Wednesday, March 24, 2021

හෝරස්ගේ දරුවා - පස්වන දිගහැරුම Son of Horus - 5

 


නොබෝදිනකින් උපනන්ද මහතාගේ උපකාරයෙන් නිමාලිට හික්කඩුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක පුහුණුවන පිළිගැනීමේ නිලධාරිනි රැකියාවක් ලැබිනි. නිමාලි හමුවීමට පියසෝමගේ නිවසට උපනන්ද මහතා යළි ගියේ ඇගේ නව රැකියාව කෙසේදැයි දැනගැනීමට හා පවුලේ තොරතුරු කෙසේදැයි විමසා බලන අටියෙනි. විමලා හා නිමාලි විසින් ඔහුව සාදරයෙන් පිළිගෙන රැකියාව ලැබුණු බව පැවසීමට නොහැකිවීම ගැන කනගාටු වුහ. 

“ඉතිං ළමයෝ දැන් වැඩ එහෙම ලේසිද?”

“ගොඩාක්ම ලේසිත් නැහැ අමාරුත් නැහැ. එතන අය ගොඩක් හොඳයි. හොදින් කියලා දෙනවා.”

“ඔය ළමයා ඉක්මනට වැඩ අල්ල ගන්න එතකොට ඉක්මනටම ස්ථිරවෙන්න පුළුවන්. දැනට මොනවාද තියෙන අඩුපාඩු එහෙම?”

“මුකුත් නැහැ මහත්තයෝ තියෙන එකම කරදරේ ගමන් අපහසුව තමයි.”

“ඇයි බස්වලට කරදරයිද?”

“අපේ ඩියුටි මාරුවෙන සමහර වෙලාවන් වලට බස් අඩුයි. අනික අම්මායි නංගියි විතරයිනේ ගෙදර තනියම. නංගිත් ඉස්කෝලේ ගියාම ගෙදර කවුරුත් නැ හදිසියකටවත් දුවලා එන්න පුළුවන් ළඟපාතකවත් නොවෙයිනේ.”

“දැන් අම්මා ළඟ ඉන්නේ කවුද?”

“මේ ළඟ නැන්දා කෙනෙක් දවල් දවසේ ඉන්නවා. අනික අම්මාත් කැමති නෑ මේ ගෙදර තනියම ඉන්න.”

“ඕක තමයි ළමයෝ මම එදාත් කිව්වේ මේ ගෙදර කුලියට දීලා වෙනින් ගෙදරකට යන්න කියලා.”

“වෙනින් ගෙවල්වලට ඇඩ්වාන්ස් ගෙවන්න කොයින්ද සල්ලි අපිට මහත්තයෝ?”

“මම එක බලා ගන්නම්කෝ ඔය ළමයා ගෙයක් බලන්නකෝ.”

“එතකොට නංගිගේ ඉස්කොලේ ගමන?”

“තව ටික දවසයි නේද විභාගෙට තියෙන්නේ?”

“ඔව් තව හයමාසයක් විතර.”

“එයාට ඔය කෝච්චියෙන් ගාල්ලට එන්න යන්න පුළුවන්නේ ඔය ඕනේ තරම් එයාගේ පන්තිවල ළමයි එන්නේ.”

විමලා එම කතාවට එක්වෙමින් පැවසුවාය.

“එහෙනම් ඔය ළමයා හොඳ ගෙයක් හොටලේ ළඟපාතින් හොයලා බලන්න. මෙන්න මේ සුළු මුදල තියාගන්න ඔය ළමයාට ඇඳුම් ටිකක් අරගන්න. වැඩට යනකොට හොඳට අඳින්න පලදින්න එපැයි.”

“උපනන්ද මහත්තයා කරන උපකාර වලට බොහෝම පිං.”

විමලා පැවසීය. නොබෝ දිනකින් නිමාලි උපනන්ද මහතාගේ උදව්උපකාර ඇතිව හික්කඩුව ප්‍රදේශයෙන් කුලී නිවෙසක් ලබාගෙන එම නිවසේ පදිංචිය සදහා පිටත්ව ගියේය.


 ★    ★ ★ ★ ★ ★ ★


සුචිත්‍රා හා තිලකා කාන්තා පිහිටාධාර සුබසාධක සංවිධානයේ සාමාජිකත්වය ලබාගත්හ. එහි සමාජිකාවන්වූ දකුණු පළාතේ ව්‍යාපාර හා දේශපාලන ලෝකයේ බලවතුන්ගේ බිරියන් විසින් ඔවුන් දෙදෙනාව සාදරයෙන් පිළිගනු ලැබීය. එම පිළිගැනීමෙන් උද්දාමයට පත්ව ගිය සුචිත්‍රා උද්යෝගයෙන් යුතුව එහි වැඩ කටයුතු වලට සහභාගිවන්නට විය. 


 තවත් දිනෙක මැදියම පසුවීමත් සමඟම උපනන්ද තිගැස්සී අවදිවූයේ බළලුන්ගේ පොරබැඳීමකට පෙර සිදුවන කෑගැසීම් ශබ්දයන් ඇසීමෙනි. දහවල් කාලයේ විවේකයක් නොගෙනම කළ රාජකාරි වැඩවලින් හෙම්බත්වී සිටි ඔහු අපහසුවෙන් ඇඳෙන් නැගිට වටපිට බලන්නට විය. ඔහු තම කාමරයේ විදුලිපහන් දල්වා පහත මාලයට බැස ගියේ මෙම ශබ්දය ඇසුනු දිශාව සොයාබලන අටියෙනි. කාමරයේ විදුලි පහන් දැල්වීමෙන් නින්දෙන් අවදිවුනු සුචිත්‍රා උපනන්ද කොහේ ගියාදැයි විපරම්කර බැලීමට සාලයේ බැල්කනිය දෙසට පියවර තැබීය. පහත මාලයේ විදුලි පන්දමක් අතැතිව ගමන්කරමින් සිටි උපනන්දව ඈ දුටුවාය.

“උපේ ඔයා කොහේද මේ මහ රෑ යන්නේ?”

“ආ ඔයාත් නැගිට්ටාද? බලන්න මේ මූසල පූසන්ගේ සද්දේ . මාටින්ට කියන්න ඕනේ මුන්ව පන්නලා දාන්න කියලා.”

“කොහේ ඉන්න පූසෝ ටිකක්ද? මටනං ඇහුනේ නෑ.”

“ඔයාට කොහේ ඇහෙන්නද ගොරව ගොරවා නිදියන කොට. ඔය, දැන් නම් සද්දේ අඩුයි.”

“ඔන්න ඔහේ කෑගහපු දෙන්. ඔයා ඇවිත් නිදා ගන්න. දැන් වෙලාව කීයද?”

“ඔයා ගිහින් නිදා ගන්න මම මුන් ටික එලවලා දාලා එන්නම්.”

උපනන්ද කෑම කාමරය හරහා වැටී ඇති දොරක් මඟින් ගොස් ගරාජයට පිවිසුනේය. ගරාජයේ පසෙකවූ කාමරයක මාටින් සැප නින්දක වැටී සිටින අයුරු දුටු උපනන්දගේ කෝපය තවත් උත්සන්න විය.

“බෙල්ලට උඩින් කෝච්චියක් ගියත් තමුසෙලා මර නින්දේ. නැගිටලා බලනවා මේ කාලකන්නි බළල් රැල ඉන්නේ කොහේද කියලා .”

උපනන්දගේ ගෝරණාඩුව ඇසුනු මාටින් වහාම ඇඳෙන් නැගිට බුරුල්ව ගිය සරම තදකර ගැටගසා ගත්තේය. තවමත් නිදිමත පහව නොගිය බැවින් ඔහු තම දෑස් පොඩිකරමින් උපනන්ද දෙස බැලුවේය.

“ඉතිං මගේ මුණ දිහා බලං ඉන්නේ නැතිව ගිහිං බලනවා.”

මාටින් විදුලි පන්දම රැගෙන ඉක්මනින් මිදුලට බැස ගත්තේ කවරකදාකවත් උපනන්ද මහතා මෙසේ රාත්‍රියට පැමිණ ඔහුට දොස්නගා නැති බැවිනි. මාටින් පසුපසින් මිදුලට බට උපනන්දට නිවසේ පිටුපස වෙල දෙසින් ඇසෙන රැහැයි නාදය මිස වෙනත් කිසිදු ශබ්දයක් නොඇසුණි. 

“කෝ මහත්තයෝ කිසිම සද්දයක් නෑනේ.”

“ඒක තමයි මමත් බැලුවේ. දැන් ටිකකට ඉස්සෙල්ලා පිටිපස්ස පැත්තෙන් තමයි සද්දේ ආවේ.”

“ඒ පැත්තත් මම හොයලා බැලුවා උන් යන්න ඇති.”

“බලනවා මුන්ගේ මූසල සද්දේ මගේ නින්දත් නැතිකළා.”

“ඒක තමයි මාත් බැලුවේ මහත්තයා කවදාවත් නැතුව අද මහ රෑ නැගිටලා.”

“කෝ මුන් ඉන්න දිහාවක් හොයාගන්න බෑ තමුසේ ටිකක් හෝදිසියෙන් ඉන්නවා.”

උපනන්ද යළි නිවසට ඇතුල් වී සාලය හරහා ගොස් උඩුමහලට යෑමට තරප්පු පෙළ වෙත ගමන් කළේය. නොදැනුවත්වම ඔහුගේ නෙත් සාලයේ පැරණි වීදුරු අල්මාරියේ තැන්පත්කර ඇති බඳුන වෙත යොමුවීය. එම බඳුනේ පියනේ හිස තමාදෙස බලා සිටිනවාක් වැනිවූ සිතුවිල්ලක් උපනන්දගේ සිතට නැගුනි. ඔහු නැවති එය දෙස බලා සිටින්නට විය. සෙල් පිළිමයක් මෙන් ඔහු එම බඳුන දෙස වශීවූවාක් සේ බලාගෙන සිටිනවා නිදන කාමරයෙන් උඩු මහලේ ආලින්දයට පැමිණි සුචිත්‍රා දුටුවාය.

“උපේ උපේ ඔයා මොනවාද ඔතන කරන්නේ?”

සුචිත්‍රාගේ ඇමතුමෙන් තිගැස්සී පියවිලොවට පිවිසි උපනන්ද ඉක්මනින් එතනින් ඉවත්ව උඩුමහලට නැගීය. ඔහුට කොපමණ වේලාවක් එතැන රැඳී සිටියාදැයි මතකයක් නොවීය.

“ඔයා දැන් ගොඩාක් වේලාවක් තිස්සේ එතනට වේලා හිටියා. මොකක් දිහාද ඔයා බලාගෙන හිටියේ?”

ඔහු ඈ දෙස විමතියෙන් බැලුවේය.

“මම දන්නේ නැහැ මම එතනට ගියාම අමුත්තක් දැනුනා හරියට කවුද මගේ දිහා බලාගෙන ඉන්නවා වාගේ.”

සුචිත්‍රා බිය රැඳි දෑසින් ඔහු දෙස බැලීය.

“ඔයා මොකට මේ දොගොඩාහරියාමේ එළියට බහිනවාද මන්දා. හොර හතුරොත් ඉන්න පුලුවන්.”

උපනන්දට නින්ද යනතෙක් සුචිත්‍රා ඉතිපිසෝ ගාථාව මුමුණන්නට විය. පසු දින පිබිදුණ උපනන්ද යළිත් ඊයේ සිදුවූ අමුතු සිදුවීම යළි මෙනහි කළේය. ඔහුට පැරණි අල්මාරිය ළඟදි සිදුවූ දෙයක් මතකයේ නොමැති විය. එතන ගොඩ වේලාවක් රැඳීසිටීමට හේතුව සෙවීම පිණිස ඔහු යළිත් එම ස්ථානයට ගොස් පරික්ෂා කළ මුත් එතැන විශේෂ යමක් නොවීය. ඔහු උදේ පාතරාසය ගනිමින් සිටියදී තංගම්මා ඇමතීය.

“තංගම්මා මීට පස්සේ ඔය බළල් තඩියන්ට අපේ ගෙවල් අස්සේ එන්න දෙන්න එපා. ඉතිරිවෙන කෑම දඩාවතේ යන බල්ලෝ බළලුන්ට කන්න දාන්නත් මීට පස්සේ තහනම්.”

“හොඳමයි මහත්තයා.”

“දවල් තිස්සේ වැඩකරලා ඇවිත් නිදාගන්න තියෙන්නේ රෑට විතරයි එකත් මේ බළල් රැළගෙන් කරදරේ. හැබැයි එක බළලෙක් වත් කුස්සිය පැත්තේ හිටියෝත් මම අල්ලගන්නේ තංගම්මාව තමයි.”

“මටනං කිසිම පුසන්ගේ සද්දයක් ඇහුනේ නැහැ.”

සුචිත්‍රා ඉඳිආප්ප තම පිගානට බෙදාගන්නා ගමන් කීවාය.

“ඔයාට කොහේ ඇහෙන්නද ගොරවා ගොරවා බුදියනකොට. සුචිත්‍රා ඔහොම ඉදලානං හරියන්නේ නැහැ. ඔයා ගෙදර වැඩගැන මීට වඩා හොයලා බලන්න ඕනේ.”

“මම හොයලා බලනවානේ උපේ. ඔය දඩාවතේ යන බළල් රැළ පිටිපස්සේ වෙල දිහාවෙන් වෙන්නැති එන්නේ. උන්ව නවත්තන්න අපිට පුළුවනිද? ඔය රැළේ වැටෙන කාලෙට බළල්ලු පොරකාගන්නවානේ.”

“වෙල දිහාවෙන් එන්නේ ඔයාලා උන්ට ඒ පැත්තට කෑම විසික්කරන නිසයි. මීට පස්සේ කෑම විසිනොකර ඉන්නවානම් හරිනේ.”

ඔහු වතුර වීදුරුව එක හුස්මට බී අහවර කරමින් කෑම මේසයෙන් නැගිට්ටේය.

“සුචිත්‍රා අද මට වැඩ ගොඩාක් තියෙනවා. මේ සැරේ සිංගප්පුරුවෙ ගමනින් ලොකු ඕඩරයක් ආවා. ආපූ ඕඩරේට ඉක්මනටම ෂිප්මන්ට් එකක් ලෑස්ති කරන්න ඕනේ.”

“උපේ මම අද ෂෙරිල්ව මීට් වෙන්න තියෙනවා. මං දවල්ට එයාගේ සැලොන් එකට යනවා.”

“කොහේ ගියත් හවසට ගෙදර ඇවිල්ලා ඉන්න.”

කී උපනන්ද ටොයොටා රථයේ නැගී තම ව්‍යාපාරික ස්ථානය බලා පිටත් වුනි. කාන්තා පිහිටාධාර සුබසාධක සංගමයේ සාමාජිකත්වය ලැබීම නිසා සුචිත්‍රා සිටියේ මහත් උද්දාමයෙනි. ඇය ඉක්මනින් එහි ක්‍රියාශීලී සාමාජිකාවක් බවට පත්වීමට එක් හේතුවක් වූයේද ඇයට වෙනත් සාමාජිකාවන්ටමෙන් දුවාදරුවන්ගේ වැඩකටයුතු නොවීමයි. සුචිත්‍රා එම සංගමයේ ලේකම් තනතුර හෙබවූ ෂෙරිල් සමඟ ඉක්මනින්ම මිතුරුකමක් ඇතිකර ගත්තාය. රුපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන ෂෙරිල් වයසින් සුචිත්‍රාට වැඩිමහලු එකියකවූවත් තම වියපත් වෙමින් පවතින රූපකාය ඇගේ රුපලාවන්‍යාගාරයේ පිහිටෙන් යම් තරමකට හෝ නවත්වාගැනීමට සමත්වූවාය. නව යොවුන් තරුණියක මෙන් විසේකාර දාංගලයකින් හැසිරෙන ඇය අසාර්ථක විවාහයකින් සැමියාගෙන් දික්කසාදවී සිටියාය.  ෂෙරිල් තම ව්‍යාපාරයෙන් හරිහම්බකරන සියල්ල වියපැහැදම් කළේ මිල අධික වටිනා ඇඳුම් පැලැඳුම්වලටය. උදේ දහය වනවිට සුචිත්‍රා ඇගේ කුඩා මෝටර් රථය ගාල්ලේ මහවීදියේ ෂෙරිල්ගේ රුපලාවන්‍යාගාරයට බලා පැදවීය. ඇය එයට ගොඩවනවිටත් ෂෙරිල්ගේ මිතුරියෝ දෙදෙනෙක් එහි රැඳී සිටියහ. තම දරුවන්ව පාසල් ගෙනගොස් ඇරලූ අමරාත් නීතාත් නිරතුරුව පාසල් ඇරෙනතුරු කාලය කාදැමීමට මෙසේ ෂෙරිල්ගේ බියුටි සැලෝන් එකට ගොඩවැදීම සිරිතක් විය. තමා මිළදීගත් ඩෙනිම් ජින්ස් කලිසම් හා ඒවාට සරිලන බ්ලවුස් කිහිපයක්ද ෂෙරිල් විසින් ඇගේ මිතුරියන්ට පෙන්වමින් සිටියාය. 

“බලන්න මේ ජින්ස් එක ඔයාට නියමෙට ගැළපෙනවා.”

“අපෝ ඕක ඇඟට හිර වැඩියි. පිටිපස්සෙන් කැපිලා පේනවා වැඩියි.”

“අයියෝ සුචිත්‍රා එහෙම තමයි ජින්ස් අඳින්නේ හොඳට හිරට ඇඟට තදවෙලා හිටින්න.” 

“අනේ මං මීට ඉස්සර ඩෙනිම් ඇඳලා නැහැ.”

“සුචිත්‍රා ඔයා හරියට ගොඩේ ගෑණු කෙනෙක් වගේනේ කතාව. බිස්නස් කාරයෙක්ගේ වයිෆ් කෙනෙක් කියලා කියන්නත් බෑ.”

ඇය තම ඉනට ඩෙනිම් කලිසම තබා බැලුවාය.

“ආ මෙන්න මේ බ්ලවුස් එකත් ඒකට මැච් වෙනවා.”

ෂෙරිල් අත්නැති බ්ලවුස් එකක් ඇගේ අතට දුන්නාය.

“මේ දෙක ඇඳලා බලන්න. කෙල්ලගේ හැඩ කොහොමද කියලා බලන්නත් එක්ක.”

ඇය සුචිත්‍රාව බලෙන් මෙන් ඇතුල් කාමරයකට ගෙන ගියාය. 

“ආ දැන්නෙ කෙල්ලගේ ලස්සන පෙන්නේ.”

ඩෙනිම් කලිසමෙන් සැරසී ආ සුචිත්‍රාව දුටු අමරා කීවාය.

“ඒක නම් ඇත්ත. දැන්තමයි සුචිත්‍රාට නියම පොෂ් පෙනුමක් ලැබිලා තියෙන්නේ.”

සුචිත්‍රාද තම හැඬරුව බලාගැනීමට කන්ණාඩිය ඉදිරිපිටට ගොස් තම යෙහෙළියන් කියන කතාව ඇත්තදැයි බැලුවාය. එම ඇඳුමෙන් තම රූපයට විශාල අලංකාරයක් එක්වූ බවක් ඇයට වැටහුනි.



“ඔය ජින්ස් එක මගේ ගානේ සුචිත්‍රාට තෑග්ගක්.”

ෂෙරිල් කීවාය. එම මිල අධීක ඩෙනිම් ජින්ස් එක නොමිලේම සුචිත්‍රාට දෙනු දැක අනෙක් යෙහෙලියන්ද ෂෙරිල්ට විහිළු කරන්නට විය.

“මේ අපිටත් නිකං දෙන්න කෝ. අපි කොච්චර ඇඳුම් ඔයාගෙන් ගන්නවාද?”

“ඔව් ඒක තමයි.”

නීතා කීවාය. ෂෙරිල් තම සුපුරුදු කපටි සිනාව ඔවුන්ට පෑවාය.

“ඒක නෙමෙයි සුචිත්‍රා ඔයාට ඔය ඇඳුම් වලින් විතරක් ලස්සන වෙන්න බැහැ. ඉදලා හිටලාවත් මුණටත් සත්කාරයක් දෙන්න ඕනේ.”

“මෙයානං කවදාවත් පේෂල් එකක් කරලා නැතිපාටයි.”

අමරා පැවසීය. සුචිත්‍රා මඳ සිනාවකින් පෑවාය.

“මේ අයත් ඉස්සර ඔයා වගේ තමයි. දැන්නම් මාසෙකට සැරයක් ස්ක්‍රබ් එකක් කරලා පේෂල් එකක් කරගෙන යනවා. බලන්න ඔයාගේ මූණේ හැටි මැරුණු සම අයින් කරන්න ඕනේ. එතකොට තමයි මූණට එළිය වැටෙන්නේ.”

“උපේ කැමතිවෙන එකක් නෑ.”

“එයා කැමතිද අකමැතිද කියලා බලන්නත් එක්ක අපි එක සැරයක් කරලා බලමු. ඔයාටත් තේරෙයි මේකේ වෙනස.”

“මහත්තයාත් ආදරේ වෙයි.”

අමරා ඇහැක් ඉඟිකරමින් කීවාය. අනෙක් යෙහෙළියන් ඉදිරියේ ලැජ්ජාවට පත්වීමට අකමැතිවූ සුචිත්‍රා ෂෙරිල්ට ඉඩදුනි. 

“ලැජ්ජවෙන්න එපා ළමයෝ ඔයාට හිතෙයි මේ ඉන්නේ පරණ සුචිත්‍රාද කියලා. මට සල්ලි එපා, ඔයාට මම අදට විතරක් ෆ්‍රී කරන්නම්.”

“මේ මෙයාට විතරක් ඇයි ෆ්‍රී? අපිට එහෙනම් ඩිස්කවුන්ට් දෙන්න ඕනේ.”

“තාම මෙයා අලුත්නේ.”

“මේවාගේ සල්ලි තියෙන බිස්නස්කාරයෙකුගේ වයිෆ්ට හැමදාම පේෂල් කරන්න බැරියැ.”

අමරා කීවාය. ෂෙරිල් විසින් සුචිත්‍රාගේ ඇහිබැම සකසා පේෂල් එකක් කර ඇගේ මුහුණේ අලංකාරය වැඩිකර පෙන්නුවාය. සුචිත්‍රාට සිතුනේ මෙතෙක් කලක් සැලොන් එකකට නොගිහින් සිටියේ තමාගේ මෝඩකමක් ලෙසය.

“දැන් බලන්න එපායැ සුචිත්‍රාගේ ලස්සන. බලාගෙන පාරේ යන්නේ. කොල්ලෝ ඇඩ්රස් දෙයි.”

“අපි වෙනින් දවසක කොණ්ඩෙත් හරි ගස්සමු. මෙයාට ලේයර්ස් කට් එකක් කපලා හදමු නේද අමරා?”

“ඔව් එකනං එයාට මැච් වෙයි. ෂෙරි මෙයාව එකපාරටම වෙනස් කරන්න එපා ඇස්වහ වදියි.”

සුචිත්‍රාට තම රූපය පිළිබඳව තරමක ආඩම්බරයක්ද දැනුනි. ඇය බලහත්කාරයෙන්ම ෂෙරිල්ට මුදල් ගෙව්වාය. නීතාත් අමරාත් පිටත්ව ගිය පසුත් ටික වේලාවක් ෂෙරිල්ගේ රුපලාවන්‍යාගාරයේ රැඳීසිටි ඈ නිවෙස බලා පිටත්විය. ඇය නිවසට එනවිට උපනන්ද නිවසට පැමිණ කන්තෝරු කාමරයටවී ලිපිගොනු රාශියක් පිරික්සමින් සිටියේය.

