Thursday, November 5, 2020

පළිගු කිරිල්ලී - දහහත්වන කොටස

පළිගු කිරිල්ලී - දහහත්වන කොටස


                                          බසයෙන් බිමට බට ඔවුන් අවට බැලුවත් නිලන්ත සිටින ඉසව්ව හොයාගත නොහැකි විය. එන්ජිම සැරදමා බස් නැවතුමෙන් ඉදිරියට ගත් බසය ගාලු පාර හරහට දමා හරවා ගත්තේ යළිත් පිටත්වීමට නියමිත බස් නැවතුම වෙත යන්නටය. බස් නැවතුමෙන් හරවාගෙන ආපසු ගමන් ගන්නා බේකරිහන්දිය බසය දෙස  ඈතින් වූ පහන් කණුවක් අසළ සිට බලා සිටිනා නිලන්තව ඉන්දිරා දුටුවේ ඉන් පසුවය. ඇගේ හේබාගිය වත යළිත් ප්‍රබෝධමත් විය.

“අන්න අරයා ඉන්නවා.”

“කෝ බං?”

“අර ලයිට් කණුවට එහායින් ගුරුපාට අත්දිග කමිසේ ඇඳලා.” 

දීපිකාට ඔහුව පෙන්වූ ඈ ඉක්මන් ගමනින් ඒ දෙසට ඇවිදයන්නට විය. ඉන්දිරා කී විස්තර අනුව තමාගේ මනසේ මැවුනු නිලන්තට වඩා ඔහු තරමක් කඩවසම් පුද්ගලයෙකු බැව් දීපිකාට පෙනුණි. ඔහුගේ වැඩුනු සිරුරට හිරට සිටින සේ ඇඳි කමිසය තේජාන්විත පෙනුමක් ගෙනවිත් තිබුණි. පිටත්ව යන බසය දෙස නෙත් යොමාගෙන හුන් නිලන්තට තමා දෙසට එමින් සිටින ඉන්දිරා දුටුවේ අහම්බයක් ලෙසිණි. කඩවූ බලාපොරොත්තු ඇතිව සිටි නිලන්තගේ වත කමල ක්ෂණිකව පිබිදුණි. ඇය එන පෙරමගට පියවර කිහිපයක් ඉදිරියට ගිය නිලන්ත තම ආකර්ෂණිය සිනහව ඉන්දිරාට පෑවේය.

 “මොකද පරක්කුවුනේ?”

“බස් එක පරක්කුවුනා. සොරි අයියේ.”

“මම හිතුවේ ඔයා එන එකක් නෑ කියලා.” 

“ඉතිං බෝඩිමට එන්නද හැදුවේ?”

“නෑ. ආවේ නැත්නම් මම ආපහු කෑම්ප් එකට යනවා. ඒ එන්නේ  නැත්තේ මට කැමති නැති නිසා කියලා මම තේරුම් ගන්නවා.”

කතාව අතරතුර නිලන්ත ඉන්දිරා පසු පසින් සිටින දීපිකා දෙස කිහිප සැරයක් ඔහුගේ නෙත් යොමු කරනවා ඉන්දිරා දුටුවා ය.

“කවුද අරයා ඔයාගේ යාළුවෙක්ද?”

“ආනේ මට අමතකවුනා ඔයාට කියන්න. මේ දීපිකා මගේ හොඳම යාළුවෙක්. අපි දෙන්නා එකට ඉස්කෝලේ ගියේ.”

“බලන්න යාළුවාට ඒ ටිකට අමතකවුනු හැටි.”

“ඒක තමයි මාත් මේ බලන් හිටියේ.”

“යමු මොනවා හරි කාලා බීම එකක් බොන්න.”

“අපිට බඩගිනි නෑ. අපි උදේට කාලා ආවේ.”

“ඔයාලට බඩගිනි නැතිවුනාට මට ඔයාලා එනකම් මෙතනට වෙලා හිටගෙන ඉදලා හොඳටම බඩගිනියි. අනික අපිට මෙතන බස් ස්ටැන්ඞ් මැද්දට වෙලා කතා කරන්න බෑ. යමු දීපිකා අපි මොනවා හරි බොමු.”

කුඩා හෝටලයක් වෙත ඔවුන්ව කැදවාගෙන ගිය නිලන්ත අයිනකට වන්නට වූ මේසයක අසුන්ගත්තේය.     

“ආ කන්න ඉන්දිරා.”

වේටර්වරයා විසින් රැගෙන ආ කෙටි ආහාර අඩංගු තැටිය ඉන්දිරා වෙත පිළිගැන්වූ ඔහු අසළ තිබුනු සෝස් බදුන ඇය අසළට ළංකරවීය. රෝල්ස්යක් පමණක් තෝරාගත් ඈ එය තම පීරිසිය මත තැබුවා ය. 

“ඔයා කන්න දීපිකා මෙයාට බඩගිනි නෑලුනේ.”

නිලන්ත ඉන්දිරා දෙස බලා තවත් එළවළු රොටියක් තැටියෙන් ගෙන සෝස් ටිකක් තවරමින් කීය.

