දීපිකාගේ කෑගැසිල්ලෙන් සිතුවිලි දැහැනින් මිදී ඔහුගේ ලිපිය අතේ තබාගෙනම කුස්සියට ගොඩවූ ඉන්දිරාට ළිපේ දුම් දමමින් වතුර නටන කේතලය දුටුවා ය. කෙමනියෙන් පිටවන සිහින් අළු පැහැති වාෂ්ප මඳක් ඉහළට ගමන්කර වායුගෝලයේ අතුරුදහන්ව යන සැටි බලා උන්නා ය. අතරැඳි ලිපිය අත්ලේම පොඩිව ගොස් නිවෙන්නට ආසන්න මලානික ගිනිඳලු අතරට වැටී ඒවා ප්‍රාණවත්කරමින් ගින්දර අතරම සැඟවගියේ ඉන්දිරාගේ මියගිය ආදර කතාව ආදාහනය කරවන්නට මෙන්ය.
“මොකද බං? කෝ තාම තේ හැදුවේ නැද්ද?”
“නෑ.”
“ඉන්දිරා උඹට මොකද බං මේ වෙලා තියෙන්නේ? කොයිවෙලාවෙත් බුම්මගෙන. ඇයි උඹට මොකක් හරි අසනිපයක්ද?”
“නෑ. ”
“නැත්තේ නෑ. උඹ නිකං හෝන්දු මාන්දු වෙලා වගේ.”
“නිලන්තගෙන් ලියුමක් ඇවිල්ලා.”
“මොනවාද කියලා තියෙන්නේ?”
“වෙන මොනවාද ඉතිං හැමදාම කියන එකම දේ එයාගේ දුක වේදනාව තමයි. මම එදා එයාට කෙලින් තීරණයක් ගන්න කොන්ද පණ නෑ කියලා කිව්ව එකට දොස් කියලා තිබුණා.”
“එහෙම කිව්ව එක නම් හොඳයි. එයාගේ කොන්ද පණ තියාගෙන හරි තීරණයක් අරගන්න පුලුවන් මිනිහෙක් නෙමෙයි. ඒ ගෑණි එහේ තියාගෙන මෙහේ ඔයාව තියාගන්නයි නිලන්තට ඕනේ.”
“ආයෙමත් එන්නේ නෑ, කතා කරන්නේ නෑ කියලා කිව්වාට මට හිතෙන්නේ නෑ එයාගෙන් ලේසියෙන් අයින් වෙන්න පුළුවනි කියලා.”
“ඇයි එහෙම කියන්නේ?”
“මේ ලියුම තැපැල් කළාට පස්සේත් මට දෙසැරයක් විතර වැඩපලට කෝල් කරලා තිබුණා.”
“ඉතිං උඹ ගිහිල්ලා කතා කළේ නැද්ද? මොනවාද මිනිහා කියන්නේ?”
“නෑ මම කතා කරන්න ගියේ නෑ. මම වැඩට ආවේ නැහැ කියන්න කිව්වා.”
“එහෙම කිව්ව එකත් හොඳයි මිනිහා ආයෙත් කතා කරන එකක් නෑ.”
“ඒත් ෂුවර් නෑ දීපිකා. එයාට හිතුනොත් ඒ දෙය කරන කියන ජාතියේ අමුතු මිනිහෙක්.”
“ඉතිං උඹ ඔය දේවල් දැනගෙනද මෙච්චර කල් ආශ්‍රය කළේ?”
“ඒවූනාට දීපිකා එයාගෙන් මට ලැබුනු ආදරය ආරක්ෂාව මට විජිතගෙන්වත් ලැබිලා නෑ.”
පැවසූ ඉන්දිරා සීනි බෝතලය අතට ගෙන ඇතුලත ඇලී තිබුනු සීනි හූරන්නට විය. සීනි හැන්දක් පමණ දීපිකාගේ අල්ලට හළා තම අල්ලටද මඳක් ගෙන වසා දැම්මාය.
ඉන්දිරා අනුමාන කළා සේම යළිත් නිලන්තගෙන් දුරකථන ඇමතුමක් වැඩපලට ලැබුනි. පෙර පරිදිම ඈ වැඩට නොපැමිණි බව පවසන්නයි දැනුම් දුන්නාය.
★★★★★★★★★★★★★★
“ළමයෝ. ඉන්දිරා ළමයෝ.”
මළකඩ කෑ ගේට්ටූ පලුව විවර කරගෙන වත්තට ඇතුළුවූ ඉන්දිරා බෝඩිම් කාමරය පිහිටා තිබූ පිළිකන්න දෙසට ගමන්කරද්දී එහි අයිතිකාර මැදිවියේ ගැහැණිය ඈ අමතන හඬ ඇසිණ. ඉන්දිරා යන ගමන නවතා ඈ දෙස බැලුවා ය.
“ඇයි ඇන්ටි?”
ප්‍රශ්නාර්ථයක් මුහුණට නගාගෙන ඈ ඇසුවා ය.
“ඉන්දිරාව මුණ ගැහෙන්න කවුද ඇවිල්ලා ඉන්නවා.”
“කවුද ඇන්ටි?”
“දන්නේ නෑ ළමයෝ ඔය ළමයාගේ මල්ලිගේ හමුදාවෙ යාළුවෙක් කිව්වා. මම මල්ලිගේ යාළුවෙක් කිව්ව හින්දා නවත්ත ගත්තා.”
රටේ පවතින යුධමය වාතාවරණය නිසා මේ දිනවල නිරන්තර ඇසෙන බෝම්බ පිපිරීම් ඇගේ මතකයට ක්ෂණිකයෙන් පිවිසුණි. ඉන්දිරාට එකවරම කෝලිතගේ මුහුණ මැවීපෙනුණා ය. යුධමය ක්‍රියාන්විත බහුල නොවන පෙදෙසක සිටියත් හමුදාවේ රාජකාරි කරනා ලොකු මල්ලිට අනතුරක් සිඳුනොවනා බව ස්ථිර ලෙසින් කියන්නට නොහැකිය. ඉන්දිරා නිවසේ ඉස්තෝප්පුව දෙසට ඇගේ පිටුපසින් ඇවිද ගියා ය. ඉස්තෝප්පුවේ පුටුවක අසුන්ගෙන සිටිනා නිලන්තගේ රුව ඇගේ නෙතට අසුවෙද්දී සිරුර පුරා විඳුලි සැරයක් දිවයන්නාක් සේ භිතීයක් හට ගනු දැනිණ. විමතියෙන්මෙන් ඔහු දෙස බලා සිටි ඉන්දිරාට ඔහුගේ නෙත් හා යාවෙනු දැනුනායින් ඈ වහාම බිම බලාගත්තා ය. අසුන් නැගිටගත් ඔහු ඉස්තෝප්පුවෙන් පිටව ඉන්දිරා සමිපයට ඇවිද එන්නට විය.
“ඉන්දිරා.”
නිලන්තගේ අභිබවන සුළු ගැඹුරු හඬ ඇගේ දෙසවන් අද්දරින් ඇසුනායින් තිගැස්මක් සහිතව හෘද ස්පන්දනය වේගවත්වනවා දැනෙන්නට විය.
“ඇයි මට බොරු කරන්නේ? මගේ කෝල් වලට කතා කරන්න ආවේ නැත්තේ?”
