Tuesday, December 8, 2020

පළිගු කිරිල්ලී - විසිතුන්වන කොටස


 

“ ගෙදර කවුද?”

නිවසේ මිදුල පැත්තෙන් ආගන්තුක ගැහැණු කටහඬක් ඇසුනු බැවින් ඉන්දිරා පැදුරේ හෙවා කිරි දෙමින් සිටි කුඩා මල්ෂා ගෙන් තම තන පුඬුව ඉවතට ගෙන බ්‍රෙෂියරයේ රඳවා ගත්තා ය. අඬ නින්දේ පසුවූ  මල්ෂාව අනෙක් පසට පෙරලා කොට්ට කිහිපයක් මල්ෂා වටා තබා ඇඳ සිටි චීත්තය තදකර ගැට ගසමින් fදාර දෙසට ඇවිද ආවා ය. අව්වට පිළිස්සුනු තද පැහැති සමකින් යුත් කෙට්ටු යුවතියක් මාස හයක පමණ කුඩා බිළිදියක වඩාගෙන දොර අබියස සිටගෙන සිටිනවා ඉන්දිරා ගේ නෙතට අසුවිය. නොදන්නා ගැහැනිය දෙස ප්‍රශ්නාර්ථ බැල්මක් හෙලු ඉන්දිරා “ ඇයි ” ඇසුවා ය.

“මේ ගෙදරද විජිත ඉන්නේ? ”

“ ඔව්.... ඇයි..?”

ඉන්දිරාගේ පැනයට පිළිතුරක් නොදුන් ඈ ඉන්දිරා දෙස නිහඬව විනාඩියක් පමණ බලාසිටියා ය.

“ විජිතද ඔයාව බැඳලා ඉන්නේ?”

නිහැඬියාව බිඳ හෙලු ආගන්තුක  යුවතිය තම උරයේ සිටි දරුවා අනෙක් උරයට මාරු කරමින් ඉන්දිරාගෙන් ඇසුවා ය. ඉන්දිරාට කිසිවක් තේරුම් ගත නොහි ඈ දෙස බලා සිටින්නට විය. 

“ මට පොඞ්ඩක් ඔයා එක්ක කතා කරන්න පුළුවන්ද?”

එකනෙහිම අඬ නින්දෙන් අවදිවූ මල්ෂා හඬන්නට වූවායින් ආගන්තුක ගැහැණිය සාලයේ තනිකර ඉන්දිරා යළිත් නිවසට තුළට දිව ගියා ය. හඬන ළදැරිය යළිත් නිදිකරවාගත් ඉන්දිරා ආපසු සාලයට පැමිණියේ නොහඳුනනා ගැහැණිය ගැන සිතමිනි. සාලයේ ප්ලාස්ටික් පුටුව අසුන්ගෙන සිටි ඕ ඉන්දිරා දුටුවිටම වියැළුනු සිනහවක් පෑවා ය. 

“ඔයාට දරුවෙක් ඉන්නවා එහෙනම්? කොල්ලෙක්ද කෙල්ලෙක්ද?”

“ ඔව් කෙල්ලෙක්.”

“ඔයා එනකම් හිටගෙන ඉන්න බැරි නිසා මෙතනින් වාඩිවුනා.”

ඇය කිසිඳු ගරුසරුවකින් තොරව ඉන්දිරාට කියා දැමුවාය. දරුවෙකු කරපින්නාගෙන ආ මේ ගැහැණිය කවුරුන්දැයි ඉන්දිරාගේ සිතේ සැක සංකා හොල්මන් කරන්නට පටන්ගෙන තිබුණි. 

“ආ ඒකට කමක් නෑ.”

ඉන්දිරා තම සිතේ නළියන කුහුල පිටතට නොපෙන්වා ඇයට මඳ සිනහවකින් පිළිතුරු දුන්නා ය.

“ඔයා කවුද කියලා කිව්වේ නෑනේ. ”

“ විජිත ඔයාව බැඳලා නෑ. ඔයා මට කිව්වේ බොරු නේද?”

නන්නාදුන්නිය අත රැඳි පුවත් පතින් දරුවාට පවන් සලමින් ඇසුවා ය. ඒ පැණයෙන්ම තිගැස්සී ගිය ඉන්දිරා තෘෂ්ණිම්භූත වූවාක් මෙන් ඈ දෙස බලාගෙන සිටින්නට විණි.

“ ඔ...යා... ඔයා කවුද?”

ඈ සිතට දිරිගෙන ඇසුවාය.

“මම චන්දිමා. මම තමයි විජිතගේ කසාද ගෑණි. මේ ඉන්නේ විජිතගේ දරුවා.”

නන්නාදුන්නියගේ එම වදන්පෙළ සවන සිසාරා ගොස් මනසට වැදගන්නට ගෙවුනු තප්පර කිහිපය ඉන්දිරාට කල්පයක් සේ දැනුණි. ඇගේ හිස බමන්නටවූයේ මනසේ දෝංකාර දෙන්නට පටන්ගත් එම වදන් පෙළ නිසාවෙනි. දෑස් අඳුරුපටලයකින් බැඳී ගොසින් කලාන්තයක්මෙන් ඇඟට දැනුනායින් ඉන්දිරා අසීරුවෙන් කාමරයේ උළුවස්ස අල්ලාගත්තා ය.