“එහෙම නම් බඩපිරුනේ ඔයාව දැකලා වෙන්නැති.”

ලැජ්ජාවෙන් රතුවූ මුහුණ නොපෙනෙන්නට පහතට නැඹුරු කරගත් ඉන්දිරා පීරිසිය මත ඇති රෝල්සය අතටගෙන මුවට ළංකලා ය.

“මොනවාද බොන්නේ ඉන්දිරා?”

“මුකුත් එපා.”

“කූල් බීම හොඳයි නේද? දීපිකා නංගි මොකද කියන්නේ. නැත්තම් තේ ගෙන්න කියමුද?”

“නෑ. කූල් බීම හොඳයි. අද ඉන්දිරාට කන්නත් බෑ බොන්නත් බෑ.”

සිසිල් බීම පානයෙන් පසු ඔවුන් හෝටලයෙන් පිටවූ අතර තව දුරටත් ඉන්දිරා හා නිලන්ත සමඟින් එතැන රැඳිසිටීම නොමැනවැයි දීපිකාට වැටුහුණි. 

“දැන් මොකද කරන්නේ?”

“එක තමයි මමත් බැලුවේ.”

“එහෙනම් අපි යමු බිච් එකට.”

“මේ ඉන්දිරා මට දැන් තමයි මතක් වුණේ. අපේ චුටි නංගිට පොත් වගයක් අරගෙන එන්නයි කිව්වා. මට පොඞ්ඩක් නුගේගොඩ බුක්ෂොප් එකටත් යන්න ඕනේ. ඔයාලා කතා කර කර ඉන්න.”

“නෑ දීපිකා ඉන්න පොඞ්ඩක් මමත් එන්නම්.”

“පිස්සුද ඉන්දිරා මේ අයියා ඇවිල්ලා ඉන්නේ ඔයාව බලන්නනේ. මාත් එක්ක ඇවිල්ලා කොහොමද? නිලන්ත අයියාත් එක්ක ඉන්න මම ඉක්මනට එන්නම්.”

“ඔයා කොහොමද අපිව හොයාගන්නේ? ”

“මම අපේ නැන්දා කෙනෙක් ගේ ගෙදරක් තියෙනවා දෙහිවල එහෙටත් පොඞ්ඩක් ගිහිල්ලා එන්නම්. ඔයාලාට කතා කරගන්න පැය දෙකක් ඇතිනේ. එහෙනම් තව පැය දෙකකින් මෙතන බස් හොල්ට් එකට එන්න. මම මෙතන ඉන්නවා.”

දීපිකා ඔවුන් ගෙන් සමුගන්න අතරතුරේදී පැවසුවා ය.

“එහෙනම් අපි යමු.”

ත්‍රීරෝද රථයකට කතාකර එයට ගොඩවූ නිලන්ත ඉන්දිරාත් රැගෙන මුහුදු වෙරළ තීරයට අවතිර්ණ විය. රේල් පාරෙන් එහා පැත්තට පැමිණ පැලඳ සිටි පාවන් ගලවා සුරතට ගත් ඔවුන් වෙරළ තීරය දිගේ නිහඬව දෙහිවල දෙසට ඇවිද යන්නට විය.

“මොකද ඉන්දිරා ඔයා කතා නැත්තේ? දැන් මෙහෙම ඇවිදින්න ගියොත් අපි දෙන්නාට නතර වෙන්න වෙන්නේ ගොල්ෆේස් එකෙන්.”

“ඔයත් කතාවක් නැතිව ගිය හින්දයි මාත් කතා කලේ නැත්තේ? අපි ආපහු යමුද?”

“ඇයි මහන්සිද?”

“ඔව් මේ වැලි පොළවේ එරී එරී ඇවිදින්න අමාරුයි දැන් මගේ කකුල් රිදෙනවා.”

“එහෙනම් ඉඳගන්න පුළුවන් තැනක් බලලා ඉඳගමු.”

ඔවුන් ආපසු හැරී ගල්කිස්ස මහ හෝටලය දෙසට ගමන් කරන්නට විය. දුම්රිය මාර්ගය අසළ ගල් වැටියේ මතුව තිබූ මතුපිට සුමට ගලක් නිලන්ත පෙන්නුවේය.

“අන්න අතනින් ඉඳගමු.” 

ගල්වැටියේ තැනින් තැන පාට පාට කුඩවලින් ආවරණය කරගත් පෙම්වතුන් කිහිපදෙනෙකු අසුන් ගෙන සිටින අයුරු ඉන්දිරාගේ නෙතට අසුවිය. ඔවුන් විශාල කළුගල් මතින් පැන යමින් අසීරු ගමනකින් පසුව වාඩි ගත හැකි ලෙසින් පෙරලී තිබූ ගල්කුට්ටිය වෙත ලඟාවූහ. එහි මතු පිට රැඳී තිබූ වැලිකැට අතින් පිසදමමින් නිලන්ත ඉන්දිරා ඇමතීය.

“එන්න මෙතනින් වාඩිවෙන්න.”

ඉන්දිරා ඔහු අසලින් වාඩිවූවා ය. 