“මොකටද මෙහෙට ආවේ? මෙහෙට එන්න එපා කියලා නේද තියෙන්නේ? මට මෙහෙ ඉන්න එකත් නැතිකරන්නද ඔයා හදන්නේ?”
“ඔයාට මගේ ලියුම ලැබුනාද බලන්නයි මම කතා කළේ. කිහිප දවසක්ම ඔයා වැඩට ඇවිල්ලා නෑ කිව්ව නිසයි මෙහෙට ආවේ අසනීපයක්ද කියලා බලන්නයි.”
“මට ඇති අසනීපයක් නෑ. ඇයි මට කරදර කරන්නේ? මට මගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ ඇයි?”
“ඉන්දිරා ඇයි ඔයාට මගේ ආදරේ තේරෙන්නේ නැත්තේ? ඔයා මාව පිස්සු වට්ටන්න එපා. මම මානෙල්ව අතහැරලා ඔයාව මගේ ළඟට ගන්නවා.”
“මම ඔයාට ආදරේ කරපු තරම ඔයා දන්නේ නෑ අයියේ. ඒ ආදරේ මගේ හිතෙන් මැරිලා ගිහිල්ලා ගොඩාක් දවස්. ඔයා දැන් මේවා කියන්න පරක්කු වැඩියි.”
“ඔයාට බෑ සුදූ මගෙන් ඈත් වෙන්න. මම කොහොමටවත් ඉඩ දෙන්නේ නෑ.”
“එහෙම කොහොමද කියන්නේ? ඔයා බැඳලා. ඔයාට කසාද ගෑණියෙක් ඉන්නවා. එයා ගැන බලාගන්න මට කරදර නොකර.”
“මට මානෙල්ගෙන් වැඩක් නෑ ඉන්දිරා. මට ඕනේ ඔයාවයි.”
පැවසූ නිලන්ත ඉන්දිරාගේ අතින් අල්ලාගත්තේය. දැඬි පිළිකුලක් ඈ වෙලාගත්තාක් සේ දැනුනායින් ඉන්දිරා අත ගසාදැමීය.
“ඔයාට පිස්සුද නිලන්ත? කරුණාකරලා මෙතැනින් යන්න බෝඩිමේ ඇන්ටිත් බලාගෙන ඉන්නවා.”
බෝඩිමේ හිමිකාරිනිය දෙතුන්විටක් නිවසින් එළියට පැමිණ තමන්ගේ කතාබහ කිරීම නිරික්ෂණය කරන අයුරු ඉන්දිරාගේ දෙනෙතට අසුවිය. ඈ ඉන් තවත් කළබලයට පත්විය.
“මම යන්නේ නෑ ඉන්දිරා. ඔයා මගේ හැටි දන්නේ නෑ.”
“මට දැනගන්න ඕනෙත් නෑ. තවත් කරදර කරන්න ආවොත් මම මානෙල්ට ගිහිල්ලා කියනවා.”
ඈ ඔහු ළඟින් මෑත්වෙමින් සෙමින් නමුත් දැඬිව කියා සිටියා ය.
“ඉතිං කියනවා. මම බයවෙයි. තමුසෙව මම උස්සනවා. අනිවාර්්‍යයෙන්ම උස්සනවා. ”
ඉන්දිරා වෙත ඇඟිල්ල දිගුකළ ඔහු තම තර්ජනය ඈට එල්ලකළේය.
“ඉන්දිරා ළමයෝ ඇයි මොකක්ද ප්‍රශ්නයක්ද?”
නිලන්තගේ උස් හඬ ඇසුනු ඇන්ටි ඉස්තෝප්පුවේ සිට විමසිලිමත් වෙමින් ඇසුවා ය. ඈ දෙස හැරි බැලූ නිලන්තට බෝඩිම් හිමිකාරිනියගේ නුරුස්සනාසුලු බැල්ම නෙතට අසුවීය. තවදුරටත් මෙතැන නොරැඳි ඉක්මනින් ඉන්දිරාගෙන් වෙන්ව යායුතු බව ඔහුට හැඟිණ.
“මම යනවා ඉන්දිරා. ඒත් ඔයාට මගෙන් ලේසියෙන් මඟ හැරලා යන්න බෑ ඒක මතක තියාගන්න.”
කී ඔහු ගේට්ටුව දෙසට ඇවිද යන්නට විය. නිලන්ත පිටව යන තෙක් ඉස්තොප්පුවේ රැඳීහුන් ඇන්ටි ඉන්දිරා වෙත ගියේ පුලුටු කරගත් මුහුණෙනි.
“ඉන්දිරා මොකක්ද මේ හුටපටේ? ඇයි ඒ මිනිහා ඔයාට බැන්නේ?”
“අනේ ඇන්ටි එයාගෙන් බේරිල්ලක් නෑ. දැන් ටික දවසකට ඉස්සෙල්ලා වැඩපලටත් ආවා. මම මඟ ඇරලා ඉන්නේ.”
“මොකක්ද මල්ලිගේ යාළුවත් එක්ක තියෙන ඔයාගේ සම්බන්දේ? කොහේද වැඩ කරන්නේ?”
“එයා ආමි තමයි. ආදරේ ඉල්ලලා කරදර කරනවා. පස්සේ දන්නේ මිනිහා කසාඳ බැඳපු මිනිහෙක් බව ඇන්ටි.”
ඉන්දිරා තම දෑසට පිරුනු කඳුළු ලේන්සු පොඩියෙන් පිසදැමීය.
“ඔය විත්තියක් දන්නවානම් මම කීයටවත් ගෙට වද්දගන්නේ නෑ. ඔය ළමයාගේ මල්ලිගේ පණිවිඩයකට ආවයි කිව්වේ?”
“අනේ ඇන්ටි මම හිතුවේ නෑ මෙච්චර කරදරයක්වෙයි කියලා.”
“මම මෙහෙට එනකොටම ඔයාලට කියලා තියෙනවා මේ ගෙදර මඟුල් නටන්න තියා ගන්න එපා කියලා. ඔයාලත් හොඳට මොළේ තියෙන ළමයි නේද? අදට විතරයි සමාව දෙන්නේ. බැඳපු මිනිස්සුයි එක එක ජාතියේ වනචරයෝ මෙහෙට එන්න කියන්න මේක ගුබ්බෑයමක් නෙමෙයි. මම කියන විදිහට මේ බෝඩිමේ ඉන්න බැරිනම් අදම වෙන කාමරයක් හොයාගෙන යන එකයි තියෙන්නේ.”