“උපේ අද ඔයා වේලාසනින් ආවේ? ඔයා කිව්වානේද හවස් වෙනවා කියලා.”

ඇය කන්තෝරු කාමරයට ඇතුල්වූයේ තම රූපයේ සිදුකළ වෙනස පෙන්වන අටියෙනි. ඒවන විට උපනන්ද සිටියේ ව්‍යාපාරයේ සිදුවූ මුල්‍ය ගනුදෙනුවල අක්‍රමිකතාවයක අගමුල සොයමිනි. තම බිරිඳ දෙස ඔලුව උස්සා බැලූ ඔහු යලිත් ගිණුම් පොතට නෙත් යොමු කළේ ඔව් කියමිනි. උපනන්ද තමන්ව ගණන් නොගැනීම පිළිබඳව සුචිත්‍රාට ඇතිකළේ තරහකි. එහෙත් ඇය තමන්ගේ උත්සාහය අත්නොහැරම යළිත් ඔහුගේ අවධානය තමා වෙතට යොමු කරගැනීමට උපනන්දට කතාකළාය.

“උපේ බලන්නකෝ අද හරි වැඩේනේ උනේ.”

“ප්ලිස් සුචිත්‍රා අපි පස්සේ කතාකරමුද. මම දැන් වැඩ ගොඩක හිරවෙලා ඉන්නේ. පුූළුවන්නම් තංගම්මාට කියන්න මට කිරි තේ එකක් හදල එවන්න කියලා.”

ඔහු තම දෑස් ගිණුම් පොතෙන් ඉවතට නොගෙනම පැවසීය. සුචිත්‍රා කෙන්තියෙන් ඔලුව ගස්සාගෙන කන්තෝරු කාමරයෙන් පිටත්ව ගියේ මේ මිනිහාට හැමතිස්සේම බිස්නස් බිස්නස් විතරයි යැයි සිතමින්ය. 

★    ★ ★ ★ ★ ★ ★


“මිස්ටර් උපනන්ද ගාව දැනට සේවකයෝ කීදෙනෙක් සේවය කරනවාද?”

උපනන්දගේ මසුන් අපනයනය කිරීමේ ව්‍යාපාරික ස්ථානයට එදින දිවා කාලයේදි හදිසියේම පැමිණි

සේවක අර්ථසාධක අරමුදලේ පරික්ෂක නිලධාරින් උපනන්දගෙන් විමසීය

“දැනට නම් අට දෙනෙක් ඉන්නවා.”

“මේ අට දෙනාටම අර්ථසාධක මුදල් බැර කරනවාද?”

“ඔව් ඇයි?”

“අපිට පුලුවන්ද පඩි වාර්තා බලන්න.”

“ඔය මහත්තුරු ඇයි මේවා අහන්නේ?”

“අපි පැහැදිලි කරන්නම් ගිණුම් පොත් බලලා.”

උපනන්ද ගිණුම් ලිපිකරු සිරිවර්ධන කැඳවා එම පැරණි ගිණුම් වාර්තා නිලධාරින්ට ලබාදෙන මෙන් කීවේය. සිරිවර්ධන බොහෝ සේ නොසන්සුන්ව බියට පත්ව සිටින බවක් පෙන්වීය . උපනන්ද තමා ළඟ තිබූ අවසන් මාස දෙකහි නවතම ගිණුම් වාර්තා පරික්ෂක මහත්වරුන්ට ලබාදුනි.

“මිස්ටර් උපනන්ද ඔයා ඔය එකවුන්ට්ස්වල පෙන්නුවාට සේවකයින්ගේ පඩියෙනුත් අඩු කළාටත් මේ සල්ලි අපේ අරමුදලට බැරකරලා නෑනේ.”

ඔවුන් උපනන්දව අර්ථසාධක මුදල් වංචාකරන්නෙකු ලෙසින් කීවෝය. එම කතාව ඇසුනු උපනන්දගේ සිතට කෝපයක් මතුවිය.

“ඔය මහත්තුරු එහෙම කියන්නේ කොහොමද? මට පෙන්නන්න පුලුවන් මම ගෙවලා තියෙනවා කියලා.”

පැරණි ගිණුම් වාර්තා රැගෙන ඒමට පිටත් කළ සිරිවර්ධන  යළි තම කාමරයට පැමිණීමට ප්‍රමාද වෙද්දී උපනන්දද නොසන්සුන් විය. සේවකයෙකු කැඳවා සිරිවර්ධනට ඉක්මනින් එන්න කියන්නයැයි පිටත් කර හැරියේය.

“උපනන්ද මහත්තයෝ සිරිවර්ධන මහත්තයා නෑනේ මම හැම තැනම හෙව්වා.”

“හොඳට හොයලා බැලුවාද? යන්න ගිහින්  බලන්න එයා වෙන කොහේටවත් ගිහිල්ලාද කියලා.”

“එයා නැහැ සර්. එයාගේ බෑග් එකත් නැහැ.”

යළි පැමිණි සේවකයා පැවසීය. උපනන්ද යළිත් නොසන්සුන් විය. සිරිවර්ධනගේ දුරකථනයට කතාකළ මුත් එයද ක්‍රියාවිරහිත කර තිබුණි. පරික්ෂණයට ආ නිලධාරින් ගෙන් සමාව ඉල්ලා සිටි ඔහු ඉක්මනින් ගිණුම් පොත් පරික්ෂාකර බලා යම් කිසි අක්‍රමිකතාවයක් ඇතොත් මසක් ඇතුලත ගෙවා නිමකරන බව පොරොන්දුව ලබාදී ඔවුන්ව පිටත්කරවීය. ඔවුන් පිටත්වූ වහාම සේවකයෙකු ගෙන්වාගත් උපනන්ද ඔහු සමඟින් ලිපිගොනු අල්මාරිය කඩා විවෘත කර බැලීය. පැරණි ගිණුම් පොත් පරික්ෂාකර බැලිමේදි ඔහු විසින් අර්ථසාධක අරමුදලට මුදල් බැර කරන ලද බව සඳහන් කර ඇති මුත් ගෙවීම් සිදුකරන ලද රිසිට් පත් කිසිවක් හමුනොවීය. යම් කිසි අක්‍රමිකතාවයක් සිරිවර්ධන විසින් සිදුකර ඇතැයි උපනන්දට ඒත්තු ගියේය. උපනන්ද තෝන්තුවෙන් මෙන් කිසිවක් සිතාගත නොහැකිව තම කාමරයේ සැප පහසු පුටුව මතටවී ටික වේලාවක් ගත කළේය. එක්වරම සිතට නැගුනු අදහසක් අනුව සිරිවර්ධනගේ මේසය වෙත හිමිහිට ගමන් කළ ඔහු මේස ලාච්චු එකින් එක ඇර බැලුවේය. කහල ගොඩක් බදු කිසිඳු පිළිවෙලකට නොමැති එම ලාච්චු විවිධ කොල කැබැලි වලින් හා තම ආයතනයට ලැබුණු ලිපි ලේඛන හා රිසිට් පත් වලින් පිරී තිබුණි. නහය කඩාගෙන යන පුස් සුවඳක්ද එතුළින් හමා ආවේය. උපනන්ද ලාච්චු එකින් එක හැර කොල කැබැලි සියල්ලම බිමට හලද්දී එය තුළ සිටි කැරපොත්තන් කිහිපදෙනෙක් පණ බේරාගන්නට සුරක්ෂිත ස්ථානයක් සොයමින් දිවයන්නට විය. ඔහු කොලරොඩු ගොඩ අවුස්සමින් එහිවූ ලිපි හා රිසිට්පත් තෝරන්නට පටන් ගත්තේය. තම ආයතනයට එවන ලද වැදගත් ලිපි රාශියක් විවෘත නොකර එහිවූ අතරම සේවක අර්ථසාධක අරමුදලින් එවන ලද ලිපිද ඒවා අතරම තිබුණි. උපනන්දගේ හිස කරකැවෙන්නට වුයේ එහි තිබූ නාස්පුඩු කඩාගෙන යන පුස් සුවඳ නිසා දැනුන අපුල ගතියෙනි. තම විශ්වාසවන්ත සේවකයෙකුවූ සිරිවර්ධන මෙසේ හැසිරී තිබීම අදහාගැනීමට නොහැකිව ඇතිවුනු කෝපය මුසු කලකිරීමෙන් තෝරපු ලිපිද රැගෙන ඔහු නැගී සිටියේය. තම කාමරයට ගොස් පුටුවට වැටුනේ හිස මත රැදි විශාල බරක්ද සමඟිනි. ගුණපාල කැඳවා සිරිවර්ධනගේ මේසය ළඟ තිබූ සියලු අත්‍යවශය ලිපි තෝරා තමන්ට ගෙනවිත් දෙන මෙන් අණකර ගිණුම් පොත්ද රැගෙන ඔහු ඉක්මනින් තම මෝටර් රථය පදවාගෙන ගාල්ල පොලීසිය වෙත ගමන් කළේය. සිරිවර්ධන විසින් තම ආයතනයේ මුල්‍ය වංචා රැසක් කර පැනගොස් ඇතැයි පැමිණිල්ලක් කර ඔහු නිවස බලා ගමන් කළේය.



 එදින රාත්‍රියේ සුචිත්‍රා සමඟින් කතා කිරීමටවත් කාලයක් ඔහුට නොවීය. සුචිත්‍රාත් සිටියේ උපනන්ද ඇයව ගණන් නොගැනීම පිළිබඳව අමනාපවූ සිතෙනි. එහෙත් ඇගේ සිතේ හටගත් අමනාපය ගැන කිසිත් නොදන්නා උපනන්ද ඇය සමඟින් රාත්‍රි කෑමට එක්නොවී ගිණුම්පොත් හා රිසිට් පත් පිරික්සන්නට විය. ඇයත් උපනන්ද හා රාත්‍රි කෑමට එක්නොවීමට තීරණය කරතිබීම නිසාවෙන් කෑම කාමරයට නොගොස් පැන්ටි්‍රයට ගොස් සැන්විච් පෙත්තක් කා කිරිවීදුරුවකින් රෑ කෑමවේල සපයාගෙන නිදන්නට ගියාය. එදින රාත්‍රියේ ගිණුම් පොත් පිරික්සා ඔහු ඇඳට වැටුනේ මැදියම් යාමයත් පසුකළ පසුවය. සුචිත්‍රා උපනන්ද හා අමනාපයෙන් පසුවූ බැවින් ඔහුට සුළු රිදවීමක් කිරීමට ඇය උදෑසන උපනන්දව ඇහැරවාලීම නොකළාය. කාන්තා සංගමයේ පෙර යොදාගත් වැඩක්ද නොතිබූ නමුත් එහි රැස්වීමකට යන බව මාටින්ට පවසා ඈ ෂෙරිල් හමුවීමට රුපලාවන්‍යාගාරයට ගියාය. උපනන්දව මාටින් විසින් අවදිකරන විටත් උදෑසන දහයට ආසන්නවී තිබුණි. 

“කෝ මාටින් නෝනා?”

“නෝනා අර මොකක්ද සංගමයේ රැස්වීමක් තියෙනවා කීවා. ඒකට යනවා කියන්ඩ කීවා.”

“ඉතිං ඇයි මාව කීද්දුවෙ නැත්තේ?”

“නෝනා කීවා මහත්තයා ගොඩාක් රාත්තිරිය වෙනකං වැඩකරපු නිසා ටිකක් නිදා ගත්තාවේ කියලා. අන්න මහත්තයා මුණ ගැහෙන්න පොලීසියෙන් ඇවිල්ලා ඉන්නවා.”

“ඒ අයට ඉදගෙන ඉන්න කියන්න මම ඉක්මනට එනවා.” 

කී උපනන්ද නාන කාමරයට වැදුනි. ඉක්මනින් මුහුණ කට සෝදා ගත් උපනන්ද සරමකින් හා කමිසයකින් සැරසී බොත්තම් පියවමින් සාලය වෙත එනවිට මාටින් විසින් පිළියෙල කරන ලද තේ කෝප්පයක් පානයකරමින් ගාල්ල පොලීසියේ පොලිස් පරික්ෂක වීරසිංහ හා තවත් කොස්තාපල්වරු දෙදෙනෙක් සාලයේ  වාඩිවී සිටියෝය.

“ගුඩ් මොර්නින් මිස්ටර් උපනන්ද.”

“ගුඩ් මොර්නින් ඉන්ස්පෙක්ටර් මොකද අද උදෙන්ම. අපේ මිනිහා ගැන ආරංචියක්වත් ලැබුනාද?”

“අපි වෙන වැඩකට යන ගමන් මෙහාටත් ගොඩවුණේ. ඊයේ අපි ගියා සිරිවර්ධනගේ ගෙදරට. මිනිහා අපිට මඟ ඇරලා ගිහිල්ලා තියෙනවා.”

“ඒ කියන්නේ?”

“මිනිහා අපි එන්න ඉස්සර වෙලා බඩුමූට්ටුත් අරන් පැනලා ගිහිල්ලා. මිස්ටර් උපනන්ද දන්නවාද ඔය මිනිහාගේ ගමේ ගෙවල් තියෙන දිහා?”

“මං දන්න තරමින් නම් සිරිවර්ධන බදුල්ල පැත්තේ. අපේ ගුණපාලත් බදුල්ල පැත්තේ, එයා නම් දන්නවා ඇති. මම ඇඩ්රස් එක ඉන්ස්පෙක්ටර්ට දෙන්නම්.”

“හොඳයි එහෙනම් මට ඒක ඉක්මනටම ලැබෙන්න සලස්සවන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්.”

පොලීස් නිලධාරින් පිටත්ව ගිය පසු උපනන්ද තම ව්‍යාපාරික ස්ථානයට නොගොස් ගිණුම් පොත් පරික්ෂා කළත් ඒ පිළිබඳවූ අල්ප දැනුම නිසා ඔහුට අක්‍රමිකතා සොයා ගත හැකිවූයේ සීමිත ගණනකි. තමා මෙසේ වෙහෙසීමෙන් ඵලක් නොවන බව ඔහුට වැටහුනේ ගිණුම්කරණය තමාට නුපුරුදු විෂයක් වුයෙනි. එම කටයුතු විගණන සාමාගමක් වෙත පැවරීම සුදුසු යැයි සිතා ඔහු එම කටයුතු එදින සවස් වරුවේ විගණන සමාගමක් වෙතට ගොස් එයට පැවරීය. 


පසුදින උදයේම මාටින් දැනුම් දුන්නේ ඔහුගේ මත්ස්‍යාගාරයේ පාලක නන්දන පැමිණ සිටින බවය. ඔහු කවරදාක වත් මෙසේ උපනන්දගේ නිවසට හදිසියේ පැමිණ නොතිබූ නමුත් උපනන්ද සිතුවේ සිරිවර්ධන ගැන ආරංචියක් රැගෙන ඔහු තමා හමුවන්නට පැමිණ ඇතැයි යනුවෙනි. උඩුමහලින් පහළට පඩිපෙලෙන් බහින අතරතුර උපනන්ද බැලුවේ සාලයේ සිටගෙන සිටින නන්දන දෙසය. දෑස් රතු කරගෙන හිසකේ අවුල්ව කලබලයෙන් නොවීසිලිමත්ව එහාමෙහා බලමින් සිටි ඔහුගේ මුහුණෙන් නිදිවරාපු වෙහෙසකාරී හා බියපත් පෙනුමක් පෙනෙන්නට විය. 

“ඇයි නන්දන කලබලයෙන්?”

“හරි වැඩක්නේ මහත්තයෝ වෙන්නේ. හෙටනේ අපේ අලුත් ඕඩරයට ෂිප්මන්ට් එක යවන්න තිබුනේ.”

“ඉතිං.”

“මාළුන් එකා දෙන්නා මැරෙන්න ගත්තා.”

එය ඇසීමෙන් උපනන්ද මහත්සේ කලබලයට පත්විය.

“ඇයි ඔයාලා ටැංකිවලට එයාර් දාලා තිබුනේ නැද්ද?”

“ඇයි මහත්තයෝ අපි එහෙම නොකර ඉන්නවාද?”

“එහෙනම් වතුරට මොනවා හරි වසක් විසක් වත් දාලාද?”

“වෙන්න බැහැ මම සවසත් වතුරේ පි එච් එක චෙක්කරළා තිබ්බේ. ඊයේ රාත්තිරියේ ඩියුටි හිටියේ අබේයි ජිනදාසයි.”

“දැන් මොකද මාළුන්ට කළේ?”

“අපි හොඳ මාළුන්ව වෙන් කළා. අනෙක් මාළුන්ට බෙහෙත් දැම්මා. තාම නම් හරියන පාටක් නැහැ. අනෙක් ටැංකි වලටත් ලෙඩේ බෝ වෙනවා වගේ පෙනෙන්නේ.”

“එහෙනම් ඉක්මනටම ඒවාටත් බෙහෙත් දාන්න .”

“කොහොමද මහත්තයෝ බෙහෙත් දාන්නේ ලෙඩේ දන්නේ නැතිව. මම සැකේට දාපූ ඒවාටත් ගුණයක් පේන්නේ නැතිව.”

“එහෙනම් තමුසේ ඉක්මනට අර ඩොක්ටර් පෙරේරාට කතාකරනවා. පුලුවන් තරම් ඉක්මණටම ගාල්ලට එන්න කියන්න. නැත්තම් වාහනයක් අරගෙන ගිහිල්ලා එක්කගෙන එනවා. මම එහාට එන්නම්. මාළු මැරුණොත් අපි ඉවරයි.”

උපනන්ද හිස ගිනිගත්තේකු සේ ඉහළ මාලයට දිව ගියේය.


★    ★ ★ ★ ★ ★ ★


ටිකෙන් ටික සුචිත්‍රාද ෂෙරිල්ගේ විලාසිතා අනුකරණය කරන්නට වූයේ ෂෙරිල් විසින් ඇයට කලිසම් හා ශරිරය පෙනෙන විවිධ ඇඳුම් පැලඳුම් හුරු කරවූවායින් පසුවය.  

“බලන්නකෝ ෂෙරිල් උපේ දැන් මාව ගණන්ගන්නේම නැහැ එයා බිස්නස්වලටම ඇලිලා. කොයිම වේලාවකවත් ගෙදර නැහැ. අදත් ඔය උදේන්ම කොහෙද මන්දා දිව්වා. මට ගෙදර ඉන්න බැහැ හරිම පාළුයි.”

“ඉතිං පාළුව යන්නත් එක්ක ළමයෙක් හදන්න තිබුණානේ.”

“කොහේද එයාට ඒවාටවත් වේලාවක් බිස්නස්වලට වැඩිය.”

“පිස්සුද සුචිත්‍රා ඔයාලට ළමයි නැත්තේ එයා බිස්නස්වලට ඇලිලා නිසා නෙමෙයි. ඔයාලා අතර තියෙන වයස් පරතරය නිසයි. ඔයා මොකට මේ වයසින් වැඩි මිනිහාව බැන්දද මන්දා?”

“නෑ ෂෙරිල් උපේ ඉස්සර එහෙම නෑ දැන් ටික දවසක ඉඳලා තමයි මේ. මේ දවස් වල එයාට ප්‍රශ්නත් වැඩියි වාගෙයි.”

“නෑ සුචිත්‍රා එයාලාගේ නොහැකියාව හංගන්න තමයි ඔය බොරුවට වැඩ ගොඩක හිරවෙලා ඉන්නවා වාගේ පෙන්නන්නේ. අද වැඩ ගොඩාක් කළා හරිම මහන්සියි තෙහෙට්ටුයි කියන්නේ ඒකයි. ඔයාට තිබුනේ හොඳට ජීවිතේ එන්ජෝයි කරන්න පුලුවන් තරුණ කොල්ලෙක්ව බඳින්නයි. නාකි බැඳලා කොහොමද මේ වගේ කෙල්ලෙක්ගේ විසේ බස්සන්නේ.”

ෂෙරිල් සුචිත්‍රාගේ නිතඹට පහරක් ගසමින් පැවසුවාය. ඇයට උපනන්දගේ වියපත් වෙමින් පවතින රූපකාය මැවීපෙනුනි.

“ෂෙරිල්ගේ කතාව නම් ඇත්ත තමයි. මම නිකං කාලකන්නි වුණා. අම්මලාට ඕනේ වුණේ මාව සල්ලිකාරයෙකුට බන්දලා දෙන්න විතරයිනේ.” 

ඇයට තමා ගැනම ආත්මානුකම්පාවක් ඇතිවිය. ඈ රුපලාවන්‍යාගාරයේ වීදුරු කවුළු තුළින් මහාවීදියේ එහා මෙහා යන මිනිසුන් දෙස බලමින් කල්පනා කරන්නට විය.

“මේ සුචිත්‍රා මොනවාද අනේ ඔයා කල්පනා කරන්නේ? ඕවා ගණන් ගන්න එපා. ඔය ප්‍රශ්න අමතක කරන්න එක්ක හෙට අපේ ගෙට්ටු ගෙදර් එකට ඔයා එනවා නේද? අපිට හොඳ ජොලියක් දාන්නත් පුලුවන්.”

“බලමු ෂෙරිල් උපේ යන්න දෙයිද දන්නෙ නැහැ.”

“ඔයා කොහොම හරි එන්න ඕනේ. අනිත් එන්ජිඕ සංවිධානවල අයත් මේකට එනවා. අනික අපේ හෙඩ් ඔෆිස් එකේ කට්ටියත් අනිවාර්යයෙන්ම එනවා. ඔය දෙගොල්ලෝම අඳුනගන්න එක හොඳයිනේ.” 

“හරි මම උපේගෙන් කොහොම හරි පර්මිෂන් ගන්නම්.”

ෂෙරිල්ගේ බලකිරීමෙන් ඇගේ සිතෙත් එම පාටියට යෑමට ආශාවක් ඇතිවිය. ඇය නිවසට එන අතරවාරයේ කෙසේහෝ උපනන්දගෙන් අවසර ගෙන සාදයට යෑමට ඉටාගත්තීය. ඇය නිවසට පැමිණෙන විටත් උපනන්ද නිවසට පැමිණ තිබුණේ නැත. ඇය මෝටර් රිය ගරාජයට දමා නිදන කාමරයට වැදුනාය. ගතේවූ දහඩිය යන්නට දියනාගෙන ඉහලමාලයේ සැදෑල්ලටවී පුවත්පතක් කියවමින් හුන් ඈට උපනන්දගේ මොටර් රිය ගෙවත්තට ඇතුලු වන හඬ ඇසුණි. දිනය පුරා ඉතාමත් වෙහෙසමහන්සිව තෙහෙට්ටු ගතියෙන් සිටි උපනන්ද උඩුමහලට ගොඩවීමට හිමිහිට තරප්පු පෙළ නගින්නට විය. ඔහුගේ පෙනුම මේ දිනවල වඩාත් වියපත්වී ඇතිබවක් සුචිත්‍රාට පෙණුනි. ඔහු තරප්පුපෙළ නැඟ අවසන්ව ටික වේලාවක් එතැනම නතරවී සිටියේ ධාවන තරගයක් නිමකළ පුද්ගලයෙකු තම මහන්සිය හැරගැන්මට යම් ඉසිඹුවක් ලබාගන්නාක් මෙනි. 

“ඇයි උපේ ඔයාට සනිප නැද්ද?”