“තව ටිකකින් අව්ව සැරවෙයි. කෝ මෙහෙට දෙන්න ඔයාගේ කුඬේ. ”

ඔහු කුඩය දිගහැර ටිකෙන් ටික සැරවෙමින් පැවති හිරු රැසින් ආවරණය කරගත්තේය.  

“ඇයි කතා නැත්තේ? මට අකමැතිද?”

“නෑ එහෙම එකක් නෑ.”

“එහෙනම්?”

“මට තමා හිතාගන්න බෑ ඇයි ඔයා මං වාගේ ගෑනියෙක්ට කැමති වෙන්නේ කියලා.”

“දන්නේ නෑ ඉන්දිරා මට ඔයාව හරියට පෙර ආත්මයකදි අඳුරන් හිටපු කෙනෙක් වාගේ.”

“එත් මට ඔයාට කැමතිවෙලා ඔයාගේ ජීවිතේ අඳුරේ දාන්න බෑ අයියේ.”

ඔහු ගැඹුරු හුස්මක් ගන්නා හඬ ඇයගේ දෙසවන්වලට මුහුදු සුළඟ පරදා ඇසුණි. ගල්වැටියේ මුහුදු රළ වැඳී නගන හෝ හඬ අභිබවමින් නිලන්තගේ හඬ නැගී ආවේය. 

“මම මගේ ජීවිතේ ගෙවුනු හැටි දන්නවා. දැනටත් මම ඉන්නේ අඳුරේ, මම හිතන්නේ ඔයාට පුළුවන් වෙයි ඒක එළිය කරන්න.”

අඩු වයසින්ම නිෂ්ඵලත්වයට පත්කර ගත් තම තරුණ දිවිය දැනටත් පවතින්නේ අඳුරේ බව ආදරය පතා ආ නිලන්ත නොදන්නවා නොවේදැයි ඇගේ සිත මුරගාන්නට විය. තමන්ද අඳුරේ සිට වෙනකුගේ දිවිය ආලෝකමත් කරන්නේ කෙසේදැයි ඇය තමාගෙන්ම ප්‍රශ්න කරගත්තා ය. නොදැනීම ඉන්දිරා තම අත රැඳී තිබූ ළා කොළ පැහැති අත් ලේන්සුව අනෙක් අතින් පොඩිකරවන්නට විය. ඇගේ උකුල මත ලේන්සුව සමඟින් දඟ කරනා දෑත ඔහුගේ සුරතින් වලක්වාලීය. තම දිගැටි ඇඟිලි හා නිලන්තගේ ඇඟිලි හා තදින් වෙලීයනු ඇයට දැනුනි. ඔහු තම සුරත ඇගේ උකුල්තලයේ තිබෙන්නට ඉඩහැර ඇඟිලිතුඩු සෙමින් සෙමින්  පිරිමදින්ට විය. 

“කොහොමද අයියේ මම ඔයාගේ ජීවිතයට එළියක් දෙන්නේ? ඔයා ගොඩාක් හොඳ කෙනෙක්. මට පිනක් නෑ අයියේ ඔයාව ළංකරගන්න. මට මගේ කියලා ජීවිතයත් තිබුනේ නෑ. මම ගොඩාක් දුක්වින්දා මම අදටත් ජීවත්වෙන්නේ අර නොදරුවා නිසා. ඒ නිසා තවත් කෙනෙකු අමාරුවේ දාන්න මට බෑ.”

ඉන්දිරා තම දෑස් තෙත් කරවාලමින් වැඟිරෙන්නටවූ කඳුළු පිසදාගන්නට ඔහුගෙන් අත මුදාගන්නට තැත් නොකළා ය. හින් හඬින් ඉකි බිඳිනා ඉන්දිරාගේ පිටුපසින් අතක් යැවූ නිලන්ත ඇගේ හිස තම උරහිස මත රඳවාගත්තේය. බොඳවූ නෙත් අගින් වැගිරෙන කඳුළු පිසදා ගැනීමට නිලන්තගෙන් අත මුදාගත් ඈ ලේන්සුවෙන් කඳුළු පිසදාගත්තා ය. ඇයට තම දුක පිටාරගලා යන්නට ඉඩහල නිලන්ත තම උරය මත රුවාගෙන හුන් ඇගේ හිසහි කෙස් අතරින් දෑඟිලි යවා පිරිමදින්ට විය. නිලන්තගේ උරය මත හිස තබාගෙන ඉකි බිඳිමින් සිටි ඉන්දිරා ඔහුගෙන් ලද උණුසුමින් ප්‍රකෘර්තියට පත්විය. එහෙයින් ඔහුගේ උණුසුමින් මිඳී උරයේ රැඳී තිබූ තම හිස ඉවතට ගන්නට ලෝබ සිතුණි. මඳ වේලාවකින් තම නළල් තලය ඔහුගේ උණුසුම් සුසුම් පොදකින් ස්පර්ෂ වනවා ඉන්දිරාට දැනුණි. ඈ සෙමින් තම හිස ඔසවද්දී නිලන්ත ගේ දෙතොල නළල්තලය මතට ප්‍රවිෂ්ඨ විය. තම දෙනෙත් යළිත් පියාගත්තේ ඉන් ලබන්නාවූ සමහන් සුවය විඳදරා ගනිමිනි. එම ක්‍රියාවෙන් ලත් උත්තේජනයෙන් ඔහුගේ දෙතොල් නළල්තලය පසුකරමින් ඇගේ සුරත් ඵලය සොයමින් ඇඳී එන්නට විය. තම දෙතොලට මැදිකරගත් ඇගේ සුරත් ඵලය රසමසවුලක්සේ රස විදින්නට නිලන්තට ඇවසිවීය.