ඉන්දිරා තෝන්තුවෙන් මෙන් කාමරයට ඇවිද ගියා ය. බෝඩිමේ ඇන්ටි තව මොන මොනවදෝ කියමින් බැන වදිනවා ඉන්දිරාට ඇසුණි. ඕපාදුප මල්ලක් වන් අමාලි නාන කාමරයේ සිට හිස එළියට දමාගෙන ඇන්ටි කියන දේවල් අසාගෙන සිටිනවා ඉන්දිරාගේ දෙනෙතට අසුවිය. නිලන්ත පැවසූ දේවල් සිත්තම් පටයක් සේ ඈට යළි යළිත් තමා වටා භ්‍රමණයවෙමින් දර්ශනය වෙන්නාක් මෙන් දැනෙන්නට විය. ආකර්ෂණිය ලෙසින් මවාපානා ව්‍යාජ සිනහවක් පෙන්වමින් නිර්ලජ්ජිත ලෙසින් බෝඩිමට පැමිණි නිලන්තගේ හැසිරීම තවත් ව්‍යසනයකට පාර කැපීමක්දැයි තම යටි සිතෙන් සිතුවා ය. ජීවිතයේ තවත් එක් සන්ධිස්ථානයක සිදුවූ වරදක් නිසාවෙන් මුළු ජීවිතයම හෝදාපාළුවී යන්නට ඉඩ නොදෙමියි ඉන්දිරා සිතාගත්තා ය. නාන කාමරයේ සිට එළියට ආ අමාලි ඉන්දිරාගෙන් සිදුවුන දේ දැනගන්නට මෙන් එහාමෙහා ගැවසුනත් නිහඬව තම වැඩක් කරගෙන කිසිවක් නොවූ විලසින් සිටින්නට ඈ උත්සාහ කළා ය. දීපිකා බෝඩිමට පැමිණෙනතෙක් නොවසිල්ලෙන් පසුවූ ඉන්දිරා ඈට සිදුවූ සියල්ල පැවසීය.
“එදා ඔයා නිලන්ත ගැන කිව්වාම මටත් හිතුනා ඔය මිනිහා මෙහෙටත් එයිදෝ කියලා. ඒත් බෝඩිමේ ඇන්ටිට කොල්ලෝ ඇලජික් නිසා එයාව පන්න ගනියි කියලයි හිතුනේ.”
“එයා ඇන්ටිවත් රවට්ටගෙන. ඒත් දීපිකා මට බය ආයෙත් එයිද කියලා. අනේ මට මෙතන ඉන්න එකත් නැති කරන්නයි හදන්නේ.”
“අපොයි ආයෙත් ආවොත් වෙන කාමරයක් හොයාගෙන තමයි යන්න වෙන්නේ. දන්නවානේ ඔය ගෑණිගේ කට. අර බඞ්ඩ හිටියේ නැද්ද?”
“හිටියේ නාන කාමරයේ ඉදන් ඔක්කෝම අහගෙන. මගේ වටේ කැරකුණා මම කියයි කියලා.”
“දැන් ඉතිං ඉනෝකලාට අනික් සක්කරවට්ටම් වලට රස කර කර කියයි.”
“එයා ආපහු ඇවිත් ඇන්ටිට අපි කරපු කියපු දේවල් එහෙම කිව්වොත්.”
“ඔය මිනිහාට ලැජ්ජාවක් ඇතිව කියන්න පුළුවනිද?”
“එයාට ලැජ්ජාවක් තියේනම් මෙහෙට එයිද දීපිකා? අනික තමයි මාව උස්සනවා කියලා තමයි නිලන්ත ගියේ.”
“අන්න ඒකට නම් බය වෙන්න ඕනේ. අපි ටිකක් විතර පරිස්සම් වෙන්න ඕනේ ඒ කතාවට තමයි. පොලිසියේ ඇන්ටි්‍රයක් දාමුද?”
“මොනවා කියලා දාන්නද? එතැන ගිහිල්ලාත් වෙන්නේ මාව ලැජ්ජාවට පත්වෙන එකයි.”
“නිලන්තගේ ගෑණි කොහේද වැඩ කරන්නේ? අපි එයාට කියමු.”
“අපෝ එපා. ඒක නිලන්ත තවත් කේන්ති ගස්සන වැඩක්.”
“නෑ ඔයවාගේ මිනිස්සුන්ට කරන්න තියෙන හොඳම දඬුවම තමයි ඒක. උඹ බයවෙන්න එපා මමත් ඉන්නවානේ. කියපං කොයි කෑම්ප් එකේද වැඩ කරන්නේ?”
“නිලන්ත මුලින්ම කිව්වේ මානෙල් ඉන්නේ හමුදා මූලස්ථානයේ කියලා. මට මතක විදිහට පස්සේ කිව්වේ මැලේ ස්ටී්‍රට් එකේ තියෙන කෑම්ප් එකේ කියලා.”
“යමු ගිහිල්ලා කියමු මිනිහාගේ පැටිකිරිය. එතකොටවත් නතරවෙයිනේ.”
“අපි කරන්න හදන වැඬේ හරි නෑ නේද? මට පේන්නේ ඔය වාගේ වැඩක් නොකර නිලන්ත මෙහෙට එන එක නතර කරගත්තාම වැඬේ ඉවරයි.”
“උඹට මෙතන ඉන්න එකත් එකා නැති කරන්නයි හදන්නේ. පිස්සු නැතිව වරෙන්. උඹේ ඕනෑවට වැඩි අනුකම්පාව තමයි හෙනේට ඉදලා තියෙන්නේ.”
දීපිකා කෝපයෙන් පැවසුවාය.
“අනිද්දාට නිවාඩු දවසක් වැටෙනවානේ එදාට ලෑස්තිවෙයන් යන්න.”
එක එල්ලේම විරුද්ධත්වය පෑමට නොහැකිවූ ඉන්දිරාට දීපිකාගේ ප්‍රබල බලපෑම නිසාවෙන් ඇයගේ සිතැඟි අනුකුලව කටයුතු කරන්නට සිදුවුණි. දීපිකාගේ උනන්දුව හා කැපවීමට කෘතවේදී වන්නට තරම් යහපත් මානසික තත්වයක ඉන්දිරා සිටියේ නැත. ඈ මානෙල් හමුවන්නට බියක් හා චකිතයක් ඇතිව සිත තුළ පැන නැංවෙන අග්නිජලාවන්ට මැදිව දුක්වින්දාය. මානෙල් සොයා යන ගමන නොයා ඉන්නට අහේතුක කරුණු එකින් එක දීපිකා හමුවේ තැබුවේ එම නිසාවෙන්මය. ඉන් දීපිකා කෝපයට පත්වූවා ය. අකමැත්තෙන් වූවත් ඉන්දිරා ගමනට සුදානම් වූයේ දීපිකාගේ කෝපය හමුවේ ඈ නිරුත්තර කරවන්නක් වූ බැවිනි.
පිටකොටුව බලා දිවෙන බසයකට ගල්කිස්ස හංදියෙන් ගොඩවූ ඔවුන් දෙදෙනා මැලේ වීදියෙන් බැසගත්හ. කඳවුරේ ගේට්ටුව අසළට යනවිටදීම ඉන්දිරා දීපිකාට පසුබා සිටියා ය. දීපිකා චෝදනාගාරයේ සිටි සෙබලෙක්ගෙන් කාන්තා සෙබල මානෙල් ගමගේ ගැන විමසීය. එහිදී එම සෙබලාගෙන් ලද පිළිතුරෙන් දීපිකා මෙන්ම ඉන්දිරාද විමතියට පත්වීය.
“මේ කෑම්ප් එකේ කාන්තා සෙබලියන් නෑ. ඒ නිසා යුධ හමුදා කාන්තා පොලිස් අයත් මෙහේ නෑ.”
“අපිට මේ මානෙල් ගමගේ කියන එක්කෙනා හොයාගන්නයි ඕනේ.”
“එහෙනම් එක්කෝ ඔයාලා හෙඞ්ක්වාටස් වලට හරි නැත්නම් පනාගොඩ කෑම්ප් එකේ තියෙන හමුදාවේ වැටුප් අංශයෙන් තමයි බලන්න වෙන්නේ.”
