Monday, November 2, 2020

පළිගු කිරිල්ලී - දහසය වන කොටස

පළිගු කිරිල්ලී - දහසය වන කොටස



 “ඉන්දිරා .. . මේ ඉන්දිරා ළමයෝ ... ” 

“ඇයි ඇන්ටි?”

“ඔයාට ලියුමක් ඇවිල්ලා තිබුනා එක ඔයාට දෙන්න අමතක උනා.”

බෝඩිමේ ඇන්ටි තම නිවසේ දොරකඩ සිට ඉන්දිරා අමතා ලියුම් කවරයක් දිගු කළා ය. සුදු නැන්දාගේ  නිවසින් ඇරෙන්නට බෝඩිමට ලියුමක් එවන්නට කෙනකු නැති වීමත් හා හදිසියක් නම් ටෙලිග්‍රෑමයක් එවනවා මිස සුදු නැන්දා ලියුම් එවන්නේ නැති බවත් දන්නා නිසා ඉන්දිරා ව්‍යාකූලත්වයට පත්වූවා ය. 

“මට?”

“ඔව් ඔයාට තමයි. ”

සසලව ගිය සිතින් යුතුව ඇන්ටි දිගුකළ ලිපිය අතට ගත් ඈ මඳ සිනහවක් පා යුහුසුලුව කාමරයට වැදුනා ය. 

“කා ගෙන්ද බං ලියුම? ගෙදරින්ද? ”

“දන්නේ නෑ. දෙන්න බැරි උනා කිව්වේ.”

“ඔය අම්මණ්ඩි ඔහොම තමයි. ෂුවර් එකටම දැන් දවස් දෙක තුනකට ඉස්සරින් එන්න ඇති. බලපං ඕක කඩලාද කියලා? ”

දීපිකා එසේ පවසද්දී නාදුනන අත් අකුරින් ලිපිනය ලියූ ලිපිකවරය දෙස ඉන්දිරා කුතුහලයෙන් යුතුව බලා සිටියා ය. එය විවර කිරීමට ප්‍රථම ඈ කිහිප වරක් ඉදිරිපස හා පිටුපස පෙරලා බැළීය. 

“ලියුමක් ආවාම එහෙට මෙහෙට පෙරළ පෙරළ ඉන්නේ නැතිව කඩලා බලපං. ඕවායේ සෙනෙහේ කොළ මිසක් බෝම්බ එන්නේ නෑ. ” 

ඉන්දිරා දෙස විමසිල්ලෙන් බලා සිටි අමාලි ඇදහුන් ගවුම හිසින් පන්නා දමමින් කීවා ය. බූරු ඇඳේ කොනක වාඩිගත් ඉන්දිරා කවරය සීරුවෙන් ඉරා ඇතුලත තිබූ නිල් පැහැති කඩදාසියේ ලියූ ලිපිය අතට ගත්තා ය. 


2002 -10-20    

 කදවුරේදි.

ජය හා සතුට

දයාබර ඉන්දිරා වෙත. 

එදා ඔයා කරදරයක් නැතිව බෝඩිමට ගියා යැයි සිතමි. ඔයාව මොරටුව බසයේ තනිකර දමා මට බසයෙන් බහින්න වුනාට මම සිතකින් නොවෙයි බසයෙන් බිමට බැස්සේ. ඔයාව ගල්කිස්සට ගෙනවිත් ඇරලවන්න ඕනෑකමක් තිබුනත් මට මගේ රාජකාරි තත්වය උඩ එහෙම කරන්න බැරිවුණා. එදා මම නිසා ඔයා වැටුන අමාරුව මතක් වෙනකොට හිනාත් යනවා. ඔච්චර තරහා ගන්න එකනම් තරුණ වයසේ ගෑණු ළමයින්ට හොඳ මදි. ඉක්මනින් නාකි උනොත් කසාදයක් එහෙම කරගන්න බැරිවෙයි. තරහෙන් ජම්බු ගෙඩියක් වාගේ රතුවෙච්ච මුණ මට තාමත් මතක් වෙනවා. 

අපේ රගර් ප්‍රැක්ටිස් කෑම්ප් එකක් තිබුනා දියතලාවේ කෑම්ප් එකේ. ප්‍රැක්ටිස් කරද්දී තව කෙනෙක් ඇඟේ වැදිලා වැටුණා. එකෙන් මගේ කකුලේ මසල් එකක් ඉරිලා ටික දවසක් ඇඳට වෙලා ඉන්න සිද්ධවුන නිසා අපේ ටීම් එක කොළඹ ආවේ මාව නැතිව. එදා මම බස් එකේ කොළඹ ආවේ ආමි හොස්පිටල් එකට ගිහිල්ලා බෙහෙතුත් අරගෙන කෑම්ප් එකට යන්න බලාගෙනයි. හොඳවුනු කකුලේ මසල් එක ආයෙත් පෑරුනාට හදවත නම් සුවපත් කරන්න පුළුවන් විදිහේ නංගියෙක් නම් මුණ ගැහුනා. එදා අපේ හමුවීම අහම්බෙන් උනත් මට දැනෙන්නේ අපි දෙන්නා දිගු කාලෙක ඉදන් අඳුනන දෙන්නෙක් වාගෙයි කියලා. ඔයාට ඒක දැනෙන්නේ නැද්ද? මේ අපේ දෛවය තමයි අපිව අහම්බෙන් හරි බස් එකේදි මුණ ගැස්සුවේ. 

