan ගැන


ultrasound scan ස්කෑන් කියන්නේ අපේ ඇග ඇතුළත බැලීමට භාවිතා කරන ආරක්ෂිත, වේදනා නැති, විකිරණ නැති වෛද්‍ය පරීක්ෂණයක්. Pregnant අම්මලටත් මේක ආරක්ෂිතයි. 


මේකෙදි වෙන්නේ scan machine එකෙන් ශබ්ද තරංග (ultrasound waves) ශරීරයට යවනවා. මේ තරංග ශරීරයේ පටක, අවයව, හෝ තරල හරහා ගිහින් ආපසු පරාවර්තනය වෙනවා (echoes). ඒ පරාවර්තන තරංග වලින් machine එකේදි රූපයක් හදනවා වෙනවා. ඒකෙන් ශරීරයේ ඇතුළත තත්ත්වය හඳුනාගන්න පුළුවන්. 

Doppler ultrasound එකකදී රුධිර ගලන වේගය හා දිශාව බලන්න පුළුවන්, ඒකෙන් රුධිර නාලවල ගැටළු හඳුනාගන්න පුලුවන්.


✅️අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකකින් බලන්න පුළුවන් දේවල්

1️⃣ගර්භිණීභාවය - බිළිඳාගේ වර්ධනය, හෘද ස්පන්දනය, ගර්භාෂ තත්ත්වය, හෝ වැදෑමහ (placenta) හි ගැටළු බලන්න පුලුවන් 

2️⃣අභ්‍යන්තර අවයව - අක්මාව, වකුගඩු, පිත්තාශය, අග්න්‍යාශය, ගර්භාෂය, වෘෂණකෝෂ, මුත්‍රාශය, තයිරොයිඩ් ග්‍රන්ථිය, පුරස්ථි ග්‍රන්ථිය වැනි අවයවවල වෙනස්වීම් හඳුනාගැනීම.

3️⃣හර්නියා තත්ත්ව හඳුනාගැනීම.

4️⃣හෘදය : හෘදයේ වෑල්, කුටීර හෝ රුධිර ගලනය බැලීම (Echocardiogram).

5️⃣ධමනි හා රුධිර ගලනය - රුධිර නාලවල බාධා, ලේ කැටි, හෝ රුධිර ගලනයේ ගැටළු (Doppler ultrasound).

6️⃣සන්ධි හා මෘදු පටක - සන්ධිවල ඉදිමුම, කණ්ඩරා ඉරීම්, හෝ මෘදු පටකවල ගැටළු (musculoskeletal ultrasound).

7️⃣ පියයුරු වල ගෙඩි / පිළිකා හදුනාගැනීමට 


Ultrasound scan රෝග හඳුනාගැනීමට විතරක් නෙවෙයි සමහර ප්‍රතිකාර සහ procedures වලටත් උදව් වෙනවා. 

1️⃣Biopsy ගන්න : තයිරොයිඩ්, අක්මාව, වකුගඩු, පියයුරු හෝ පුරස්ථි ග්‍රන්ථියේ තියෙන ගෙඩි පිළිකාද යන්න බලන්න ඒවායින් කුඩා කොටසක් ගන්නවා. Ultrasound එකෙන් හරිම තැන හඳුනාගෙන biopsy ගන්න පුලුවන්.

2️⃣තරල ඉවත් කිරීම (Fluid Drainage): ශරීරයේ එකතු වුණු තරල (උදා: පපුවේ, බඩේ, හෝ හන්ධිවල) ඉවත් කිරීමට needle එකක් යොදා ගන්නවා. Ultrasound එකෙන් needle එක නිවැරදි තැනට යොමු කරන්න පුලුවන්.

3️⃣එන්නත් (Injections) : හන්ධිවල වේදනාවට හෝ ඉදිමුමට ප්‍රතිකාර කිරීමට steroid හෝ වෙනත් ඖෂධ එන්නත් කරනවා. Ultrasound එකෙන් එන්නත නිවැරදි තැනට යොමු කරනවා.

4️⃣Catheter එක ඇතුල් කිරීම : වකුගඩු හෝ මුත්‍රාශ ගැටළුවලදී catheter එකක් ඇතුල් කිරීමට ultrasound එක භාවිතා කරනවා.


⛑️⛑️⛑️ ස්කෑන් එකට සූදානම් වීම**

ස්කෑන් එකේ වර්ගය අනුව ඔයා සූදානම් වෙන්න ඕන විදිය වෙනස් වෙනවා.

1. Abdominal Ultrasound

පැය 6-8ක් කෑම බීම කන්නේ නැතුව ඉන්න ඕනේ.

පිත්තාශය පිත් යුෂයෙන් පිරෙන්නේ කන්නේ බොන්නේ නැතුව හිටියම. පිත්තාශය හොදට බලන්න නම්, ඒක පිරිලා තියෙන්න ඕනේ. 


2. Ultrasound KUBP

මේකෙදි බලන්නේ වකුගඩු, මූත්‍රමාර්ගය සහ මූත්‍රාශය සහ පුරස්ථිග්‍රන්ථිය. 