කඳවුරේ ගේට්ටුවෙන් එළියට ආ පසුව ඉන්දිරා දෙස අවිනිශ්චිත බැල්මක් දීපිකා හෙළීය.
“බලපං මේ මිනිහා උඹව රවට්ටලා තියෙන විදිහ. මානෙල් කියලා කෙනෙක් තියා එක ගෑනු පුළුටක් වත් නෑ.”
“නෑ වෙන්න බෑ. එයා මේ ළඟදී එව්ව ලියුමකත් තිබුනා මානෙල් ඉන්නේ මේ කෑම්ප් එකේ කියලා.”
“එහෙනම් මූ අමු කෙප්පයක් තමයි අපිට ඇදබාලා තියෙන්නේ. අපිට රේකෝඞ්ස් හොයන්න යන්න වෙයි වගේ.”
“අනේ ඔන්න ඕක අතහැරලා දාමු.”
“උඹට පිස්සුද? මේ ගෑණි ගැන හොයලා මිසක් මම අද බෝඩිමට යන්නේ නෑ. ආමි හෙඞ් ක්වාටස් තියෙන්නේ මේ ලඟනේ වරෙන් යන්න.”
“මේ යුද්දේ තියෙන අස්සේ අපිට හෙඞ් ක්වාටස් වලට රිංගන්න දෙයිද? අනික මේ විස්තර දැන ගන්නත් කොච්චර වෙලාවක් ඉන්න උනාද? දැන් හෙඞ් ක්වාටස් වලට ගියොත් අපිට එතැන දවසක් විතර ලගින්න වෙයි.”
“කමක් නෑ එතැන දවසක් හරි ලැගලා මේ නිලන්ත කිව්ව මානෙල් ගැන හරි විස්තරයක් දැනගෙන යන්න ඕනේ.”
“දැන් මොකක් දැන ගත්තත් මොකද මම නිලන්තත් එක්ක සම්බන්ධයක් නෑනේ.”
“සම්බන්ධයක් නැතිවූනත් ඒ මිනිහා උඹට දෙන වදයම ඇති නේද මේ ගෑණි ගැන හොයන්න?”
පැවසූ දීපිකා පොළවට පතිතවන දැඬි හිරු රැසින් ආවරණයවීමට හැන්ඞ් බෑගයෙන් කුඩයක් රැගෙන ඉහලාගත්තා ය. පෙර පරිදිම මේ යන්නේ නිෂ්ඵල ගමනකැයි සිතමින් ඉන්දිරා දීපිකා පසුපස ගමන් කරන්නට විය.
“අපි මල්ලිට කියමුද මානෙල් ගැන හොයලා කියන්න කියලා?”
“අපෝ එපා ඊට වඩා හොඳයි හෙඞ් ක්වාටස් එකේ පෝලිමේ ඉදලා විස්තර දැනගන්න එක. එයාට කිව්වොත් නැති ප්‍රශ්න ගොඩකට පැටලෙනවා.”
“ඔව් මටත් ඒක හිතුනේ දැන් තමයි. අනික එකපාරින්ම මානෙල් ගැන එයාට හොයාගන්න බැරිවෙයි.”
“එයි අර නිලන්තගේ යාළුවා මොකක්ද නම?”
කල්පනා බරිතව මඳ දුරක් ගමන් ගත් දීපිකා ඇසීය.
“ප්‍රසාද්.”
“මිනිහා ඉන්නේ මොන කෑම්ප් එකේද? නිලන්තයි ප්‍රසාදුයි එක කෑම්ප් එකක නෙමෙයි නේද ඉන්නේ?”
“ඔව් නිලන්ත මාරු කළාට ප්‍රසාද්ව මාරු කළේ නෑ. මම හිතන්නේ තාම ඉන්නේ කොහුවල කෑම්ප් එකේ. ඇයි?”
“එහෙනම් වැඬේ හරි. අපි යමු ප්‍රසාද්ව මුණ ගැහෙන්න. ආමි හෙඞ් ක්වාටස් වල පෝලිමේ ඉදලා විස්තර දැන ගන්නවාට වඩා ඉක්මනින් එයාගෙන් දැන ගන්න පුළුවනි.”
“ප්‍රසාද් නිලන්තවගේ ද දන්නේ නෑ. කොහොමත් එකවගේ අයනේ යාළු මිත්‍රකම් පවත්වන්නේ.”
ඉන්දිරා ලේන්සුවෙන් මුහුණේ මතුව ආ දහඩිය පිසදාලමින් කීවා ය.
“ඒක මම එයත් එක්ක බලාගන්නම් ඉන්දිරා බය නැතිව මම කියන ඒවාට විතරක් උත්තර දෙන්න.”
පිටකොටුවෙන් එකසියවිස්සේ බසයකට නැගුන ඔවුන් කොහුවල හන්දියෙන් බැසගත්හ. කඳවුර සොයාගෙන දහවල් ගිනි මද්දහනේ පයින්ම ඇවිද ගිය ඔවුන් කඳවුරු භූමියට ඇතුල් වූහ. කඨෝර හිරු රැස් පිටස්තරයින්ට රැඳී සිටින්නට සකසා තිබූ මඩුවේ තහඩු ගිනියම් කරන්නට විය. අමුත්තන් රැඳී සිටිනා තාවකාලික ගොඩනැගිල්ලට ඇතුළුවූ ප්‍රසාද් හාත්පස සිසාරා තම නෙත් දිවයැව්වේ තමන් හමුවට ආ අමුත්තා සොයාගැන්මටය. සෙනග අතරින් තමන් සිටිනා ඉසව්ව සොයාගැනුමට නොහැකිව වටපිට බලනා ප්‍රසාද්ව දුටු දීපිකා අසුනින් නැඟිට ගත්තා ය. ප්‍රසාද්ගේ නෙත් දීපිකාගේ නෙත් හා යාවුණී. ඔහු ඈ දෙස විමතියෙන් මෙන් තප්පර කිහිපයක් බලාගෙන සිටින්නට විය. ඊළඟ නිමේෂයේදී ඉන්දිරාගේ රුව ඔහුගේ නෙතු ගැටුනායින් ප්‍රසාද් යම් තැතිගැන්මකට ලක්වී අපහසුතාවයකින් පෙළෙන්නාක් සේ හැසිරෙන්නට විය. ඔහු තුළ පැන නැගි ප්‍රශ්නාර්ථය සඟවාගනිමින් ආයාසයෙන් මුහුණට නගාගත් සිනහාවක් පෑවේය.
“ඇයි ඉන්දිරා නංගි මෙහේ ආවේ?”
ඔහු දීපිකා දෙස විමසිලිමත් බැල්මක් හෙලමින් ඇසීය.
“මට ඇඳුම් වගයක් ගන්න අපි නුගේගොඩට ආවා. ඉන්දිරා කිව්වා ඔයා ඉන්නේ කොහුවල කෑම්ප් එකේ කියලා. ඉතිං අපිට ඔයාව බලන්න හිතුනා.”
ඉන්දිරා මුනිවත රකිද්දී දීපිකා තම දෙනෙත් නටවා දඟකාරි ලෙසින් කීවා ය. ඇගේ දඟකාර හැසිරීම දෙස ප්‍රසාද් බලාසිටියේ පුළුල් සිනහාවක් මුවට නගා ගනිමිණි.
“දැන් ඉතිං දැක්කානේ.”
“එහෙනම් යන්නද කියන්නේ?”