කඩිසර ක්‍රියාශීලි පුද්ගලයෙකු ලෙස උපනන්දව දුටු සුචිත්‍රා අද වෙනදා නොදුටු වෙහෙසාකාරි ගතියකින් පෙලෙනු දැක ඇසුවාය.

“නෑ සුචිත්‍රා හරිම තෙහෙට්ටුයි මේ දවස්වල කෙලවරක් නැති කරදර.”

“ඇයි උපේ ?”

“අර පාහාරයා කරපු වැඩේ. මම ඌව ඕනෑවටත් වඩා විශ්වාස කළා බලනකොට මූ මහ පල් හොරෙක්නේ.”

“කවුද උපේ කවුද?”

“සිරිවර්ධන. අර එකවුට්න්ස් ක්ලාක්. ඌ අපේ සල්ලි ගොඩාක් වංචා කරලා තියෙනවා. මට ඒකත් අහුවුණේ ෑඡත්‍ එකට සල්ලි ගෙවලා නැති නිසා චෙක් කරන්න ආපූ නිසයි. තව ටිකෙන් ඉන්කම් ටැක්ස්වලින්නුත් පැනලා නඩුත් වැටෙනවා.”

“ඉතිං මිනිහාව අස්කළාද? පොලීසියට අල්ලලා දෙන්නනේ තිබුනේ.”

“කොහේ අස්කරන්නද මිනිහා පැනලා ගිහිල්ලා. මම පොලීසියට දන්වලා තියෙන්නේ. ඒ මදිවට අපේ අලුත් ඕඩරේට ෂිප්මන්ට් එකත් දීගන්න බැරිවුණා.”

“ඇයි සිරිවර්ධන කළ වැඩෙන්ද?”

“නැහැ සුචිත්‍රා මාළුන්ට විෂබිජයක්ද කොහෙදෝ ගිහිල්ලා. මාළුන් ගොඩාක් නැතිවුණා.”

“අයියෝ ඔක්කෝම මළාද?”

“නැහැ එත් අනෙක් මාළුන්ටත් ලෙඩේ බෝවෙලා වගේ පේන්නේ.”

උපනන්ද නිදන කාමරයට යන ගමන් කීවේය. ඇයට ඔහු ගැන ශෝකයක් උපන්නේය. මෙතෙක් දිනක් ඔහු හා කතාබස් නොකර සිටීමෙන් ඔහුගේ ව්‍යාපාරයට සිදුවූදෙයක් නොදැන සිටීම ගැන ඇයට කණගාටුවක් ඇති විය. පසුදින සවස පවත්වනු ලබන සාදයට එක්වීමට උපනන්දව කැමති කරගන්නේ කෙසේදැයි සුචිත්‍රා සිතන්නට වූවාය. මේ සා විශාල කරදර ගොඩක පැටලී සිටින තම සැමියාගෙන් තමා සාදයකට යෑමට ඉල්ලීම කෙතරම් අනුචිත ක්‍රියාවක්දැයි ඇයට සිතුණි. නමුත් ෂෙරිල් විසින් ඇගේ සිතට කාවද්දනු ලැබූ සාදයට යෑමේ ප්‍රතිලාභ ගැන සිතන කල්හි ඇයට උපනන්දගේ කරදර ගොඩ අමතක වීම ඉබේම සිදුවන්නට විය. රාත්‍රි කෑම ගන්නා අතරතුරදී ඇය තම සිතැගි එළියට දැම්මාය.

“උපේ අපේ කාන්තා සංවිධාන වල එකමුතුවෙන්  හෙට ගෙට්ටු ගෙදර් එකක් තියෙනවා ලයිට් හවුස් හෝටලේ. අපේ ඔක්කෝම ඒකට යනවා.”

“සුචිත්‍රා ඔයා යන්න. මට නං ඕවායේ යන්න වේලාවක් නෑ. මම හෙට උදේම පේරාදෙනියේ වෙට් ෆැකල්ටියට යනවා. මේ ලෙඩේ මොකද්ද කියලා බලන්න.”

“ඉතිං ඔයා හවසට එනවානේද?”

“මම එනකොට රෑ වෙන්න පුලුවන් සමහර විට එහේ නතරවෙන්නත් සිද්ධවෙයිද කියන්න දන්නේ නැහැ. ඔය පාටි වලට යන්න පුලුවන් මානසික තත්ත්වයක නොවෙයි මම ඉන්නේ. මේ වෙලාවේ බලන්න ඕනේ අනෙක් මාළු ටික දෙනාවවත් බේරාගන්නයි. ඔයා යන්න, ගිහින් එන්න.”

ඔහු තම අවසරය ඇයට ලබාදුන්නේය.


★    ★ ★ ★ ★ ★ ★


 උපනන්ද පසුදින අලුයමින්ම පේරදෙනියේ පශු වෛද්‍ය පිඨය බලා පිටත්වුයේ රෝගි මාලු කිහිප දෙනෙක් සමඟින්ය. හවස් යාමයේ සුචිත්‍රාද ෂෙරිල් හා සාදයට යැමට ලැහැස්ති වූවාය. ෂෙරිල්ගේ ඉල්ලීම පිට තෝරාගත් කෙටි ගවුමෙන් සැරසුණු ඇයට මඳ ලැජ්ජාවක් ඇතිවූයේ තම දෙපා වැඩිහරියක්ම නිරාවරණය වන බැවිනි. කෙටි ගවුම ගලවා දමා සුපුරුදු පරිදි සාරියකින් සැරසී යාමට ඇයට සිතුණි. එහෙත් එවැනි සාද සඳහා සාරි ඔබින්නේ නැති බව කියා ෂෙරිල්ගේ බලකිරීම මත එම අදහස අතහැර දැම්මාය. ෂෙරිල් ඇයටත් වඩා ඉතා කෙටි සායකින් සැරසීගත්තාය. එයත් අඟල් හයක් පමණ පිටු පසින් විවරව තිබුණේ ඇගේ ශ්වේත වර්ණ කලවා යුග්ම නිරාවරණය කරමිනි. ඇය සුචිත්‍රාටත් වත්සුනු තවරා තම කාරිය අවසන් කළාය. කෙටි ගවුමෙන් සැරසුනු සුචිත්‍රා කන්ණාඩිය ඉදිරියේ සිටගෙන දෙපසට හැරී බැලුවේ තම තුරුණු රූසපුව දෙසය. අත් රහිත ගවුමෙන් තම පිරුණු ළැමත් අඩි උස පාවහන් යුගලයෙන් ඇගේ නිතඹත් පිටුපසත් හොඳින් ඉස්මතුවී පෙනෙන්නට විය. තමා කොතරම් ලස්සනදැයි ඇයට සිතුනි. ඔවුන් දෙදෙනා නීතා පැමිණෙන තෙක් බලාසිටියේ ඇගේ සැමියා සතු ප්‍රාඩෝ මොටර් රියෙන් එම සාදයට පිටත්ව යෑමටය.


මතුසම්බන්ධයි......


Friday, March 19, 2021

හෝරස්ගේ දරුවා - හතරවන දිගහැරුම Son of Horus - 4

 


නිවසේ ඉදිරියෙන් තාරපාර හරහා ඇද ඇති කොහුලණුවේ එල්ලුණු කහ පැහැගැන්වුණු සුදු කොඩි දෙක අවු වැසි වලින් නිරුපද්‍රිතව කඩින් කඩ හමන මඳ සුළගට ලෙලදෙයි. තරුණ කළ හැඳුනුම්පතට ගත්  ඡායාරූපයකින් හැඩවී නිවස දෙපස ලයිට් කනුවල ඇලවුනු පියසෝම රත්නායකගේ මරණ දැන්වීමේ කොළවල උඩින් ගෑවුණු පාප්පවලට ඇල්ලූ කළු පුස් පැල්ලම් වියළී ගොසිනි. විමලා හා පියසෝමගේ මංගල ඡායාරූපය අනෙක්පස හැරවී බිත්තිය දෙස බලාගෙන ඉඳියි. සාලයේ කොනක ශෝකය ප්‍රකාශ කර තාප්පවල ගැටගසා තිබුනු අවමංගල්‍යාධාර සමිතියේ හා කර්මාන්තශාලාවේ බැනර් කිහිපයක් අපිලිවෙලට වැතිර ඇත. නිවස පුරාම මූසල නිහඩතාවයකින් පිරී ඇති බව නිමාලිට සිතුණි. තමා වාඩිවී සිටි පුටුවෙන් නැගිට සාලය අතුගා දැමීමට තරම්වත් ප්‍රාණයක් ඇයට දැනුණේ නැත. තාත්තාගේ දේහය රැගෙන ගිය අවමඟුල් පෙරහැරේ බෙරයෙන් වැයුනු බොල් හඬ තවමත් ඇගේ දෙසවනට ඇසෙන්නාක් මෙන් දැනෙන්නට විය. දෙකොපුල් තෙමාගෙන කඳුළු වැලක් ඇයටත් නොදැනීම පහළට වැටුනි. නෑ හිතමිතුරන් එක්ව අවමඟුලත් හත්දොහේ දානයත් එකලාසයක් කරවූයේ නැතිනම් තවමත් සිහිකල්පනාවක් නොමැතිව සිටින අම්මා හා නංගීත් සමඟින් මේ කටයුතු කෙසේ ඉවරකරගන්නේ දැයි නිමාලිට සිතාගත නොහැකි වූවාය. දානයේ කටයුතු වලින් පසුව රැස්ව සිටි එකා දෙන්නා ඉවත් වී ගියපසු මහා වටවරුසාවකින් පසුව එන නිශ්ශබ්දතාවයක් මෙන් පාළු ගතියකින් මුළු නිවසම වෙලාගෙන ඇති බව ඇයට හැගුනි. දෙකම්මුල් හරහා ගලාගිය කඳුළු පිසදාගත් නිමාලි නැගීසිටියේ තම මාමා හා අම්මා ගැන ඇතිවුනු කෝපයෙනි. එදින තමා ගෙදර සිටියේනම් මේ විපත තාත්තාට සිදුනොවන බව සිතා ඈ දුක්වූවාය. දැන් මුළු පවුලම තනිවී ඇති බව ඇයට සිතුනි. පාර අද්දරට ගොස් මඟබලා සිටියේ අරුණවත් අද දින එයිදැයි විමසිලිමත්වෙමිනි. 

“තාත්තා රත්තරන් නැවක් හොයන්න ගිහිල්ලා නේද අපි ඔක්කෝම අනාථ වුණේ. අම්මා කේන්ති ගන්නේ නැතිව ඕක තාත්තාට පහදලා දුන්නානම් අද තාත්තත් මාමාත් අපිට ඉන්නවා නේද?”

“තාත්තා හැම තැනකටම ණයවෙලා තිබුන හින්දා එදා මට බෙහෙත් අරගන්න අම්මා එයාගේ කරාබු දෙකත් උකස් කරන්න ඇත්තේ. දැන් කොහොම හරි මේ ණය වලින් කොටස කොටස වත් බේරාදාන්න නම් අරුණට කියලා ඉක්මනටම ගාමන්ට් එකක වත් රස්සාවක් හොයාගන්න බලන්න ඕනේ. එයානම් කැමති වෙන එකක් නෑ. ඒත් මේ ගෙදර තවත් ප්‍රශ්න වැඩි වෙන්න කලියෙන් එහෙම එකක්වත් ලැබුනොත් හොඳයි.”

නිමාලි එසේ සිතමින් යළි නිවස දෙසට හැරුනාය.

නිමාලි තවමත් අසනීපයෙන් ප්‍රකෘති තත්ත්වයට පත්වී නොසිටියාය. ඇයට නිසි ආකාරව බෙහෙත් පාවිච්චි කිරීමට පියසෝමගේ අවමඟුල නිසා නොහැකිවිය. හොඳින් පිරුණු ශරිරයක් තිබූ නිමාලි කෘෂව සුදුමැලිවී හේබාගිය ස්වභාවයක් ඉසිලීය. ඇයට තම ඇඟිලි දෙස බැලින. ඒවා කලුවී නියපොතු පවා විකෘතිවී ගොසිනි.

“මේකනම් වුණේ අර තාත්තා ගෙනාපු බඳුන සුද්ද කරන්න ගිහිල්ලා කාවට්ටි විස ගහලා තමයි.” 

ඇයට තම ඇඟිලි දැක හීල්ලුනි. ඇඟිලි දෙස බලාගෙන ගැඹුරු කල්පනාවකට මැඳිව සිටින විට නිවසේ ඉදිරිපස මොටර් රථයක් නවතනු හඬ ඇයට නෑසින. නවීන පන්නයේ ටොයොටා මොටර් රථයෙන්  එළියටබට පුද්ගලයා මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් ඇත්තෙකු විය. සම්පුර්ණයෙන්ම රැවුල මුඩුකරන ලද මුහුණේ යාන්තමට තරුණ කළ සිට ඉතිරිව ආ කුරුලෑ කැළැල් කිහිපයක් ඉතිරිව ඇත. හිසේ ඉදිරියෙන් මඳක් අඩුව ගොස් පෑදීගෙන එන තට්ටය පැත්තට පීරා තිබූ කොණ්ඩය මඟින් වසා ගත්, විසිතුරු මසුන් අපනයනය කිරීමේ විශාල ව්‍යාපාරයක හිමිකරුවූ උපනන්ද සිල්වා මහතායි. ව්‍යාපාර කටයුත්තක් සඳහා සිංගප්පුරුවට ගොස් සිටියෙන්  පියසෝමගේ අවමඟුල් කටයුතුවලට සහභාගිවීමට නොහැකිවූවත් මුල්‍යමය අතින් නිමාලිලාට නොමසුරුව ආධාර උපකාර ලබාදුන්නේය. පියසෝම විසින් මුහුදෙන් අල්ලා ගන්නාලද විසිතුරු මසුන් අලෙවිකළේද උපනන්ද සිල්වා මහතාටයි. තම ව්‍යාපාරය ආරම්භකළ අවදියේ සිටම පියසෝම තමාට මසුන් අල්ලාදීමෙන් තම ව්‍යාපාරය ඉහළට ගෙනයෑමට අඩිතාලම දමා දුන් අයුරු කිසිදා ඔහු අමතක නොකළේය. පෙර දින රාත්‍රියේ ලංකාවට පැමිණි ඔහු තම ව්‍යාපාරයේ අත්‍යවශය කටයුතුවලින් පසු ඉක්මනින්ම පිසෝමගේ නිවස බලාගියේ නිවසට අවශ්‍යය කළමනා ටිකක්ද රැගෙනයි. නිවසේ ඉස්තෝප්පුවට ගොඩවූ ඔහු උස් හඬින් කතාකළේය.

“කෝ ගෙදර කවුරුත් නැද්ද?”

“ආ මේ උපන්නද මහත්තයානේ එන්න ඇතුලට ඇවිත් වාඩිවෙන්න.”

නිමාලි ඔහුව පිළිගත්තාය. උපන්නද මහතා පිටුපසින් රියදුරු මාටින් පැමිණ ඔහුගෙනා කළමනා අඩංගු පාර්සල් කිහිපය බිම තැබුවේය.

“ආ මෙන්න මේ බඩු ටික ගෙදරින් අරන් තියන්න.”

“මහත්තයා කවද්ද ලංකාවට ආවේ?”

“ඊයේ රාත්තිරියේ. එහේ වැඩටික ඉවරකරගෙන එන්න සිද්ධ වුනා ඒ නිසයි මට තාත්තාගේ මළගමට එන්න බැරිවුනේ.”

“ඒකට කමක් නැහැ මහත්තයෝ සහභාගිවෙන්න බැරිවුණාට. මහත්තයා අපිට ගොඩාක් උදව්උපකාර කළානේ. ඒ මදිද.”

“මට හරිම කනගාටුයි තාත්තාට වෙච්චිදේ ගැන. පියසෝම හරිම හොඳ මනුස්සයෙක්. මට එයා ගොඩාක් උදව්කරලා තියෙනවා. කෝ ළමයෝ අම්මා?”

උපන්නද මහතා වටපිට බලමින් ඇසුවේය.

“ඔය කාමරේට වෙලා ඉන්නේ. එයානං තාම හොඳ සිහියෙන් නෙමෙයි ඉන්නේ.”

“ඔය ගතිය ටික දවසකින් ඇරිලායයි.”

“අම්මා හරියට දුක්වෙනවා. එයා නිසා මේ කරදරය තාත්තාට සිද්ධවුනා කියලා නිතරම කියවනවා.”

“ඕවා හදිසි කෝපයට සිද්ධවෙන දේවල්නේ.”   

“මටත් දරාගෙන ඉන්ට බැහැ මහත්තයෝ තාත්තා එකපාරටම හොරු ගෙනිච්චා වාගේ. මට තාත්තා ගෙදර ඉන්නවා වාගේ දැනෙනවා. මට එදා ලෙඩවෙලා ඉස්පිරිතාලේ නතරවුනේ නැත්නම් මේ විපත්තිය තාත්තාට සිද්ධ නොවෙන්න තිබුණා.”

“දුව දැන් දුක්වෙන්න එපා,පියසෝම ගෙනාපු ආයුෂ ප්‍රමාණය වෙන්න ඇත්තේ ඔච්චරයි. දැන් ඔයා ඒවා ගැන හිතලාම ආයිමත් ලෙඩ වෙනවා. දැන් ඔය ළමයා හිතන්න ඕනේ අම්මයි නංගියි ගැන. තාත්තා නැතෙයි කියලා නොහිතා අවශ්‍යය කරන දෙයක් තියේනං මට කියන්න. මං අවශ්‍යය කරන දේවල් කරලා දෙන්නම්.”

“මහත්තයා මේ ටික දොහොට කරපු උපකාර අපිට ඉහටත් උඩින් කරලා තියෙනවා. තවත් නං ඔය මහත්තයාට කරදරයක් වෙන්න බැහැ.”

“හරි හරි ළමයෝ ඕක මොකක්ද. දැන් මේ ළමයා මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ?”

“අනේ මහත්තයෝ ලොකු උපකාරයක් මට රස්සාවක් හොයලා දුන්නොත්. මට පුළුවනි ගෙදර තියෙන ණය තුරුස් වලින් ටිකක් හරි ගෙවලා අඩුකරගන්න. තාත්තගේ මිනීමරුවා වුණත් මාමාව බලන්න කවුරුත් නෑ. එයාට වියදම් කරන්න වෙන්නෙත් අපිටම තමයි. මිනිස්සු නං හිනාවෙයි තමන්ගේ තාත්තා මරාපු මිනීමරුවාව බේරාගන්න හදනවා කියලා. මේවා මතක් වෙන කොටත් මට පිස්සු හැදෙන්න වාගේ. අම්මා සමහරදාට තාත්තා ඇවිල්ලා කියලා දොර අරින්නත් හදනවා.”

“හොඳයි මම ඔය ළමයාට රස්සාවක් හොයලා දෙන්න බලන්නම්. මට හිතෙන්නේ ටික දවසකට හරි ඔයාලා මේ ගෙදරින් පිටවෙලා හිටියානම් හොඳයි.” 

“මට ඒක තේරුනේ නැහැ. අපි කොහේ යන්නද?”

“මම කියන්නේ මේ ගෙදර කුලියට දීලා වෙනින් ගෙදරකට පදිංචියට යන්න කියලා. එතකොට ඔය පරණ සිදුවීම් අමතක කරන්න පුලුවන්.”  

“ඔව් ඒකනං ඇත්ත තමයි.”

“එහෙනං මට දැන් යන්න තියෙනවා තව වැඩ වගයක් කරගන්න. මම පියසෝම වෙනුවෙන් මට පුළුවන් උපකාරයක් කරනවා. ඔය ළමයා ලැජ්ජා වෙන්නේ නැතිව අවශ්‍යය දෙයක් තියේනං මට කියන්න. අම්මාටත් කියන්න මං ඇවිත් ගියා කියලා.”

උපන්නද මහතා පිටත්වීමට සැරසෙද්දි අහම්බයක් මෙන් ඔහුගේ නෙත් යොමුවූයේ පියසෝම මුහුදෙන් ගොඩගත් බඳුන දෙසටය. එය තවමත් නොසැලී බිත්ති රාක්කය මත තිබුනි.

“අර මොකක්ද ළමයෝ අතන තියෙන්නේ?”

ඔහු යළි හැරී අවුත් එය අතට ගෙන පරීක්ෂාකර බලන්නට විය. 

“ෂා නියම ඇන්ටික් බඩුවක්නේ. කොහෙන්ද දරුවෝ මේක ලැබුනේ ?”

“තාත්තා දවසක් මුදේ තිබිලා ගොඩට ගෙනාපු බුජමක්.”

“මුහුදෙන් ගොඩට ගෙනාපු එකක්?”

“ඔව්, ඕක හින්දා තමයි අපිට හැම විපත්තියක්ම සිද්ධවුනේ. මං අසනීපවෙලා ඉස්පිරිතාලේ ඉන්නවුනෙත් ඕක සුද්ද කරන්න ගිහිල්ලා බැඳිලා තිබුනු කාවට්ටි වල විසට තමයි.”

“මේක හුඟාක් පරණ එකක් වගේයි.”

“ඔව් මේක පරණ එකක් වෙන්න ඕනේ. මේක මුදේ ගිලුණු නැවක් ළඟ තිබිලා තමයි තාත්තා ගොඩට ගෙනවිත් තියෙන්නේ.”

නිමාලි දුන් පිළිතුර ඇසුනු උපනන්ද එම බඳුන හිමිකර ගැනිමේ ආශාවකින් පෙළෙන්නට විය. ඔහු තම ආශාවන් දෝරේ ගලන දෑසින් එම බඳුන දෙපසට හරවමින් එහි අලංකාරය විඳීමට උත්සාහ කළේය.

“ඇයි මහත්තයා ඔච්චර ඕක දිහා බලන්නේ? මහත්තයා දන්නවාද ඔය බුජම ගැන?”

“නෑ මං නිකන් බැලුවේ. මම පරණ බඩු වලට ආසයි. ඒවා එකතුකරන එක මගේ විනෝදාංශයක්.”

ඔහු යළි එම බඳුන නිමාලි අතට දෙන ගමන් පැවසුවේය.

“මේක නිසයි අපිට තාත්තා නැතිවුනේ. දැන් ඉතින් මේක තිබිලාත් වැඩක් නැහැ. මහත්තයාට ඕනේනම් අරගෙන යන්න.”

“මම මේක නිකන් ගන්න එක හොඳ නෑනේ ළමයෝ. ඔයා මේක මට විකුණන්න.”

“අනේ මහත්තයෝ අපිට කරපු උදව් උපකාරවලට මේක මහත්තයාට විකුණන්න බැහැ. මහත්තයා අරගෙන යන්න.”

ඇන්ටික් බඩුවලට ආශා කරන්නෙකුවූ උපනන්ද සතුව විශාල ඇන්ටික් බඩු එකතුවක්ද විය. මේ වන විට අගහිඟ කමින් පෙලෙන පියසෝමගේ පවුලේ දේපලක්ව තිබෙන මෙම බඳුන නොමිලයේ රැගෙන යාමට උපනන්ද කැමති නොවීය. නිමාලි විසින් එපා කියද්දීත් ඔහු තම පසුම්බියෙන් රුපියල් පන්දාහක් මේසය මත තබා බඳුන රැගෙන ගොස් තම මොටර් රථයේ පිටුපස අසුන මත තැබීය. නිමාලිට ඉක්මනින් රැකියාවක් සොයාදීමට පොරොන්දුවී ඔහු එදින යොදාගත් වැඩද පසෙක ලා හනික තම නිවෙස බලා ගියේය.