ඔයා හරිම අවංක හොඳ කෙනෙක්. මට ඔයාගේ ජීවිතයේ සිද්ධවුන ඔක්කෝම කිව්වා. එදා හමුවිමේදි මං ගැන යම් කිසි විස්වාසයක් ඇතිවුනු නිසා වෙන්නැති ඔයා ඒ දේවල් මාත් එක්ක කිව්වේ. අවංක අය මේ ලෝකේ හරිම අඩුයි. මම ඔයා ගැන හොඳටම පැහැදුනා. ඉතිං රත්තරං අපි දෙදෙනා මිට පෙර භවයක ආදරවන්තයෝ වෙලා ඉන්න ඇති. මමත් ආදරයෙන් පරාජයවුන කෙනෙක්. ඒ අතීතය නිසා වර්තමානයට හරිම බයෙන් කාලය ගතකළ කෙනෙක් මම. ඉතිං ඒ බිය ඔබ දුටු මොහොතේම නැතිවෙලා ගියා. ඔයා හිතනවා ඇති නේද යුධ හමුදාවේ කොල්ලෙක් මොකට බයෙන් ඉන්නවාද කියලා. ඒ අතීතය ගැන මම පස්සේ කියන්නම්.  

ඔයාගේ බත් එක නම් හරිම රහයි. ගොඩාරියක් පිං.  හැබැයි මටත් කන්න ලැබුනේ ටිකයි. මම බත් පාර්සලය හංගලා තියලා නාගන්න බාත්රූම් එකට ගියා. බත් පාර්සලය තිබුනේ බෑග් එක උඩින්මයි. මම නාගෙන එන අතරතුරේදි කොල්ලෝ ටික මගේ බෑග් එක ඇරලා බත් එක කපුටෝ රැළවාගේ වටවෙලා කාලා. මම වතුර බෝතලයක් අරගෙන ඇවිත් කෑම එක කන්න හොයන විටදි කෙහෙල් කොලය එකෙක් ගෙනවිත් දෙනවා. මචං බත් එක නම් හරිම රහයි. අම්මාට පිං සිද්ධ වෙන්න ඕනේ කියාගෙන. ඔයාගේ කෑම එක කාලා කොල්ලෝ ටික පිං දුන්නේ මගේ අම්මාට. මමත් කිව්වේ නෑ මට බස් එකේදී හමුවුණු කෙල්ලෙක් දුන්නා කියලා. අපේ අම්මා උයලා දුන්න බත් එකක් කියලයි මම කිව්වේ. මට කන්න නොදී කෑවට මමත් හිටියේ කේන්තියෙන් මොකද ඔයා මට ආදරයෙන් දුන්න බත් පාර්සලය කෑමට ගන්න බැරිවුන එක ගැන. අපේ කොල්ලෝ එහෙම විහිළු කළාට මුළු බත් එකම කාලා නෑ. මගේ පංගුව වෙන් කරලා පස්සේ ගෙනවිත් දුන්නා. අපි කන්නේ කඳවුරේ උයන කල්දේරම් බත්. ඔයාලා හිතනවා ඇති කඳවුරේ කල්දේරම් බත් රසයි කියලා? කිසිම රසක් නෑ. ඒවා කාලම අපිට එපා වෙලා ඉන්නේ. අපිට ඉතිං වළලු දාපු අතකින් උයන කෑම එකක් කන්න ගෙදරටම යන්න වෙනවා. ඔයාගේ බත් එක කොච්චර රහද කිව්වොත් අපි ඔතපු කෙහෙල් කොලෙත් ලෙවකෑවා. ආයෙමත් දවසක ආවොත් මට ඒවගේ රස කෑම එකක් උයලා දෙනවාද? මම ඉන්නේ කොහුවල හමුදා කඳවුරේ. කොහොමත් අපේ කඳවුරේ ඉදලා වැඩි දුරක් නැහැනේ ඔයා ඉන්න තැනට. ඉතිං කෙල්ලේ මට ඔයාව හමුවන්න ඔයාගේ වැඩපල ළඟට එන්න පුළුවන්. ඒක ඔයාට ප්‍රශ්නයක් වෙයිද දන්නේ නෑ. ළගදීම පුළුවන් උනොත් ඔයාව බලලා යන්න බෝඩිමට එන්නම්. 

ආ මට කියන්න බැරිවුනා මම ලබන මාසේ 5 වෙනිදා ඉදලා දවස් 7ක නිවාඩුවක්  යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතිං ඊට ඉස්සර ඔයාව බලන්න කොහොම හරි එනවා. ඉතිං මගේ රත්තරං මම ආසයි ඔයත් එක්ක මෙහොතක් සැනසිල්ලේ කතා කරන්න. එහෙම පැවසුවාට වැරදි විදිහට සිතන්න එපා. එදා මම කිව්වානේ මගේ හැටි කියන්න දෙයක් ඇත්නම් කෙළින්ම පවසන බව. මං ගොඩාක් අවංක කොල්ලෙක්. මං විතරක් නොවෙයි ඔයාත් එහෙම තමයි. ඉතිං ඔයා හිතයි මම කොහොමද මෙච්චර කාලයක් කෙල්ලෙක් සමග ඇසුරක් නැතිව හිටියේ කියලා. ඒ ප්‍රශ්නයට උත්තර ඔයා මා ගාව ඉන්න විටදි කියන්නම්. ඔයාට මාව විශ්වාස නිසා ඔයාගේ තත්වය මාහට පැවසුවා. ආයේ කිසිම දිනයක කාටවත් කියන්නේ එහෙම නැහැ හොඳද. මම ඔයා ගැන විස්තර ඇහැව්වාට මම ගැන කිසි දෙයක්  කිව්වේ නෑ නේද කියලා මට මතක් වුනේ ඔයාව මොරටුව බස් එකට දාලා ආවට පස්සේ. ඉතිං ඔයත් මගේ විස්තර ඇහැව්වේත් නැහැ නේද? මගේ නම නිලන්ත පීරිස්. අපේ ගෙවල් මාරවිල. මට අයියා විතරයි ඉන්නේ. එයාත් බැඳලා දැන් ඉන්නේ ඉතාලියේ. අම්මයි තාත්තයි විතරයි අපේ ගෙදර ඉන්නේ. අපේ අම්මානම් පොඞ්ඩක් විතර සැරයි. දැනට ඔය විස්තර ඇති නේද? මගේ කඳවුරේ ලිපිනය පහතින් ලියලා ඇති ඒකට ලිපි එවන්න පුළුවනි. පසුව අපේ කඳවුරේ ටෙලිපොන් අංකය එවන්නම්. ඔයාගෙන් ලිපියක් බලාපොරොත්තුවෙන් මම නවතින්නම්. ඔයාට දෙවිපිහිටයි.

