Sunday, August 2, 2020

විදුලි පංකා හුටපටය හා නැව ගිනි තැබිම. - සයුරේ දසවසක් - 14



Posted: 23 Jul 2019 09:26 PM PDT

  

           නෞකාව ගාල්ල වරායට සැපත්විමත් සමගම මාහට එහි හිටපු එකම හිතවතාවු කඩ්ඩාගේ පුහුණු කාලය අවසන්විය.  කඞ්ඩා නැවෙන් සයින් ඔෆ් වි (Sign off) යාමෙන් පසුව ඔහු වෙනුවට නැවට එක්වුයේ එකනායක නම්වු ගාල්ලේ බද්දේගම ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකුය. ඔහු අපගේ පුහුනු පාසලේ පුහුණුවන්නෙකුවු අතර හේ මට වඩා වසරකින් කනිෂ්ඨ විය. සැබැවින්ම එකනායක නිහතමානි චරිතයක්වු අතර අප දෙදෙනා ඉතා සහයෝගයෙන් අපගේ වැඩකටයුතු කරගෙන ගියෙමු. ති‍්‍රකුණාමලයේ සිට උතුරට යාත‍්‍රා කරද්දි නැවේ ජල සැපයුම සිමා කරවයි. ඒ උතුරේදි නෞකාවට ජලය පසයා ගන්නට හැකියාවක් නොමැති බැවිනි. එවන් දිනවල උදෑසන ජල සැපයුම ලැබෙන විට දොලහ හතර සේවා මුරයේ යෙදෙන මා වෙනුවෙන් බාල්දියකට වතුර පුරවා ගෙනවිත් තබන්නට තරම් ඔහු කාරුණිකවුනි.

         
මෙච්චර තරම් වත් හොද කැබිනයක් නොවිය

      කාපෙන්ටරයා ගේ වැඩ පිලිවෙල නිසා කැබින් කාමර පිලිසකර කිරිම සිදුවුයේ ඉතාමත් මන්දගාමිවය. අනෙක් කාමර වල ගැලවු පැනලින් හා සුන්බුන් වලින් පිරුනු කාමරයක් අපගේ කැබින් තිබු තට්ටුවේ පොට් සයිඩ් හි කෙලවරේ තිබුනි. කඩ්ඩා හා මා සිටි කැබින් කාමරයෙන් අපට පිටමංවි  කෙලවරේ කාමරයට යන ලෙසින් නෞකාවේ වැඩි බලයක් ලගාකරගෙන සිටි බක සිල්වා ඇතුලු එබි කණ්ඩායම බලකරන්නට විය. සුන්බුන් වලින් හා දුහුවිල්ලෙන් පිරුනු කාමරයකට යන්නට මා අදිමදි කර බලහත්කාරයෙන් එහි රැදි සිටන්නට විමි. අවසානයේ ඔවුන් ජයගත්තේ ප‍්‍රධාන නිලධාරිවරයාට කියමින්ය. ඔහුගේ අණට කිකරුවනවා හැරෙන්ට වෙන කලයුතු දෙයක් නොමැති වුනි. ඒ අපගේ එන්ජින් අංශයේ එංජිනේරු නිලධාරින් ගේ බියසුලු කම බැවිනි. එකනායකත් මාත් සුන්බුන් ඉවත් කර කැබින් කාමරය නිදාගත හැකි පිලිවෙලට සකසා ගත්තෙමු. එහෙත් එහි බිම සිමෙන්ති නොවිය. සිමෙන්ති ඉවත්කර තිබුනේ දිරාගිය පොලෝ තට්ටුවේ යකඩ තහඩු කපා ඉවත් කර අලුතින් අතුරන්නටය. අපගේ කාමරයට යටින් වුයේ එන්ජින් කාමරයේ ජෙනරේටර් තිබු ඉසව්වය. ඉන්ජින් කාමරයෙන් නැගෙනා අධික තාපය පොලවේ තහඩුව රත් කරමින් කාමරයේ පොරනුවක් සේ ගිනියම් වන්නට ගනියි. ඩෙක් අංශයේ අයගේ කැබින් වලට සිමෙන්ති ඇතිරුවත් අපගේ කාමරය නොසලකා හැරුනි. එකතායකත් සමගින් ගොස් බිමට සිමෙන්ති අතුරා දෙන මෙන් ඉල්ලා සිටියත් ප‍්‍රධාන නිලධාරියා එම ඉල්ලිම ඉටුකලේ නැත. නෞකාවේ හදිසි සිදුරක් ඇතිවුවහොත් වසා දමන්නට සිමෙන්ති අත්‍යාවශ කාරනාවක් බැවින් තිබෙන සිමෙන්ති බිමට දමන්නට බැරි බව කියමින් ඔහු පිටවි ගියේය. 

        කැබින් කාමරයේ එක වාසියක් වුයේ එහි තිබු පෝට් හෝලය විවර කල හැකි විමයි. එයත් කල හැකි වන්නේ බඩු පටවා නොමැතිව නැව හිස්ව තිබෙන විටදි පමණි. නින්ද අතරමගදි අවදිවන්නට සිදුවන්නේ දහඩියෙන් පෙගි ගිය අතරතුරේදීය. කාමරය සිසිල් කරන්නට මා යොදාගත් එක උපක‍්‍රමයක් වුයේ නිදා ගන්නට පෙර කැබින් කාමරයේ පොලවට වතුර බාල්දියක් පමණ හැලිමයි.





පැරනි ඉන්දියානු විදුලි පංකාවන් මෙතරම්වත් හොද නිමාවකින් යුතු නොවුනි.

        පහල තට්ටුවේ තිබු එන්ජින් කාමරයෙන් නැගෙන රස්නයෙන් ඊට ඉහළින් තිබු අපගේ කැබින් කාමර දැඩි රස්නයකින් යුක්ත විය. වායුසමිකරන යන්ත‍්‍රයන්ගෙන් සිසිල් වායු දහරා ගලා එමක් නොවුන මෙහි සෑම කැබිනයකම තිබුයේ ඉන්දියානු මේස විදුලිපංකාය. මමත් කඩ්ඩාත් සිටි කැබින් කාමරයේ විදුලි පංකාවක් තිබුනි. කැබින් කාමර මාරුවේදි මේ  විදුලි පංකාවද ගලවාගෙන ගොස් අපට ලැබුනු අලුත් කැබින් කාමරයේ සවිකරගතිමු. දහඩියෙන් පෙගි අසීරුවෙන් නිදියන රාති‍්‍රයන් ඉන් පසු නිමාවීය. එහෙත් එය සතියක් එකාමාරකට වඩා තබාගැනිමට නොහැකි වුයේ බක සිල්වා අප කැබිනයේ තිබූ මේස විදුලි පංකාව දුටුව පසුවය. ඉන් දින දෙකකට පසු එයට අයිතිවාසිකම් කීමට ඔහු ආවේය. එය ඔහුට යළි දීමට මාගේ කිසිදු කැමැත්තක් නොවුන අතර ඔහු එය ඔහුගේ කැබිනයේ පංකාව බව පවසමින් හොදින් හෝ නරකින් ගන්නා බව වහසිබස් පවසන්නට විය. මාගේ පැත්තට සිටියේ නැවට අළුතින් ආ  එකනායක පමණි. අලුතින් ආ ආධුනිකයෙකුවු එකනායකගෙන් වැඩි සහයෝගයක් මාහට නොලැබුනු අතර බක සිල්වාගේ සහයට තම ඩෙක් අංශයේ සියල්ලන්ම එකතුවිය. අවසානයේ කැබිනයේ තියෙන විදුලි පංකාවක් වෙනත් කැබිනයකට රැගෙන යාම නිති විරෝධි වැඩක් ලෙස  පවසිමින් ඔහුගේ විදුලි පංකාව බාරදෙන ලෙසින් ප‍්‍රධාන නිලධාරිතුමාගෙන් අණක්  ලැබින. ඔහු ජයග‍්‍රාහි ලෙසින් පංකාව අත්පත් කරගත්තේය. එහෙත් එය කඩ්ඩාත් මාත් පෙර සිටි කැබිනයට රැගෙන යාමක් නොවිය. බක සිල්වා සිටි කැබිනයේ විදුලි පංකාවක් තිබුනු අතර මාගෙන් බලහත්කාරයෙන් ලබාගත් එම විදුලිපංකාවද එහි සවිකරවාගත්තේය. කැබිනයේ විදුලිපංකාවක් නොමැතිව අධික රස්නෙන් දුක්විදින අප වෙනුවෙන් ඉන්ජිනේරුවරුන්ගෙන් හෝ අනෙකුත් එන්ජින් අංශයේ කිසිවෙකුගෙන් වචනයකින් වත් සහයෝගයක් නොලැබින.

    
             මෙම විදුලි පංකා හුටපටයෙන් පසුව ඩෙක් අංශයේ බොහෝ දෙනෙකුගේ සුහදතාවය අඩුවිය. ඩෙක් අංශයේ සියල්ලන්ම පාහේ කතා බහ කිරිමෙන් වලක්වාලන්නට බක සිල්වාට හැකිවුනි. විදුලි පංකාව ආපසු දුන්නත් ලේසියෙන් පරාජය බාරගැනිමට මාගේ සිත පිලිගත්තේ නැත. මට නැත්නම් උඹටත් නැති කරන්නම් මාගේ සිත මොරගාන්නට විනි. බක සිල්වාට නොදැනි පංකාව විනාස කිරිමට පුලුවන් විධි ගැන සිතා බලන්නට විමි. මෝටරය මතට ජලය හෝ මුහුදු ජලය වත්කර එය කි‍්‍රයාත්මක කිරිම හෝ කි‍්‍රයාත්මක පංකාවේ පෙත්ත හිරවන්නට යකඩ කූරු කැබැල්ලක් සිර කිරිමෙන් මෝටරය අක‍්‍රිය කිරිම සැලසුමේ ක‍්‍රම දෙක වුනි. එහෙත් කවුරුත් නොමැති අවස්ථාවක් එනතෙක් හිද කැබින් කාමරයට පැන එය කරන්න කල්යල් බලද්දි මාගේ සැලසුම අකුලාගන්නට සිදුවුයේය. ඒ ටික දිනකින් කැබින් කාමර අගුලුලෑමට හැකිවන ලෙසින් කාපෙන්ටරයා සියළු කමරවලට නව අගුලු සැකසූ බැවිනි.  එහෙත් යටිහිතේ බක සිල්වාගෙන් පලිගැනිම අත්හැරුනේ නැත.

      පෑස්සුම් ශිල්පියා ලෙසින් වැඩ කල රංජිත් අයියා හෙවත් කොට රංජි නැවෙන් බැස ගිය පසුව ආ වෙල්ඩරයාද විදුලි පංකා ආරවුලෙන් පසුව එකතුවුයේ බක සිල්වාගේ සමාගමටය. රංජි අයියා සමගින් සිටි අනෙක් පෑස්සුම්කරුවු චමින්දද ඔහු හා එක්වුනි. නැවේ වැඩිම සේවකයින් පිරිසක් ඇත්තේ ඩෙක් අංශයට බැවින් මාගේ පැත්තට සිටියේ එකනායක පමණි. කිසිවෙකුගෙත් උදව් උපකාරයක් හෝ හව්හරණක් නොමැති අසීරු අවස්ථාව ගනනාවකට මුහුණ පාන්නට සිදුවෙමින් පවතින නිරතුරුවම සිතට නැගෙන්නට විය. මෙතෙක් කලක් මිතුරන් සේ එකට සිටි අයගෙන් වන නොසලකා හැරිම් මදිපුංචිකම් කෙනහිලිකම් දිගින් දිගටම සිදුවන්නට විය. කොහේවත් සිටි වෙල්ඩරයා බක සිල්වාගේ පැත්තට ගෙන පුලුවන් තරම් අරියාදුකරන්නට පටන්ගැනිම මාගේ කෝපය තී‍්‍රව කරවීය. බක සිල්වාගෙන් හා අනෙක් උන්ගෙන් පලිගන්නට අවස්ථාවක් එනතෙක් බලාහිදින්නට විමි. 