     උපනන්ද සිල්වාගේ නිවස පර්චස් තිහක පමණ භුමිභාගයක ඉදිවීතිබු ගැමි පරිසරයට ආසන්න නිස්කලංක පෙදෙසක පිහිටා ඇති නවීන පන්නයේ දෙමහල් නිවසකි. මැතකදි ගොඩනංවන ලද නිවසට පිටු පසින් වන වෙල්යායෙන් හමා එන මඳනලද එම නිවසට අලංකාරය මෙන්ම සිසිලසද ඇතිකරනු ලැබීය. උපනන්දගේ එම නිවසේ සිටියේ උපනන්දට වඩා අවුරුදු දහයකින් පමණ ලාබාල තරුණ රූමත් බිරිඳ වු සුචිත්‍රා හා ඉවුම්පිහුම් කිරීමට තංගම්මා නැමති වතුකරේ දෙමළ ගැහැණියත් රියදුරුකමේ සිටන් අනෙකුත් සියලු රාජකාරින් ඉටුකරන මාටින් නැමැත්තාත් පමණි. උපනන්දගේ හා සුචිත්‍රාගේ කැදැල්ල එකලු කිරීමට දරුවෙකු නොමැතිවීම මොවුන් දෙදෙනාටම විශාල ප්‍රශ්නයක් විය. එබැවින්දෝ සුචිත්‍රා නිරන්තරව ආගමානුකූල දිවිපෙවතක් ගත කරන්නට විය. වෙනත් තරුණ බිරියන් මෙන් නොව ඇය බාහිර ආටෝපයන් ගෙන් වෙන්ව චාම් ඇඳුමෙන් පැලඳුමෙන් යුක්තව හැසුරුනාය. උපනන්ද නිවස බලා පැමිණ ඉක්මනින් නිවසට ගොඩවැදුනේ උතුරායන සතුටිනි. ඉතාමත් පැරණි මිල කළ නොහැකි වස්තුවක් ඔහු අතට පත් වූ කලෙක මෙන් ඔහු එම බඳුන කන්තෝරු කාමරය වෙත ගෙනගොස් ප්‍රවේසමෙන් තැන්පත් කළේය. මිල්ටන් මල්ලවාරච්චිගේ ජනප්‍රිය ගීතයක කොටසක් සිවුරන් බාමින් ඔහු නිදන කාමරයට වැදුනි. නිදන ඇඳේ දිගාවී නවකතා පොතක් කියවමින් සිටි සුචිත්‍රාට එක්වරම උපනන්දගේ වෙනස වැටහුනි.

“මොකද උපේ අද හුඟක් සතුටින්. ඔයා දැන්මම එන්නේ නැහැ කිව්වා නේද? ඇයි ස්විප් එකක් වත් ඇදුනාද?”

“මට තේ එකක් හදාගෙන ඔයා ඔපිස් රූම් එකට එන්නකෝ.”

උපනන්ද සැහැල්ලූ ඇඳුමකට මාරුවෙමින් පැවසුවේය. සුචිත්‍රා තේ එකක් පිළියෙලකර කන්තෝරු කාමරයට ඇතුල්වන විට ඔහු පියසෝමගේ බඳුන මේසය මත තබා විශාල කර බලන කන්ණාඩියකින් එය පිරික්සමින් සිටියේය.

“ඔය මොකක්ද උපේ? ඕකද ඔයාට ඔච්චර ජොලියක් ආපූ දේ?”

“ඔයා ඉතින් දන්නවාදැයි ඇන්ටික් බඩු වල වටිනාකම. දන්නවාද මේක හුගාක් පරණයි ඒවාගේම වටිනාකමත් වැඩියි.”

“ඉතිං ඔයා කොහෙන්ද මේක අරගත්තේ?”

ඇය උපනන්දගේ උරහිසට උඩින් එබීබලා ඇසීය.

“මේක තිබුනේ අර මැරුණු පියසෝමගේ ගෙදර. මට පියසෝමගේ මළගමටත් යන්න බැරිවුණු නිසා මම අද එහාටත් ගොඩවුණා. මේක එහේ බිත්ති කබඩ් එකේ තිබුණේ. මම මේක දැකලා ඇහැව්වාම එයාලා මට නිකන් ගෙනියන්න කිව්වා. ඒත් නිකං ගන්න හරිනැති නිසා මං රුපියල් පන්දාහක් දීලා අරගෙන ආවා.”

“ඇයි දෙයියනේ ඔයාට නිකං දුන්න එකට රුපියල් පන්දාහක් දුන්නේ?”

“පිස්සුද සුචිත්‍රා ඒ මිනිස්සු හරිම අමාරුවෙන් දැන් ජීවත්වෙන්නේ. පියසෝම මැරෙනකොට ගොඩාක් ණයවෙලා ඉඳලා තියෙන්නේ. මම නිකං අරගෙන එන එක හරිද? අනික මේක හුගාක් වටින එකක් බව පේනවා මේක පියසෝමට ලැබිලා තියෙන්නේ මුදේ ගිලුණු නැවකින්ලු. ඔයාට පේනවාද මේකේ තියෙන අමුතු හැඩයේ පියන හරියට මුණක් වාගේ. අනික බලන්න මේ බඳේ කොටලා තියෙන අමුතු අකුරු. මටනං හිතෙන්නේ මේක විශාල වටිනාකමක් තියෙන පුරාවස්තුවක්.”

“අනේ මටනං මේකේ වටිනාකමක් නං පේන්නේ නෑ.”

ඇය ඕනෑවට එපාවට මෙන් එය දෙස කිහිපසැරයක් බලා “ඔයාට වටිනවානං කමක් නෑ.”

කියා ඇය ඔහු බී අවසන් කළ තේ කොප්පය රැගෙන පිටත්විය. උපනන්ද එදින හවස් වරුවම ගතකළේ එම බඳුන පරික්ෂා කරමින්ය. අවසන ඔහු එම බඳුනට තම පැරණි බඩු එකතුවේ විශේෂ ස්ථානයක් ලබාදෙනු වස් නිවසේ විසිත්ත කාමරයේ ඇති ඉපැරණි වීදුරු අල්මාරිය තුළ තැන්පත් කළේය. උපනන්ද සතුටින් සිටින අවස්ථාවක් එනතෙක් බලාහුන් සුචිත්‍රා මෙතෙක් දවස් සිතේ සිරකරගෙන සිටි යම් කටයුත්තක් සඳහා උපනන්දගෙන් අවසර ගැනීමට හොඳම දවසයැයි සිතුවාය. සුචිත්‍රාට එදින උපනන්ද සමඟ ටිකක් නිවීසැනසිල්ලේ කතාබහ කරගැනුමට ඉඩ ලැබුනේ රාත්‍රි නින්දට යද්දීය. වායු සමනය කරන ලද නිදන කාමරයේ ලාරෝස පාට දුහුල් නයිටියකින් සැරසී කන්නාඩිය අසළ වරලස පීරමින් සිටි සුචිත්‍රා උපනන්ද දෙස කිහිප සැරයක් යටැසින් බැලුවාය. දුහුල් නයිටිය තුළින් විනිවිද පෙනෙන තුරුණු සිරුර නවයොවුන් තරුණියක මෙන් පියකරුය. බඳ නලවමින් ආ සුචිත්‍රා උපනන්ද අසලින්ම යහනේ වැතිර දෑස අඬවන් කර ඔහු දෙස බැලූවාය. ඇය වෙතින් හමා ආ විලවුන් සුවඳ ඔහුගේ ගතසිත පුබුදු කරවන්නට සමත්විය. 


“උපේ ගිය පෝයට පන්සල් ගියවෙලාවේ මට තිලකාව මුණගැහුනානේ. එයත් එක්ක මගේ පන්තියේ ඉගෙනගත්තු යාලූවෝ දෙන්නෙකුත් ඇවිල්ලා තිබුනා.”

සුචිත්‍රා උපනන්ද දෙසට හැරි කීවාය.

“කවුද තිලකා කියන්නේ?”

“ඇයි අනේ ඔයාට ඔය ටිකට මතක නැතිවුනාද? අර සිටි ෆාමසිය අයිති එක්කෙනාගේ වයිෆ්නේ. අර සුගත්ගේ මඟුල්ගෙදර ඇවිල්ලා හිටියේ.”

“හරි හරි දැන් මට මතකයි. ඉතිං.”

“එයත් එක්ක තමාරා කියලා මගේ පන්තියේ හිටපු යාලුවෙකුත් ඇවිත් හිටියා. මට එයාව ඉස්කෝලෙන් අවුට්වුනාට පස්සේ මේ මුනගැහුනාමයි. එයා තමයි කාන්තා පිහිටාධාර සුබසාධක සංවිධානයේ සංවිධායක. අපිටත් එකට බැඳෙන්න කියලා ඉන්වයිට් කළා.”

“ඔය සංවිධානයෙන් මොකද්ද කෙරෙන්නේ?”

උපනන්ද නොකැමැත්තෙන් මෙන් ඇසීය.

“අසරණ වෙච්ච කාන්තාවන්ට පිහිටවීම තමයි. මේක සමාජසේවා සංවිධානයක් අනේ.”

“ඉතිං ඔයා අසරණ වෙලා නැහැනේ?”

“ඔයා මාව අසරණ කරලා නැහැනේ. ඉස්සරාට අසරණ කරයිද දන්නේ නෑ.”

ඇය දෙවුර සොලවමින් කොක්හඬලා සිනාසුනාය.

“තිලකාත් මේකට බැඳෙනවා කිව්වා. මේකේ සාමාජිකයෝ ඔය ලොකු ලොකු බිස්නස්කාරයන්ගේ වයිෆ්ලා තමයි. අනික ලේසියෙන් වෙන අයට මේකට බැඳෙන්න බැහැ . අනේ උපේ ඔන්න එපා කියන්න එපා මමත් මේකට බැඳෙනවා. මට නිකං මේ ගෙදරට වෙලා ඉදලා එපාවෙලා තියෙන්නේ.”

“ඉතිං මම කොච්චරවත් කියලා තියෙන්නේ ඔයාට පුලුවන්නේ මගේ බිස්නස් වැඩවලට හවුල්වෙන්න. එතකොට ඔය කියන පාළුව ඉබේම නැතිවෙලා යයි.”

“අනේ මේ ඔය බිස්නස් වැඩවලට නං මගේ එච්චර කැමැත්තක් නැති විත්තිය ඔයා දන්නවානේ. අනික මට ඕවා තේරෙන්නේ නැහැ.”

“තේරුම් ගන්න පුලුවන් ටික දවසක් කළාම.”

“ඔව් ඔව් ඔයා එතකොට බංකොලොත්වෙලා ඉඳියි.”

ඇය නෙත් අඬවන් කර ඔහු දෙස ශුංගාරාත්මක බැල්මක් හෙලමින් පැවසීය.

“හරි ඔයා කැමති දෙයක් කරගන්නකෝ.”

ඇගේ අමුතු බැල්මට අවනතවූ ඔහු අවසානයේදී ඇයට අනුමැතිය ලබාදුනි. එදින රාත්‍ර්‍රිියේදී බළලුන්ගේ පොරකෑමක ශබ්දයක් ඇසී උපනන්ද අවදිවුණි. ඇඳෙන් නැගිටින්නට කම්මැලි කමක් දැක්වූ ඔහු ඇඳ ආසන්නයේ තිබූ ටේබල් ලාම්පුව දල්වා ඔරලෝසුවේ වේලාව බැලීය. රාත්‍රිය දැඬි නිශ්ශබ්දතාවයක ගිලී ඇත. වෙල දෙසින් ඇසෙන රැහැයි නාදය තරමක් දුරින් ඇසෙයි. සුව නින්දක වැටී සිටින සුචිත්‍රා ඔහුගේ දකුණු පසින් නිදයි. ඇගේ ලාරෝස පාට දුහුල් නයිටිය තුළින් රිද්මානුකුලව ඉහළ පහළ යන තුරුණු පපුව ඔහුගේ නෙතට අසුවිය. කිසිදු හැලහොල්මනක් නැත. මේස ලාම්පුව අසල තිබුනු වතුර වීදුරුවෙන් උගුරක් බී උගුර කට තෙමාගත් උපනන්ද සිහිනෙන් ඇසුනු ශබ්දයක් ලෙස සලකා අනෙක් පසට හැරී නිදන්නට විය.

මතුසම්බන්ධයි.......

Monday, March 15, 2021

හෝරස්ගේ දරුවා - තුන්වන දිගහැරුම Son of Horus - 3


      කැඩපතින් පෙනෙන තම ප්‍රතිරූපය දෙස බලමින් සිටි පියසෝම තම ජිවිතයේ සුන්දර අතීතයට පියමනින්නට විය. තුරුණු වියේදී හැඩිදැඬි ශරිරයකට උරුමකං කී ඔහුට ඒ කාලයේ තිබූ හින්දි උන්මාදයට අනුව ගාල්ලේ චිත්‍රපට ශාලාවල ගැවසුන අන්දමත් චිත්‍රපට නළුවෙකුවූ රාජේෂ් ඛන්නා මෙන් කොණ්ඩය පීරා සිටි ඔහුට යහලුවන්ගේ සොහොයුරියන් පියසෝම අයියා රාජේෂ් ඛන්නා වාගේ යැයි කීවිට ආඩම්බරයෙන් පිබිදුන අන්දමත් මතකයට නැගුණි.  මඟුල් ගෙදරකදී මනාලියගේ යෙහෙළියට සිටි රූමත් හීන්දෑරි විමලා මෙසේ තරබාරු කටසැර එකියක්වෙයැයි නොසිතුනෙන් ඇතිකරගත් යාළුකම කසාදයකින් කෙලවර වීමත් පියසෝමට සිහිවිය.

“මගේම වැරදි නිසා තමයි විමලා මෙච්චර නරක් වුණේ .”

පියසෝමට සිතුනේය. ළිඳෙන් වතුර පනිට්ටුවක් ඇදගත් ඔහු බේසම පුරවා රැවුල බෑම ඇරඹීය. නිමාලිගේ පෙම්වතාවූ තම දුරින් නෑයෙකුද කොග්ගල වෙළඳ කලාපයේ පිහිටි ගාමන්ට් පැක්ටේරියක මැකෑනික් කෙනෙකු ලෙස සේවය කරන අරුණව මේ වැඩය සඳහා සම්බන්ධ කරගැනීමට සිතීය. ලොකුම පරහ ලෙස සිටියේ අරුණ පිහිනීමට නොදත්තෙකු වීම හා ජලයට ඇති විශාල බියයි.

“තුං නොදකින් අපිටත් හරියන බෑනලා .”

තමාටම කියාගත් ඇසිල්ලෙන් පියසෝමගේ මුහුණ රේසරයට කැපී සිහින් දැවිල්ලක් ඇති කළේය. පැය භාගයක් පමණ කාලයක් ගතකර ඉතා අසීරුවෙන් වැවුනු රැවුල මුඩුකළ ඔහු මුහුණ කට සෝදාගෙන රැකියා ස්ථානයට යැමට ලකලැස්ති විය. බොරු ලෙඩ නිවාඩු අනුමත කරවාගෙන රාත්‍රි සේවා මුරය ලබා ගැනීමට ඔහු තම සිතුවිලි ගොනු කළේය.


“රස්සාවට නොගිහින් මේ මොනවා කරනවාද මන්දා ඒ මදිවාට ලෝකෙටම හතර අතේ ණයත් වෙනවා.”

පියසෝම පුරාවස්තු සෙවීම සඳහා කිමිඳුම් කිරීමෙන් නිවසේ අගහිඟකම් වැඩිවන බව සිතු විමලා කේන්තියෙන් පොඩිදුව නදීකාට පැවසීය.


      නිමාලිගේ දෙඅත්වල ඇඟිලි කැසීමක් හටගෙන දින කිහිපයක් ගතවූවත් එය සුව අතට හැරෙන බවක් නොපෙන්වාම තවත් වැඩිවුණි. ඇඟිලිවල නියමල් අග රතුවී ඉදිමී සැරව ගැලීමට පටන්ගැනුණි.

“අම්මේ මේ අත් බෙහෙත්වලින් නම් ගුණයක් නම් නෑ. එන්න එන්නම වැඩිවෙනවා. මේ බලන්න දැන් ඇඟිලිවල හැටි.”

නිමාලි තම දෑත් දික්කර ඇඟිලි විමලාට පෙන්වූවාය.

“මං උඹට කීවා ඔය බෙල්ලෝ කාවට්ටි අල්ලන්න එපා ඕවා විසයි කියලා කෝ ඇහැව්වායැ. තාත්තාගේ පුරාවස්තුනේ උඹටත් ලොකු වුණේ. යමං හන්දියේ දිස්පැන්සරියෙන්වත් බෙහෙත් ටිකක් ගන්න.”

වෛද්‍යවරයා නිමාලිට ඇඟිලිවල ආලේපකිරීමට ක්‍රීම් වර්ගයක් නිර්දේශ කළෙන් විමලදාස පැමිණි පසු ඔහුට කියා විමලා එම ක්‍රීම් වර්ගය ගෙන්වා ගත්තේ නිවසේ මුදල් නොතිබීමෙන්ය.


      මේ අතරතුර පියසෝම රාත්‍රි සේවය සඳහා යනෙන අතරතුර දිවා කාලයේදීද මුහුද පතුල තුළ ගිලී ඇති රුවල් නැවේ මඩ ඉවත් කරමින් පුරාවස්තු සෙවීමට වෙහෙසෙන්නට විය. රැකියාව කළ ස්ථානයෙන් අතිකාරම් මුදල්ද රැගෙන කිමිඳුම් සඳහා වායු බෝතල් පිරවීමට වියදම් කළ බැවින් ඔහු අත ඊළඟ පඩි දිනය තෙක් මුදලක් නොරැදිනි. නිමාලිගේ ඇඟිලි පැසවීම් අඩුනොවුයෙන් විමලා දෙවන වතාවටත් බෙහෙත් රැගෙන දීම සිදුකලාය. දිස්පැන්සරියේ දොස්තර මහතා නිමාලිගේ ලේ පරික්ෂාවක් සඳහාද නියම කළෙන් විමලා තම කරාබු දෙක උකස්කර කළාය. විමලාගේ කෝපය තවදුරටත් වැඩිවූයේ ඇගේ කරාබු දෙක උකස් කිරීමට සිදුවීම ඇගේ සිතට තදින් බලපෑම් කළ බැවිනි. විසිතුරු මසුන් ඇල්ලීමක් සිදුනොවූවත් ඒ සඳහා යන මුවාවෙන් පියසෝමගේ ක්‍රියාව දිවාකාලයේ කරගෙන යාමට පිටස්තර කිසිවෙකුගෙන් බාධාවක් එල්ල නොවීය. එහෙත් රාත්‍රියේ තම සේවාමුරයට එල්ලවූ විශාලතම බාධකයවූයේ දැඬි වෙහෙස නිසා ඇතිවන නිදිමතයි. මුරවැඩට අවදිව සිටිය යුතුවුවත් පියසෝමට කිසිවිටකත් අවදිව සිටීමට නොහැකිවිය. ඔහුටත් නොදැනිම දෑස් පියවී නින්දට වැටෙන ඔහු යළි අවදිවන්නේ එලිය වැටෙන්නට ආසන්නවීමත් සමඟය.

“පියසෝම අයියේ පියසෝම අයියේ........ නැගිටපන් බං. ඉක්මණට නැගිටපං.”

පියසෝම සමඟින් කර්මාන්ත ශාලාවේ අනෙක් අන්තයේ මුර රාජකාරියේ යෙදෙන හේමසිරි පියසෝමව තදින් සොලෙවමින් සුව නින්දේ සිටි ඔහුව අවදි කරවීය.

ඇයි ඇයි කියමින් පියසෝම තම නිදිබර දෙනෙත් විවර කළ විට බොදවුනු රූපයෙන් පෙනුන හේමසිරි තමා ඉදිරියේ සිටගෙන සිටිනවා දැක්කේය.

“තමුසෙ නම් මාර බඩුවක් තමයි අන්න අරහේ නොම්බර පහේ බඩු ගබඩාව හොරු කඩලා. තමුසෙ මාවත් අමාරුවේ දානවා .”

කියමින් යළි ගබඩාව දෙසට දිව ගියේය.

මේ දකින්නෙ හීනයක්දෝ  සිහි එළවාගත නොහැකිව සිටි පියසෝම වේලාව දෙස බැලුවේය. උදෑසන හතරයි තිස්පහ එහි සටහන්ව තිබීම දුටු පියසෝමගේ නිදිමත පහව ගියේය. ටොච් එකත් රැගෙන ඔහුත් හේමසිරි දිවගිය දෙසට ඉක්මන් ගමනින් පියවර නැගුවේය. ඒ වනවිටත් හේමසිරි සමග රාත්‍රි වැඩමුරයේ සේවකයින් කිහිපදෙනෙක් බඩු ගබඩාව අසළ සිටිනවා ඔහු දුටුවේය. 

“ඈ ඕයි තමුසේ කොහේද මුරකෙරුවෙ. දැන්ද එන්නේ හොරු කඩපුවා බලන්න?”

රාත්‍රි වැඩමුරයේ පරිපාලක අමරසිරි පියසෝම එතැනට පැමිණෙනවා දැක ඇසීය.

“තමුසෙලා අපේ බෑග් නම් අතගලා බලනවා මෙහේ හොරු කෙලගෙන යනවා.”

තවකෙකු කීවේය. පියසෝමගේ කටේ කෙල සිඳී පපුව සිරකරනවා වැනි ස්වභාවයක් දැණි ගියේය. පරිපාලකවරයා ඉහල නිලධාරින්ට හා පොලීසියට දුරකථන ඇමතුම් මගින් දැනුම් දීම සිදුකරන අතරතුර කිසිවෙකුටවත් එම බඩු ගබඩාව අසළට යාම තහනම් කළේය. එම බඩු ගබඩාව පියසෝම මුර රාජකාරි කරන කොටසට අයත්ව තිබීමෙන් එහි සංචාරය කර බැලීම ඔහුට අයත් රාජකාරියකි වුණි. රාත්‍රී අත්සන් පොත පරිපාලකවරයාගේ භාරයට පත්වුනු බැවින් රාත්‍රි මුර සංචාරය පියසෝම නොකළ බැව් ඉබේම ඔප්පු විය. පොලීස් නිලධාරින් පැමිණ හොරකම පිළිබඳව පරික්ෂණ සිදුකරන අතරතුර හේමසිරි හා පියසෝමගෙන් ප්‍රකාශ සටහන් කරගති. මේ  අතරතුර පියසෝමගෙන් විශේෂයෙන් ප්‍රශ්න කළේ පොලීසියේ සැකයට බදුන්වූ පුද්ගලයෙකු ලෙසින්ය. ආයතනයේ ප්‍රධානින්ගේද විශේෂ සැකයක්වූයේ පියසෝම දහවල් සේවා මුරය ස්වකැමැත්තෙන් රාත්‍රි කාලය සදහා මාරුකරගැනීමය. මෙයට පෙර අවුරුදු ගණනාවක් හොදින් සේවය කරතිබීම යන කරුණු ගැන සලකා බැලූ හෙයින් පොලීසිය විසින් පියසෝම පොලීසිය වෙත කැදවාගෙන ගොස් ප්‍රශ්න කිරීමට සැරසීම ආයතනයේ ප්‍රධානින් විසින් වළකාලිය. 