“මහත්තයා කුරුම්බා ගෙඩියක් බොමුද?”

ගල්වැටියට උඩින් ඇසුණු කටහඬකින් තිගැස්සී ගිය ඉන්දිරා ඉක්මනින් නිලන්තගෙන් ඉවතට හැරුණි. කුඩයෙන් ආවරණය නොවූ ඉදිරියට ආ කිලිටි සරමක් ඇඳි පුද්ගලයෙක් සිය අත රැඳි ගොබොළු ගෙඩි කිහිපයක් ඔවුන්ට පෙන්වන්නට විය. අව්වට පිලිස්සි කළු ගැසුණු මුහුණක් සහිත කෙසැඟි මිනිහා යටගිලිගොස් තිබූ දෑසින් ඉන්දිරා දෙස කෑදර බැල්මක් හෙලීය. නිලන්තගේ නුරුස්සනාසුළු බැල්ම ඔහු වෙත යොමුවූවත් එය ගණනකට නොගත් හෙතෙම ඔවුන් දෙස බලාසිටින්නට විය.

“එපා.”

“එපා කියන්න එපා සර්. මේ මිස්ටත් තිබහා ඇතිනේ.”

“තමුසේ කොහොමද දන්නේ මෙයාට තිබහයි කියලා? කුරුම්බා එපා.”

“සර් කුරුම්බා ගෙඩියක් අරන් පොඩි සපෝට් එකක් දෙන්න සර්.”

“කීයද ගෙඩියක්?”

“එකක් පනහයි දෙකටම හැත්තෑ පහක් දෙන්න.”

“තමුසෙට පිස්සුද මේ ළා කුරුම්බා ඇට්ටියට රුපියල් පනහකට විකුණන්න? කඬේ තැඹිලි ගෙඩියකුත් රුපියල් විස්සක් වෙන්නේ නෑ.”

“සර්ලා ළඟට මේ අව්වේ ගල් උඩින් පැන පැන ඇවිල්ලා දෙන්නේ කවුද? හා කමක් නෑ දෙකටම රුපියල් හැත්තැවක් දෙන්න.”

ඔහු කුරුම්බා ගෙඩිය කපන්නට පටන්ගති.

“එපා. එපා. ඕක අරන් යනවා අපිට එපා.”

“අපිත් බොහොම අමාරුවෙන් තමයි සර් ජීවත්වෙන්නේ. දෙන්නත් එක්කම බොන්න එක ගෙඩියක් වත් ගන්න.”

“මම කිව්වානේ එපා කියලා.”

“අපි තමයි සර් මේ ඒරියා එක පිරිසිදුව තියාගන්නේ. දන්නැද්ද සර් මේවායේ රෑට එක එකා බීලා බෝතල් සිගරට්කොට මදිවට කබරයාත් දාලා යන්නේ. අපි නැත්නම් සර්ලා මේ මිස්ලා කොහේද මේවායේ ලව් කරන්නේ.”

“අනේ අයියේ ඔන්න ඔය ගෙඩිය අරගෙන ඔය මනුස්සයාව යවමු.”

“මේ ඔයා කටවහගෙන ඉන්න.”

කෝපයෙන් පසුවූ නිලන්ත මඳවේලාවක් මුහුද දෙස බලා සිටියේ කරදරකාර කුරුම්බා වෙළෙන්දා පිටව යයි සිතු බැවිණි. එහෙත් ඔහු තම නෙත් තමන් දෙසටම යොමුකරවාගෙන සිටිනවා දැක තවත් නොසන්සුන් විය.

“අයිසේ තමුසේ තාම ගියේ නැද්ද? මම කිව්වානේ එපා කියලා.”

“එහෙම කියන්න එපා සර්, මේ කපාපු ගෙඩිය මම කාට විකුණන්නද?මේකට රුපියල් තිහක් වත් දෙන්න.”

“මම තමුසෙට කිව්වාද කපන්න කියලා? මේ යනවා යන්න.”

කෝපයෙන් සලිතව ගිය නිලන්ත අසුන්ගෙන සිටි ගලමතින් නැගී සිටින්නට උත්සාහ කරද්දී ඉන්දිරා ඔහුගේ අතින් අල්ලා නවත්වාලීය. ඇය තම අත්බෑගයෙන් ගත් රුපියල් පනහේ නෝට්ටුවක් වෙළෙන්දාට දිගු කළා ය.

“ආ මෙන්න. මේකත් අරන් යන්න.”