ගබඩා කාමරයක්

 
       අපගේ කැබින් කාමර පිහිටා තිබුනේ  ප‍්‍රධාන තට්ටුවට යටිනි. එයට තරප්පු පෙලින් බැසිමෙන් ඉංග‍්‍රීසි " යු " ( "U") අකුරේ හැඩයට ඇලිවේ 
(Alleyway) එක බෙදි දෙපස කැබින් කාමර පිහිටා තිබුනි. යු අකුරේ මැද වුයේ එන්ජින් කාමරයයි. එන්ජින් අංශයේ ගබඩාවක් ලෙසින් යොදාගන්නා කැබින් කාමරයක් මේ තට්ටුවේ ස්ටාබර්ඩ් හෙවත් දකුණු පැත්තේ කෙලවරක විය. එහි අනෙක් පැත්තවු වම් කෙලවරේ අපට ලැබුනු අලුත් කැබින් කාමරය වුනි. මෙම කැබිනයේ ඇන මුරිච්චි සේම කොසු පාපිසි තෙල් පිසදැමිමට අවශ්‍ය රෙදි කැබිලි පිිරවු ගෝනිද තිනර් හා යන්ත‍්‍රසූත‍්‍ර පිරිසිදු කරන්නට ගන්නා විවිධ වර්ගයේ කෙමිකල් බැරල්ද ගබඩාකර තිබුනි. පෑස්සුම්කරුවන් දෙදෙනා පාවිච්චි කල කැබිනය තිබුනේ මෙම ගබඩාවට යාබදවය. අගුලුලා තිබු මෙම ගබඩාවෙන් බොහෝ අවස්ථාවලදි බඩුභාණ්ඩ රැගෙන එම සිදුකලේ මා විසිනි. ටික දිනක පටන් එම ගබඩාවේ තිනර් සුවදක් වහනය වන්නට විය. එහි තිබු අධික තිනර් සුවදට හේතුව හොයා බලද්දි ලිටර් 20 තිනර් බැරලයක කුඩා සිදුරක් ඇතිවි ඉන් තිනර් වෑස්සෙන්ට පටන් අරන් තිබු බව පෙනුනි. බිමට රෙදිකඩක් දමා වෑස්සුනු තිනර් පිසදමා තිනර් වෑස්සිම නවතාලන්නට එහි පැත්ත වෙනස් කලෙමි. එහෙත් වාෂ්පශිලි ද්‍යවයක් වන තිනර් සුවදින් මුලු කාමරයම වැසී ගොසිනිි. දිගින් දිගටම කෙනෙහිලිකම් සිදුවන මේ නෞකාවේ සේවය කරන්නට තව දුරටත් මාගේ සිත ඉඩදෙන්නේ නැත. නියමිත කාලයට ප‍්‍රථම එහෙත් පළමු නැවෙන්ම තම කැමැත්තන් ඉල්ලාගෙන ගෙදර යාම හා සමාගමෙන් යළි නැවක් ඉල්ලීම ප‍්‍රශ්ණ ගොඩකට අතවැනිමකි. බොහෝ දිනක්ම මොලය වෙහෙසන්නටවුයේ ප‍්‍රශ්නයක් ඇති නොකරගෙන මේ ජරා කබල් නෞකාවෙන් ගෙදර යන විදිහක් ගැනය. එදින සේවාමුරයෙන් පසුව නිදා ගන්නට ගිය පසුව මාගේ සිතයට සිටි යක්ෂයා අවදිවුයේය.

       කලකට ඉහත මා පියානන් සේවය කල නෞකාවක් ගිනි ගැනිමකට ලක්වුන බව මතකයට නැගින. ඔහු ඒ නෞකාවේ සේවයට එක්වි සවුදි ආරබියාවෙන් එක්වි නැව දියඹට පිටත්වු දිනයේදිමය. නැවේ ඇතිවු ගින්න නිවා දමන්නට කිසිවෙකුත් උත්සාහ නොකල අතර සියල්ලන්ම තැත් කර ඇත්තේ ඉක්මනින් නැවෙන් පිටමං වන්නටය. ගිනි නිවාරනය හා ජිවිතාරක්ෂාව ගැන පාඨමාලාවන් එකල නැවියන්ට නොතිබු අතරම හදිසි අවස්ථාවලදි කිසිවෙකුත් ඒ අවස්ථාවන්ට අනුකුලව කටයුතු කරන්නේද නැත. හදිසි තත්වයන් වලදි කලයුතු දෑ ගැන වැඩ පිලිවෙලක් තිබුනත් බොහෝමයක් ඉන් තැති ගැන්වි කරන්නේ තමන්ගේ ජිවිතය ආරක්ෂාකරගන්නට උත්සාහකිරිමක් පමණි. නාවික යුධ නෞකාවකින් පැමිනි ජිවිතාරක්ෂක බොට්ටුවකට නංවාගත් නිසා එකෙකු හැර ඒ නැවේ නැවියන් සියල්ලම බේරාගනු ලැබින. එන්ජින් කාමරයේ සිටි ලාංකික දෙමළ ජාතිකයෙකු ගින්නෙන් දැවිගියේය. නැව සම්පුර්ණයෙන්ම පාහේ විනාශවි ගියේය.
    

 
ගින්න ඉක්මනින් පැතුරුනු විටකදි


            ඉක්මනින් ගිනිගන්නා සුලු වාෂ්පශීලි තිනර් වෑස්සුනුු කැබින් කාමරයට ගිනි ගතහොත් ජිවිත හානි නොවි නැවටත් ලොකු හානියක් වන්නේ නැතැයි මා කල්පනා කරන්නට විමි. අල්ලපු කාමරයේ පෑස්සුම්කරුවන් දෙදෙනාගේ අධික දුම්පානය කැබින් කාමරය ගිනි ගැනිමට හේතුව ලෙසින් සකසා ඔවුන්ගෙන් පලිගැනිමද පුලුවන. දින කිහිපයකම සිට නැවට ගිනි තැබිමේ ක‍්‍රියාන්විතය සිතින් සැලැසුම් අදින්නට පටන්ගතිමි. කිහිප විටක්ම අදාල ගබඩාවට ගොස් සැලසුම කි‍්‍රයාවට නංවන්නේ කෙසේදැයි බලන්නට සිදුවිය. 
ඇලිවේ (Alleyway) හා කැබින් කාමර


          කැබින් කාමර දොරවල්වල වාතය එහා මෙහා ගමන් කලහැකිවන පරිදි යටින් ලුවරයන් සකසා ඇත්තේය. එහි සිදුරක් හරහා දැල්වු සිගරට් කොටයක් ඇතුලට විසිකර තිනර්වලට ගිනි අවුලවාලීම සැලසුමේ ප‍්‍රධාන කාර්්‍යයයි. එහෙත් දුම්පානය කරන්නෙකු බී විසිකරනා සිගරට් කොටය මේ කුඩා සිදුර තුලින් ඇතුලට වැටිමේ සියයට දශම ගනක සම්භාවිතාවක් වේ. තවදුරටත් මේ කි‍්‍රයාව කි‍්‍රයාත්මක කරනවාදැයි සිතෙන් තර්ක කරන්නට විමි. පියානන් සිටි නැව ගිනිගැනිම නිසා ලාංකික දෙමල නැවියෙක්ට ජීවිතය අහිමිවිය. ති‍්‍රකුණාමලයේ වරායෙන් පිටත්වු පසුව උතුරුකොනේ කන්කසන්තුරයට ලගාවනතෙක් අපව ආරක්ෂාකරන්ට අහසේ වැඩ වසනා තිස්තුන්කෝටියකින් එක දෙවියෙක්වත් නොවන කල්හි ත‍්‍රස්තවාදි යුද්ධයක් මැද උතුරේ මහ සයුරේ තියෙන ගිනි ගන්නා නැවක් හා එහි සිටිනා කාර්ය මන්ඩලය බේරා ගන්නට එන්නට කෙනෙකු නැත. කෙනෙකුගෙන් පලිගන්නටත් ගෙදර යන්නටත් කරන්න හදනා වැඩේන් මාද අමාරුවේ වැටෙන වැඩක් බව දින කිහිපයක් කල්පනාකල පසුව වැටහුනි. නැවට ගිනි තියනා අදහස හා සැලසුම අතහැර දැමුයේ මා වෙනුවෙන් අනුයුක්ත කරනා වෙනත් ආධුනිකයෙක් එනතුරා ඔනෑම දුකක් විදින්නෙමි සිතමින්ය.  


සයුරේ ආ මඟ 

ජනේලයෙන් බලන්නට සිදුවු වල්ඩ් කප් එක හා එන්ජින් කාමරයෙන් ආ හොල්මන .-  සයුරේ දසවසක් - 13 

1999 වල්ඩ් කප් එක හා හොල්මන් දැකිම.- සයුරේ දසවසක් - 13


Posted: 01 Jul 2019 07:12 PM PDT
               1999 වසරේ ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පැවත්වුයේ එංගලන්තයේදිය. වසර විස්සකට පසුව මෙවර ලෝක කුසලාන තරගාවලියත් එංගලන්තයේදිම යලිත් පැවැත්විම එක්තරා අහඹුවක්දැයි සිතේ. 96 වසරේ ලෝක ශුරයන්වු බැවින් අප සිතුවේ 99 දිත් ලෝක කුසලානයත් රැගෙන එන්නට අප කන්ඩායමට පුලුවන්වේ යැයිද එය අප  සියල්ලන්ගේම පැතුම විද තිබුනි. 

1999 වසරේ ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අපේ කණ්ඩායම


                   මා මෙම නෞකාවට ආ අලුත බෝහෝ අමාරුවෙන් බැරි බැරි ගාතේ ක‍්‍රියාකල මෙස් කාමරයේ තිබු කලු සුදු රුපවාහිනිය එකැස් පාලගේ ටුත් පික් අතවරයන්ගෙන් පසුව ඉක්මනින් කාලක‍්‍රියා කලේය. වර්ණ රුපවාහිනියක් තිබුනේ නිලධාරින්ගේ සැලන් කාමරයේ පමණි. කැබින් කාමර නොමැතිව රාත‍්‍රියට තැන තැන වැටි නිදන්නට සිදුවුන සමහරුන් මේ වායුසමිකරනය කල සැලුන් කාමරයේ නිදන්නටවිම නිලධාරි උණෙන් පෙලුනු සිංහල ලාංකිකයන්ට දිරිවාගත නොහැකිවුනි. ඔවුන් නොබෝ දිනකින්ම නිලධාරින් නොවන අයට සැලුන් කාමරයට ඇතුලුවිම තහනම් කලෝය. 99 ලෝක කුසලාන තරගාවලිය නරඹන්නට රුපවාහිනියක් නැතිවිම බොහෝ දෙනාගේ සිත තැවුල් මතුකරවන්නක් විය. වඩාත්ම දුක්වුයේ කි‍්‍රකට් පිස්සෙකුවු කඩ්ඩාය. තවත් දිනෙක රාත‍්‍රි ආහාරය අතරතුරේදි ලග එන වල්ඩ් කප් එක ගැන සංවාදයක් පටන් ගැනුනි.  

”චික් විතරක් මේ අටමගුලත් වේලාවටම කැඩුනා.”
”පොඩ්ඩක් හිටහල්ලා බලන්න.”
කි‍්‍රයානොකරන රුපවාහිනය අසලට ගිය එකැස් පාල කැඩුනු ස්විචයක් අස්සට ටුත්පික් එකක් රිංගවන ගමන් කිවේය.
”ඔක හරියන්නේ නෑ. බං උඹලා ඔ්නාවට වඩා ඔකට වද දුන්නා එකයි ටිවි එකට කෙලවුනේ.”
රංජි අයියා එකැස් පාලගේ රුපවාහිනියේ ඔපරේෂන් එක දිහා බලාගෙන කිවේය.
”මචං සැලුන් එකේ ටිවි එකෙන් අපිට මැච් එක බලන්න පුලුවන් වෙයි.”
බක  සිල්වාට අපුරු අදහසක් පහලවිය.
”පිස්සුද බං ඔකේ නිදා ගන්න එකටත් බකට් එකක් දැම්මා නේද?”
තවත් එබියෙකු අතුරු ප‍්‍රශ්නයක් නැගීය.
”ඒ නිදාගන්නනේ. අපි අහන්නේ මැච් එක බලන්න විතරයි නේ.”
”උන් කැමති වෙයිද උන් එක්ක වාඩිවෙලා මැච් බලනවාට?”
”කැප්ටන් ගෙන් හරි චීෆ් ගෙන් හරි අහලා බලමු.”




