පියසෝම එනතෙක් නිමාලිද පෙරමඟ බලා සිටියේ උදේවරුවේ සිට කළ කාවට්ටි බැඳී දුර්වර්ණ වූ බඳුන පිරිසිදු කිරීමේ කාර්යය පසුදිනට තබමිනි. පියරත්න මහතාගෙන් දැනගත් තොරතුරු ඇසූ නිමාලිද සතුටට පත්විය.
“ඒත් තාත්තේ තාත්තා කොහොමද තනියම වටිනා යමක් තිබුනොත් ගොඩට ගේන්නේ?”
“මමත් ඒක කල්පනා කළා. වෙන කරන්න දෙයකුත් නෑනේ කොහෝම හරි කරගන්න වෙනවා. මාව ඔය වැල්ල පැත්තේ කවුරුවත් සැකකරන්නේ නෑ. කොහොමත් මම කිමිඳෙන මිනිහා නිසා. ඒත් මම කල්පනා කළේ මගේ කිමිඳුම් කට්ටලය පරණ වැඩියි වැඩිවෙලා යට ඉන්ට බැහැ හොඳ කිමිඳුම් කට්ටලයක් වත් ගන්ට වෙයි වැඩිවෙලාවක් අල්ලලා ඉන්න පුලුවන් එකක් වෙන්න ඕනේ.”
“හොඳ කිමිඳුම් කට්ටලයක් මිලයි නේද?”
“ඔව් නමුත් ඔයවාගේ වැඩවලට කිමිඳුම් කට්ටලයක් විතරක් මදි. හරියට වැඩකරන්න තව උපකරණ අවශ්‍ය වෙනවා.”
“ඒ මොනවාද ඒ?”
“ඇයි මුහුදු පතුලේ තියෙන මඩ වැලි අයින්කරන්න සකර්. ඒවාගේම මුහුදු පතුල හොඳින් පෙනෙන්න ලයිට්. ඉතිං මං වාගේ මිනිහෙක්ට කොයින්ද ඕවා ගන්න සල්ලි?”
“අපි සල්ලි කොහෙන් හරි හොයාගත්තා කියමුකෝ ඒත් තාත්තේ ඔය කියන උපකරණ ලංකාවේ තියෙනවාද අපිට ගන්න? එහෙම ගන්න ගියොත් අපිව සැක කරන්න පුළුවන් නේද? මොකකටද මේවාගන්නේ කියලා.”
“ඒකනම් ඇත්ත දුවේ. මෙහෙ ඔය උපකරණ විකුණන්න නම් නැහැ. හැබැයි ඔය උපකරණ නියෝජිතයෝ මාර්ගයෙන් ගෙන්නගන්න පුළුවනි.”
“අපි ඔය උපකරණ වලට වියදම් කරලා පුරාවස්තු සෙව්වත් ඔය කියන රත්තරන් නැව නෙමෙයි නං හරි කවුරු හරි ඔය රත්තරන් ටික ගොඩට අරගෙන නම් අපි වියදම් කරපු සල්ලි අපරාදෙ වතුරෙ යනවා නේද?”
“මටත් ඒක කල්පනා වුණේ දැන් තමයි දුවේ. ඔය මුහුදේ පුරාවස්තු හොයන උදවිය ඔය වැඩවලට විශාල මුදලක් වියදම් කරනවා. සමහර වේලාවට ඒ මුදල් අපතේ යනවා. ඒක ඉතිං වෙලාව තමයි. හැබැයි මේ නැවේ රත්තරන් තියෙනවානං ඒවා හොයන උදවිය මේ නැව ගැන සෙවිල්ලෙන් ඉන්න පුළුවනි ඒ නිසා අපි ඉක්මන් වෙන එක හොඳයි නේද?”
“ඒක නං ඇත්ත තමයි. ඒත් තාත්තේ අපිට එච්චර වියදම් කරන්න පුළුවන් කමක් නැහැනේ.”
“ඒක තමයි මමත් කල්පනා කළේ.”
“මට හොඳ අයිඩියා එකක් ආවා අපි හොඳ කිමිඳුම් කට්ටලයක් අරගනිමු කවුරු හරි ඇහැව්වොත් කියමු තිබුණ එක පරණ වැඩියි. ඒක නිසා අලුත් එකක් අරගත්තා කියලා එතකොට කවුරුවත් තාත්තාව සැක කරන්නෙත් නැහැ.”
“ඔයාට නං එන්නේ පුදුම අයිඩියා තමයි. හරි අපි එහෙම කරමු ඒත් සල්ලි තමයි පරහට හිටින්නේ.”
“අපි කොහොම හරි සල්ලි හොයාගනිමු. ඔය කිමිඳුම් කට්ටලයක් විතරක් තිබුණා කියලා තාත්තාට පුළුවන්ද ඔක්කෝම වැඩ කරන්න. අඩුම තරමේ මම කොල්ලෙක්වත් වුණානම් උදව්කරන්න තිබුණා.”
