Saturday, December 12, 2020

පළිගු කිරිල්ලී - විසිහතරවන කොටස


“අම්මා ඇයි මේ හදිසියේ?”

“කෝ විජිත ළමයා?”

“දැන් වැඩ ඇති අම්මේ.”

“මම විජිතව මුණගැහිලා එන්නම්.”

“මොකක්ද හදිසිය කෝ පොඩි මාමා?”

“මම ගිහිල්ලා එන්නම් කෝ.”

“ඉන්න තේ ටිකක් බීලාම යන්න.”

“බෑ ආවාම බොමු.”

අම්මා වෙනදා පසුවන විනෝදකාමි සිනහරැල්ල අතුරුදහන්ව කලබලකාරි වෙනස් ස්වරුපයක් ගෙන තිබීම ඉන්දිරාට ඇතිකළේ යම් විමතියකි. අම්මා බොහෝ විට තනියම පැමිණ නැතිබව පසක්විය. එක්වරම ඇගේ සිත තුළට අහේතුක බියක් දැනෙන්නට විය. තවත් අඬ හෝරාවකට පසුව විජිත සමඟින් ඇය නිවසට ගොඩවැදුණි. විජිතගේ මුහුණද කල්පනා බර ස්භාවයක් උසුලන බව ඉන්දිරාගේ දෙනෙතට අසුවිණි. සිත තුළ මෙතෙක් වේලාවක් හොල්මන් කල ඇගේ අහේතුක බිය එකවරම මතුව ආවා ය. ඈට පොඩි මාමා හා සුදු නැන්දා සිහිවුණි. 

“ඇයි අම්මේ මොකක් හරි කරදරයක්ද?” 

“ඉන්දිරා කෝ පොඩි දරුවා?”

“නිදි. බොරුවට වටෙන් එන්නේ නැතිව කියන්න මොකක්ද වෙලා තියෙන්නේ? පොඩි මාමට හරි සුදු නැන්දාට හරි කරදරයක් වෙලාද?”

“ඔයා කළබල වෙන්නේ නැතිව ඉන්නකෝ.”

“එහෙනම් මොකක්ද ඔයාලා මේ කියන්න හදන්නේ?”

දෑස් අඟ කඳුලින් පිරීයනවා ඈට දැනුණි.

“දුවේ පොඩි මාමට කරදරයක් වෙලා. ඊයේ ඉස්පිරිතාලේ නතරකළා.”

“මොකක්? කොහේ ඉස්පිරිතාලේද? මොකද වෙලා තියෙන්නේ?”

“ඔයා දැනුත් කලබලවෙලානේ. පොඞ්ඩක් ඉන්න අම්මා කියනකම්.”

තමාලි විනාඩියක් විතර කාලයක් නිහඬව වචන ගළපාගන්නට තැනුවා ය. එය ඉන්දිරාගේ නොයිවසිල්ල තවත් වැඩි කරවාලන්නට වුණි. 

ඇගේ දෑස් අඟ පිරුණු කඳුළු පොකුර හිමිහිට ගලායන්නට විය. 

“එයාට අසනීපයක් තිබුනේ නෑනේ.”

ඇය බිඳුනු හඬින් ඇසීය. 

“ඊයේ උදේ එහේ කනත්තට යන පාර හදන්න ශ්‍රමදානෙට වැඩ කරලා දවල් ගෙදර එද්දී කාණුව ගාව ලිස්සලා වැටිලා තියෙනවා. ළඟ ගෙදරක කෙනෙක් තමයි දැකලා ඉස්පිරිතාලේට අර ගිහිල්ලා තියෙන්නේ.”

අම්මාගේද දැස් කඳුලින් තෙත්වන්නට විය. ඉන්දිරා තම පිටි අල්ලෙන් ගැලූ කඳුළු පිසදාගත්තා ය. 

“මොන ඉස්පිරිතාලේද? ගොඩාක් අමාරුවක් නෑනේද?”

තමාලිට මුවින් වචන පිටකරවාගන්නට නොහැකිවුණි. අමාරුවෙන් උගුරෙන් නැග ආ ඉකිය තදකරගත් ඇගේ දෙතොල් ගැහෙන්නට විය. 

“හාල්අටුතැන්න ඉස්පිරිතාලේට තමයි ඇඩිමිට් කළේ. අද උදේ පොඩි මාමා අන්ත්‍රාවුණා.”

බිදුනු හඬින් ඕ පැවසුවා ය.

“අනේ පොඩි මාමා.”

ඉන්දිරා දෑතින්ම මුහුණ වසාගත්තා ය. ඔහුගේ පිරිපුන් මුහුණ ඇගේ දෑස් අභියස මැවී පෙනෙන්නට විය.

“එච්චර අමාරුවක් තියේ නම් ඇයි දෙයියනේ එයාව දියතලාවේ ඉස්පිරිතාලේට ගෙනිච්චේ නැත්තේ? කාටවත් පෙනුනේ නැද්ද පොඩි මාමාට අමාරු විත්තිය.”