“ ඔ..යා.. .. මේ කියන්නේ ඇත්තක්ද? ”

“ මම මොකටද බොරු කියන්නේ. මට පෙන්නන්න පුළුවන් අපේ කසාද සහතිකේ.”

“ මට මේක විශ්වාස කරන්න බෑ.”

“ මේ බලන්න මේ පොටෝ. මේකේ ඉන්නේ  මමයි විජිතයි නෙමෙයිද?”

ඇය තම හැන්ඞ් බෑගයෙන් ඇද එළියට ගත් කුඩා ප්‍රමාණයේ පොටෝ ඇල්බමයක් ඈ වෙත දිගු කළා ය. ගැහෙන සිරුරින් යුතුව එම ඇල්බමය අතට ගත් ඕ පිටුවෙන් පිටුව පෙරළා බැලීය. ඈ කියන කතාව සත්‍යයක්  බව ඉන්දිරාට වැටහුනේ විවිධ ස්ථානයන් හී හිද ගත් ඡයාරූප මෙන්ම මංගල දිනයේ ගත් ඒවාද එහි අඩංගුව තිබිමෙනි.

“එතකොට ඔයාලා මෙච්චර දවස් එකට නෙමෙයිද හිටියේ? ඇයි විජිත මට බොරු කලේ?  අනේ මට මේවා තේරෙන්නේ නෑ.”

“ විජිත ඔයාව රවට්ටලා කියලා දැන්වත් තේරෙනවාද?”

ඉන්දිරා තම දෑස් වසාගත් කඳුළු පටලය පිටි අල්ලෙන් පිසදා ගත්තා ය.

“ ඔයාලා හිටියේ කොහේද? හපුතලේ නෙමෙයිද?”

“ විජිත ඔයාව විතරක් නෙමෙයි මාවත් රැවැට්ටුවා. අපේ ගෙවල් ලුනාවේ. විජිත ඉස්සර වැඩට ගියේ මොරටුවේ තිබුනු ෆැක්ටේරියකටයි. මාත් එක්ක යාළුවුනේ එහිදි. මාව අමාරුවේ දාලා හිමිහිට මාරුවෙන්නයි එයා බැලුවේ. ඒවා කොහේද අපේ ගෙවල් වල අයත් එක්ක. එයාගේ වැඩ තහනම් කළාට පස්සේ වෙනින් රස්සාවක් ලැබුනේ නැති නිසා එළවළු බිස්නස් කරන්නයි කියලා ගමේ ගියේ. මාස කිහිපකින් එයාගෙන් ආරංචියක් නැති නිසා හොයලා බැලුවාමයි දැනගත්තේ මේ පාහරයා කරලා තියෙන දේ. ”

මෙතෙක් වේලාවක් තම සිතුවිලි එළියට නොපෙන්වා සංයමයකින් සිටි ඈ එකවරම ආවේශවූවාක්මෙන් කියාගෙන යන්නට විය. 

“මාස දෙකක් විතර හොයලා හොයලා තමයි මම විජිත ඉන්න දිහාව හොයාගත්තේ. මම අද ආවේ මගේ මිනිහා අල්ලගත්ත එකි කවුද කියලා බලන්නත් එක්කයි.”

“ අනේ අක්කේ මම මේ දේවල් දන්නේ නෑ.”

තම දෙනෙතෙන් රූරා වැටෙන කඳුළු වැල් අතරින් තතනමින්  ඉන්දිරා කීවාය.

“මට තේරෙණවා දැන් වෙලා තියෙන්නේ මොකක්ද කියලා.”

හැඟිම් විරහිත මුහුණෙන් චන්දිමා ඉන්දිරා දෙස මඳ වේලාවක් නිහඬව බලා සිටියා ය. 

“නංගි මම ආවේ මගේ මිනිහා එක්ක ආපූ බැල්ලිව හොයාගෙනයි. ඒත් මට දැන් පේනවා ඔයාවත් මු රවට්ටලා අමාරුවේ දාලා කියලා.”

“විජිතව මම අල්ලා ගත්තේ නෑ අක්කේ. එයා අපේ ගෙදර ආවේ සුදු නැන්දලාගේ හයර් එකකට. ඊට පස්සේ එහෙන් පණිවිඩ අරගෙන අපේ ගෙදර එන්න යන්න ගත්තා. එයා හින්දා මට මගේ ඉස්කෝලේ ගමනත් නැතිවුණා. ඕ ලෙවල් විභාගෙත් අරගන්න බැරිවුණා. මම මේ කියනකම් විජිත බැඳලා විත්තියක් දන්නේ නෑ. අපේ අම්මලාටත් කිව්වේ විජිත මාව බැන්දා කියලා. ඒත් මට ටිකක් හරි සැකයක් ආවේ ඇයි මාව කසාද බඳින්නේ නැත්තේ කියලා.”

ඉන්දිරා ඉහළට ඇදගත් හුස්ම පහළට හෙලන්නැතිව කියාගෙන ගියා ය.

“මම විජිතට පැනලා යන්න දෙන්නේ නෑ. අද ඕකව කොහොම හරි අල්ල ගන්නවා.”

