Wednesday, December 16, 2020

පළිගු කිරිල්ලී - විසිපස්වන කොටස

 


“උඹ මට කිව්වේ නෑනේ විජිතගෙන් අයින්වුන හේතුව.”

“ඒක එකපාරටම කියලා ඉවර කරන්න පුළුවන් කතාවක් නෙමෙයි දීපිකා.”

“එක පාරට බැරි නම් දෙපාරට හරි කියපං. විජිතගේ ලර්නර්ස් එක ගැන නම් කියලා තිබුණා.”

“ඔව් විජිත මල්ෂාගේ නමින් ලර්නර්ස් එකක් ඇරියා. හොඳටම දිරච්ච කබල් මොරිස් මයිනර් කාර් එකක් උනත් එකෙන් තමයි විජිත ඔළුව ඉස්සුවේ. සමහර දවස්වලට මම මල්ෂාව කොට් එකේ දාලා කාර් එක තල්ලූ කරන්න යනවා. පස්සේ ටිකෙන් ටික විජිතට වැඩ ආවා. ඊට පස්සේ එයා කිරිබත්ගොඩත් ලර්නර්ස් එකක් දැම්මා. ඒකටම අල්ලලා කොමියුනිකේෂන් එකකුත් ඇරියා.”

“ඒ කියන්නේ ඔයාලාට හොඳටම සල්ලි එහෙම තිබුණා?”

“සල්ලි ලැබෙනකොට විජිතට මුල අමතකවූණා. එයාව එතනට ගෙනාවේ කවුද කියලා එයා අමතක කළා. ඔය කබල් මොරිස් මයිනර් එක, ඊට පස්සේ ගත්ත හයිඑස් වෑන් එක මම මගේ මේ අත් දෙකෙන් කොච්චර සැරයක් හෝදලා ඇතිද? එයා හම්බුකරපු එක සතයක්වත් අපිට දුන්නේ නෑ. මේ දරුවා වෙනුවෙන්වත් බැංකුවක ගිණුමක් ඇරලා සල්ලි දාලා නෑ. අඩුම තරමේ අම්මාගෙන් ගත්තු සල්ලි ටිකවත් බේරුවේ නෑ.”

“මාර මිනිහෙක්නේ. එයා කාටද සල්ලි වියදම් කළේ?”

“එයා හොඳට ඇඳලා පැළදලා ජැන්ඩියට හිටියා. යාළුවොත් එක්කලා හොඳට බිව්වා. සල්ලි ඉතුරු කරන්න ඇති ඒවා මටනම් පෙන්නුවේ නෑ.”

“ඉතිං ඔයා ඔය ගැන සෙව්වේ බැලුවේ නැද්ද?”

“ඒ ගැන ප්‍රශ්න කළොත් ඉතිං ගෝරියක් තමයි. මට ආදරේ කරපු කාලේ හිටපු විජිතද කියලා හිතුන වාර ගණන අනත්තයි දීපිකා.”

“එයා ඔයාව බැන්ඳේ නෑ නේද?”

“නෑ. එයාට බඳින්න බෑනේ චන්දිමාගෙන් දික්කසාදේ ගන්නකම්. ඒක එයා මට ආයුධයක් කරගත්තා.”

දෑස් තෙත් කරවාගෙන ආ කදුළු පොකුර ඈ පිසදාගනිමින් කීවාය.

“එතකොට ඇයි ඔයා එයාගෙන් අයින්වෙලා ආවේ? ඔය සල්ලි ප්‍රශ්නයකට නම් වෙන්න බෑ.”

“එයාට සල්ලි තිබුනත් නොතිබුනත් මාව කසාද බැන්ඳේ නැතිවුනත් කමක් නෑ දීපිකා විජිත මට ආදරේ කළා නම් ආදරේ තිබුනා නම්. එහෙමනම් මම මැරෙනකම් හරි එයත් එක්ක ඉන්නවා.”

“එහෙනම් මොකක්ද වුනේ?”

“එයාට ගෑනියෙක් සතුට කරන්න ආදරේ කරන්න පුළුවන් කමක් තිබුණත් විජිතට තිබුණා අමුතු අසාවල් වගයක්.”

“ඒ මොකක්ද?”

“එයා ගෑනුන්ට වගේම පිරිමින්ටත් කැමති කෙනෙක්.”

“මොකක්? මම එහෙම කතාවක් මේ ඇහැව්වාමයි.”

“මම විජිතගෙන් ගොඩාක් ගුටි කෑවේ ඔය සම්බන්ධකම් නවත්තන්න ගිහිල්ලා. අන්තිමේදී එයා මට හැංගි හැංගි කරපු දේවල් මගේ එළිපිටම කරන්න පටන්ගත්තා. ඩ්‍රයිවින් ඉගෙන ගන්න ආපු කොල්ලොත් එක්ක යාළුවෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ එක්කන් ආපු කොල්ලෝත් එක්කත් එයාට පේන්න මට බුදිය ගන්නත් කිව්වා. ලර්නර්ස් එකේ වැඩට ගත්තු කොල්ලාව එයා තියාගෙනම තමයි හිටියේ ”

“ඉතිං උඹත් ඒවා කළාද?”