“සිහිය නැති හින්දා තමයි හාල්අටුතැන්නේ ඉස්පිරිතාලේට අරන් ගිහිල්ලා තියෙන්නේ. පස්සේ සිහිය ඇවිල්ලා හොඳට හිටපු නිසා කවුරුත් ගණන් අරගෙන නෑ. අද උදේ පාන්දර තමයි එයාට අමාරුවෙලා තියෙන්නේ. පස්සේ දියතලාවට මාරු කරන්න හදලා ඇම්බියුලන්ස් එකටත් දාලා. එත් එතකොටත් පරක්කු වැඩියි දුවේ.”

මෙතෙක් වේලාවක් අපහසුවෙන් හිර කරගෙන සිටි ශෝකය තමාලිගේ හැඬුමත් සමඟින් මුවින් පිටවිය. ඒ සමගම ඉන්දිරාත් හඬාවැලපෙන්නට වුණි. කමිස උඩ සාක්කුවේ තිබූ සිගරට්ටුව අතට ගත් විජිත ඔවුන් දෙදෙනා ගේ ශෝකය පහව යන තෙක් හඬන්නට ඉඩදී මිදුලට බැස්සේය. මඳ වෙලාවක් අම්මා සමඟින් හැඬූ ඉන්දිරා ගැඹුරු හුස්මක් ගෙන පහතට නැමී සායේ කොනෙන් බරවුනු නාසය පිසදාගත්තා ය. 

“දැන් කොහේද කවදාද අවසන් කටයුතු කරන්නේ?”

මිදුලේ සිටම විජිත අම්මාගෙන් විමසීය.

“වෙන කොහේද හල්දුම්මුල්ලේ ගෙදර මිසක. එහේ තරුණ සමිතියේ ළමයි ටික ඉස්පිරිතාලේ වැඩ ටික කරලා දෙන්නම් කිව්වා. මන්ත්‍රීතුමාත් පොඩි මාමාගේ යාළුවෙක් හින්දා කෝලිත ගිහිල්ලා මන්ත්‍රීතුමාටත් දන්වලා ආවා. එයා මල්ශාලාවට කියලා ඒ වැඩටික කරලා දෙන්නම් කිව්වාලු. ඒ ළමයි ටික දෙනා නැත්නම් මට මෙහෙට එන්නවත් ඉඩක් කොහේද. මට තේරෙන්නේ නෑ කොහොම කරන්නද කියලා.”

“අපි දැන් එහෙට ගියොත් හොඳයි නේද?”

ඉන්දිරා විජිතගෙන් විමසීය.

“ඔයා අම්මාත් එක්ක දැන් යන්න. මම වැඩ ටික ඉවර කරලා නිවාඩු දාලා හවස්වරුවේ එන්නම්.”

විජිතගෙන් අවසරය ලැබුනායින් ඉක්මනින් ලකලැස්තිවී මල්ෂාව ද රැගෙන ඉන්දිරා හපුතලය බලා පිටත්වුණි. කොළඹින් පිටත්වූ බසයේ කෙළවරක වාඩි ගත් ඈට පොඩි මාමාගේ බොහෝ මතකයන් සිහියට නැගුණි. තම පවුල කැඩි බිඳි විසිරයෑමටද මුලික වුනු තාත්තාගේ බේබදුකම නිසා කරගත් රිය අනතුරෙන් සිරගතවීම ඇතුළු කරදර සියල්ලේදීම තම කරුණාබර දෑත පා අන් ජීවිතවලට පිහිටවූ දයාබර පොඩි මාමා තම ජීවිතයෙන් නික්ම ගොසිණි. තමන් විජිත හා එක්වන්නටද මුලික වූයේ තාත්තාගේ මේ බේබදුකමේ දුර්ගුණය බව ඈට සිහිපත්වුණි. දැඬි කරගත් සිත මෙලෙක්ව ගියේ නිවසට ගොඩවදිද්දීය. ඇය ආයාසයෙන් හැඬුම තදකරවාගෙන වටපිට බැලුවා ය. නිවසේ සියලු කටයුතු තරුණ කොලුගැටව් පවරාගෙන ඇතිසේය. ඉන්දිරා හා තමාලි ආ බව දැනගත් පසුව කොහේදෝ සිට හඬාගෙන පැමිණි සුදු නැන්දා ඉන්දිරාව බදාගත්තා ය. මෙතෙක් වෙලාවක් හිරකරගෙන සිටි දුක්ඛදෝමනස්සයන් පිටාර ගලන්නට විය.

“අනේ දුවේ බෝධිසත්තයෙක් වාගේ අපිට හිටිය එකම පිරිමියාත් යන්න ගියා. තාත්තෙක් වාගේ උඹලාව බලාගත්තේ පොඩි මාමා නේද දුවේ?” 