“මිස්ට බොහෝම පිං. ආ මිස් මේ කුරුම්බා ගෙඩිය.”

“එපා ඕක අරන් යන්න.”

“නෑ මිස්ගේ හිත හොඳයි මේ මහත්තයාට ලැබිලා තියෙන්නේ කරුණාවන්ත නෝනා කෙනෙක්. තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ. අනේ මිස් මාගාව ඉතුරු දෙන්න මාරු නෑ මම මේක මාරුකරන් ඉතුරු අරන් එන්නම්.”

කී ඔහු රුපියල් පනහේ නෝට්ටුව තම කමිස සාක්කුවට දමාගත් සැනෙන් ගල්වැටි උඩින් පනිමින් පිටත් විය.

“ඔයා මොකටද ඌට සල්ලි දුන්නේ? තව ටිකක් හිටියානම් ඒකා මගෙන් ගුටිකනවා.”

“එක නිසයි මම ඉක්මනින් ඒ මිනිහාව පිටත් කළේ. මොකටද ඔය මිනිස්සු එක්කලා රණ්ඩුවට යන්නේ.”

“ඔය හොර යක්කු මට පෙන්න බෑ. කෝ බලන්න කෝ ඔය මිනිහා ඔයාගේ ඉතුරු සල්ලි ගෙනවිත් දෙයිද කියලා.”

“කමක් නෑ අපි කුරුම්බා ගෙඩියක් අරගත්තානේ.”

“ඕක කුරුම්බයක්ද? ඔය ගොබොලක් නේ. ඕවායේ වතුර නෑ.”

ඉන්දිරා කුරුම්බයට මුව තබා බොන්නට උත්සාහ කළා ය. එහෙත් නිලන්ත කී දේ සනාථ කරමින් එහි එක උඟුරකට වඩා වතුර තිබුනේ නැත.

“ඇත්ත තමයි. එක උඟුරක් විතර වතුර තිබුණා.”

“එකනේ මම කිව්වේ. ඔයාව රැවැට්ටුවා.”

“ඔයා කොහොම දන්නේ මේකේ වතුර නෑ කියලා.”

“මම ඉපදුනේ මාරවිල. අපේ පැත්තේ නැත්නම් ලංකාවේ කොහේද පොල්?”

“මම ඒ පැත්තේ ගිහිල්ලාම නෑ.”

“වෙලාවක යමුකෝ පෙන්නන්න. කෝ තාම අර කපටියා ආවේ නෑ. ඌ මාරුවෙලා වගේ ඔයාගේ සල්ලිත් අරන්.”

“කමක් නෑ අයියේ ඔයා රණ්ඩුවට පැටලෙන්නේ නැතිව. අපි දන්නේ නෑ මේ පැත්තේ හැටි.”

“එහෙම කොහොමද?”

“ඔන්න ආයෙත් තරහා ගියා. අපි ඒක අමතක කරලා වෙනින් දෙයක් ගැන කතා කරමු.”

“එදා ඇවිල්ලා හිටපු යාළුවා කවුද?”

“එයාද? එයා ප්‍රසාද්. මගේ සහායට ඉන්න කෙනෙක්.”

“ඇත්තද? ඔයාට සහායට කට්ටියකුත් ඉන්නවාද?”

“නැතුව. කොහොමද තනි මම ගොඩාක් අයව පාලනය කරන්නේ? ඒක නෙමෙයි එදා ප්‍රසාද් ඔයා දිහා ගොඩාක් වෙලා බලාගෙන ඉදලා.”

“ඒ මොකටද?”

“එයා කියනවා මට ගැළැපෙනම කෙනා හමුවෙලා තියෙනවාලු. ඔයයි මමයි හොඳටම මැච්වෙනවාලු. අනික ඔයා හරිම ලස්සනයි කියලා අපේ කොල්ලන්ටත් කියලා.”

“අනේ බොරු නොකියා යන්න.”

“නෑ ඇත්ත. ඒක නෙමෙයි එදා මම දුන්න චොකලට් එක කෑවද?” 

“නෑ.”

“ඇයි?”

“මම ඒක අරන් තිබ්බා.”

“ඒ මොකටද මාව මතක් වෙන්නද?”

“ගෙදර යනකොට ගෙනිහිල්ලා දුවට දෙන්න. එයා හරිම ආසයි චොකලට් වලට.”

“ඔයා ඒක කන්න. මම ඔයාට වෙනින් එකක් අරන් දෙන්නම් එයාට දෙන්න.”

“මට තාම හිතාගන්න බෑ ඔයා මට ළංවෙන්නේ ඇයි කියලා. මං ළමයෙක් ඉන්න ගෑණියෙක්.”

“ඔයාගේ දුව මගේම දරුවෙක් කියලා මට පුළුවන් හිතන්න.”

“ඒවුනාට ඔයාගේ ගෙවල් වලින් කැමතිවෙයිද? අන්තිමේදී මට තමයි ඔයාව දැලේ දාගත්ත වල් ගෑණි කියලා අහන්න වෙන්නේ.”