නිමාලිගේ එම වදන් ඊයම් බරු කිඳා බසින්නාක් මෙන් ගමන්කළේ පියසෝමගේ හදවත කඩාබිඳ දමමිනි. ඔහුට විශාල දුකක් සහ ආදරයක්ද නිමාලි කෙරහි උපන්නේය. දෑස්කෙවනි තුළට පිරුනු කඳුළු දැල්ල සඟවාගත් පියසෝම දුබල කටහඬින් නිමාලි ඇමතුවේය.
“නෑ දුවේ ඔයා දුක් වෙන්න එපා මට පුළුවනි. මම කොහොම හරි ඒක කරගන්නම්. මට හිතෙන්නේම මේ හම්බවුණේ ඔය රත්තරන් අරගෙන ගිය නැව කියලාමයි.”
“අපේ පෙර වාසනාවක් තියේනං අපිට යමක් ලැබෙයි තාත්තේ.”
“ඔව් ඒත් උත්සාහය අතහරින්න නරකයි. උඹේ අම්මා තමයි මාව පස්සට තල්ලුකරන්නේ.”
“එයා කියන දේවල් වලත් ඇත්තකුත් තියෙනවානේ තාත්තේ, අම්මා බය ඇති තාත්තා ආපහු රස්සාව නැතිකරගනියි කියලා.”
පියසෝම කථා නොකරම කමිසයේ බොත්තම් අරිමින් කාමරයට ගොස් සරමක් ඇඳගත්තේය.
විමලා ගෙනවිත් දුන් තේ කොප්පය ඉස්තෝප්පුවට වී තොලගාන්නට වු පියසෝම නිවස ඉදිරියෙන් වූ පාරේ සැන්දෑ කලුවර සමගම නිවෙස් වලට කඩිමුඩියේ දිවයන මිනිසුන් දෙස අරමුණකින් තොරව බලාසිටින්නට විය.
ඔහුට විමලා මතක් කරදුන් අතීතයේ සිදුවීම් මාලාවක් චිත්‍රපටයක්සේ පෙනෙන්නට විය.
අවුරුදු ගණනාවකට පෙර පියසෝමගේ රැකියාව වූයේ ගාල්ලේ කර්මාන්ත ශාලාවක මැෂින් ඔපරේටර්වරයෙකු ලෙස සේවය කිරීමයි. පාසල් අධ්‍යාපනයට ආයුබෝවන් කී ඔහුට තම මාමා කෙනෙකු මාර්ගයෙන් කම්කරුවෙකු ලෙස රැකියාව ලබාගැනීමට හැකි වූ අතර ඉන් අවුරුදු ගණනාවකට පසු මැෂින් ඔපරේටර්වරයෙකු ලෙස සේවයේ උසස්වීමක්ද ලබාගැනීමට හැකි විය. ඒ වන විට කර්මාන්ත ශාලාවේ සේවකයින් අතර යම්කිසි ජනප්‍රියතාවයක් හිමිකරගෙන සිටි ඔහු කෙමෙන් කෙමෙන් වෘත්තිය සමිතියේ ලේකම් තනතුරද හිමිකරගත් අයුරු මතක්විය. පඩි වැඩිකරන ලෙස කළ ඉල්ලීම අවසානයේදී වැඩ වර්ජනයක් දක්වා දිග්ගැසීම එදා ඔවුන් දුටුවේ පාලකයින් කම්කරු ජනතාව සූරා කෑමක් හා ඔවුන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හෑල්ලුවකට ලක් කිරීමක් ලෙසින්ය. යළි වැඩට පැමිණ වැඩ අරඹන ලෙස පාලකයින් කරන ලද අවසන් දැන්වීමට අනුව වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය පාවාදී යළි සේවයට ගිය අයට හරිගියේය, උසස්වීම්ද ලැබීය. වැඩ වර්ජනය මෙහෙයවීම, රැකියාවට නොපැමිණීම හා කර්මාන්ත ශාලාවේ දේපළ වලට හානි සිදුකිරීම යන බොරු චෝදනාවල් නිසා රැකියාව අහිමිවයාම හා දින කිහිපයක් රිමාන්ඩ්වී සිටිමටවීමත් අවසානවූයේ අවුරුදු ගණනනාවක් ඇදුනු බොරු නඩුවක් ද පැටලීමෙනි. රැකියාවෙන් දොට්ට වැටුන පියසෝමට යළි කිසිදු රැකියාවක් සොයාගැනීමට නොහැකි වූයේ එම කර්මාන්ත ශාලාවේ ස්ට්‍රයික්කාරයින් රැකියාවලට නොගන්නැයි එහි පාලකයින් විසින් අනෙක් කර්මාන්ත ශාලා හා ආයතන වලට දැනුම් දී තිබීමෙන්ය. නිමාලිත් නදීකාත් කුඩා දරුවන්ව සිටි ඒ කාලයේ විමලා අනෝරා දුක් කටොළු වලට මුහුණ දුන්නාය.