සුදු නැන්දා විලාප තියන්න පටන්ගත්තා ය. ලේන්සු පොඩියෙන් දෑස් පිසදාගත් තමාලි ඇතුළු කාමරයක් වෙත මල්ෂාව රැගෙන ගියා ය. ඔවුන් නිවසට පැමිනෙන තෙක්ම පොඩි මාමාගේ දේහය රැගෙන විත් තිබුනේ නැත. පෙරදිනයේ සිටන්ම කෑමක් බීමක් පවා නොමැතිව හඬා වැලැපෙමින් සිටි සුදු නැන්දා ගේ සිරුරද වැහැරි ගොසිණි. හෝන්දු මාන්දු ගතියෙන් සිටි ඈ ඉන්නේ හොඳ සිහියකින් නොවන බව ඉන්දිරාට වැටහුන බැවින් ඉක්මනින් අසළවූ ප්ලාස්ටික් පුටුවක් ගෙන ඇයව එහි හිදවාලීය. ගිලිහි ගිය පරඬැලක් සේ ප්ලාස්ටික් පුටුවේ වැතිර අසිහියෙන් මෙන් කියවන්නටවූ සුදු නැන්දාගේ සුදු පැහැගැන්වුනු හිස පිරිමදිමින් හුන් ඉන්දිරාට පොඩි මාමාගේ බෝසත් ගතිගුණ නිරන්තරයෙන්ම සිහිපත් වන්නට විය. ලොකු මල්ලිද තරුණයන් හා එක්ව මළ ගෙදර කටයුතු වලට යෙදෙන අයුරු ඈ දැක්කා ය. රාත්‍රි දහයට පමණ විජිත නිවසට ගොඩවැදුනේ මල්ශාලාවෙන් පොඩි මාමාගේ දේහය රැගෙන එද්දීම වාගේය. මළ හිරු බසිනා සැන්දෑයාමෙක තමන්ගේ යෝජනාවෙන් හා ශ්‍රමදායකත්වයෙන්ම එළි පෙහෙලි කළ මඟ ඔස්සේම කනත්තට රැගෙන ගිය පොඩි මාමාගේ සිරුර සඳාතනික මතකයන් පමණක් ඉතිරිකරමින් අඳාහනය කෙරුණි. අම්මාද ඈ විසින් වත්තං කරගෙන සිටි සුදු නැන්දාද පොඩි මාමාට දැඬිව ආදරය කෙරූ පොඩි මල්ලි ද විලාප නගමින් හඬාවැටෙනු ඉන්දිරා කඳුළු අතරින් දුටුවා ය. පිටස්තරයෙකු රැඳි සිටින්නාක්සේ මළගෙදරට ආ තරුණ කොල්ලන් හා එකතුව සිගරට්ටු උරාබොමින් කදයට වැටි හුන් විජිත දේහය අඳාහනය කළ දිනට පසු දිනම වාගේ කොළඹ යන්නට ඕනෑයි කියමින් පිටව ගියේය. සිරුර අඳාහනය කර සත්වන දිනයේ මතක බණ තෙක් ගෙවුන දින කිහිපය ගලා ගියේ කෙලෙසකැයිද ඉන්දිරාට සිතාගත නොහැකිවුණි.


                                    එකපිට එක  ගාලා ආ විවිධාකාර හැලැහැප්පිලි ප්‍රවාහයන්ට මුහුණ දෙමින් ජීවිතය ගෙවීයන්නට විය. අම්මා කොළඹට පැමිණියේ පොඩි මාමාගේ වියෝවේ තුන් මාසයේ බණ හා සාංගික දානය ඉන්දිරාට සිහිපත් කර යන්නටය. පොඩි මාමා මිය පරලොව ගොස් තුන් මසක් ගෙවීගිය ඉක්මන ගැන සිහිපත්වූයේද අම්මාගේ ආගමනයෙනි.

“ඔය පණිවිඬේ දෙන්නද තකහනියේ මෙහෙට ආවේ? ඕක අම්මාට විජිතගේ ලර්නර්ස් එකට එහේ පොස්ට් ඔෆිස් එකෙන් කොල් එකක් අරන් කතා කරලා කියන්න තිබුණානේ.”

“ඒක කරන්න බැරි කමක් නෑ. එත් මම ආවේ කෙල්ලගේ මුණ පොඞ්ඩක් බලලා ඒජන්සියට යන්න කියලා.”

“ඒජන්සියට යන්න? ඇයි අම්මා ආයෙමත් රට යන්නද?”

“ඔව්. දැන් ඇවිල්ලාත් මාස කීයක්ද? පොඩි මාමා නැතිවුනේ නැත්නම් මම මෙලාහකට ගිහිල්ලා.”

“ඇයි අම්මාට ඉස්සර හිටපු දිහාටම යන්න බැරිද?”

“මාව කුවේට් වල දාලා වෙනින් රටකට ගියවුන් ගාවට යන්න? අනික යුද්දේ සම්පුර්ණයෙන් ඉවර නෑ. දැන් කුවේට් රටත් බංකොලොත්.”

“විජිත එක්ක කොහොම හරි ලබන ඉරිදාට එනවා. විජිත නිවාඩු ගන්න බැහැයි කියලා මොනවා කියයිද මන්දා. ඒත් එයාට එන්න බැරි නම් මම හරි මල්ෂා එක්ක ගෙන එනවා.” 