“පිස්සුද බං? මට අප්පිරායාවේ බෑ. බෑ කිව්ව දවසට බීලා හොඳටම ගහනවා. මේ මගේ වම් ඇහිඹැමේ තියෙන තුවාල කැළල ආවේ මට දරපොල්ලකින් ගහපු නිසයි. බඩට ගහපු පාරක් නිසා බඬේ ලේ ගෙඩියක් ඇවිල්ලා හොඳටම අමාරුවුණා. අන්තිමේදී ඔපරේෂන් එකක් කරලා තමයි ඒක අයින් කරන්නවූනෙත්. ”

“විජිත මහ තිරිසනෙක්නේ.”

“මගේ අත කැඩුනෙත් ඔය මිනිහා ගහපු පාරකින්. මම කැඩුන අතත් එල්ලාගෙන උඳේට වෑන් එක හොදලාත් දෙනවා.”

“ඉතිං උඹත් මොඩයා වාගේ ගුටිකකා හිටියා?”

“මට යන්න තැනක් තිබුනේ නෑ. මම ගෙදරින් පැනලා ගිය නිසා සුදු නැන්දා මාව බාර ගන්නේ නෑ. එතකොට අම්මා හිටියේ රට. අනික මම කාටවත් කිව්වේ නෑ විජිත මාව බැඳල නෑ කියලා.”

විජිතගේ කුරිරු සැහැසිකම් වලට මුහුණ දෙමින් ගත කළ අමිහිරි වසර කිහිපයේ අතීතාවර්ජනාව ඇසූ දීපිකාගේ දෑසට කඳුළු ගලා ආවේය.

“අන්තිමේ දී විජිත අර කොල්ලාව අපේ ගනේමුල්ලේ ගෙදරම නවත්තගත්තා.”

“අහල පහළ අයටත් තේරුනේ නැද්ද මේ මිනිහා කරන දේ?”

“ මම වැඩට ඉන්න කොල්ලාට වෙනස්කම් කරනවා කියලා එයා අපේ ගෙවල් අයිතිකාර අක්කලාටත් කියලා තිබුණා. අහල පහළ අයටත් පෙන්නලා දීලා තිබුනේ මම වැරදිකාරි විදිහටයි. අනික විජිතට තිබුණ පිළිගැනීම එක්ක එයා ඒවාගේ මිනිහෙක්ය කියලා කවදාකවත් කවුරුත් හිතන්නේ නෑ.”

“ඇයි උඹ විජිත මේවාගේ මිනිහෙක්ය කියලා ඒ අයට නොකිව්වේ?”

“මම පුළුවන් තරම් උත්සාහ කෙරුවේ අපේ පවුල ආරක්ෂා කරගන්න. අනික එයා මාව කසාද බඳින්නේ නැතිව තියාගෙන ඉන්නවා කියලා එළිවුනොත් එකෙත් කැත නාමේ එන්නේ ගෑණුවෙච්චි අපිටම.”

“උඹ ඔච්චර දුක්වින්දේ ඒ මිනිහාට තිබුනු ආදරේටද?”

“මම ඉස්කෝලේ ගිය කාලේ ආදරේ කරපු විජිතට තාමත් ආදරෙයි.”

“අන්තිමටම මොකක්දවුනේ?”

“ඒ විස්තර මතක්වෙනකොටත් මගේ ඇඟ ගැහෙනවා. එදා විජිත අර කොල්ලා එක්ක උගේ කාමරේ බිබී හිටියා. මමත් එයාලාට බත් බෙදලා නිදාගන්න ගියා. නින්දෙන් වගේ මට දැනුනා විජිත ඇඳේ ඇලවෙනවා. මමත් ගණන් ගත්තේ නෑ. එකපාරටම මාව බදාගෙන ඉඹින්න ගත්තා. ඒ ඉන්නේ විජිත නෙමෙයි බව මට දැනෙන කොට මූ මගේ නයිටියත් උඩට උස්සලා.”

“එතකොට කෝ විජිත?”

“විජිත? විජිත තමයි ඒ කොල්ලාව මං ගාවට එවලා තියෙන්නේ. මට ආපූ තරහට මම අතට අහුවුනු දේවල් වලින් ඌට ගැහැව්වා. ඌව බේරගන්න විජිතත් ඇවිල්ලා මට ගහන්න ගත්තා. මම මෙච්චර දවසක් ඌගෙන් ගුටිකකා හිටියට එදා මම නිකන් හිටියේ නෑ. මමත් ගැහැව්වා. ඒ අවලමා කිව්වා මාව මරන්නේ මගේ ....... ට ගිනිපෙල්ලක් බස්සලායි කියලා. එයා කියන විදිහට ඉන්න බැරි නම් ගෙදරින් පලයන් කියලා මායි දුවවයි ගෙදරින් එළියට දැම්මා. මෙච්චර කල් මම නොකියා හිටිය තිත්ත ඇත්ත අන්තිමේදී රණ්ඩුව බේරන්න ආපූ අල්ලපු ගෙදර අක්කලාට විස්තර කරලා කිව්වා. ඒ වෙලාවේ විජිත හිමිහිට අර කොල්ලාත් එක්ක ගෙදරින් එළියට බැහැලා ගියා. තවදුරටත් එයත් එක්ක මෙහෙම ගුටිකකා ඉන්න බැරි නිසා මම පහුවදාම අම්මා හොයාගෙන ගෙදරින් යන්න ගියා.”