මඳ වේලාවක් ගතවෙද්දී මිදුල අභියස ත්‍රීරෝද රියක් නතර කරනු ඔවුනට ඇසුණි. ත්‍රීරෝද රියෙන් බිමට බට විජිත පසු පසින් සරමකින් සැරසුනු මැදිවිය පසුකල තැනැත්තෙකුද ඔහු හා ඇඟටම හිරවනසේ ටි ෂර්ටයක් හා ඩෙනිම් කලිසමක් හැඳි අව්වට පිලිස්සි කාලවර්ණ ගැන්වුනු තරුණයෙකුද විය. නිවසට වෙත එන්නට පැකිලෙමින් තරමක පසුගාමිත්වයක් දැක්වූ විජිතව පිටුපස සිටි තරුණයා ඉදිරියට තල්ලු කරනු ඉන්දිරා දුටුවා ය. විජිත රැගෙන ආ පුද්ගලයින්ගේ හැඩිදැඩි මරුමුස් ස්භාවය ඇගේ සිතේ හටගත්තේ තරමක බියකි. විජිත රැගෙන ආ බව දැනගත් චන්දිමා අසුනින් නැගිට දොරකඩ අභියසට ගියේ ඔහු පිළිගන්නට මෙනි. උරයේ නිදියාගෙන සිටි දරුවා ඇගේ උරයෙන් ලිස්සා වැටෙන්නට වූයෙන් අනෙක් උරයට මාරුකරගත්තාය.

“ආ මනමාල මහත්තයා. අපිත් ආවා අලුත් මනමාලි බලන්න දෑවැද්දකුත් අරන්. තමුසේ හිතුවේ නෑ නේද අපිට තමුසෙව අල්ල ගන්න පුළුවන්වෙයි කියලා?”

ඇගේ ක්ෂණික වාග් ප්‍රාහරයන්ට පිළිතුරු දීගත නොහැකිව විජිත අහක බලාගති.

“මාව අමාරුවේ දාලා හිමිහිට මාරුවෙලා මදිවට දැන් තවත් කෙල්ලෙකුත් අමාරුවේ දාලා. තොට හෙන ගහනවා බල්ලෝ.”

වියරුවෙන් ඔහු වෙතට කඩා පැන්න චන්දිමා තම සුරත ඔසවා කම්මුල් පහරක් එල්ල කරන්නට උත්සාහ කළා ය. ඈට වඩා උසින් වැඩි විජිත මුහුණ පසෙකට හරවාගෙන එම පහරින් වැළකුණි. සිරුරේ මුළු ශක්තිය යොදවා එල්ලකළ එම පහර ඔහුට නොවැදී සුළගේ පාවීගියේ චන්දිමාවත් විසීකරවමින්ය. වැටෙන්නට ගිය ඈ කෙසේ හෝ තම කය කෙලින් කර ගත්තත් උරයේ නිදාගෙන සිටි දරුවා අනපේක්ෂිත ගැස්සීමෙන් අවදිව හඬන්නට විය. 

“බලාපං මේ ඉන්නේ උඹේ දරුවා. නිකමටවත් දරුවා බලන්න කියලා ආවද?”

“කවුද දන්නේ මේ මගේ දරුවාද කියලා?”

“ඈ පර බල්ලෝ මගෙත් එක්ක බුදියලා තොගෙන් ජාතක වෙච්චි ළමයා දැන් උඹේ නෙමෙයි කියනවාද?”

“තමුසේගේ නැටිලි ගැන මට වඩා තමුසේම දන්නවා ඇතිනේ.”

“එතකොට මේ ගෑනිව අරගෙන ආවෙත් මමද? තමුසේ මහ වලත්තයෙක් ඕයි.”

“මගේ වලත්තකම් ගැන කතා කරන්න උඹ හොඳ ගෑණිද? මම නොදැන උඹට කරගැහැව්වාට උඹේ කැරැට්ටුව ගැන මුළු ගමම දන්නවානේ.”

“දුවේ මේකට දෙකක් ඇනලා ගෙදරට කුදලාගෙන යමුද?”

මෙතෙක් වෙලා පසෙකට වි බලාසිටි මැදිවිය පසු කළ තැනැත්තා ඇසීය.

“ඒක තමයි ඇන්ටනි අයියා මමත් බලං හිටියේ. අපි සයිලන්ස් වෙලා හිටියාම මු නංගිට පාට් දානවා වැඩි.”

“ආ තමුසෙගේ හොර මිනිහාවත් එක්කගෙන ආවේ මට නෙලන්නද? මේ රෙක්සි උඹ ආවනං පැත්තට වෙලා හිටපං. මේවා අපි බේරගන්නම්.”

එකවරම තරුණයා දෙසට හැරුනු විජිත කීවේය.

“එහෙම කොහොමද? උඹට ආයෙමත් මාරුවෙන්න දෙන්නේ නෑ.”

“මේ රෙක්සි ටිකක් කට වහගෙන ඉන්නවාකෝ. මම මේකා එක්ක මේක බේරුමක් කරගන්නකම්. ඒ පාර මේකිත් වද දෙන්න ගත්තා ඒ සැරේ. ”

චන්දිමා නොනවත්වාම හඬනා දරුවාට තවරටු කළා ය.