“අපෝ නෑ. මදිනම් තව බලාගන්න කියන්නයි හැදුවේ.”
මෙතෙක් වෙලාවක් ප්‍රසාද්ගේ සිත අකර්මණ්‍ය කරවූ වරදකාරී අවිනිශ්චිත හැඟුමන් පහව ගියේය. ඔහුද ඈ සමඟ එක්වෙමින් සිනාසෙන්නට විය.
“එක නෙමෙයි කෝ ඔයාගේ ලොක්කා?”
“කවුද? නිලන්තද?”
“වෙන කවුද ඉතිං. ඔයා වැඩකරන්නේ එයා කියන හැටියටනේ. නේද ඉන්දිරා?”
ඉන්දිරාගේ සිටියේ කොතැනින් මේ සංවාදය පටන් ගනිමිදෝ සිතමින්ය. මනෝභාවයන් වෙන ඉසව්වක රැඳීසිටිය නිසාවෙන් දීපිකා කියූ කිසිවක් ඈ දෙසවනට වැටුනේ නැත. දීපිකා තම නම අමතන ඇසුන විගසින් තිගැස්සී ගිය ඉන්දිරා වෙනතක රැඳුණු සිත යළි තමන් වෙතට ඇදගත්තා ය. කිසිවක් නොතේරුනත් ඈට හුමිටි දුන් ඕ යළිත් කඳවුරේ ඈත අනන්තයක් දෙසට නෙත් දිවයැව්වා ය.
“එහෙමද ඔයාලා හිතාගෙන ඉන්නේ? එයා මට වැඩිය රෑන්ක් එකෙන් පොඞ්ඩක් විතර උඩින් ඉන්නේ. මොනවා කරන්නද හමුදාවේ හැටි එහෙම තමයි.”
“ඇත්තටම ඇයි ප්‍රසාද් නිලන්ත අපේ අහිංසකීට එයාගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ? දැන් කී සැරයක් එයා වැඩපලටත් ආවාද? ඒ මදිවට එහෙට කෝල් කරනවා. එයාට කියන්නකෝ මෙයාට පාඩුවේ ඉන්න දෙන්න කියලා.”
“නිලන්ත අපි කියන කිසිම දෙයක් අහන්නේ නෑ. මම එදා යන්න එපා කියද්දී තමයි ප්‍රැක්ටිස් වලින් කට් කරලා මාවත් ඇදගෙන ආවේ. පස්සේ අපේ කෝචර්ගෙන් බැනුම් ඇහැව්වේ මමයි.”
“ඔයාලා ඇවිල්ලා ගියාට පස්සේ නිලන්ත බෝඩිමටත් ඇවිල්ලා ඉන්දිරාව මුණ ගැහෙන්න. ඔයා දන්නවානේ ප්‍රසාද් අපේ බොඩිමේ ඇන්ටි කොල්ලෝ බෝඩිමට එනවාට කැමතිම නෑ කියලා. ඉන්දිරාට හොඳටම බැනලා වෙනින් තැනක් හොයාගන්න කියලා. මෙයා මෙච්චර අකමැතියි කියලත් ආපහු මෙයා පස්සේ එන්නේ ඇයි?”
“නිලන්තට මේ දවස්වල හරියට කේන්ති යනවා. මට හොඳම බැන්නා මදිවට ගහන්නත් ගියා. දැන් එයා බොනවා වැඩියි. දවසක් බීලා වැඩිවෙලා ටිම් එකේ අයත් එක්ක ගෝරියක් දාගත්තු නිසයි එයාව මෙහෙන් වෙන කෑම්ප් එකකට මාරු කළේ.”
“ඇයි එයාට ගොඩාක් ප්‍රශ්න තියෙනවාද?”
“මොන ප්‍රශ්න ද දීපිකා? ”
“ඇයි අර නඩුව?”
“මොන නඩුවද?”
ප්‍රසාද් විමතියෙන් මෙන් දීපිකා දෙස බැලීය. නිලන්තගේ සැඟවුනු රහස් ඇති බව දීපිකා මෙන්ම ඉන්දිරාද ඉන් තේරුම් ගත්හ.
“ඇයි ඔයා දන්නේ නැද්ද නිලන්ත වයිෆ්ගෙන් දික්කසාදේ ඉල්ලලා මීගමුවේ උසාවියේ දාලා තියෙන නඩුව?”
“ආ.... ඒ.... ක ද?”
ඔහුගේ මුවගට ආ කිසිවක් පිටවන්නට නොදී ආයාසයෙන් රඳවාගෙන සඟවාගත්තාක් මෙන් ඔවුනට දැනුණි. ප්‍රසාද් එකවරම නිහඬ විය. දීපිකාගේ තියුණු නෙත්සරට තවදුරටත් ලක්වනු නොහී ඔහු නිහැඬියාව රකිමින් බිම බලාගත්තේය.
“මට ඇත්ත කියන්න ප්‍රසාද් නිලන්තගේ වයිෆ් වැඩකරන්නේ හමුදාවේ නෙමෙයි නේද?”
“ඇයි ඕවා මගෙන් අහන්නේ? ඕවා නිලන්තගෙන් අහගන්න. මට එයාගේ විස්තර කියන්න බෑ.”
“ඇයි අයියේ ඔයා මේ හැමදේම දැනගෙන හංගන්නේ? අපි එයාට කියන්නේ නෑ. අනික මම දැන් නිලන්ත එක්ක සම්බන්ධයක් නෑනේ.”
මෙතෙක් වේලාවක් මුතිවත රකිමින් සිටි ඉන්දිරා තම නිහැඬියාව බිඳ දමමින් මුවගොළු විවර කළාය.
“එහෙනම් මොකටද එයා ගැන විස්තර හොයන්නේ?”
නුරුස්සනා බැල්මක් ඉන්දිරා දෙස හෙළමින් ඔහු ඇසීය. තම දෑසට කඳුළු පිරීගෙන එන බව ඉන්දිරාට දැනුණි. ඈ දුබල කටහඬින් ඔහු ඇමතුවා ය.
“මට ඕනේ එයා මාව කොච්චර රැවැට්ටුවාද කියලා දැන ගන්න.”
“නිලන්තගේ විස්තර මගෙන් අහන්න එපා ඉන්දිරා. මම කැමති නෑ එයාගේ දේවල් කියලා තවත් ප්‍රශ්න වැඩි කරන්න.”
“ඔයාට පිං අයිතිවෙයි අයියේ. මට ඔයා දන්න ඔක්කෝම කියන්න. ඔයා කිව්වේ නැත්නම් මම මෙතැනින් යන්නේ නෑ කීයටවත්. ඔයා දන්නවා මානෙල්ට දික්කසාද නඩුවක් දාලා නැති විත්තිය.”
“මානෙල්? කවුද මානෙල්? නිලන්ත බැඳලා ඉන්න එක්කෙනාගේ නම මානෙල් නෙමෙයි.”
“එහෙනම්?”
“එයාගේ නම මල්ලිකා. මල්ලිකා ගමගේ. ”
“වැඩකරන්නේ හමුදාවේ කිව්වෙත් බොරු නේද?”
“එයා වැඩ කරන්නේ ගොවිජන සේවා එකේ.”
“කොහේ එකේද? හෙඞ් ඔෆිස් එකේද?”