කී ඉන්දිරා තම දෑසින් බේරුනු කඳුළු ඉක්මනින්ම පිසදාගත්තේ බෝඩිම් කාමරයට කවුරුන් හෝ ඇතුළුවේ යැයි බියෙනි. ඉන්දිරාගේ ජීවිතයේ දුක්ඛිත පරිච්ඡේදයේ කඳුළු කතාව ඇසූ දීපිකාගේ සිත ඔද්දල් වී ගියා ය. ඇය තම රත්පැහැ ගැන්වී තිබුනු දෙනෙත් පිසදාගෙන ඉන්දිරා දෙස බැලීය. පුරුෂාධිපත්‍ය පෙන්වමින් නිර්දය ලෙස ඇගේ ආදරය හා ජීවිතය විනාශ කරදැමූ විජිත ගැන දීපිකාට ඇතිවූයේ බලවත් ක්‍රෝධයකි. ඇනුම් බැනුම් හා අතින් පයින් ගුටිකමින් තම ස්වාමියාට පහිණිපත් සාදා දෙමින් සියලූම බැලමෙහෙවරකම් කළද ඈ එම කාලය තුළ කුඩා හෝ සතුටක් නොලද බව දීපිකා තේරුම් ගත්තා ය. 

“අපි දෙන්නා කසාද බැඳලා නැති නිසා විජිත එක්ක ආයෙමත් එකතුවෙන්නවත් වෙන්වෙන්නවත් පුළුවන් කමක් නෑ.” 

“ඔය විස්තර නිලන්තට ඔයා කිව්වාද?” 

“මම තරමක් එයාට කියලා තියෙන්නේ. ඒත් ඔක්කෝම කියන්න වේලාවක් ලැබුනේ නෑ.”

“හැම පිරිමියාම එකවගේ නෑ තමයි. ඒත් බොහෝමයක් අය ඔයාගේ කතාව අහලා බොරුවට අනුකම්පාව පෙන්නගෙන තමන්ගේ ආසාවල් ඉෂ්ට කරගන්න නම් ඔයා ළඟට එයි. ඒකයි මම ඔයාට නිතරම පරිස්සම් වෙන්න කියන්නේ.”

“අනේ මන්දා දීපිකා මම ඔයාට වඩා ජීවිතයේ ගොඩාක් දුක්විදලා තියෙනවා. ඒත් උඹට තියෙන සමාජ අවබෝධය මට අඩුයි. ඒ නිසාමද මන්දා මම මිනිස්සුන්ට රැවටෙන්නේ.” 

“දැන් නිලන්ත මොනවාද කියන්නේ?”

“මටනම් එයාව වෙලාවකට තේරුම් ගන්න බෑ.” 

“ඇයි ඒ?”

“එයා මාව බඳිනවාද කියලා හරි උත්තරයක් දෙන්නේ නෑ. එයාට ප්‍රශ්න තියෙනවා කියනවා. මානෙල්ගෙන් වෙන්වෙන්න දික්කසාද නඩුවක් දැම්මා කියනවා. හමුදාවෙන් දික්කසාද වෙන්න එපා කිව්වා කියනවා. ගෙදරින් මානෙල් වැරදිකාරියෙක් නෙමෙයි කිව්වා කියනවා. අනේ මේවා මටනම් තේරෙන්නේ නෑ.”

“ඉන්දිරා උඹ මාත් එක්ක තරහා වුනත් මේක උඹට කියන්නේ උඹේ හොඳටයි, ෂුවර් නැත්නම් නිලන්තගෙන් ඉක්මනටම ඈත් වෙයන්. ඔය මිනිහා බොරුකාරයෙක් විත්තිය ඔයාට තේරෙනවානම් අයින් වෙන එක හොඳ නැද්ද? එයා එන්නේ උඹේන් එයාගේ ආසාවල් ඉෂ්ට කරගන්න විතරක් වෙන්න පුළුවන්. ඒ නිසාමයි මම නිතරම කියන්නේ ඕනෑවට වඩා දුර දිග ගිය සම්බන්ධකම් තියාගන්න එපා කියලා.”

නිලන්ත අතරවූ සම්බන්ධය දුරදිග ගියේ තමාත් ලෙයින් මසින් හැදුනු කෙනෙකු මිස ආශාවල් ප්‍රහීණ කළ අයෙකු නොවන නිසා බව දීපිකාට කෙසේ කියන්නදැයි නිහඬව සිතුවා ය. නිලන්තගෙන් ලැබූ ආදරය, උණුසුම හා කායික සන්තර්පණය විජිත හා එක්ව ගෙවූ මුල්කාලයේදීවත් නොලැබුනු බව ඈට සිහිපත් වීය.


සති කිහිපයක් ගතවීගිය අතර එක් දිනක්  දීපිකා ඉන්දිරා වෙත පැමිණියේ හදිසියෙනි.

“නිලන්ත තාම ඉන්නේ කුරුවිට කෑම්ප් එකේද?”

“ඔව්. මේ මාසේ අඟ ආයෙමත් කොළඹ හෙඞ් ක්වාටස් වලට එනවා කිව්වා.”

“ඇත්ත කියපං ඉන්දිරා උඹ නිලන්ත බලන්න කී සැරයක් විතර කුරුවිට ගියාද?”