බොරු නඩුවට වියදම් කිරීමට පියසෝම ඉතිරිකරගත් මුදල්ද වියදම්වී නඩුව අවසානයේදී පියසෝම හා විමලා විසූ නිවසද පොලීකරුවන්ට සින්නවී ගියේ ඉතා කෙටිකලකිනි. විමලාටත් තම සහෝදරයාට මෙන්ම මහ ගෙදර අයිතියක් තිබීම නිසාවෙන් පාරට වැටුන පියසෝමගේ පවුල අවසානයේ එහි පදිංචි විය. විසිතුරු මසුන් අපනයනය කිරීමේ ව්‍යාපාරයක් කරමින් සිටි උපනන්ද මහතාව හඳුනාගැනීමෙන් පසුව පිහිනීමට හා කිමිඳීමට දක්ෂයෙකුවූ පියසෝමට තාවකාලිකව රැකියාවක් ලැබිණි. ඒ මුහුදේ කිමිඳී විසිතුරු මසුන් අල්ලා උපනන්ද මහතාට විකිණීමය. එමඟින් තම පවුලේ තිබූ ආර්ථික අපහසුතාවය මඳකට යටපත් කිරීමට හැකියාවක් ලැබිණි. දියණියන්ට කෑමටදී විමලා හා පියසෝම නොකා සිටි වාර ගණන අනන්ත විය. එය ඔහුට මතක්වී නෙතට කඳුලක් උපන්නේය. උපනන්ද මහතා මඟින් දැනට කරමින් සිටින කර්මාන්ත ශාලාවේ සිකුරිටි ගාඩ් කෙනෙකු ලෙස රැකියාවක් සොයා ගැනීමට පියසෝමට හැකිවූයේ රැකියාව නැතිවී අවුරුද්දකුත් හයමාසයක් පමණ ගතවූ පසුවය. සිකුරිටි රැකියාවෙන් ලද වැටුපෙන් යළි පෙර සිටි ආර්ථික තත්ත්වයට නැගීසිටීමට නොහැකිවූවත් පියසෝම දිගටම එහි රැඳීසිටියේ වෙනත් සුදුසු රැකියාවක් නොලැබීමත් මෙන්ම විසිතුරු මසුන් අල්ලා දීමෙන් අමතර අදායමක් ලැබීමත් හේතුවෙනි.
“ඔය නැවෙන් මොනවා හරි වටිනා වස්තුවක් ලැබුනොත් අපේ පවුලේ වාසනාව තමයි. විමලදාසට කීයක්හරි දීලා මුළු ගේම විමලාගේ නමට ලියාගන්න පුළුවන් වෙයි.”
ඔහු පුටුවට වී තම පපුවේ රෝම ඇඟිලි තුඩුවලින් අතගාමින් සිතුවේය. නුදුරු අනාගතයේදී තම දියණියන්ගේ ආවාහ විවාහ යුතුකම්ද ඉටුකිරීමට ඇතිබව මතක්වෙන වාරයක් පාසාම මුදල් නොමැතිව කුමක් කළයුතුදැයි ඔහුට සිතාගත නොහැකිවිය. තම නිවසේ පිටුපස පිළිකන්න දෙසින් බළලුන්ගේ පොරකෑමට කෑගැසීම් ශබ්දයක් පියසෝමට ඇසෙන්නට විය. ඔහු ඒ පිළිබඳව සැලකිල්ලක් නොදක්වා ඉදිරිපස දොර වසාදමා නිදාගැනීමට නිවස තුළට වැදගත්තේය.
පසුදින උදේම අවදිවූ පියසෝම නිමාලිගෙන් බඳුන පිරිසිදු කිරීමේ වැඩකටයුතු විමසීය.
“මම ටිකක් සුද්ද කළා තාත්තේ එකේ තදින්ම කාවට්ටි බැඳිලා. මම හිතන්නේ මේක හුඟාක් පරණ ඇති. අනික අපිට පුරාවිද්‍යාඥයින්ගේ වගේ තාක්ෂණය නැහැනේ මේක සුද්ද කරන්න. ඒක නිසා මේ වැඩේ කරන්න වෙන්නේ හිමිහිට තමයි.”
“කමක් නැහැ දුවේ හිමිහිට කරන්න ඕක පළුදු කරන්නේ නැතිව.”
“අම්මානං බනිනවා අපි මෝඩ වැඩකරනවා කියලා.”
“ඔය ගෑණි ඕන එකටයි එපා එකටයි දෙකටම කට දානවා. දන්න දෙයකුත් නැහැ. උඹ ඕවා ගණන් ගන්නේ නැතිව වැඩේ කරගෙන යන්න.”
කියා පියසෝම සරමේ ගැටය ලිහා යළි තදකරගත්තේ ඇතිවූ කේන්තිය මැඩගනිමිනි. එදිනත් පියසෝම වැඩට නොගිහින් වෙහෙසුනේ හොඳ කිමිඳුම් කට්ටලයක් මිලදී ගැනීම සඳහා මිලගණන් දැන ගැනීමටත් හා එයට අවැසි මුදල් සොයාගැනිමේ කාර්යයන් සඳහාය.