මූත්‍රාශය හොදට බලන්න නම් ඒක පිරිලා තියෙන්න ඕනේ. ඉතින් Ultrasound KUBP එකකට කලින් හොදට වතුර බීලා මූත්‍රා කරන්නේ නැතුව මූත්‍රාශය පුරවගෙන යන්න ඕනේ. 

සමහර විට Scan එක අතරතුරදි ඔයාට මූත්‍රා කරලා එන්න කියලා ආයේ scan කරලා මූත්‍රාශය හිස් වෙන විදිය බලනවා. (Post void residual volume - PVRV)


3. Pregnant scan

මේවට නම් Fasting ඉන්න ඕනේ නෑ. 

මුල් මාස කීපයේ බඩෙන්(trans abdominal)බැලුවට කලලය හරියට පේන්නේ නැති නිසා යෝනි මාර්ගයෙන් (Transvaginal) scan කරන්නේ.


4. තයිරොයිඩ්, හර්නියා, පියයුරු හෝ මෘදු පටක:

විශේෂ සූදානමක් ඕනේ නෑ.


Ultrasound scan එකකට කලින් ඔයාට දුන්න උපදෙස් පිළිපදින්න. වටේ ඉන්න අය කියන දේවල් අහන්න ගිහින් ඔබත් අපිත් අපහසුතාවට පත් නොකරන්න.


📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා.  මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්නේ 24k ක විතර followers ගානක්. ඒ අය මේක දකී. මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.


වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න

මෙය කොළොම්පුරයා විසින් සලක බ්ලොග්වාසින්ගේ හිතසුව නීරෝගි සුව පිණිස මුහුණු පොතෙන් උපුටාගෙන පලකරන ලදී.



Monday, July 28, 2025

ඔබේ කක්කා මොන පාටද? Poop Color


 අයියා GI surgery MO නේද? 

ඔව් නංගි.

මම ...... ward එකේ HO. අයියා referral එකක් තියෙනවා. patient කෙනෙක්ට malena තියෙනවා...

මම ඇවිත් බලන්නම්. 


දැන් පලයන්කො කක්කා බලන්න. 

Malena කියන්නේ කලුපාටට තාර වගේ මලපහ පිටවෙනවට. ඒක රෝගයක් නෙවෙයි. රෝග ලක්ෂණයක්. 


අවුරුදු 60 ක විතර තාත්තා කෙනෙක්. ඇවිත් තියෙන්නේ හුස්ම ගන්න අමාරුවෙලා. වාට්ටුවට ආවට පස්සේ කරපු රුධිර පරීක්ෂණයේ හිමොග්ලොබින් මට්ටම 4.8 යි. (සාමාන්‍යයෙන් ලේ වල හිමොග්ලොබින් 11 වැඩියෙන් තියෙන්න ඕනේ. හිමොග්ලොබින් තමයි අපි හුස්ම ගන්නකොට පෙනහලු වලින් ගන්න ඔක්සිජන් ශරීරය පුරා අරන් යන්නේ හිමෝග්ලොබින් වලින්. 

හුස්ම ගන්න අමාරු වෙන්නේ හිමෝග්ලොබින් අඩුවෙලා නිසා. 

දැන් හොයන්න ඕනේ හිමෝග්ලොබින් අඩුවෙන්න හේතුව. 


තාත්ත ඇඟේ කොහින් හරි ලේ පිටවෙනවද? මූත්‍රා කරද්දී, මලපහ කරද්දි එහෙම. 

නෑ මහත්තයෝ. 

එතකොට කලු පාටට මලපහ යනවද? 

ඔව් එහෙමනම් තියෙනවා දැන් දවස් හට අටක ඉදලා .


තව විස්තර අහල ඉවර උනාට පස්සේ ඔන්න පරීක්ෂා කරලා බලන්න හදන්නේ. 

ගුද මාර්ගයට ඇඟිල්ලක් දාලා බැලුවා. ඇඟිල්ල අරන් බලනකොට කලු පාටට දිලිසි දිලිසි තාර වගේ කක්කා තියෙනවා. 


කක්කා, කක්කි, මලපහ stool වල පාට, ස්වභාවය, පිටවන වාර ගණන වැදගත්ද?

ඔව් සමහර රෝග වල රෝග ලක්ෂණයක් විදියට මලපහ වල ස්වභාවය වෙනස් වෙනවා. 


ඒ තාත්තට දවස් ගාණක් කලු පාටට මලපහ ගියත් ගණන් අරන් නෑ. ඇත්තටම ඒ තාත්තට ඒ ගැන අවබෝධයක් තිබිලා නෑ. අන්තිමට ලේ පයින්ට් දෙක තුනකුත් දීලා තමයි නතර උනේ. 


මලපහ ගැන කතා කරන්න ටිකක් ලැජ්ජා හිතුනත්, ඒක අපේ අසනීපයක් ගැන ඉඟියක් දෙනවා වෙන්න පුළුවන්.

ඉතින්, අපි බලමු මලපහ වල වර්ණය ගැන දැනගන්න ඕනේ මොනවද කියලා.


🟤 දුඹුරු (Brown) - තමයි හොඳම.