මෙස් කාමරය

තරගාවලිය රුපවාහිනියෙන් නැරඹිමට නිලධාරින්ගේ සැලුනයට යාමටවු කතාබසට මුලිකවු බක සිල්වා කපිතාන් හමුවට යෑමට තවත් කිහිප දෙනෙක් එකතුකරගත්තේය. ඔවුන්ගේ මේ සියල්ල මෙස් රූමයේ ලෑලී බංකුවේ වාඩිගෙන කිසිත් මුවින් නොදොඩා නරමින් සිටි එකෙකුවුයේ මා පමණි. විරයෙකු සේ කපිතාන් හමුවට යන්නට
අනෙකුන් උසිගැන්වු බක සිල්වා කපිතාන්ගේ කැබිනය ඉදිරියට යද්දි පසුබැස ගොස් තිබුනි. කපිතාන් සමගින් වු කතාබහෙන් පසුව ගියවුන් ආපසු ආවේ නගුට අකුලාගත් නරිබල්ලන් සේය. නිලධාරින්ගේ සැලුනයේ ඔවුන් හා එකට හිදගෙන රුපවාහිනිය නැරඹිමට අවසර දෙන්නට නොහැකියි කපිතාන් පවසද්දි ඔවුන් ඉල්ලා ඇත්තේ පුටුවල නොහිද බිම වාඩිගෙන හෝ රුපවාහිනිය නරඹන්නට අවසර දෙන ලෙසින්ය. සියල්ලන්ටම බිම වාඩිගෙන රුපවාහිනිය නරඹන්නට සැලුනයේ ඇතුලත ඉඩකඩ මදි බැවින් සැලුනයේ පිටත සිට පොට්හොලයෙන් එය නරඹන ලෙසින් ඔහු උපදෙස් දී ඇත. එයත් එක කොන්දේසියක් මතය. ඒ පෝට් හෝලයෙන් (Porthole) නරඹන්නට අවසර ලැබෙන්නේ සියලුම කි‍්‍රකට් තරග නොව ලංකාව තරග කරන තරග පමණක් බව ගිය රංජි අයියා එකැස්  පාල ඇතුලු එබිවරුන් කන්ඩායමට ඔහු පවසා ඇත. මේ කතාව කන වැකෙද්දි මාහට ඇතිවුයේ එකම නෞකාවක එකම ආහාරය අනුභව කරමින් එක පවුලක් සේ සිටිය යුතු අපගේ ජාතියේ සිංහලයින්ම එකිනෙකාට කරගන්නා වෙනස්කම් ගැන විශාල කෝපයක් හා පිලිකුලකි.
”බලහන්කෝ කප්පියාගේ කතාව තොපිලා එකෙක්වත් යන්න එපා ජැනෙල් අස්සෙන් ටිවි බලන්න ”
රංජි අයියා කෝපයෙන් කීවේය. තව කිහිපදෙනෙකුද ඒ කතාව අනුමත කලහ.
”යකෝ අපි ඉල්ලන්නේ වැඩ වේලාවට මැච් බලන්න නෙවිනේ. උන්ට මොකද අපි අපේ නිවාඩු වේලාවේ මැච් බැලුවාට.”
එකැස් පාල දුම්වැටියක් උරමින් කිවේය.
”වැඩියෙන්ම කැමති නැත්තේ චිෆා තමයි. ඔකා හැමතිස්සේම ඔ්ක අස්සේ වැදිලා ඉන්නේ.”
බක සිල්වා කතාව මැදට පැන චිෆ් ඔෆිස්ර් ගැන සදහන් කලේය. නුවර ප‍්‍රදේශයේ රදල පවුල් පෙලපත් නාමයකින් යුතු චිෆ් ඔෆිසර් අධික මාන්නයෙන් යුක්තවු වියපත් කෙසග පුද්ගලයෙකු විය.
”ඇතුලට එන්න කිව්වත් මං යන්නේ නෑ ඔ්කුන්ගේ කකුල් දෙක අස්සේ ඉදන් මැච් බලන්න.” මා මාගේ ස්ථාවරය කඩ්ඩාට කියා පෑවෙමි. එකිනෙකා කපිතාන් හමුවට ගොස් සිදුවු කතාබහ ගැන කනස්සල්ල පලකරමින් මෙස් කාමරයෙන් වෙන්වගියේ සිත් තුල ඇතිවු කපිතාන් ඇතුලු නිලධාරි පංතිය පිලිබදව ඇතිවු කෝපයත් සමගින්ය. 


සැලුනයේ පෝට් හෝලය

              ලෝක කුසළාන කි‍්‍රකට් තරගාවලිය ඇරඹින. නිළදාරින්ට බොහෝ හිතවත්ව කටයුතු කල බෝසන් හා පබ්බතයා ඇතුලු කිහිප දෙනෙකුට සැලුන් කාමරයේ බිම වාඩිගෙන තරගය නරඹන්නට අවස්ථාව ලැබින. අනෙකුන් සැලුන් කාමරයේ පිටත සිට පෝට් හෝලයෙන් රුපවාහිනිය නරඹන්නට ලෑලී බංකුවක් තබාගෙන තිබුනි. කීයටවත් පෝට් හෝලයෙන් බලන්නේ නෑ කියු උන් එකා දෙන්නා ලෑලී බංකුවේ හිද ගනිද්දි එකෙකුටවත් ජනෙල් අස්සෙන් බලන්නට එපායැයි කියා පෑ රංජි අයියාද ලෑලී බංකුවේ එක් කෙලවරක හිද කොකෙකු සේ බෙල්ල දිගුකරගෙන ලංකාව තරගකල පලමු තරගය නරඹන අයුරු මා නෙතට හසුවිය. කුලීනයන්ගේ අගුපිලක වැටි ඉන්න කුලහින හිගන්නන් සේ බංකුවක වාඩිගෙන ජනේලයකින් රුපවාහිනිය බලන්නට නොගිය එකම එකා මා වන්නට ඇත. දින කිහිපයකින් පසුව සැලුනයේ ඇතුලේ බිම හිද බලන්නට වරම් ලැබු උන්ද පිටත බංකුවේ සිටිනු දකින්නට ලැබින. 

      
වෙල්ඩර් හෙල්පර් කමින් අයින් කලාට පසුව කඩ්ඩාත් සමගින් රාත‍්‍රි අටේ සිට දොළහා දක්වා වන කාලය තෙක් වොච් ඩියුටිය කරන්නට පුරුදු වෙන්නට සිදුවුනි. මුල් දින කිහිපය මධ්‍යම රාත‍්‍රිය තෙක් මා සමගින් රැුදුන කරන්නට අවශ්‍ය දෑ කියාදුනි. ජයතිස්ස අයියා වෙනුවට නැවට අනුයුක්ත කල ඔයිලර් පැසුනු හිසකේ ඇති වයසක පුද්ගලයෙකු විය. කඩ්ඩා හා මා ඔහුට අංකල් කියා ආමන්ත‍්‍රනය කරන්නට විමු. දොහල හතර වොචි ඩියුටිය කරන්නට සිදුවුයේ මේ අංකල්ටය. රාති‍්‍ර දොලහට පැය කාලක් පමණ පෙර එංජින් කාමරයෙන් පිටත ඇවිත් අංකල්ගේ දොරට දොරට තඩි බාන්නේ ඊලග ඩියුටිය කරන්නට අවදිකරවිමටය. බොහෝ අවස්ථාවලදි දොළහා පසුවුනත් ඩියුටිය බාරගන්නට අංකල් නොඑන්නේ ආපසු ඇදට වැටි ගොරවා ගොරවා නිදන හෙයින්ය.


 
ජල මුද්‍රිත දොරවල්


Water Tight Door

           මෙම නෞකාවේ එන්ජින් කාමරයට ඇතුල්විම සදහා ජල මුද්‍රිත දොරවල් (Water Tight Door) දෙකක් තිබුනි. ඉන් එකක් ප‍්‍රධාන නැව් තට්ටුවට යටින්  අපගේ කැබින් කාමර තිබු තට්ටුවේ තිබු අතර අනෙක ප‍්‍රධාන තට්ටුවට ඉහලින් තිබු පුප් ඩෙක් හි නිලධාරින්ගේ කැබින් කාමර අසලින් විය. මේ සිදුවිම සිදුවන දිනයේ අප සිටියේ ති‍්‍රකුණාමලයේ වරායේ පි‍්‍රමා පාන්පිටි ජැටියේ හෝ  නංගුරම්ලාගෙනය. එබැවින් නැව කිසිදු පැද්දිමකට ලක්නොවි තිබුනි. එන්ජින් කාමරයෙන් පිටතට එන ජල මුද්‍රිත දොරට අඩි කිහිපයක් නොදුරින් අංකල්ගේ කැබින් කාමරය පිහිටා තිබුනි.
”එහෙනම් වොච් එකේ මිටර් රිඩින් ටික ලොග් බුක් එකේ ලියලා අන්කලයාට දොලහට කාලක් තියලා කතාකරපං. ”
කී කඩ්ඩා මධ්‍යම රාත‍්‍රියට පැය භාගයක් කලියෙන් පිටත්ව ගියේ එන්ජින් කාමරයේ මා තනිකර දමාය. ජෙනරේටර් වල මිටර් රිඩින් සියල්ල පරික්ෂාකර ලොග් පොතේ ලියා අවසන්කලේ දෑස් වසා දමනා නිදිමත මැදය. තෙල් ටැංකිවල ප‍්‍රමානයන් ද පරික්ෂා කිරිමෙන් පසුව අන්තිමට කලයුතු ධාවනය වන ජෙනරේටර් වලින් වෑස්සෙන තෙල් පිසදමා අවට පිරිසිදු කිරිමද නිමකෙරුවෙමි. දෑත් සෝදාගත්තාට පසුව ඊළග රාජකාරිය වුයේ  ඩියුටිය බාරගන්නා අංකල්ව අවදිකිරිමයි.


