Monday, May 3, 2021

හෝරස්ගේ දරුවා - දසවන දිගහැරුම Son of Horus - 10



එදින රාත්‍රියේ දෙගොඩාහරියාමයේ  ස්ටැන්ලි අවදිවූයේ නිවසේ වහල උඩින් බළල් රංචුවකගේ පොරකෑම් හා කෑගැසීම්වල ශබ්දයෙනි. මූසල හඬකින් ඇසෙන කෑගැසීම් ස්ටැන්ලිගේ සුව නින්ද බිඳහෙලීය. තොල කට වියලී දිය පිපාසයක් දැනුනායින් නිදි ඇඳෙන් බිමටබට ස්ටැන්ලි වතුර බීමට පැන්ටි්‍රය දෙසට පිය නැගුවේ නිවසේ විදුලි පහන් දැල්වීමට සිතට නැගුනු අලසකමත් තමාට හුරුපුරුදු නිවසේ යාමට ඊමට එළියක් අනවශ්‍ය යැයි ඔහුට සිතුණු නිසාත්ය. එහෙත් කවරකදාකවත් නොවන ලෙසින් ස්ටැන්ලිගේ කකුල වීදුරු අල්මාරියක වැදී සුළඟිල්ල දෙසින් වේදනාවක් ගෙන දුන්නේය. සුළඟිල්ල දෙසින් නැගඑන උසුලාගත නොහැකි තියුනු වේදනාව ඉහමොළ සිසාරා ගමන්කරන්න පටන්ගත්තායින් ඔහුට දියපිපාසයද අමතක වුනි. ස්ටැන්ලි තනිකකුලෙන් පැන පැනවිත් ඇඳේ වාඩිගත්තේ බළල්රැලට ශාපකරමිනි. 

“කාළකන්නි යක්කු මගේ නින්ද කෑවා මදිවට කකුලත් තුවාල කළා.”

නොනිම් කෙන්තියෙන් පසුවූ ස්ටැන්ලි දැඬිව කකුලෙන් නැගෙන වේදනාවෙන් මිරිකෙමින් සිට නොබෝ වේලාවකින් නින්දට වැටුනි. මෙසේ ඔහුගේ නින්දට බාධාකරමින් බළල් රංචුවකගේ මූසල කෑගැසීම් සහිත දිර්ඝ රාත්‍රීන් කිහිපයක් ගෙවී ගියේ ස්ටැන්ලිට බළලෙකු පේන්න බැරි තත්ත්වයක් උදා කරමිනි.




“අයිසේ උපාලි තමුසේ රෑට මුරකරනවාද? බුදියනවාද? මම දැන් කී දවසක් කිව්වාද මේ මූසල සත්තුටික එලවලා දාන්න කියලා.”

ඔහු සිකුරිටි උපාලිට කඩාපැන්නේ තවත් නිදිවර්ජිත රාත්‍රියක් ගතකළ පසුවය. 

“සර් ඔය කියන විදිහට මෙහේ බළල් රැලක් තියා එක බළලෙක්වත් නැහැ. සර් කියන නිසාම මම රෑ වහල උඩටත් නැගලා බැලුවා මොන සතෙක්වත් නැහැ.”

“බොරු කියන්න එපා අයිසේ. මට පේන්නේ තමුසේ මර නින්දේ ඉන්නේ, එකයි සද්ද ඇහෙන්නේ නැත්තේ. අද රෑටත් බලනවා. ඔය යක්ෂයන්ට ගහලා පන්නන්න ඕනේ.”

උපාලි ඔලුව වැනුවේ තම අකමැත්ත ප්‍රකාශ කළ නොහැකිවූ බැවිනි. එදිනත් බළලුන්ගේ පොරකෑම් ශබ්දයන් හා වහල දිගේ යමක් පෙරලී යන ශබ්දයක් ඇසුනායින් ස්ටැන්ලි තිගැස්සී අවදිවිය. ඔහුගේ දෙකන්පෙති රත්වීගෙන යනු දැනුනේ බළලුන් කෙරහි උපන් කෙන්තියෙනි. සුපුරුදු පරිදි බළලුන්ට දෝෂාරෝපණය කළ ස්ටැන්ලි යළිත් ඇඳේ අනික්පසට පෙරලුනේ එය නොසලකාහැර නිදා ගැනුමටය. එහෙත් ඔහුගේ නින්දට යළිත් බාධාකරමින් ඉදිරිපස දොරට තට්ටු කරන ශබ්දයක් ඇසුනි. 

“ක කවුද කවුද?”

“සර් මම උපාලි.”