“ඔයාට එහෙම කතාවක් අහන්න ඉඩ තියන්නේ නෑ.”

“අපේ අම්මා දැන ගත්තෝතිං හරිම ප්‍රශ්නයක් වෙන්නේ. එයා ඉස්සරටත් වැඩියෙන් මං ගැන හොයලා බලනවා.”

“ඉතිං ඒක හොඳයි නේ. කෝකටත් මම ඔයාගේ අම්මාව බලන්න යන්න ඕනේ. ඔයා බයවෙන්න එපා. කෙරෙන දෙයක් කරන්නේ අපි අතරේ තියෙන සම්බන්දය ගෙවල්වලට කියලා තමයි.”

ඔහුගේ වදන් ඇයට අදහාගත නොහැකි විය. ඉන්දිරාට ඔහු පිළිබඳව ඇතිවූයේ විශාල ගෞරවයකි. 

“දැන්වත් මාව විශ්වාස නැද්ද? කෝ මෙහේට හැරෙන්න.”

කී නිලන්ත ඇගේ වත තමා වෙත ඇද ගත්තේ යළිත් වරක් පෙම් මදිරා රස බලන්නටය. දෙතොල් එකිනෙක පැටලි අනුරාගයේ තෘප්තිය සොයා යන්නට විය. 

පැය දෙකත් ගෙවී ගියේ ඔවුන් දෙනොටම නොදැනීමය. වළාකුලෙන් වැසී තිබූ අහස එකවරම නිරාවරණය වූවායෙන් තද හිරු රැස් වළල්ලක් ඔවුන් රැඳීහුන් පෙදෙසට වැටුණි. දීපිකාගේ පැය දෙකක කාල සීමාව ඉන්දිරාට මතක්වූයේ එවිටය. 

“අයියේ දැන් වේලාව හරි ඇති නේද? අපි යමුද?”

නිලන්ත ඉක්මනින් තම අත්ඔරලෝසුව දෙස බැලීය.

“හරි වැඬේ දැන් එකලොහාමාරත් පැනලා. යාලුවා හන්දියේ බලාගෙන ඇති.”

“මට බැනුම් අහන්නත් වෙයිද දන්නේ නෑ.”

“පරක්කුවුනේ ඔයා නිසා කියනවා.”

“මම නිසා?”

“ඔව් ඔයා තමයි මගේ බෙල්ල බදාගෙන ගලෙන් පහළට වැටෙයි කියලා හිටියේ.”

ඔහු ඇයට අනුරාගී බැල්මක් හෙලමින් පැවසීය

“අනේ මේ යන්න. කවුද දන්නේ නෑ බෙල්ල බදාගත්තේ.”

ඇය නිලන්තගේ බාහුවක් කෙනිත්තුවා ය. මසින් පිරුණු බාහුව කොනිත්තන්නට ඇයට පහසුවූයේ නැත.

“ඌයි. මේ නියපෙතුවල උල්. යමු යමු තවත් පරක්කුවෙන්නේ නැතිව.”

“පොඞ්ඩක් ඉන්න. මෙහෙම යන්න පුළුවනි ද? කොණ්ඬේ පීරගෙන යමු.”

ඉන්දිරා තම අත්බෑගයෙන්  කුඩා පනාවක් ගෙන මුහුදු සුළඟින් අවූල්වුන කෙස් කළඹ මනා ලෙස පීරා සකසාගත්තාය. 

“ආ මෙන්න. කොණ්ඬේ පීරා ගන්නේ නැද්ද?”

“එපා ඕනේ නෑ, මගේ කොණ්ඬේ අවුල් වෙන්නේ නෑ”

ඔහු තම කොටට කපා තිබූ කොණ්ඩය පිටුපසට ඇඟිලි තුඩුවලින් සකසමින් පැවසීය. නිලන්ත ඔවුන් අසුන්ගෙන සිටි ගල්වැුටියේ ඉහළ ගල් කුට්ටියකට ගොඩවී ඉන්දිරා එයට ගොඩවීමට අත අත දිගුකළේය. ඔහුගේ අතේ එල්ලී එයට ගොඩවූ ඉන්දිරා රේල් පාරට පිවිසුනේ ඉන් අනතුරුවය. 

“දැන්නම් පරක්කුයි අයියේ අපි ත්‍රීවිල් එකක් වත් අරගෙන යමුද?”

තවත් පෙම්වතුන් යුවලක් මුහුදු වෙරළට රැගෙන ආ ත්‍රීරෝද රථයක් හමුවූයෙන් එයට නැගී ගල්කිස්ස හන්දියට එනවිටත් දහවල් දොළහට ආසන්නව තිබුණි. බස් නැවතුම්පලේ අයිනකට වන්නට කුඩයක් ඉහලාගෙන පාර දෙස බලා සිටිනා දීපිකාගේ රුව ඉන්දිරාගේ නෙත ගැටිණ.

“සොරි දීපිකා අපි පොඞ්ඩක් පරක්කුවුනා.”

“හොඳ පොඞ්ඩ මම දැන් පැය භාගයක් විතර මෙතන. මට හිතුනා දෙන්නාටම අමතක වෙලා වද්ද කියලා.”

