Monday, December 21, 2020

පළිගු කිරිල්ලී - විසිහයවන කොටස


 “ආ මට කියන්න බැරිවුනා. එක දවසක් විජිත ආවනේ අක්කාව හොයාගෙන.”

“කවදාද?”

විස්මයට පත්වූ තමාලි ඇසීය. විජිතගේ නම දිනේෂ් ගේ මුවින් පිටවෙද්දි ඉන්දිරා සන්ත්‍රාසයට පත්වූවාය.

“ අයියා ටේ්නින් වලට යන්න සුමානෙකට විතර ඉස්සර.”

“ විජිත අපේ ගෙදරට නම් ආවේ නෑ.”

සුදු නැන්දා තමාලිට කීවාය.

“ මල්ෂාව අරගෙන එන්න සුදු නැන්දා ගිය වේලාවක තමයි මිනිහා ආවේ. හැබැයි මම දැක්කේ පහළ බස් හොල්ට් එක ළඟදි. අර සුදු පාට හයිඑස් වෑන් එකෙන් ඇවිල්ලා තිබුනේ. ඒ වෙලාවේ අයියා දිස්නා අක්කලා ගෙදර හිටියේ.”

“ ඉතිං?”

“ මම විජිතට නොපෙනෙන්න ටක් ගාලා ගිහිල්ලා අයියාට කිව්වා. අයියයි මායි අර කෑලෑ පාරෙන් ගිහිල්ලා මිනිහා අපේ ගෙදර යන්න කලියෙන් මඟදි අල්ලාගත්තා.”

“විජිත මොකටද ඇවිල්ලා තියෙන්නේ? ”

“දන්නේ නෑ. මිනිහා කිව්වේ නම් මල්ෂාව බලන්න ආවා කියලා. ”

“අපෝ දුවට ආදරේ ඇති තාත්තා. අම්මවයි දුවවයි ගෙදරින් පන්නලා මාස හත අටකට පස්සේ විතර එනවා දුවව බලන්නය කියලා.”

“අපි කිව්වා මෙහේ ඇති මල්ෂා කෙනෙකුත් නෑ. ආයේ මෙහෙට එන්නත් එපා කියලා.”

“ඉතිං ඒකා සද්ද නැතිව ගියාද?”

“නෑ පිස්සුද? මිනිහා ඇවිල්ලා තියෙන්නේ මල්ෂාව උස්සාගෙන යන්න වෙන්න ඇති.”

“එහෙම කොහොමද කියන්නේ?”

“නෑ අම්මේ විජිත තනියෙන් නෙමෙයි ඇවිල්ලා තිබුනේ. තව කොල්ලෙක් එක්කයි. ඌ හිටියේ විජිතගේ වෑන් එකේ.”

“එහෙනම් අර කොල්ලා වෙන්නැති. දෙන්නා එක්ක ජෝඩු දාලා බණ්ඩාරවෙල පැත්තේ ගිහිල්ලා එන ගමන් ද දන්නේ නෑ.”

ඉන්දිරා කීවාය.

“ඊට පස්සේ අපි ආයෙත් හල්දුම්මුල්ල පැත්ත පළාතේ එන්න එපා කියලා ආපහු හරවලා යැව්වා. කොහොමත් මිනිහා ආයෙත් එහේ එන එකක් නෑ ”

“ උඹලා දෙන්නා ඌට ගැහැව්වාද?.”

“ පොඞ්ඩක් විතර මුණට තට්ටුවක් දැම්මා. ආයේ හල්දුම්මුල්ල පැත්තේ ආවොත් නම් හොඳටම නෙලලායි ආපහු යවන්නේ කිව්වා.”

“ ඇයි උඹලා දෙන්නා ඌත් එක්ක රණ්ඩුවට ගියේ? එත් ඇයි මෙච්චර දවසක් මටවත් මේක නොකිව්වේ?”

සුදු නැන්දා විස්සෝපවෙමින් කීවා ය.

“මම දන්නවානේ සුදු නැන්දාගේ හැටි. පොඞ්ඩ ඇත්නම් කලබල වෙන නිසා කිව්වේ නෑ. දැන් ප්‍රශ්නයක් නෑනේ. විජිත එදායින් පස්සේ ආපහු ආවෙත් නෑ.”

“පුතාලා කෙලි පොඞ්ඩිව බේරගෙන තියෙනවානේ එහෙම කරපු එකත් හොඳයි සුදු නැන්දේ.”

“මම දන්නවා විජිත ආවේ ඇයි කියලා. එයාගේ බිස්නස් පටන්ගත්තේ, ඒක දියුණුවුනේ මල්ෂා ලැබුනාට පස්සේ. ඒ විත්තිය එයා හොඳින්ම දන්නවා. එයාට ඕනේ මල්ෂාව එයා ළඟ තියාගන්න.”

විජිතගේ හල්දුම්මුල්ල ආගමනයේ සැගැවුනු ගුප්තාර්ථය ගැන ඉව වැටුනු ඉන්දිරා එය හෙළිදරව් කළා ය. ඉන්දිරාගේ කතාව හිතලුවක්සේ බැහැර කළ නොහැකි බව තමාලිට වැටහුණි. 

“කොහොමටත් සුදු නැන්දේ කෙලි පොඞ්ඩිව පරිස්සම් කරගන්න වෙයි.”

නිහඬව කල්පනාවක ගැලී හුන් තමාලි අවසානයේදී පැවසුවා ය. යම් ව්‍යසනයක් වන්නට ගොස් අතරමඟදි අහම්බයකින් මෙන් එය නතරවූවාක් සේ සියල්ලන්ටම දැනෙන්නටවුණි. විජිත කරන්නට හැදුවේ මල්ෂාව පැහැරගෙන යන්නනම් නොපෙනෙන බලවේගයක් විසින් හෝ එය වලක්වා ඇති බව සුදු නැන්දා පවසමින් දෙවියන්ට පිංපෙත් පමුණුවන්නට පටන් ගත්තා ය. වැල්ලවත්තේ ගෙවන දෙවන දිනයත් උදාවූයේ අම්මාගේ ආඬපාලිත් සමඟින. ඉන්දිරා මුවින් නොබැන අම්මාගේ කටුක වදන් ඉවසාගෙන ඉන්නට උත්සාහ කළා ය. දහවල් කෑමෙන් පසුව සුදු නැන්දාත් මල්ෂා හා දිනේෂ් ද යළි හල්දුම්මුල්ල බලා පිටත්වුණි. දින දෙකක් තම උණුසුමේ රැඳිහුන් මල්ෂා වෙන්ව යන්නට බැරිය කියමින් හඬන්නට වීම ඈට දරාගත නොහැකි විය. ඉන්දිරාද අත්තිඩියේ බෝඩිම වෙත ගියේ විශාල දුකක් සිතේ දරා ගනිමින්ය. තම තුරුල්ලෙන් අසීරුවෙන් මුදවාගත් මල්ෂාව රැගෙන සුදු නැන්දා ත්‍රීරෝද රියකට නැගුන සැටි සිහිපත් කරමින් ඉන්දිරා ජනතා මාවත දිගේ පියනැගුවාය. සැන්දෑ කළුවර රැගෙන බෝඩිමට පය තබද්දී දීපිකා ඈ වෙත දිව ආවා ය.

“ඇයි මොකද වුනේ?”

“මුකුත් නෑ.”

“එහෙනම් අම්මා එක්කගෙන ගමේ ගියේ?”

“ඔහේ ගිය ගමක් නෑ. වැල්ලවත්තේ මහත්තයාගේ ගෙදරට තමයි අරන් ගියේ. සුදු නැන්දයි මල්ෂායි ඇවිල්ලා තිබුණා.”

“එහෙනම් කමක් නෑ. මම හිතුවේ අම්මාගෙන් හොඳට බැනුම් අහන්න ඇති කියලා.”

“ඒක නම් හොඳට ඇහැව්වා. එයා දන්නේ බනින්න විතරයිනේ.”

ඉන්දිරා කලකිරීම මුසු හඬින් කියමින් බෝඩිම ඇතුළට පිවිසියා ය. රැගෙන ආ බෑගය පසෙක දැමූ ඕ ඇඳුම් මාරුකරන්නේ වත් නැතිව පැදුරක ඇලවිය.

“මොකෝ බං? සනිප නැද්ද?”

කාමරයට ආ අමාලි පැදුරේ වැතිර සිටිනා ඉන්දිරා දැක ඇසුවා ය.

“නෑ බං ටිකක් තෙහෙට්ටුයි. මෙහෙම හිටියාම අඩුවෙලා යයි.”