“විනය පරික්ෂණයක් සඳහා කැඳවන තෙක් සේවය අත්හිටුවන ලදී” යනුවෙන් සඳහන් ලියමන ලබාගත්  පියසෝම තෝන්තුවෙන් මෙන් කර්මාන්තශාලාවේ ගේට්ටුවෙන් එළියට බැස්සේය. තමා සමඟින් සුහදව කතාබස් කළ කර්මාන්තශාලාවෙ මිතුරන් සියල්ලෝම අද තමාට සතුරුව සිටින සේ ඔහුට දැණුනි. ඔවුන් සියල්ලෝම තමාට ඔරවාගෙන සිටින්නාක් මෙන් ඔහුට පෙනෙන්නට විය. අවසන් වරටත් කර්මාන්තශාලාවෙ නාම පුවරුව දෙස බැලූ  පියසෝම හිමිහිට තාරපාර දිගේ ගාල්ල දෙසට පියනැගීය. 



★ ★ ★ ★ ★ ★


රාත්‍රි කාලයේදි නිමාලි දැඬි උණ ගතියකින් පෙලෙන්නට ගත්තාය. උදෑසන වන තෙක් විමලා විසින් විනාකිරි පොගන ලද රෙදි පාන්කඩ ඇගේ නළලට දමමින් උණ බැස්සවීමට උත්සාහ කළද එහි අඩුවක් දක්නට නොවීය. නිමාලිව කැදවාගත් විමලා ලේ පරික්ෂාකළ වාර්තාව සමඟින් යළි ඩිස්පැන්සරියේ දොස්තර මහතා හමුවිය.

“මේ ළමයාගේ ලේ වලට විෂබීජයක් ඇතුල් වෙලා වගෙයි පෙනෙන්නේ ඉක්මනට මේ ළමයාව ඉස්පිරිතාලයට ඇතුල්කරන්න. මම කිව්වා නේද බ්ලඩ් රිපෝට් එක මට ගෙනවිත් පෙන්නන්නය කියලා. ඔයාලා මේ ළමයාව තව දවසක් ගෙදර තියාගෙන හිටියානම් මෙයාගේ ජීවිතේට ලොකු අනතුරක් වෙන්න තිබුනා. ඉක්මනටම දැන්ම අරගෙන යන්න.”

ඔහු ඉස්පිරිතාලයට ලිපියක් ලියා විමලා අතට දෙමින් කීවේය. විමලා යළි නිමාලිව රැගෙන නිවසට පැමිණියේ පියසෝම රාත්‍රි වැඩ නිමාවී ගෙදරට පැමිණ ඇතැයි බලාපොරොත්තුවෙනි. නමුත් ඔහු පැමිණ නොසිටි බැවින් පියසෝම එදින දිවා සේවා මුරයද කර හවස්වී පැමිණෙතැයි සිතූ ඇය අසල්වැසි කාන්තාවක් සමඟින් නිමාලිව රැගෙන කරාපිටිය රෝහලට ගියාය. ඩිස්පැන්සරියේ වෛද්‍යවරයා දුන් ලිපිය බැලූ රෝහල් වෛද්‍යවරයා නිමාලිව කඩිනමින් වාට්ටුවට ඇතුලත්කර සේලයින් ඇතුළු අවශ්‍යකරන බෙහෙත් වර්ග ඇයට ලබාදුනි. විමලා මඳ වේලාවක් නිමාලි අසළ රෝහලේ රැඳී සිට යළි හවස පැමිණෙන බව පවසා නිවෙස බලා පිටත්විය.


ඇය ගාල්ලෙන් බසයෙන් බසිද් පියසෝමට පණිවිඩය දීමට මතක්විය. ඇය නිවෙස වෙත නොගොස් පියසෝමගේ කර්මාන්තශාලාව වෙත පියනගද්දී සේවය නතරකරන ලඳ පියසෝම සිහිකල්පනාවක් නොමැත්තෙකු ලෙසින් ගාලු ටවුම පසුකරමින් කොටුව දෙසට ඇවිදගෙන යන්නට වුනි. අහම්බෙන් මෙන් විමලා හා පියසෝම ගාලු බස්නැවතුමේ දී හමුවෙන්නට ඉඩ තිබූ අවස්ථාවක් ඉදිරියෙන් ආ බස් රථයක් නිසා වැලකීගියේය. විමලා කර්මාන්තශාලාවෙ ගේට්ටුවෙන් පියසෝම ගැන විමසද්දී එහි සිටියවුන්ගේ මුහුණු වෙනස්වනු ඇයට නොතේරුනේ ඇය නිමාලිගේ අසනීපය ගැන කල්පනා කරමින් සිටි බැවිනි. පියසෝමගේ බිරිඳ පැමිණ පියසෝම පිළිබඳව විමසීම ආරක්ෂක සේවයේ අයද නොසන්සුන් කරවනු ලැබීය. ඔවුන් ප්‍රධාන ආරක්ෂක නිලධාරි වෙත විමලා කැඳවාගෙන ගොස් ඇයව පුටුවක වාඩිකරවූවාය. කවදාකවත් නැතිව මෙසේ ඔවුන් සැලකීම කුතුහලයකට පත්ව ගිය ඈ කලබලයෙන් මෙන් පියසෝම ගැන විමසුවාය.

“මේ කලබල අස්සේ පියසෝම මොනවා හරි කරගෙනද දන්නේ නැහැ.”

ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයා සිතුවේය.

“ඇයි මිසිස් පියසෝම මෙහෙට ආවේ මුකුත් කරදරයක්ද?”

“ඔව් කෝ පියසෝම තාම ගෙදර ආවේ නැති නිසයි මම ආවේ. ලොකු කෙලී අසනීපවෙලා දැන් ඉස්පිරිතාලේ නවත්තලා මේ එන ගමන්.”

ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයාගේ මුහුණට බැරෑරුම් පෙනුමක් ආරූඪ විය. ඔහු ටික වේලාවක් කල්පනා කළේ ප්‍රශ්නයක් සමඟින් පැමිණි පියසෝමගේ බිරිඳට තවත් ප්‍රශ්නයක් කියන්නේ කෙලසදැයි සිතමිනි. ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයාගේ නිහඬතාවය විමලාගේ සිත තවතවත් නොසන්සුන් කරවන්නක් විය. ඇය තවත් කලබලයට පත්වූවාය. 

“කෝ පියසෝම.”

ඇය කලබලයෙන් විමසුවාය. 

“කියන්න මහත්තයෝ කෝ  පියසෝම. ඇයි එයාට මුකුත් කරදරයක්ද?”

“නෑ නෑ පියසෝමට ඔයා හිතන ජාතියේ කරදරයක් වෙලා නැහැ. ඒත් මේ. .  . . . .”

ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයාට වචන ගොතාගන්නට අපහසු විය.

“එහෙනං කෝ මේ මනුස්සයා ගෙදරත් නැති නම් වැඩපලේත් නැතිනං කොහේ ගිහින්ද? වෙනදා නයිට් ඩියුටි ඉවරවුණු ගමන් ගෙදර එනවා. උදේට කාලා මිසක් වෙන කොහේවත් යන කෙනෙක් නොවෙයි එයා.”

“නැ මිසිස් පියසෝම ඔයා කලබල වෙන්න එපා පියසෝම පොඩි කරදරයක් සිද්ද කරගත්තා.”

“ඇයි මහත්තයෝ එයා ගෝරියකටවත් පැටලුනාද? එයාට තුවාලද?”

“පොඩ්ඩක් ඉන්න මිසිස් පියසෝම කලබලවෙන්නේ නැතිව මම විස්තරේ කියනකං. ඊයේ රෑ අපේ බඩුගබඩාව හොරු කඩලා ගොඩාක් බඩු ගෙනහිල්ලා තියෙනවා. ඒ පැත්ත භාරව ඩියුටි කළේ පියසෝම. බලනකොට මිනිහා හොදටම නිදි.”

“ඉතිං කෝ එයා. හොරු මේ මනුස්සයාට කරදරයක්වත් කරලාද?”

“ඉන්ට මම කියනකං.”

ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයා ටිකක් තදින් ඇයට කිව් නිසාවෙන් ඇගේ කලබල ගතිය මඳකට අඩුවිය.

“පියසෝම ඩියුටි වේලාවේ ඒ පැත්ත පළාතේ ගිහිල්ලා නෑ. දැන් මේ ගැන පොලීසියෙන් එයාගෙන් ප්‍රශ්න කළා. පොලීසිය හිතන්නේ මේ හොරකමට පියසෝමගේ සම්බන්ධයක් ඇතෙයි කියලා. ඒත් අපේ ලොකු මහත්තුරුන්ගේ විශ්වාසය උඩ එයාලා පියසෝමව අත්අඩංගුවට ගත්තේ නැහැ. ඒත් මේගැන පරික්ෂණයක් තියනකං අපිට අකමැත්තෙන් උනත් පියසෝමගේ වැඩ ටික දවසකට නවත්තන්න සිද්ද වුණා.”

“මම ඔය ටික කිව්වා ඔය මනුස්සයාට ඔය මුහුදේ කිමිඳෙන්න යනකොට. මම කියන දේවල් කනකට ගත්තේ නැහැ.”

ඇය දෙනෙතට ආ කඳුළු බිඳු කිහිපය සාරිපොටේ අගිස්සෙන් පිසදාගත්තාය.

“කාලෙකට ඉස්සර කරගෙන ආපූ රස්සාව නැතිකරගත්තා ස්ට්‍රයික් කරන්න ගිහින්. අන්තිමේදි අපිව හිඟාකන්න තත්ත්වයට පත්කළා.”

“මටත් බොහෝම කනගාටුයි මිසිස් පියසෝම.”

“මහත්තයෝ ආයිත් රස්සාව හදාගන්න පුළුවන්වෙයිද?”

“මේ ගැන පරික්ෂණයක් ලොකු මහත්තයා පවත්වනවා එතකං පියසෝමට ඉන්න වෙනවා. අපිට කරන්න දෙයක් නෑ. මේක අපි ගත්ත තීරණයක් නොවෙයි.”

විමලා පියසෝමට සිතින් දෝෂාරෝපණ කරමින් යළි නිවස බලා දෙපා ඉක්මන් කළේ පියසෝම යළි නිවසට පැමිණ ඇතැයි බලාපොරොත්තුවෙන් හා හවසට නිමාලි බැලීමට යාමට ප්‍රථම ඇයට බීමට සුප් ටිකක් සමග රාත්‍රි ආහාරයට යමක් රත්කරගැනිමේ අභිලාසයෙනි. එහෙත් විමලා බලාපොරොත්තුවූ ලෙසට  පියසෝම නිවසට පැමිණ තිබුනේ නැත. ඉක්මනින් සුප් ඩිංගක් රත්කරගත් ඇය පාසල් ගොස් පැමිණ සිටි නදීකා කැටුව හවස යළි නිමාලි බැලීම සඳහා කරාපිටිය රෝහල වෙත ගමන් කළාය. මේ අතරතුර ගාලු කොටුවට ගමන්කළ පියසෝම කොටු බැම්ම මතට නැග හිමිහිට නිනව්වක් නොමැත්තෙකු විලසින් ඇවිදින්නට විය. ප්‍රදීපාගාරය අසළට පැමිණි ඔහු තම සිතේ පොදිකන සිතුවිලි පොදිය ඒකරාශිකරගනුවස් සමුදුරට මුහුණලා කොටු පවුර මත වාඩිගත්තේය. දහවල් දැඬි හිරුරැස් ඔහු මත පතිතවූවත් සමුඳුර දෙසින් හමා ආ සුළංරැල්ල නිසා එය ඔහුට වැඩි පීඩාවක් නොවුවාසේය. හවස් යාමය වන විට එකා දෙන්නා බැගින්වූ පෙම්වතුන් ගාලු කොටු පවුර මතින් එහා මෙහා ගමන් කරන්නට විය. පියසෝමට තම තරුණවියේ විමලා සමඟින් නිවසට හොරෙන් හමුවීමට යොදාගත් ස්ථානයක් වුයේද මෙම කොටු බැම්ම බව මතක්විය. තරුණ යුවලක් හා පැමිණි කුඩා පුතෙකු අත රැඳි අයිස් පලමක් දැක  පියසෝමගේ සිත හඬාවැටෙන්නට විය. තමාගේ රැකියාව නොමැති කාලයේ නිමාලි හා නදීකා දෙදෙනා පාසල් අවසන් වී යළි නිවසට රැගෙන යද්දී නදීකා අයිස් පලම් ඉල්ලා හඬාවැටෙන්නට වූ අයුරුත් අතේ කිසිදු මුදලක් නොමැති නිසා අයිස්පලමක් නැතිව ගෙදර යන්නට බැරිය කී නදීකාට පහර කිහිපයක් ගසා හඬමින් සිටි දැරිය නිවසට ඇදගෙන ගිය හැටි යළි මතක් විය. කෙළිදෙලෙන් පසුවන කුඩා දරුවාගේ ප්‍රීතිමත් සිනාහඬ දුටු තම දියනියන්ගේ කුඩා අවදියේ තම යුතුකම් හරිහැටි ඉටුකරගත නොහැකිවීම පිළිබඳව පසුතැවිල්ලක් හදට දැනුනි. දැන් තමා යළිත් රැකියාවක් නොමැත්තෙකුවී ඇත්තෙන් තරුණ දියණියන්ගේ අනාගතයේ කළයුතු යුතුකම්ද මහමෙරක්සේ පෙනෙන්නට විය. පියෙකු වශයෙන් ඒවායින් මඟනොහැර යන්නේ කෙලෙසදෝයි අනියත බියක් සිතේ නැගෙන්නට විය. නෙත් කෙවෙනි තුළ මෝදුවු කුඩා කඳුළු බිඳු එලියට පනින්නට පෙර හේ පිසදාගත්තේය. නිරන්තරව විමලා අනතුරු හැඟවු කාරණාව මෙතරම් ඉක්මණට සිඳුවෙතැයි තමාට කිසිවිටකත් සිහිපත්නොවූයේ ඇයිදැයි තමාගෙන් ප්‍රශ්න කරගන්නට විනි. ගිලුණු නැවේ වස්තු සෙවීමට ඇය මෙතරම් විරෝධයක් එල්ලකළේ මේ රැකියාව ආරක්ෂා කරදීමට නොවේදැයි ඔහුට සිතුනි. 

පියසෝමට විමලාට මුහුණ දීමට ආත්මශක්තියක් නොමැතිවූයෙන් දිගින් දිගටම කොටු බැම්ම මතටවී කාලය ගෙවීය. මළ හිරු බැසයන තෙක් බැම්ම මත වාඩිවී සිටි ඔහුට වේලාව ගතවන බවක් දැනුනේ නැත. ටිකෙන් ටික කලුවර පාත්වෙන්නට ආසන්නවීමේදී සයුරේ නැංගුරම්ලා තිබුනු නෞකාවලද විදුලි පහන් දල්වන්නට වුනි. පියසෝමට නිවෙස වෙත යන්නට කාලය එලඹ ඇතිබව වැටහුනේය. බොහෝ වේලාවක් එකම ඉරියව්වෙන් වාඩිවී සිටි බැවින් දෙපාහිරිවැටි ඇති නිසා ඉතා අමාරුවෙන් නැගිටගත් පියසෝම හිමිහිට බැම්ම මතින් බැස පාරට අවතීර්ණ විය. තම දෙපා උස්සා පියවර තබන්නටවත් ශරිර ශක්තියක් නොමැති බව ඔහුට මතක්වූයේ දැනුන අධික කුසගින්න නිසාවෙනි. උදේට හා දහවල්ටද කිසිවක් නොකෑ බව ඔහුට පසක් විය. බස්නැවතුම්පොලට පැමිණ ඉලේපෙරුම හෝටලයට ගොඩවැදගත් ඔහු  ප්ලේන්ටියක් පමණක් බී යළි නිවසට පිටත්විය. කරාපිටිය රෝහලට ගොස් නදීකා සමඟින් යළි නිවසට පැමිණි විමලා පියසෝම දැන්වත් නිවසට පැමිණ ඇතිදැයි විපරම් කළාය. ඔහු නිවසට නොපැමිණ කුමක් කරනවාදැයි ඈ කලබලවුවාය. 

“දුවේ මේ තාත්තා කොහේ ගිහින්ද දන්නේ නැහැ. තාමත් ගෙදර ආවේ නැහැ.”

“එයා එයි අම්මේ.”

“උඹ නං කියයි වැඩපොලේ සිද්දචෙච්චි දේට මොකවත් කරදරයක් කරගත්තාද? පොඩ්ඩක් හොයලා බලන්න යවන්න කවුරුවත් නැහැනේ. මේ වේලාවට ගෙදර පිරිමි පුලුටක් හරි නැති වෙච්ච එකනේ වැඩේ.” 

“තාත්තා අර නැවේ වස්තුව හොයන්න කිමිදෙන්න ගියාද දන්නේ නැහැ.”

“ කිමිඳුම් ඇඳුම් නැතිව කොහේයන්නද? අර තියෙන්නේ ඒක.”

“කවුද දන්නේ තාත්තාට ඔය වස්තුව මුලදිම ලැබිලා එයා එක අරගෙන වෙන රටකට පැනලා ගියාද දන්නේ නැහැ.” 

නදීකා සිනාසෙමින් පැවසුවාය.

“මගේ ඔලුව පත්තුවෙලා ඉන්නැද්දි උඹ එන්න එපා ඕන්නැති විහිලු කරන්න. පලයන් ගිහින් ඉස්කෝලේ වැඩක් බලාගනින්. කොයි වේලේ හරි මේ මිනිහා ගෙදර එන්නේ නැතැයි.”

“තාම ගෙදරක් තියෙනවා කියලා මතක් වෙලා නැතිව ඇති.”

ඇය නදීකාව එලවා දමා තනියම සිතුවාය. පියසෝම රස්සාව නැතිකර ගත්තා යැයි ඇයට මතක්වෙන වාරයක් පාසාම ඇගේ සියොලඟ කෝපයෙන් සලිත වන්නට පටන් ගති. නිවසට නුදුරින් බළල් රංචුවකගේ පොරකෑමකට සැරසෙන මූසල ශබ්දයන් ඇසෙන්නට පටන් ගැණුනි.  

අඳුරත් සමඟම නිවසට ගොඩවූ පියසෝම හිමිහිට කාමරය දෙසට පියනැඟුවෙ නිවසේ අයට නොපෙනෙන්නට නමුත් ඔහු එනතෙක් මග රැකවල්ලා සිටි විමලාගේ විමසිලිමත් දෑසට මඟහරිනු නොහැකිවිය. පියසෝම හොර බළලෙකු ලෙසින් නිවසට ගොඩවදිනු දුටු විමලාගේ කෝපය ඉහවහා ගියාය. රාත්‍රි කෑමට පොල් සම්බලයක් සඳහා පොල්ගෙඩියක් බිඳීමට සැරසෙමින් සිටි ඇය අතේ රැදි පොල්ගෙඩිය හා මන්නය රැගෙන සාලයට ඉක්මන් ගමනින් ආවාය.

“ආ දැන්ද මහත්තයාට ගෙදරක් තියෙනවා කියලා මතක් වුනේ? කොහේ මකබෑවිලාද හිටියේ?”

ඇය පට පට ගා පුපුරමින් පියසෝමගේ ඇඟට ගොඩවිය. 

“කොහේ යන්නද? මම දවල් ඩියුටියත් කරලයි මේ එන්නේ.”

“හොඳ දවල් ඩියුටිය. ඊයේ රාත්තිරියේ ඩියුටි කරපු අපුරුව මට සිකුරිටි මැනේජර් මහත්තයා කිව්වා.”

එම කතාවෙන් පියසෝම තිගැස්සී ගියේය. තම උගුරේ යමක් හිරවූවාක් මෙන් කතාකරගන්නට වචන ලගපාගන්නට නොමැතිව ඔහු වටපිට බැලුවේය.

“හොරුන්ට ස්ටොරුව කඩන්න දීලා තමුසේ සැපට නිදාගෙන හිටියා කියලා ඒ මහත්තයා මට කිව්වා. දැන් ඉතිං ඒ රස්සාවත් ඉවරයි. දැන් පුළුවනි තමුසේට පැය විසි හතරේම මුදේ ගිලිලා ඉන්ට.”

“මේ ඕයි කෑනොගහා ඉන්නවා.”

“මං කොච්චර වත් කිව්වා ඔය වස්තු හොයන්න යන්න එපැයි කියලා. දැං හදන්නේ මගේ කට වහන්න. තිබුනු රස්සාව නැතිකර ගත්තා. ඊළඟට වැටෙන්නේ හිරේ විලංගුවෙ.”

පියසෝමගේ කෝපය ඉහවහා යමින් දෙකන් රත්වෙමින් පැවතියේය.

“තමුසෙට ලොකුමහත්වෙව්ච දුවරු දෙන්නෙක් ඉන්නවා කියලා ගානක්වත් නැතිව ඉන්න හැටි ඒ මදිවට රට වටේම ණය වෙලා. මගේ කරාබු දෙක මදිවට කෙල්ලගෙ කරාබු දෙකත් හෙට්ටිපොලේ සින්න වෙන්න යනවා.” 

මෙතෙක් වෙලාවක් නිහඬව සිටිමට තැත්කල පියසෝමගේ රතුකට්ට පැන්නේය.

“ඈ බොල ගෑනියේ මං බලහත්කාරයෙන් ගලෝගත්තේ නැහැ. ඒ ළමයා දුන්නා මිසක්. මම උfඕ කරාබු දෙක ගලෝගත්තෙත් නැහැ. උඹට මම කන්න අඳින්න දෙනකොට උඹ මොකටද ඒවා උකස් කළේ.”

“තමුසෙ කන්න හොයලා දෙනකොට අපි මැරිලා ඉඳියි.”

“ඇයි තොපිලට මම කන්න දීලා නැද්ද යකුනේ.”

යැයි කී පියසෝම විමලාව තල්ලු කර දැමීය.

එම පහරේ සැර වැඩිකමට වීසිවීගිය විමලා කෑම මේසයේ වැදී නතරවිය. එයින් කෝපගැන්වුනු විමලා ඇගේ අතට අසුවූ මේසය මත තිබුනු විදුලි පන්දමෙන් පියසෝම වෙත දමා ගැසුවාය. විදුලි පන්දම පියඹා අවුත් පියසෝමගේ වම් උරහිසේ වැදුනේ ඔහුගේ අත හිරිවට්වමිනි. මාරාවේශයෙන් ඉදිරියට පැන්න ඔහු විමලාගේ ගෙලෙන් අල්ලාගෙන කම්මුල් පහරවල් කිහිපයක් එල්ල කරන්නට විය. විමලදාස තම සුපුරුදු පරිදි මත්පැනින් සප්පායම් වී බේබදු ගමනින් නිවසට ගොඩ වදින්නේ පියසෝම හා විමලා අතර දබරය කෙරීගෙන යන අතරතුරදීය. ඔහු තම ලොවිගෙඩි දෙකක් මෙන් රතුවී ගත් දෑස විමතියෙන් මෙන් පියසෝම දෙසට එල්ලකර සිටියේය. විමලා තම සොහොයුරා දැක්කාය.

“අනේ මල්ලියේ මේ මිනිහා රස්සාවත් නැතිකරගෙන ඇවිත් දැන් අපිව මරංකන්න හදනවා.” 

ඇය හඬාගෙන ඔහු ළඟට දිවයමින් පැවසුවාය.

“මොකක්ද මිනිහෝ මේ කරන්නේ?”

“උඹට වැඩක් නෑ, උඹ පැත්තකට වෙලා ඉදපන්.”