“කොහේද දීපිකා ඉන්දිරා කිව්වා තව ටිකක් වෙලා ඉදිමු කියලා. ඒත් මමයි කිව්වේ දීපිකා මග බලන් ඉන්නවා ඇතියි කියලා.”

“මම හිතුවේ තව ටිකක් වෙලා බලන් ඉදලා පොලීසියට යන්න.”

“ඇයි ඒ?”

“දෙන්නා එක්ක පැනලා ගිහිල්ලා නම් ඇන්ටි්‍රයක් දාන්න.”

“හමුදාවේ කොල්ලෝ පැනලා යන්නේ නෑ. යනවා නම් උස්සාගෙන යනවා. නේද ඉන්දිරා? ”

“හරි හරි අපි දන්නවා ඔයාලා එඩිතර වීර රණවිරු කොල්ලෝ කියලා. දැන් තවත් මෙතන ඉන්න බෑ මගේ කකුල් දෙකත් රිදෙනවා හිටගෙන ඉදලා. දැන්වත් යමුද ඉන්දිරා?”

“පොඞ්ඩක් ඉන්න.”

කී නිලන්ත අසළ කඩයකට දිවගොස් චොකලට් පැකට් දෙකක් රැගෙනවිත් ඉන්දිරාගේ අතට පත්කලේය.

“ආ මේක ඉන්දිරාගේ දුවට. මේක අපි වෙනුවෙන් මෙතන පරිප්පු කාපු දීපිකාට.”

“බොහෝම ස්තුතියි අයියේ. ඒත් ඊළඟ සැරේ නම් ඔයාලගේ පරිප්පු කන්න මම එන්නේ නෑ.”

“කමක් නෑ. ඊළඟ සැරේ මම කොහොමත් ඔයාව ගෙන්නගන්නේ නෑ.”

“දැන් පොඞ්ඩකට ඉස්සරයි බේකරිහන්දිය බස් එක මෙතනින් හරවලා ගියේ. ඉක්මනට හොල්ට් එකට ගියොත් ඒක ලෝඞ් වෙලා යන්න කලියෙන් නැගගන්න පුළුවනි.”

“යමු මමත් බස් හොල්ට් එකට එන්නම්.”

ඔහු ඉන්දිරා හා දීපිකා කැටුව ටෙම්පල්ස් පාරේ බස් නැවතුමට ගියේය. 

ඒ වන විටත් ආසන සියල්ල පිරීගොස් මගින් කිහිපදෙනෙකු බසයේ හිටගෙන සිටියහ. බස් රථයේ එන්ජිම කිහිප සැරයක් සැර දැමුවේ බසයට ගොඩනොවී බස් නැවතුමේ සිටින කිහිපදෙනාට එයට ගොඩවීමට අවස්ථාව හරියැයි කියන්නාක් මෙනි. 

“යන්නයි හදන්නේ. ”

“එහෙනම් පරිස්සමට යන්න.”

මෙතෙක් වේලාවක් බසයට  නොනැග පාරේ සිටි එකා දෙන්නා නැගගන්නට සැරසෙද්දී ඉන්දිරා හා දීපිකාද සෙනග අතරන් රිංගා බසයට ගොඩවූහ. කවුළුවක් අසළ නතරවූ ඉන්දිරා බසයේ පිටත හුන් නිලන්ත දෙස බලාසිටියේ සමුදීමට නොහැකිවය. තව ටික වේලාවක් ඔහු හා රැඳීමට හැකිවූවානම් මැනවයි ඇගේ සිත මුරගාන්නට විය. බසය සෙමින් සෙමින් නවතා තිබූ ස්ථානයෙන් පාරට හරවා පිටත්ව යෑමට සැරසෙද්දී ඇගේ සිත වියෝ වේදනාවෙන් සලිතවන්නට වූනි. ඈට ඔහු මඟ දමා යාමේ ලෝබකමක් දැනුණාය. එන්ජිම කෑගස්සවාලමින් බසය පිටත්වයද්දී ඉන්දිරා දෙස නෙතු පියන් නොවසා බලා සිටිනා නිලන්තගේ රුව දීපිකාටත් පෙනුණි. බසය ඈතට ඇඳී යද්දී නිලන්ත ආපසු හැරී පිටත් විය. 

“මොකද මනෝ පාර ගහන්.”

“නෑ නිකං.”

“මොකද දුක හිතුනාද දාලා එන්න?”

“පිස්සුද බං.”

“මෙනවාද නිලන්ත කිව්වේ?”

“මෙතන කියන්න පුළුවනිද? බස් එකෙන් බැස්සාම කියන්නම්.”

බසය ගමනාන්තයවූ බේකරිය හන්දියට එනතෙක් දීපිකා පසුවූයේ නොවසිල්ලෙනි. බෝඩිමට ගමන් කරනා අතරතුරේදී ඉන්දිරාගෙන් සියලු විස්තර හාර හාරා අසන්නට විය.

“උඹත් හරි කෙනා තමයි මාව දාල හිමිහිට මාරුවූණා.”