දීපිකාගේ පැනයෙන් නිරුත්තර වූ ඉන්දිරා එකවරම ඇගේ මුහුණ දෙස බලාගෙන සිටියා ය.

“ඇයි එහෙම අහන්නේ?”

“නෑ මට ඇත්ත කියපං.”

“මම ගියේ නෑ.”

ඇත්ත වසන් කිරීමට ඉන්දිරා නිෂ්ඵල උත්සාහයක යෙදුනා ය. එහෙත් සියල්ල දැනගෙන දීපිකා කළ විමසිම්වලින් ඈට ගැලවුමක් නොවීය.

“එහෙනම් අම්මා බලන්න යනවා කියලා මටත් කියලා ඬේ ඕෆ් තියෙන දවසට කොහේද ගියේ?”

“කොහේ යන්නද අම්මා ඉන්න ගෙදරට මිසක්.”

“මේ ඉන්දිරා මට බොරු කරන්න එපා. මම මේ අහන්නේ ඔක්කෝම දැනගෙනයි.”

ඈ තර්ජනය කරන්නාක් මෙන් ඉන්දිරාගෙන් විමසීය.

“එකසැරයක් විතර ගියා.”

“උඹ මටත් බොරු කළා. උඹ දෙසැරයකට වඩා ගියා නේද? ඇයි ඉන්දිරා මට බොරු කරන්නේ?”

ඉන්දිරා මුනිවත රකිමින් බිම බලාගත්තා ය. සියල්ල දීපිකාගෙන් වසන් කළත් ඇය දැනගත්තේ කෙලෙසකදැයි  ඉන්දිරාට සිතාගත නොහැකි විය. 

“උඹේ ඬේ ඕෆ් එක තියෙන දවස් දෙකක් විතර අම්මා උඹව බලන්න ආවා. අදත් අම්මා ආවා. ඒත් උඹ මෙහේ නෑ. අපි කිව්වා උඹ එහේ ගියා කියලා.”

“අම්මා මොකක්ද කිව්වේ?”

කලබල වූ ඉන්දිරා ඇසුවා ය. 

“එහෙනම් මම එද්දි එයා එහෙට යන්න ඇති කියලා ගෙදර ගියා. මට මේ වෙලාවේ සැක හිතුනේ එක සැරයක් එහෙම වෙන්න පුළුවනි ඒත් තුන් සැරයක්ම එක විදියේ දේවල් සිද්දවෙන්න බෑනේ. අම්මාගේ හොඳ කමටද දන්නේ නෑ කිසිම දෙයක් නොකියා ආපහු හැරිලා ගෙදර ගියා. එදාත් ඕක බලන් හිටපු අමාලි හොඳ හොඳ කතා ටිකක් කිව්වා.”

තිගැස්මක් සමඟින් වේගවත්වූ හෘදය ස්පන්දනය ඉන්දිරාගේ රුධිර ගමනාගමනය ඉහළ නංවන්නට වුණි. ඈට කරකියා ගන්නට කිසිවක් නොවීය.

“ඉන්දිරා උඹ ඔය ගිය ගමන එච්චර හොඳ ගමනක් නෙමෙයි. අමාලිලා වගේ ඕපාදුප හොයන තවත් අය මේ බෝඩිමේ ඉන්නවා. මේ අය දැනගත්තෝත් උඹ මහ වනචර ගෑණියෙක් කියලා කියයි. අනික උඹ ගිය දිහාවක් අපිවත් උඹේ අම්මාවත් දන්නේ නෑ. උඹට මොකක් හරි උනා නම් කාට කියන්නද? කොහේ කියලා යන්නද?”   

කෝපයෙන් පසුවූ දීපිකා එක එල්ලේම කියවාගෙන ගන්නට විය. ඇගේ වාග්මාලාවන් ආයාසයෙන් අසා සිටියත් එවා ඉන්දිරාව සලිත කරවන්නට විණි.

“උඹ කරන දේවල් වලින් ආයිමත් අමාරුවක වැටෙන්නයි යන්නේ. නිලන්ත හොඳ කෙනෙක් වෙන්න පුළුවන් ඒත් ඔය දෙන්නා කරන දේවල් වලට සීමාවක් තියාගෙන කරන්න ඕනේ. ජීවිතේ එකපාරක් අමාරුවක වැටිච්ච කෙනෙක් නිසා මීටත් වඩා හොඳ පරිස්සමෙන් සිහිබුද්ධියෙන් වැඩකරන්න ඕනේ නේද?”

ඉන්දිරාගේ දෑස් කඳුලින් පිරීයන්නට විය. විළිබිය සිඳගත් දහජරා වෙසඟනක් ලෙසින් දිපිකා තමන් දෙස බලන්නේ දැයි ඈට සිතුණි. ආයාසයෙන් වචන එකතුකරගත් ඈ බිඳුන හඬින් දීපිකා ඇමතුවා ය.     

“මම නිලන්ත බලන්න ගියා තමයි දීපිකා. ඒත් මං දිහා මහ වනචර ගෑණියෙක් විදිහට බලන්න එපා. මාත් ලේ මස් නහරින් හැදුනු ආදරය, ආසාවල් තියෙන කෙනෙක්. මම නිලන්ත බලන්න ගියේ එයාට තියෙන ආදරයට මිසක් වල් කමකට නෙමෙයි.”