මිට 

සදාදර 

නිලන්ත. 

කොප්‍රල් නිලන්ත පිරිස්

ශ.ආ.උ

සෙ.අ 0012465

යුධහමුදා කඳවුර 

කොහුවල.


එක හුස්මට ලිපිය කියවා දැමූ ඈ දෙවන වරට එය කියවා අවසන් කලේ දිර්ඝ කාලයක් ගනිමින්ය.

“එයි උඹ ඔය ලියුම දිහා බලන් භාවනා කරනවාද? ඇඳුම් ගලවලා ගිහිල්ලා ඇඟ හෝදාගෙන වරෙන්. අනිත් දියකිඳුරියෝ ටික ආවම පයිප්පෙන් අයින් වෙන්නේ නෑ. උඹට ඇඟ හෝදාගන්න වෙන්නේ මහරෑට තමයි. ” 

ඇඟ සෝදාගෙන පැමිණි දීපිකා කීවාය. ඉන්දිරා වහාම ලිපිය දෙකට නවා කවරයට රිංගවාලීය. 

“ෂුවර් එකටම අර බස් එකේ කොල්ලාගෙන් වෙන්නැති. උඹ ඌට මෙහේ ඇඞ්රස් එක දුන්නා නේද?” 

කිසිවක් මුවින් නොදෙඩූ ඈ දීපිකාට සිනහාසී ඉක්මනින් තුවායත් සබන් පෙට්ටියත් රැගෙන නාන කාමරය දෙසට දිව්වා ය.  

“ඔය මනමාල හිනාවෙන්ම කියතෑකි මොකක්ද හොරේ කියලා.”

“මේකි බත්මුලක් දීලා කොල්ලෙක් සෙට්කරගත්තා එහෙනම්.”

අමාලි කෑගැසුවාය. අමාලි හා දීපිකාගේ කටවල් වලින් බේරෙන්නට නාන කාමරයට දිව ආවත් ඇඟ සේදීමෙන් පසු අඳින්නට වෙනත් ඇඳුමක් රැගෙනවිත් තිබුනේ නැත. සිසිල් ජලයෙන් ඇඟ දොවාලද්දී නිලන්ත එවන ලද නිල් පැහැති කඩදාසියේ තරමක් රවුම් අත් අකුරින් ලියූ ලිපිය ඇගේ මනසට නැගුණි. ජීවිතය යළි නව ඇරඹුමක් ලබන්නට ඉසිඹුලමින් සිටින බවක් ඈට දැනෙන්නට විය. හදවත සුපුෂ්පිත කරවන එම ලිපිය තවත් වරක් කියවීමට ආසාවක් ඇතිවුණි. එහෙන් මෙහෙන් ඇඟ පිසදාගත් ඉන්දිරා ඇඳගෙන ආ ඇඳුම් යළිත් ඇඳගෙන කාමරයට ගොඩවිය. 

“ඇයි බං ඇඳගෙන ගිය ඇඳුම් ආපහු ඇඳගෙන?”

“උඹලාගේ කරදරෙන් බේරෙන්න නාන කමරේට දිව්වේ වෙනින් ඇඳුමක් අරගෙන නෙමෙයි. ඇඳුම් ගන්න ආපහු ආවොත් අරුන් කවුරු හරි රිංගනවා.”

“උඹේ මොලේ වැඩ කරන්නේ අර ආමි කොල්ලාගේ ලියුම තමයි නේද? මොනවාද කියලා තිබුණේ?”

“පොඞ්ඩක් හිටපන් දීපිකා උඹට පෙන්නනකම්. කෝ අමාලි? ඒකිට හොරෙන් තමයි පෙන්නන්න වෙන්නේ.”

“ඒකි කුස්සියේ කෝ ඉක්මනට දීපන්.”

ඉන්දිරාගේ අතින් උදුරාගත් ලිපිය යුහුසුලුව කියවා දැමූ දීපිකා යළි ඇගේ සුරතට පත් කළාය.

“ඉතිං බලං ඉන්නේ නැතිව රිප්ලයි එකක් හැරෙන තැපෑලෙන් යවපං.” 

“එහෙම යැව්වොත් අපේ අගයක් නැතිව යනවා.”

“අනේ මේ උඹ ගණන් උස්සන්න ගිහිල්ලා වෙන එකියෙක් සෙට්වෙයි. අනික ඌ මෙහෙට එන එක නම් ලෙඩක්. මෙහේ ගෑණිට කොල්ලෝ පෙන්නන්න බෑනේ. දැන් කාලේ ඉන්න උන් විශ්වාස කරන්න බෑ. කෝකටත් උඹ මේ ගැන අම්මාට කියලා හිටපන්. ”

“උඹ මේ මුහුද හත් ගව්වක් තියලා අමුඩ ගහනවානේ. ඇයි බං තාම අපි දෙන්නා අතර ලව් එකක් පටන් අරන් නෑනේ.”

“අනේ පලයන් යන්න උඹ ඌට කැමති නැද්ද? කියපං?”

“මට බයයි දීපිකා. ඔයා දන්නවානේ විජිත ගැන එයා මට ආදරේ කරන්න පටන් ගත්තෙත් ඔහොම තමයි. පස්සෙන් පහු මිනිහා කවුද කියලා තේරුම් ගත්තේ. එතකොට වෙන්න ඕනෑ හරිය වෙලා ඉවරයි.”   