“යකෝ උඹට අපේ ගෙදර ඉදන් මගේ අක්කාට තඩිබාන්න දෙන්න පුලුවන්ද?”

“ආ උඹත් ආවාද මට චණ්ඩිකං පාන්න. ඒ මගේ ගෑනි. මට ඕනේ දෙයක් කරන්න පුළුවන් යකෝ.”

“උඹට ගෑනි උනාට මට මගේ අක්කා උනේ ඊට ඉස්සර.”

කියමින් විමලදාස පියසෝමට ගහන්නට මෙන් අත දික්කළේය.

“මට ගහන්න තෝත් පිරිමියෙක්ද? පලයන් යන්න.”

ඔහු විමලදාසව තල්ලුකර දැමීය. කැරකී විසිවී ගිය ඔහු පසෙක තිබූ කනප්පුව පෙරලාගෙන බිම පතබෑවුනේ කපාදැමූ කෙසෙල් කඳක් වැටෙන්නාක් සේය. මෙතෙක් වේලාවක් මෙම රණ්ඩුවට මැදිහත් නොවූ නදීකාද කෝලාහලය මැදට පැන්නාය. 

“තාත්තා තිබුනු රස්සාව නැතිකරගෙන අපිට ලැජ්ජාකරනවා මදිවට දැන් රණ්ඩු කරලාත් ලැජ්ජාකරනවා.”

ඇය තම මාමාට පහරදීමට සැරසෙන තාත්තාව වළක්වා පසකට කරවූවාය. මේ අතරතුරේ බිම වැටී සිටි විමලදාස කෝපයෙන් පිපිරෙමින් නැගිටින්නට උත්සාහකරන අතරේ බිම වැටී තිබූ විමලා පොල් බිදීමට ගෙන ආ මන්නය අතට අසුවිය. හිමිහිට වාරුගෙන නැගීහුන් ඔහු අතට අසුවී තිබෙන්නේ කුමක්දැයි නොබලාම එයින් පියසෝමගේ හිස මුදුනටම දමා ගැසීය.


මතුසම්බන්ධයි.......

Monday, March 8, 2021

හෝරස්ගේ දරුවා - දෙවන දිගහැරුම Son of Horus -2


පියසෝම එනතෙක් නිමාලිද පෙරමඟ බලා සිටියේ උදේවරුවේ සිට කළ කාවට්ටි බැඳී දුර්වර්ණ වූ බඳුන පිරිසිදු කිරීමේ කාර්යය පසුදිනට තබමිනි. පියරත්න මහතාගෙන් දැනගත් තොරතුරු ඇසූ නිමාලිද සතුටට පත්විය.

“ඒත් තාත්තේ තාත්තා කොහොමද තනියම වටිනා යමක් තිබුනොත් ගොඩට ගේන්නේ?”

“මමත් ඒක කල්පනා කළා. වෙන කරන්න දෙයකුත් නෑනේ කොහෝම හරි කරගන්න වෙනවා. මාව ඔය වැල්ල පැත්තේ කවුරුවත් සැකකරන්නේ නෑ. කොහොමත් මම කිමිඳෙන මිනිහා නිසා. ඒත් මම කල්පනා කළේ මගේ කිමිඳුම් කට්ටලය පරණ වැඩියි වැඩිවෙලා යට ඉන්ට බැහැ හොඳ කිමිඳුම් කට්ටලයක් වත් ගන්ට වෙයි වැඩිවෙලාවක් අල්ලලා ඉන්න පුලුවන් එකක් වෙන්න ඕනේ.”

“හොඳ කිමිඳුම් කට්ටලයක් මිලයි නේද?”

“ඔව් නමුත් ඔයවාගේ වැඩවලට කිමිඳුම් කට්ටලයක් විතරක් මදි. හරියට වැඩකරන්න තව උපකරණ අවශ්‍ය වෙනවා.”

“ඒ මොනවාද ඒ?”

“ඇයි මුහුදු පතුලේ තියෙන මඩ වැලි අයින්කරන්න සකර්. ඒවාගේම මුහුදු පතුල හොඳින් පෙනෙන්න ලයිට්. ඉතිං මං වාගේ මිනිහෙක්ට කොයින්ද ඕවා ගන්න සල්ලි?”

“අපි සල්ලි කොහෙන් හරි හොයාගත්තා කියමුකෝ ඒත් තාත්තේ ඔය කියන උපකරණ ලංකාවේ තියෙනවාද අපිට ගන්න? එහෙම ගන්න ගියොත් අපිව සැක කරන්න පුළුවන් නේද? මොකකටද මේවාගන්නේ කියලා.”

“ඒකනම් ඇත්ත දුවේ. මෙහෙ ඔය උපකරණ විකුණන්න නම් නැහැ. හැබැයි ඔය උපකරණ නියෝජිතයෝ මාර්ගයෙන් ගෙන්නගන්න පුළුවනි.”

“අපි ඔය උපකරණ වලට වියදම් කරලා පුරාවස්තු සෙව්වත් ඔය කියන රත්තරන් නැව නෙමෙයි නං හරි කවුරු හරි ඔය රත්තරන් ටික ගොඩට අරගෙන නම් අපි වියදම් කරපු සල්ලි අපරාදෙ වතුරෙ යනවා නේද?”

“මටත් ඒක කල්පනා වුණේ දැන් තමයි දුවේ. ඔය මුහුදේ පුරාවස්තු හොයන උදවිය ඔය වැඩවලට විශාල මුදලක් වියදම් කරනවා. සමහර වේලාවට ඒ මුදල් අපතේ යනවා. ඒක ඉතිං වෙලාව තමයි. හැබැයි මේ නැවේ රත්තරන් තියෙනවානං ඒවා හොයන උදවිය මේ නැව ගැන සෙවිල්ලෙන් ඉන්න පුළුවනි ඒ නිසා අපි ඉක්මන් වෙන එක හොඳයි නේද?”

“ඒක නං ඇත්ත තමයි. ඒත් තාත්තේ අපිට එච්චර වියදම් කරන්න පුළුවන් කමක්  නැහැනේ.” 

“ඒක තමයි මමත් කල්පනා කළේ.” 

“මට හොඳ අයිඩියා එකක් ආවා අපි හොඳ කිමිඳුම් කට්ටලයක් අරගනිමු කවුරු හරි ඇහැව්වොත් කියමු තිබුණ එක පරණ වැඩියි. ඒක නිසා අලුත් එකක් අරගත්තා කියලා එතකොට කවුරුවත් තාත්තාව සැක කරන්නෙත් නැහැ.” 

“ඔයාට නං එන්නේ පුදුම අයිඩියා තමයි. හරි අපි එහෙම කරමු ඒත් සල්ලි තමයි පරහට හිටින්නේ.” 

“අපි කොහොම හරි සල්ලි හොයාගනිමු. ඔය කිමිඳුම් කට්ටලයක් විතරක් තිබුණා කියලා තාත්තාට පුළුවන්ද ඔක්කෝම වැඩ කරන්න. අඩුම තරමේ මම කොල්ලෙක්වත් වුණානම් උදව්කරන්න තිබුණා.”

නිමාලිගේ එම වදන් ඊයම් බරු කිඳා බසින්නාක් මෙන් ගමන්කළේ පියසෝමගේ හදවත කඩාබිඳ දමමිනි. ඔහුට විශාල දුකක් සහ ආදරයක්ද නිමාලි කෙරහි උපන්නේය. දෑස්කෙවනි තුළට පිරුනු කඳුළු දැල්ල සඟවාගත් පියසෝම දුබල කටහඬින් නිමාලි ඇමතුවේය.

“නෑ දුවේ ඔයා දුක් වෙන්න එපා මට පුළුවනි. මම කොහොම හරි ඒක කරගන්නම්. මට හිතෙන්නේම මේ හම්බවුණේ ඔය රත්තරන්  අරගෙන ගිය නැව කියලාමයි.”

“අපේ පෙර වාසනාවක් තියේනං අපිට යමක් ලැබෙයි තාත්තේ.” 

“ඔව් ඒත් උත්සාහය අතහරින්න නරකයි. උඹේ අම්මා තමයි මාව පස්සට තල්ලුකරන්නේ.”

“එයා කියන දේවල් වලත් ඇත්තකුත් තියෙනවානේ තාත්තේ, අම්මා බය ඇති තාත්තා ආපහු රස්සාව නැතිකරගනියි කියලා.”

පියසෝම කථා නොකරම කමිසයේ බොත්තම් අරිමින් කාමරයට ගොස් සරමක් ඇඳගත්තේය.

විමලා ගෙනවිත් දුන් තේ කොප්පය ඉස්තෝප්පුවට වී තොලගාන්නට වු පියසෝම නිවස ඉදිරියෙන් වූ පාරේ සැන්දෑ කලුවර සමගම නිවෙස් වලට කඩිමුඩියේ දිවයන මිනිසුන් දෙස අරමුණකින් තොරව බලාසිටින්නට විය.  

ඔහුට විමලා මතක් කරදුන් අතීතයේ සිදුවීම් මාලාවක් චිත්‍රපටයක්සේ පෙනෙන්නට විය.

අවුරුදු ගණනාවකට පෙර පියසෝමගේ රැකියාව වූයේ ගාල්ලේ කර්මාන්ත ශාලාවක මැෂින් ඔපරේටර්වරයෙකු ලෙස සේවය කිරීමයි. පාසල් අධ්‍යාපනයට ආයුබෝවන් කී ඔහුට තම මාමා කෙනෙකු මාර්ගයෙන් කම්කරුවෙකු ලෙස රැකියාව ලබාගැනීමට හැකි වූ අතර ඉන් අවුරුදු ගණනාවකට පසු මැෂින් ඔපරේටර්වරයෙකු ලෙස සේවයේ උසස්වීමක්ද ලබාගැනීමට හැකි විය. ඒ වන විට කර්මාන්ත ශාලාවේ සේවකයින් අතර යම්කිසි ජනප්‍රියතාවයක් හිමිකරගෙන සිටි ඔහු කෙමෙන් කෙමෙන් වෘත්තිය සමිතියේ ලේකම් තනතුරද හිමිකරගත් අයුරු මතක්විය. පඩි වැඩිකරන ලෙස කළ ඉල්ලීම අවසානයේදී වැඩ වර්ජනයක් දක්වා දිග්ගැසීම එදා ඔවුන් දුටුවේ පාලකයින් කම්කරු ජනතාව සූරා කෑමක් හා ඔවුන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හෑල්ලුවකට ලක් කිරීමක් ලෙසින්ය. යළි වැඩට පැමිණ වැඩ අරඹන ලෙස පාලකයින් කරන ලද අවසන් දැන්වීමට අනුව වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය පාවාදී යළි සේවයට ගිය අයට හරිගියේය, උසස්වීම්ද ලැබීය. වැඩ වර්ජනය මෙහෙයවීම, රැකියාවට නොපැමිණීම හා කර්මාන්ත ශාලාවේ දේපළ වලට හානි සිදුකිරීම යන බොරු චෝදනාවල් නිසා රැකියාව අහිමිවයාම හා දින කිහිපයක් රිමාන්ඩ්වී සිටිමටවීමත් අවසානවූයේ අවුරුදු ගණනනාවක් ඇදුනු බොරු නඩුවක් ද පැටලීමෙනි. රැකියාවෙන් දොට්ට වැටුන පියසෝමට යළි කිසිදු රැකියාවක් සොයාගැනීමට නොහැකි වූයේ එම කර්මාන්ත ශාලාවේ ස්ට්‍රයික්කාරයින් රැකියාවලට නොගන්නැයි එහි පාලකයින් විසින් අනෙක් කර්මාන්ත ශාලා හා ආයතන වලට දැනුම් දී තිබීමෙන්ය. නිමාලිත් නදීකාත් කුඩා දරුවන්ව සිටි ඒ කාලයේ විමලා අනෝරා දුක් කටොළු වලට මුහුණ දුන්නාය.බොරු නඩුවට වියදම් කිරීමට පියසෝම ඉතිරිකරගත් මුදල්ද වියදම්වී නඩුව අවසානයේදී පියසෝම හා විමලා විසූ නිවසද පොලීකරුවන්ට සින්නවී ගියේ ඉතා කෙටිකලකිනි. විමලාටත් තම සහෝදරයාට මෙන්ම මහ ගෙදර අයිතියක් තිබීම නිසාවෙන් පාරට වැටුන පියසෝමගේ පවුල අවසානයේ එහි පදිංචි විය. විසිතුරු මසුන් අපනයනය කිරීමේ ව්‍යාපාරයක් කරමින් සිටි උපනන්ද මහතාව හඳුනාගැනීමෙන් පසුව පිහිනීමට හා කිමිඳීමට දක්ෂයෙකුවූ පියසෝමට තාවකාලිකව රැකියාවක් ලැබිණි. ඒ මුහුදේ කිමිඳී විසිතුරු මසුන් අල්ලා උපනන්ද මහතාට විකිණීමය. එමඟින් තම පවුලේ තිබූ ආර්ථික අපහසුතාවය මඳකට යටපත් කිරීමට හැකියාවක් ලැබිණි. දියණියන්ට කෑමටදී විමලා හා පියසෝම නොකා සිටි වාර ගණන අනන්ත විය. එය ඔහුට මතක්වී නෙතට කඳුලක් උපන්නේය. උපනන්ද මහතා මඟින් දැනට කරමින් සිටින කර්මාන්ත ශාලාවේ සිකුරිටි ගාඩ් කෙනෙකු ලෙස රැකියාවක් සොයා ගැනීමට පියසෝමට හැකිවූයේ රැකියාව නැතිවී අවුරුද්දකුත් හයමාසයක් පමණ ගතවූ පසුවය. සිකුරිටි රැකියාවෙන් ලද වැටුපෙන් යළි පෙර සිටි ආර්ථික තත්ත්වයට නැගීසිටීමට නොහැකිවූවත් පියසෝම දිගටම එහි රැඳීසිටියේ වෙනත් සුදුසු රැකියාවක් නොලැබීමත් මෙන්ම විසිතුරු මසුන් අල්ලා දීමෙන් අමතර අදායමක් ලැබීමත් හේතුවෙනි.

“ඔය නැවෙන් මොනවා හරි වටිනා වස්තුවක් ලැබුනොත් අපේ පවුලේ වාසනාව තමයි. විමලදාසට කීයක්හරි දීලා මුළු ගේම විමලාගේ නමට ලියාගන්න පුළුවන් වෙයි.”

ඔහු පුටුවට වී තම පපුවේ රෝම ඇඟිලි තුඩුවලින් අතගාමින් සිතුවේය. නුදුරු අනාගතයේදී තම දියණියන්ගේ ආවාහ විවාහ යුතුකම්ද ඉටුකිරීමට ඇතිබව මතක්වෙන වාරයක් පාසාම මුදල් නොමැතිව කුමක් කළයුතුදැයි ඔහුට සිතාගත නොහැකිවිය. තම නිවසේ පිටුපස පිළිකන්න දෙසින් බළලුන්ගේ පොරකෑමට කෑගැසීම් ශබ්දයක් පියසෝමට ඇසෙන්නට විය. ඔහු ඒ පිළිබඳව සැලකිල්ලක් නොදක්වා ඉදිරිපස දොර වසාදමා නිදාගැනීමට නිවස තුළට වැදගත්තේය.


    පසුදින උදේම අවදිවූ පියසෝම නිමාලිගෙන් බඳුන පිරිසිදු කිරීමේ වැඩකටයුතු විමසීය. 

“මම ටිකක් සුද්ද කළා තාත්තේ එකේ තදින්ම කාවට්ටි බැඳිලා. මම හිතන්නේ මේක හුඟාක් පරණ ඇති. අනික අපිට පුරාවිද්‍යාඥයින්ගේ වගේ තාක්ෂණය නැහැනේ මේක සුද්ද කරන්න. ඒක නිසා මේ වැඩේ කරන්න වෙන්නේ හිමිහිට තමයි.”

“කමක් නැහැ දුවේ හිමිහිට කරන්න ඕක පළුදු කරන්නේ නැතිව.”

“අම්මානං බනිනවා අපි මෝඩ වැඩකරනවා කියලා.”

“ඔය ගෑණි ඕන එකටයි එපා එකටයි දෙකටම කට දානවා. දන්න දෙයකුත් නැහැ. උඹ ඕවා ගණන් ගන්නේ නැතිව වැඩේ කරගෙන යන්න.”

කියා පියසෝම සරමේ ගැටය ලිහා යළි තදකරගත්තේ ඇතිවූ කේන්තිය මැඩගනිමිනි. එදිනත් පියසෝම වැඩට නොගිහින් වෙහෙසුනේ හොඳ කිමිඳුම් කට්ටලයක් මිලදී ගැනීම සඳහා මිලගණන් දැන ගැනීමටත් හා එයට අවැසි මුදල් සොයාගැනිමේ කාර්යයන් සඳහාය.

     මෙසේ දින කිහිපයක් ගෙවීයද්දී විමලදාසගෙන් මෙන්ම තම විසිතුරු මසුන් මිලදීගන්නා උපනන්ද මහතා ගෙන් ද සැලකිය යුතු මුදලක් අතමාරුවක් ලෙස ඉල්ලාගන්නට හැකිවිය. මේ අතරතුර ගිලුණු නැව අසල යළි යළිත් කිමිදී පරික්ෂාකර බැලීමද ඔහු විසින් සිදුකළේය. මේ අතරතුරේදි නිමාලි විසින් බඳුන පිරිසිදුකර අවසන් කළාය. අඟල් දොළහක් පමණ උස්වූ මෙම බඳුනේ විශේෂිත ගල් හෝ මැටි විශේෂයකින් නිමවා තිබුන බවක් ඈ දුටුවාය. එහි බඳෙහි විශේෂිත අක්ෂර කිහිපයක් කොටා තිබෙන බවක් පෙනෙන්නට වූ අතර එහි පියන යම්කිසි මුහුණක හැඩයක් ගන්නා බවක් ද නිමාලිට දැකගන්නට හැකිවිය. නමුත් එම බඳුන විශාල ලෙස ඛාදනයට ලක්ව තිබූ බැවින් එහි මුහුණද අක්ෂරද හරිහැටි හඳුනාගත නොහැකිවුණි. ඉතා තදින් වැසී තිබුණු පියන විශාල පරිශ්‍රමයක් යොදා නිමාලි හා පියසෝම විසින් විවර කරගත්තෝය. බඳුන තුළට ජලය කාන්දුවී තිබූ අතර එය තුළද කාවට්ටි බැඳි ගුලියක් ලෙස සැදී තිබින. දිරාපත්ව ගිය රෙදිකඩක් වැනි අවශේෂ වූ දෙයක් පමණක් හමුවූයේ ඔවුන් එම ගුලිය කඩා බැලිමේ දීය. වෙනත් වටිනා යමක් එහි දක්නට නොවීය. බලාපොරොත්තු කඩව ගිය පියසෝම හා නිමාලි දෙස විමලා හා නදීකා බැලුවේ අවඥාවෙනි. පියසෝම රැකියාවට නොයෑමට විරෝධය පලකරමින් සිටි විමලා තම පවුලට වින කිරීමට එක්වූ ව්‍යසනයක් ලෙස එම බඳුන හැඳින්වීය. යළිත් රැකියාව නැතිකරගෙන පවුලම පාරට බස්සන්න හදන්නේ යැයි කියමින් විමලා නිතර නිතර  පියසෝමට බැන වදින්නට වුනි. ආරම්භයේදි එලිපිට තම විරෝධය නොදැක්වූ ඇය පසුව මුහුණටම විරෝධය දැක්වීමට තරම් කෝප වූවාය. මේ අතර ඇගේ විරෝධය ගණන් නොගත් පියසෝම ණයට ඉල්ලා එකතු කර ගත් මුදලින් හොඳ වර්ගයේ කිමිඳුම් කට්ටලයක් මිලදී ගෙනාවේය. හොඳින් ඉරු එළිය වැටෙන දහවල් කාලයේදී පමණක් ගැඹුරු මුහුදේ පහළ පෙනෙන බැවින් දහවල් කාලයේ රැකියාවට නොගිහින් පූර්ණ කාලීනව කිමිඳීමට පියසෝම යොමුවිය. 

මේ අතර නිමාලි විසින් පිරිසිදු කර ගත් බඳුන නිවසේ අලංකාරයට තබනා ඇන්ටික් බඩුවක් ලෙසින් සාලයේ තැන්පත් කළාය. සවස් වරුවේ නිවසට පැමිණි පියසෝම නිමාලි විසින් සාලයේ තබා තිබූ බඳුන දැක නිමාලිට කතා කළේය.

“දුවේ මේක මෙතන තියෙන එක හරි නැහැ නේද?”

“ඇයි තාත්තෙ ඒකෙ වරදක් නැහැනේ.”

“මේක කවුරුහරි දැකලා ඇහුවොත් එහෙම.” 

“ඉතිං එහෙම ඇහුවත් අපි ඇත්තම කිව්වොත් විතරයි නේද තාත්තා මේ ගිලුණු නැවක පුරාවස්තු හොයනවා කියලා දැන ගන්නේ?“

“හරි මම දන්නවා ඔයා මේක කියන්නේ නැහැ කියලා ඒත් අම්මා හරි නංගි හරි කිව්වොත්.” 

“තාත්තා බය වෙන්න එපා ඒවා එයාලා කියන්නෙත් නැහැ කියන්න දෙන්නෙත් නැහැ.”

මේ අතර විමලාද මේ කතාබහ අතරට පැමිණ නිවසේ මුදල් අඩුපාඩු ප්‍රකාශ කළාය.

පියසෝම තම අතේ රැඳී තිබුනු අවසන් රුපියල් පන්සියය විමලා අතට පත් කළේ හෙට දිනයේ තම මෝටර්සයිකලයට පෙට්‍රල් ගැසීමට තබා තමාට කහට කෝප්පයක්වත් බීමට තරම්වත් සල්ලියක් අතේ තබා නොගෙනය.

“දුවේ නිමාලි උඹ ගාව සල්ලි කීයක් හරි ගන්න තියෙනවාද?”

“නැහැ තාත්තේ මං ගාව තිබ්බ සල්ලිවලින් තමයි ඊයේ සීනි පන්සීයක් අරගෙන ආවේ.”

“අද සයිකලේට පෙට්‍රල් ගහන්නවත් සල්ලි නැහැ. මං ඒ වගක් අම්මාට කීවේ නැහැ.”

“ඒක හොඳයි නැත්නම් අම්මා මටයි තාත්තාටයි දෙන්නාටම දෙහි කපයි.”

ඇය තමන්ගේ දෙකනේ තිබූ පුංචි කරාබු දෙක ගලවා පියසෝම අත තැබීය.

“මේක තියලා කීයක් හරි ගන්න.”

“එපා දුවේ ඕක කරන්න බැහැ. මම කාගෙන් හරි ඉල්ලාගන්නම්.”

“එපා තාත්තේ ඔයා දැන් හැමොටම ණයවෙලා ඉන්නේ ඒක නිසා මේක අරගෙන යන්න. පඩි අරගත්තාම බේරාගන්න පුළුවන්නේ. අනික ඉක්මනටම අපි විමලේ මාමාගේ සල්ලි ටික බේරමු එයා ළඟදි හොදටම බීලා අම්මා එක්ක තාත්තා එයාගෙන් සල්ලි ඉල්ලා ගත්ත කතාව කීවා.”

පියසෝම නොකැමැත්තෙන්වුවත් වෙන කරන්න දෙයක් නොමැති නිසාවෙන් නිමාලිගේ කරාබු දෙක උකස් කර මුදල් ලබාගත්තේය.