“ඇයි විජිත එහේ එන්න අකමැතිද?”

“පිස්සුද අම්මේ? දන්නවානේ මේ ලර්නස් වල වැඩ. නොගියොත් පඩි නෑ. අනික දවස් දෙක තුනකට වඩා නිවාඩු අරගත්තොත් ආයේ එනකොට එතන වෙන එකෙක් වැඩ.”

“නරකද ඔය එක එක්කෙනා ගාව වැඩ කරන්නේ නැතිව තමන්ගේ වැඩක් කරන්න උත්සාහ කළානම්.”

“මොනා කරන්නත් ඉතිං සල්ලි භාගේ යහමින් තියෙන්න ඕනේ. මේ කොළඹ ජීවත් වෙන්න කොච්චර සල්ලි හම්බුකරත් මදි.”

“පොඩි මාමා මැරෙන්න ඉස්සරින් දවසක කතා කළෙත් උඹලා ගැන තමයි.”

“මොනවාද කිව්වේ?”

“එයා කිව්වේ ඉන්දිරාලට ඔය ඉන්න තත්වෙන් පොඞ්ඩක් දියුණු වෙන්න උදව් කරන්න ඕනේ කියලා. විජිතට බිස්නස් එකක්වත් කරන්න කියලා තමයි එයා කියන්න හිටියේ. ”

“එයා දන්න බිස්නස්. දන්න එකම දේ ඔය වාහන එලවන්න තමයි.”

“එහෙනම් වෑන් එකක් අරගෙන හයර් දුවන්න කියන්න.”

“කබල් වෑන් එකක් අරගෙන හයර් දුවන්න බෑ අම්මේ. අනික හොඳ වෑන් එකක් ගන්න කී ලක්ෂයක් යට කරන්න වෙයිද දන්නේ නෑ.”

“මම රට ගිහිල්ලා ඉතුරු කරගත්තු සල්ලි වගයක් තියෙනවා. මම දෙන්නම් විජිතට කියන්න ෆිනෑස් කරලා වෑන් එකක් ගන්නය කියලා.”

අම්මා හවස් වෙන්නට පෙර යළිත් හල්දුම්මුල්ලට පිටව ගියේ තව දවසක් නතර වෙලා ඉන්නටැයි කී ඉන්දිරාගේ අරාධනාව පසෙක කරමිණි.  විජිත නිවසට ගොඩවදින තෙක් ඉන්දිරා සිටියේ අම්මා කී දේවල් ඔහුට පැවසීමට නොයිවසිල්ලෙනි. නොසිතූවිරූ ලෙසින් පාදුර්භූත වූ වාසනාව ගැන විජිත සතුටට පත්වූවත් ඔහු එය ඉන්දිරාට පෙන්වීමට ගියේ නැත. වෑන් රථයක් මිලට ගෙන හයර් කිරීමට විජිතගේ එතරම් කැමැත්තක් නොවීය. ඔහු දැනට කරනා රස්සාව වූ රියදුරු පුහුණු පාසලක් සුළුවෙන් හෝ ඇරඹිය හැකි නම් එය වඩාත් අගනා බව කීය. 

“අම්මා කිව්වේ මොකක් හරි බිස්නස් එකක් කරන්න කියලා මිසක් වෑන් හයර් කරන්නම නෙමෙයි.”

“එහෙනම් ලර්නර්ස් එකක් පටන් ගමු. කඩවත පැත්තට වෙන්න පොඩි කඩ කෑල්ලක් තියෙනවා ඒකනම් වැඬේට මරු.”

“එහෙනම් ඔයා ඒක බලන්න. මම අම්මාගෙන් සල්ලි ඉල්ලාගන්නම්.”


                             විජිතගේ කැමැත්ත ලර්නස් එකක් පටන් ගැනීමට බව ඉන්දිරා අම්මාට දැන්වූයේ පොඩි මාමාගේ තුන්මාසයේ පින්කමට ගිය පසුවය. තමාලිටත් සෞදි වලට යන්නට ලෑස්තිවන ලෙස ඒජන්සියෙන් දන්වා එවා තිබුනේද ඊට දිනකට පෙරදීය. ඒජන්සියට මුදල් ගෙවා හමාර කළ පසුව තමාලි තම අත ඉතිරිව තිබූ රුපියල් එක්ලක්ෂ අසුදාහ ඔවුනට දුන්නා ය. විජිත ඉක්මනින් කඩ කාමරයට අතිකාරම් බැන්දේ වෙනත් අයෙකු එය ලබා ගැනීමට ප්‍රථමයෙණි. අවශ්‍ය මේසය හා පුටු කිහිපයද මිලදී ගත් පසුව ඔහු අත ඉතිරිව තිබූ මුදල වාහනයක් ගැනීමට ප්‍රමාණවත්වූයේ නැත. 

“කඬේට ගෙව්වාම කාර් එකක් ගන්න සල්ලි මදිවුණා. මම හිතුවෙත් නෑ කඩකාරයා ඊළඟ මාසෙටත් එක්ක කුලිය ඉල්ලාවී කියලා.”