පිත් යුෂයේ තියෙන බිලිරුබින් (bilirubin) නිසා මලපහ දුඹුරු පාට වෙනවා. ඒක ඔයාගේ ආහාර ජීර්ණයේ සාමාන්‍ය ක්‍රියාවලිය. අපේ ආහාර හින්දා මලපහ වල පාට ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඒත් ඒක ලොකු ගැටලුවක් නෙමෙයි.


🟢 කොළ පාට (Green) 

බිලිරුබින් බඩවැල් තුලින් ඉක්මනට ගියොත්, මලපහ කොළ පාට වෙනවා. එහෙමත් නැත්නම් කොළ පාට එළවලු ජීරණය වෙන්නේ නැතුව පිට වෙනකොට එහෙම වෙන්න පුළුවන් ( IBS වගේ තත්ත්ව වලදි). 


⚪ සුදු හෝ මැටි පාට (Pale/Clay-colored)

පිත් යුෂයේ තමයි බිලිරුබීන් තියෙන්නේ. මලපහ වලට කහ/ දුඹුරු වර්ණය එන්නේ බිලිරුබින් නිසා. පිත් යුෂය ආහාර මාර්ගයට එන්නේ නැති උනොත් මලපහ මැටි වගේ පාටකට හැරෙන්න පුළුවන්. මේක අක්මාවේ හරි පිත්තාශයේ හරි පිත්ත නාලයක හරි ගැටලුවක ලක්ෂණයක් වෙන්න පුළුවන්. බැරෑරුම් තත්වයක් වෙන්න පුළුවන්. 


⚠️ඉක්මනින් ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න. පිත්තාශයේ ගල්, හෙපටයිටිස්, හෝ වෙනත් අක්මාවේ ලෙඩ, පිත්ත නාලයේ පිළිකා ගැන බලන්න ඕන.


🔴 රතු හෝ රෝස පාට (Red/Pink)

ලේ තමයි මේකට හේතුව. බඩවැල් වල ලේ ගැලීමකින්, අර්ශස් වලින් හරි බඩවැල් වල ගැටලුවකින් (විශේෂයෙන් පහල බඩවැලේ) වෙන්න පුළුවන්. 

බීට් ගොඩක් කෑවත් මෙහෙම වෙන්න පුළුවන්! 😄 

බීට් නම් ගැටලුවක් නැහැ. ඒත් හේතුව ලේ ගැලීමක් නම් නොසලකා ඉන්න බෑ. රතු පාට එක දිගටම තියෙනවනම් හරි බඩේ කැක්කුම එක්ක තියෙනවනම් ඉක්මනින් ඩොක්ටර් කෙනෙක්ව හම්බෙන්න.


⚫ කළු (Black)

බඩවැලේ ඉහල කොටසේ ලේ ගැලීමක්(oesophageal varices,  gastric ulcer) නිසා හරි යකඩ පෙති නිසා මෙහෙම වෙන්න පුළුවන්. යකඩ පෙති හින්දා නම් ලොකු ගැටලුවක් නැහැ. ඒත් ලේ ගැලීමක් නිසා නම් බරපතල වෙන්න පුලුවන්.


⚠️කළු, තාර වගේ (tarry) පාටට මලපහ යනව නම්, ඉක්මනින් ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න. ඒක බඩවැලේ ලේ ගැලීමක ලක්ෂණයක්.


🟡 කහ (Yellow)

ආහාරවල මේදය හරියට ජීර්ණය උනේ නැති උනොත් මලපහ තෙල් සහිත, කහ පාටකට හැරෙන්න පුළුවන්. අග්න්‍යාශයේ ගැටලු, පිත්තාශයේ ගැටලු වගේ තත්ව එක්ක මෙහෙම වෙන්න පුළුවන්.

⚠️මලපහ එක දිගටම කහ, තෙල් සහිත, ගඳ ගහනවා නම් ඩොක්ටර් හම්බෙන්න.


🚨 කවදද ඩොක්ටර් කෙනෙක්ව හම්බෙන්න ඕන

- මලපහ වල වර්ණය එක දිගටම අසාමාන්‍යය නම්

- බඩේ වේදනාව, උණ, බර අඩුවීම, රුධිර හිඟකම (anemia) වගේ ලක්ෂණ තියෙනවා.

- කෑම / බෙහෙත් එක්ක මලපහ වල පාට වෙනස් වෙන්නේ නෑ කියලා හිතෙනවා නම්.


📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා.  මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්නේ 22k ක විතර followers ගානක්. ඒ අය මේක දකී. මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.


වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න..

සකල බ්ලොග් වාසින්ගේ හිතසුව නීරෝගිසුව පිණිස බුකියෙන් උපුටා මෙහි පලකරණ ලදි....

Friday, July 25, 2025

ගලනාලයේ නහර ගැට ගැසීම (Esophageal Varices)

 ඊයේ අපේ  Endoscopy දවස. Endoscopy පරීක්ෂණය ගැන හැමෝම දන්නවා ඇති කියලා හිතනවා. 