“මට තමුසෙත් එක්ක ඉන්න බෑ. කටු බැල්ලියෙක් වාගේ නිතරම මාත් එක්ක රණ්ඩු අල්ලන තමුසේ එක්ක මොන පවුල් කෑමක්ද? මම ආයෙත් එහේ එන්නෙ නෑ.”

“එහෙම කොහොමද?”

“මම තමුසෙගෙන් දික්කසාද වෙනවා.”

“හිතුවාද එහෙම ලේසියෙන් දික්කසාද වෙන්න පුළුවන් කියලා? බඳින තරම් ලේසියෙන් ලෙහන්න බෑ මිනිහෝ. මම තමුසෙට මේන් කියලා දික්කසාදෙ දෙයි කියලා හිතුවාද?”

“එහෙනම් තමුසෙම තියා ගන්නවා. මම කොහොමටවත් උඹත් එක්ක පවුල් කන්න එන්නේ නෑ.”

“පවුල් කෑවේ නැතිවට නම් කමක් නෑ ඒත් තමුසේ මටයි දරුවටයි නඩත්තු ගෙවලා.”

“ඇයි දැන් නිකං ඉදන් කන්න වගෙයි? උඹට නඩත්තු ගෙවන්න මං ළඟ සල්ලි නෑ.”

“සල්ලි නෑ? කවද තමුසෙ ගාව සල්ලි තිබ්බේ? බොන්නයි රේස් දාන්නයි විතරක් නම් සල්ලි තිබුණා.”

“තිබ්බත් උඹට දෙන්නේ නෑ.”

“මූ රඟපානවා වැඩියි ඇන්ටනි අයියා.”

කී රෙක්සි විජිතගේ කමිස කොලරයෙන් අල්ලාගෙන මුහුණට පහරක් එල්ල කළේය. විජිත රෙක්සිගේ අතින් තම කමිස කොලරය මුදවාගන්නටත් එල්ලවන ප්‍රහාරයන්ගෙන් මිදීමටත් අසීරු ප්‍රයත්නයක යෙදෙනවා දුටු ඉන්දිරා ක්ෂණිකව ඔවුන් අතරට පැන්නාය. විජිතව අල්ලාගෙන සිටින අතින් මුදාගැන්මට උත්සාහ කළාය. 

“අනේ අයියේ පිං සිද්දවෙයි මෙතන රණ්ඩු සරුවල් වෙන්න එපා. අහල පහළ අයත් මෙතනට එයි.” 

“පලයන් ගෑනියේ අහකට උඹවත් අමාරුවේ දාපූ එකාව බේරගන්න හදන්නේ නැතිව.”

චන්දිමාගේ පියා ඉන්දිරාව පසෙකට ඇඳ දමමින් කීවේය. රෙක්සිගේ ප්‍රහාරයන්ට දැඬි ලෙස ලක්වූවත් විජිතද ඔහුටද ප්‍රති ප්‍රහාර එල්ල කරන්නට විණි. ඔහු පහරක් දෙකක් ඇන්ටනිටද එල්ල කළේය. චන්දිමා අත රැඳි ළදැරිය බියපත්ව මහඬින් බෙරිහන්දිදී හඬන්නට වූවාය. සුව නින්දක පසුවූ ඉන්දිරාගේ දියනිය මල්ෂාද නින්දෙන් අවදිව හඬන්නට පටන්ගත්තා ය. මල්ෂාගේ හැඬිල්ලද නොතැකු ඉන්දිරා විජිතව බේරාගන්නට යළිත් උත්සාහ කළා ය.

“අනේ අක්කේ මේක කතාබස් කරලා බේරුමක් කරගමු. මෙතන මිනි මරාගන්න හදන්න එපා.”

ඈ යළිත් චන්දිමාට පින්සෙන්ඩුවූවාය.

“මේවා කතාබස් කරලා බේරුමක් කරගන්න පුළුවන් කේස් එකක් නෙමේ. උඹ පැත්තකට වෙලා හිටපන් මැද්දට පැනලා මැරුන් කන්නේ නැතිව.”

ඉන්දිරාගේ අතින් අල්ලා පසෙකට ඇද දැමූ චන්දිමාගේ පියා ඇන්ටනි කීවේය. 

“දැන් ඇති රෙක්සි. දැන් ඇති.”

චන්දිමා රෙක්සිට අණ දුන්නාය. එහෙත් ඔහු තම විජිතට එරෙහිව එල්ල කරනා ප්‍රහාරයන් නතරකළේ නැත.

“රෙක්සි ඇති කිව්වාම ඇති. දැන්වත් නවත්තනවාකෝ ඔය ගැහිල්ල.”

රෙක්සිගේ අතින් අල්ලා නතර කළ ඈ විජිතගේ කමිස කොලරයද මුදාහැරියා ය.

“පර බැල්ලී උඹ තොගේ හොර මිනිහා ලව්වා මට ගැහැව්වා. හිටපිය තොපිලාට මම කරන දේ.”

“ඇයි තෝ මොකක් කරන්නද?”

යළිත් විජිතට ගහන්නට ඉදිරියට පැන්න රෙක්සිව චන්දිමා විසින් වළකාලීය.