“ඉස්සර නම් හිටියේ කොළඹ. මම හිතන්නෙ දැන් ඉන්නේ ගෙවල් පැත්තේ මධ්‍යස්ථානයක.”
“ඒ කියන්නේ මාරවිල?”
“මාරවිල ඉන්නේ නිලන්තගේ අම්මලා විතරයි. නිලන්තලා පදිංචිවෙලා ඉන්නේ දියතලාවේ. මල්ලිකා මෙහෙන් මාරුවෙලා ගියේ බදුල්ලට වෙන්න ඕනේ.”
නිලන්ත තමන්ව නිර්දය ලෙසින් රවටා ඇති බව සිතට නැගෙද්දී නෙත් පුරවා දමමින් තිබූ කඳුලැලි රූරා හැලෙන්නට විය. මුවින් නැඟුණ ඉකිය පිටවන්නට නොදී වලකාගන්නට ඉන්දිරා තම අතරැඳි ලේන්සුව විකාගත්තා ය. මුළු සර්වාංගයම අග්නිජාලාවකින් වැසී ගොස් සිත තුලවූ සියලු සංවේදනයන් භාව කම්පනයකින් සැලෙන්නාක් සේ ඈට දැනෙන්නට විය. දැස් අභියසවූ කඳුළුද බරවූ නාසයද ලේන්සුවෙන් පිසදාගත්තා ය.
“ඇයි ප්‍රසාද් අයියේ මෙහෙම කරන්නේ? මෙයා තව කෙල්ලෝ කී දෙනෙක් මෙහෙම බොරු කියලා රවට්ටලා ඇද්ද?”
සිතට වෙර ගෙන කතා කරන්නට තැනූ ඉන්දිරා බිඳුණු හඬින් ඇසුවා ය.
“ඇත්තටම හමුදාවේ කොල්ලන්ට තියෙන ගරුත්වයත් මේ නිලන්ත වාගේ අසමජ්ජාති බොරු වංචාකාරයින් හින්දා නැති වෙනවා. ඇත්තටම ඔයාලටත් මේවාගේ සහෝදරියන් ඉන්නවා කියලාවත් හිතෙන්නෙ නැද්ද?”
කෝපයෙන් දීපිකා ඇසීය.
“අනේ මම ඕවා දන්නේ නෑ. අනික මේවාට ඔයාලත් වග කියන්න ඕනේ. හොයන්නේ බලන්නේ නැතිව රැවටෙනවාට.”
“ඔයාත් මේකට උදව් කළානේ.”
“මම ඉන්දිරා ගැන දැනගන්න කොට ඔයාලා දෙන්නා ගේ සම්බන්ධය පටන් අරන් ඉවරයි. නිලන්ත ඉන්දිරාට කියලා තියෙන්නේ මොනවාද මොන මොන අදහස් හුවමාරුවෙනවාද කියලා මම දන්නේ කොහොමද? මට අනුන්ගේ ලියුම් එහෙම කඩලා බලන්න පුළුවන් කමක් නෑ.”
“එහෙම කියන්න එපා ඔයා නිලන්ත ගැන අපිට වඩා යමක් දැනගෙන හිටියානේ. එයා මේ අහිංසක කෙල්ලව රවට්ටනවා කියලා ඔයා දන්නවානේ.”
“යාළුවෙකුට විරුද්ධව වැඩකරන්න පුළුවන් කමක් මට තිබුනේ නෑ. මට සමාවෙන්න ඇත්ත විස්තරේ
දීපිකාගේ චතුර වචන හරබයන් හමුවේ පසුබාගිය ඔහු අවසානයේදි දුබල හඬකින් තමන් ද නිලන්තගේ නිහීන වංචාවන්ට හවුල්වූ වග පිළිගෙන සමාව අයැදීය. අවශ්‍ය තරම් කරුණු ප්‍රසාද්ගෙ මුවින් එළියට ගන්නට තරම් දීපිකා ශුර එකියක වූවා ය. උදයෙන්ම බෝඩිමෙන් පිටව ආ බැවින් දහවල් කුස ගින්නද දැඬිවෙමින් පැවතියහ. තවදුරටත් කඳවුරේ රැඳෙන්නට අවකාශයක් නොතිබුනායින් ඔවුන් දෙදෙනා ඔහුගෙන් සමුගෙන එළියට ආවෝය. ව්‍යාකුලවූ හැඟුමන්ද මානසික තෙහෙට්ටුවද සමඟින් හේබාගිය පරඬැලක්සේ දීපිකා පසුපසින් ඉන්දිරා ඇදුණා ය.
“නිලන්ත මාව රවට්ටලා තියෙන්නේ එයාව මුණගැහැනු මුල්ම දවසේදීමයි. මට කිව්වේ එයා රගර් තරගයකට ඇවිල්ලා මේ ආපහු කෑම්ප් එකට යන ගමන් කියලා. දැන් බලනකොටනේ දන්නේ මේ මිනිහා නිවාඩුවට ගෙදර ගිහිල්ලා එන ගමන් තමයි මාව බස් එකේදී මුණගැහිලා තියෙන්නේ.”
“ඔය මිනිහා ගැන තේරිලා එයාගෙන් අයින් වෙන්න හදන එක ගැන මට හරිම සංතෝෂයි.”
“දීපිකා ඔයාට බොහෝම පිං අයිතිවෙන්න ඕනේ. ඔයයි අම්මයි නැත්නම් මාව තාමත් නිලන්ත රවට්ටනවා මිනිහා මවලා පෙන්නපු බොරුවලට යන්න අපායක් වත් තියෙයිද දන්නේ නෑ.”
“දැන් නිලන්ත ගැන වැඩක් නෑ. දැන් නම් මට හොඳටම බඩගිනියි.”
“දැන් ගිහිල්ලා උයන්න බෑ. උඹට විතරක් බත් පාර්සලයක් අරගන්න.”
“මොකකද්ද එකක්? ඇයි උඹ කන්නේ නැද්ද?”
“මට කන්න බෑ. බඩගින්නක් නෑ.”
“අනේ මේ පිස්සු නැතිව හිටපං. නොකා නොබී ඉන්න මෙතන මළ ගෙයක් වුනේ නෑනේ.”
“මළ ගෙයක් වෙන්නත් තිබුණා නිලන්ත මාව උස්සනවා කියලයි ගියේ.”
“අනේ ඔය මනස්ගාත අතහැරලා දාපං. තනි එයාට මොනවා කරන්න පුළුවනිද? අනික ඔය මිනිස්සුන්ට කේන්ති ගියාම කියන කතාවල් නේ බං ඕවා.”
“මට මානෙල් මුණගැහෙන්න ඕනේ.”
“මොකටද?”
“මට මානෙල් කවුද මොන වගේද කියලා බලන්න ඕනේ. එයාට කියන්න ඕනේ නිලන්ත මාව කැත විදිහට රවට්ටපු හැටි.”
“ඕවා ඒ ගැණිට කියලා වැඩක් තියෙයිද? අනික ඒ ගෑණි උඹව පන්නා ගනියි එයාගේ මිනිහා එක්ක බුදිය ගත්තු වල් ගෑණියෙක් කියලා.”