එන්ජින් කාමරය

         යට තට්ටුවේ සිට ඉහල තට්ටුවට ගොඩවි එන්ජින් කාමරයෙන් පිටත ඇලිවේයට ඇතුලුවුයේ වෝටර් ටයිට් දොර විවරකරගෙනය. ජල මුද්‍රිත දොර විවර කරද්දි එන්ජින් කාමරයේ ජෙනරේටර් ධාවනය වන ඝෝසාවෙන් මුලු ඇලිවේයම පිරියයි. දොර වසා අගුල තදකර අංකල්ගේ කැබින් කාමරයේ දොරට තට්ටු කර ඔහුව අවදිකරන්නට ඇමතන්නට විමි. එකවරම එන්ජින් කාමරයට ඇතුලුවන ජල මුද්‍රිත දොරහි අගුල විවර වන හඩත් දොර විවර වද්දි ඉන් පිටවන ජෙනරේටර් වල ගොරහැඩි ශබ්දයත්  මාගේ කන වැකින. කවුද මේ වේලාවේ දොර අරින්නේ කියා වික්ශිප්තවු මා නෙත් දොර දෙසට යොමුවිය. දොර විවරවුනි. ජෙනරේටරයේ ශබ්දයෙන් ඇලිවේ පිරිගියේය. තප්පර කිහිපයකින් යලිත් විවරවු දොර වැසි අගුල තදවුනි. මා විසින්ම අගුලු දැමු දොර කවුරුහෝ පුද්ගලයෙකු විවර කරනවා නොදුටුවත් යලි වැසි අගුලුලනවා නෙතට හසුවිය. එහෙත් ඇතුලට ගිය අයෙකු හෝ පිටතට ආ අයෙකු මා දුටුවේ නැත.  එන්ජින් කාමරයේ වොච් ඩියුටිය කරන්නට පටන් ගත් අලුත වු බැවින් මාගේ වැඩ බලන්නට කවුරු හෝ ඉන්ජිනේරුවරයෙකු ඉහල පුප් ඩෙක් හි දොරින් ඇතුලුවි මා හොයන්නට ඇතිබව සිතුවෙමි. අංකල් අවදිකරන වැඩේ අතරමග දමා ඉක්මනින් එන්ජින් කාමරයට ඇතුලුවි එන්ජින් කාමරයට ආ තැනැත්තා කොහේදැයි සොයන්නට ගතිමි. එන්ජින් කාමරයේ කිසිවෙකුත් නැත. යට තට්ටුවටත් ඉන් පසුව ඉහල තට්ටුවටත් ගොස්  පුප් ඩෙක්හි දොර විවරකරගෙන ගොස් එහි කවුරුන් හෝ සිටි දැයි සොයා බැලුවෙමි. එන්ජින් කාමරයට ඇතුලුවු හෝ පිටවු කවුරුවත් නැත. කවුරුන් හෝ මා සොයා යළි යන්නට ඇති බව මාසිතට ඇතුල්වුනා මිසක් වෙන බියක් දැනුනේ නැත.  දොලහ පැන්නත් ඩියුටිය බාර ගන්නට අංකල් පැමිනියේ නැත. යළිත් නින්දේ සිටි ඔහුව අවදි කර වොච් ඩියුටිය හෑන්ඩ් ඔවර් කර කැබිනයට යද්දි කඩ්ඩා සිටියේ සුව නින්දකය. පසුදා සියල්ලන්ගෙන්ම විමසුවත් ඒ වේලාවේ ඔවුන් කිසිවෙකුත් එන්ජින් කාමරයට ඇතුලු නොවු බව පැවසූහ. ජල මුද්‍රිත දොරට අඩි කිහිපයක් නොදුරින් සිටි මාහට නොපෙනි කිසිවෙකුටත් එන්ජින් කාමරයට ඇතුලු වන්නට නොපුලුවන. පුප් ඩෙක් හි දොර නිතරම විවර නොකරන අතර විශේෂයෙන් රාත‍්‍රි කාලයට එය විවර නොකරන්නේ ජෙනරේටර් වල ශබ්දය ඇලිවේ පුරා පැතිර ගොස් නිදා සිටිනා නිලධාරින්ට බාදාවන බැවින්ය. මුහුදේ ධාවනය වන නැවකදි දල රළපෙලින් වන පැද්දිමකදි භාගෙට වැසුන අගුල ඇරි දොර වැසෙන්නට පුලුවන. එහෙත් ති‍්‍රකුණාමලය වරායේ නවතා ඇති නෞකාව කිසිදු පැද්දිමකට ලක් නොවි තිබුනි. එසේනම් කවුදෝ තරමක් තදින් වැරදමා විවර කලයුතු යකඩ දොර විවර කර වසා දැමුවේ ? මෙය අදටත් මා හිතට නැගෙන ප‍්‍රශ්නයකි.......???.......?

 සයුරේ ආ මඟ 
 
ඔටෝ ලොන්ඩරි හා කොට්ටය අස්සෙන් ගත් බිත්තරය.-  සයුරේ දසවසක් - 12

ජපනුන්ට වඩා හපන් අපි

Posted: 23 Jun 2019 10:38 PM PDT

උඩු ගුවනට  ලංකාවේ නම අරගෙන ගිය රාවන් 1 චන්දිකාව ගැන ආඩම්බර වෙන මෙහොතක ඊටත් වඩා ආඩම්බර වෙන්න පුලුවන් වැඩක් ඔන්න අපිත් සිද්ද කලා. ඒ ජපානය වෙනුවෙන් ලංකාවේ නිපදවු ගැඹුරු මුහුදේ කේබල් ඇතිරිමේ අධිතාක්ෂනික නෞකාව  KDDI Cable Infinity  සුබ මොහොතින් එහි ඇනවුම ලබාදුන් ජපානයේ කොකුසායි කෝබල් නැව් සමාගමට (Kokusai Cable Ship Company Ltd) භාරදුන්නා.





 මේ නෞකාව නිපදවිමේ මුලින්ම වැඩ ඇරඹිම ගැනත් ජපන්නුන්ට අපෙන් නැවක් ලිපියෙන් කොළොම්පුරේ ලොවටම කිව්වා ඔයාලටත් මතක ඇතිනේ.  මේ නෞකාව තමයි ලංකාවේ මෙතෙක් නිපදවු වීශාලතම නෞකාව. නැව් හැදිල්ල කරන්න ලංකාවේ කොළොම්පුරේ ඉන්නා එකම එක්කෙනා තමයි කොළඹ නැව්තටාකාංගණය නැත්නම් කවුරුත් දන්නා නම ඩොක් යාර්ඩ් එක. මේක තමයි එයාලා හදපු  243 වෙනි නෞකාව. මේ වැඩෙත් එසේ මෙසේ ලේසි පාසු වැඩක් නොවෙයි. අපේ ලංකාවේ සේවකයින්ගේ දහදිය  මහන්සියේ ප‍්‍රතිඵලයක් ලෙසින් එලිදකින මේ නෞකාවේ දිග මිටර් 113 ක් හා  මිටර් 21.5 ක පළලකින් යුක්තයි. මෙහි කාර්්‍යමන්ඩලය ඇතුලුව පුද්ගලයින් 80 කුට ගමන්කරන්නටත් පුළුවනි. 



       දැන් කවුරු හරි අහන්නත් පුලුවන් මොකක්ද මේ කේබල් ඇතිරිමේ නෞකාවකින් ඇති ප‍්‍රයෝජනේ කියලා?  මොකක්ද මේ ගැඹුරු මුහුදේ කේබල් ඇතිරිම කියන්නේ කියලා මුලින්ම බලමු. මේ කේබල් හරහා තමයි අපගේ විදුලි සංදේශ කි‍්‍රයාවලින් ඒ කියන්නේ රටකින් රටකට පනිවිඩ හුවමාරුව දුරකථන ඇමතුම් වාගේම  අන්තර්ජාලය එහෙමත් සම්බන්ධවන්නේ. 


කේබලයක ඇතුලත පෙනුමක්

මේ කේබල් අතුරන නෞකාවලින් සිදුකරන කාර්්‍යක් තමයි කාලෙන් කාලෙට අලුතින් ගැඹුරු මුහුදේ කේබල් අතුරන්නත් අතුරා තිබෙන කේබල් රුහැන් වල අලුත්වැඩියාවන් එහෙම කිරිමත් තමයි. මෙහෙම ලේසියෙන් කිව්වාට මේ වැඩේ එහෙම කියන තරම් ලේසි පහසු වැඩක් නොවේ. මුහුද පතුල හොදහැටි සිතියම් ගතකරලා නියමිත මාර්ගයක් ඔස්සේ තමයි රැහැන් එලන්නේ. ඔය හිතෙන හිතෙන තැන් වලින් කේබල් එලන්න බෑ. මේ කේබල් රැහැන් පද්ධතිය එලා ඇති මාර්ග සිතියම් ගතකර ඇති අතර නැව් වල ප‍්‍රයෝජනයට ගන්නා මුහුදු සිතියම් වල ඒවා දැක්වෙනවා. එක් වරක් අපේ ලංකාවටත් අන්තර්ජාල සම්බන්ධතාවය  නැතිවුනේ නැවක නැංගුරමකින් සිදුවු අනතුරකින් රැහැනක් කැඩිම නිසයි. නැව් වල නැංගුරම් හා ධිවර බොට්ටුවල මාලු දැල් වලින් ආරක්ෂා වෙන්න මේ රැහැන් මුහුදු පත්ල හාරා එහි ගිල්විම තමයි දැන් සිදුවෙන්නේ.

ඒ කාලේ යුරෝපයේ සිට ඇමෙරිකාව දක්වා පනිවුඩ හුවමාරුව සිද්ධවුනේ නැව් මාර්ගයෙන් තමයි. සීත කාලගුණයත්  කුණාටු සහිත විමත් නිසා සමහර පනිවුඩ ලැබෙන්න සති කිහිපයක් බලා ගෙන සිටින්නටත් වුනා. මේකට පිලියමක් ලෙසින් තමයි කේබල් රැහැනක් මුහුද යටින් එලන්නට තිරණය කලේ. ලොව පලමු විදුලි සංදේශ රැහැන් පද්ධතිය එලිම සිදුකලේ යුරෝපයේ සිට උතුරු ඇමරිකාව දක්වායි. 1958 දි අත්ලාන්තික් සාගරය හරහා එස් එස් ගේ‍්‍රට් ඊස්ටන් 
 (SS Great Eastern) නෞකාව මගින් අයර්ලන්තයේ වැලෙන්සියා දුපතේ (Valentia Island) සිට උතුරු ඇමරිකාවේ නිව්ෆවුන්ඩ්ලන්තය  (Newfoundland) දක්වා මේ කේබල් රැහැන එලිම සිදුකලා. කේබල් රැහැන් ඔස්සේ 1958 අගෝස්තු 16 වන දින රටවල් දෙකක් අතර පලමු පනිවිඩ හුවමාරුව සිදුකරගත්තායි කියවෙනවා.  
වැලෙන්සියා දුපතේ සිට නිව්ෆවුන්ඩ් ලන්තය දක්වා කේබලය අතුරා ඇති අයුරු

එස් එස් ගේ‍්‍රට් ඊස්ටන්  (SS Great Eastern) නෞකාව
ලොව පුරා කේබල් රැහැන් එලා ඇති අයුරු


ඉතිං මෙයටත් වඩා ලොකු නැව් හැදිලා කොළොම්පුරෙන් එලියට  ඇවිල්ලා මුලු ලෝකයේ සප්ත මහා සාගරයම දික්විජය කරමින් අපේ රටේ නමත් ඩොක් යාර්ඩ් එකේ න
මත් ඉදිරියට  ගෙනියන්නටත් හැකියාව ලැබේවා කියලා පතනවා.


Principal particulars of the cable Laying Vessel (KDDI Cable Infinity)

Length Overall                         - 113 m
Breadth mld                             - 25.8 m
Depth                                       - 8.8 m
Draft                                        - 7.1 m
Fuel oil                                    - 1400 m3
Fresh water                              - 600 m3
Water Ballast                           - 2500 m3
Crew                                        - 80 Persons
Speed                                       - 14.6 Knots
Dead weight                              - 5300dwt
Main Generators                      - 4 x YANMAR each engine developing 2450 kw
Propulsion                               - 2 x 2500 kw KAWASAKI machinery
Cable Laying Equipment         - 2000T Carousel System with arm by MAATS.UK
Classification                           - ClassNK/ Japanese Government surveys   

එහෙනම් පින්තූර ටිකක් එහෙම බලලා ඉමුකෝ 

වැඩ නිමවෙමින්

 
නෞකාව දියත් කරන දින (Launching)
  
උත්සවාකාරයෙන් නෞකාව දියත් කිරිමට කිරි කලය බිදිම 

ජපානය බලා පිටත්විමට පෙර


එන්ජින් කාමරයේ දර්ශණයක්


සාඩම්බර ඩොක්යාඩ් නිෂ්පාදනයක් බවට සහතිකය.



ඇතුලත දර්ශණයක්

Add caption

ඇතුලත දර්ශණයක්

Wheel House


Wheel House

ඔටෝ ලොන්ඩරි හා කොට්ටය අස්සෙන් ගත් බිත්තරය.- සයුරේ දසවසක් - 12


Posted: 03 Jun 2019 10:45 PM PDT
 මේ නෞකාවට මා සේවය සදහා ගොඩවද්දි සිටි අය අතුරින් කිසිදා අමතක නොවනා චරිත කිහිපයක් සිටි අතර ඔවුන්ගෙන් එක් අයෙක් පසු කාලයකදී මේ නෞකාවට එල්ලවු ත‍්‍රස්තවාදි  ප‍්‍රහාරයේදි අතුරුදහන් ලැයිස්තුවට එක්වුනි.