හවස්වරුවේ පියසෝම නිවසට ගොඩවදින තෙක් විමලා පාර දෙස නෙත් යොමාගෙන සිටියේ තරහින් පිපිරෙමිනි. විමලාගේ කෝපය ගැන කිසිත් නොදන්නා පියසෝම නිමාලිගේ කරාබු උකස් කර ලබාගත් මුදලින් නිවසේ කෑමට අවශ්‍ය කලමනා සුපුරුදු පරිදි රැගෙන නිවසට ගොඩවිය.

“ආ මනුස්සයෝ වැඩටයන්නේ නැතිව මොනවාද මේ කරන වැඩ?”

විමලාගේ ප්‍රශ්නයෙන් විපිලිසරව ගිය  පියසෝම ඇයි දැයි ඇසුවේය.

“ඇයි හුයි තමයි දැන් ළමයිගේ දේවල් විකුණගෙන කන්න හදනවාද? හොඳයි හොඳයි ඔහෝම ගිහින් තමුසේ ළමයින්වත් විකුණාගෙන කන්න හදයි.”

එළවළු මල්ල බිම අතහැරිය පියසෝම තරහින් විමලා දෙස බැලුවේය.

“මං මොනවාද විකුණාගෙන කෑවේ?”

“දන්නේම නැහැනේ දැන් තොත්ත බබා වෙනවා. මේ කෙල්ලගේ කරාබුදෙක ගලවාගෙන යන්න ලැජ්ජා නැතිද මනුස්සයෝ?”

“මේ ගෑනියේ බොරුවට කෑගහන්නේ නැතිව හිටපං. මම ගලවාගත්ත එකක් නැහැ නිමාලිමයි ඒක දුන්නේ.”

මේ අතරතුර විමලාගෙන් අතොරක් නැතිව බැනුම් අසා ඇඳටවී අඬමින් සිටි නිමාලි මේ කතාබහ ඇසී නැගිට අවුත් දෙදෙනා අතරට එක්විය.

“අම්මේ මම එක සැරයක් කීවානේ මං තමයි ඒක ගලවලා දුන්නේ කියලා, තාත්තා ඉල්ලන් ගියේ නැහැ.”

“මේ උඹ පැත්තකට වෙලා හිටපං අපේ කතා මැද්දට පනින්නේ නැතිව.”

විමලා නිමාලිව එලවා දැමුවාය.

“මේ කෙල්ල ගෙට වෙච්චවෙලාවේ ගෙදර සත පහක් වත් තිබුනේ නැහැ මගේ මාමාගෙන් ණයට සල්ලි ඉල්ලගෙනයි මේ කරාබු දෙක හැදුවේ. දැන් ඒකත් හෙට්ටිපොලේ. අනේ අම්මපා තමුසෙට ලැජ්ජාවක් නැති හැටි.” 

“ඕකට ඔච්චර කෑ කොස්සන් ගහන්නේ ඇයි ඕයි. මම ඊළඟ පඩියෙන් බේරාගන්නවානේ.”

“ආපෝයි අපෝයි තමුසේ ඕකම බේරාගනියි. දැන් තව ටික දොහකින් රස්සාවත් නැති කර ගනියි.” 

“ඈ යකෝ දවස් දෙකක් නොගියාම රස්සාව නැතිවෙන්නේ නැහැ.”

 පියසෝම පරල විය. 

“ඔව් ගියසැරේ වුණෙත් ඒකම තමයි. මහලොකුවට ගියා ස්ට්‍රයික් කරන්න. මං කියපුවා ඇහුවා නම් අපිට මෙහෙම වෙන්නේ නැහැ.” 

පියසෝමගේ යක්ෂයා ආරූඪ වූයේ පැරණි සිදුවිම් මතක් කරමින් ඇය ඔහුට පහර ගසන්නට වූ බැවිනි. ඔහු පැනපු සැනින් විමලාගේ කම්මුල හරහා වේගවත් අතුල් පහරක් එල්ල කළේය. 

“කටවහපං බැල්ලී.” 

“උඹට බැහැ මගේ කට වහන්න.” 

විමලාද පියසෝමගේ එල්ලීගෙන අවුත් අත මිට මොලවා උරහිස ප්‍රදේශයට එල්ල කළ පහරින් ඔහුගේ කේන්තිය ඉහවහා ගියේය. ඔහු ඇගේ පිට හරහා පහර කිහිපයක් ගැසුවේ විමලා මරහඬ නගද්දීය. මේ ගෝරිය මැදට පැන්න නදීකාද පියසෝමගෙ පහර කිහිපයකින් සංග්‍රහ ලැබීය. නිමාලි විසින් පියසෝමගේ දෑතින් අල්ලා මෙල්ලකර ගැනීමෙන් අනතුරුව පියසෝම තමාගේ කෝපය නිවාගැනීමට නිවසින් එළියට බැස ගියේය. 

“පලයන් යන්න උඹ තමයි තාත්තව නරක් කරන්නෙ.”

කියමින් විමලාගේ තඩිස්සි වී තිබූ කම්මුල අල්ලා බැලීමේ දී නිමාලිගේ අත ගසා දැම්මාය. නිමාලි විසින් පියසෝමගේ කිමිඳුම් වැඩවලට අනුබලදීම විමලා කිසිවිටෙකත් අනුමත නොකළාය. නිවසින් එළියට බට පියසෝම අරමුණකින් තොරව ඇවිදින්නට විය. ඔහු නොදැනුවත්වම ගාල්ල බස් නැවතුම්පල වෙත ඇවිද අවුත් සිටියෙන් අසල වූ වයින් ස්ටෝරුවක් වෙත ගොස් ගල් කාලක් හා තැම්බූ කඩල ගොටුවක්ද ගෙන ගාලු කොටුව දෙසට පියමං කළේය. කොටු බැම්ම මතට වී අරක්කු කාල උගුරට දෙකට හිස් කළ පියසෝම උගුර කට පිච්චීගෙන පහලට බසින අමු අරක්කු සැර අඩු කිරීමට කඩල අහුරක් ගිල දැමීය. විමලාට සිතින් බැන වදිමින් තම කේන්තිය අඩුවන තෙක් මුහුද දෙස බලා සිටි පියසෝම යළිත් නිවසට පැමිණියේ රෑ බෝවී බොහෝ වේලාවකට පසුවය. තමන්ගෙන් සිදුවූ වරද ගැන පසුතැවිලි වෙමින් බමන මතින් වැනි වැනි නිවසට ගොඩව ඉස්තොප්පුවේ පුටුවකට වැටුණු ඔහු යළිත් මේ ගිලුණු නැව ගැන කල්පනා කරන්නට විය. බළලුන්ගේ පොරකෑමේ සද්දය යළිත් ඔහුට ඇසෙන්නට වූයේ නිවසේ පිලිකන්න දෙසිනි. 

“චික් විතරක් මුංගේ මූසල සද්දේ.”

පියසෝම බළලුන් එලවා දැමීමට පිලිකන්න දෙසට පියනැගුවේය. කෙලින් කටින් සිටගත නොහැකිව වැනි වැනි හුන් ඔහුට බළලුන් සිටින දිශාවක් සොයාගැනීමට නොහැකි වුණි. පියසෝම චිප් චිප් යනුවෙන් කිහිප වරක් කෑගසා නිවසට වැදී දොර වසාගත්තේය. 

මේ අතර නිමාලිද සිටියේ තද බල සිත් තැවුලකින්ය. සංවේදි චරිතයක් වූ ඇය රාත්‍රී නිදිවර්ජිතව ගතකළේ අම්මා සහ තාත්තා අතර වු රණ්ඩුව ඇගේ සිතට තදින් බලපෑ නිසාවෙනි. තමාද අනියමින් හෝ මේ දබරයට දායක වී ඇතැයි ඇයගේ සිත ඇයට දොස් නැගුවාය. නිදිමත ළඟාවී නින්දයාගෙන එන විටදී බළලුන්ගේ පොරට වැටෙන්නට පෙර ඇසෙන මූසල කෑගැසීම් හඬ ඇගේ දෙසවනට ඇසෙන්නට වීමෙන් නින්ද කැඩී කිහිපවරක් අවදිවන්නට නිමාලිට එම රාත්‍රිය පුරාවට සිදුවිය. මැදියම පසුවී එළිවන්නට හෝරා කිහිපයකට පෙර ඇයට හොඳින් නින්ද ගියාය.


 පසුදින පියසෝම අවදිවූයේ නිමාලි තේ ගෙනැවිත් කතා කළ පසුය. ඔහු ඇඳේ සිටියදී නොනැගිටම බුරුල්වූ සරමේ ගැටය තදකර ගැට ගසා ගත්තේය. නිමාලි දුන් තේ කෝප්පය තොලගාන ගමන් ඔහුට පෙර දින සිදුවූ කලබගෑනිය සිහියට නැගුනි. විමලාට හෝ ගෙදර අයට හෝ මුහුණ දීමට අපහසු ගතියකින් පියසෝම පෙලෙන්නට විණි. තේ කෝප්පය ගෙනයාමට පැමිණි නිමාලි පියසෝම හා කතාවට වැටුනාය. 

“තාත්තා ඊයේ බීල නේද ගෙදර ආවේ. ඔය වැඩේට නම් පුරුදු වෙන්න එපා ඒකෙන් අපි තවත් අමාරුවෙ වැටෙන එක තමයි වෙන්නේ.” 

පියසෝම කරබාගෙන නිමාලිගේ කතාව අසා සිටියේය.

“අම්මා කැමති නැහැ ඔය වැඩේට නිවාඩු දාගෙන රස්සාවට නොගිහින් කරනවාට. එයා හිතන්නේ තාත්තාව රස්සාවෙන් අස්කරාවි කියලා.”

“ඒ ගැණිට පිස්සු දුවේ. එහෙම කොහොමද එයාල මාව අස්කරන්නේ මම සික් ලීව් දාලනේ ඉන්නෙ.” 

“මං හිතන්නේ තාත්තා මේ වැඩේ ටික දවසකට අතහැරලා ආපසු වැඩට ගියා නම් හොඳයි.” 

“පිස්සුද දුවේ මෙච්චර දේවල් කරලා අතහැරලා දාන්න දැනටමත් ඔය නැව ගැන කීදෙනෙක් නම් හොයනවද? අතට ආපු වාසනාවට පයින්ගහන්න බැහැ”

“ඉතිං මේක හොයන්න වෙන විදිහක් නැද්ද?”

“තියෙනවා මං ඊයේ රාත්තිරියේ කල්පනා කළෙත් ඕක තමයි.”

“ඒ මොකක්ද තාත්තේ.” 

“මං හෙට ඉදලා නයිට් ඩියුටි දාගන්නම්. එතකොට මට දවල්වරුවේ ඔය කිමිඳුම් වැඩේ කරතෑකි. මොකද හොඳට පතුල පෙනෙන්න දවල් ඉර මුදුන්වෙන්න ඕනේ.” 

“අදහස නම් හොදයි එත් රෑ වැඩ කරලා තාත්තාට පුළුවන්ද පහුවදාට කිමිඳුම් වැඩ කරන්න?”

“පුලුවනි, බැහැයි කියලා මේක අතහැරලා දාන්න පුළුවන් වැඩක් නොවෙයි දුවේ.”

“ඒක නොවෙයි තාත්තේ මෙච්චර දවස් කිමිඳිලාත් ඔය නැවෙන් වටිනා යමක් තවම ලැබුනේ නැද්ද?”

“මේකේ තිබිලා මට කැඩුනු වයින් බෝතල් පිඟන් කටු කෑලි වගයක් නම් දැනට හමුවුනා. ඒවා මම උඩට ගෙනාවේ නැහැ වැඩක් නැති නිසා. මේක ඔයාලා හිතන තරම් ලේසි පහසු දෙයක් නොවෙයි. මේ නැව ගිලිලා හුගාක් කල් නිසා මඩේ එරිලා තියෙන්නේ පාදා ගන්න ලේසි නැහැ. මට තියෙන්නේ මේ අත් දෙක විතරයිනේ. අපට කොයින්ද මේවාට හරියන උපකරණ.”

පියසෝම තම දෑත් පෙන්වා කනගාටුවෙන් පැවසුවේය.

ඒ කතාව ඇසු නිමාලිගේ හදවත කඩාවැටුනාක් මෙන් විය.

“තාත්තා දුක් වෙන්න එපා මං අම්මාට කියන්නම් තාත්තා නයිට් එකට වැඩට යනවා කියලා”

“මං කැමති නැහැ ඔය ගෑනිත් එක්ක කතා කරන්න, ඉස්සරවාගේ නැහැ. කතා කළොත් කටු අත්ත වාගේ රණ්ඩුවකට පැටලෙන්න තමයි එන්නේ.” 

“ආ තාත්තේ මට අමතක වුණා අපි ඉක්මනටම විමලේ මාමාගේ සල්ලි ටික ගෙවලා දාමු. දැන් එයා බොනවාත් හොඳටම වැඩියි. අනික මම ආස නෑ එයාගෙන් සල්ලි ඉල්ලාගත්තා කියලා අම්මා එක්ක නිතරම කියවනවාට.”

“එකපාරට නම් බැරිවෙයි දුවේ. තාම මොකවත් ලැබුනේ නැහැනේ ලැබුනානං පොලියත් එක්කම ගෙවලා දාන්න තිබුනා.”

“එහෙනම් තාත්තා අද නයිට් එකට යනවානේ.”

ඇසූ නිමාලි එම ආරංචිය විමලාට දීමට කුස්සියට පියවර නැගුවාය.

පියසෝම කල්පනා කරමින් නිකමට මෙන් තම නිකට අතගෑවේය. තම රැවුල බෑමට අමතකවීමත් දින ගණනාවකින් තමා කන්ණාඩියක් ඉදිරියට නොගියබවත් මතක්වූයේ එවිටය. පිටුපස ළිඳ ළඟට ගොස් ළිංබැම්මේ කනුවක ඇණයකින් එල්ලා ඇති කැඩපත තුළින් තම මුහුණ දෙස බැලූ ඔහුට වියපත් වෙමින් පවතින අව්වට කළු ගැසුනු මුහුණේ දෙපස අඟලක් තරමට දික්ව වැඩුනු රැවුල පෙනින. රැවුලෙන් හරි අඩකටත් වඩා පැසී ගොසිනි. මේ දිනවල දිගින් දිගටම මුහුදේ ගතකළ බැවින්දෝ කොණ්ඩයත් තඹ පැහැගැන්වී ඇත.  ඇස් දෙක යට කළුවී වලගැසි ඇත්තේ තමා දරන වෙහෙස ඔරොත්තු නොදෙන නිසාදෝයි ඔහුට සිතුනි. විටෙක මේ සියල්ල අතහැර දැමීමට සිතුන නමුත් මේ අතට ලැබුන වාසනාවට පයින් ගසන්නට හෙතෙම අකමැති වුයේය. කැඩපතින් පෙනෙන තම ප්‍රතිරූපය දෙස බලමින් සිටි පියසෝම තම ජිවිතයේ සුන්දර අතීතයට පියමනින්නට විය.

මතුසම්බන්ධයි.....

Monday, March 1, 2021

හෝරස්ගේ දරුවා - පළමු දිගහැරුම Son of Horus - 1


සිතිජය සීමාවේ ගිනිබෝලයක්සේ දිලෙන සැන්දෑ හිරු සිය චණ්ඩ රශ්මී කදම්බයෙන් මිහිකත දවාලූ වෙහෙස දුරලන්නට අවරගිර අහසෙන් බැස සයුරේ ගිලී සැතපෙන්නට ආසන්න වෙමින් ඇත. මලානික කහ පැහැති ආලෝක කදම්බයන් අතරින් පතර නිවෙස් හා ගස්කොලන් නොමැති හිඩැස් වලින් පෙරී ඇවිත් පාරට දෙසට එබී බලමින් සිටී. දිනය නිමාවීමට ආසන්න නිසාදෝ සවස් වරුවේ වැඩ නිමවී යන බොහෝ දෙනා ලහිලහියේ තම කූඩු වලට ගාල්වනු පිණිස නොනවතින තරගයක නිරතවෙමින් සිටියහ. ලවන මුසු වාතය හා කෑකෑරුනු දුහුවිලි අවුස්සමින් මාතර ගාල්ල පාරේ හැල්මේ දුවන වාහන අතරින් පියසෝම රත්නායක මුහුදු සුළඟට දිරාපත්ව ගිය තැපැල් නයින්ටිය තම සුපුරුදු වේගයෙන් පදවමින් සිටියේය. 

ගාල්ලේ මිනුවන්ගොඩ පිහිටි තම නිවසට යන්නට ඔහු යතුරුපැදියේ වේගය වැඩි කළේය. දෙපයින් නැගිට ඇවිදින්නට හැකිවූ කළ සිටම මුහුද සමඟ කරදඬු උස්මහත්වූ පියසෝම එනිසාම හොඳ පිහිනුම්කරුවෙක්ද විණි. රැකියාවට අමතරව ඉඳහිට මුහුදේ කිමිදී විසිතුරු මාලුන් අල්ලා දීමෙන්ද අමතර ආදායමක් උපයා ගත් නමුදු වෘත්තියෙන් ගාල්ලේ ප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක මුරකරුවෙකු ලෙස සේවය කළේය. 

සුළංරැලි කපාගෙන තම මෝටර් සයිකලය පදවාගෙන යන අතර පියසෝම සිටියේ දැඬි කල්පනාවක වැටීගෙනය. තම අනාගතය ගැන සිහින දකිමින් ආ ඔහු පියවි ලොවට ආවේ තාර පාරේ වූ වලකට වැටීමෙනි. පිටුපස බැඳ ඇති පෙට්ටිය බුරුල්වූවා දැයි බැලීමට තම නෙත් යොමුකළ අතරම බයිසිකලය පදවාගෙන ආ මාර්ගයෙන් ඉවතට ගොස් ප්‍රතිවිරුද්ධ දිශාව දෙසට ඇදී යන්නට වුනි. විදුලි වේගයෙන් ඉදිරියට ආ ඉන්ටර්සිටි බසයක් මහහඬින් නලාව නාද කරමින් වෙට්ටුවක් දමා ඉගිලුනි. හෝන් හඬින් තිගැස්සුනු පියසෝම අනූනමයෙන් බසයේ නොගැටී තම බයිසිකලය හරි පාරට ගත්තේය. සිදුවන්නට ගිය අනතුරෙන් පසුව පපුවේ ගැස්ම වැඩිවී බියට පත්වුනු පියසෝම බයිසිකලය පාරේ අයිනකට අල්ලා නවත්වා මඳ හුස්මක් ගත්තේය. යළි නිවස බලා පිටත්වන්නට පෙර පෙට්ටිය හොඳින් සකස් කරගත් ඔහු සයිකලය පණ ගන්වාගෙන පාරට ගත්තේය. මදක් කට සැර ගැහැනියක් වූ විමලාත් තම දියණියන් දෙදෙනාවූ නිමාලි හා නදීකාත් විමලදාස නම් වූ විමලාගේ අවිවාහක සොහොයුරාද ජීවත් වූයේ පාර අද්දර පිහිටි පැරණි පන්නයේ නිවසක් වූ ඇගේ මහගෙදරය.  පියසෝම මෙන්ම නිහඬ චරිතයක් වූ නිමාලි පාසල් අධ්‍යාපනය අවසන්කර රැකියාවක් බලාපොරොත්තුව සිටියාය. නදීකා තවමත් පාසල් යමින් සිටින අතර ඇයත් තම මව් මෙන්ම කට සැර එකියක් වූවාය. නිවෙස අද්දර තැපැල් නයින්ටිය නැවැත්වූ පියසෝම ඉක්මනින් පිටුපස පෙට්ටිය ලිහාගන්නා ගමන් නිමාලිව ඇමතීය.

“දුවේ ඉක්මනට මේ බඩුටික අරගෙන යන්න.”

වෙනදාට තාත්තා ඔහුගේ කිමිඳුම් ආම්පන්න ගෙනයාමට නිමාලිව අමතන්නේ නැති බව  ඇයට වැටහුනි.

සීරුවෙන් පෙට්ටිය ලිහා ඉවතට ගත් පියසෝම වටපිට බලා තම නිවෙසට ඇතුල්වී තම නිදන කාමරයෙන් තැබීය. 

පියසෝම නිවසට පැමිණිබව ඇසුනු විමලා දුර්වර්ණව ගිය කිමෝනාවෙන් තම දෑත් පිසදමමින් තම මඳක් ස්ථුල වූ ශරීරය වෙහෙස කරවීමට අකමැති සේ හිමිහිට සාලය වෙත පැමිණියාය. ඇයගේ දෑත් කිමෝනාවේ පිසදැමීමෙන් ඉන දෙපස කලු පැහැයට ළංවී තිබීම දැක ඔහුට තම බිරිඳ ගැන කෝපය මුසු අප්‍රසන්න හැඟීමක් ද ඇතිවුනි. 

 “කෝ ගේන්න කිව්ව බඩුටික.”

 “අඩේ මට අමතක වුණානෙ.”

 “යසයි වැඩේ අද උයන්නවත් එළවලු මුකුත් නෑ. අද මොකද වෙලා තියෙන්නේ මම උදේම කීවානේ.”

“හරි හරි කීවානං තමයි මම අද වෙන කල්පනාවක ආවේ දැන් ගොඩක් හවස් වුණානේ ආයේ ටවුමට යන්න බැහැ. මේ ළඟ කඩේකින් දැනට මොනවා හරි අරගමු. මම හෙට ටවුමෙන් අරගෙන එන්නම්.”

“තාත්තේ මොකක්ද අර පෙට්ටියෙ තියෙන්නේ.”

නිමාලි ඇසුවාය.

“ඒක නිධානයක් දුවේ.”

පියසෝම සිතේ වූ සතුටට සිනාසෙමින් පැවසුවේය.

“නිධානෙන් එන පිලීගඳ තමයි ඉවසන්න බැරි. මොකට දාගන්නවාද කාමරේට. දාන්න ඔය ජරාව එළියට.”

විමලා කාමරයට එබී බලා කීවාය.

පියසෝම හිමිහිට පෙට්ටිය විවෘත කර එතුළින් ප්‍රමාණයෙන් අඩියක් පමණ උස්වූ කුඩා බඳුනක් වැනි යමක් එළියට ගත්තේය. බොහෝ සෙයින් කාවට්ටි හා දිය සෙවල බැඳී තිබුනු එය කුමක්දැයි හඳුනාගත හැකි නොවීය.

“අයියෝ ඕකද මහ ලොකු නිධානය?”

නදීකාද කාමරයට එබී බලා ඇසුවාය.

“මේක තමයි නිධානයකට පාර පෙන්නුවේ. මම අද රූමස්සල ගාව වෙනදා නොගිය හරියක කිමිඳුනා එතනදි මට ගිලුණු නැවක් හමුවුණා. ඒක අවට සොයද්දී නැව ළඟ තිබිලයි මේක ලැබුනේ.”

“ඉතිං.”

නිමාලි නොඉවසිල්ලෙන් ඇසුවාය.

“මේ නැව ගොඩාක් පරණ රුවල් නැවක් වෙන්න ඕනේ. ගොඩා හරියක් වැලි වලින් වැහිලා තියෙන්නේ. හොඳට හොයලා බලන්න ඕනේ නැවේ වටින යමක් තියෙනවාද කියලා. දන්නවාද මම පුංචි කාළේ අහලා තියෙනවා රත්තරන් පුරවාපු නැවක් ගාල්ලේ දි ගිලිලා තියෙනවා කියලා.”