කොට්ටයට හිස ඔබාගෙන යළිත් අම්මාත් දීපිකාත් පැවසූ දේවල් සමඟින් නිලන්තගේ කියුම් කෙරුම් හා සසදමින් සිහිපත් කරන්නට උත්සාහ කළා ය. නිලන්ත ඇත්තටම සැබෑ ආදරයක් ඇතිව තමාවෙතට එන්නේ නම් ඔහු තමන්ගේ කායික ආශාවන් සන්තර්පණය කර ගැන්මට මුල්තැන දෙන්නේ ඇයි දැයි ඈට සිතුණි. නිලන්ත හා ඇතිකරගත්  ඇසුර මුල් අවස්ථාවේදීම කායික සබඳතාවයක් දක්වා දුරදිග ගෙන යාමට ඉඩප්‍රස්ථා සලසා දීමෙන් තමන් සිඳුකරගෙන ඇත්තේ විශාල වරදක් බව පසක්කරගත්තා ය. අම්මා හා දීපිකා නිලන්ත පිළිබඳ කියූ කතා හිතලුවක් නොවන බව සිහිපත් කළ ඈ ඔහු සල්ලාල ඇවතුම් පැවතුම් ඇති අයෙකුදැයි සිතන්නට විය. බෝඩිමේ අනෙක් යුවතියන් නිලන්ත සමඟින් ආදර සම්බන්ධතාවයට එහා ගිය කායික සම්බන්ධතාවයක් ඇතැයි දැනගත්තොත් සියල්ලන්ම තමන් විළිබිය සිඳගත් එකියක යැයි සමච්චලයට ලක් කරතැයි බියට පත්විය. 

            ජීවිතය පටළැවුනු නූල් බොලයක් සේ තවත් අවුල් සහගත තත්වයකට මුහුණ දෙමින් සිටින බව ඉන්දිරා වැටහුණි. මානසික තෙහෙට්ටුව අධිකව දැනුනායින් පැදුරේ වැතිර සිටි ඉන්දිරා නිරාහාරව නින්දට ගියා ය. පසුදින ඈ සිටියේ හේබාගිය මැලැවුනු ස්වරුපයෙනි. ඒ නිසාම බෝඩිමේ යෙහෙලියන් තමන් අසනීපයෙන් සිටිද්දැයි විමසා සිටීම ඉන්දිරාට තවත් කරදරයක්ම විය. මූණිච්චාවට සිනාසුනත් ඉන්දිරා සිටියේ බොහෝ ළතැවිලි හිතේ දරාගෙනය. නිලන්තව සිහියට නැගෙන විටෙක ඔහු හා තනිවී ගතකළ ආස්වාදනිය හෝරා කිහිපය යළි යළිත් හදවතේ ඉසිඹුලමින් උණුසුම් කරවීය. එම නිසා අම්මාගේ කතා මනංකල්පිත මිථී්‍යාවන් බව සිතමින් ඒවා බැහැරකරවන්නට විටෙක සිතුවා ය. ඔහු මානෙල් ගැන කියනා කරුණු විටෙක විශ්වාස කළ නොහැකි පරස්පර විරෝධි බව ඒ ගැන ගැඹුරෙන් සිතන විටදී ඉන්දිරාට අවබෝධවන්නට විය. ඇත්තෙන්ම නිලන්ත බොරුකරයෙක්දැයි ඈ තම සිතෙන්ම තර්ක කරගත්තා ය. එසේ නම් ඔහු අම්මා හමුවී නියම පෙම්වතෙක් මෙන් ඇගේ කැමැත්ත විමසා සිටියේ ඇයි දැයි සිතාගත නොහැකිවූණි. තමන්ට ආදරය කළත් ස්ථිරවශයෙන්ම විවාහ කරගන්නා බවට ඔහු කියා නොතිබූ බවත් සිහියට නගාගත හැකි විය. ඈට නොතේරුණු පටලැලි සහිතවූ අවස්ථා ගනනාවක් තමන්ගේ නොවිමසිලිමත් බව නිසා මඟහැරුනු බව විටෙක ඈ තේරුම් ගත්තා ය. හෝටල් කාමරවල තනිවෙන්නට කාමර කුලියට මුදල් ඉල්ලා ගත්තේද මාසික පඩිය විවිධාකාර හේතු මත අත්හිටුවා ඇති බව දක්වමින්ය. එසේ ඉල්ලාගන්නා මුදල් යළිත් ඔහුගෙන් ලැබුනේද නැත. මේ සියල්ල ඈට මතක්වන්නට පටන්ගත්තේ නිලන්තව අහඹු හමුවීමේ සිට මෙතෙක් දක්වා සියල්ල ආවර්ජනා කරන්නට පටන්ගත් පසුවය. කාලය හැල්මේ දිව ගොස් ඇති බව දැනුනේ නිලන්ත හා ඇසුර පවත්වන්නට පටන්ගෙන අවුරුද්දකට ආසන්න වෙමින් පවතින බව සිහිපත් වීමෙනි. අම්මාගේ විරුද්ධත්වය සාධාරණ බැව් ඈට සිතුණි.  


“බැඳලා දික්කසාද වෙච්චි එකෙක් එක්ක හරි යාළුවුනත් කමක් නෑ. ඒත් නිලන්ත කියන්නේ කසාද බැඳපු පවුල් කාරයෙක්. එක්කෝ එයා ඒ ගෑණිව දික්කසාද කරලා එන්න ඕනේ. මට පේන්නේ ඔය මිනිහා හදන්නේ උඹව හොර ගෑණි කරගන්නයි. තාම නිලන්තගේ ගෑණි දැන ගෙන නැතිව ඇති උඹ ඔය මිනිහා එක්ක තියෙන පටලැවිල්ල. ඒක දැනගත්ත දාට ඒ ගෑණි උඹව හොයාගෙන වැඩපලට හරි බෝඩිමට හරි එනවා. එතකොට මොකද කරන්නේ?”

අම්මාගේ වදන් දෙසවන් සිසාර රැව්පිලිරැව් දුණි. නිලන්ත තමන් විවාහකරගැනීමට කිසිඳු උත්සාහයක් දරණ බවක් නොමැත්තෙන් ඔහුගේ ඇසුරට නැවතිමේ තිත තබාලන්නට සුදුසු කාලය එලැබ ඇතැයි සිත කියවන්නට විය. අවසානයට එවන ලද ලිපියට අනුව මානෙල් යළිත් ඔහුට නොදුරු දිනෙක බාරගන්නට සිදුවන බව ලියා තිබූ බව සිහිපත්වුණි. උසාවියේ තිරණයක් නොවුනත් හමුදාවේ තිරණයන්ට අනුකුල විය යුතු බව ඔහු සඳහන් කර තිබීය.  පරණ සිදුවීම් අමතකර දමා මානෙල් සමඟින් හොඳින් ජීවත්වත්වී තමන් අමතක කර දමන මෙන් ඉල්ලමින් ඉන්දිරා ලිපියක් ලියා නිලන්තට තැපැල් කළා ය. හැරෙන තැපැලෙන් ඉන්දිරා නමට ලිපියක් වැඩපළට පැමිණ තිබුණි. ඈ යුහුසුලුව කවරය ඉරා ලිපිය සුරතට ගත්තා ය.


කුරුවිට කදවුරේදි


ආදරණිය සුදු වෙත ලියමි.