“අනික උඹේ ඔය පහුගිය විස්තර කියන්න ගියේ මොකටද? දකින දකින කොල්ලන්ට එහෙම කියන්න යනවාද?”

“පිස්සුද බං? එහෙම කියන්න යනවාද? එත් අනේ මන්දා මොන හේතුවකටද දන්නේ නෑ එයත් එක්ක කතා කරද්දී මට එයා ගැන ඇතිවුනේ අමුතුම හැඟිමක්. ඒක හරියට මීට ඉස්සර අපි අතර දැන හැඳුනුම්කමක් තිබුණා වාගේ විශ්වාසයකුත් දැනුණා.” 

“දැන් මේ කොල්ලා උඹේ ෆුල් ස්ටෝරිය දන්නවානේ. කෝකටත් උඹ ඒ ගැන කියලා තිබුන එකත් හොඳයි. දැන් එයා උඹට ආදරේ කරන්නේ උඹ ගැන දැනගෙන නේ.”

“අනේ මන්දා දීපිකා එදා කොහොමින් කොහොම හරි මට මගේ ජීවිත කතාව එයාට කියවුනා. එයාත් මගේ විස්තර හාර හාර අවුස්සා ඇහැව්වා.”

“ඉස්සර කළා වගේ පිස්සු වැඩ කරන්නේ නැතිව උඹ මේ ගැන අම්මාට කියලා එයා ගේ අවසරය ඇතිව කරන දෙයක් කරපන්.” 

“ඒයි උඹලා මොකද කුටු කුටු ගාන්නේ? මොකද සතරකන්මන්ත්‍රණයක්ද?”

කාමරයට ප්‍රවිෂ්ට වූ අමාලි ඇසුවාය. දීපිකා තමන් කරමින් සිටි කතාව වෙනතකට හැරවීය. 

“ඇයි මොකද අපිට කතා කරන්න උඹෙන් අවසර ගන්න ඕනේද?” 

“හරි හරි උඹලා මටත් හංගපල්ලාකෝ. හැංගි හැංගි වෙස් මුහුණු බැන්ඳට නටන්න වෙන්නේ එළියේ හරිද?”

“අපි නටන නැටුමක් නටාගන්නම්කෝ උඹ අපේ කතාවලට මැද්දට පනින්නේ නැතිව හිටපන්.”   

නිරන්තරයෙන් අනුන්ගේ ඕපාදුප සොයන අමාලිට ඈනුම්පදයක් ලෙසින් කී විට කෝපයට පත්වූ ඈ පැදුරක් බිමට එලාගෙන එහි වැතිරුණි. 

“වරෙන් බං යන්න මොනා හරි රත් කරන් කාලා ඉන්න.”     

කාමරයෙන් එළියට බැස්ස දීපිකා කුස්සියට පිටත්වූවත් කෑමට පිරියක් නොතිබුනු ඉන්දිරා කාමරයේ රැඳුණි. ඈ පැඳුරක් බිමට එලා එහි වැතිරගත්තේ කොට්ටය තුරුළුකරගෙනය. බස් රථයේදි හමුවූ නාන්නාදුනන තරුණයා හා ගතකල ආස්වාදනීය හෝරා කිහිපයත් මතකයෙන් බොඳවයමින් තිබූ ඔහුගේ රූපකායත් සිහියට නඟා ගැනීමට අසීරු උත්සාහයක් ගත්තා ය. සුදු නැන්දාත් අම්මාත් මෙන්ම දීපිකාත් පවසන පරිදි තම තරුණ දිවිය අකාලයේ ගෙවීයන්නට නොදි දියණියගේ අනාගතය සුරක්ෂිත කරගැනුමට විවාහවීමට කාළය එළඹ ඇති බව සිතුණි. නිලන්තත් විජිත වැනි නාස්තිකාර රැවටිලිකාරයෙකු විය හැකි දැයි ඇයට අහේතුක බියක් දැනෙන්නට විය. විජිතට හසුව තම තාරුණ්‍යය විනාශකරගත්තායින් තම ජීවිතය මෙන්ම කුඩා දියණියගේ ජීවිතයද අඳුරුවී ඇති බවද ඇය සිතන්නට විය.    

“එයි ඉන්දිරා උඹ නිදිද? නැත්තනම් මනෝපාර ගහනවාද? වරෙන් කන්න.”     

 “කන්න බෑ බං බඩගිනි නෑ.”

“වරෙන්, වරෙන්. මම උඹටත් එක්ක පරිප්පු හොද්දක් හැදුවා.”

“ඔයා කන්න දීපිකා මට කන්න පිරියක් නෑ.”

“ඇයි උඹට දැන් ලව් සික්ද? මෙන්න මෙහේ වරෙන් මොන මඟුල් කරන්නත් කාලා බීලා ඉන්න ඕනේ.”

අකමැත්තෙන් පැඳුරෙන් නැගී සිටි ඉන්දිරා ඈලීමෑලී කඩමින් කුස්සියට පා නැගීය.  


“දැන්වත් අර කොල්ලාට ලියුමක් ලියලා දාපං නැත්නම් ඌ උඹව හොයාගෙන මෙහෙට එයි. ඉක්මනට ලියන්න ගනිං අර ඕපාදුපේ අමාලි එන්න කලියෙන්.”

පසුදින හවස බෝඩිමට පැමිණි ඉන්දිරාට ළා රෝස පැහැති ලියුම් කඩදාසි කිහිපයක් දෙමින් දීපිකා කීවාය.

“කෝ අමාලි අද ඕෆ් හයටද?”