“කමක් නෑ මාව පන්නාගත්තත්. ඒ ගෑණි දන්නේ නැතිව ඇති මේ වනචරයාගේ සල්ලාලකම්. මට ඕනේ කරන්නේ තවත් අහිංසක කෙල්ලෙක් මම වාගේම මේ තිරිසනාගේ රැවටිලි වලට අහුනොවෙන්න වලක්වන්නයි. ඉස්සෙල්ලා මාව මානෙල් මුණ ගැහෙන්න එක්කගෙන ඇවිල්ලා ඇයි දැන් එයාව හොයාගෙන යනවාට අකමැති?”
ඉන්දිරාගේ පැනයෙන් ඈ නිරුත්තර වූවා ය.
“උඹ කොහොමද දියතලාවේ ගෙදර දන්නේ?”
“මොකටද ගෙදර යන්නේ මම බදුල්ලේ ගොවිජන සේවා එකට ගිහිල්ලා එයාව මුණගැහෙනවා.”
“කවුද දන්නේ එතැනින් මාරුවෙලා ගිහිල්ලාද කියලා.”
“එහෙම නම් එතැන අය දන්නවා ඇතිනේ එයා කොහේටද මාරුවුනේ කියලා.”
ඇය තම දැඬි තීරණයේම එල්බගනිමින් කියා සිටියා ය.
බෝඩිමට ගිය පසුත් ඉන්දිරා පසුවූයේ තොන්තුවූවාක් සේය. දහවල් ගිනි මද්දහනේ අව්රශ්මියත් කැකෑරුනු දුහුවිලි මිශ්‍ර වාතයත් ආග්‍රහණය කළ නිසාදෝ ඉන්දිරා සවස්වන විට මලානිකව පසුවන්නට විය.
එක රෑනට වැඩපලින් නික්මුනු යුවතියන් අතරින් ඉක්මන් ගමනින් අත්තිඩිය හන්දියේ සිට ජනතා මාවතේ බෝඩිම තෙක් ඇති කෙටිදුර ඇවිද ගිය ඉන්දිරාට ඈතින් තමා වෙතට ඇවිද එන රුව අඳුනාගත්තාය. ඔහු දුටු විගසම විදුලි සැරයක් වන් තිගැස්මක් සහිත අනතුරක සේයාවක් පෙන්නුම් කරනා සංවේදනයන් සිරුර පුරා දිව යනු ඈට දැනුණි. ඇසිපිය හෙලනා නිමේෂයෙන් තමන් ඉදිරි පිටට පාදුර්භූතවූ නිලන්ත මඟ හැර යායුතු අතුරු මඟක්ද නොවුනු ප්‍රධාන පාරේ ආපසු හැරී දිවයන්නද නැතිනම් ඔහු ඉදිරියට ගමන් කරන්නද සිතා ගත නොහැකි විය. නිලන්ත තමන් ළඟට තවත් ළං වද්දී ඈ දහඩියෙන් නැහැවී ගියා ය. නිලන්ත තම දියණිය මල්ෂාගේ අතින් අල්ලාගෙන සිටිනු දුටු ඈ මුව විවර කළේ කෑ ගසන්නට නමුත් එකදු වදනක් වත් පිටකරවාගන්නට නොහැකිවුණි. කෙලිලොල් දඟකාරකමින් යුතුව නිලන්තට කුමක්හෝ කියා සිනාසෙන මල්ෂා දුටු සැනෙන් ඉන්දිරාගේ ඉහමොළ ගිනිගත්තාක් සේ දැනෙන්නට විය. හැල්මේ සෙනග අතරින් පිරාගෙන ඔවුන් දෙසට ඈ දිව ගියේ කෑ ගසමින්ය. ඔවුන් අසළට ළංවෙද්දීම පදිකවේදිකාවේ ගැලවී තිබුනු ගලක පය පැටලි ඉන්දිරා බිම ඇද වැටුණි. අසීරුවෙන් නැගිටගන්නට තනද්දී ඔවුන් ඉන්දිරා අසළටම පැමිණියහ. කකුල් පැටලි බිම වැටීහුන් ඉන්දිරා දෙස බලමින් ඔවුන් සමච්චල් ලෙසින් සිනහාවෙන්නට පටන්ගෙන ඇති සේය. ඉන්දිරාගේ මනසේ ආතතිය වැඩිවීගොස් දෑස් පුරා කඳුළු පිරිණ. තම කුසින් උපද්දවන ලද ප්‍රාණ සමාන දරුපැටියා ගුජුප්සාජනක මේ මිනිසා රවටා ගත්තේ කෙසේද? ඔහුගේ සිනා හඬ දෙසවන් පුරා දෝංකාර දෙන්නාක් මෙන් සියලු හඬවල් අභිබවමින් ඇසෙන්නට විය. ගලේ වැදී ලේ ගලමින් ඇදුම්කන කකුලට බරනොදී අසීරුවෙන් ඕ නැගිට ගත්තා ය. බිම වැටුනු තමාට මෙපමණ සිනාසෙන ඔහුගේ මුහුණ දෙස තම හිස ඔසවා බලද්දී මුළු සියොළඟම කිලිපොලා යනු දැනිණ. ඈ කෑගසන්නට මුව විවර කළා ය. මල්ෂාගේ අතින් අල්ලාගෙන සමච්ල් සිනා පානා පුද්ගලයාවූයේ නිලන්ත නොව විජිතය. විජිතගෙන් මල්ෂාව මුදාගන්නට ඉන්දිරා යටිගිරියෙන් කෑගසමින් ඉදිරියට පැන්නා ය.
“ඇයි ඉන්දිරා ඇයි?”
ළඟ නිදා හුන් දීපිකා ඉන්දිරාව දෙතුන්විටක් සොලවා කතා කළා ය. වසන්ති අක්කා ඉක්මනින් කාමරයේ විදුලි පහන දල්වාලීය. දෙනෙත් විවර කළ ඉන්දිරාට සිහිනයත් පියවි ලොවත් අතර දෝලනය වන මනසින් සිහිඑලවාගැන්මට මඳ වේලාවක් ගතවිය. හිරිගඬු පිපී මුළු ගතම දහඩියෙන් නැහැවී තිබූ ඉන්දිරා බියෙන් වෙවුලමින් සිටියා ය. පිටු පසින් අතක් යවා එක් උරයකින් අල්ලාගෙන දීපිකා ඈ වත්තන් කරගත්තා ය.
“ඇයි මොකද හීනයක්වත් දැක්කාද?”
වසන්ති අක්කා ඈ ලඟට පැමිණ හිස අතගාමින් ඇසීය. නිහඬව සිටි ඉන්දිරා ඔව් කියන්නට මෙන් හිස වැනිය. ප්ලාස්ටික් ජෝගුවට කළයෙන් වතුර ටිකක් වත්කරගත් වසන්ති අක්කා ඈට බොන්නට දුන්නා ය. වේලුනු තොලකට තෙමාගන්නට වතුර උගුරු කිහිපයක් බිව් ඈ තමන් දෙස බලන් සිටිනා සෙස්සන්ගේ දෑස් මඟ හැර යළිත් පැදුරේ හාන්සිවූවා ය. මරහඬින් කෑ ගැසූ ඉන්දිරා නිසා බෝඩිම් කාමරයේ සෙස්සන්ද බියවී ඇහැරි තිබුණි.
“විකාර හීන බලල අපිවත් බය කරනවා. මුන්ගේ මළ සමයං”
“මමත් හොඳටම බයවුනා අර ග්‍රීස් යකා කියන එකා ඇවිල්ලාද කියලා.”