 ඔයාගේ ලිපිය මාගේ සුරතට පත්වූ විගසින් සිතට ඇතිවූ ප්‍රීතිය කියවාගෙන යද්දී නැතිව ගියා. මගේ හදවතේ ඇතිවුනු දැඩි දුක්වේදනාවන්ගෙන් දැවි දැවී කල්පනා සාගරයක තනිවූණා. මොන වැඩක් මාහට පැවරුවත් හදවතේ දෝංකාර දෙන්නේ ඔයා මාහට අහිමිවේදෝ කියා සිතෙන බයංකාර දෙයයි.  මම දන්නවා ඔයා මට පණටත් වඩා ආදරේ බව. මමත් එහෙම තමයි. මම අසරණ වෙලා ඉන්න වෙලාවේදි ඔයා මගේ බිරිඳ වගේම වරකට අම්මා කෙනෙකු වාගේ මම ළඟම සිටියා. ඉතිං මේ සියල්ල කොහොමද අමතක කරලා මගේ හදවතින් ඈත් කරන්නේ? මට මගේ බිරිඳගෙන්වත් නොලැබුනු දේවල් ඔයාගෙන් මට හිමිවෙලා තියෙනවා. ඔයා මගෙන් ඈත්වුනොත් මට මොනවා වෙයිද දන්නේ නෑ සුදු. මට අවශ්‍ය සැබෑ ආදරය විතරයි සුදු. ඒ පිවිතුරු ආදරය තියෙන්නේ ඔයා ළඟයි.  මම මින් ඉහතදි කවරදාකවත්ම ඔයාගෙන් විතර ආදරයක් ලබලා නෑ. මානෙල් මට ආදරය කළේ සැබෑවට නෙමෙයි. මානෙල්ට මිනිහෙක් නැති නිසාවෙන්න ඇති එයාගේ බොරු ආදරය මට පෙන්නුවේ. ඒත් ඔයාගේ ආදරය ගොඩාක් වෙනස්. මම සැබෑ ආදරය ගැන ඉගෙනගත්තේ ඔයාගෙන් සුදු. ඔයා ළඟින් මාව ඈත් කරන්න උත්සාහ කරන්න එපා. මට වෙනදා වාගේ සෙනෙහස දක්වන්න සුදු. ඔයා දන්නවා ආදරයක අඩංගුවිය යුතු දේවල් මොනවාද කියලා. ඔයා මාව තනිකර දමා ගියොත් මම හිස හැරුනු අතේ යනවා. මට ඔය වගේ ආදරයක් ලැබිල නැහැ කවදාකවත්. ඒ නිසාම ඒ පිවිතුරු ආදරයට ගෞරව කරනවා. අනික තමයි සුදු මට කියාගන්න බැරි දෙයක් තියෙනවා. ඒ තමයි මම කැමති නෑ ඔයා වෙනකෙනෙක් ගාවට යනවාට. ඉතිං ඔයාට නොගිහිනුත් බැහැ. ඔයාගේ අනාගතය එළිය වෙන්නත් ඕනේ නේද? අපගේ ආදරය කොපමණ කාලයක් පවතියිද දන්නේනෑ.  ඔයා ලියලා තියෙන දේවල් වලට මට හරිම වේදනායි සුදු. මම ඔයාව තියාගෙන ඉන්නේ මගේ අවශ්‍යතාවයවල් ඉටුකරගන්න නෙමෙයි. මගේ අවශ්‍යතාවයවල් සපුරලා හරියන්නේ නෑ. ඔයා විවාහ වෙන්න ඕනේ. ඔයා දුක් විදිනවා දකින්න මම කැමති නෑ. නැත්නම් මට පව් ගෙවලා ඉවරයක් කරගන්න බැරිවෙනවා. මට වෙන වස්තුව තිබුනත් ඇති වැඩක් නෑ සුදු ඔයා නැතිව. මට කියන්න තේරෙන්නේ නෑ ඔයාට ඇති ආදරය මේ ලියුමෙන්. එක්කෝ ඔයා හිතනවාද දන්නේ නෑ මම මහ පිස්සු මිනිහෙක් කියලා. ඇත්තටම මාව පිස්සු හදවන්නේ ඔයා තමයි. අනික තමයි මට ඔයාව නොදැක ඉන්නත් ඉතාම අපහසුයි. වෙනදාට ඔයා දුරකථනයට කතා කරනවානේ. මම මේ බලන් ඉන්නේ දැන් දෙයි දැන් දෙයි කියලා. ඔයා දන්නවානේ මම සෑම සඳුදා දිනයකම ඔයාගෙන් ලිපියක් හරි කෝල් එකක් හරි එයි කියලා බලාගෙන ඉන්නවා කියලා. මට හිතෙනවා ඔයා දැන් ටික ටික මගෙන් ඈත් වෙන්න හදනවා කියලා. එහෙම කරලා ඔයාට හොඳක් වෙනවා නම් මං කොහොම හරි දරාගෙන ඉවසන්නම්. සුදු ඔයා දන්නවානේ මම මානෙල්ට වඩා ඔයාට ළංවූනා කියලා. මානෙල් නොදන්න දේවල් පවා ඔයා දන්නවා මගේ. ඉතිං ඇත්ත බිරිඳ ඔයා තමයි. සුදු ඔයා මගෙන් ඈත්වූනොත් මම හිස හැරුනු අතේ යනවා මිසක් මම ඔයාට වෛර කරන්නේ නෑ. මම ආදරයට කෑදරවෙලා ඉන්න කෙනෙක්. මේ හැම දෙයකටම මානෙල් වඟකියන්න ඕනේ. මට එයා හොඳ ආදරයක් එදා පෙන්නුවානම් අද මම මේවගේ තත්වයකට පත්වෙන්නේ නෑ සුදු. ඉතිං සුදුගේ මිතුරියන් මාව හොඳ නෑ කිව්වා නේද? මගෙන් වරදක්වූනා නම් සමාවෙන්න සුදු. තව ටික දිනකින් මගේ කඳවුරු සීමාව ඉවර වෙනවා එතකොට පුළුවන් මට නිදහසේ ඔයාව බලන්න එන්න. ලබන සතියේ දිනයක ඔයාව හමුවන්න වැඩපලට එනවා හොඳද. එදාට අපි කතා කරලා මේ ප්‍රශ්න සියල්ල විසදාගනිමු. අනික තමයි මේ සෑම දෙයක්ම ලිපියේ ලියන්න බැහැනේ මම හිතාගෙන ඉන්නේ සැනසීමේ කතාකරන්න පුළුවන් තැනකට ගිහිල්ලා අපේ ප්‍රශ්න සියල්ලම කතා කරන්නයි. ඉතිං සුදු මේ දීර්ඝ ලිපිය යළි මුණගැසෙන බලාපොරෙත්තුවෙන් නතර කරමි.

මීට 

ආදර 

නිලන්ත.          



                                  නිලන්තගේ ලිපිය එක හුස්මට කියවා දැමූ ඈ ගැඹුරු හුස්මක් ගත්තා ය. ලිපියේ අකුරු තම සිත ගිනි අවුලවාලන ලෙසින් දැනෙන්නට විණි. ඔහුගේ ආදරය පුන පුනා ප්‍රකාශ කළත් නිලන්ත පවසන දේ සත්‍යයෙන් තොර බවක් ඉන්දිරාට වැටහුණි. එදා සිට මේ දක්වා නිලන්ත තමන්ට තැපැලෙන් එවන ලද ලිපි දමා තිබූ කවරයට එම ලිපියත් එක්කල ඈ අකමැත්තෙන් වූවත් නිලන්තගෙන් වෙන්ව යාමට කාලය හරි යැයි දෙවන වතාවටද සිතා ගත්තා ය. හය හතරක් නොතේරුණු ළබාල හිරිමල් අවදියේදී විජිතගේ බොරුකාර ව්‍යාජ ආදරයට රැවටී අකාලයේ විනාසවූ ජීවිතය නිලන්ත ගෙන් යළි පණ නළ ලබන්නට ගත් උත්සාහය ව්‍යර්ථ වන බව ඈට දැනෙන්නට විය. දහංගැටවලින් තෙම්පරාදු කළ වචනින් ලියු ලිපිවලින් තමන්ව තවදුරටත් රවටාලන්නට නොහැකි බව සිතට පිවිසියා ය. 

ලිපිය ලැබී දින කිහිපයකට පසුව නිලන්ත තමන් හමුවන්නට විසිටර්ස් රූම් එකට පැමිණ ඇති බව ආරක්ෂක අංශයෙන් ලැබුනු පණිවිඩය අනුව සිතාගත්තා ය. හදවත තුලින් අකමැත්ත මතුවූවත් ඈ නිලන්ත හමුවන්නට විසිටර්ස් රූම් එකට ගියා ය. පාළුවට ගිය විසිටර්ස් රූම් එකේ එක් පසෙක නිලන්තත් අනෙක් කෙළවරට වන්නට ඔහුගේ යහළුවාවූ ප්‍රසාද් අසුන්ගෙන සිටිනු ඕ ඈත සිටම දැක්කා ය. කල්පනා බරිතව බිම බලාගෙන සිටි ඔහුගෙන් වෙනදා මෙන් සුපුරුදු දඟකාර සිනහව ඉන්දිරාට ලැබුනේ නැත. ඇයත් ඕනෑවට එපාවට මෙන් ඇතුලට ගොස් බිත්ති කණ්ඩියට පිටදී සිටගත්තා මිස ඔහු අසළින් අසුන්ගත්තේ නැත. හිස ඔසවා නොබැලූ නිලන්ත කල්පනාවක ගැලුණු විලසින් සිටින්නට විය. අහක බලාගත් ඉන්දිරා විසිටර්ස් රූම් එක තුල නිහඬියාව රජයන්නට ඉඩහැරියා ය. තව දුරටත් එසේ බලාසිටිමෙන් ඵලක් නොවන දැනගත් ප්‍රසාද් නිහැඬියාව බිඳ දමමින් කතා කරන්නට විය. 