දෙකපුල් තෙමාගෙන පහළට රූටන කඳුලු වැල් දුටු දීපිකාගේ කෝපයෙන් මුසපත්වූ හදවත තෙත්වන්නට විය. 

“ඉන්දිරා ඔයා වල් ගෑණියෙක් කියලා මං කිව්වේ නෑ. ඒත් ඒ ගිය ගමන එච්චර හොඳ එකක් නෙමේ. අනික නිලන්තට මොළයක් තියෙනවානම් කල්පනා කරන්න ඕනේ තමන්ගේ කෙල්ලව මෙච්චර දුරක් ගෙන්න ගන්න හොඳ නෑ කියලා හිතන්න. ඔය ගමන් වලින් ඔයාට කරදරයක් වුනත් කවුද දන්නේ?”

“නිලන්තට මෙහෙට එන්න බැරි නිසයි මම එයාව බලන්න ගියේ. මම දන්නවා දීපිකා මම කරන්නේ වැරදි වැඩක් බව. ඒත් අනේ මන්දා වෙලාවකට මට මාවම පාලනය කරගන්න බෑ.”

“කෝක නමුත් අම්මාට උත්තර බදින්න නම් උඹට සිද්දවෙයි.”

කී දීපිකා රෑට උයන්නට තිබෙන බව කියමින් කාමරයෙන් පිටව ගියා ය. අම්මා සියල්ල දැනගෙන ඇති වැටහුන ඉන්දිරාට ගමන් මහන්සිය නිසා හටගත් ගතේ විඩාව පරදා සිතේ පැන නැංවුනු කැළඹිල්ල ඉස්මතුවිණි. අම්මාගේ නොසිතුවිරු ආගමනයෙන් සියල්ල හෙලිදරව්වීම නිසා චිත්ත පීඩාවකට ලක්වුනු ඈ නිලන්තගේ බලවත් ඉල්ලීමට තුන්වන වතාවටත් කුරුවිටට යාම ගැන පශ්චාත්තාප වුණි. මේ ගමනේ වරදකාරිත්වය තමා පිටම පවරාගත් ඉන්දිරා නිලන්තගේ තෙවන ඉල්ලීම ප්‍රතික්ෂේප කර කුරුවිට නොගිහින් සිටියානම් මැනවැයි සිතුවා ය. හෙට හෝ අනිද්දා තමා සොයාගෙන එන අම්මාගේ කොපාවිෂ්ට වූ මුහුණ මැවී පෙනෙන වාරයක් පාසාම ඈට මුළු සිරුරම අග්නිජාලාවකින් වැසී යන බවක් දැනුණි. ඇඳන් ගිය ඇඳුම පිටින්ම පැදුරේ ඇලවුනු ඉන්දිරාට සිරුර වෙළාගත් තෙහෙට්ටුව නින්ද ඉක්මනින් කැඳවාගනු ලැබීය.


පසුදා උදයේම වැඩට යන්නට ලෑස්තිවෙමින් සිටියදි ඉන්දිරා සොයාගෙන අම්මා පැමිණ තිබුනාය. ඈට මුහුණ දීමේ විශාල අපහසුවකින් ඉන්දිරා පෙලෙන්නට විය. කෝපයෙන් දිඳුලන අම්මාගේ දෙනෙත් දිහා එකඑල්ලේම නොබලන්නට ඈ උත්සාහ කළා ය. තමාලි ඉන්දිරා ළඟට ලංව “උඹ කොහේද ගියේ?” ඇසුවාය.

කිසිවක් නොකියා ඉන්දිරා මුනිවත රකින්නට වුණි.

“මෙතන කතා බස් කරන්න පුළුවන් තැනක් නෙමේ. උඹ අද නිවාඩුවක් දාලා මාත් එක්ක යන්න ලෑස්තිවෙයන්.”

“එහෙම එක පාරටම නිවාඩු ගන්න බෑ. ”

“උඹට අරුත් එක්ක එහෙ මෙහේ යන්න නිවාඩු තියෙනවා. ඒත් ඇත්තට ගමේ ගිහිල්ලා එන්න තමයි නිවාඩු නැත්තේ. මට බොරු කරන්නේ ඇයි ඉන්දිරා? සික් ලීව් දාලා මේ දැන්ම ගමේ යන්න ලෑස්තිවෙයන්.”

ඉන්දිරා අසළට වී බෝඩිමේ අනෙක් අයට නොඇසෙන්නට කෝපයෙන් කොඳුරන්නටවූවා ය. ඉන් තිගැස්සුනු ඕ යුහුසුලුව අතට අසුවුන ඇඳුම් කිහිපයක් බෑගයට ඔබාගන්නට වුණි. ප්‍රශ්නාර්ථයක් මුහුණට නගාගෙන ඉන්දිරා දෙස බලා සිටියා මිස අම්මා සහ දුවගේ කතා මැදට පැන විස්තර අසන්නට දීපිකා නොගියා ය.

“දීපිකා අපි පොඩි හදිස්සීයකට ගමේ යනවා. ඔයාට පුළුවනිද ඉන්දිරාට අසනීප නිසා ගෙදර ගියා කියන්න?” 

“හා ඇන්ටි මම කියන්නම්.”