මාගේ සේවය අයිති එන්ජින් අංශයේ ඔයිලර්ලා ලෙසින් සිටි ජයතිස්ස අයියා සිරුරෙන් තරමක් කොට ලෝක අන්ඩපාලයෙක් වු අතර ඇගපතින් වැඩුනු පබ්බතයාත් කපටිකයිරාටිකයෙක් වෙන්නට තැත් කර හත්පොලේ ගාගන්නා මෝඩයෙක් විය. ඩෙක් අංශයේ එබි කෙනෙකු ලෙසින් සිටි බොරු ඇසක් පැලදි එකැස් ....... පාල තමන් සියල්ල දන්නා බව පෙන්වන අති පන්ඩිතයෙක් වුනි. කාපෙන්ටරයාද තරමක පන්ඩිතයෙකුවු අතර නාවික ජිවිතයට ආධුනිකයින්වු අපව පසියෙකටවත් මායිම් නොකල එකෙකු වුණි. එකැස් ....... පාල  ජයතිස්ස අයියාට ඇමතුවේ ඩැඩියා යන නමිනි. වැඩ නිමවු පසු කටේ තොලේ ගාගත් එකැස් ....... පාල  ජයතිස්ස නොමැති තැන ඔහුට අපහාස උපහාස කරන්නට පටන්ගෙන තිබුනි. මෙය ජයතිස්සට එහෙන් මෙහෙන් ආරංචිවුවත් එකැස් පාලත් අතර නොහොද නොක්කඩුවක් එලිපිට  පෙනෙන්නට නොතිබුනත් ටිකෙන් ටික අමනාපයක් ගොඩනැගිමින් තිබුනි.
බොහෝ කැබින් කාමර ගලවා දමා තිබු අවදියේ කඩ්ඩාටත් මාහටත් නිදන්නට කැබින් කාමරයක් නොතිබුනු බැවින් ජයතිස්ස හා පබ්බතයා සිටි කැබිනයේ බංකුවේ මාරුවෙන් මාරුවට නිදාගන්නා අවදියේ දිනක සිදුවු සිදුවිමක් මාගේ මතකයට නැගෙයි. දිනක් ජයතිස්ස අයියා නිදා ගන්නට ඇලවුන සැනින්
” එයි මල්ලි ඉක්මනට ලයිට් එක දාපං.”
”ඇයි මොකද?”
”මොකක්ද ඇනුනා බං.”
මා  ඉක්මනින් කැබිනයේ විදුලි පහන දැල්වුයෙමි. ඇදේ වැතිරගෙනම කොට්ටය අස්සට අත දැමු ජයතිස්ස අයියා කොට්ට උරය තුල තිබු බිත්තරයක් ඉන් ඉවතට ගත්තේය.
”මේ බලපං මේන් බිත්තරයක්.”
කොට්ටය තුල සගවා තිබු බිත්තරය දැක විශ්මයට පත් ඔහු ඇගිලි තුඩුවලින් අල්ලා ගත් බිත්තරය මාහට පෙන්විය. මැජික් කරුවෙකු තොප්පියක් තුලින් හාවෙකු රැගෙන පෙන්වන්නාක් සේ ඔහු කොට්ටය තුලින් බිත්තරය අරන් පෙන්නු සැනින් මාගේ සමච්චල් සහගත සිනහාව පුපුරා ගියේය. ඉන් නොරොක්වු ජයතිස්ස අයියා
”නවත්තගනිං උඹේ හිනාව.”

කොට්ටය අස්සෙන් ගත් බිත්තරය

”මේක ෂුවර් එකටම පබ්බතයා ගෙනවිල්ලා හංගපු එකක්. ඔය මිනිහා  Dry provision එකෙන් හොරකම් කරන එවා මෙතන ගෙනල්ලා හංගනවා.”
ජයතිස්ස අයියා කෝපයෙන් කීවේය. නැව තවමත් ඇත්තේ අලුත්වැඩියාවන් කරනා අතරතුරේය. අපගේ කැබින් කාමර සේම වියලි ආහාර ගබඩාවද කඩා තිබු නිසා බිත්තර මැගි නුඩ්ලස් වැනි දෑ කැබින් කාමරවලට ගෙනගොස් සගවා තබා රාත‍්‍රි සේවා මුරයේදි ඇතිවන පොඩි බඩගිනි නිවාගන්නට බොහෝ අය පෙලබි තිබුනි. බිත්තරයේ උල්පැත්තක් හිසට තදවුනු බැවින් එය නොබිදි ගියේ ජයතිස්ස අයියාගේ වාසනාවට වෙන්නට පුලුවන. බිත්තරය සගවන්නට ඇත්තේ පබ්බතයා යැයි ජයතිස්ස අයියා සිතුවත් ඇත්තෙන්ම එසේ කලේ වෙනකෙකුය.
”ඔන්න බලපං ලගදීම ඩැඩියාට වෙනදේ.”
කියමින් දින කිහිපයක්ම ඩැඩියාට පාඩමක් උගන්වනවා කියා මා සමගින් පාරම්බෑ එකැස් ......පාලගේ වැඩක් වෙන්නට ඇත. මෙය සගවාලන්නට ඇත්තේ එකැස් පාලයි කියා තවත් ගින්නක් එකැස් ......පාල හා ජයතිස්ස අතර ඇරඹිමක් නොකලයුතු බැවින් කිසිවක් නොදන්නා ලෙසින් සිටින්නටවිමි. බිත්තරය මේස ලාච්චුවට දැමු ජයතිස්ස අයියා පබ්බතයාට දෙස් තබමින් යලි නිදන්නට විය. මේ බිත්තර සිදුවිම නිසා පබ්බතයා හා ජයතිස්ස අයියා අතර තරමක හිත් නොහොදක් ඇතිවුනත් එය දිගටම ගෙනයන්නට සිදුනොවුනේ ජයතිස්ස අයියාද ටික දිනකින් මේ නෞකාවේ තම සේවය නිමකර නිවස බලා පිටත්වු බැවිනි. කෙසේ හෝ මෙම බිත්තර සැගවිම .... පාලගේ වැඩක් බව ජයතිස්ස අයියා දැනගත් අතර ඉන් අනතුරුව අපටත් කැබින් කාමරයට යන්නට නොහැකිවන සේ අගුලා තබන්නට ඔහු වගබලාගත්තතේය.  
 
නාවිකයන්ගේ ඇඳ ඇතිරිලි කොට්ට උර සෝදා වියලා ගන්නට බොහෝ විශාල නෞකාවල ලොන්ඩරි කාමරයක් හා එහි රෙදි සෝදන යන්ත‍්‍රයන්ට අමතරව වියලීමේ යන්ත‍්‍රද සවිකර තිබුනත් මේ නෞකාවේ අපගේ රෙදි සේදිමට අවශ්‍ය යන්ත‍්‍රයන් තිබුනේ නැත. එහෙයින් ති‍්‍රකුණාමලයෙන් හෝ ගාල්ලෙන් ලොන්ඩරිකාරයා එන තෙක් බලා සිටින්නට සිදුවිය. බොහෝමයක් අය තම තමන්ගේ ඇදුම් හා ඔවරෝලයන් සෝදා එන්ජින් කාමරයේ අත්වැට හි එල්ලා තබන්නට පුරුදුව තිබුනි. එහි ඇති අධික රස්නය නිසා ඉක්මනින් වියලුනත් ඇතැම් අවස්ථාවලදි නැවේ පැද්දිල්ලට අත්වැටෙන් මිදි පහල තට්ටුවක තිබෙන තෙල් ගොඩක් උඩ පතිතවන අවස්ථාවල්ද තිබුනි. එන්ජින් කාමරයේ ඇදුම් වේලිමට බොහෝ චිෆ් ඉන්ජිනේරුවරුන් ඉඩ දුන්නේ නැත. ඒවා අධික රස්නයක් ඇති එන්ජිමක් මත පතිත විමෙන් ගිනි ගැනිමකට ලක්වෙන්නටත් ඉඩහැකිවු බැවින්ය. බොහෝ දෙනෙක් රෙදි සෝදා රාත‍්‍රියට එන්ජින් කාමරයේ අත්වැටහි එල්ලුවේ ප‍්‍රධාන ඉංජිනේරුවරයා නොඑන වේලාවන් බලාය.

නෞකාව වරායට පැමිනෙන අවස්ථාවලදි වලදි ලොන්ඩරිකාරයා පැමිනෙන්නේ නැත. එවිට තවත් වාරයක් කන්කසන්තුරයට ගොස් එනතෙක් කුණු වැකී දුඹුරු පාටවුනු ඇඳ ඇතිරිලි කොට්ට උර හා මලකඩ හෝ තෙල් වලින් කලු ගැහුනු ඔවරෝල් පාවිච්චි කලයුතු විය.  ඇතැම් විට ඔහු රැගෙන ගිය අපගේ ඇඳ රෙදි කලිසම් කමිස නැව පිටත්වන තෙක්ම යළි රැුගෙන එන්නේ නැත. නැවේ වතුර තිබ්බත් තමන්ගේ රෙදි සෝදාගන්නට කම්මැලි පබ්බතයා සතුව තිබු ඇදුම් සෙට් එක මාරුවෙන් මාරුවට අදින්නට වුනි. ජයතිස්ස අයියා මේ අරුම පුදුම ක‍්‍රමය හැදින්වුයේ පබ්බතයාගේ ඔටෝ ලොන්ඩරි දැමිල්ලක් ලෙසිනි. මේ ඔටෝ ලොන්ඩරි දැමිල්ල පබ්බතයා සිදුකලේ  ඔහු හා ජයතිස්ස අයියා සිටි කැබින් කාමරයේ කමිස  හා කලිසම් ඇනයක එල්ලාගෙනය. ලොන්ඩරි කාරයා සෝදා පිරිසිදු කර ගෙනන ඇදුම් සෙට් එකෙන් කලිසමක් හා කමිසයක් ගෙන ඇගලාගන්නේ දින කිහිපයක් එක දිගට අදින කලිසම් හා කමිසය ගලවා ඇනයේ එල්ලු පසුවය. ඉන්පසුව දින කිහිපයක් අදිනා එම ඇදුම් ගලවා ඇනයේ එල්ලා යළිත් අලුත් ඇදුමක් ඇදගනියි. මෙය මාසයක් හමාරක් යනවිට ලොන්ඩරිකාරයා ගෙනා සේදු ඇදුම් අහවරවේ. ඇනයේ මුල එල්ලි ගෙන ඇති ප‍්‍රථමයෙන් ඇදි ඇදුම යලිත් අදින්නට පබ්බතයා පෙලබෙයි. යලි යලිත් එකම ඇදුම් සෙට් එක ඇනයේ චක‍්‍රානුකුලව කෙලවරට එයි. නෞකාව ත‍්‍රිකුණාමලයට පැමින ලොන්ඩරිකාරයා ගෙනගොස් සෝදා මැද ගෙනවිත් දෙන තෙක් ඌරන්ට මොන සෞඛ්‍යද කියන්නාක් මෙන් කිහිප වාරයක් වක‍්‍රානුකූලව උඩ යට මාරුකරමින් පබ්බතයා සියළු ඇදුම් නොසෝදා අදිමින් සිටින්නට පුරුදුව සිටියේය. 