“මොකෝ අයිසේ මේ මහ රෑ තමුසේට තනියම බළල්ලු එලවන්න බැරිද?”

ඔහු තම බළලුන් කෙරහි වූ කෝපය සිකුරිටි උපාලිට කෙරෙහි මුදා හරිමින් ඉදිරිපස දොර විවර කළවිට උපාලි උණ රෝගියෙකු විලසින් බියෙන් තැතිගෙන වෙවුලමින් සිටියේය. යමක් අසන්නට ස්ටැන්ලි තම මුව විවර කරන්නටත් පෙර උපාලිට පිටුපසින් මතුවආ කලු ඇදගත් තරුණයින් දෙදෙනෙකු එකවරම දොර තල්ලු කරමින් උපාලිවත් සමඟින් නිවස තුළට කඩා වැදුනේ ඔහුට යමක් සිතන්නවත් ඉඩක් නොතබායි. ඔවුන් දෙදෙනාට පසුපසින් තවත් තිදෙනෙකුද නිවසට ඇතුල් විය. දෙදෙනෙක් උපාලිව පසෙකට කරවූ අතරම කණ්ඩායමේ නායකයායි හැගෙන හීන්දෑරි අඩි පහමාරක් පමණ උසැති තරුණයා ස්ටැන්ලි වෙත ආවේ අනෙක් අයට අණදෙමිනි.

“ඕකාව දැන්ම පල්ලෙහාට ගෙනියන්න එපා. අත්දෙක බැඳලා කාමරේකට දාපං. ඉස්සෙල්ලාම මුගේ කට බැඳලා හිටපල්ලා.”

අණට කීකරුව උපාලිව අල්ලාගෙන සිටි දෙදෙනා ඉදිරියේ වූ ගබඩා කාමරයට ඔහුව රැගෙන ගියේ අත්පා මෙන්ම කටද බැඳ දැමීමෙන් පසුවය.

“ඉතිං ස්ටැන්ලි මහත්තයෝ අපි ආවේ ඔහේගේ දුක සැප බලන්න නම් නෙමෙයි. ඒ නිසා අපිට කරදරයක් වෙන්නේ නැතිව තමුසේට කරදරයක් කරගන්නේ නැතිව ඔය අතේ මිටේ තියෙන දෙයක් අපි වාගේ අසරණයින්ට දීලා දාන්න.”

ඔහු තම හිනේ රුවාගෙන සිටි පිස්තෝලයක් රැගෙන ස්ටැන්ලිගේ බඩට තදකරන ගමන් පැවසීය. සිහි එලවාගත නොහැකිව ස්ටැන්ලි වටපිට බැලුවේ මර උගුලකින් පැනයන්නට තනන මුවපොව්වෙකු ලෙසිනි. ස්ටැන්ලිගේ නිහඬතාවය නොවඉවසු නායකයාට පිටුපසින් හුන් තරුණයෙකු ඉදිරියට පැන. 

“මොකද යකෝ ඇති කරන්න ගත්තු සතා වගේ මුණ දිහා බලන් ඉන්නේ.”

ඔහු ස්ටැන්ලිගේ කනහරහා අතුල්පහරක් එල්ල කළේය. අනපේක්ෂිතව එල්ලවූ පහරින් සිහි එලවාගත් ස්ටැන්ලි වෙවුලන්නට පටන් ගත්තේය. 

“කෝ ගනින් සල්ලියි වටින කියන බඩුයි ඉක්මන් කරලා. මොකද යකෝ සද්ද නොකර ඉන්නේ.”

දෙවනවරටද ස්ටැන්ලිට පහරදීමට සැරසුනු ඔහුව හීන්දෑරි පුද්ගලයා විසින් කළ ඉඟියකින් නවතා පිස්තෝලය ස්ටැන්ලිගේ හිසට තැබීය.

“අනේ මාගාව මොනවත් නෑ මට කරදර කරන්න එපා.”

“අපිට තමුසේව නලවන්න වේලාවක් නෑ.”

“ඇහුනා නේද කියපුදේ තවත් බලාගෙන ඉන්නේ නැතිව ගනින් යකෝ සේප්පුවේ යතුර.”



නළලට පිස්තෝලය තබාගෙන සිටි තරුණයා අත දිගහැර තවත් පහරක් ගැසීය.

“ඔය සේප්පුවල සල්ලි නැහැ. මට කරදර කරන්න එපා. අනේ ළමයෝ කියන දේ අහන්න මම ළඟදි බඩු වගයක් ගත්තා ඒක නිසා දැනට සල්ලි නැහැ.”