බේකරි හන්දියෙන් බසයට නැඟුන තමාලි හා ඉන්දිරා කිසිම කතා බහක් නොමැතිව ගල්කිස්ස හන්දියෙන් බැසගත්හ. කොළඹ දෙසට ආ බසයකට අතදා එයට නැගගත් අම්මා පිටු පසින් බෑගයත් කරපින්නාගත් ඉන්දිරාද ගොඩවිය. ගමේ යන බව පැවසුවත් අම්මා තමන්ව රැගෙන යන්නේ සුන්දරලිංගම් මහතාගේ නිවසට බව කොන්දොස්තරගෙන් වැල්ලවත්තට ටිකට් දෙකක් ගත් පසු ඈට වැටහුණි. වැඩ කරනා නිවසේ අයිතිකාර සුන්දරලිංගම් මහතා පිට අය තම නිවසේ නවත්වාගන්නට අකමැති බව හොඳින් දන්නා අම්මා තමාව කැටුව යන ගමන ගැන ඈට ඇතිවූයේ ප්‍රෙහේලිකාවකි. වැල්ලවත්තේ නිවසට යන තෙක් තමාලි ඉන්දිරා හා වචනයක් හෝ කතා කළේ නැත. ඈ සිටි ඉරියව් වලින් ඇගේ කෝපය කොපමණදැයි ඉන්දිරාට සිතා ගත හැකි විය. ඉන්දිරා වැල්ලවත්තෙන් බසයෙන් බසිද්දී මුලින් තමා වෙලාගෙන හුන් අනියත බිය ටිකෙන් ටික පහව ගොස් ඕනෑම දෙයකට මුහුණ දීමේ චිත්ත ශක්තියක් ඇතිව සිටියා ය. සුවිශාල ගේට්ටුව පසුකර දැකුම්කළු එහෙත් මනුෂ්‍යවාසයෙන් ඈත්ව හුදකලාවේ පැවැති මන්දිරයට ඇතුලුවද්දී ඈට සුන්දරලිංගම් මහතාගේ හැඬි දැඬි සිරුරත් කාලවර්ණ මුහුණත් සිහිවුණි. නිවසට ගොඩවදිද්දී නිවස තුළින් දිව ආ මල්ෂා අම්මේ කියමින් ඉන්දිරාගේ ඇගේ එල්ලුනා ය. ඇගේ සිත තුළ යම් පමණකට හෝ බියක් ඉතිරිව තිබුනා නම් එයද ශූන්‍ය වී ගියේ මල්ෂා දැකුමත් සමඟින්ය. ඇතුල් කාමරයක සිට සුදු නැන්දා ද මල්ෂා පිටු පසින් සාලයට ආවේය. තම පවුලේ කිසිවෙකුට නිවසට ඇතුලුවීම පවා තහනම් කර තිබූ සුන්දරලිංගම් මහතාගේ මන්දිරයේ මල්ෂාට පමණක් නොව සුදුනැන්දාටද දොරගුලු විවරවී ඇති සැටි සිතාගත නොහැකිවූවාය. වඩාගත් මල්ෂාගේ දෙකපුල සිපගත්තාය. 

“ඔයා කවදද මෙහෙට ආවේ දුවේ?”

අම්මා දැකුමෙන් සිතුටින් ඉපිල ගොස් තිබූ මල්ෂා ඉන්දිරාගේ පැනයට පිළිතුරක් නොදී ඈට තුරුල් වූවාය. පිළිතුරක් අපෙක්ෂාවෙන් ඕ සුදු නැන්දා දෙස බැලූවාය.

“අපි පෙරේදා ආවේ. මහත්තයා කැනඩාවට ගිහිල්ලා නෝනවයි දරුවයි බලන්න. අම්මා තනියෙන් ඉන්න නිසා අපිත් මෙහේ ආවා.”

“පොඩි මල්ලි ආවේ නැද්ද?”

“දිනේෂ් කොහේටද මන්දා ගියා.”

“ඉන්දිරා ගිහිල්ලා වෙන ඇඳුමක් දාගෙන මෙහෙට ආවනම්. මට තියෙනවා උඹත් එක්ක ලොකු කතාවක් කරන්න.”

අම්මා අණ දෙන්නාක් මෙන් ඉන්දිරාට කීවාය. තමාලිට ඇවසිවූයේ දිනේෂ් නිවසට පැමිණෙන්නට පෙර ඉන්දිරා හා කතාබස් කළ යුතු කරුණු කාරණා ඉක්මනින් අහවර  කරගනු දැකීමටය. එහෙත් සුදු නැන්දා එයට විරුද්ධවූයේ මල්ෂා ඉදිරිපිට මේ දේවල් කතා කිරීම නුසුදුසු බව කියමිනි. ඉන්දිරාගේ තුරුල්ලටමවී සිටි මල්ෂා නින්දට යන තෙක් තමාලි සිටියේ නොවසිල්ලෙනි. රාත්‍රී ආහාර ගැනීමෙන් පසුව සාලයට ආ ඉන්දිරාව පසෙකට කැඳවාලුවාය.

“දැන් මට කියපං ඉන්දිරා උඹ මේ කරන්න හදන දේ? ”

“මොකක්ද?”

ඉන්දිරා අම්මා දෙසවත් නොබලා නුරුස්සනා ලෙසින් ඇසීය.