“ඔව්. මමයි ඒකිව අද හය වෙනකන් දාන්න කිව්වේ. ”  

“එහෙම කලබලේට ලියුම් ලියන්න පුළුවනිද?”   

“අනේ පලයන් යන්න. උඹලා ඉස්කෝලේ ඩෙස් එක අස්සේ දාගෙන ටීචර්ලාට හොරන් ලිව්වේ කතන්දර වෙන්න ඇති නේ?”

“මමද ඒවා කලේ? එහෙම කෙරුවේ උඹනේ. උඹ දන්නවානේ කලබලේට ලියුම් ලියන හැටි.”

“ඇයි දැන් පරණ සින් ඒවා අමතකද? අයෙත් ඉගෙන ගන්න ඕනේද? උඹට බැරිනම් මට දියන් මම ලියන්නම්. හැබැයි කොල්ලා මට සෙට්වුනොත් සොරි තමයි.”

“නෑ ඕනේ නෑ. මම ම ලියාගන්නම්. දැන් මට කරදර කරන්නේ නැතිව ගිහිල්ලා ඇඟ හෝදාගත්තානම් හොඳයි නේද?”

“හරි හරි මම යන්නම්. අරුන් එන්න කලියෙන් ඉවරකරපං.”

දීපිකා නාන කාමරයට ගිය පසු ඈ පොතක් හා පෑනක්ද ගෙන ලියුම් කඩදාසිත් සමඟින් බූරු ඇඳේහි හිදගත්තා ය. කොට්ටයක් ගෙන උකුලට තබාගත් ඉන්දිරා ඒමත පොතත් තබාගෙන කුමක් ලියන්නද සිතමින් රෝස මලක් මුද්‍රණය කර ඇති රෝස පැහැති ලියුම් කඩදාසිය දෙස මඳවේලාවක් බලා සිටියා ය. බෝඩිමේ හිමිකාරිය මෙහි සිටින බෝඩිම්කාරියන් පිරිමි ළමුන් හා සම්බන්ධකම් ඇති කර ගැනිමට විරුද්ධව ඉතා තදින් නීති දමා ඇති බැවින් කිසි විටකත් තමා මුණ ගැසීමට බෝඩිමට නොපැමිණෙන ලෙස ඉල්ලා සිටියා ය. මින් මතු බෝඩිමේ ලිපිනයට ලිපි නොඑවන ලෙසද ලියා වැඩපළේ ලිපිනයද සඳහන් කළා ය. දීපිකා නාන කාමරයෙන් එළියට එන්නත් ප්‍රථමයෙන් ලිපිය ලියා අවසන් කළ ඉන්දිරා කහ පැහැති මුද්දර කවරයේ නිලන්තගේ කොහුවල කඳවුරේ ලිපිනය ලියා තැබීය.

 “ඒයි ඉන්දිරා ලියලා ඉවරද?”

“ඔව්.”          

“මොනවාද ලිව්වේ?”

“පොඩි ලියුමක් විතරයි ලිව්වේ. එදා බත් එක මම නෙමෙයි ඉව්වේ. අනික මාව බලන්න මෙහෙට එන්න එපා කියලා එහෙම. ”  

“මෙහෙට එන්න එපා කියලා ලිව්ව එකනම් හොඳයි. එහෙනම් හෙට උදේම වැඩට යනින් ගමන් හන්දියේ ලියුම් පෙට්ටියට දාමු.”          


                                                      * * * * *


“ඉන්දිරා ඔයාට විසිටර් කෙනෙක් ඇවිල්ලා ඉන්නවාය කිව්වා සිකියුරිටි එකෙන්.”

පැකින් අංශයේ සුපවයිසර් කමලා මිස් පැමිණ ඉන්දිරාට පැවසීය. 

“කවුද මිස්? අම්මාද?”

“අම්මා නෙමෙයි. අයියා.”

“අයියා? මට අයියලා නෑනේ.”     

“මම දන්නේ කොහොමද ඉන්දිරා. ඔයාගේ අයියා කෙනෙක් කියලා තමයි සිකියුරිටි එකට කියලා තියෙන්නේ.” 

“අම්මට මුකුත් කරදරයක්ද දන්නේ නෑ.”  

“ඔච්චර කලබල වෙන්න එපා ළමයෝ. ගොඩක් ළමයින්ගේ අයියලා මෙහෙට එනවා. ඒත් ඇත්ත අයියලා නම් නෙමෙයි.”

කට කොණකට සරදම් සිනාවක් නඟාගත් කමලා මිස් පැවසුවා ය. 

“හා ගිහිල්ලා එනවා. හැබැයි ලව් ටෝක් දාගෙන ඉදලා මෙතනට එන්න පරක්කුවෙනවා නෙමෙයි. දන්නවානේ මෙතන ටාගට් කවර් කරන්න ඕනේ.”   

අමුත්තන්ගේ කාමරයට ඉන්දිරා යුහුසුලුව ඇවිදගියේ සිතේ ඇතිව ගිය කුතුහලය සමඟින්ය. ප්‍රධාන ගේට්ටුවේ සිකුරිටි කාමරයට ගොස් එහි සිටි ආරක්ෂක නියාමකවරයාට රපෝර්තු කළ ඕ හිමිහිට අමුත්තන්ගේ කාමරයට ඇතුල්විය. අමුත්තගේ කාමරයේ තරුණයින් කිහිපදෙනෙක් සිටි බැවින් ඈ යම් තිගැස්මක් ඇතිවතරුණයින් දෙස බැලුවා ය. කාමරයේ කෙළවරකට වෙන්නට අසුන්ගෙන හුන් කොල්ලන් දෙන්නෙකු ඔවුන් කරගෙන ආ කතාව මඳකට නවතා ඉන්දිරා දෙස නෙත් යොමු කරවීය. කෝප්‍රල් නිලන්ත ඔහුගේ ළගන්නා සුළු මදහස පාමින් අසුනින් නැගිට ඈ වෙත පැමිණෙන්නට විය. නොසිතුවිරූ ලෙසින් තමා හමුවන්නට පැමිණ සිටින තැනැත්තා දැක ඉන්දිරා පාෂාණිභූතවූවාක් මෙන් හිටිතැනම නතරවිය. සිය වේගවත්වූ හෘද ස්පන්දනය පිටතට ඇසේවිදැයි සැකයෙන් යුතුව නිරායාසයෙන් ඈට වටාපිටාව දෙස බැලින. අයාසයෙන් නගා ගත් මන්දස්මිතයක් ඇය ඔහුට පෑවා ය. 