“මොකක්ද නංගි මේ ඔයාලගේ ප්‍රශ්නේ. මෙයා කන්නේ බොන්නේ නැතිව ඉන්නවා මදිවට ප්‍රැක්ටිස්වලට එන්නෙත් නෑ.” 

තවත් මොනවාදෝ කියන්න හදද්දී නිලන්ත වලක්වාලීය.

“මචං පොඞ්ඩක් කට පියාගෙන එළියෙන් හිටපං.”

ඔහු අණක ස්වරුපයෙන් කීවේය. එය ඇසූ විගසින්ම තමන් කරගෙන ආ කතාව නතර කෙරු ප්‍රසාද් විසිටර්ස් රූම් එකෙන් එළියට බැස දැල් කාමරයෙන් පිටත අඹගස් සෙවණ වෙත ඇවිද යන්නට විය. 

“ඉන්දිරා.”

ඔහු තම රතුව ගිය දෑස් ඈ වෙත එල්ල කරමින් කතා කරන්නට තැනුවේය. කාමරයේ කම්බි දැල් අතරින් එළිය බලා සිටි ඈ ඉන් දෑස් මුදවාගෙන ඔහු දෙස බැලීය. දෑසට දෑස මුණ ගැසුනු ක්ෂණිකයෙන් තම නෙතු ඔහුගෙන් මුදවාගත් ඕ යළිත් දැල් අතරින් අනන්තය පිරික්සන්නට විය.

“ඉන්දිරා මගේ ලියුම ලැබුනාද?”

ඈ නිහඬව සිටියා ය.

“ඇයි ඔයා කතා කරන්නේ නැත්තේ? ඔයාට මගේ ලියුම ලැබුනා නේද?”

“ඔව්.”

“ඔයාට තේරෙන්නේ නැද්ද මට තියෙන ප්‍රශ්න? ඇයි තවත් මට ප්‍රශ්න ඇති කරන්නේ? මම ඔයාට ගොඩක් ආදරෙයි ඉන්දිරා. ඇයි දැන් මෙහෙම වෙනස්වෙන්න හදන්නේ? ඔයාට වෙනින් කෙනෙක් එක්ක සම්බන්ධයක් එහෙම තියෙනවාද?”

“නෑ.”

“එහෙනම්?” 

“ඇයි අයියේ අපි අපිවම බොරුවට රවට්ටාගන්නේ? ඔයාට බෑ මාව බඳින්න. ඉතිං බොරුවට මෙහෙම ආශ්‍රය කිරිල්ලෙන් වෙන්නේ මිනී වලවල් තුනක් කැපෙන එක විතරයි.”

“එහෙම වෙන්නේ නෑ ඉන්දිරා.”

“ඔයා නිසා මට මේ සමාජයෙන් අහන්න වෙන්නේ නරක නාමයක් විතරයි. ඔයා දන්නවානේ මට නරකට හැසිරෙන්න ඕනේ නම් මම තාමත් ඉන්නේ විජිත එක්කලා කියලා. මට මගේ දරුවාව ආරක්ෂා කරගන්න ඕනේ. එයාගේ අම්මා වල් ගෑණියෙක් කියලා අහගන්නවාට මම කැමති නෑ. ඔයා මට ආදරෙයි නම් මානෙල්ගෙන් දික්කසාද වෙලා එන්න. එහෙම නැතිව මේ විදිහට ආශ්‍රය කරන එකේ තේරුමක් නෑ.”

“ඒවූනාට සුදු මට ඔයා නැතිව බෑ.”

ඔහුගේ රතුවූ දෙනෙත් කඳුලින් පිරී දිඳුලන්නට විය. ඒකවරම ඉන්දිරාගේ සිතට නැගුනේ විසිටර්ස් රූම් හි රැඳුනු කාලය ඉතා වැඩි බවය. 

“දැන් මට යන්න ඕනේ.”

“බෑ මට ඔයත් එක්ක මේ ප්‍රශ්නේ විසදාගන්න ඕනේ.”

“තව මොන ප්‍රශ්ණද තියෙන්නේ කතා කරන්න? දැන් මෙතන ගොඩාක් වේලා හිටියා. මට වැඩ තියෙනවා.”

පැකින් එකේ කමලා මිස්ගෙන් හොඳහැටි ලුණු ඇඹුල් ඇතිව බැනුම් අසන්නට අනිවාර්්‍යයෙන්ම සිදුවන බව ඉන්දිරාට එත්තුගියායින් ඉක්මනින් නිලන්තගෙන් සමුගැනීමට කාලය හරිවග පවසමින් ඈ විසිටර්ස් රූම් එකෙන් එළියට ආවා ය.

“ඉන්දිරා අපිට මෙතන කතාකරන්න බෑනේ අපි දෙන්නා පොඞ්ඩක් එළියට ගිහිල්ලා කතා කරමුද?”

“පිස්සුද නිලන්ත. ඔයා හදන්නේ මාව රස්සාවෙන් අස්කරලා දාන්නද?”  

“එහෙනම් හෙට නිවාඩුවක් දාලා එන්න අපි මේක කතාකරලා විසදාගනිමු.”

“නිලන්ත අයියේ තවත් මෙතන ඉන්න බෑ. කරුණාකරලා මට පාඩුවේ ඉන්න දෙන්න.”

දැස් පුරවාගෙන එන කඳුළු හිතේ ධෛර්්‍යයෙන් නවතා ගත් ඈ නිලන්තට එසේ පවසා තම අංශය වෙත දිව ගියා ය. ඉන්දිරා සිතූ පරිදිම ඈට කමලා මිස්ගෙන් බැනුම් අසන්නට සිදුවිය.


“ඇයි බං උඹට කමලා මිස් බැන්නේ?”

“අද නිලන්ත ආවා මාව මුණගැහෙන්න.”

“එහෙනම් ෂුවර් එකටම උඹ පරක්කුවෙලා සෙක්ෂන් එකට එන්නැති.”

“ඔව්. ඒක තමයි වුණේ.”

“නිලන්ත මොකද කිව්වේ?”

“මොනවා කියන්නද දීපිකා. එයා එන්නේ මාව රවට්ටන්න. තවත් එයාට මාව රවට්ටන්න බෑ. මම තීරණයක් අරගෙන ඉවරයි මේ සම්බන්දේ නවත්තලා දාන්න.”

“ඒක හොඳයි. පරක්කුවෙලා හරි එහෙම හිතපු එක නම් හොඳයි. නිලන්තගෙන් උඹට බබෙක් එහෙම ලැබුනානම් මොකද කරන්නේ?”

“හදාගන්නවා.”

“උඹට පිස්සුද?”

“දැන් නම් ටිකක් විතර පිස්සු වගේ තමයි දීපිකා.”

“ඒක නෙමෙයි අර උඹ උකස් තිබ්බ මුද්දයි පෙන්ඩන් එකයි බේරලා දුන්නාද?”

“නෑ.”

“ඇයි මෝඩියේ උඹ මේ සම්බන්දේ නවත්තන්න ඉස්සරින් ඒවා උකසින් බේරාගනින්.”

“දැන් කිහිප දවසක්ම ඒවා ගැන අහලා නිලන්ත මගෙන් රිසිට් ටික ඉල්ලා ගත්තා.”

“එහෙනම් ඉතිං එක ගැන නිලන්තට මතක් කරපං. නැත්නම් ඌ සද්ද නැතිව ඉදියි.”

“වැඩක් නෑ දීපිකා මම ඒවා හිතින් අයින්කරලා තියෙන්නේ.”

“උඹට පිස්සුද? උඹ අමාරුවෙන් හම්බකරලා ගත්තුවා අර කපටි කෛරාටිකයා සල්ලි ඉල්ලන ඉල්ලන වේලාවන් වලට උකස් කරලා දුන්නා. ඇත්තටම උඹ වාගේ මෝඩ එළදෙනෙක්.”

“එළදෙනෙක් හින්දා තමයි නිලන්තට රැවටිලා හිටියේ.”

දැඬි කරගත් සිත තුළ ශේෂව තිබෙන ආදරය බිජාංකුරයක්සේ යළිත් නැඟ එන්නට ඉඩ නොදිය යුතුබව ඈ පසක් කරගත්තීය. නිලන්ත සිතින් මකා දැමීමට උත්සාහ කරමින් ඉන්දිරා දින කිහිපයක් ගෙවා දැමුවා ය.


* * * * *


“ඉන්දිරාට විසිටර් කෙනෙක් ඇවිල්ලා.”

කමලා මිස් ආරක්ෂක අංශයෙන් ලැබුනු පණිවිඩය ඉන්දිරාට සැලකළා ය.