“ඇත්ත කියහං උඹ ඊයේ කොහේද ගියේ? ආමි කාරයා එක්ක කොයි ගුබ්බෑයමටද රිංගුවේ?”

“කොහේවත් නෑ.”

“එහෙනම් ඊයෙත් කොහේද ගියේ? ගිය සුමානෙත් මම ආවා එතකොටත් උඹ මාව බලන්නය කියලා බෝඩිමෙන් ගිහින්. මම කිව්වා නේද උඹට ඔය මිනිහා බඳිනකම් එහෙ මෙහේ රිංගන්නේ නැතිව ඉන්නය කියලා.”

“මම රිංගපු තැනක් නෑ. අම්මා පිස්සු නොකියා ඉන්න.”

“මට සුදු නැන්දාටත් ලැජ්ජ නැතිව කියන්න සිද්ධවුනා උඹ මේ කරනා නොහොබිනා වැඬේ ගැන. ගියපාර වගේ ආයෙමත් බඩක් උස්සන් හිටපං. අනේ මන්දා මුංට තියෙන අවලං ගායක්.”

තමාලි කෝපයෙන් පිපිරෙමින් වාග් ප්‍රහාර ඉන්දිරා වෙත එල්ල කළා ය. සුදු නැන්දාද තමාලිට එකතුවූයේ ඈට ඈනුම්පද එකතුකරවමිනි.

“මම හිතුවේ ඉන්දිරා ගිය පාර වරද්දගත්තායින් දැන්වත් හැදෙයි කියලා. අනික දැරිවියක් ඉන්න අම්මා කෙනෙක්  ඔය වාගේ නොහොබිනා ගමන් යන්න හොඳ නෑ නේද? ඔය කොල්ලාත් උඹව අමාරුවේ දාලා පැනල යයිද දන්නේ නෑ.”

සුදු නැන්දා ගේ සිතේ මෙතෙක් කළක් පැලපදියම්ව තිබූ ඉන්දිරා පිළිබඳ ක්‍රෝධය පිටකරවාලන්නට හොඳම අවස්ථාව උදාවුණි. කටකමිසිරියාවක් නොමැතිව කඨෝර වදන් වලින් ඈ ඉන්දිරාට පහර දුන්නා ය. සිත දැඬි කරගත් ඉන්දිරා සුදු නැන්දා හා අම්මාගෙන් අතොරක් නැතිව එල්ලවන ඇනුම් බැනුම් කඨෝර ආක්‍රෝධ පරිභවයන්ට එකඳු කඳුළක් නොහෙලන්නට ඉටාගත්තීය. කළකට පසු මල්ෂා දැකීමෙන් සිතේ ඇතිවූ ප්‍රීති ප්‍රමෝදය හිරු දුටු තුහින පොදක් සේ වියැකී ගියේය. 

“උඹලා කරන මඟුල් වලට උත්තර බඳින්න වෙන්නෙත් මටයි. මේ පොඩි කෙල්ලට අනම් මනම් කියලා අනවශ්‍ය දේවල් ඔළුවට දාන්න එපා. මේකී පොඩිකමට නෙමෙයි වැඩ ඉස්කොලෙත් ගිහිල්ලා කට කියවන්න අරගෙන. ටීචර් මගෙන් ඇහැව්වා මල්ෂාගේ අම්මා වෙනින් කෙනෙක් බඳින්න හදනවාද කියලා. ඔයාලා එයාව බලන්න ගියාද කියලා?”

“ඉතිං සුදු නැන්දා මොකද කිව්වේ?”

දෙනෙත් විසල් කරගත් තමාලි විශ්මයෙන් මෙන් ඇසුවා ය.

“වෙන මොනවා කියන්නද තමාලි ඇත්ත කියනවා මිසක්. පස්සේ ටීචර් කියනවා මේ අනවශ්‍ය දේවල් පොඩි දරුවන්ගේ මොළවලට දාන්න හොඳ නෑ කියලා. මටත් දොස් කිව්වා ඔය වාගේ ගමන් වලට ළමයින්ව එක්ක ගෙන යන්න දුන්නේ ඇයි කියලා.”

“ටීචර් දන්න කෙහෙල්මලක් නෑ. ඉන්දිරා තාම තරුණයි. මොකද දැන්වත් කියන්න පුළුවන්ද මෙයාට දරුවෙක් ඉන්න බව. ඉන්දිරා කවද හරි කාව හරි කසාද බඳින්න ඕනේ. එතකොට ඒ බඳින මනුස්සාත් දැනගන්න ඕනේ ඉන්දිරාට දරුවෙක් ඉන්න බවත් දරුවාත් දැන ගන්න ඕනේ අම්මා වෙනින් කසාදයක් බැඳලා විත්තියත්.”

“ඒත් ඕවා දැන්ම දරුවන්ට කියන්න හොඳ නෑ තමාලි.”

“ඇයි අපි මේවා හංගන්න හදන්නේ? සුදු නැන්දලාගේ කාලේ වගේ නෙමෙයි දැන් කාලේ මේ සමාජේ ඔය දේවල් ඕනේ තරම් වෙනවා. අපි ඇත්ත දරුවන්ටත් කියලා දෙන්න ඕනේ.”

තමාලි සුදු නැන්දාට කීය.