“ඔයා?”

“මේ ළඟකට ආවා. ඔයාව මතක් උන නිසා මෙතැන්ටත් ඇවිල්ලා යන්න හිතුණා.” 

“යමු අයියේ අතනින් ඉඳගමු.”

ඉන්දිරා අසුනක් පෙන්වීය. ඔහු අත රැඳී තිබූ කුඩා ප්‍රමාණයේ බ්‍රවුන් පේපර් බෑගයක් ඇයට දිගු කරවීය. 

“ආ...ගන්න.”     

“මොකක්ද?”

“ගන්න කෝ.”

“එහෙම ගන්න පුළුවනිද නොදන්න දෙයක්.”

“දන්න කෙනෙක් නේ දෙන්නේ.”

 කුඩා පාර්සලය ඇගේ අත්ල මත තැබූ ඔහු ඇය පෙන්නූ අසුනක හිදගනිමින් පැවසීය. 

“අපේ අම්මා නම් කියන්නේ නොදන්න කෙනා විශ්වාස කළත් දන්න අයව විශ්වාස කරන්න එපා  කියලා.”

“එක නිසාද නොදන්න මාත් එක්ක එදා බස් එකේදී කතා කලේ.”

“මන් දන්නේ නෑ.”

“මොනවාද?” 

ඉන්දිරා නිහඬව තම අතරැඳි පාර්සලය එහාට මෙහාට පෙරළන්නට විය. ඇගේ එම ක්‍රියාව දෙස මඳ වේලාවක් නිහඬව බලා සිටි නිලන්ත,

“ඔයාගේ ලියුමට උත්තර ලියලා එකක් එව්වා ඔයාට ලැබුනේ නැද්ද?”

“අපේ බෝඩිමටද එව්වේ? එහෙනම් ඇන්ටි පරික්ෂාකරලා හොඳ නම් මට දෙයි.”

“කවුද එහෙට එවන්නේ. මම එව්වේ මෙහෙට.”

“තාම ලැබුනේ නෑ. ඔයා මේ කොහේ යනින් ගමන්ද මෙහෙට ආවේ?”

“කොහේවත් යන ගමන් නෙමෙයි. ඔයාගේ ලියුම බැලුවාට පස්සේ මට ඔයාව බලන්න එන්න හිතුණා ඉතිං මම ආවා.”

“ඔයත් මාර වැඩනේ කරන්නේ. ඔයාට වැඩ නැද්ද?”   

“අද හවස මැච් එකක් තියෙනවා ඒ නිසා උදේ වරුවේ ප්‍රැක්ටිස් කරලා ඉවරවෙලා තමයි ආවේ.”

“ඔයා සෙල්ලම් කරනවා විතරද? වෙන වැඩ නැද්ද?”

“අපි ඉන්නේ සෙල්ලම් කරන්නනේ. වෙන වැඩත් කරනවා. ඒක නෙමෙයි ඔයාට ඉරිදාට වැඩ නෑ නේද?”

“ඔව්. ඇයි?”

“මටත් නිවාඩුයි. බැරිද ඔයාත් එක්ක නිවාඩුවේ පොඞ්ඩක් කතා කරන්න.” 

“අපේ බෝඩිමට ඇවිල්ලාද? අපෝ එහෙට නම් එන්න එපා.”

“නෑ. අපි නිදහස් තැනකට ගිහිල්ලා කතා කරමු.”

“අපෝ බෑ අයියේ. මම කොහොමද බෝඩිමෙන් එන්නේ? බෝඩිමේ ඇන්ටි දැනගත්තොත් ඒක මට හරි නෑනේ.”                   

ඉන්දිරා දැල් කවුළුවෙන් ඉවත බලාගෙන කීවාය. 

“දැනගන්න කවුද එයාට කියන්නේ. ඔයාට ඇඳුම් වගයක් බලන්න යනවා කියලා එන්න බැරිද?”

“අයියාට දැන් පරක්කුවෙන්නේ නැද්ද?”     

“ඇයි යන්න කියන්නද හදන්නේ?”

“මට වැඩි වෙලා මෙතන ඉන්න බෑ. අපේ ටාගට් කවර් කරන්න තියෙනවා. මිස් ගෙන් බැනුම් අහන්නවෙයි.”

ඇය පුටුවෙන් නැගී සිටින ගමන් පැවසුවා ය. 

“ඉරිදාට ගල්කිස්ස හන්දියට උදේ නමයට විතර එන්න. ඔයා ආවේ නැත්නම් මම ඔයාව හොයාගෙන බෝඩිමට එනවා.”

“අපෝ බෝඩිමට නම් එන්න එපා.”

“එහෙනම් මම කිව්ව වේලාවට ගල්කිස්ස හන්දියේ ඉන්න.”

“අයියා යන්න මට දැන් යන්න වේලාව හරි.”

“පොඞ්ඩක් ඉන්න. ඔයාගෙන් වචනයක් නැතිව යන්නේ නෑ.”

නිලන්ත ඉන්දිරාගේ අතකින් අල්ලාගත්තායින් ඇය මඳකට නැවතුණි. ඔහුගේ ස්පර්ෂයෙන් විදුලි සැරයක් ඇඟපුරා දිවයනු ඉන්දිරාට දැනුණි.   