මෙසේ දින කිහිපයක් ගෙවීයද්දී විමලදාසගෙන් මෙන්ම තම විසිතුරු මසුන් මිලදීගන්නා උපනන්ද මහතා ගෙන් ද සැලකිය යුතු මුදලක් අතමාරුවක් ලෙස ඉල්ලාගන්නට හැකිවිය. මේ අතරතුර ගිලුණු නැව අසල යළි යළිත් කිමිදී පරික්ෂාකර බැලීමද ඔහු විසින් සිදුකළේය. මේ අතරතුරේදි නිමාලි විසින් බඳුන පිරිසිදුකර අවසන් කළාය. අඟල් දොළහක් පමණ උස්වූ මෙම බඳුනේ විශේෂිත ගල් හෝ මැටි විශේෂයකින් නිමවා තිබුන බවක් ඈ දුටුවාය. එහි බඳෙහි විශේෂිත අක්ෂර කිහිපයක් කොටා තිබෙන බවක් පෙනෙන්නට වූ අතර එහි පියන යම්කිසි මුහුණක හැඩයක් ගන්නා බවක් ද නිමාලිට දැකගන්නට හැකිවිය. නමුත් එම බඳුන විශාල ලෙස ඛාදනයට ලක්ව තිබූ බැවින් එහි මුහුණද අක්ෂරද හරිහැටි හඳුනාගත නොහැකිවුණි. ඉතා තදින් වැසී තිබුණු පියන විශාල පරිශ්‍රමයක් යොදා නිමාලි හා පියසෝම විසින් විවර කරගත්තෝය. බඳුන තුළට ජලය කාන්දුවී තිබූ අතර එය තුළද කාවට්ටි බැඳි ගුලියක් ලෙස සැදී තිබින. දිරාපත්ව ගිය රෙදිකඩක් වැනි අවශේෂ වූ දෙයක් පමණක් හමුවූයේ ඔවුන් එම ගුලිය කඩා බැලිමේ දීය. වෙනත් වටිනා යමක් එහි දක්නට නොවීය. බලාපොරොත්තු කඩව ගිය පියසෝම හා නිමාලි දෙස විමලා හා නදීකා බැලුවේ අවඥාවෙනි. පියසෝම රැකියාවට නොයෑමට විරෝධය පලකරමින් සිටි විමලා තම පවුලට වින කිරීමට එක්වූ ව්‍යසනයක් ලෙස එම බඳුන හැඳින්වීය. යළිත් රැකියාව නැතිකරගෙන පවුලම පාරට බස්සන්න හදන්නේ යැයි කියමින් විමලා නිතර නිතර පියසෝමට බැන වදින්නට වුනි. ආරම්භයේදි එලිපිට තම විරෝධය නොදැක්වූ ඇය පසුව මුහුණටම විරෝධය දැක්වීමට තරම් කෝප වූවාය. මේ අතර ඇගේ විරෝධය ගණන් නොගත් පියසෝම ණයට ඉල්ලා එකතු කර ගත් මුදලින් හොඳ වර්ගයේ කිමිඳුම් කට්ටලයක් මිලදී ගෙනාවේය. හොඳින් ඉරු එළිය වැටෙන දහවල් කාලයේදී පමණක් ගැඹුරු මුහුදේ පහළ පෙනෙන බැවින් දහවල් කාලයේ රැකියාවට නොගිහින් පූර්ණ කාලීනව කිමිඳීමට පියසෝම යොමුවිය.
මේ අතර නිමාලි විසින් පිරිසිදු කර ගත් බඳුන නිවසේ අලංකාරයට තබනා ඇන්ටික් බඩුවක් ලෙසින් සාලයේ තැන්පත් කළාය. සවස් වරුවේ නිවසට පැමිණි පියසෝම නිමාලි විසින් සාලයේ තබා තිබූ බඳුන දැක නිමාලිට කතා කළේය.
“දුවේ මේක මෙතන තියෙන එක හරි නැහැ නේද?”
“ඇයි තාත්තෙ ඒකෙ වරදක් නැහැනේ.”
“මේක කවුරුහරි දැකලා ඇහුවොත් එහෙම.”
“ඉතිං එහෙම ඇහුවත් අපි ඇත්තම කිව්වොත් විතරයි නේද තාත්තා මේ ගිලුණු නැවක පුරාවස්තු හොයනවා කියලා දැන ගන්නේ?“
“හරි මම දන්නවා ඔයා මේක කියන්නේ නැහැ කියලා ඒත් අම්මා හරි නංගි හරි කිව්වොත්.”
“තාත්තා බය වෙන්න එපා ඒවා එයාලා කියන්නෙත් නැහැ කියන්න දෙන්නෙත් නැහැ.”
මේ අතර විමලාද මේ කතාබහ අතරට පැමිණ නිවසේ මුදල් අඩුපාඩු ප්‍රකාශ කළාය.