“හැබැයි ඉන්දිරා උඹ ආයෙත් අරුත් එක්ක එහේ මෙහේ කාමර ගුබ්බෑයම් වලට රිංගන්න හදලා මට අහුවෙන්න එපා. රස්සාවෙන් අස්කරලා ආයෙමත් හල්දුම්මුල්ලට අරිනවා.”

ඈ තර්ජනාත්මකව අවවාදයක් දුන්නා ය. 

මල්ෂා හා එක්ව ගත කරන්නට ලැබීම ඉන්දිරාගේ මානසික පීඩනය මඳකට අඩුකරවන්නට සමත්වීය. එහෙත් එළිපිට නොහොද නොක්කාඩුවක් නොවුනත් තමාලි සිටියේ ඉන්දිරා හා අමනාපයෙන් මෙන්ය. වැඩිය කතා බහක් ඔවුන් අතර සිදු නොවන බව දුටු දිනේෂ් සුදු නැන්දාගෙන් ඒ පිළිබඳව විමසා සිටියේය. ඔහුද නිලන්ත ගැන දැන සිටියායින් ඉන්දිරාගෙන් ඔහු ගැන විමසන්නට විය.

“කෝ තමුසෙගේ අලුත් ප්‍රේමවන්තයා, අර ආමිකාරයා. මට මිනිහාව දකින්න බැරිවුනානේ. අපරාදේ මාව ගෙදර දාලා නේ හලෝ ගියේ. ”

“ඇයි මොකටද?”

ඉන්දිරා නුරුස්සනා ලෙසින් ඇසුවා ය.

“දැන් ඉතිං ආමිකාරයෝ දෙන්නෙක් ඉන්නකොට මොකට බයවෙන්නද?.”

“කොහේද දෙන්නෙක්? මොකාටද බය වෙන්නේ?”

සුදු නැන්දා විමසුවාය.

“ඇයි අපේ අයියායි අපේ අලුත් ආමි මස්සිනා පොඞ්ඩයි. කවදාද ආමි මස්සිනා අපේ ගෙදරට එක්කන් එන්නේ?”

එය ඇසුනු තමාලි කෝප ගත්තා ය.

“මේ දිනේෂ් උඹ නොදන්නා දේවල් වලට කතා නොකර හිටපං.”

අම්මාගෙ තවරටුවෙන් කරබාගත් දිනේෂ් මඳ වේලාවක් නිහඬව සිට

“ආ මට කියන්න බැරිවුනා. එක දවසක් විජිත ආවනේ අක්කාව හොයාගෙන.”


විජිත ආවේ කුමකටද? මතුසම්බන්ධයි.....

11 comments:

  1. මඟුල් සක්වලකි මේ කැරකෙන ලෝකේ
    වෙන තරමක් වැරදි වෙන්නෙත් මේ ලෝකේ
    උහුලාගන්න බැරි නම් හෙම 'පොරසෝකේ'
    දුක්බර එකක් වෙයි සැක නැහැ, ඇගෙ ලෝකේ

    ReplyDelete
    Replies
    1. වැරැද්ද වැරදා ගත්තොත් මේ ලෝකේ
      දුක්බර කරන්නෙත් අපි ලෝකේ
      නොනවතින ලෙස පවතින්නට ලෝකේ
      අත්වාශ්‍ය දෙයක් නොවෙද පොරසෝකේ

      Delete
  2. Replies
    1. ගිය වැට දිග වැට
      මේ වැට කොට වැට
      බ්ලොගයේ අත්වැට
      නොවේවා අලිවැට

      Delete
  3. නියමයි....

    mama ලලිත්.

    ReplyDelete
  4. //“මම පුළුවන් තරම් උත්සාහ කෙරුවේ අපේ පවුල ආරක්ෂා කරගන්න. අනික එයා මාව කසාද බඳින්නේ නැතිව තියාගෙන ඉන්නවා කියලා එළිවුනොත් එකෙත් කැත නාමේ එන්නේ ගෑණුවෙච්චි අපිටම.”//මම දක්ලා තියෙන ප්‍රශ්නයක් සහ , මගේ පොතේ අර විශාඛා සම්බන්ධව ලීව එකෙත් , ප්‍රශ්න දැන දැන ආසියාතික ස්ත්‍රිය ඒවා හංගගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා කියල. ගුටි කකා හරි. අන්තිමට මොනවහරි දෙයක් ළමයෙකුව වත් වෙන්න ඕනේ ඒගොල්ලන්ට ඇහැරෙන්න. යුරෝපීය ගැහැණු (හැමෝම නෙමේ) බහුතරයක් දෙවරක් හිතන්නේ නැහැ ළමයෙක් ඉන්නවා නම් මිනිහව දාල යනවා.

    ReplyDelete
    Replies
    1. ආසියානු ගෑනු බොහෝවිට හිතන්නේ තමන් අනාරක්ෂිතයි කියලා. පිරිමියාගෙන් යැපීම හා ආරක්ෂාව බලාපොරොත්තුවීම තාමත් අඩුනැතිවම තියෙනවා.

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

මෙන්න ඒ ගීත 10

ගියවර පොස්ටුවෙන් ඇහැව්වා සිංහල ගීත10 ක් පුළුවන්ද නම් කරන්න කියා. නමිනං උන්නැහැ ගීත දෙකක් ද කොළඹ ගමරාල අප්පුහාමි එක ගීතයක් ද හා වෘත්තාන්ත බ්ල...