“එහෙනම් මොකක්ද සේප්පුවේ තියෙන්නේ ඔච්චර පරිස්සම් කරන්න? බොරු පානිය නොදා ඇරපං සේප්පුව.”

“මංජු නවත්තපං. ඔය යකාට ගහලා වැඩක් නෑ උඹ ඕකාව බලාගනින් අපි හොයාගන්නම් තියෙන බඩු.” 

කණ්ඩායම් නායක රංග තම සහායක මංජුට ස්ටැන්ලිව අත්පා ගැටගසා බාරදී අනෙක් සිව්දෙනා හා එක්ව උඩුමහලේ කාමර සෝදිසි කරන්නට පටන්ගනු ලැබීය. මේ අතර තම නායක රංගගේ අණ නොතකා මංජු දෑත් බැඳ දමා තිබූ ස්ටැන්ලිට අතොරක් නැතිව පහර පිට පහර දෙන්නට පටන්ගත්තේ සේප්පුවේ යතුරු ගැන අහමින්ය. එම පහර කෑමෙන් දැඬි ලෙස අඬපණව ගිය ස්ටැන්ලි තවදුරටත් එය ඉවසාගෙන ඉන්නට නොහැකිව අවසානයේදි මංජුට අවනත විය. 

“අඬන්න ඕනේලු කිරි එරෙන්න. රංග අයියා, මූට ලීලේ පෙන්න පෙන්න හිටියානං තාම යතුර හොයනවා. මෙන්න බඩු.”

සේප්පුවල යතුර ලබාගත් මංජු කීය.

“මංජු ඇරපං ඕක.”

“ඕවායේ තියෙන්නේ සල්ලි නෙමෙයි වෙන්දේසි කරන්න ගෙනාපු බඩු වගයක්. ඕවා ගෙනියන්න එපා. ඔයාලාට ඕවා විකුණන්න බැහැ ඒ නිසා ගෙනියන්න එපා.”

“අපි ගේමක් දෙන්නේ අත් වන වනා යන්න නෙමෙයි. උඹගාව සල්ලි නැතිනම් අපි මේවා ගෙනියන්නම්. මංජු, චුට්ටා දාගනින් ඕවා බෑග්වලට.”

“එපා එපා ගෙනියන්න. මම සල්ලි දෙන්නම් ඕවා එහෙමම තියන්න.”

ස්ටැන්ලි පිංසෙණ්ඩුවන්නට පටන්ගත්තේය.

“ඔය තියෙන්නේ නැතෙයි කියාපු සල්ලි. ගනින් ඉක්මනට අපිට පව් නොදී.”

ස්ටැන්ලි තම නිදන ඇඳයටට වන්නට රහසිගත ස්ථානයක තබා තිබූ කුඩා සේප්පුවක් විවරකර රුපියල් දෙදහසේ මිටි පහක් පමණ ලබා දුන්නේය.

“උඹ ගාව ඔච්චරද තියෙන්නේ? ගනින් ගනින් තව හංගලා තියෙන තැන්වලින්.”

“ඔතන ලක්ෂ දහයක් විතර තියෙනවා. මම කිව්වේ බඩු ගත්තු නිසා සල්ලි නැහැ කියලා. දැන්වත් මට කරදර නොකර යන්න.”

“කරදර නොකර යන්න? තාම අපි උඹට කරදර කළේ නැහැ. උඹ ඉස්සෙල්ලාත් කිව්වේ බොරුනේ?” 

රංග ස්ටැන්ලිව බිම වැටෙනසේ තල්ලූකර දැමුවේය. මේ අතරතුර සේප්පුව තුල බහා තිබුනු මුතුමාල ආදි වටිනා දේවල් මංජු ගේ නෙතට අසුවිය.

“රංග අයියා මේ බලන්න මු ගාව සල්ලිවලට වඩා වටින බඩු තියෙනවා. ඒකයි මු අපිට සල්ලි දීලා පානිය දාන්න ගත්තේ.”

“එහෙනම් ඒවාත් ඔය බෑග්වලට දාගනිල්ලා. නිධං හාරලා ගත්තු ඒවාත් වෙන්දේසියට දාන්නයි ඉඳලා තියෙන්නේ. ඕවා අපිට පස්සේ සල්ලි කරගන්න පුලුවන්.”

ස්ටැන්ලි කොතරම් ඇවටිලි කළත් රංග ඇතුලු කල්ලියේ අනුකම්පාව ඔහුට හිමිනොවීය. බෑග්වලට සේප්පුවල තිබු සියලු බඩු අසුරාගැනීමට ඔවුනට වැඩිවේලාවක් ගතවූයේ නැත. ස්ටැන්ලි කිසිවක් කරකියාගත නොහැකිව අසරණව බලාසිටියේ උහුලාගත නොහැකි කෝපයෙනි. පහරකෑමෙන් ලද ඇටමිදුළු සිසාරා යන වේදනාව ඔහුගේ කෝපය තවතවත් උත්සන්න කළේය.