“ඔයා අලියා ගන්න ඉස්සෙල්ලා හෙණ්ඩුව අරගෙන වගෙයි. ඒත් කඩ කුලිය මාසෙට පන්දාහයි නම් මාස හයට ඇඞ්වාන්ස් තිස්දාහක් වෙනවා. එක මාසෙක කුලියත් එක්ක තිස්පන්දාහයි. ඉතිං සල්ලි එක් ලක්ෂ හතලිස්පන්දාහක් ඔයා ගාව තියෙනවා.”

“ඇයි අර බඩු මුට්ටු වලට ගිය සල්ලි? ඒවා අරගත්තේ මේ සල්ලි වලින් තමයි. තව බෝඞ් එකටත් සල්ලි යනවා.”

“වාහනයක් නැතිව කොහොමද ලර්නස් කරන්නේ? ලීසිං හරි ෆිනෑස් හරි කරලා ගන්න බලන්න.”

“ඔයා මේ මොනවාද කතා කරන්නේ. කවුද අපිට ඇපයට අත්සන් කරන්න ඉන්නේ? මම බලන්නේ කොහොම හරි තියෙන සල්ලි වලින් රෝලක් ගහගන්න.”

“ඉතිං තියෙන ගානෙන් ගන්න පුළුවන් එකක් ගමු. පස්සේ බැරියෑ හොඳ එකක් ගන්න.”

“ඔයාගේ පොඩි මාමා හිටියා නම් එයාගෙන් වත් ණයක් ඉල්ලා ගන්න තිබුණා. පොඩි මාමාගේ පැන්ෂන් එකවත් සුදු නැන්දාට හරවලා නැද්ද?”

විජිතගේ ණය ඉල්ලීමේ කතාවෙන් ඉන්දිරාට කෝපයක් හටගත්තේය. 

“පොඩි මාමා හින්දා තමයි අපිට මේ සල්ලි ටික හරි ලැබුනේ. තවත් එයාලගෙන් ඉල්ලන්න ලැජ්ජා නැද්ද?”

කී ඉන්දිරා ගෙතුළට ගියා ය.

රස්සාවට යෑම අතහැර දැමූ විජිත දිනපතාම වෙහෙසුනේ තම අත රැඳි මුදලට හොඳ වාහනයක් සෙවීම සඳහාය. කුලියට ගත් කඩ කාමරය නිකරුනේ වසා දමන්නට සිදුවීම ගැන ඉන්දිරා දුක්විය. අම්මා අමාරුවෙන් දුක්මහන්සියෙන් උපයාගත් මුදල් මෙසේ නිකරුනේ විනාස කරන්නට සිදුවීම ඇයට ඇතිකළේ විශාල දුකකි. සති දෙකකටත් වැඩි කාලයක් වාහනයක් සොයන්නට සිළුමිණ පත්තරේ ලුහුඩු දැන්විම් බලමින් බ්‍රොකර්වරුන් හා යමින් සෙවුම් කළද ඔහුගේ අතරැඳි මුදලට වාහනයක් සොයාගත නොහැකිවුණි. 

“අතේ තියෙන ගානට ගන්න වෙන්නේ බර කරත්තයක් තමයි.”

නිකරුනේ කඩ කාමරය වසා දමා තිබීම ගැන විමසු විට විජිත කෝපය මුසු කළකිරීමෙන් කීවේය. 

“කොහේද අම්මාගෙන් හරි සුදු නැන්දා ගෙන් හරි ඉල්ලා දෙන්න කිව්වාට කළාද?”

“අම්මා ගාව තිබ්බ ඔක්කෝම තමයි මේ දුන්නේ. ආ අම්මා මේ සිකුරාදාට රට යනවා කිව්වා.”

“ඔයා කොහොමද දන්නේ?”

“ඇයි අද ආවනේ වීසා අරගන්න.”

“මොරිස් මයිනර් එකක් තියෙනවා ටිකක් විතර පරණයි. ඒත් එක ගන්නත් මේ ගාණ මදි. මදි පාඩුව දෙන්නේ කොහොමද කියලා මම කල්පනා කළේ.”

“කීයද ගාණ?”

“එකයි පනහක් කියනවා. එකයි හතලිහකට ඉල්ලුවා. ගන්න පුළුවන් වෙයි. ඊටත් අඩුකරගන්න තමයි බලන්නේ.”

“ඉතිං ඔයා ගාව එකයි හතලිහක්වත් ඇති නේද?”

“දැන් තියෙන්නේ එකයි විසිපහයි.”

“ඇයි දෙයියනේ ඔයා කඩ කුලිය ගෙවලා ගත්තු බඩුමුට්ටු වලට අඩු කළාම අතේ එකයි තිස් පහක් හතලිහක් විතර තිබුනා නේද?”