අමාලි ඉනෝකා දෙස බලමින් කීවාය. ඔවුන්ගේ කතාව කන වැකුණු වසන්ති අක්කාගේ කෝපය වැඩිකරවන්නක් විය.
“නරක හීනයක් පෙනිලා බය වුනා කියලා කාටවත් අමාරුවක් එහෙම තියෙනවාද? කවුරු කවුරුත් නිදාගත්තානම් හොඳයි”
ඉනෝකා දෙස බලමින් වසන්ති අක්කා අසද්දී ඈ තම පොරෝණාව හිසේ සිට පොරවාගත්තා ය.
පාන්දර සහලෝලා උණ ගැනුණ ඉන්දිරා වැඩට යන්නට බැරි බව දීපිකාට පැවසුවා ය. දීපිකා කොතෙක් ඇවිටිලි කළත් බෙහෙත් ගන්න යාමට තියා ඈ සාදාදුන් කොත්තමල්ලි කෝප්පයට අතවත් තැබුවේ නැත. කියනදේ නාහන ඉන්දිරාගේ මුරණ්ඩු ගතියට කෝපගත් දීපිකා ඈට බැණ වදිමින් වැඩට පිටත්වුණි. පෙරදින රාත්‍රියේ දුටු ගුජුප්සාජනක හීනය යළි සිහිපත් වෙද්දී ඉන්දිරාගේ ඇගපුරා හිරිගඬු පිපීගොස් මනස නොසන්සුන් වන්නට විය. ඈ සිතුවම් පටයක් සේ එම සිදුවීම් යළි මෙනෙහි කරන්නට උත්සාහ කරන්නට විය. එහෙත් එහෙන් මෙහෙන් කෑල්ලක් දෙකක් යළි මනසේ දිස්වූවත් පුර්වාපර සන්ධි ගලපා ගනිමින් තමන් දුටු සිහිනය තේරුම් ගන්නට නොහැකිවුණි.
පාළු බෝඩිම් කාමරයේ පැදුරේ වැතිර ගත් ඉන්දිරාට පාළුව කාන්සියෙන් පෙලෙමින් විටින් විට මතකයේ ඒකරාශිවන සිතුවිලි එකින් එක යළි පෙළගස්වන්නට පටන්ගත්තා ය. නිලන්ත සිය ආදරය නැමැති කඩතුරාවෙන් තම දෑස් බැඳ දමා ඔහුගේ අතොරක් නැති ආශාවන්ගේ ගොදුරක් කරගත් අයුරු මතකයට නැගෙද්දී දෑස් කඳුලින් තෙත්වන්නට වුණි. ඔහුගේ කායික සන්තර්පණයන්ට ඉඩදී තමනුත් අශ්වාදයක් ලැබූ බවත් එහි වරදකාරිත්වය තමන්ගේම බවත් යටි සිත විටෙක මතක් කරදුන්නා ය. තවදුරටත් මේ පාළු කාමරයේ තනිවී මනංකල්පිත මානෝභාවයන් සමඟින් තර්ක කරමින් සිටිනවාට වඩා හල්දුම්මුල්ලට යන එක මැනවැයි ඕ අදහස් කර ගත්තාය. වැතිර සිටි පැදුර අකුලා දැමූ ඉන්දිරා අපහසුවෙන් වුවත් ගෙදර යාමට ඇඳුම් කැඩුම් බැගයක අසුරා ගත්තා ය. බෝඩිමෙන් පිටව යාමට පෙර අසනීප නිසා ගෙදර යන බව දන්වමින් දීපිකාට ලියූ ලිපිය බෝඩිම් ඇන්ටිගේ අතට පත්කළා ය.
දෛවය පවා කුරිරුය සමහර අයට
ReplyDeleteපෙර කළ පව්ද පළ දෙන්නේ මේ ලෙසට
නිතරම වැටෙයි බැදෙනා කබලෙන් ළිපට
අනාගතයවත් සුබ වේවා ඇයට!
දෛවය කුරිරු වන්නේ නැත හැම සතට
Deleteපෙර පව් වලට තව පව් රැස්කරනා කලට
තව සමහරක් ආසය වැටෙන්නට කඹලෙන් ලිපට
අනාගතය සුබ කරගන්නට නොසිතන ලෙසට
ස්තුතියි නිදි ලොකු අයියේ
ගෑනුන්ගේ පුදුම මේනියාවක් තියෙන්නේ ආරක්ෂක ඇදුම් අදින උන්ට ...
ReplyDeleteමේනියාව නිසා තමයි වැඩියෙන් වරද්දා ගත්තේ.
Deleteතමන්ගෙ තාත්තා අතින්ම abuse වුනු, අම්මාගේ ආදරයත් හරියට නොලැබුනු ගැහැනු ලමයෙක් හොයන්නෙ ආදරය. ඉන්දිරා මුලින්ම respond කලේ නිලන්ත බස් එකේදි එයාගෙ බෑග් එක තියා ගැනිමෙන් පෙන්නපු 'කරුනාවට' සහ ඊට පස්සෙ වුනු සුහද කතාබහට. ආචාර්ය චන්දිම ගෝමස්ගෙ බ්ලොග් එකෙත් කතා කරලා තිබුන විදිහට ගැහැනු කෙනෙක්ගෙ companionship එක පිරිමියෙකුටත්, පිරිමියෙකුගෙන් එය ගැහැනියකටත් අත්යවශ්‍යයි. නමුත් ඒවා හරියට manage කරගන්න අපේ රටේදි ලැබෙන දැනුම අඩුයි (විශේශයෙන්ම ආදරය, ලින්ගිකත්වය ගැන formal knowledge එක). නිලන්ත මුලින්ම ලැගුම් හලට ඉන්දිරා ගෙනියනකොට ඇය දක්වූ ප්‍රතිචාරය බලන්න. ඊට අමතරව සමාජයෙ යම් කිසි කොටසක් අර විරුවො මේ විරුවො කියලා උඩ දැම්මම තමන්ට වැඩිපුර ලැබෙන power/energy එක මුදාහරින්න ඒ විරුවො සමාජයේ වෙනත් කොටසක් හොයාගන්නව. අජිත් කියලා තියෙන විදිහට name and shame කිරීම හොඳයි, නමුත් ලන්කාවෙ නිලන්තලාගෙ වැඩත් 'වීරකම්' විදිහටනෙ ගන්නෙ. නිලන්ත සහ විජිත චන්දෙ ඉල්ලුවොත් උඩින්ම දිනයි.
Deleteඇත්තෙන්ම හොද විග්‍රහයක්. මේ කතාවේ ගැඹුරෙන් දිවෙන ඛෙදවාචකය අපුරු ලෙස ඔබ පෙන්වාදී තියෙනවා. ස්තූතියි.
Deleteනිලන්ත යි විජිතයි දෙන්න කරපු මේ දේ ගැන පොතක් ලියක පල කරලා උන්ට යවන්න ඕනේ
ReplyDeleteනැත්නම් උන්ගේ ගෑනුන්ට , යාළුවන්ට , දෙමව්පියන්ට
Deleteතව පිහිපාරක් තෑගි ලැබෙනවා ෂුවර්.....
Deleteමේකෙ මාර ගැඹුරු මානසික විත්‍රහයක් යටින් යනව...
ReplyDeleteස්තූතියි ඩ්‍රැකි.. අවසානයේ දි මේ ගැන කතිකාවක් කරමුද?
Delete