“ඔය වැඬේ නිතරම තියාගන්න එපා. ලව් කරන්න වැඩ වෙලාවෙන් පස්සේ තියාගන්නවා මෙතන වැඩ පරක්කුවෙනවා. ගිහිල්ලා ඉක්මණට එනවා එදාවගේ කාලේ නාස්ති නොකර.”

පැකින් අංශයේ සියල්ලන්ටම ඇසෙන්නට මෙන් කමලා මිස් නෝක්කාඩුවක ස්වරූපයෙන් කීවා ය. නිලන්ත යළිත් තමා හමුවට පැමිණ ඇතැයි ඈට නිසැඟයෙන්ම සිතා ගත හැකිවුණි. විසිටර්ස් රූම් එකට යම්දෝ නොයම්දෝ සිතාගත නොහැකිව දෙගිඩියාවෙන් යුතුව ඉන්දිරා එළියට බැසගත්තා ය. මෙසේ නිරන්තරව වැඩපලට පැමිණිම තමාට මෙන්ම ආයතනයටද කරදරයක් වන බවද සිත බිඳුනු කල්හි යළිඳු සුවපත් කළ නොහැකි බවද ඔහුට නොතේරෙන්නේ ඇයිදැයි සිතමින් ඈ ප්‍රධාන දොරටුව දෙසට ඇවිද ආවා ය. විසිටර්ස් රූම් පෙනෙනා මානයට ආ ඉන්දිරා නිලන්තගේ පැමිණිම වලක්වාගන්නේ කෙසේදැයි සිතන්නටවූවා ය. අමුතන්ගේ කාමරයේ දැල් කවුළු අතරින් එහි අසුනක හිදගෙන සිටිනා ප්‍රසාද් හා නිලන්තත් ඇගේ දෑසට අසුවෙත්දී හෘද ස්පන්දනය වේගවත්වී මුළු සිරුරම අකර්මණ්‍යවනවා දැනුණි. සිහි එලවා ගැන්මට මෙන් මඳක් එදෙස බලා හුන් නිලන්තගේ දසුනට අසුවෙන්නට ප්‍රථමයෙන් නතරව සිටි තැනින් පළායන්නට අවැසිවූ ඉන්දිරා එකවරම ආපසු හැරී දිව ගියා ය. තම අංශය තෙක් හැල්මේ දිව ආ ඈ දොරටුව අභියසට පැමිණ හති හරින්නට වූවාය. ඉහින් කනින් පෙරෙනා දහඩියෙන් නැහැවුනු ඉන්දිරා තම මේසය වෙත ඇවිද ගියේ කිසිත් නොවුනා සේය.

“මොකෝ බං බයවෙලා වගේ? ඇයි මේ දාඩිය දාගෙන?”

ඉන්දිරාගේ මේසයේ අනෙක් කෙලවර සිටි අනෝමා ඇසීය.

“මුකුත් නෑ. ඉක්මනට ආවා නැත්නම් කමලා මිස්ගෙන් අදත් බැනුම් අහන්නනනේ වෙන්නේ.”  

“ගිහිල්ලා මුණ ටිකක් හෝදගෙන වරෙන් උඹේ දාඩිය ඇඳුම් වලට හලන්නේ නැතිව.”

ඉන්දිරා වැසිකිලි පෙළ ඉදිරියෙන් ඇති වතුර පයිප්පය දෙසට ඇවිද ගියේද නිලන්ත ගැන සිතමින්ය. තවමත් තමන් එනතෙක් මඟබලාගෙන ඔහු විසිටර්ස් රූම් හි රුඳි සිටිනු ඇතැයි සිතුණා ය. නිලන්ත හමුවන්නට නොගිහින් යළි හැරී ආ ගමන ගැන ඇගේ සිතේ යම් පසුතැවිල්ලක් හටගෙන තිබුණි. යළිත් ඔහු දෙසට ගමන් කළ නොහැකි බැවින් ඉන්දිරා වතුර පයිප්පයෙන් ගලා ආ සිසිල් ජල දෝතක් රැගෙන මුහුණ දොවාගත්තීය. තම මේසයට පැමිණ වැඩ අරඹා අඬ හෝරාවකට පමණ පසුව කමලා මිස් ඉන්දිරා හමුවට පැමිණියා ය. 

“ඉන්දිරා අර විසිටර්ස් රූම් එකේ ඉන්න කොල්ලෝ දෙන්නා තාම බලාගෙන ඉන්නවා. ඇයි ඔයා ගියේ නැද්ද?”

“නෑ මිස්.”

“ඇයි මොකක්ද ප්‍රශ්නේ? යනවා ගිහිල්ලා එනවා.”

“ඔතනට ගියොත් අදත් මට මිස්ගෙන් අහගන්න වෙන්නේ එදාවගේ බැනුම් තමයි. ඒක නිසා ඕනේ නෑ.”

“තමුසෙලා එක එක කොල්ලෝ එක්ක මඟුල් නටලා උන්ට පොලු තියනවා. අපිටයි මේ මළ කරදරේ මඳ කිපිච්ච උන්ගේ පණිවිඩ අරන් ඇවිදින්න. එක්කෝ ගිහිල්ලා උන්ව පිටත් කරලා එනවා. නැත්තනම් සිකුරිටි එකට දන්නනවා අර කොල්ලන්ට යන්න කියන්න කියලා.”

ඉන්දිරා පැවසූ දෙයින් තම කේන්තිය හා ආවේගය ඇවිස්සුනු ලැබූ කමලා මිස් ඈ දෙස රවාගෙන සිටියා ය. කෝපාවිෂ්ට කමලා මිස්ගේ කඨෝර වදන් පැකින් අංශය පුරා ගලාගෙන ගියේ ඉන්දිරාගේ දෙනුවන් ද කඳුළින් පුරවාලමින්ය. කමලා මිස්ගේ බැනුම් හඬ අසමින් වැඩයේ යෙදුනු අනෙක් යුවතියන් එකා දෙන්නා හොරහින් ඉන්දිරා දෙස බලද්දී ඈ කිසිවක් නොකියා බිමට බරකරගත් හිසින් යුතුව තම වැඩයේ යෙදෙන්නට විය. කෙරුම්කාර මාන්නාධිකයෙකු විසින් බෙලහිනයෙකු තම ආධිපත්‍යයට යටත් කරගන්නට මෙන් කමලා මිස් නිහඬව සිටිනා ඉන්දිරාගෙන් තවත් උත්තේජනයන් ලැබ කටකමිසිරියාවක් නොමැතිව බැණ වදින්නට වුණි. මඳ වේලාවක් බැණවදිමින් සිටි ඈ අංශයේ වෙනත් කොටසකට ගියේද මොනවාදෝ කියවමින්ය. පීඩනය හා ආවේගය විසින් පෙලනු ලැබූ ඉන්දිරාට දරාගත නොහැකි හිසරුදාවක් මතුව ආවේය. කමලා මිස්ගේ ඇනුම් බැනුම් ප්‍රහාරයෙන් චිත්ත පීඩාවෙන් ඇතිවූ හිසේ කැක්කුම හිස පුපුරන්නට තරමට වැඩිවනවා දැනුනායින් හැන්ඞ් බෑගයෙන් ගත් පැනඩෝල් පෙති දෙකක් මුවට දමා ගත්තා ය. අමතක කරන්නට තැත් කලත් දිය යට එබූ රබර් බෝලයක් සේ යළිත් සිතට මතුව එන නිලන්තගේ ආගමනයත් තමා කළ ක්‍රියාවත් නිසාවෙන් ඉන්දිරා සේවය නිමාවන තෙක් ගතකලේ ආයාසයෙනි. අසීරුවෙන් ගතකළ පැය කිහිපය අවසානවූයෙන් අතිකාල සේවයේ නොයෙදි බෝඩිම බලායන්නට තම අංශයෙන් එළියට බැසගත් ඉන්දිරා දීපිකා එනතෙක් බලා සිටියේ ඈ සමඟින් ගමන් කරන අතරතුරේදී දහවල් සිදුවූ සිදුවීම් පවසාලන්නටය. 

“ඉන්දිරා මොකද ඔතනට වෙලා? දන්නේ නැද්ද අද දීපිකාට ඕටි දාලා. හයට නේ ඔෆ් එක.”