“ඇයි වාහන හොයන්න ගිය බ්‍රොකර්ලාටත් ඉතිං කීයක් හරි වියදම් කරන්නවුනා. චන්දිමාටත් රුපියල් පන්දාහක් දුන්නා. ”

චන්දිමාගේ නඩත්තු තම මව දුන් මුදලින් ගෙවූ විත්තිය ඇසූ විගසින්ම ඇගේ සිත කෝපයෙන් නිනව් නොමැතිවී ගියා ය. දුරු රටක බැලමෙහෙවර කර දුක් මහන්සියෙන් ඉපැයූ මුදල් කිසිදු කෘතවේදීත්වයක් නොමැතිව නිකරුනේ නිෂ්ඵල වියදම් කරන නිර්ලජ්ජිත විජිතගේ නිහීිනත්වය දැක ඈ පශ්චාත්තාපවූවා ය.

“ඇයි චන්දිමාට ගෙවන්න ඕනේ ඔයා හම්බුකරපු සල්ලි වලින් මිසක් මගේ අම්මා හම්බුකරපු සල්ලි වලින් නෙමෙයි. අනික ඇයි ඔයාට තේරෙන්නේ නැද්ද මෙහෙම අනවශ්‍ය වියදම් කළාම අපිට කාර් එක ගන්න සල්ලි මදිවෙනවා කියලා? ”

“චන්දිමාට සල්ලි දුන්නේ නැත්තම් ආයෙමත් අර කෙල්ලව මෙහෙට ගෙනවිත් දායි.”

විජිත තම ලෙයින් ජාතකවූ දරුවාට කෙල්ල යැයි ඇමතු අයුරු පිලිබඳව ඈට ඇතිවූයේ පිළිකුලකි.

“ණයට සල්ලි ටිකක් ගමු.”

“කවුද අපිට ණය දෙන්නේ? ගිනි පොළියට තමයි ගන්න වෙන්නේ. ඔයාට ගෙවන්න පුළුවන්නම් ගත්තාට කමක් නෑ.”

 

                            වාහනයක එන්ජිම සැරදාන ගොරහැඬි ශබ්දය මිදුල දෙසින් ඇසෙන්නට වූවායින් ඉන්දිරා විජිත වාහනය මිලදී ගෙන පැමිණ ඇති බව වටහාගත්තා ය. ගෙරවිලි ශබ්දයට බියවූ මල්ෂා නොනවත්වාම හඬන්නට විය. මල්ෂාව වඩාගෙන ඉදිරියට ආ ඈට අව්වට පාට පිළිස්සි දුර්වර්ණ ගැන්වුනු කලු පැහැති මොරිස් මයිනර් රථයක් ඉදිරිපිට කටපුරා සිනාසීගෙන ඉන්නා විජිතව දුටුවා ය. ඈ සිතාගෙන සිටියාට වඩා අබලන් තත්වයේ තිබුනු මයිනර් රථය දුටුමනින්ම මේ මොන කබලක්දැයි අසන්නට සිත්වූ නමුදු මුවින් වචනයකුද පිට නොකළා ය. අව්වට තැම්බුනු මුහුණේ පිරුනු දහඬිය සාක්කුවෙන් එළියට ගත් පොඩිව ගිය ලේන්සුවෙන් ඔහු පිසදාගත්තේය.

“නැගලා බලනවාකෝ කොහොමද වාහනේ හොඳද කියලා.”

අත රැඳි දරුවාව විජිත අතට දුන් ඉන්දිරා කාරයට නැග බැලුවා ය. සීට් වලින් නැඟුනු රබර් මිශ්‍ර කර ගද ආග්‍රහණය කරමින් අසුන් ගත් ඈ අතටම මැදුනු සුක්කාම දෙපසට කරකවන්නට හැදුවා ය. පොළව පෙනෙන තරමට යට අඩිය දිරාපත්ව එහි මතුව තිබුනු විශාල හිල් කිහිපය ඇගේ දසුනට අසුවිය. 

“කොහොමද හොඳද?”

“හොඳයි. කීයක් උනාද?”

“එකයි විසිපහක්. ගිනි පොලියට දොළොස් දාහක් අරගත්තා.”

“එහෙනම් මුලින්ම පන්සල් ගිහිල්ලා එමු.”

“කොහේ යන්න උනත් බැරියෑ. එත් ඊට කළියෙන් මේකේ බ්රේක් එහෙම හදාගෙන තව පොඩි පොඩි රෙපෙයාර් ටිකත් ඉවර කරගෙන ඉන්න ඕනේ.”