“මුට ගහලා වැඩක් නෑ. මටයි දරුවටයි නඩත්තු ගෙවන්නේ නැත්නම් උඹ උඹේ දරුවාව තියාගනිං.”

“කවුද දන්නේ මේ මගේ දරුවෙක්ද කියලා?”

“අන්න උඹේ තිරිසන් කම පෙන්නුවා. මේ ළමයා උඹේ නෙමෙයි කියලා කිව්වාට හිත දන්නවා ඇතිනේ කාගේද මොකද වුනේ කියලා. ළඟදීම උඹ මේ ගෑණිගේ ළමයත් මගේ නෙමෙයි කියාවි.”

“අනේ උඹ හොඳ පත්තිනි අම්මා.”

“මම පත්තිනි අම්මා නොමෙයි කාලි අම්මා. මෙන්න තොගේ දරුවා, හොඳට බලාගනිං. තාත්තේ තවත් මේ ගුබ්බෑයමේ ඉන්න ඕනේ නෑ අපි යමු.”

කී චන්දිමා තම අත රැඳි දරුවා බිමින් තබා දරුවාගේ ඇඳුම් කැඩුම් දමා තිබූ කුඩා ෂොපින් බෑගයක්ද පසෙකින් තැබීය.

“ඔන්න තමුසේගේ දරුවා. දැන් ඉතිං අලුත් මනමාලිත් එක්ක මෙයාව බලාගන්නවා.”

සිමෙන්ති පොළවේ සීතලද දැඬි ගතියද තම සියුමැලි සිරුරට දරාගත නොහැකිව දැඟැලු ළදැරිය යළිත් බෙරිහන්දී හඬන්නට වුණි. තම දරුවා හඬන හඬ දෙසවත් නොබැලූ චන්දිමා නිවසින් පියමන් කර ගියේ කිසිඳු ගානක් නොමැතිවය. ඇය පසුපසින් ඇගේ පියා ඇන්ටනි හා රෙක්සිද පිටව ගියේය. සිතක් පපුවක් නැති එකියෙකු සේ චන්දිමා තම කුසින් වැඳු දරුවා දමා පිටව යාම විජිත අන්දමන්ද කළේ කිසිසේත්ම නොසිතූවිරූ ලෙසිනි.

“ඒයි චන්දිමා තමුසේ මේ මොනවද කරන්නේ? මේ ළමයා මෙතන දාලාද යන්නේ?”

“තමුසේට මටයි දරුවටයි ජීවත් වෙන්න නඩත්තු දෙන්නේ නැත්නම් එයාව තමුසේ ළඟම තියා ගන්නවා. මම ඔය ගාමන්ට් එකකට හරි ගිහිල්ලා ජීවත්වෙන්න කීයක් හරි හොයාගන්නම්.” 

“මේ චන්දිමා තමුසේ මෙතන විහිළු කරන්න හදන්න එපා. හොඳ හිතින් මේ ළමයා අරගෙන යනවා.” 

විජිතගේ බෙරිහන් දීම නොඇසුනාසේ ඔවුන් පැමිණි ත්‍රීරෝද රථයට නැගගත්හ.

“චන්දිමා තමුසේ මෙහෙට ඇවිල්ලා මේ දරුවාව අරගෙන යනවා.”

මිදුලට පැන්න විජිත ත්‍රීරෝද රිය වෙත දිව ගියේය. ඔහු ත්‍රීරෝද රථයට ආසන්න වෙත්දීම පණගන්වාගෙන තිබූ එය ඇසිල්ලකින් ඉඟිල ගියේය. දුම් බටයෙන් පට පට ශබ්දය නංවමින් වේගයෙන් තම දෑස් මානයෙන් ඈතට පිටව යන රථය දෙස මඳ වේලාවක් බලා සිටි විජිත චන්දිමාගේ මව සිහිපත් කර කුණුහරුපයෙන් බනිමින් කෝපයෙන් පිපිරෙමින් ගෙතුළට පැමිණියේය. අඬ හෝරාවක් තුළ මෙතෙක් සතුටින් ගෙවුනු තම ජීවිත උඩු යටිකුරු කරවාලන්නට සමත්වූ මේ නොසිතුවිරූ ව්‍යසනය ගැන කිසිත් සිතාගත නොහි ඉන්දිරා සිටියේ තුෂ්නිම්භූතවය. ආවේගයෙන් මුසපත්ව සාලයේ එහා මෙහා ගිය විජිතට කාමරයෙන් ඇසෙනා මල්ෂා ගේ ඇඬුමත් සාලයේ සිට බෙරිහන් දෙමින් හඬනා චන්දිමාගේ දියණියගේ හැඬුමත් මහා ගෝසාවක් මෙන් දැනෙන්නට විණි. 

“ඕයි මේ මුන්ගේ ඇඬිල්ල නවත්තනවාකෝ. මට පිස්සු හදවන්නේ නැතිව.”