පියසෝම තම අතේ රැඳී තිබුනු අවසන් රුපියල් පන්සියය විමලා අතට පත් කළේ හෙට දිනයේ තම මෝටර්සයිකලයට පෙට්‍රල් ගැසීමට තබා තමාට කහට කෝප්පයක්වත් බීමට තරම්වත් සල්ලියක් අතේ තබා නොගෙනය.
“දුවේ නිමාලි උඹ ගාව සල්ලි කීයක් හරි ගන්න තියෙනවාද?”
“නැහැ තාත්තේ මං ගාව තිබ්බ සල්ලිවලින් තමයි ඊයේ සීනි පන්සීයක් අරගෙන ආවේ.”
“අද සයිකලේට පෙට්‍රල් ගහන්නවත් සල්ලි නැහැ. මං ඒ වගක් අම්මාට කීවේ නැහැ.”
“ඒක හොඳයි නැත්නම් අම්මා මටයි තාත්තාටයි දෙන්නාටම දෙහි කපයි.”
ඇය තමන්ගේ දෙකනේ තිබූ පුංචි කරාබු දෙක ගලවා පියසෝම අත තැබීය.
“මේක තියලා කීයක් හරි ගන්න.”
“එපා දුවේ ඕක කරන්න බැහැ. මම කාගෙන් හරි ඉල්ලාගන්නම්.”
“එපා තාත්තේ ඔයා දැන් හැමොටම ණයවෙලා ඉන්නේ ඒක නිසා මේක අරගෙන යන්න. පඩි අරගත්තාම බේරාගන්න පුළුවන්නේ. අනික ඉක්මනටම අපි විමලේ මාමාගේ සල්ලි ටික බේරමු එයා ළඟදි හොදටම බීලා අම්මා එක්ක තාත්තා එයාගෙන් සල්ලි ඉල්ලා ගත්ත කතාව කීවා.”
පියසෝම නොකැමැත්තෙන්වුවත් වෙන කරන්න දෙයක් නොමැති නිසාවෙන් නිමාලිගේ කරාබු දෙක උකස් කර මුදල් ලබාගත්තේය.
හවස්වරුවේ පියසෝම නිවසට ගොඩවදින තෙක් විමලා පාර දෙස නෙත් යොමාගෙන සිටියේ තරහින් පිපිරෙමිනි. විමලාගේ කෝපය ගැන කිසිත් නොදන්නා පියසෝම නිමාලිගේ කරාබු උකස් කර ලබාගත් මුදලින් නිවසේ කෑමට අවශ්‍ය කලමනා සුපුරුදු පරිදි රැගෙන නිවසට ගොඩවිය.
“ආ මනුස්සයෝ වැඩටයන්නේ නැතිව මොනවාද මේ කරන වැඩ?”
විමලාගේ ප්‍රශ්නයෙන් විපිලිසරව ගිය පියසෝම ඇයි දැයි ඇසුවේය.
“ඇයි හුයි තමයි දැන් ළමයිගේ දේවල් විකුණගෙන කන්න හදනවාද? හොඳයි හොඳයි ඔහෝම ගිහින් තමුසේ ළමයින්වත් විකුණාගෙන කන්න හදයි.”
එළවළු මල්ල බිම අතහැරිය පියසෝම තරහින් විමලා දෙස බැලුවේය.
“මං මොනවාද විකුණාගෙන කෑවේ?”
“දන්නේම නැහැනේ දැන් තොත්ත බබා වෙනවා. මේ කෙල්ලගේ කරාබුදෙක ගලවාගෙන යන්න ලැජ්ජා නැතිද මනුස්සයෝ?”
“මේ ගෑනියේ බොරුවට කෑගහන්නේ නැතිව හිටපං. මම ගලවාගත්ත එකක් නැහැ නිමාලිමයි ඒක දුන්නේ.”
මේ අතරතුර විමලාගෙන් අතොරක් නැතිව බැනුම් අසා ඇඳටවී අඬමින් සිටි නිමාලි මේ කතාබහ ඇසී නැගිට අවුත් දෙදෙනා අතරට එක්විය.
“අම්මේ මම එක සැරයක් කීවානේ මං තමයි ඒක ගලවලා දුන්නේ කියලා, තාත්තා ඉල්ලන් ගියේ නැහැ.”
“මේ උඹ පැත්තකට වෙලා හිටපං අපේ කතා මැද්දට පනින්නේ නැතිව.”
විමලා නිමාලිව එලවා දැමුවාය.
“මේ කෙල්ල ගෙට වෙච්චවෙලාවේ ගෙදර සත පහක් වත් තිබුනේ නැහැ මගේ මාමාගෙන් ණයට සල්ලි ඉල්ලගෙනයි මේ කරාබු දෙක හැදුවේ. දැන් ඒකත් හෙට්ටිපොලේ. අනේ අම්මපා තමුසෙට ලැජ්ජාවක් නැති හැටි.”