“කෝ මේ  චුට්ටා උඹ පලයන් මංජු එක්ක. ඕකාව ඇඳේ බාවලා අතපය ඇඳ වියලට තියලා බැඳපං.”

රංග එසේ අණ දී ඉදිරිපස දොර වෙත ගියේ තම කණ්ඩායම මෝටර් සයිකල් වලට නැග පිටත්වීමට කල්යල් බලමින් සිටින අතරතුරදීය. මරු විකල්ලෙන් මෙන් දඟලන  ස්ටැන්ලිට තව පහරක්දී අඩපණ කරගෙන ඇඳේ හොවාගත් මංජු  චුට්ටා සමඟින් උත්සාහ කළේ ඇඳේ බැඳ දැමීමටය.

“කෝ චුට්ටා මොකක් හරි ලණුවක් අරගෙන වරෙන් මුව බැඳලා දාන්න. ඉක්මන් කරපං යකෝ.”

චුට්ටා ලණුවක් ගෙන ඒමට පිටත්ව ගිය කල්හි කෝපාග්නියෙන් දැවෙමින් සිටි ස්ටැන්ලි තම බැඳ තිබූ දෑත බුරුල් කරගත්තේය. ඇසිල්ලකින් තම කකුල් බැඳ දැමීමට සැරසෙමින් සිටි මංජුගේ බෙල්ලට වියරුවෙන් මුසපත්වුනු දිවියෙකුසේ පැන්නේය.

“බල්ලෝ තොපි මාව විනාශ කළා.”

ස්ටැන්ලිගේ දෑත දඬුඅඬුවක් මෙන් මංජුගේ ගෙල කිටිකිටියේ තදකරද්දී ඔහු මරුවිකල්ලෙන් මෙන් දැඟලුවේ ස්ටැන්ලිගෙන් මිදීමටය.

මංජුටත් නොදැනීම ඔහුගේ අත යොමුවූයේ හින පෙදසේ රුවා තිබූ පිස්තෝලය දෙසටය. .....

මතුසම්බන්ධයි


11 comments:

  1. මේක Horusගෙ දරුවද Bastetගෙ දරුවද?

    ReplyDelete
    Replies
    1. Bastet ට දරුවන් හෝ බදුනක් සම්බන්ද වෙන්නේ නෑ.ඔන්න පොඩි ඉගියක් දුන්නා.
      12 කොටසින් උත්තර ලැබෙනවා.

      Delete
  2. නොහිතන දේවල් එමටයි කතාවෙ
    හොඳම twist තව-තව ලියවුණාවෙ
    හොරුන්ට කෙළවෙන මඟ පෑදුණාවෙ
    මේ සාපෙන්වද කොරෝනා ආවෙ?

    ReplyDelete
    Replies
    1. නොසිතන දෑ මෙලොව සැමදා සිදුවන්නේ
      එහි පිටපත කවුරුදෝ කොහෙදෝ ලියවන්නේ
      කොරොනාව සමහරු ඉල්ලම් කරගන්නේ
      සොබාදහමට අකිකරුවුනොත් කෙලවෙන්නේ

      Delete
  3. මං කිසිම දෙයක් ගූගල් එකේ හොයන්නැතුව, හුදෙක් ම මේ කතාව විිඳිනවා. පට්ටිය ඈ...

    ReplyDelete
    Replies
    1. පට්ටයි ලෙස සංශෝධනය විය යුතු බව සළකන්ඩ

      Delete
  4. ඇඳට තියල ගැට ගැහිල්ල නං මතක් කළේ වෙන කැටගරියක්. හැක්!

    ReplyDelete
    Replies
    1. ඒ කැටගරිය නියමයි.. නුවරඑලියේ සීතලටත් එක්ක ඇදේ ගැටගහලා පොර අල්ලන්න තියෙන්නේ...

      Delete
  5. දැන්නම් රහස් පරීක්ෂක කතාවක් වගේ , paranormal ට්විස්ට් එකක් එක්ක

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

සුබ ගමන් ආටියා...

 මගේ ලෝකය My world සුන්දර බ්ලොගය ලියූ ආටියා - කළණ ආටිගල සුහද මිතුරා අප අතරින් සමුගෙන ගොස් ඇතිබව දැන ගන්නට ලැබී ඇත.  සුබ ගමන් ආටියා.