“අනේ සිකුරිටි එකේ අයත් බලන් ඇති. අත අතහරින්න.”

“බෑ. මම කිව්වානේ ස්ථිර වචනයක් නැතිව යන්නේ නෑ කියලා.”

ඔහු තම දඟකාර සිනහාව පාමින් අතේ ග්‍රහණය දැඩි කළේය.

“අනේ අයියේ අත අතහරින්න. මම ඉරිදාට එන්නම්.” 

ඇය බැගෑපත් ස්වරයකින් කීවා ය. ඔහුගේ අතේ ග්‍රහණය මඳක් ලිහිල්වෙද්දී අත මුදාගත් ඕ ක්ෂණිකව මේසය මතවූ පාර්සලය ගෙන අමුත්තන්ගේ කාමරයෙන් එළියට බැස්සා ය. 

“ඉරිදා උදේ නමයට එන්න. මම බලන් ඉන්නවා.” 

ඇයට පසුපසින් එළියට ආ නිලන්ත කීවේය. ඔහුට අතවැනූ ඉන්දිරා තම අංශයට දිව ගියා ය.


“ඇයි බං මට නිකම්වත් නොකිව්වේ අර කොල්ලා ඇවිල්ලා කියලා. ඉතිං යනින් ගමන් මට කියලා ගියා නම් මමත් විසිටර්ලාගේ රූම් එක පැත්තේ රවුමක් දාලා යනවානේ.” 

සවස වැඩ නිමවී බෝඩිමට පැමිණෙන අතරතුරේ නිලන්ත ගේ ආගමනය ඉන්දිරා සැළකිරීමෙන් පසුව දීපිකා කීවා ය.

“අපරාදේ බං මට කොල්ලාගේ මූණ පොඞ්ඩක් බලාගන්න තිබුණා.”

“හරි බං ටිකක් ඉවසපං.”

“ඉවසන්න කියන්නේ ආයේ කවදා එයිද කවුද දන්නේ?”

“හරි වැඩක්නේ මේක. මාව බලන්න ආව කොල්ලාව දකින්න ආස හිතිලා තියෙන්නේ වෙන කෙනෙකුටනේ.”

“මට ඕනවුනේ කොල්ලා උඹට ගැලපෙනවාද කියලා බලන්න.”

“ඉරිදාට බලන්න පුළුවනි.”

“ඉරිදාට එනවා කිව්වාද? කොහාටද? බෝඩිමටද?”

“පිස්සුද බං? බෝඩිමට කොහොමද කොල්ලෙක්ව ගෙන්නේ?”

“එක තමයි මාත් බැලුවේ. ගාමන්ට් එකට එන්නත් බෑනේ ඉරිදා නිවාඩුනේ.”

“එයාට මාත් එක්ක කතා කරන්න ඕනේලු. ඉරිදා උදේ නමයට ගල්කිස්ස හන්දියට එන්නයි කිව්වා.”

“ඉතිං උඹ හා කිව්වාද?”

“ඉරිදා ආවේ නැත්නම් බෝඩිමට හොයාගෙන එනවා කිව්වා. ඉතිං මම හා කිව්වා. උඹත් වරෙන් මාත් එක්ක.”

“පිස්සුද බං මට බෑ. උඹත් එක්ක ගිහින් මං මොනවා කරන්නද?”

“අනේ බෑ කියනනේ නැතිව වරෙන්. දැන් උඹ නේද මෙච්චරවෙලා මැරෙන්න හැදුවේ නිලන්තගේ මූණ බලාගන්න බැරිවූනා කියලා.”

“මම එන්නම්. ඒත් උඹලාට ඇණයක් වෙලා මට එතැන ඉන්න ඇහැකිද?”

“කවුද දන්නේ නිලන්ත අද ආවා වගේ යාළුවෙක් එක්ක ඇවිල්ලා ඉදියි ද දන්නේ නෑ. එතකොට උඹටත් හොඳයිනේ.”

“අනේ මේ මගෙන් මුකුත් අහගන්න එපා. මට කොල්ලෝ ඕනේ නෑ. මගේ පණ ගමේ ඉන්නවා කියලා උඹ දන්නවානේ.”

“උඹේ වැලි කෙළියේ සිටන් පෙම් කෙළිය මස්සිනා පොඞ්ඩනේ.”

“හා යමන් ඉක්මනට රෑට කන්න මොනවා හරි බේකරිහන්දියෙන් අරගෙන යන්න.”

                              බොහෝ සෙමින් කාළය ගතවී දින ගෙවීයන බව ඉන්දිරාට දැනුනේ ඉරිදා දිනය ලඟාවනතෙක් මඟබලාගෙන සිටි දින කිහිපයේදීය. පසුදින ඇඳගෙන යාම සඳහා සෙනසුරාදා දිනයේදි තම හොඳ ඇඳුම්වලින් එකක් තෝරාගෙන මැද අරන් තැබීය. සිල්ලන්ටත් හොරෙන් සැලසුම් කර ඉන්දිරාගේ අම්මා හමුවීමට යන බව පවසා ඔවුන් දෙදෙනා බෝඩිමෙන් පිටවුණි. බේකරිය හන්දියේ නවතා තිබුන බසයට ගොඩව ඔවුන් පසුපස අසුනක වාඩීගත්හ. බසය ගමන් ඇරඹීමට කෙසේවෙතත් ඇන්ජිමවත් පණ ගන්වා නොතිබූ එහි බොහෝ ආසන හිස්ව තිබුණි.  

“මේක ලෝඞ් වෙනකං යන්නේ නෑ. අපිට වෙලාවට යන්න පුළුවන් වෙයිද දන්නේ නෑ.”