නැව් සමාගමේ පැරණි නාවිකයෙකුවු එකැස් .......පාලට බොරු ඇසක් පලදින්නට සිදුව තිබුනේ නැවකදි සිදුවු අනතුරක් නිසා බව කිහිප දෙනෙකු මාහට පවසා තිබුනි. මේ නැව් සමාගමේ සුප‍්‍රසිද්ද චරිතයක්වු මොහු බොකටු කොන්ඩයක් තිබු කෙසග පුද්ගලයෙකුවුනි. ...... පාල  මත්පැනටත් දුම්පානය සේම ත‍්‍රිලෝකවිජය පත‍්‍ර පානයටත් ගිජුවුවෙකු විය. කියන ඔ්නෑම වචනයකට හරස් වචනයක් කියන්නටද දෙපිටකැපෙන වචනද ඔහු ලග විය. ”හු...... තියෙන්නේ ඉත්තෑවෙක් ” එකැස් පාලගේ ජනප‍්‍රිය වචනයක් වුනි. ඔහු තිරිකුණාමලයේ නිවස තිබුනේ කියා සිටියත් පිටකොටුවේ රෝහිණි පටුමගේ කාපිරි මුඩුක්කුවේද නවාතැන්ගෙන සිටියේය.
නැවට ආධුනික වුවත් තමන්ගේ අංශයේ කෙනෙකු නොවු නිසා මාහට වැඩිය ගෙරවිලි දමන්නට නොආවත් ඉඩ ලැබු සෑම අවස්ථාවලදි කෙනහිලිකම් කරන්නද ආ පිරිසට ඔහුත් අයිතිවුනි. .... පාල අයියාට වැඩිදිනක් ඒ නෞකාවේ සේවය කරන්නට ඉඩ නොලැබුනේ ති‍්‍රකුණාමලයෙන් නිවස බලාගොස් යලි නැවට පැමිණිමේදි කල සෝදිසියකදී පොලිස් අත්ඩංගුවට පත්විමෙනි. ඒ ඔහුගේ ගමන් මල්ලේ තිබු ත‍්‍රිලෝකවිජය පත‍්‍ර පොලිස් ඇසට හසුවිමෙන්ය.  මා නාවික දිවියෙන් සමුගත් පසුව මාහට ඔහුව යලිත් හමුවුයේ බොහෝකලකට පසුවය. එම සමාගමට අයිති නෞකාවක තින්ත ආලේප කරමින් සිටි ඔහුව දුටු මා ලගට ගොස් ඇමතුවෙමි.
”ආ .....පාල අයියා තාමත් ඉන්නවා නේද?”
”ඇයි හිතුවේ මං මැරිලා කියලාද?”
කී ඔහු ඉක්මනින් මා මගහැර ගියේය.

මසකට වරක් නැවේ බොන්ඩඩ් ස්ටොරුවේන් (Bonded Store) වැටුපෙන් අඩුකරගැනිමට විස්කි හෝ බ‍්‍රැන්ඩි බෝතලයක් සහ අවශ්‍ය නම් බෙන්සන් සිගරට් කාටුනයක් ලබාගත හැකිවුනි. සමහර කපිතාන්වරු ආධුනිකයින්ට මේ වරප‍්‍රසාදය ලබාදුන්නේ නැත. ලිස්සා වැටි අත කඩාගත් කපිතාන්වරයා ආධුනකයින්ට විස්කි බෝතලයක් ලබාදුන්නත් ඉන් අනතුරුව ආ කපිතාන්ට කොතරම් කන්කෙදිරිගෑවත් ඔහුගේ හිත නැමුනේ නැත. බොහෝ අවස්ථාවල් වලදි අප ලබාගන්නා විස්කි බෝතලය නැවේ නොබි සුරැකිව තබා ගන්නේ ගෙදර ගෙනගොස් යහලුවන් සමගින් බොන්නටය. කඩ්ඩා කපිතාන්ට පින්සෙන්ඩුවි ගත් විස්කි බෝතලයක් ගෙදර ගෙනයෑමට සුරකිව තබාගෙන සිටියේය. එහෙත් විස්කි බෝතලය කාගෙන් වසං කලත් පබ්බතයාගේ සුක්ෂම දෑසට වසං කලහැකි නොවිය. නැවේ බොන්ඩඩ් ස්ටොරුවේ බොතල් අවසන් විය. යලි ති‍්‍රකුණාමලයෙන් හෝ කොළඹින් නැවට බඩු එනතෙක් කිසිවෙකුටත් බොන්නට විස්කි හෝ බ‍්‍රැන්ඩි බෝතල් නිකුත් කලේ නැත. ඊලග වාරයේදි නැවට විස්කි ආ පසුව දෙන පොරොන්දුව මත කඩ්ඩාගේ බෝතලය ගන්නට උත්සාහ කලත් කඩ්ඩා එය දෙන්නට කැමති නොවිය. බිමට කෑදරයෙක් වු පබ්බතයා වරෙක මා රවටා කඩ්ඩාගේ බෑගයේ තිබු විස්කි බෝතලය ගන්නට උත්සාහ කලේය. මා ඔහුට උදව් නොකලත් පබ්බතයා කෙසේ හෝ එම බෝතලය උස්සා බිවේය. පබ්බතයා තමන්ගේ හොරකමට හවුල්කරගැනිමට මාහටත් පොඩි ෂොට් එකක් දෙන්නට අමතක නොකලේය. බොන්නට ඇතිවු කෑදරකමටද දෝ පබ්බතයාගේ ගැටයට මා අසුවුනි. තමන්ගේ බෑගයේ විස්කි බෝතලය උස්සා ඇතිබව දැනගත් අසීමිත ලෙසින් කෝපවු කඩ්ඩා කපිතාන්ට පැමිණිලි කලේය. ඔහු හිතුවේ මා පබ්බතයා සමගින් විස්කි බෝතලය උස්සා බී ඇති බවය. කපිතාන්වරයා පැමිණිල්ල විභාගයට මා කැදවිය. පබ්බතයා පානය කලේ කාගේ බෝතලයද නොදන්නා බවත් ඔහු දුන් පොඩි ෂොට් එක පිලිගත් බවත් මා කපිතාන්ට පැවසුවෙමි. පබ්බතයාගේ හොර වැඩය ගැන හොද හැටි දැනගත් කපිතාන් ඔහුට අවවාදකර මාසික වැටුපෙන් අයකර විස්කි බෝතලයක් කඩ්ඩා නැවෙ සේවයෙන් මිදියනදා ලබාදුනි. 


මේ සිදුවිමෙන් අනතුරුව පසුව අප දෙදෙනා සමගින් විශේෂයෙන් කඩ්ඩා සමගින් පබ්බතයා සිටියේ හිත නොහොදින්ය. දිනක් සැන්දෑ යාමයක කඩ්ඩාත් මමත් මෙස් කාමරයේ රාති‍්‍ර ආහාර ගෙන අවසන්ව සිටි වේලාවක තරමක් බී ගත් පබ්බතයා මෙස් කාමරයට කඩා වැදුනි. එහි සිටි අප හට පෙනෙන්නට කටමැත දෙඩවු ඔහු තමා හොද කරාටේ කරුවෙකුබව කීවේය. එහෙට මෙහෙට දෑත්වනා පෙන්වා අවසානයේ  කකුලක් ඔසවා කික් පහරක් පෙන්නවන්ට මෙන් උඩපැන පහරක් එල්ල කලේය. අවාසනාවකට ඔහුගේ පහර පෙන්වන්නට එල්ලකල උත්සාහයේදි දණහිසට පහල තදබල ලෙසින් මේසයක වැදුනි. කකුල අල්ලාගෙන දෙකට නැවුන ඔහු බොහෝ අමාරුවුවත් අප දෙදෙනාට නොපෙන්වා අසීරුවෙන් මෙස් කාමරයෙන් පිටත්විය. අනතුර නිසා දින කිහිපයක් සේවයට යාගන්නට නොහැකිව පබ්බතයා කැබින් කාමරයට වි විවේක ගත්තේය. 




විස්කි බෝතලයේ සිද්දියෙන් ප‍්‍රධාන ඉන්ජිනේරුවරයාගේ අප‍්‍රසාදයට පබ්බතයා පත්ව සිටියේය. කරාටේ සංදර්ශණ පෙන්වන්නට ගොස් කකුල කඩාගත් බව දැනගත් ප‍්‍රධාන ඉන්ජිනේරුවරයාද පසුවුයේ කෝපයෙනි. දින කිහිපයක් විවේක ගෙන යළි වැඩට ආවත් සරිර හොරෙක්වු පබ්බතයා කකුල අද්දමින් කිසි වැඩක් පලක් නොකර ඉන්නට උත්සාහ කලේය. එය ප‍්‍රධාන එන්ජිනේරුවරයාගේ කෝපය වැඩි කරවන්නක් විය. පබ්බතයාගේ මේ මගෝඩිවැඩ හින්දාම වැඩි කල් නොගිහින්ම ගෙදර යන්නට ටිකට් එක ඇදුනි. ඒ ඔහු වෙනුවෙන් කිසිවෙකුත් නැවට අනුයුක්ත නොකරමය.  

නැවේ අලුත්වැඩියාවන් සිදුකරන්නට අපගේ කැබින් කාමර සියල්ල ගලවා දමා තිබු බැවින් නිදාගන්නටවත් හරිහමන් තැනක් නොතිබුනු බව මෙයට පෙරදි සදහන් කර තිබුනි. දිරාපත්වු නැව් බදහි යකඩ තහඩු අලුතින් පාස්සා අලුත්වැඩියා නිම කලත් ගලවා දමා තිබු කැබින් කාමර සියල්ල යලි සකසන්නට වඩුවැඩ කරන්නට සිටියේ එක් පුද්ගලයෙක් පමණි. අප ඔහුව ඇමතුවේ කාපෙන්ටරයා යන නමිනි. එක ප්ලයිවුඩ් ලැලී කෑල්ලක් කියතින් ඉරන්නට පැය දෙකකටත් වඩා වැඩි කාලයක් ගන්නා ඔහු වැඩි හරියක් කලේ කඩා දැමු කැබින් කාමරයකට වි සිගරට්ටුවක් ඉරිමයි. එකැස් පාල ගේ ති‍්‍රලෝකවිජයපත‍්‍ර පානයේ සගයෙක්වු ඔහු අපහට කැබින් කාමරයක් නියමිත පරිදි සකසා දෙන තෙක් බොහෝ කාලයක් බලා සිටින්නට සිදුවුනි. නැව පිටුපස පුප් ඩෙක් හි අතින් කරකැවිය හැකි රීලයක සවිකර තිබු කොහුලණු පොටක් තරමේ ඝණකමැති තංගුස් ලනුවක් විය. නැව දියඹට ආ පසු කාපෙන්ටරයා තංගුසයේ අනෙක් අගහි කෙලවරකට කිරිපිටි පැකට්ටුවක ඊයම් කවරයක් තිරුවලට ඉරා සවිකර තිබු ඇමට අමුනා මුහුදට දැමිමයි. දිනපතා තංගුසය ඇදමින් මාලුවෙකු ඇම කා ඇතිදැයි බැලිම ඔහුගේ දිනචරියාව වුනි. මා මේ නෞකාවේ සිටි කාලය අතරතුරේදි  අඩි තුනකට වඩා දිගින් යුතු විශාල කෙලවල්ලෙකුද ඒහා සමාන මන්නා පරවෙකුද බිලිබා ගන්නට මේ කාපෙන්ටරයා සමත්වුනි. ති‍්‍රකුණාමලයට ආපසුව පරවා කපා කරවල කර වියලන්නට සකස්කලේ වරාය අධිකාරියේ සේවය කල සිල්වායි. පසුකලකදි මේ නෞකාව කොටි ත‍්‍රස්තයින්ගේ ප‍්‍රහාරයකට ලක්වු අතර එහිදි අතුරුදහන්වු වු කිහිපදෙනා අය අතරේ කාපෙන්ටරයාද විය.  