පසෙකට වී බලාසිටින ඉන්දිරා දැක දීපිකාගේ අංශයේ වැඩ කරනා කෙල්ලෙකුවූ කුමුදු පැවසුවාය. දීපිකා නොමැතිව තනියම යන්නට සිඳුවන බව දැනගත් ඕ කඩිමුඩියේ කුඩා ගේට්ටුවෙන් එළියට යන්නට පොදිකන යුවතියන් ගොන්නට එකතුවූවා ය. කඩ සාප්පුවලට හා වෙනත් අතුරු මාර්ගවලට හැරී යන්නටවූ නිසාවෙන් තමන් හා එක ගොන්නට ආ යුවතියන් එකා දෙන්නා අඩුව ගොස් ජනතා මාවත දෙසට ඇවිද එද්දී ඉන්දිරා සමඟින් ඉතිරිවූයේ තවත් කිහිප දෙනෙකු පමණි. ඉන්දිරාගේ මනස පුරා රැව්දුන්නේ දහවල් තම සිත වේදනාවට පත්කල සිදුවීමය. ඔහුව රස්තියාදු නොකර විසිටර්ස් රූම් එකට ගොස් හරවායවන්නට තරම් කාරුණිකවූවානම් හොඳ බව ඇගේ විඥානය නිරන්තරවම පවසන්නට විය. තමන් ඔහුට අකෘතඥ වුනා නොව ඔහු මේ එන ගමනේ නිෂ්ඵලත්වය පෙන්වා යළිත් වැඩපලට නොඑන්නට තේරුම් කරදුන්නා පමණක් බව උඩු සිතින් තර්ක කළා ය. ඉන්දිරා ජනතා මාවතෙන් හැරී තවත් අතුරු මාර්ගයකට පිවිසුනා පමණි.

“ඉන්දිරා. ඉන්දිරා.... පොඞ්ඩක් නවතින්න.”

ඉන්දිරාගේ නම අඬගසනා කටහඬක් ඈට ඈතින් ඇසුනි. ඈ ක්ෂණිකයෙන් හඬ ආ දෙසට හැරී බැළීය. ඉන්දිරාට යාර කිහිපයක් පසුපසින් ප්‍රසාද් ඇගේ නම අඬගසමින් එනු දැක්කා ය. ප්‍රසාද් පසුපසින් නිලන්තද ඇවිද එමින් සිටිනා දුටු ඉන්දිරාගේ සිත තුළ ඇති කළේ තැති ගැන්මකි. ඔහුට මුහුණ නොදී මෙතැනින් පැන දිව යාමට සිතුනත් දෙපා තම සිතට අවනත නොවූවායින් එක තැනම ඈ ගල්ගැසුනා ය. කෝපයෙන් කලුවූ නිලන්තගේ මුහුණ දෙස බලන්නවත් බියවූවායින් සිතේ හටගත් ව්‍යාකුලභාවයත් තැතිගැන්මත් නිසා තමන් ගේ මුළු සිරුරම බියෙන් වෙව්ලන බව ඈට හැගිණ. 

“මොකක්ද මේ කරන්නේ ඉන්දිරා?”

ප්‍රසාද් ඉන්දිරාගෙන් ඇසීය. සිතට දිරිගත් ඈ ගොළුව තිබූ මුව ආයාසයෙන් විවර කරගත්තා ය. 

“ඇයි?”

“අපිට ඔයාත් එක්ක කතා කරන්න ඕනේ ඉන්දිරා. ප්ලීස් මෙයා පිස්සුවෙන් වගේ දැන් හැසිරෙන්නේ. ප්‍රැක්ටිස් වලට වත් එන්නේ නෑ. මේ ඔක්කෝටම ඔයාත් වග කියන්න ඕනේ.”

“ මම කරපු දේ මොකක්ද? අපිට කතා කරන්න තවත් දේවල් ඉතිරිවෙලා තියෙනවාද මන්දා අනික මෙතන කතා කර කර ඉන්න පුළුවන් තැනක් නෙමෙයි නේ.”

“ඇයි මෙතන කතා කරන්න පුළුවන් නේද? මුකුත් තහනමක් දීලා නෑ නේද?”

“අනේ ප්‍රසාද් අයියේ මට කරදර නොකර යන්න කියන්න. මෙතන කතා කරනවා දැක්කොත් බෝඩිමෙ ඉන්නත් බැරිවෙනවා.” 

මෙතෙක් වේලාවක් ප්‍රසාද් පිටුපසට වී නොමනාපයෙන් අහක බලාගෙන හුන් නිලන්ත ප්‍රසාද්ගේ උරයෙන් අල්ලා  පසෙකට කරවීය.

“ඉන්දිරා මට ඔයාත් එක්ක කතා කරන්න ඕනේ.” 

උගුරෙන් මතුව ආ දැඬි හඬින් ඇමතූ නිලන්ත තම රතුවගිය දෑස්වලින් ඉන්දිරා දෙස බලාගෙන සිටින්නට විය. සිතේ නළියන වරදකාරිත්වය හමුවේ ඔහුගේ දෑස් දෙස බලාසිටින්නට නොහැකිවූනු ඉන්දිරා බිම බලාගත්තා ය. 

“ඉන්දිරා.”

හදවතේ ගැඹුරුම තැනකින් ගලා ආ වචනයක් සේ ඇගේ නම ආමන්ත්‍රණය කරනු ඇසී ඈ හිස ඔසවා ඔහු දෙස බැලුවා ය. 

“සුදු ඇයි මට මෙහෙම කරන්නේ? මට ටිකක් කතා කරන්න ඕනේ.” 

“දැන් බැහැ.”

“නෑ දැන් කතා කරන්න ඕනේ.”

“මම කිව්වානේ එක සැරයක්. මෙතන මිනිස්සුත් බල බල යනවා.”

ඉන්දිරා අනෙක් පසට හැරි යන්නට තනද්දී සැනින් ක්‍රියාත්මකවූ ඔහු ඇගේ බාහුවෙන් අල්ලා නතරකරවිය.

“මෙතන පිස්සු නටන්න එපා ඉන්දිරා ඔයා ගියොත් මමත් බෝඩිමට එනවා.”

ඔහුගේ අත ගසා දමා නිදහස් කරගත් ඈ ආපසු හැරුණා ය. කියන දේ කරනා දැඬි හිතක් ඇත්තෙකු වූ නිලන්ත ගැන දන්නා ඉන්දිරා ඔහු නියත වශයෙන්ම තමා පසුපසින් බෝඩිමට එන වග දැනගත්තා ය.

“දැන් මොකක්ද ඔයාට ඕනේ? අනික මාව බලන්න වැඩපලට එන්න එපා. එදත් මම නිකං බැනුම් ඇහැව්වා. අදත් බැනුම් ඇහැව්වා. ඔයා හින්දා නිරපරාදේ මම කමලා මිස්ගෙන් බැනුම් අහනවා.”

“ඒ මොකටද බනින්නේ?”

“ඔයත් එක්ක කතා කරන්න ගියාම මගේ ටාගට් එක කවර් කරගන්න බැරිවෙනවා. අනේ අයියේ දුප්පත් ගෑණියෙක් මං, මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.”

“මොකක්ද සුදු ඔයාට මේ වෙලා තියෙන්නේ? ඇයි එකපාරටම මගෙන් ඈත් වෙන්න හදන්නේ? ඇයි ඔයාට වෙනින් කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවාද?”

“අපි දෙන්නා ආදරය කරනවා කියලා මේ කරන්නේ මොකක්ද? මේ වැඩෙන් වෙන්නේ නිරපරාදේ පවුල් අවුල් වෙන එක. අපේ දරුවන්ටත් මේවා නරකට හිටියි? අන්තිමේදී මගේ දරුවාට එයාගේ අම්මත් නැතිවෙනවා. ”

“ඔයා මේ මොනවාද කියන්නේ?”

“අයියේ ඇයි මේ බොරුව හැමදාම කරගෙන යන්නේ? අපි දෙන්නා ඇත්ත දන්න නිසා දැන්වත් මේක නතරකරලා දාමු.”

“සුදූ ඔයා මේවා කියන්නේ හිතකින්ද?”

“ඔව්. ඔයාට බෑ නේද මාව බඳින්න. මාව බඳින්න බැරිනම් මෙහෙම ආශ්‍රය කිරිල්ලෙත් වැඩක් නෑ. මේවා ඔයාගේ මානෙල් දැනගත්තෝත් මෙතන ගිනිවිජ්ජුම්බරයක් වෙයි. මට මගේ පාඩුවේ රස්සාව කරගන්නත් නැතිවෙයි.”

“නෑ එයාට දැනගන්න ඉඩ තියන්නේ නෑ.”