කෝපයෙන් වේවුලා ගිය විජිත ඉන්දිරා අසළට පැමිණ කීවේය. කෝපාග්නියෙන් දැවෙනා ඔහුගේ රතුව ගිය දෙනෙත් දෙස බැලීිමට පවා බිය උපදවන දසුනක් සේ ඉන්දිරාට දැනුණි. ඈ වහාම සාලයේ හුන් චන්දිමාගේ දැරිය වඩාගෙන මල්ෂා සිටි කාමරයට ගියා ය. කුසගින්නේ හෙම්බත්ව සිටි ළදැරිය ඉන්දිරාගේ ළයෙන් එන කිරිසුවඳට ඉව අල්ලන්නට වුණි. වෙනෙකුගේ දරුවෙකුවූවත් මේ ළදැරිය කුසගින්නේ තබා තම දරුවාගේ කුස පුරවාලන්නට බැරි බව තේරුම් ගත් ඕ හැට්ටය විවර කර කිරි බරින් පිරුණු තම ළය ළදැරියන් දෙදෙනාටම පිදුවා ය. කෝපයෙන් පිපිරෙමින් සිටි විජිතට එකවරම දැරියන් දෙදෙනාගේ හැඬුම් හඬ නතරවනවා ඇසිණ. කාමරයට කර පොවා බැලූ ඔහුට ඉන්දිරාගේ දෙතනේ එල්ලී කිරි බොමින් සිටිනා ළදැරියන් දෙදෙනා දුටුවේය. 


දරුවා දමා ගොස් දින කිහිපයක් ගතවූවත් චන්දිමා යළිත් දරුවා රැගෙන යන්නට පැමිණියේ නැත. මාස කිහිපයක පරතරයක් තිබුනත් එකහා සමාන දැරියන් දෙදෙනා සමඟ තම දෛනික කටයුතු කරගැනීමට ඉන්දිරාට පහසුවූයේ නැත. චන්දිමා සොයා ගොස් දරුවා භාර දෙන්නට ඉන්දිරා කිහිපවරක් කීවත් විජිත ඒවා නෑසු කන්ව සිටියේ යළිත් චන්දිමාගේ නිවසට යෑමට ඇති බිය නිසාවෙණි. ආගන්තුක ළදරුවා සමඟින් අපහසුවෙන් සතියක් ගත කළ ඉන්දිරා විජිත ඇමතුවාය.

“අම්මා කෙනෙක් මේවාගේ ළමයාව දාලා යයිද? මට නම් තවත් මේ වැඬේ කරන්න බෑ. ළමයි දෙන්නෙක් ගේ රෙදි හෝදලාම මගේ පණ ගිහිල්ලා. මේ දරුවාව ඇයි ආපහු චන්දිමාට දෙන්න බැරි?”

විජිත කිසිවක් නොකියා බත්පතට දමාගත් රතුළුණු ගෙඩිය දතින් විකා කොටසක් කඩා ගත්තේය. ඔහුගේ නිහඬතාවය ඇගේ කෝපය අවුස්සාලන්නක්ම විය.

“මේ ඔයාට යන්න බැරිනම් මම හරි යනවා, මට කියන්න චන්දිමාලගේ ගෙදර කොහේද තියෙන්නේ කියලා.”

ඔහු නෑසුනාසේ අනාගත් බත් පිඬක් මුවට ඇතුල් කරගත්තේය.

“මල්ෂාට දෙන්නත් මගේ කිරි ඉතිරි කරන්නේ නෑ. ඔක්කෝම බීලා දානවා. එක්කෝ මේ ළමයාව ගිහිල්ලා භාරදෙන්න. නැත්නම් ඔයාම මෙයාව බලා ගන්න එකයි තියෙන්නේ.”

ඉන්දිරා තම කෝපය සඟවා ගනිමින් කීවාය.

“පොඞ්ඩක් ඉන්නවාකෝ කච කච ගාන්නේ නැතිව. මම වෙලාවට ගිහිල්ලා චන්දිමාට ළමයාව දෙන්නම්.” 

“කවදාටද? අපේ අම්මා හරි පොඩි මාමා හරි මෙහාට ආවොත් මොනාද මං කියන්නේ?”

“මොනා හරි බොරුවක් කියනවා.”

විජිත නුරුස්සනා සුළු බැල්මක් හෙළමින් කීවේය. ඉන්දිරාගේ දෙකන් පෙති රත්කරවාගෙන කෝපය නැඟ එන්නට විය. 

“ඔයා මාවත් රැවැට්ටුවා වාගේ මගේ අම්මලාවත් රවට්ටන්නද හදන්නේ? මම රැවටුනාට එයාලා රවට්ටන්න ඔයාට බෑ. චන්දිමාලගේ ගෙදර යන්න බය නම් මම යනවා පොලීසියට. එතකොට මේ ප්‍රශ්න ඔක්කෝම විසදගන්න පුළුවන් වෙයි.”

“මේ ඕයි නිදහසේ කන්න දෙනවා. මූසල කමට කියවන්නේ නැතිව.”

විජිත වාඩි ගෙන සිටි බංකුවෙන් නැගිට කෝපයෙන් පිපිරෙමින් කෑගැසීය.

“තමුසෙට මම කිව්වානේ තව දවසක් දෙකක් ඉවසලා ඉන්නය කියලා. මම මේක සෙටල් කරලා දාන්නම්.”