අවුරුදු 40 ක විතර තරුණයෙකුගේ endoscopy එකක් කරන්න තිබුනා. එයා සිසරෝසිස් ලෙඩෙක්. Endoscope එක උගුරෙන් පහලට යනකොටම ඔය photo එකේ වගේ තිබුනේ. 



ඉතින් අපි අද කතා කරන්න හිතුවා ගලනාලයේ නහර ගැට ගැසීම (Esophageal Varices) ගැන. (ගලනාලය කියන්නේ උගුරේ ඉදන් ආමාශයට කෑම ගෙනියන නාලයට) 


අපි කන කෑම බඩවැලේ දි ජීර්ණය වෙනවා. ඊට පස්සේ ඒ කෑම වලට මොකද වන්නේ කියලා දන්නවද? 

ඒවා අපේ ලේ වලට එකතු වෙනවා කියලා තමයි අපි දන්නේ. ඒත් එහෙම නිකන්ම ඇග පුරාම දුවන ලේ (systemic circulation) වලට එකතු කරලා බෑ. අපි කන කෑම වල එක එක එක විෂ වර්ග, පෝෂ්‍ය පදාර්ථ එක එක ප්‍රමාණ වලින් තියෙන්නේ. ඒවා එක පාරම අපේ ඇග පුරාම දුවන ලේ වලට එකතු උනොත් ගැටලු ගොඩක් ඇතිවෙන්න පුලුවන්. ඒ නිසා අපේ කෑම ජීර්ණය වෙන දේවල් උරාගන්නේ වෙන රුධිර නාල පද්ධතියකට (portal vein - යාකෘතික ප්‍රතිහාර ශිරාව). 

ඒක අපේ ආහාර මාර්ගයෙන් පටන් අරන් අක්මාවට ලේ අරන් එනවා. අක්මාව තමයි මේ ලේ පිරිසිදු කරන්නේ. ඒ වැඩ ටික ඉවර උනාම තමයි ලේ ටික heart එක යවන්නේ. Heart එකෙන් තමයි ලේ ඇග පුරාම pump කරන්නේ.

(දෙවෙනි comment එකේ portal vein එකේ photo එකක් තියෙනවා.)




තේරුනාද මන්දා. ටිකක් සංකීර්ණ වැඩක්. 


සිරෝසිස් වලදි මොකද වෙන්නේ? 

සිරෝසිස් වලදි අක්මාවේ සෛල විනාශ වෙනවා. ඒ නිසා ආහාර මාර්ගයේ ඉදන් ලේ අරන් එන portal vein එකේ තියෙන ලේ වලට යන්න තැනක් නැති වෙනවා. එතකොට portal vein එකේ pressure එක වැඩි වෙනවා. (Portal hypertension)


මේ බාධාව නිසා ලේ අක්මාව හරහා යන්න බැරිව, වෙනත් නහරවලට ගලා යනවා. ඒක හොදද? හොද උනත් නරක උනත් ඒක තමා විසදුම. Portal vein එකෙන් එන ලේ ගලනාලයේ නහර වලට තමයි දැන් යන්නේ. ඒ නිසා ගලනාලයේ නහර ගැට ගැහෙනවා. ඒවා තමයි esophageal varices. මේ නහරවල බිත්ති තුනී නිසා, ඒවා ඉරී යන්න ලේසියි.


සිරෝසිස් තියෙන අයට ලේ වමනය යන්නේ මේ නහර ඉරිලා හරි, හිල් වෙලා හරි. මේක මාරාන්තික වෙන්න පුලුවන්.


මේ නහර ගැට ගැසීම් මුල් අවස්ථාවේ රෝග ලක්ෂණ පෙන්නන්නේ නෑ.   

රෝග ලක්ෂණ විදියට ලේ වමනය, කළු පාට මලපහ පිට වීම එනවා.


Endoscopy කරලා ගලනාලයේ ලේ නහර බලලා තමයි Diagnose කරන්නේ.


✅️ප්‍රතිකාර මොනවද?

1. Portal vein එකේ pressure එක අඩු වෙන්න බෙහෙත් දෙනවා  

2. Endoscopic banding - ලේ නහරවලට රබර් බෑන්ඩ් එකක් දාලා ගුලි වෙන්න සලස්වනවා.  


CLCD ඇතිවෙන්න හේතු ගොඩක් තියෙනවා.

- බීමත්කම (excessive alcohol consumption)  

- Hepatitis B/C ආසාදන

- Fatty liver disease (අක්මාවේ තෙල්)   


🔴🔴🔴වැඩි වැඩියෙන් බීලා සිරෝසිස් හදාගනිල්ලා..🔴🔴🔴

📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා.  මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්නේ 26k ක විතර followers ගානක්. ඒ අය මේක දකී. මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.


වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න


#DrGayan, #MedicalCare #HealthyLifestyle #healthtips #EsophagealVarices_Gayan

මේක කොළොම්පුරයා විසින් සලක බ්ලොග්වාසින්ගේ හිතසුව නීරෝගි සුව පිණිස මුහුණු පොතෙන් උපුටාගෙන පලකරන ලදී.. 