“දැන ගත්තත් නොගත්තත් අපි දෙන්නාට මෙහෙම හොරෙන් ආදරය කරන එක වැරදියි. අනික මම ගෑණු දැරිවියක් ඉන්න අම්මා කෙනෙක් එයාටවුනත් මේ වැරදි දේවල් පෙන්නන්න හොඳ නෑ. හැමෝම කියයි මම මහ වනචර ගෑණියෙක් කියලා. අනික ඔයාට ආපහු මානෙල් බාරගන්න වෙනවානම් ඇයි මාව හොයාගෙන එන්නේ? ”

අසීරුවෙන් වචන ගලපාගත් ඉන්දිරා තම දෑස් අඟට එකතුවූ කඳුළු බිඳු ලේන්සුවෙන් පිසදාගත්තා ය. 

“ඇයි ඉන්දිරා ඔයා ඔහොම කියන්නේ? කවුද ඔයාව වෙනස් කළේ? ඔයා මට ආදරේ නැද්ද?”

“මම කරපු වරද තමයි ඔයාට ආදරේ කරපු එක. ඔයාටවත් මටවත් එකතුවෙන්න බෑ. එහෙම කරලා මම කරන්නේ තවත් ගෑණියෙකුට විරුද්ධකම්කරන එකයි. තවත් මට ඒ වරද දැන දැන කරන්න බෑ. ”

“ඒ කියන්නේ ඔයා මට ආදරේ නෑ කියන එකද?”

“ඔව්.”

ඉන්දිරා මුරණ්ඩු ස්වරූපයෙන් කියා යන්නට හැරුණා ය. 

“ඒකද ඔයාගේ අන්තිම තීරණය. හැබැයි සුදූ මේකත් මතක තියාගන්න. මම ඔයාට තාමත් ආදරේ විත්තිය. අනික තමයි ඔයා එක්ක වෙන එකෙකුට යාළුවෙන්න නම් ඉඩ තියන්නේ නෑ.”

“මොනවාද මේ කියන කතා? ඔයාට පුළුවන්ද එහෙම කරන්න. අනික මගේ යාළුවොත් කියන්නේ ඔයාට හරි තීරණයක් ගන්න කොන්ද පණ නෑ කියලා. ”

ඉන්දිරා ආපසු හැරී බලා කීවා ය. 

“ගෑණු චපලයි කියලා කියන්නේ මේවාට තමයි. වරෙන් බං යන්න.”

මඳක් ඇතින් වන්නට සිටි ප්‍රසාද් දෙසට හැරුනු නිලන්ත එසේ පවසමින් ප්‍රධාන පාර දෙසට පියවර තබන්නට වුණි. ආපසු හැරී නොබැලූ ඉන්දිරා ඉක්මන් ගමනින් බෝඩිම වෙත ගියේ දරුණු වේදනාවන්ගෙන් යුතු කැලඹිල්ලක් සිතේ දරාගෙනය. කෑගසා වැළපෙන්නට තරම් සිත්වේදනාවන්ගෙන් පෙලණු ඉන්දිරා හේබාගිය සිරුරෙන් යුතුව බෝඩිම් කාමරයට ගොඩවිය. ඇතුල්වූ  සැනින් පරඩැලක්සේ පැදුරේ ඇලවූවා ය. පැනඩෝල් පෙත්තෙන් මඳක් අඩුව තිබුනු හිසේ කැක්කුම නිලන්ත හමුවීමෙන් පසුව වැඩිවී ඇති බව ඈට දැනුණි. මුළු ජීවිතයම ගැන කාලකන්ණි හැඟීමකින් වෙලාගෙන ඇතිබව පැදුරේ සිටම ඈ සිතන්නට වූවා ය.  

උදාසීන ලෙසින් ගතවූ දින කිහිපයක් මුළුල්ලේම ඉන්දිරා වෙරදරමින් සිටියේ තම පෑරුණු සිත සන්සුන් කරවාගන්නට උත්සාහ කරමින්ය. ඈට තම මනස වෙනතකට යොමුකරවන්නට අවශ්‍යවූවායින් මල්ෂා ගැන සිතන්නට වුණි. පසුගිය හයමසක කාලයක් තුලදි මල්ෂා පිලිබඳව සොයා නොබැලූ විත්තියත් ඈ තම මතකයෙන් ඈත්ව ගොස් තිබුනේ නිලන්ත තම දිවියේ මුල්තැනට ආ නිසාදැයි කල්පනා කරන්නටවුණි. මල්ෂාගේ අනාගත සුබසිද්ධිය උදෙසා සුදු නැන්දාගේ හෝ අම්මාගේ විවාහ යෝජනා බලපෑම්වලට අවනත නොවී තනිකඩව සිටින්නට ඉන්දිරා ඉටාගත්තීය.   

තවත් ලිපියක් ඉන්දිරාගේ සුරතට පත්වූයේ දිනකිහිපයකට පසුවය. ඈ ගැහෙන හදින් යුතුව ලිපිය විවර කළා ය. 


යුධ හමුදා මූලස්ථානයේදිය.


ආදරණිය සුදූ වෙත.

අදට දින ගණනාවක් වෙනවා ඔයාගෙන් ලිපියක් හෝ දුරකථන ඇමතුමක් නොමැතිව. මට හරිම ප්‍රෙහේලිකාවක්වුනේ මගෙ කටහඬ නොඅසා ඉන්න බැරිවුන ඔයා මෙච්චර දවසක් කොහොමද හිටියේ කියන එක. මම තවමත් ඔයාගෙන් ලිපියක් එනතුරා මඟ බලාගෙන ඉන්නවා. ඔයාව හමුවීමට ආවේ සැනසිල්ලක් බලාපොරෝත්තුවෙන්. ඒත් ඒ සැනසිල්ල සැහැල්ලුව ඔයාගෙන් වෙන්වී එන්න හදන විට දැවි අළුවී ගිහිල්ලා තිබුණා. එක දවසකුත් ඔයාමට කිව්වා මගේ කොන්ද පණ නෑ කියලා. ආයෙමත් ඔයා ඒ වචනේ කියලා මගේ හිත පෑරේව්වා. පෑරුනු මගේ හිත තව තවත් පාරන්න එපා. ඒක මගේ හිතට ගොඩාක් වැදුනා. මම ඒවගේ දේවල් මීට පෙර අහලා නෑ. මුලින්ම ඔයාගෙන් තමයි අහන්නවුනේ. මට යළිත් වතාවක් ඔය වචනේ අහන්න සිදු කරන්න එපා. ඇයි දෙයියනේ ඔයා මට මෙච්චර වේදනා දෙන්නේ? මට දැන් ආදරය කරන්න කෙනෙක් නෑ. මට හිටියේ ඔයා විතරයි සුදූ එත් දැන් ඔයත් මගෙන් ඈත් වෙනවා. මට මානෙල්ට වඩා ඔයා ලොකුයි. ඉතිං නංගි මට ඔයාගේ කටහඬත් අහන්නේ නැතිව ඉන්න අපහසුයි. ඉතිං ඒ නිසා මට මට තේරෙන්නේ නෑ මම ඉදිරියට කරන්නේ මොකක්ද කියා. 

                      මමත් හරිම චපල හිතක් ඇති කෙනෙක් මගේ පිරිමි කමට අවනම්බුවක්. මට එක වෙලාවකට හිතෙනවා ඔයාට දුන්න දුකදෝ දැන් මට පටිසන් දීලා තියෙන්නේ කියලා. දැනට ඇති ප්‍රශ්නය තමයි ඔයාගේ තනිකඩ ජීවිතය මම විනාශ කර දැමූ එකයි. මම ඔයාව අසරණ කෙරුවේ නෑ. බොරු ප්‍රකාශ කළේ නෑ. මගේ සැබෑ තත්වය තමයි ඔයාට මෙයට පෙර කියලා තිබුනේ. ඔයාට ආයෙමත් මේ ගැන විස්තර කරලා පැහැදිලි කරලා යන්නයි මම ප්‍රසාද් එක්ක ඔයාව බලන්න ආවේ. මම හිතාගෙන හිටියේ සුදූව මගේ අනාගත බිරිඳ කරගන්නයි. එහෙත් මගේ දෛවය අපට හරහට හිටිනවා වාගේ පෙනෙනවා. ඒ මගේ දෛවයේ හැටි තමයි. දෛවයට සරදමක් වෙන්න මට බෑ. එන සෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න සුදානම්. මගේ හදවත ඔයාට තේරුම් ගන්න බැරිවුණා. මම දන්නවා සුදූ ඔයාට මාව එපා වෙලා ඇති කියලා. ඒත් මම ඔයා ගැන සිතමින් දුක්විදිනවා සුදූට පේන්නේ නැති එක ගැන දුකයි. ඒත් ඉන්දිරා ඔයා සතුටින් ඉන්නවානම්  මම ඔයාට වෛර කරන්නේ නෑ. තව සැරයක් වත් සුදූගේ මුණ බලලා ඇත්ත ප්‍රකාශ කරන්න වැඩපලට එන්න හිටියත් ඔයාට වැඩපලින් ප්‍රශ්නයක් ඇතිවෙයි කියලා මම ආයෙමත් ඔයාට කරදර කරන්න එන්නේ නෑ. මගේ හදවත තේරුම් ගන්න කාටවත් බැරිවූණා. ඒක මගේ ලබා උපන් හැටිවෙන්න ඕනේ. මම ඔයාටත් ගින්දර දුන්නා ඒවා මටම පත්තුවෙනවා. මේ සියලු වේදනාවක්ම මම කොහොම ඉවසාගෙන ඉන්නද? මොනවා කරන්නද අනිවාර්යෙන්ම ඉවසාගෙන ඉන්න වෙනවා. 