තවත් දිනෙක චිෆ් ඉන්ජිනියර්ගේ කැබිනයේවූ නානකාමරයේ අපජලය බැසයෑම නතරවි තිබිනි. බාත්රූම් එකෙන් ස්කපරයට කම්බිකූරු යවමින් නලයේ සිරවිම සකසාලන්නට කරන්නට කඞ්ඩාත් ජයතිස්ස අයියාත් උත්සාහ කලමුත් ජලය බැසයෑම නිසි ආකාරයෙන් සිදු නොවිය. නාන කාමරය තුලින් වානේ කම්බි වයරයක් යවන්නට උදව්වට මාහටද ඔවුන් කතා කලෝය. එන්ජින් කාමයේ සිට ආ මා ආරක්ෂක සපත්තු දෙක පැලදගෙනම චිෆ් එන්ජිනියර් ගේ කැබිනයට ඇතුල්වූයෙමි.
”එයි කොහේද යන්නේ?”
කැබිනයේ ඬේ බන්ක් එකට වි හාන්සිවි සිටි චිෆ් ඉන්ජිනියර් ඇසීය.
”බාත්රූම් එකට.”
”අයිසේ තමුසේ දන්නේ නැද්ද කැබින් එකට එනකොට ඔය සපත්තු දෙක ගලවලා එන්න? මෝඩයා වගේ ආවම මේ කැබින් එක ජරාවෙනවානේ.”
ඔහු ගිගිරිය. ඔහුගේ නාන කාමරයේ රැුදුන ජරා අප ජලය පාගන්නට එපා කියනවා වෙනුවට පැලදගෙන සිටින සපත්තු දෙකද ගලවා එන්නයි ඔහු පවසන්නට විම මගේ සිත තුල ඇතිකලේ නොපහන් හැගුම් දහරාවකි.
වයරය දමා එහි සිරවිම ඉවත් කරගන්නට හැකිවුයේ නැත. ස්කපර් එකට අධිපිඩන වායු බටයක් දමා අධිපිඩන වායුව එල්ල කලත් එහිවු සිරවිම ඉවත්කරගන්නට නොහැකිවුනි. පහල තට්ටුවේ ඇලිවේ හි සිවිලිම ගලවා අයින් කල ජයතිස්ස එය හරහා ගමන් කරන අපජල නලය සොයාගත්තේය. එක් තැනකින් නලය ගැලවු ඔහු එයට අධිපිඩන වායු නලය දමා රෙදි කැබලි කිහිපයක් ඇබයක්සේ ගසා බටය පසු පසට එ්ම වැලැක්විමට කඞ්ඩාට තදින් අල්ලාගෙන සිටින ලෙසින් කීවේය. හිස් තින්ත බාල්දියක් අනෙක් පස ට හරවා එය මත නැගුණු කඞ්ඩා බටය තදින් අල්ලාගෙන සිටින්නට විය. ජයතිස්ස අයියා කී ලෙසින් මා එන්ජින් කාමරයේ දොරටුවේ තබා ඔහු එන්ජින් කාමරයේ අධි පිඩන වායු වැල්වය අරින්නට ගියේය. කඞ්ඩා ලෑස්ති කී බැවින් මා එන්ජින් කාමයේ දොරකඩඉම සිට ජයතිස්සට වායුව අරින්නට සංඥකෙරුවෙමි. කඩ්ඩා මුලු ඇගේම වෙර යොදා බටය අල්ලාගෙන හිටියත් තප්පර කිහිපයක් ගත වෙන්නත් ප‍්‍රථම ඉහලින් පිටවන්නට නොහැකිවු අධි පිඩිත වායුව යලිත් ආපසු පසුපසට ආවේ වායු බටය එලියට ඇද දමමින්ය. බටය අල්ලාගෙන බාල්දිය උඩ සිටි කඞ්ඩා බිමට බැස්සේ ආලවක යක්ෂයා මෙන් වේෂ නිරුපනය කරගෙනය. කඩ්ඩාගේ මුලූ සිරුරම තද කලු පැහැයෙන් වසාගනිමින් එම බටයේ තැම්පත්වි තිබු අපද්‍යවය හාත්පස විසිරි ගොස් තිබුනි. සුදු පැහැයට තිබු ඉදිරි දත් පෙලද කලුව ගොසිනි. 

 
ආලවක යක්ෂයා සේ වෙස්ගැන්වුනු

ඔහු දුටුවනම මට හිනා පහලවුයේ නිතැනින්ය. ඉක්මනින් කඩ්ඩාව බාත්රූමයට එක්කන් ගියත් පිරිසිදු ජලය සිමාකර තිබු තත්වයක් උඩ අප තවත් අසරණ විය. ඔහුව නාවන්නට සිදුවුයේ වැසිකිලියට සපයා දී තිබු මුහුදු ජලයෙනි. සීතල කට්ටයෙක්වු ජයතිස්ස අයියා කඩ්ඩාට වැඩේ පවරා එන්ජින් කාමරයට පැනගත්තේ බටයේ සිරවිම විවෘතවුවහොත් සැමතැන විසිරෙන ජරා අපජලය ඇගේ තවරා නොගන්නටය. 

සුන්දර සිරගෙදර දී හමුවු සිල්වා - සයුරේ දසවසක් - 11


Posted: 19 Mar 2019 03:06 AM PDT
සිරගෙයක සිරවනතුරුත් නිදහසේ අගය කිසිවෙකු නොදන්නා සේම සිරගෙයක් කිසිසෙයිත්ම සුන්දර වන්නේ නැත. සිරකුටි හෝ බරපතල වැඩ සහිත දඩුවම් නොමැති එහෙත් පිටස්තර ලොවට පිවිසෙන්නට නොහැකි ලෙසින් අවහිර කෙරුනු නැවියන්ට පමණක් කොටු කෙරුනු මේ අලංකාරලෙසින් මලින් පිරුනු ගහකොලින් වටවු එළිමහන් සිරකදවුරට පැමින සිරවන්නට සිදුවන්නේ පාන්පිටි නෞකාවට පැටවිමට ආ අවස්ථාවේදිය. මෙය වෙන කිසිවක් නොව ත‍්‍රිකුණාමලයේ පාන්පිටි කම්හලය. මේ පිටි කර්මාන්ත ශාලාවට සුන්දර සිරිගෙය නමින් හැදින්වන්නට මුල පිරුවේ මා විසිනි.



            සත්‍ය වශයෙන්ම පි‍්‍රමා පිටි කර්මාන්ත ශාලාව මල් වගාකොට ඉතා අලංකාරවත් ලෙසින් පවත්වාගෙන යන ස්ථානයක් විය. එහෙත් කොතරම් අලංකාරවුවත් ප‍්‍රධාන ගේට්ටුවෙන් එලියට අඩියක් වත් තැබිය නොහැකි අපහට පිටි කර්මාන්ත ශාලාභූමිය සුන්දර සිර ගෙදරක්ම විය. නාවිකයින්ට ප‍්‍රධාන ගේට්ටුවෙන් ඔබ්බට එකදු අඩියක්වත් තැබිමට ප‍්‍රීමා පිටි කම්මලේ ආරක්ෂකයින් ඉඩ නොදුන්නේ එහි ශ්‍රී ලංකා රේගු දෙපාර්තුමෙන්තුවේ කාර්්‍යාලයක් ස්ථාපිත කර නොතිබුනු හෙයින්ය. මා ති‍්‍රකුණාමලයට පැමිණි මුල් වතාවේ පිටි කර්මාන්ත ශාලාව තිබු භූමියේ ඇවිදිමටත් ඉඩක් නොලැබුනේ මොටර් දෙකක් රැගෙන එමට කොළඹ බලා පිටත් කල බැවිනි. මෙවර ඇතුලත භූමියේ ඇවිදයන්නට ඉඩ ලැබුනත් ඉන් පසු කිහිප වාරයක් මේම පිටි කම්හල් භූමියට පිවිසියත් කිසිම දිනෙක කර්මාන්ත ශාලාව ඇතුලට ගොස් එය නැරඹිමට අවස්ථාවක් නොලැබින. ප‍්‍රධාන ගේට්ටුව අභියසට වෙන්නට කාඞ් දමා කථා කල හැකි පේ ෆොන් දුරකථනයක් පිහිටුවා තිබිම සියල්ලන්ටම ඇතිකල විශාල සහනයක්ම විය. දුරකථන කාඞ්පත් එහි කැන්ටිමේ විකුනන්නට තිබුනි.  එහි තිබු එකම දුරකථනයක් හෙයින් එකෙකු කථාකර අවසන් වන තෙක් අනෙකාට ප‍්‍රධාන ගේට්ටුව දෙසට ගොස්  ඇතුලට හෝ එලියට පිටවන වාහන දෙසත් ගේට්ටුවෙන් ඔබ්බේ වු පාලූ පාර දෙසත් බලා සිටිමට සිදුවිය.

           ගල්කිස්සේ දුම්රියපල පාරේ තිබු පාන් පිටි ගබඩාව මට නිතැතින්ම සිහිපත් විය. එය සැබවින්ම සෑම අතම පිටි විසිරුනු පරන පාප්ප සුවද වැනි අමුතු පිටි සුවදක් හාත්පසම පැතිරි තිබු පිටි ගබඩාවක් විය. ගබඩාවේ ඉදිරිපස සිට ඇතුලත සෑම පෙදෙසක්ම පිටි තැවරි සුදු පැහැ ගැන්වි තිබු අයුරුත් සිරුර පුරා පාන් පිටි නාගෙන සුදු පැහැ ගැන්වුනු මුට්ට කරගහන්නන් කිහිප දෙනෙකු ලොරිවලට පාන් පිටි ගෝනි ගොඩබාන හා පටවන අන්දම සිහියට ආවේය. එම ගබඩාව දැක ඇති මාගේ මනසේ චිත‍්‍රනය වි තිබුනේ පි‍්‍රමා කම්මලේ සෑම අස්සක් මුල්ලක්  නෑරම පාන් පිටි විසිරි ඇති අපිරිසිදු ස්ථානයක් ලෙසින්ය. එහෙත් මාගේ එම සිතුවිල්ල අහෝසි කරදමන්නට සිදුවිය. පාන් පිටි නිපදවන මෙම කර්මාන්ත ශාලාව හෝ ගබඩාවත් ඉන් පිටතත් හැලුනු පාන් පිටි වලින් අපවිත‍්‍ර වි නොතිබුනි. එසේ වන්නේ ගබඩාවෙන් නැවට පැටවිමේදි හැලෙන පිටි සියල්ල දවස අවසානයේදි හෝ නැව පිටත්වු පසුව හැකි ඉක්මනින් සෝදා පවිත‍්‍ර කරනු බැවිනි. අප නැවට එහායින්වු ප‍්‍රධාන ජැටියේ තිරිගු ඇට රැුගෙන ආ සුවිශාල බල්ක් කැරියර් නෞකාවක් එහි තිරිගු ඩිස්චාර්ජ්  කරමින් තිබුනි. ජැටියේ තිබු දොඹකර මගින් නැව තුලට පහත් කරන ලද බට ඔස්සේ ඇතුලත වු තිරිගු ඇට උරාගෙන එවා ප‍්‍රධාන ගබඩා කරන ටැංකි වෙත යවනු ලබයි.

       පිටි ගබඩාවේ සිට පාන් පිටි පිරවු ගෝනි බෙල්ටයක් දිගේ පැමින කවුලූවකින් ඉවතට වැටේ. භාන්ඩ හසුරවන්නන්  හෙවත් පිටි මුට්ට පටවන්නන් ඔවුන්ගේ පහසුව උදෙසා පාන්පිටි මුට්ට කවුලූව අසලින් එකක් උඩ එකක් සේ කවුලූව තෙක් උසට පටවනු ලබයි. ඉන්පසු ඉහලින්ම තිබු පිටි මුට්ට අතින් තලා සකස්කර  කවුලූවෙන් පිටවන පිටිමුට්ටය පිල්ලක් දිගේ පහලට වැටෙන ලෙසින් සකස්කර ගනු ලබයි. එකින් එක  වැටෙනා පිටි  මුට්ට රැගෙන ගොස් සිලිංගයක් (Sling) උඩ ගොඩ ගසාගනියි. මේ ලණු සිලිංගය උඩ පිටි මුට්ට අසුරන්නේ එක්තරා රටාවකට අනුවය. සිලිංගයට අල්ලන පිටි මුට්ට ප‍්‍රමානය පිරුනු පසු ගැටය තදවන අයුරින් ලණු සිලංගයේ එක් කොනක් දෙඹකරයේ කොක්කට අමුනයි. දෙඹකරයෙක් ඔසවා නැවේ හැච් එකට බාගන්නා පාන් පිටි ගෝනි තවත් පිරිසක් විසින් පිලිවෙලකට එහි අසුරා දමනු ලබයි. සමහර අවස්ථාවලදි පිටිගෝනි ඇසිරිමක් නොමැතිව ඩම්ප් (Dump)  කරනවාදැයි බලන්නට ඒ අවස්ථාවේ ඩියුටියේ සිටිනා නැවේ එබිවරයාට සුපරික්ෂාවේ පසුවන්නට සිදුවෙයි.