Saturday, February 15, 2025

සිරිකුමාර මහත්තයාගේ නිදහස් කිරිල්ල

ලගදි දවසක කොළොම්පුරයාලේ කාර්්‍යාලිය සගයෙක් වෙච්චි සිරිකුමාර මහත්තයා රස්සාවේ වැඩකටයුතු ඉවර කරලා හවස් අතේ ගම්බිම් බලායන්න කොළොම්පුරයාගේ දඩුමොනර යන්තරේ නැගිලා යද්දි තමා මේ කතාව ආපහු කොළොම්පුරයාට මතක් කෙරුවේ. සිරිකුමාර මහත්තයා කොළොම්පුරයාගේ ඔෆිස්මෙට් වාගේම ගම්මෙට් ඒ කියන්නේ ගමේ පොරක්. ඉතිං කොළොම්පුරයා ගෙදර යනිං ගමන් සිරිකුමාර මහත්තයාව මගින් හලාගෙන යන්න පුලුවන්නේ.  දන්නවානේ අපේ සිරිකුමාර මහත්තයා?  කොළොම්පුරයාගේ බ්ලොග් එකේ මිට ඉස්සරින් ලියවුනු අභිරහස කතාවේ කතානායකයා. නොදන්න අයට පුලුවන් මෙතනට කොටලා ඒක කියවලා එන්න. සිරිකුමාර මහත්තයා  ඉස්සර හරි ජොලි පොර දැන් පැස්සොන් යන්න ලග හින්දාද මන්දා පොර මසක් මාලුවකින් වාගෙම නැටුං තෙලෙන් තොරවෙලා  මාරම සිල්වත් දැහැමි උපාසක වෙලා. ගොඩපෙරකදෝරු අලි අමාරුකාර අමරසිරියාත් අන්දුබයියාත් කොරොනා ඉවරඋනත් එක්කම පැන්සොන් ගියාට පස්සේ ඔෆිස් පාටියකදි නැටුං තෙලෙන් සප්පායම්වෙලා අඩව්වක් කස්තිරමක් අල්ලන්න පොරවල් නැත්තටම නැතිව ගියා. ඔෆිස් පාටියක් කියන්නේ දැන් ඉතිං මලගෙයක්වාගේ අති සෝචනියයි මිත්තරවරුනි. හරි හරි වටේ නොගිහින් අපේ කතාවට බහිමු නේද?



ඔන්න මීට අවුරුදු කිහිපයකට කලියෙන් අපේ සිරිකුමාර මහත්තයා දැහැමි ජිවිතයට බැස්ස අලුතමවාගේ බොරු සීලවන්තයොත් අපේ පොරට ලංවෙන්න ගත්තා. බණ පද පන්සල් ආරම අසපු ගැනමයි දැන් හැමෝම සිරිකුමාර මහත්තයා එක්ක කථාව. වෙසක් දවසකටවක් පන්සල් නොයන දේවදත්ත නිකායේ කොළොම්පුරයා ඕවාට යන්නෙත් නෑ අල්ලන්නෙත් නෑ. ඔය අස්සේ කවුදෝ කඩපුලියෙක් පොරට කියලා මරණයට කැපවුනු අසරණ ගවයෙක් මරණින් නිදහස් කරවුමු කියලා. අපේ සිරිකුමාර මහත්තයාවාගේ දැහැමි පොරවල් එනකොටම මස්කඩේ නානලාගේ කරල පැහෙනවා. ගවයාගේ මිලට වඩා දෙගුනයක මිලක් කියලා හොද ලාබයකුත් නානලා හොයාගෙන එයාලා ගොඩ යනවා නෙව. සුදු පාට වැස්සියෙක් උනා නම් ගාන දෙගුණයකට වඩා වැඩිවෙනවා. කළු පාට හරි වස්සෙක් උනා නම් අනිවා ඌ මස්කඩේ කොක්කේ තමා. මොකද ඌට කිරි අම්මා ලේබලය වදින්නේ නෑ නෙව. ආර්ථික වටිනාකමක් ගන්න බැරි මෙන්න මේ සත්තුන්ගෙන් ගවයා එළුවා කුකුලා පිරිමි සතෙක් වෙන එක  අනිවාර්්‍යයෙන්ම කොක්කේ එල්ලෙන්නම වෙනවා. දැන් කරත්ත අදින්නයි කුඹුරු සීසාන්නයි හරක් ගන්නේ නැති නිසා හරක් යන්නේම මසට තමා. ඕං ආයෙත් පිට පැන්නා නේ.

 දැන් ඉතිං සිරිකුමාර මහත්තයා ඔෆිස් වැඩ අස්සේ කල්පනා කරන්නේ මේ අසරණ සතාව නිදහස් කරන වැඩේ ගැනමයි. දුප්පත් අපේ සිරිකුමාර මහත්තයාට කොයින්ද අනේ එච්චර සල්ලියක්. ගෙදරට ගෙනියන පඩි සල්ලිත් ගෞහමුලික භාර්්‍යාතුමෝ අරගෙන පස්සේ බස් ගාස්තුව ඇතුලු සියල්ලම එතුමිය සීරුවට කිරිලා මැනලා තමයි ආපහු දෙන්නේ. එහෙම නැතිව ලවක් දෙවක් නැතිව සල්ලි වියපැහැදම් කරන්න කාටද පුලුවන් මේ ආර්ථික  අහේනි කාලේ.