“අපරාදේ තව පොඞ්ඩක් ඉස්සරවුනානම් ගිය බස් එක අල්ලගන්න තිබුනා.” 

“බලපං මේක නම් අද යන එකක් නෙමෙයි. ”

“අපිට තදියං උනාට උන්ට ගාණක් නෑ. පොඞ්ඩක් ඉවසන්න පුරුදු වෙයන්.”

තවත් විනාඩි ගණනාවකට පසුව බසය ගමන් ආරම්භ කළත් එය ඉදිරියට ධාවනයවූයේ ඉතා මන්දගාමි ලෙසිනි. නොවලිසිමත් වූ ඉන්දිරා අත් ඔරලෝසුව දෙසට කිහිපවරක් නෙත් යොමු කළා ය.  

“දැන් වේලාව නමයයි. මේක ගාටන ගෑටිල්ල කීයට ගල්කිස්ස හන්දියට යයිද මන්දා.”

“මේවායේ හැටි ඔහොම තමයි. පයින් ගියානම් දැන් අපි ගිහිල්ලා ගොඩාක් වෙලා. උඹ හැඩවෙන්න ගිය නිසයි ඉස්සරින් ගිය බස් එක අල්ල ගන්න බැරිවුණේ.”

“මමද පරක්කුවුනේ? කවුද දන්නේ නෑ කන්ණාඩිය බඳු අරගෙන හිටියේ. අනේ දීපිකා නිලන්ත ගිහිල්ලා ද දන්නේ නෑ.”

“ගිහිල්ලා නම් ගියාවේ. එයානේ උඹට එන්නයි කිව්වේ. තව ටිකක් වෙලා බලයි.”

“බලන් ඉදියිද. නැත්නම් ගිහිල්ලාද දන්නේ නෑ.”

“පොඞ්ඩක් හිටපං බං කුරුකුරු ගාන්නේ නැතිව. කොල්ලාව දකිනකම් ඉවසිල්ලක් නෑනේද? මට පෙන්නේ කොල්ලාව හිතට අල්ලලා වාගේ?”

“නෑ දීපිකා නිලන්ත කිව්ව දේ කරන ජාතියේ කොල්ලෙක්. මම එන්නේ නෑ කියලා හිතලා බෝඩිමට ගිහිල්ලා ද දන්නේ නෑ.” 

“ඒකනම් ප්‍රශ්නයක් තමයි. තව පොඞ්ඩ දුරයිනේ. දැන් ගාලුපාරට ළඟයි.”

මන්දගාමි ධාවනය නිසා බස්රථය ගල්කිස්ස හන්දිය වෙත ළඟාවෙද්දී උදේ නමය පසුව විනාඩි පහළොවක්  පමණ ගෙවී ගොස් තිබුණි. ගමනාන්තය වෙත ළඟා වෙද්දී ඉන්දිරා බසයේ කවුළුවෙන් එබී මුළු බස් නැවතුමේ අවට ප්‍රදේශය නිරික්ෂණය කළා ය.

“එයා නම් පේන්න නෑ දීපිකා. ගියාද දන්නේ නෑ.”

මෙතෙක් වෙලාවක් ඉන්දිරා වෙලාගෙන තිබූ ප්‍රබෝදය ක්ෂණිකව පහව ගොස් මැලැවුනු මුහුණින් යුතුව දීපිකාට කීවා ය. 

“උඹ දැන්ම අප්සෙට් ගහලානේ පොඞ්ඩක් ඉදින් බස් එකෙන් බැහැලා හොයලා බලනකං.”

බසයෙන් බිමට බට ඔවුන් අවට බැලුවත් නිලන්ත සිටින ඉසව්ව හොයාගත නොහැකි විය. එන්ජිම සැරදමා බස් නැවතුමෙන් ඉදිරියට ගත් බසය ගාලු පාර හරහට දමා හරවා ගත්තේ යළිත් පිටත්වීමට නියමිත බස් නැවතුම වෙත යන්නටය.

ඉන්දිරාට නිලන්ත හමුවෙයිද?...... මතුසම්බන්ධයි.......

මෙම නවකතාවේ වර්තමානයේ සිදුවන සිදුවිම් දේවල් කළු පාටින්  හා අතිතාවර්ජනා කොටස් නිල් පැහැයෙන් දක්වා ඇත.  

13 comments:

  1. අර ලියුමෙ නම් හමුදා සෙබළෙක්ගෙ ශෛලිය එහෙමපිටිම්ම තියෙනව.

    ඔය කිව්වට නිලන්ත බෝඩිමට යන එකක් නැ. පොඩ්ඩක් බලයි...

    ReplyDelete
    Replies
    1. //අර ලියුමෙ නම් හමුදා සෙබළෙක්ගෙ ශෛලිය එහෙමපිටිම්ම තියෙනව.//
      ඇත්ත. ඒ ලියුම ලිව්වේ හමුදා සෙබළෙක් තමයි.

      Delete
  2. කථාව රසවත්, දිගටම ලියන්න......

    ReplyDelete
  3. දිගටම ලියමු අයියා!
    ජය!

    ReplyDelete
  4. මෙන්න වැඩක් පටන් ගත්ත. බ්ලොග් තරගයක් ම නෙමේ. මගේ කතාව ලියාගෙන යන්න කට්ටියම. 1, 2, 3, 4, වශයෙන්. තමන් දාන්න මාතෘකාව.
    බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ රැයක් වෙනුවට මාසයක් - 1
    https://kolambagamaya.blogspot.com/2020/11/1.html

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

පළිගු කිරිල්ලී - විසි දෙවන කොටස

                    ඉරාකය විසින් කුවේටය ආක්‍රමනය කිරීමෙන් තමාලිගේ මැදපෙරදිග දෙඅවුරුදු සේවා කාලය නොසිතුවිරූ ලෙසින් මාස කිහිපයකට දීර්ඝ විය. ත...