“ඕකට ඔච්චර කෑ කොස්සන් ගහන්නේ ඇයි ඕයි. මම ඊළඟ පඩියෙන් බේරාගන්නවානේ.”
“ආපෝයි අපෝයි තමුසේ ඕකම බේරාගනියි. දැන් තව ටික දොහකින් රස්සාවත් නැති කර ගනියි.”
“ඈ යකෝ දවස් දෙකක් නොගියාම රස්සාව නැතිවෙන්නේ නැහැ.”
පියසෝම පරල විය.
“ඔව් ගියසැරේ වුණෙත් ඒකම තමයි. මහලොකුවට ගියා ස්ට්‍රයික් කරන්න. මං කියපුවා ඇහුවා නම් අපිට මෙහෙම වෙන්නේ නැහැ.”
පියසෝමගේ යක්ෂයා ආරූඪ වූයේ පැරණි සිදුවිම් මතක් කරමින් ඇය ඔහුට පහර ගසන්නට වූ බැවිනි. ඔහු පැනපු සැනින් විමලාගේ කම්මුල හරහා වේගවත් අතුල් පහරක් එල්ල කළේය.
“කටවහපං බැල්ලී.”
“උඹට බැහැ මගේ කට වහන්න.”
විමලාද පියසෝමගේ එල්ලීගෙන අවුත් අත මිට මොලවා උරහිස ප්‍රදේශයට එල්ල කළ පහරින් ඔහුගේ කේන්තිය ඉහවහා ගියේය. ඔහු ඇගේ පිට හරහා පහර කිහිපයක් ගැසුවේ විමලා මරහඬ නගද්දීය. මේ ගෝරිය මැදට පැන්න නදීකාද පියසෝමගෙ පහර කිහිපයකින් සංග්‍රහ ලැබීය. නිමාලි විසින් පියසෝමගේ දෑතින් අල්ලා මෙල්ලකර ගැනීමෙන් අනතුරුව පියසෝම තමාගේ කෝපය නිවාගැනීමට නිවසින් එළියට බැස ගියේය.
“පලයන් යන්න උඹ තමයි තාත්තව නරක් කරන්නෙ.”
කියමින් විමලාගේ තඩිස්සි වී තිබූ කම්මුල අල්ලා බැලීමේ දී නිමාලිගේ අත ගසා දැම්මාය. නිමාලි විසින් පියසෝමගේ කිමිඳුම් වැඩවලට අනුබලදීම විමලා කිසිවිටෙකත් අනුමත නොකළාය. නිවසින් එළියට බට පියසෝම අරමුණකින් තොරව ඇවිදින්නට විය. ඔහු නොදැනුවත්වම ගාල්ල බස් නැවතුම්පල වෙත ඇවිද අවුත් සිටියෙන් අසල වූ වයින් ස්ටෝරුවක් වෙත ගොස් ගල් කාලක් හා තැම්බූ කඩල ගොටුවක්ද ගෙන ගාලු කොටුව දෙසට පියමං කළේය. කොටු බැම්ම මතට වී අරක්කු කාල උගුරට දෙකට හිස් කළ පියසෝම උගුර කට පිච්චීගෙන පහලට බසින අමු අරක්කු සැර අඩු කිරීමට කඩල අහුරක් ගිල දැමීය. විමලාට සිතින් බැන වදිමින් තම කේන්තිය අඩුවන තෙක් මුහුද දෙස බලා සිටි පියසෝම යළිත් නිවසට පැමිණියේ රෑ බෝවී බොහෝ වේලාවකට පසුවය. තමන්ගෙන් සිදුවූ වරද ගැන පසුතැවිලි වෙමින් බමන මතින් වැනි වැනි නිවසට ගොඩව ඉස්තොප්පුවේ පුටුවකට වැටුණු ඔහු යළිත් මේ ගිලුණු නැව ගැන කල්පනා කරන්නට විය. බළලුන්ගේ පොරකෑමේ සද්දය යළිත් ඔහුට ඇසෙන්නට වූයේ නිවසේ පිලිකන්න දෙසිනි.
“චික් විතරක් මුංගේ මූසල සද්දේ.”
පියසෝම බළලුන් එලවා දැමීමට පිලිකන්න දෙසට පියනැගුවේය. කෙලින් කටින් සිටගත නොහැකිව වැනි වැනි හුන් ඔහුට බළලුන් සිටින දිශාවක් සොයාගැනීමට නොහැකි වුණි. පියසෝම චිප් චිප් යනුවෙන් කිහිප වරක් කෑගසා නිවසට වැදී දොර වසාගත්තේය.