"මචං උඹ මේසේ උඩ කැටයක් තියලා මරණයට කැපවුනු අසරණ ගවයෙක් නිදහස් කිරිම කියලා ගහපං. එතකොට උඹ ලගට එන කස්ටමර්ලා මේක කියවලා කියක් හරි කැටයට දායිනේ. අනික උඹෙන් වැඩක් කරගන්න  උඹ ලගට එන උන් ලොකු ගානක් එහෙම දාන්නත් පුලුවන් නේ. ඒ සල්ලි වලින්  උඹට පුලුවන් වෙයි සතා නිදහස් කරන වැඩේට ගානක් හොයා ගන්න."

සතා නිදහස් කරන වැඩේට සල්ලි හොයාගන්න අපුරු ක්‍රමය අපේ අන්දුබයියා සිරිකුමාර මහත්තයාට කියලා දුන්නා. සිරිකුමාර මහත්තයාට මේක ඇහුවාම හිසේ මලක් පිපුනා වාගේ උනා.

"මචං නියම අයිඩියාවක් නේ. අදම මේක කරන්න ඕනේ."

පියන් කොලුවා එලියට පිටත් කරපු සිරිකුමාර මහත්තයා ප්ලාස්ටික් කැටයක් ගෙනවිල්ලා කාටත් පෙන්න පුලුවන් විදිහට මේසය උඩින් තිබ්බා. අර කිව්වා වාගේ ප්‍රින්ට් අවුට් එකකුත් අරගෙන කැටේට ඇලව්වා. වැඩේට ආරම්භයක් විදිහට  සිරිකුමාර මහත්තයාම රුපියල් සියයකුත් කැටේට දැම්මා. ගෙදර යන්න විතරක් බස්ගාස්තු අතේ තියෙන පොරට කොහෙන් රුපියල් සීයක් ආවද මන්දා. අපිත් ඉතිං හොද වැඩකට සම්මාදම් නොවි බැරි නිසා කැටේට සල්ලි දැම්මා. අදින්න පුබ්බකගේ ඥාති සම්බන්ධයක් තියෙන අන්දුබයියා අවුරුදු ගානක් පරණවුනු පොට්ට කාසි කිහිපයක් ලාච්චිචුවේ පතුල අතගාලා හොයාගෙන ඒක කැටේට දාලා රුපියල් දාහක්මාරක් දැම්ම වාගේ සිරිකුමාර මහත්තයාට ලොකු ටෝකක් එහෙම දෙන්න ගත්තා.

"ඔන්න මමත් සල්ලි දැම්මා. උඹ හරකෙක් නිදහස් කරනවා කියලා අපේ සල්ලි එහෙම පිල්ලි ගහන්න එහෙම එපා."



දැන් අපේ හැමෝමගේම කතාව සිරිකුමාර මහත්තයා කැටේ සල්ලි වලින් අසරණ සතා  නිදහස් කරන හැටි ගැනයි. අපිත් ඉතිං සිරිකුමාර මහත්තයාගේ මේසය පැත්තේ යන හැම සැරේම කරන්නේ අර කැටේ හොලවලා බලනවා ඒක පිරිලාද කියල බලන්න. සති මාස ගෙවිලා අවුරුද්දක් විතර ගෙවිලා ගියා එත් අනේ අර කැටේ පිරුනේම නෑ. හැමදාමත් ඒක එකම ප්‍රමාණයයි තිබුනේ.

"මෙතනට එන කී දෙනෙක් මේ කැටේට සල්ලි දානවද ඒත් මේක පිරෙන්නේ නැති එකත් ප්‍රශ්නයක්. කියන්නත් බෑ මු උපාසකයාවාගේ ඉදගෙන දාන දාන සල්ලි උස්සනවාද කියලා."  අමරසිරියා කියාපි.

"ඔව් ඔව් බලපං කැටේ යටින් හිලක්වත් තියේනවාද කියලා."

අපේ උසුලු විසිලු අහගෙන  සිරිකුමාර මහත්තයා කරබාගෙන හිටියා මිස පොර නොවෙයි ඒවාට කේන්ති ගත්තේ.



ඇත්තම සිද්ධවුනේ සිරිකුමාර මහත්තයා ලගට එන්නේ එකම කට්ටියක් නෙව ඉතිං එයාලා මුලින් සල්ලි දැම්මාට හැමදාමත් ඕකට සල්ලි දැම්මේ නෑ. ඒ නිසා කවදාවත් කැටය පිරුනේත් නෑ. අපිත් මුලදී සල්ලි දැම්මාට ඊට පස්සේ කීයක්වත් කැටේට දැම්මේ නෑ නොවැ. මගේ වැඩෙත් සිරිකුමාර මහත්තයා හමුවෙන්න ගියාම කැටේ හොලවලා බලලා "කවදාද බං උඹ මේ අසරණ සතා නිදහස් කරන්නේ?" කියලා අහන එකයි. අනේ අසරණ පොරටත් මේක හිසරුදාවක් වෙලා දැන්.