                   ඔයාට කියන්න ගොඩාක් දේවල් තිබුනත් ඒ සියල්ල යටපත් කරගෙන හිනාවෙලා ජීවත්වෙනවා මිනිස්සුන්ට පේන්න මට ප්‍රශ්න නෑ කියලා. ලිපි ලියන්න ලියන්න මගේ වේදනාව තවත් වැඩිවෙනවා මිසක්  ලබන සතුටක් නෑ. මේ ලිපිය බලලාවත් ලිපියක් එවන්න උත්සාහ කරන්න. අමතක කරන්න එපා අපි වසරකට වඩා ආදරෙන් හිටියා. ඒ සුන්දර කාලය යලිත් පණ ගැන්වෙයිද මන්දා. වෙලාවකට හිතෙනවා ඔයාව වෙනත් කෙනෙකුගේ ආදරයකට මැදිවෙලාද කියලා. අපි කොච්චර ආදරයෙන් හිටියාද ඒත් ඔයා එකපාරටම මාව අමතක කරලා වෙන්වෙලා යන්න හදන්නේ ඇයිද කියලා හිතාගන්න බෑ. ඔයා වෙන අයෙක් එක්ක ඉන්නවා බලන්න මට දරාගෙන ඉන්න බැරිවෙයි. ඔයා දන්නවානේ ආදරයත් කාසියක දෙපැත්ත වගේ කියලා. එක පැත්තක ආදරය අනිත් පැත්තේ තියෙන්නේ වෛරය. ගොඩාක් දේවල් ලියන්න තිබුනත් හදවතේ ගැස්ම හා වේදනාව ඉඩදෙන්නේ නෑ ඒ හැම එකක්ම අකුරු කරන්න. 

එක් වසරක පෙම් ගීතය 

ගොළුවෙලා ගියාදෝ


ඔබටත් වෙලාවක් ඇතිවූවහොත්  මාහට ලිපියක් එවන්න උත්සාහ කරන්න.


මීට 

නිලන්ත.


නිලන්තගේ ලිපිය දෙවන වතාවටත් කියවා අවසන් කල ඉන්දිරා හිස් බැල්මෙන් යුතුව ලිපියේ වු අකුරු දෙස බලාගෙන සිටියා ය. නිලන්තගේ භවාතිශය ආදර අයාචනා දුක් ගැනවිලි වලින් පිරුනු ලිපිය කියවාලද්දි සිතට මතුව ආ ශෝකය මැඩපවත්වන්නට සමත්වු ඈ තව දුරටත් ඔහු ගැන සිතන්නට හෝ ආදරය කරන්නට සිතේ කොණකවත් ඉඩක් ඉතිරිව නැතැයි පසක්කරගත්තීය.

“ඉන්දිරා වතුර නටනවා මටත් එක්ක තේ එකක් හදලා තියන්න. මම ඉක්මනට මේ හෝදපු රෙදිටික වැලේ වනලා එනකම්.”

 දීපිකාගේ කෑගැසිල්ලෙන් සිතුවිලි දැහැනින් මිදි ඔහුගේ ලිපිය අතේ තබාගෙනම කුස්සියට ගොඩවු ඉන්දිරාට ළිපේ දුම් දමමින් වතුර නටන කේතලය දුටුවා ය. කෙමනියෙන් පිටවන සිහින් අළු පැහැති වාෂ්ප මඳක් ඉහලට ගමන්කර වායුගෝලයේ අතුරුදහන්ව යන සැටි බලා උන්නා ය. අතරැඳි ලිපිය අත්ලේම පොඩිව ගොස් නිවෙන්නට ආසන්න මලානික ගිනිඳලු අතරට වැටි ඒවා ප්‍රාණවත්කරමින් ගින්දර අතරම සැඟවගියේ ඉන්දිරාගේ මියගිය ආදර කතාව ආදාහනය කරවන්නට මෙන්ය.


ඉන්දිරාට නිලන්තගෙන් ගැලවුමක් තියේයිද? මතුසම්බන්ධයි........

15 comments:

  1. Replies
    1. හේනට කටුවැට
      වනයට අලිවැට
      ගෙදරට මල්වැට
      බ්ලොගයට ප්‍රාවැට

      ස්තුතියි......

      Delete
  2. එයාට මාව රවට්ටන්න බෑ.//
    ගැහැණු මායම් වලට වඩා පිරිමි මායම් වැඩියි වගේ...
    අන්තිමේ හරි තීරණයක් අරං ,,, බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල....

    ReplyDelete
    Replies
    1. හැම පිරිමියාටම පිරිමි මායම් පිහිටලා තියේනවා. හැබැයි ගෑණුන්ට තරම් නෑ. ගැණුන්ට වඩා මායම් පිහිටලා තියෙන පිරිමිත් ටික දෙනෙක් මේ ලොකේ ඉන්නවා. උන් එවායින් වැඩ දාන්නේ ගෑණු විතරක් නොවේ පිරිමිත් කොරවෙන්න.

      හරි තිරණය වැරදෙයිද දන්නේ නෑ..... ඉදිරියේදි බලමු.

      Delete
  3. අපහසු තමයි පැටලිලි නිරවුල් කෙරුම
    එනමුත් කළ යුතුත් එයමයි හැම විටම
    ආසාවටම ඉඩ දුන්නොත් හැමදාම
    කබලෙන් ළිපට ඉරණම වෙනවා උරුම

    ReplyDelete
    Replies
    1. වෙනදාවාගේම ලස්සන කවි ගෙත්තමක්. මේකට පිලිතුරු කවියක් ලියන්න හිතුවාට වැඩේ පොඩ්ඩක් අමාරුයි. නිදි ලොකූ අයියේ ස්තුතියි කවියට..

      Delete
    2. මාස කිහිපයකට කලින් 'ආදර පූජාසනේ' පොස්ට් එකෙන් සුනන්ද මහත්තයා ගැන ලියද්දී තමයි ආයෙමත් කවි ලියන්න හිතුවේ දිගටම. එහෙම කරගෙන යන්න ගත්ත දවස්වල නං ටිකක් වෙලා ගියා. නමුත් දැන්-දැන් ඉබේම වචන ගලා එනවා. මම ඩ්රැකීටත් කිව්වා. නිතර කවි ලියනවා නං නිකන්ම පුරුදු වෙනවා වගේ...

      Delete
    3. ඒක හරිම ඇත්තය
      කවි ලිවිල්ල පට්ටය
      කොළොම්පුරා නොලිව්වොතිිං
      පලන්නෙ බොගෙ තට්ටය

      Delete
    4. ඩ්‍රැකියාගේ කවි හරි අපුරුය
      සිදුවුයේ ඩේටා නොවීමය
      එකයි මේ පිලිතුරු ප්‍රමාදය
      දුන්නෙත් හොදයි මට සමාවය

      Delete
  4. අත්දැකීම්වලින් තමයි ඉගෙන ගන්නෙ

    වැටි වැටී තමයි නැගිටින්නෙ...

    ReplyDelete
    Replies
    1. අත්දැකිම් ලබාගන්න ගිය විදිය තමයි එච්චර හොද නැත්තේ....

      Delete
  5. //හෝටල් කාමරවල තනිවෙන්නට කාමර කුලියට මුදල් ඉල්ලා ගත්තේද මාසික පඩිය විවිධාකාර හේතු මත අත්හිටුවා ඇති බව දක්වමින්ය// හොඳටම අහුවෙලා . කතාව හොඳට ගලාන යනවා

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

මෙන්න ඒ ගීත 10

ගියවර පොස්ටුවෙන් ඇහැව්වා සිංහල ගීත10 ක් පුළුවන්ද නම් කරන්න කියා. නමිනං උන්නැහැ ගීත දෙකක් ද කොළඹ ගමරාල අප්පුහාමි එක ගීතයක් ද හා වෘත්තාන්ත බ්ල...