මේ අතර නිමාලිද සිටියේ තද බල සිත් තැවුලකින්ය. සංවේදි චරිතයක් වූ ඇය රාත්‍රී නිදිවර්ජිතව ගතකළේ අම්මා සහ තාත්තා අතර වු රණ්ඩුව ඇගේ සිතට තදින් බලපෑ නිසාවෙනි. තමාද අනියමින් හෝ මේ දබරයට දායක වී ඇතැයි ඇයගේ සිත ඇයට දොස් නැගුවාය. නිදිමත ළඟාවී නින්දයාගෙන එන විටදී බළලුන්ගේ පොරට වැටෙන්නට පෙර ඇසෙන මූසල කෑගැසීම් හඬ ඇගේ දෙසවනට ඇසෙන්නට වීමෙන් නින්ද කැඩී කිහිපවරක් අවදිවන්නට නිමාලිට එම රාත්‍රිය පුරාවට සිදුවිය. මැදියම පසුවී එළිවන්නට හෝරා කිහිපයකට පෙර ඇයට හොඳින් නින්ද ගියාය.
පසුදින පියසෝම අවදිවූයේ නිමාලි තේ ගෙනැවිත් කතා කළ පසුය. ඔහු ඇඳේ සිටියදී නොනැගිටම බුරුල්වූ සරමේ ගැටය තදකර ගැට ගසා ගත්තේය. නිමාලි දුන් තේ කෝප්පය තොලගාන ගමන් ඔහුට පෙර දින සිදුවූ කලබගෑනිය සිහියට නැගුනි. විමලාට හෝ ගෙදර අයට හෝ මුහුණ දීමට අපහසු ගතියකින් පියසෝම පෙලෙන්නට විණි. තේ කෝප්පය ගෙනයාමට පැමිණි නිමාලි පියසෝම හා කතාවට වැටුනාය.
“තාත්තා ඊයේ බීල නේද ගෙදර ආවේ. ඔය වැඩේට නම් පුරුදු වෙන්න එපා ඒකෙන් අපි තවත් අමාරුවෙ වැටෙන එක තමයි වෙන්නේ.”
පියසෝම කරබාගෙන නිමාලිගේ කතාව අසා සිටියේය.
“අම්මා කැමති නැහැ ඔය වැඩේට නිවාඩු දාගෙන රස්සාවට නොගිහින් කරනවාට. එයා හිතන්නේ තාත්තාව රස්සාවෙන් අස්කරාවි කියලා.”
“ඒ ගැණිට පිස්සු දුවේ. එහෙම කොහොමද එයාල මාව අස්කරන්නේ මම සික් ලීව් දාලනේ ඉන්නෙ.”
“මං හිතන්නේ තාත්තා මේ වැඩේ ටික දවසකට අතහැරලා ආපසු වැඩට ගියා නම් හොඳයි.”
“පිස්සුද දුවේ මෙච්චර දේවල් කරලා අතහැරලා දාන්න දැනටමත් ඔය නැව ගැන කීදෙනෙක් නම් හොයනවද? අතට ආපු වාසනාවට පයින්ගහන්න බැහැ”
“ඉතිං මේක හොයන්න වෙන විදිහක් නැද්ද?”
“තියෙනවා මං ඊයේ රාත්තිරියේ කල්පනා කළෙත් ඕක තමයි.”
“ඒ මොකක්ද තාත්තේ.”
“මං හෙට ඉදලා නයිට් ඩියුටි දාගන්නම්. එතකොට මට දවල්වරුවේ ඔය කිමිඳුම් වැඩේ කරතෑකි. මොකද හොඳට පතුල පෙනෙන්න දවල් ඉර මුදුන්වෙන්න ඕනේ.”
“අදහස නම් හොදයි එත් රෑ වැඩ කරලා තාත්තාට පුළුවන්ද පහුවදාට කිමිඳුම් වැඩ කරන්න?”
“පුලුවනි, බැහැයි කියලා මේක අතහැරලා දාන්න පුළුවන් වැඩක් නොවෙයි දුවේ.”
“ඒක නොවෙයි තාත්තේ මෙච්චර දවස් කිමිඳිලාත් ඔය නැවෙන් වටිනා යමක් තවම ලැබුනේ නැද්ද?”
“මේකේ තිබිලා මට කැඩුනු වයින් බෝතල් පිඟන් කටු කෑලි වගයක් නම් දැනට හමුවුනා. ඒවා මම උඩට ගෙනාවේ නැහැ වැඩක් නැති නිසා. මේක ඔයාලා හිතන තරම් ලේසි පහසු දෙයක් නොවෙයි. මේ නැව ගිලිලා හුගාක් කල් නිසා මඩේ එරිලා තියෙන්නේ පාදා ගන්න ලේසි නැහැ. මට තියෙන්නේ මේ අත් දෙක විතරයිනේ. අපට කොයින්ද මේවාට හරියන උපකරණ.”
පියසෝම තම දෑත් පෙන්වා කනගාටුවෙන් පැවසුවේය.
ඒ කතාව ඇසු නිමාලිගේ හදවත කඩාවැටුනාක් මෙන් විය.
“තාත්තා දුක් වෙන්න එපා මං අම්මාට කියන්නම් තාත්තා නයිට් එකට වැඩට යනවා කියලා”
“මං කැමති නැහැ ඔය ගෑනිත් එක්ක කතා කරන්න, ඉස්සරවාගේ නැහැ. කතා කළොත් කටු අත්ත වාගේ රණ්ඩුවකට පැටලෙන්න තමයි එන්නේ.”