ඔන්න එක සති අන්තයක එක පාරටම අර කැටය අතුරුදහන් උනා. මේකට මොකද උනේ කියලා අහන්න පියන් කොලුවාත් හිටියේ නෑ. එයා මාසයක් හමාරක් එක දිගට වැඩ කරලා ගෙවල් දොරවල් වලට ගිහින් පවුල් පන්සල් බලා එන්න එපැයි. කොලුවා නිවාඩුදාලා ගමේ ගිහිල්ලා. දැන් කැටේ හොරු අරන් ගිහිල්ලා කියලා අමරසිරියා අපිටත් පනිවිඩය එව්වා. අපිටත් ඕනේ වෙඩ්මක් අවමංගුලක් කරගන්න හින්දා පැනගෙන ගියා සිරිකුමාර මහත්තයාගේ මේසය ලගට.  

"මචං කැටේ කොච්චර සල්ලි තිබුනාද?"

අන්දුබයියා ඇහැව්වා.

"දන්නේ නෑ බං."

සිරිකුමාර මහත්තයා අසරණ ලෙසින් කිව්වා.

"ඇයි උඹ ගනන් කලේ නැද්ද?"

"මම කැටේ කැඩුවේ නෑ."

"එහෙනම් නෝනාද කැඩුවේ?"

සිරිකුමාර මහත්තයාට මේ කිසි දෙයක් තේරුනේ නෑ.

"මචං ඇත්ත කියපං  හොද ගානක් එකතුවෙලා තිබුන හින්දා උඹ නේද කැටේ ඉස්සුවේ?" මම කෙලින්ම ඇහැව්වා.

"වෙන්න පුලුවන් මූ උස්සලා ඒක පියන් කොල්ලාගේ පිටට දාන්න ගහපු ගේමක්ද දන්නේ නෑ." අන්දුබයියා මැදට පැනලා ඇහැව්වා.  

"කැටේ සල්ලි ටික ටික උස්සලා දැන් ඒකේ සල්ලි නැතිවුනාම උඹ කැටේ අතුරුදහන් කලා නේද?"

අමරසිරියා කිව්වා විතරයි උපාසක සිරිකුමාර මහත්තයාට ආලවකයා වැහුනා වාගේ යක්ෂ සේනාධිපතියා හිස මුදුනටම ආරුඪ උනේ ක්ෂණිකයෙන්. පොර මේසේ උඩ තිබ්බ පේපර්වේට් එක අතට අරන් හිදගෙන හිටිය පුටුව පස්සට දාලා නැගිට්ටා.  කොකටත් ආරක්ෂාකාරි පියවරක් ලෙසට මාත් පස්සට පැනලා පාංශූදේහධාරි අන්දුබයියාට මුවාවුනා.

"යකෝ තොපිට මේක විහිලු මම උස්සනවාද මගේ කැටේ?"

තවදුරටත් සිරිකුමාර මහත්තයාට විහිලු කිරිම කිරිමෙල් නඩුවක් යන මිනිමැරුමක් දක්වා දිගගැස්සෙන බව අවබෝධ කරගත් මංතුමා අන්දුබයියාත් ඇදගෙන ආපහු අපේ මේස වෙතට ආවා. මොකද හතර පෝයටම සිල් සමාදම් වෙන උපාසකයොත් මිනිමරුවෝ වෙන අවස්ථාවල් උදාවෙනවා නෙව.  

කැටේ අතුරුදහන් වෙලා දවස් පහකට පස්සේ අපේ පියන් කොලුවා ආපහු වැඩට වාර්තා කලා.

"බලන්නකෝ මහත්තයෝ මම බලංගොඩ හරියේදි තේ බොන්න  බස් එක නැවැත්තුවාම බෑග් එක ඇරලා බැලින්නම් සිරිකුමාර මහත්තයාගේ පිං කැටේ ඒක ඇතුලේ."

"ඈ එහෙනම් උඹද පිං කැටේ ඉස්සුවේ?"

"මට මොකටද පිං කැටයක්? ෂුවර් එකටම මේ වැඩේ කරන්න ඇත්තේ අමරසිරි මහත්තයා තමයි. මේ කැටේට කුරුමානම් අල්ල  අල්ල හිටියේ එයා තමයි."

පියන් කොලුවා එයාගේ සැකය කෙලින්ම අමරසිරියාට එල්ල කෙරුවා. අමරසිරියා උගේ ඉස්සාරට  පැනපු බොල්ලෑ දත නොපෙනෙන්න කට අතින් වහන් හැමදාමත් දාන කින්ඩි හිනාව දැම්මා. ඒ කියන්නේ පියන් කොලුවා ගෙදර යන්න කලියෙන් උගේ ඇදුම් බෑග් එකට පිංකැටේ හොරාට ඔබලා නෙව. මේ සිද්ධියෙන් පස්සේ සිරිකුමාර මහත්තයාට පිංකැටේ චේතනාව එපාවුනාද මන්දා . එයා මේ පිංකැටය කඩලා බලන්න ඔනේ කිව්වා. අපි ඔක්කෝම ඉන්නැද්දී එයා කැටය කැඩලා සල්ලි ගැන්නා. අතිසෝචනියයි  මිත්ත්‍රවරුනි පිං කැටෙි එකතුවෙලා තිබ්බ සල්ලි වලින් යාන්තමට හරක් මස් කිලෝ එකක් ගන්න පුලුවන් ගානක් මිස හරකෙක් ගන්න නම් බෑ.