පොඩි කෙසේ වෙතත් මුළු වාහනයම රෙපෙයාර් කරන්න ඕනේ තත්වයක තියෙන බව කියන්න ඉන්දිරාට මුවට ආවත් ඇය යළිත් නිහඬ විය. පසුදා සිටම විජිත වාහනය සමඟ ඔට්ටුවන්නට පටන්ගති. ඉදිරි පස රෝද ගලවා කොට කැබැලි උඩ තැබූ කාරයේ යටට රිංගාගත් ඔහු සැරින් සැරේ එක එක ආවුද තම අතට දෙන ලෙස ඉල්ලමින් ඉන්දිරාට කරදර කරන්නට විය. ගැළවූ කොටස් යළි සවිකරන්නට විජිතට තව දින දෙකක් පමණ ගත විය. විජිත තම මයිනර් කාරය තනිව රෙපෙයාර් කරන්නට උත්සාහ කළේය. මේ අතරතුරේදී තමාලිගේ සෞදි ගමන යෙදී තිබුන දිනයද ලංවූ අතර ඈට නියමිත දිනයේ දී කටුනායක ගුවන් තොටුපලින් දෙවන වරටත් විදෙස් ගත විය. මෙවර අම්මාගේ රට යෑම ඉන්දිරාට පෙරමෙන් දුකක් සංකාවක් ගෙන දුන්නේ නැත. මයිනර් කාරය යළි පණ ගැන්වීමට නොහැකිවූයේ එහි බැටරිය සම්පුර්ණයෙන්ම බැස තිබූ බැවිණි. රථය තල්ලූ කර පණගන්වාලීමට ඉන්දිරා අසළ නිවසෙක තරුණයෙකුට කතා කරගත් අතර අඩියක් එහාට තල්ලූ කරවන්නට ඔවුන් දෙදෙනාට ඉතා වෙහෙසක් දරන්නට සිදුවුනි. රියදුරු අසුනේ සුව පහසුවට හිදගෙන මේ ගල්රෝලක් බදු යකඩ ගොඩ තල්ලූකරවාලන්නට උපදෙස් දෙන විජිත කෙරහි ඉන්දිරාට ඇතිවූයේ නොමද කේන්තියකි. දෙතුන්වරක් පාරේ එහා මෙහා තල්ලූ කළ පසු මහ හඬ නංවමින් එන්ජිම පණ ගසා ආවේය. කලු පැහැති දුම් වළල්ලක් පිට කර ඉදිරියට ඇදී යන කාරය දෙස තුනටියට දෑතම තබාගෙන හති හරිමින් ඉන්දිරා උදව්වට ආ තරුණයා සමඟින් බලා සිටියා ය.

“ඕක හදලා ඉවරනම් අදවත් පන්සල් යමු.”

කාරය හරවාගෙන ආ පසුව ඈ විජිතගෙන් ඇසීය.

“තව වැඩ ගොඩක් කරන්න තියෙනවා. ඒත් ඒවා කරන්න සල්ලි නෑ. යාන්තමට පාරේ දුවන්න පුළුවන් තරමට හදාගත්තා.”

“මේක මඟ දිගට තල්ලූ කරන්න වෙයිද දන්නේ නෑ?”

“ඔව් අලුතින් බැටරියක් දාන්න වෙන සයිස් එකක් තියෙන්නේ. කොහේද පන්සල් යන්නේ?”

“කැළණි යමු.”

“හොඳයි ලෑස්තිවෙනවා.”

කලකට පසුව විජිත සමඟින් එළියට බැස යන්නට ලැබීම ඈට එක්තරා සතුටක් ගෙන දෙන කාරණයක්ම විය. ඈ ඉක්මනින් මල්ෂාව ද අන්දවා ගෙන කැළණි පන්සල් යෑමට ලෑස්තිවූවා ය. 

“දැන් කවදා විතරද වැඩ පටන් ගන්නේ? වේලාවක් බලන්නත් ඕනේ නේද?”

“ලබන සුමානේ තියෙනවාලු හොඳ නැකැත් දවස් කිහිපයක්. අපි ඒ දවසක් අල්ලලා ලර්නර්ස් එක ඕපන් කරමු.”

“ලර්නර්ස් එකට නමක්?”

“මම බැලුවේ ඔයාගේ නම දාන්න.”

“ඉන්දිරා ලර්නර්ස් ද? අපෝ එපා. ඒක කැතයි. අපි දුවගේ නම දාමු.”

“මල්ෂා ලර්නර්ස්. ඒක නම් ගැළපෙනවා.”

ඔහු කුඩා මල්ෂාව ඉන්දිරා අතින් රැගෙන වඩාගන්නා ගමන් කීවේය.



* * * * *


“උඹ මට කිව්වේ නෑනේ විජිතගෙන් අයින්වුන හේතුව.”

“ඒක එකපාරටම කියලා ඉවර කරන්න පුළුවන් කතාවක් නෙමෙයි දීපිකා.”

“එක පාරට බැරි නම් දෙපාරට හරි කියපං. විජිතගේ ලර්නර්ස් එක ගැන නම් කියලා තිබුණා.”

“ඔව් විජිත මල්ෂාගේ නමින් ලර්නර්ස් එකක් ඇරියා. හොඳටම දිරච්ච කබල් මොරිස් මයිනර් කාර් එකක් උනත් එකෙන් තමයි විජිත ඔළුව ඉස්සුවේ. සමහර දවස්වලට මම මල්ෂාව කොට් එකේ දාලා කාර් එක තල්ලූ කරන්න යනවා. පස්සේ ටිකෙන් ටික විජිතට වැඩ ආවා. ඊට පස්සේ එයා කිරිබත්ගොඩත් ලර්නර්ස් එකක් දැම්මා. ඒකටම අල්ලලා කොමියුනිකේෂන් එකකුත් ඇරියා.”