       මේ භාන්ඩ හසුරවන්නන් ගේ අත්වල මිටක් සවිකරන ලද කොකු තබාගෙන තිබුනේ පිටි ගෝනි පැටවිම පහසුවන්නටය. මේ කොකු නිසා සිදුරුවන ගෝනි තුලින් හැලෙන පිටි ජැටියත් නැවේ තට්ටුවත් සුදු පැහැ ගැන්වියයි.  මුහුදට වැටෙන පාන් පිටි නිසාදෝ එවා කන්නට ආ වෛයිවාරන මාලූන් ජැටිය අවට මුහුදේ බහුලව සිටියහ. වරායේ පිටි මුට්ටු පටවන්නන් ගේ විනෝදාංශය වුවේ මාළුන් ඇල්ලිමයි. ඔවුන් තම සේවා මුරය ඉවරවු සැනින් නැවේ ඇකමඬේෂන් එක අසලට වි තම බෑගයේ ඇති මරුවැල ගෙන ගන්වෝලයට උඩින් මුහුදට දමයි. ඔවුන් මරුවැල නමින් හැඳින්වු එය එක තංගුස් පටකට ඇමුනු බිලි කොකු රැුසක් සහිත යොතක්විය. මසුන් 
රැනක් වෙත දමා එක පාරින් ගස්සා උඩට අදිද්දි  එක පෙලට පන ගැහෙනා මාලූන් දෙතුන් දෙනෙකු ඇමිණි වතුරෙන් එලියට ඇදි එති. මේ පිටි ගෝනි පටවන්නන් අතරින් මාහට හමුවු සුවිශේෂි පුද්ගලයෙක් විය. සිල්වා නමින් හැදින්වු ඔහු නැවියන් අතර සුප‍්‍රසිද්ධ චරිතයක් විය. තලෙළු වයස අවුරුදු පනහට කිට්ටු කල සිල්වා තිරිකුණාමලයේ වරායේ සේවය කල මිගමුවේ කොච්චිකඬේ පැත්තේ පුද්ගලයෙකුවිය. වියපත්වුවත් තරමක හැඩිදැඩි සිරුරක් හිමි සිල්වා සිල්ක් වැනි සරමක් හැද එයට යට කල තද පැහැති කමිසයේ උඩ බොත්තම් දෙකක් පමන විවර කරගෙන සිටිම ඔහුගේ පුරුද්දක් විය. තම බිරිදත් දරුවන් සමගින් ති‍්‍රකුනාමලේ ආන්දන් කුලමේ ඔෂින් හෝටලය අසල පදිංචිව සිටින බවත් නැවෙන් බැස ඉඩක් ලැබුන විටෙක ඒ පැත්තේ ඇවිත් යන ලෙසින් මාහට කිහිප විටක් පවසා තිබුනි. 



        නැව වරායට ඇල්ලූ පසු නැවත් ජැටියත් අතර විශාල දැලක් එලා සකස් කිරිම ඔහුගේ රාජකාරියවුනි. ඉන්පසු යලි නැව පිටත්ව යනතෙක් සිල්වා කලේ ඉදහිට මාලූ ඇල්ලිමත් හා නැවේ කුස්සියට වැදි කුක්ට උදව්පදව් කිරිම වැනි රාජකාරි කිහිපයකි. ඒවා තමන්ගේ වැඩ කොටසක් නොවනුත් එය ඔහුගේ චරියාව වි තිබුනි. හවසට ඩෙක් එකේ ඇවිදගොස් ගැලිය පැත්තෙ එන කැප්ටන් ඔහුව දුටු ගමන්ම අසන්නේ එකම පැනයකි.
”අයිසේ සිල්වා කෝ මාලූ අහුවුනාද?”
ඔ් ඔහුගේ ඇම කා ඩෙක් එකේ වැතිරි සිටිනා මාළුන් දෙස බලමින්ය. බොහෝ දිනවල අල්ලන මසුන් සියල්ලම ඔහු විසින්ම කට ගැස්මක් සේ සකස්කර කැප්ටන් හෝ චිෆ් ඔෆිසර් පිලිගන්වයි.
”සිල්වා විදුරුවක් අරගෙන කැබින් එක පැත්තේ එනවා.”
කට ගැස්ම ලැබු පසුව කැප්ටන්ගෙන් විස්කි වඩියක් ගහන්නට අරාධනා ලැබෙන්නේ එලෙසටය.
සමහර දිනවලදි කැප්ටන්ගෙන් අමතරව චිෆ් ඔෆිසර්ගෙන් හෝ චිෆ් ඉන්ජිනියර්ගෙන්ද ෂෙට් එකක් දෙකක් වරදින්නේ නැත.

       අප කාගෙත් සයනයවු මෙස් කාමරයේ හැඩ ගැසූ ලෑලී බංකුවේ සිල්වා නිදාගන්නේ ගත්තු ෂොට් එක වැඩිවු දිනවලටය.
සිල්වාගේ තිබු එකම එක දුර්වලතාවය වුයේ සිය හැඩි දැඩි සිරුරේ තිබු අධි සංවේදිතාවයයි. සමහරුන්  කිවේ මෙය කැප්ටන්ලාගේ අවධානය දිනා ගන්නට සිල්වා විසින් කරනා බොරුවක් බවය. ඔහුගේ අධික කිතිය අපට විටෙක සෙල්ලමක් විය. ඉලයට හෝ කිහිල්ලට ඇන්න විට කිතියෙන් ඇඔරෙමින් ළඟ ඉන්නා  ඕනෑම අයෙකුට අතදිගහැර හොඳහැටි රිදෙන්නට පහරක් ගසන්නේ අමුතිත්ත කුණු හරුපයක් කියමිනි.
”සිල්වා මේ සැරේ අපි කොහේද යන්නේ?”
” අම්මාට .............. න්න.”
පලමු සැරයේ ඉලයට අනිමින් ඇසු පැනයත් ඔහුගේ අධි සංවේදිතාවයට ලැබුන පිලිතුරත් මෙය විය.
”එහේ කවුද ඉන්නේ?”
”හු......ගේ පුතා.”
ඊලග පැනයට පිලිතුර ලැබෙන්නට ප‍්‍රථමයෙන් අහකට පැනගන්නේ අත උස්සා දෙන පහරින් වැලකෙන්නටය. වරෙක රාති‍්‍ර වැඩමුරයක් නිසා මෙස් කාමරයේ නිදාගත් සිල්වාට උදේ නැව වටේ රවුමක් ඇවිදගිය කැප්ටන් හමුවුයේ ගැලිය අසලදීය. නලල අසලට අත උස්සා සැලූට් එකක් දමමින් කැප්ටන්ට සිල්වා ගුඩ් මොර්නින් පවසද්දීම අසල සිටි කුක් ඔහුගේ ඉලයට ඇනිය. ඔහු කැප්ටන්ට සුබ දිනයක් පැතුවේ මෙලෙසිනි.
”ගුඩ් මොර්නින් හු....හු......ගේ පුතා.”
”සිල්වා ඔය වේලාවට බුදු සරණයි හරි කියන්න පුරුදු වෙන්න.”
කී කැප්ටන් අඩියට දෙකට මාරුවී ගියේ සිල්වාට ගුඩ් මොර්නින් වත් නොකියාය.

        සිල්වා කවුරුන් හෝ ඉල්ලන උපකාරයක් උදව්වක් නොපිරිහෙලා කරන්නට නෑ බෑ නොකියා හැකි පමනින් උත්සාහ ගත්තේය. ති‍්‍රකුණාමලයට ආ වෙනත් නැවක දි ඔහු මාහට කල උපකාරයක් සිහියට නැගෙයි. ති‍්‍රකුණාමලයේදි ගෙදර යන්නට ෂෝ ලීව් ලැබුනේ පාන්දර වනතෙක් වැඩකර අවසන්වු පසුවය. අප නෞකාව නවත්වා තිබුනේ කොඩ් බේ හි ධිවර වරාය නිතිගත සංස්ථාවේය. වරාය ජැටියේ සිට ති‍්‍රකුණාමල ප‍්‍රධාන මාර්ගයේ හතරේ කණුව හංදියට එන්නට උදේ පාන්දර බස් රථයක් ධාවනයවුයේ නැත. එම නිසා ගෙදර යෑම ලේසි පහසු කි‍්‍රයාවක් වුයේ නැත. එහෙත් ලැබු කර්කෂ නැවක එකාකාරි ජිවිතයෙන් මිදි පැය කිහිපයකට හෝ ලබන නිදහස කෙලෙස අමතක කර දමන්නද. මහ පාන්දර යන්නට නොහැකි කමින් ගෙදර යෑම හිතින් අතහැර දමන්නටත් සිදුවන බව කියමින් කොළඹ යන්නේ කෙලෙසදැයි සිල්වාගෙන් ඇසුවෙමි. මාහට කිසි දේකට බිය නොව ලෙසත් පසුදා කෙසේ හෝ පාන්දර කොළඹ යන පලමු බසයට නංවන බවට පොරොන්දුවු සිල්වා උඳේ පාන්දර වනතෙක් නැවේ මෙස් කාමරයේ ලෑලි බංකුවේ නිදාගත්තේය. එදා මා නංවාගෙන කදු පල්ලම් නගමින් බසිමින් ෆුට් සයිකලයෙන් කොඞ් බේ හි සිට ති‍්‍රකුණාමල -කොලඹ මහාමාර්ගයේ හතර කණුව හංදියට ගෙනවිත් ඇරලවා බසයකටත් නංවාලුයේ සිය පොරොන්දුව ඉටුකරමින්ය.
           තම බිරිදට අසිමිත ලෙසින් ආදරය කල ඔහු ඇගේ නම තම කාලවර්ණ බාහුවක කොටාගෙන සිටියේය. පසු කාලිනව ති‍්‍රකුණාමලයට ගිය අවස්ථාවකදි සිල්වා සොයාගෙන ආන්දන් කුලමේ ඔෂින් හෝටලය ඉසව්වට ගියත් එ්වන විට රැුකියාවෙන් ඉවත්ව ති‍්‍රකුණාමලයටත් ආයුබෝවන් කියා තිබුනි. සිල්වාගේ ගම වු කොච්චිකඬේ ප‍්‍රදේශයට යළි පදිංචියට ගොස් තිබුනේ තම ආදරණිය බිරිද මොලොව හැරගිය පසුව බව මාහට දැනගන්නට ලැබුනි. 


සයුරේ ආ මඟ පැද්දෙන පොල් ලෙල්ලක් - සයුරේ දසවසක් - 1

ගාල්ලෙන් වැඩ ඇරඹිම - සයුරේ දසවසක් - 2

සී සික් සමගින් පළමු මුහුදු ගමන. - සයුරේ දසවසක් - 3

නැවෙන් ති‍්‍රකුණාමලයට බසයෙන් කොළඹට - සයුරේ දසවසක් - 4

ලොක්කාගේ ජරාවැඩක් - සයුරේ දසවසක් - 5

 නැංගුරම්ලාගෙන සැමරූ සිංහළ අවුරුද්ද - සයුරේ දසවසක් - 6

කොට රංජිගේ කුකුල් කේන්තිය - සයුරේ දසවසක් - 7

දළ රළ පෙලට හසුව - සයුරේ දසවසක් - 8 

කන්කසන්තුරේ නොහොත් කේ කේ එස් වලට - සයුරේ දසවසක් - 9

 වෙල්ඩර් හෙල්පර් ගේ අවසානය - සයුරේ දසවසක් - 10

කොළොම්පුරයාගේ වෙසක් කූඩු කතා වස්තුව

 වෙසක් සිරියෙන් රටම බබලන්න මැයි මාසේ උදාවෙලා තියෙද්දි කොළොම්පුරයාගේ මතක ගබඩාවේ දුහුවිල්ලෙන් වැසිලා ගිහින් තිබුන පරණ සිද්ධියක් මතකයට නැගුනා. ...