“ආ තාත්තේ මට අමතක වුණා අපි ඉක්මනටම විමලේ මාමාගේ සල්ලි ටික ගෙවලා දාමු. දැන් එයා බොනවාත් හොඳටම වැඩියි. අනික මම ආස නෑ එයාගෙන් සල්ලි ඉල්ලාගත්තා කියලා අම්මා එක්ක නිතරම කියවනවාට.”
“එකපාරට නම් බැරිවෙයි දුවේ. තාම මොකවත් ලැබුනේ නැහැනේ ලැබුනානං පොලියත් එක්කම ගෙවලා දාන්න තිබුනා.”
“එහෙනම් තාත්තා අද නයිට් එකට යනවානේ.”
ඇසූ නිමාලි එම ආරංචිය විමලාට දීමට කුස්සියට පියවර නැගුවාය.
පියසෝම කල්පනා කරමින් නිකමට මෙන් තම නිකට අතගෑවේය. තම රැවුල බෑමට අමතකවීමත් දින ගණනාවකින් තමා කන්ණාඩියක් ඉදිරියට නොගියබවත් මතක්වූයේ එවිටය. පිටුපස ළිඳ ළඟට ගොස් ළිංබැම්මේ කනුවක ඇණයකින් එල්ලා ඇති කැඩපත තුළින් තම මුහුණ දෙස බැලූ ඔහුට වියපත් වෙමින් පවතින අව්වට කළු ගැසුනු මුහුණේ දෙපස අඟලක් තරමට දික්ව වැඩුනු රැවුල පෙනින. රැවුලෙන් හරි අඩකටත් වඩා පැසී ගොසිනි. මේ දිනවල දිගින් දිගටම මුහුදේ ගතකළ බැවින්දෝ කොණ්ඩයත් තඹ පැහැගැන්වී ඇත. ඇස් දෙක යට කළුවී වලගැසි ඇත්තේ තමා දරන වෙහෙස ඔරොත්තු නොදෙන නිසාදෝයි ඔහුට සිතුනි. විටෙක මේ සියල්ල අතහැර දැමීමට සිතුන නමුත් මේ අතට ලැබුන වාසනාවට පයින් ගසන්නට හෙතෙම අකමැති වුයේය. කැඩපතින් පෙනෙන තම ප්‍රතිරූපය දෙස බලමින් සිටි පියසෝම තම ජිවිතයේ සුන්දර අතීතයට පියමනින්නට විය.
මතුසම්බන්ධයි.....
හිතමින් හිටියාට සුගතිය අත් නොවෙතී
ReplyDeleteනැණැසින් බලා වෑයම් කළ යුතුද වෙතී
ඉවසිය යුතුය ගැහැනුන්ගේ මෝඩ ගතී
මුහුණට තරහෙ නාසය සිඳ පලක් නැතී
කාන්තා දිනය දා දාපු සුපිරි කවිය.
Deleteමේක ගොඩාක් වටිනවා බෙල්ල කැපුව SIලා වාගේ අයට නිතර ඇහෙන්න සලස්වන්න පුලුවන්නම්
https://www.clubmahindra.com/blog/experience/hidden-treasure-stories-from-the-worlds-oceans
ReplyDeleteබැහැලා ගොඩගන්නම වටිනා නිධන් ටිකක්නේ....
Deleteතාරුණ්‍යයෙන් ආඪ්‍ය වූ
ReplyDeleteජීවිතය පිළිබඳ දැක්මෙන් අනන්‍ය වූ
අත්දැකීමෙන් බහුශ්‍රැත වූ
අසංග නමැති කතාන්දර කරුව,
තොප කුමක් කියන්නෙහි ද?
වහා පිරිසිඳ කියව!
කියන්නෙමි... ලියන්නෙමි.....
Deleteඉවසලා හිටුව....
බළලුන්ගේ පොරකැම කලින් කොටසෙත් තිබුනා නේද. මේ කතාවෙ ගොඩක් සංකේත තියෙනවා. ඉස්සහරට යනකොට ඒව තේරෙයි කියලා හිතෙනවා. පියසෝම හිතන විදිහ අනුව මට මතක්වෙන්නෙ අර මුරුන්ගා විකුනලා ගන්න කාර් එක තියන්න වත්තෙ ඉඩ මදි කියලා මුරුන්ගා ගහ කපපු කෙනෙක් ගැන තියෙන කතාව.
ReplyDeleteකතාව බොහෝ සැලකිල්ලෙන් නිරික්ෂණය කිරීම ගැන ස්තුතියි. ඒ වාගේ පියසෝමලා අපි අතරේ ඉන්නවා නේ.
Deleteනිදානය පෙනී පෙනී අත අරින්න බැරි කමට තමයි හැම මිනිහම නැහෙන්නේ.. :)))
ReplyDelete