“ඒ කියන්නේ ඔයාලාට හොඳටම සල්ලි එහෙම තිබුණා?”

“සල්ලි ලැබෙනකොට විජිතට මුල අමතකවූණා. එයාව එතනට ගෙනාවේ කවුද කියලා එයා අමතක කළා. ඔය කබල් මොරිස් මයිනර් එක, ඊට පස්සේ ගත්ත හයිඑස් වෑන් එක මම මගේ මේ අත් දෙකෙන් කොච්චර සැරයක් හෝදලා ඇතිද? එයා හම්බුකරපු එක සතයක්වත් අපිට දුන්නේ නෑ. මේ දරුවා වෙනුවෙන්වත් බැංකුවක ගිණුමක් ඇරලා සල්ලි දාලා නෑ. අඩුම තරමේ අම්මාගෙන් ගත්තු සල්ලි ටිකවත් බේරුවේ නෑ.”

“මාර මිනිහෙක්නේ. එයා කාටද සල්ලි වියදම් කළේ?”

“එයා හොඳට ඇඳලා පැළදලා ජැන්ඩියට හිටියා. යාළුවොත් එක්කලා හොඳට බිව්වා. සල්ලි ඉතුරු කරන්න ඇති ඒවා මටනම් පෙන්නුවේ නෑ.”

“ඉතිං ඔයා ඔය ගැන සෙව්වේ බැලුවේ නැද්ද?”

“ඒ ගැන ප්‍රශ්න කළොත් ඉතිං ගෝරියක් තමයි. මට ආදරේ කරපු කාලේ හිටපු විජිතද කියලා හිතුන වාර ගණන අනත්තයි දීපිකා.”

“එයා ඔයාව බැන්ඳේ නෑ නේද?”

“නෑ. එයාට බඳින්න බෑනේ චන්දිමාගෙන් දික්කසාදේ ගන්නකම්. ඒක එයා මට ආයුධයක් කරගත්තා.”

දෑස් තෙත් කරවාගෙන ආ කදුළු පොකුර ඈ පිසදාගනිමින් කීවාය.

“එතකොට ඇයි ඔයා එයාගෙන් අයින්වෙලා ආවේ? ඔය සල්ලි ප්‍රශ්නයකට නම් වෙන්න බෑ.”

“එයාට සල්ලි තිබුනත් නොතිබුනත් මාව කසාද බැන්ඳේ නැතිවුනත් කමක් නෑ දීපිකා විජිත මට ආදරේ කළා නම් ආදරේ තිබුනා නම්. එහෙමනම් මම මැරෙනකම් හරි එයත් එක්ක ඉන්නවා.”

“එහෙනම් මොකක්ද වුනේ?”

“එයාට ගෑනියෙක් සතුට කරන්න ආදරේ කරන්න පුළුවන් කමක් තිබුණත් විජිතට තිබුණා අමුතු අසාවල් වගයක්.”


විජිතගේ අමුතු ආසාවල් මොනවාද? මතුසම්බන්ධයි........

8 comments:

  1. හොඳට ආසා- නරක ආසා- අමුතු ආසා- එකෙක ආසා
    පොදි පිටින් ගෙන සසරෙ ඇවිදිමු කර ගසාගෙන තවත් ආසා
    ඉවක් නුවණක් නොමැති කෙල්ලෙකි ඉන්දිරා නම් නොදත් 'බාසා'
    රෑ වැටුණු වළ දවල් නොදකින එකයි ඇයගේ ලොකුම දෝසා

    ReplyDelete
  2. අපුරු කවි ගෙත්තමක්......

    සසර දිගුවෙයි කළොත් ආසා
    එතෙරවිය හැකිය මොහය නසා

    ReplyDelete
  3. අපොයි ඌ පෝං බලනව ඇති හේ

    ReplyDelete
    Replies
    1. ඒවා ඉතිං සාමාන්‍ය දේවල් නොවැ. ඊළග කොටසින් බලමු මොකද වෙන්නේ කියලා....

      Delete
  4. මොකද්ද බොලේ කිරිබත්ගොඩ මල්ෂා ලර්නර්ස් ඇන් කමියුනිකේෂන් එක? අද යන ගමං බලන්ඩ ඕනෙ... ඕකා එළියෙ හිටියොත් දෙකක් ඇනල දාන්ඩ... හැක්!

    ReplyDelete
  5. කිරිබත්ගොඩට එහයින් තාමත් තියෙනවා වෙන නමකින්...

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

ප්‍රචන්ඩ රළ මැද අනතුරක් - සයුරේ දසවසක්

දස වසරක මාගේ නාවික දිවියේ ලැබූ අත්දැකීම් හා සිදුවීම් බොහොමයි. ඒවා හොඳ හා නරක සම්මිශ්‍රණයක් වෙනවා. මෙතැන් පටන් ලියවෙන්නේ නාවිකයෙක්ගේ නාවික දි...