කී විජිත නැගිටගෙනම පිඟානේ ඉතිරි බත් ටික ගිල දැමීය. චන්දිමා නිවසට පැමිණ විජිත මෙතෙක් පැළඳ සිටි වෙස් මුහුණ ගලවා ඉවත් කර ඔහුගේ නියම ස්වරුපය පෙන්වා දෙන තෙක් අහිංසකයෙක් විලසින් ආදරයෙන් ළංවි තමන්ට ඔහු කළ අපරාදය පිලිබඳව ඇය බොහෝ වාරයක් සිතෙන් ළතවූවාය. විජිත වැනි නිර්ලජ්ජිත කෛරාටිකයෙක්ට අසුවීම ගැන ගෙවුනු දින කිහිපයේදි ඉන්දිරා බෙහෙවින්ම පශ්චාත්තාප වුනි. මෙතෙක්  ඈට මේ කිසිවක් නොකියා සිටීම පිළිබඳව විජිත ඉන්දිරාගෙන් සමාව ඉල්ලා සිටියේය. එහෙත් ඈ සිදුවූ සියල්ල සිදුවී අවසාන බැවින් ආයාසයෙන් ඉවසා සිටියා ය. ඒත් විජිත තමන් මේ නොදරුවන් දෙදෙනා සමඟින් විදිනා දුක් කරදර නොසලකා නොතකා හැරීම ඉවසාලන්නක් නොවීය. මෙතෙක් දිනක් සිත තුළ කැකෑරුනු  දුක කෝපය ආදි සියලු ආවේගයන් සියල්ල එකවර පිටකරවාලන්නට මෙන් ඉන්දිරා හඬා වැළපෙන්නට වූවා ය.  

“ඔන්න ඉතිං පටන් ගත්තා වැලහින්නි වාගේ අඬන්න.”

අවසාන බත් පිඬ ගිල දැමූ විජිත කෝපයෙන් ඈ දෙස රවා බලමින් කීවේය. 

“මේ විජිත අයියේ ඇයි මට මෙහෙම කළේ? ඇයි මට බොරු කළේ? ඔයා බැඳලා කියලා නොකියා බොරු කියලා මාවත් අමාරුවේ දැම්මේ ඇයි?”

“මම තමුසේව අමාරුවේ දැම්මා? තමුසේ මං ළඟට එනකොටත් අමාරුවේ වැටිලා නේද හිටියේ? මම ඕවා ගැන හාර අවුස්සලා බැලුවේ නැති නිසා තමුසෙත් තොත්ත බබා වගේ හිටියා.”

කොහෙන්දෝ පාදුර්භූතවූ අකුණක් දෙසවන අසළින් පුපුරා ගියාක් සේ ඕ තැති ගත්තා ය. විජිතගේ වාග්මාලාව නිසා ඇගේ වේගවත් වූ හෘද ස්පන්දනයන් මෙන්ම කෝපය මුසු කළකිරීමද උත්සන්න විය. තම සිහිඑලවාගැන්මට මඳ වේලාවක් ගතවූ පසුව නිහිනයෙකුසේ තව දුරටත් නිහඬව නොසිටීමට ඉන්දිරා  ඉටාගත්තා ය. 

“ඔයාගේ ඔක්කෝම වැරදි මගේ පිටින් යවන්නද හදන්නේ?  මම ඔයා වාගේ වනචරකමේ ගිහිල්ලා නෑ.”

“අනේ තොත්ත බබා. මම මෝඩයෙක් නෙමෙයි අයිසේ.”

කී විජිත තම අත රැඳි පිඟාන කුස්සියේ මේසය මතට විසීකර පිටවුණි. 


තවත් සති කිහිපයක් චන්දිමාගේ දියණිය ඉන්දිරා ඇසුරේ වැඩෙනුයේ විජිත හා ඉන්දිරා අතර අඩදබර මැදිණි. දරුවා මුල් කරගෙන කෙතෙක් රණ්ඩු සරුවල් ඇතිවූවත් තම දරුවාට හා සමාන ස්නෙහයක් චන්දිමාගේ දියණියට පෑමට ඕ සමත්වූවාය. විජිත කෙතරම් මඟහැර යන්නට තැනුවත් ඈ තම සටන ජයග්‍රහණය කරා මෙහෙයවාලුයේ පොලීසියට ගොස් නීතියේ පිළිසරණ පැතීමෙන්ය. එහිදීද විජිතට ඇතිවූ වාසියක් නම් නැත. දික්කසාද නඩුවක් පවරා චන්දිමාගෙන් නීත්‍යානුකූලව වෙන්වෙනතුරු නඩත්තු දීමනාවක් ගෙවන්නට ඔහුට සිදුවීමය.


“අම්මා ඇයි මේ හදිසියේ?”

“කෝ විජිත ළමයා?”

“දැන් වැඩ ඇති අම්මේ.”

“මම විජිතව මුණගැහිලා එන්නම්.”

“මොකක්ද හදිසිය කෝ පොඩි මාමා?”

“මම ගිහිල්ලා එන්නම් කෝ.”

“ඉන්න තේ ටිකක් බීලාම යන්න.”

“බෑ ආවාම බොමු.”