“තාත්තේ ඔය පරණ ගිලුණු නැව්වලින් පුරාවස්තු ගොඩගන්න එක තහනම් නේද?”

“තහනම් කථාවක් නං මම දන්නේ නැහැ. නමුත් මේ ළඟදි ගිලුණු නැව්වලින් යකඩ ගොඩට ඇදපු කොල්ලෝ වගයක් නම් පොලීසියෙන් ඇල්ලුවා.”

“අපෝයි තමුසේ ඔය මඟුල් හොයන්න ගිහින් හිරේ විලංගුවේ වැටෙනවා එහෙම නෙවෙයි අපිට බැහැ ආයෙමත් වංගියක් පොලෝසි ගානේ ගාටන්න. මතකද ඉස්සර යුනියන් කාරයොත් එක්ක එක්කාසුවෙලා ස්ට්‍රයික් කරලා කරගත්තු හරිය.”

මීට අවුරුදු ගණනාවකට පෙර වැඩවර්ජනයක් මෙහෙයවීමෙන් පියසෝම රැකියාවෙන් දොට්ට දැමීම නිසා හරිහමන් ආදායමක් නොමැතිව අනේකවිධ දුක් තමාටත් දරුවන්ටත් විඳීමට සිදුවීම විමලා යළිත් සිහිපත් කළාය.  

“මං දන්නවා පරිස්සමෙන් වැඩේ කරන්න. මොනවා හරි ලැබුනොත් මට විතරක් නොවෙයිනේ උඔලා අපි කාටත් තමයි.”

පියසෝම නොරිස්සුමෙන් කීවේය.

“මොනවා කළත් රස්සාව නැති කරගන්නවා එහෙම නොවෙයි.” 

 කී විමලා යළි කුස්සියට ගියාය.

නදීකාව ළඟ කඩයකට පිටත් කර හැරිය පියසෝම නිමාලි වෙත ආවේය.

“දුවේ උඔට පුලුවන්ද මේක හිමිහිට සුද්ද බුද්ද කරලා ගන්න හැබැයි මොකක්වත් ආපදාවක් නොවෙන්න. ඊට පස්සේ බැරියැ මේක ඇර ගන්න පුළුවන්ද කියලා බලන්න.” 

“තාත්තේ මේ බෙල්ලන්ගේ පිළීගඳ හින්දා මුලුගේම ගඳ ගහනවා. අපි මේක පිටිපස්සේ තියෙන තීන්ත බාල්දියේවත් දාමු.”

පියසෝම එය එළියට දාන්න නොකැමතිවූවත් නිවසේ දුර්ගන්දය වැඩිවීම නිසා විමලාගේ රොස් පරෝස් ඇසීමට සිදුවන බව ඔහුට වැටහුන බැවින් නොකැමත්තෙන් වුවත් ඔළුව වැනුවේය.

නිමාලි බෙල්ලන් බැඳුන බඳුන රැගෙන ගොස් පරණ තීන්ත බාල්දියක බහා වතුරින් පිරවූවාය.

ශරිරයේ වු ලූණු වතුර සෝදා හොඳින් ස්නානය කරගත් ඔහු රාත්‍රී ආහාරයෙන් පසුව ගිලුණු නැවේ පුරාවස්තු සෙවීම පිළිබඳව ගැඹුරින් කල්පනා කරන්නට වූයේය. සුපුරුදු පරිදි මීවිතෙන් සප්පායම්වුනු විමලදාස වැනි වැනී නිවසේ ඉස්තෝප්පුවට ගොඩවිය. සුරාවෙන් දිරාපත්ව ගිය ශරීරයක් හිමිවූ විමලදාස ගාලු නගර සභාවේ කම්කරුවෙකු ලෙස සේවය කළේය. කිසිදා විවාහයක් ගැන නොසෙවූ ඔහු තම රැකියාවට ගියේ කොට කලිසම  හා උඩ බොත්තම නොපියවූ කමිසය අඳීමින්ය. ඉතාමත් නිහඬ ගුප්ත චරිතයක්වු විමලදාස කටේ තොලේ ගැවුනු පසු අනෙක් අයට කන්කරච්චලයක් බවට පත් වෙයි. පියසෝම දෙසවත් නොබැලූ ඔහු වැනි වැනී ගොස් ඇඳට වැටුණේය. 

“මේ මිනිහා බීලම  මැරෙන්න යනවා. හම්බුකරන මුලු සේසතම බීමට වියදම් කරනවා විතරයි ගෙදර වියදමටවත් මේකා සතයක් හොල්ලන්නේ නැහැ. මම මේ යකාටත් කන්න වියදමත් හොයන්න එපැයි.”

පියසෝම කැරලි සහිත රෝමයෙන් පිරුණු පපුව අතගාමින් සිතුවේය.

“මට මේ ගිලුණු නැවෙන් මොකක් හරි වටිනා යමක් හමුවුනොතින් විමලදාසයාගෙන් මේ ගෙදර සල්ලි වලට ගන්න පුළුවනි. බීලාම මූ මැරිලා යන්නේ නැති හැටි” 

විමලාගේ මහගෙදර විමලදාසටත් සමඅයිතියක් ඇති බැවින් පියසෝම එසේ සිතන්නට වූයේය. නිවසට නොදුරින් බළලුන් කිහිප දෙනෙක් පොරකෑමට සුදානම්වීමේ කෑගැසීම් ශබ්දයක් පියසෝමට රාත්‍රී කාලයේ ඇසිනි. ඔහු එය එතරම් ගණනකට නොගත්තේ රාත්‍රී කෑමෙන් පසු නින්ද යනතුරුත් ඔහු ගිලුණු නැවෙන් වටිනා පුරාවස්තු ගොඩ ගන්නා සැටි සැලසුම් කරමින් සිටි නිසාය. දහවල් මුහුදේ කිමිදී ගතේවු  තෙහෙට්ටුව ඉක්මනින් පියසෝමව නින්ද වෙත කැඳවා ගත්තේය. පසුදින උදයේම ඔහුට යළිත් තමාගේ අගනා වස්තුව අතගා බැලීමට සිත් විය. තීන්ත බාල්දිය වෙත ගොස් යළි එම බඳුන අතට ගත් ඔහු එය එහාට මෙහාට කරකවමින් බඳුනේ හැඩය බලමින් එය තුළ යම්කිසි දෙයක් ඇතිදැයි සොලවා බලන්නට විනි. එහෙත් එහි හැඩය පිළිබඳව හෝ කුමක් අරභයා යෙදාගත්තක්දැයි යම්කිසි චිත්තරූපයක් සිතට නගාගන්නට අපොසත්විය. 

“තාත්තේ මම ඕක හිමිහිට සුද්ද කරලා මතුකරලා ගන්නම් ඔය කාවට්ටි තදින් බැඳිලා නිසා හානියක් නොවි උන්ව අයින්කරගන්න ඕනේ.”

මේ අතර පියසෝම අසලට ආ නිමාලි කීවාය.

“ඔව් ඔය නැව ගිලුණු කාලේ ඉඳලා අවුරුදු ගණනාවක් කාවට්ටි ඕකේ බැඳෙන්න ඇතිනේ.”

“තාත්තේ සමුද්‍ර කෞතුකාගරයෙන් අපිට ගිලුණු නැව් ගැන විස්තර හොයාගන්න පුළුවන් වෙයි නේද?”

“ඔව්, ඒක මටත් කල්පනා උනා. විස්තර හොයලා බලන්න අදම ඒ පැත්තේ යන්න ඕනේ.”

“හැබැයි තාත්තේ පරිස්සමෙන්, මොකද එයාලා සැකකරන්න පුළුවන් අපිත් අර ගිලුණු නැව් වල පුරාවස්තු හොයන කණ්ඩායමක අය කියලා.”

“ඒයි මේ ඇහුනාද, ඔයා අද වැඩට යන්නේ නැද්ද?”

අසමින් විමලාද ළිඳ ළඟට විත් කථාවට බාධා කළාය.

“ මේ දුවේ තාත්තාගේ වැඩවලට අලඟු තියන්න එපා. ගිලුණු නැව් වලින් පුරාවස්තු ගොඩදාන්න ගිහින් කරගෙන ආපු බඩරස්සාවත් නැතිකරගන්න වැඩක් තමයි ඕක.”

ඇය කේන්තියෙන් කීවාය.

“හරි හරි ඒක මම බලාගන්නම්. උඹලා ඕකට කෑගහලා හැමතැනම ආරංචිකරන්න එපා.” 

කී පියසෝම ඉක්මනින් එතනින් ඉවත්විය. 

බාලදක්ෂ මාවත දිගේ තම තැපැල් නයින්ටිය පදවාගෙන ආ ඔහු ගාලු කොටුවට පැරණි කුඩා දොරටුවෙන් ඇතුල් වීය. බයිසිකලය උසාවිය අසල නවතා සමුද්‍ර කෞතුකාගාරයට ටිකට් පතක් ගෙන ඇතුල්වුවත් එහි ප්‍රදර්ශනයෙන් ගතහැකි සැලකියයුතු විස්තරයක් නොවීය. එබැවින් එහි උන් නිලධාරියෙකුගෙන් ගාලු මුහුදු ප්‍රදේශයේ ගිලුණු නැව් ගැන යම් විමසීමක් කිරීමට පියසෝම උත්සාහ කළේය. ඔහු එම විස්තර හාරාඅවුස්සමින් ප්‍රශ්න කරද්දී නිලධාරියාගේ සැකකටයුතු බැල්ම පියසෝම වෙත එල්ල විය. එය වැටහුනු පියසෝම ඉක්මනින් එතනින් පිටවුනි. ඔහු යළි දහවල් ආහාර වේලාව වන විට තම නිවෙස වෙත ළඟාවිය.

“තාත්තේ විස්තර මුකුත් ලැබුනාද?”

“නැහැ දුවේ එයාලා දන්න විස්තරයක් නැහැ. එක්කෝ දන්න දේවල් කියන්නේ නැහැ අපි ඒවා ගොඩගනියි කියලා. ගාලු වරාය ගාව ගොඩාක් නැව් ගිලිලා තියෙනවා කිව්වා හැබැයි ඒවායේ මොනවා ගෙනාපු නැව්ද කියලා විස්තර නැතැයි කිව්වා. තව ටිකක් විස්තර ඇහැව්වානම් එයාලා මාව සැක කරනවා. ඒ හින්දා ඉක්මනට මම එතනින් ආවා.” 

“ඔව් ඒක හොඳයි මමත් බයෙන් හිටියේ. තාත්තා මෝටර් සයිකලේ එතන නවත්තලද ඒකට ගියේ?”

“මම උසාවිය ළඟ තමයි නතර කළේ. ඇයි දුවේ?”

“නැහැ එයාලා තාත්තව සැක කළා නම් බයිසිකලේ නොම්මරේ ලියාගන්න තිබුනා ඒකයි.”

“මටත් ඒක හිතුන නිසා මම උසාවිය ළඟ නතර කළේ. එතන කොහොමත් මෝටර් බයිසිකල් නතර කරනවානේ. අනික නොම්බර ලියා ගන්න එතන එයාලට දුර වැඩීනේ.”

“තාත්තේ මතකද අර වක්වැල්ල පාරේ ඉන්න පියරත්න ඉස්කෝලේ මහත්තයා. අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් වෙලාත් හිටියා. එයා නේද ගාලු උරුමයන් සුරැකීමේ සංවිධානයේ සභාපති වෙලා හිටියේ?”

“ඔව් ඉතිං?”

“එයා ගාල්ලේ පුරාවිද්‍යාත්මක ස්ථානයන් ගැන පත්තරේට ලිව්වා තාත්තාට මතකද? එයා දන්නවා ඇති ඔය ගිලුණු නැව් ගැනත්.” 

“අඩේ මට ඔය පියරත්න මහත්තයා ගැන හාංකවිංසියක්වත් මතක් වුණේ නැහැනේ. එයා නම් යමක් කමක් දන්න මිනිහා, එයාව මුණගැහුනා නම් වැඩේ හරි.”

“හැබැයි තාත්තේ එයාගෙනුත් විස්තර දැන ගන්න ඕනේ එයාට සැක කරන්න ඉඩ නොතියා.” 

“හරි හරි මම ඒක කරගන්නම්, කෝ ඉක්මනට බත් එක බෙදලා දෙන්න දැන්නම් හරිම බඩගිනියි.” 


     

දිවා ආහාරයෙන් පසුව පියසෝම තම ඊළඟ මෙහෙයුම ක්‍රියාවට නංවන අයුරු සැලසුම් කරන්නට විය. හවස හතරට පමණ පියරත්න මහතා හමුවීමට වක්වැල්ල පාරේ තිබූ ඔහුගේ නිවසට ගියේය. පියරත්න මහතා හීන්දෑරි ශරීරයක් හිමි අවුරුදු හැට පහක් පමණ වයසින් යුතු විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වූ අතර පුරාවිද්‍යාව වැනි විෂයන් පිළිබදව ඇල්මක් දක්වන ප්‍රදේශයේ සමාජ සේවා කටයුතුවලට එක්වන කැපීපෙනෙන චරිතයක්ද විය. සිංහල උළු සෙවිලි කරන ලද ඕලන්ද ගෘහ නිර්මාණයට අනුව ගොඩනංවන ලද ඉතා පැරණි නිවසේ ඉදිරි ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ දිගෑදී ඉංග්‍රීසි පුවත්පතක් කියවමින් සිටි පියරත්න මහතා පුවත්පතට ඉහළින් එබී කන්නාඩි දෙකට යටින් ඇස් පුංචි කර බැලුවේ ගේට්ටුවේ කොක්ක ඇරුණු ශබ්දය ඇසුනු පසුවය. තම කන්නාඩි කූට්ටම නළලේ රුවාගත් ඔහු පියසෝමව ඇඳින ගත්තේය.

 “ආ මේ පියසෝම ළමයනේ මට එක පාරටම ඇඳින ගන්න බැරිවුනා.”

“දැං ඉතිං අපි වයසක මිනිස්සුනේ මහත්තයෝ.”

 කියමින් පියසෝම ඉස්තෝප්පුවට ගොඩවිය. 

“එන්න පියසෝම මෙහෙන් වාඩිවෙන්න ඉතිං කොහොමද තොරතුරු.”

“වරදක් නැහැ පියරත්න මහත්තයා මම මේ ටවුමට ආවා ගෙදරට කළමනා ටිකක් අරගෙන යන්න. ඒ ගමන් මෙහාටත් ගොඩවුනා කාලෙකින් මහත්තයාව දැක්කෙත් නැහැ නොවැ.” 

“ඉතිං බඩු ටික ගත්තද?”

“කොහේ ඔක්කොම ගන්නද දැං එන්න එන්නම බඩු ගණං යනවනේ.”

“ලොකු දුවට රස්සාවක් ලැබුනද පියසෝම?” 

“තවම නැහැ මහත්තයෝ. ඒකිත් හැම තිස්සෙම බලන්නෙ කීයක්හරි හොයාගන්න පුළුවන් රස්සාවක්. හොඳ එකක් ලැබුනොත් ගෙදර වියදම ටිකක් හරි අඩුකර ගන්න පුළුවන් කියලා.”

“අපරාදෙ කෙල්ල කැම්පස් නොගියේ පියසෝම, එයාට හොඳට ඉගෙන ගන්නත් පුළුවන්නේද?”

“එයාමයි කැම්පස් යන්න කැමති නැති වුනේ වියදම්කරන්න සල්ලි කොහෙන්ද කියලා. මාත් මොනවා කරන්නද මේ මුරවැඩෙන් ලැබෙන සල්ලි වලින්.”

වෙනත් ආගිය කතා කරමින් සිටි පියසෝම තමා මෙතෙක් නොඉවසිල්ලෙන් සඟවාගෙන සිටි කාරණාව පියරත්න මහතාගෙන් විමසුවේය.

“මහත්තයෝ මේ ළඟදි පිටරටින් ආවා නේද වරායේ ගිලුණු නැව් හොයන්න?”

“ඔව් ඔස්ටේ්‍රලියාවෙන්ද කොහෙද කණ්ඩායමක් ඇවිත් ගිලුණු නැවක් හොයාගත්තා. එකේ තිබුණු බඩු වගයක් ගොඩට අරගෙන අපේ සමුද්‍ර කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තියන්නයි හදන්නේ.”

“වටින බඩු එහෙම ඒකේ තිබුණාද?”

“පුරාවිද්‍යානුකුලව නං ඒවා වටිනවා.”

“මම අහලා තියෙනවා වරාය ළඟ ගොඩාක් නැව් ගිලිලා තියෙනවා කියලා.”

“ඔව් පියසෝම නැව් කිහිපයක් ගැන සඳහන් වෙලා තියෙනවා. සමහර ඒවා තියෙන තැන් සොයාගත්තා. සමහර ඒවා තාම සොයාගෙන නැහැ. අපට වාර්තා නොවි ගිලුණු නැව්ත් ගොඩාක් ඇති.”

“මම පුංචි කාලේ අපේ ආච්චි කියනවා අහලා තියෙනවා රත්තරන් පුරවාපු නැවක් ගාල්ලේ දි ගිලිලා තියෙනවා කියලා.” 

“මමත් ඔය කතාව අහලානං තියෙනවා පියසෝම. ඉස්සර යටත්විජිත රටවල් වලින් මංකොල්ලකාලා එකතුකරගත්තු රත්‍රං, මුතු, මැණික්, ඇත්දළ එහෙම එයාලාගේ රටවල් වලට අරගෙන ගියා. ඒවා අරගෙන ගිය රුවල් නැවක් කුණාටුවකට අහුවෙලා ඒක අලුත්වැඩියා කරගන්න ගාල්ලට එනකොට ගල්පරයක හැපිලා මුහුදුබත් වුණා කියලායි කියන්නේ.” 

මෙය ඇසූ පියසෝමගේ දෑස් දිලිසෙන්නට විය.

“ඉතිං ඔය නැවේ තිබ්බ වස්තු සම්බාරේ හොයාගත්තාද?”

“මං දන්න විදිහට නං තවම ඒක ගිලිලා තියෙන තැනක් හොයාගෙන නැහැ.”

“මහත්තයා හිතන්නේ ඒක කොයි හරියෙ ගිලෙන්න ඇතිය කියලාද?”

“මම නම් හිතන්නේ ගිලෙන්න ඇත්තේ කුඩා රාවණා මහා රාවණා ලයිට් හවුස් දෙක අතර වෙන්න ඕනේ. මොකද දන්නවාද මේ ලයිට් හවුස් දෙක අතරේ විශාල ගල්පරයක් තියෙනවා. මේ ගල්පරයේ හැපිලා නැව් විශාල ගණනක් මුහුදුබත් වුණු නිසා තමයි සුද්දො ඔය ලයිට් හවුස් දෙක හැදුවේ.”

“ඇයි පියසෝම මේ හදිසියේ ගිලුණු නැව් මතක් වුණේ?”

“නෑ මේ නිකං මං ඇහැව්වේ.”

කලබල වූ පියසෝම එය මඳ සිනාවක් පා සලිතව ගිය සිත මැඩපවත්වා ගනිමින් කීවේය. 

“නිකං නං වෙන්න බැහැ පියසෝම.”

“නෑ ඇත්තම කීවොත් මහත්තයා මේ ළඟදි මගේ යාලුවෙක් මාව කොටුවේ ඔරියන්ටල් හෝටලයට අරගෙන ගියා සුද්දෙක් හමුවෙන්න. ඒ සුද්දා ඇහැව්වා ගිලුණු නැව් තියෙන තැන් දන්නවාද කියලා? ඒකා අපේ වරාය ළඟ මුහුදේ සිතියම් වගයකුත් එළියට අරගෙන මට පෙන්නුවා.”

“ඉතිං පියසෝම දන්නවා කීවද?”

“නැහැ මහත්තයෝ මට ටිකක් සැක හිතුනා. ඒ නිසා මං ඔය තැන් දන්නේ නෑ කීවා. ඒකයි මම  මේ ඇහැව්වේ.”

පියසෝම තම සැලසුමට අනුව ගල් පැලෙන බොරුව ඇද බෑවේය.

“පියසෝම ඔය සමහර සුද්දන්ගේ විනෝදාංශයක් තමයි ගිලුණු නැව් බලන්න කිමිදෙන එක. ඔයාත් කිමිඳුම්කාරයෙක් නිසා ඔයාගෙන් ගිලුණු නැව් තියෙන තැන් දන්නවාද කියලා විස්තර දැනගන්න බැලුවාද දන්නෙත් නැහැනේ. හැබැයි මට මතකයි මීට අවුරුදු ගණනාවකට ඉස්සර ඔය කියන රත්‍රං නැව අයිති රටේ සුද්දෝ වගයක් ඇවිත් නැව හෙව්වා කියලා.”

“මොන රටේ සුද්දෝ ද මහත්තයා?”

“මං හිතන්නේ ඕලන්දක්කාරයෝ වෙන්න ඇති. හැබැයි උන්ට නං මුකුත් ලැබුනේ නැහැ. ඔය සුද්දෝ හිටිය බෝට්ටුව ලොකු අනතුරකට ලක් උනාය කියලා මං අහලා තියෙනවා. අනික ඔය කියන සුද්දා ආවේ ගිලුණු නැවේ වස්තුව හොයන්න නම් ඔයා ඔය මංකොල්ලකාරයන්ගේ වැඩවලට හවුල් වෙන්න එපා.”

පියරත්න මහතා අවසානයේදි අවවාදාත්මකව කීවේය.

“හොඳමයි මහත්තයෝ. දැන්නම් ඇඳිරිවැටෙන්නත් ළඟයි මං එහෙනම් ගිහිල්ලා එන්නම්”

 කී පියසෝම පියරත්න මහතාගෙන් සමුගෙන හනිකට තම නිවස බලා පියවර තැබුවේ ලොකු කල්පනාවක යෙදිමිනි. පාරේ දෙපස නොබලා මහවීදිය හරහා පාර මාරුවීමට ගොස් පිටුපසින් පිම්මේ ආ ත්‍රීරෝද රථයක් මහ හඬින් ගැසූ බ්රේක් පාරේ ශබ්දය නිසා පියසෝම පියවි සිහිය ලැබගත්තේය. ත්‍රී විලරය පැදවූ ළාබාල කොලුවා පියසෝමට කුණුහරුපයකින් සංග්‍රහකරමින් මහවීදිය දිගේ ඉදිරියට ඇදිනි. වෙන වේලාවකදී නම් එය පියසෝමගේ යක්ෂයා ආරූඬ වෙන සිදුවීමක් වුවත් මෙවර පියරත්න මහතාගෙන් ලැබුණු හෝඩුවාව නිසා සිතේ ඇතිවූ සතුටේ බලයෙන්දෝ එය පිළිබඳව ඔහුට ගනිච්චියක් නොවීය. ඔහු තම පය ඉක්මන් කරමින් තම නිවෙස බලා ඇදුනේ තම සතුට දියණිය හා බෙදාගැනීමටය.

මතුසම්බන්ධයි......

මගේ නොවන මගේම කැබිනය හා මිලේනියම් එක සැමරිම - සයුරේ දසවසක්

මාගේ තුන්වන නෞකාව වූ කුමණේ සිටියදි 1999 වසරේ   ජනාධිපතිවරණය   පැවැත්වු අයුරුත් අපත් එයට සමගාමිව  ජනාධිපතිවරණය ක් පවත්වූ අයුරු පෙර ලියා ඇත්තෙ...