"යකෝ මෙකෙන් මොන සත්තු නිදහස් කිරිල්ලක්ද?" අන්දුබයියා ඇහැව්වා.

"ඔන්න ඔකත් අරන් හවසට යමං හෙට්ටියාවත්තේ බෝලෙ මේසේ රෙස්ටුරන්ට් එකට." කෑම බීම අංක එක කරගත්තු අමරසිරියාත් කට දැම්මා.

"තොපිලාට පිං අතේ වැඩක් උනත් විහිලු. ඔය බොන සල්ලි මේකට දැම්මා නම් අද කැටෙත් පිරිලා සතා නිදහස් කරගන්නත් තිබුනා. බොලාගේ උදව් නැතිවාට කමක් නෑ මම කොහොම හරි සතෙක් මරණින් නිදහස් කරනවා."

සිරිකුමාර මහත්තයා සල්ලි ටික අතේ ගුලිකරන් සපත කලා. කැටය මේසය උඩින් අයින් වුන නිසා අපිත් ආපහු කැටය ඇදන් විහිලු කරන්න ගියෙත් නෑ. අපිටත් මේක අමතක වෙලා ගිහින් තව මාස හයක් විතර ගෙවිලා ගියා. ඔන්න ආයෙත් දවසක සිරිකුමාර මහත්තයාට පොඩි ලිෆ්ට් එකක් ඕනවුනා ගෙදර යන ගමන් මගින් බහින්න.

"මචං අර අසරණ සතාව මරණින් නිදහස් කරාද?"

නිකං යන්නත් බෑනේ වල්පල් ටිකක් කතාවට ඇදලා ගත්ත මං මගදි අර සතා නිදහස් කරන වැඩේ ගැනත් ඇහැව්වා.

"ඔව් මම කරා."

"එච්චර සල්ලියක් එකතුවුනේ නෑනේ. උඹ අතින් දාලද සතා බේරාගත්තේ?"

"උඹ දන්නවානේ මං මාස පඩියෙන් රෝල ගහන්නේ කොච්චර අමාරුවෙන්ද කියලා. අපි හැදුවේ සතෙක් මරණින් මුදවා ගන්න නේ. ඉතිං ඒකට හරකෙක්ම වෙන්න ඕනේ නෑනේ."

"එතකොට මොකාද මරණින් බේරාගත්තෙ?"

"අර රත්මලානේ බෙලෙක්කඩේ හංදියේ තියෙන මස්කඩ පේලිය උඹ දන්නවානේ?"

"ඔව් ඉතිං?"

"ලොකු සල්ලියකුත් අතේ නැති හින්දා ඔතනට මරන්න ගෙනාපු කුකුලෙක් මරණින් බේරාගත්තා මචං."

"දැන් කෝ කුකුලා? කොහේටද නිදහස් කලේ?"

"මචං කුකුලා ගෙදර ගෙනිච්චාම ගෑණි ඇගට කඩන් පැන්නා මෙහේ කුකුලෙක් හදන්න ඉඩ කොහේද කියලා. මොනා හරි කියලා තියාගන්න තිබුනා කිකිලියෙක් උනානම් කුකුලාගෙන් බිත්තර ගන්නත් බෑනේ."

"ඉතිං?"

"ඒපාර කුකුලව ඉඩ තියෙන හින්දා ඉස්සරා ඉන්න මස්සිනාගේ වත්තට දැම්මා. පස්සේ උන්ගෙනුත් බරබරේ කුකුලාගෙන් මල්පාත්තියක්වත් තියාගන්න බෑ හැමතැනම පහුරුගානවා කියලා."

"ඉතිං උඹ ඌව වෙන දිහාකට දුන්නාද?"

"නෑ බං එයාලා ඌව නිදහස් කරලා."

"ඈ බං ඒ කොහේටද?"

"කුකුලාගෙන් මලවදේ හින්දා මස්සිනාගේ ගෙදර පාටියක් තිබුන දාක අනිත් මස්සිනාලා එකතුවෙලා ඌව උගේ කුකුල් ජිවිතයෙන් නිදහස් කරලා මචං."

සිරිකුමාර මහත්තයා බොහෝම කණගාටුවෙන් කිව්වා.





පුරස්ථිග්‍රන්ථිය ඉදිමීම

 ගොඩක් දෙනෙක් පුරස්ථිග්‍රන්ථිය ඉදිමීම ගැන ලියන්න කියලා ඉල්ලලා තිබුනා. ඒ නිසා අද ඒ ගැන ලියන්න හිතුවා.  සමහර විට ඔයාගේ තාත්තා, සැමියා මේ රෝග ල...