අම්මා වෙනදා පසුවන විනෝදකාමි සිනහරැල්ල අතුරුදහන්ව කලබලකාරි වෙනස් ස්වරුපයක් ගෙන තිබීම ඉන්දිරාට ඇතිකළේ යම් විමතියකි. අම්මා බොහෝ විට තනියම පැමිණ නැතිබව පසක්විය. එක්වරම ඇගේ සිත තුළට අහේතුක බියක් දැනෙන්නට විය. තවත් අඬ හෝරාවකට පසුව විජිත සමඟින් ඇය නිවසට ගොඩවැදුණි. විජිතගේ මුහුණද කල්පනා බර ස්භාවයක් උසුලන බව ඉන්දිරාගේ දෙනෙතට අසුවිණි.


කරදර ගොන්න මැදට තවත් කරදරයක්ද? මතුසම්බන්ධයි

17 comments:

  1. මේ මොන ගිණිගෙඩියද්ද බොලේ... හැමදාම උඹේ නවකතාව අපේ පපුව අවුළනව

    ReplyDelete
    Replies
    1. තිත්ත ඇත්ත ගැබ්වුනු සත්‍ය කතා කොහොමත් දුක්බරයි. ඩ්‍රැකියා සෙන්සිටිවු මිනිහෙක් කියලා පෙනෙනවා.

      Delete
  2. අනිත් බබාව විජිත 'සෙටල්' කරන්න හදන්නෙ භයානක ක්‍රමයකටද. වර්තමාන (මෙතෙක් කියවපූ) කොටස් වල තව බබෙක් නැති නිසා හිතනකොටත් භයයි.

    විවාහ සහ ආදර සම්බන්දතා පහසුව සඳහා කරගන්න දේ මිසක් ආදරයෙන් වෙන දෙවල් නෙවෙයි කියන්නෙ (for convenience, not out of love) මේ වගේ සිදුවීම් නිසා වෙන්න ඇති. චන්දිමා සහ රෙක්සි (ශෝක් නම) දෙන්නටම 'අව්වට පිලිස්සි තද පැහැති සම/කාලවර්ණ ගැන්වුනු' විශේශන පවිච්චි කලේ ඒගොල්ල මහන්සි වී වැඩ කරන working class අය කියන අදහස දෙන්නද. දුක හිතුනත් කතාව හොඳින්ම ගලා ගෙන යනවා

    ReplyDelete
    Replies
    1. ලුනාව, අඟුලාන, මොරටුව පැත්තෙ උදවිය කොහොමත් එක්කො හොඳටම කළුයි, එක්කො හොඳටම සුදුයි.

      Delete
    2. Thank you. I never knew that.

      Delete
    3. මෙහිදි කාලවර්ණ ගැන්වුනු / අව්වට පිලිස්සුනු කියලා විශේශන වලින් පෙන්වන්නට ඕනෑ උනේ මුහුදු රස්සාව කරන හෝ මුහුද අද්දර ජීවත්වෙන අයවයි.

      Delete
  3. පරක්කු මොකද කියල බැලුවේ. මම මේ ලඟදි ෆේස්බුක් එක මීම් එකක් දැක්ක. කෙල්ල දන ගහගෙන මිනිහට ඕරල් එකක් දෙනවා, මිනිහ පිස්තෝලයකින් මල් පොකුරක් අරන් එන කොල්ලෙකුට වෙඩි තියනවා. කතාවේ හැරය - ගෑනු ඉස්සෙල්ලම රැවටෙන්නේ නරක , රස්තියාදු කාර පිරිමින්ට. මලක් අරන් එන පිරිමින්ව ගණන් ගන්නේ දුර්වලය විදිහට. හැබැයි කෙල වුණාම අනිතිමට බලා ගන්නේ දුර්වලය් වගේ පෙනුන හොඳ මිනිහ

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ප්‍රමාදවුනේ කොරොනා නිවාඩුවෙන් පස්සේ ආපහු වැඩ පටන්ගත්තා. ශාන්ති දිසානයකගේ නවකතා පොතකත් තිබුනා දුර්වලයා වගේ ඉන්න හොද මිනිහා ගෑනියෙක් රක්ෂා කරගෙන ඉන්නවා.

      Delete
    2. අජිත් අයියගෙ කියමන මට මතකයි සයිමන් නවගත්තෙගම ගෙ මුල් කාලෙ කතාවක තිබුණා...

      Delete
  4. ++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  5. හැඩිදැඩි පෞරුෂය ළඳුනට රසඳුනකී
    එහි සැඟවිලා ඉන්නේ තෙත නැති කෙනෙකී
    මව්වත් පිරිමි ඉන්නේ නම් ටිකය සකී
    මේ පවුලටම පල දෙන්නේ කරුමයකී

    ReplyDelete
    Replies
    1. ලතෙක් බවක් පෙන්වූ ආදර රසගුලකි
      බොරුවට වහ වැටෙනා හැටි අරුමයකි

      Delete
  6. කියවන්න පහු උනා.....
    හො++++යි !

    ReplyDelete
    Replies
    1. පහුවෙලා හරි සුටික්කා ආවානේ ස්තුතියි.....

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

මෙන්න ඒ ගීත 10

ගියවර පොස්ටුවෙන් ඇහැව්වා සිංහල ගීත10 ක් පුළුවන්ද නම් කරන්න කියා. නමිනං උන්නැහැ ගීත දෙකක් ද කොළඹ ගමරාල අප්පුහාමි එක ගීතයක් ද හා වෘත්තාන්ත බ්ල...