“උඹලා දෙන්නාට ඇණයක් වෙලා මට එතැනට වෙලා ඉන්න ඇහැකිද?”

“පොත් අරගත්තාද?”

“මොන පොත්ද? මම බොරුවට කටට ආපූ දෙයක් කිව්වේ.”

දීපිකා එකවරම නැවතී ඉන්දිරාගේ මුහුණ දෙස බැලුවාය.

“ඇයි මොකද මගේ මුණ දිහා කන්න වගේ බලන්නේ?”

“කෙල්ලට නිකං ඉන්න දීලා නෑ වගේ.”

“මොනවාද?”

“මොකද මේ මුණ තඩිස්සිවෙලා. තොල් දෙකත් රතුවෙලා?”

“අනේ පලයන් බං යන්න.”

ඉන්දිරා ලැජ්ජාවෙන් බිම බලාගෙන කීවාය.

“නිලන්ත මොනවාද කිව්වේ.”

ඉන්දිරා ඔහු හා කළ කතාබහ සියල්ල දීපිකාට කීවාය. 

“මෙයා කපටියෙක් නම් අම්මට කියලා අවසර ගන්න ඕනේ කියලා කියන්නේ නෑ. මෙයා නම් වෙනස් කොල්ලෙක් බවනම් පේනවා. ”

“එකනේ මම කිව්වේ නිලන්ත අවංක කෙනෙක් කියලා.”

“එහෙම එක පාරටම කියන්න බෑ. දැන් උඹ ඉස්කෝලේ යනකොට නේද කිව්වේ විජිත හරිම හොඳ කොල්ලෙක් කියලා? මිනිහාගේ ඇත්ත තත්වය දැනගත්තේ දරුවා ලැබුනාටත් පස්සේ නේද?”

“ඒක නම් ඇත්ත තමයි.”

“එක පාරටම මිනිස්සු විශ්වාස කරන්න යන්න එපා. ඔයාගේ තත්වය දැනගත්තාම ගොඩක් උන් බලන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නයි. එයා ගේ විස්තර මුකුත් ඔයාට කියලා තියෙනවාද?”

“ටිකක් විතර කිව්වා.”

“දැන් නිලන්ත කසාද බැඳපු කෙනෙක් නොවේ නම් එයාගේ ගෙදරින් ළමයෙක් ඉන්න ගෑණියෙක් කසාද බැඳගන්නවාට කැමති වෙයිද? ඇයි ඉන්දිරා ඔයා ඒ ගැන කිව්වේ නැද්ද? ඔයා නිලන්තගේ විස්තර අහලා බලන්න.”

“එයාගේ ගොඩක් දේවල් කියන්න තියෙනවා කිව්වා ඒත් එයාට ඒවා කියන්න බැරිවුණා. අර කරදරකාර තැඹිලිකාරයා ඇවිල්ලා එතැන වදයක් වූනානේ.”

“ඉතිං ඔයා අහගත්තේවත් නැද්ද?”

“මම ඇහැව්වා වෙනිං වෙලාවක නිස්කලංකේ කියන්නම් කිව්වේ.”

“කවද්ද නිලන්ත ආයෙත් එනවා කිව්වේ?”

“එයාට ලබන ඉරිදාට එන්න බැරිවෙයිලු. එදාට මැච් එකක් තියෙන නිසා. ඊළඟ සුමානේ අනිවාර්්‍යයෙන්ම එනවා කිව්වා.”

“එදාට නම් එයාගේ විස්තර දැනගන්න. මොකද තව දුරටත් ඔය කොල්ලා එක්ක ආශ්‍රය කරනවාද කියලා තිරණය කරන්න වෙන්නේ එයාගේ ගෙදර තත්වය දැනගෙන නේද?” 

“එයාට අම්මා බලන්නත් ඕනේ කිව්වා.”

“ඒක හොඳයි නිලන්තව එක්කන් ගිහින් අම්මාට අඳුන්වලා දීපන්. හැබැයි ඔන්න මට නම් බෑ උඹේ පාළු කපන්න යන්න.”

“උඹව ඕනේ නෑ.”

“අන්න බලපං කොල්ලා සෙට්වුනා විතරයි උදව්වට ආපු යාළුවාවත් අමතක උනා.”

දීපිකා ඉන්දිරාගේ පිටට පහරක් දී බෝඩිම තිබූ නිවෙස්කඩට ඇතුළුවූවා ය. නිලන්තගේ ළගන්නාසුළු සිනහවත් පෞරුෂත්වයෙන් යුතු වාග් මාලාවත් ඇගේ සිතේ තැම්පත්ව තිබුණි.  වියෝ වේදනාවෙන් දැවෙමින් ආ ඉන්දිරාට ඇවැසිවූයේ ඉක්මනින් ඇඳසිටි ඇඳුම් ගලවා දමා වෙනින් ඇඳුමකට මාරුවී ඔහු හා ගතකල අස්වාදනීය පැය දෙකක කාලය යළිත් මතකයට නගා ගනිමින් තනිවන්නටය. එදින ලඳ උත්තේජනයන්ගෙන් විකසිතවී ගිය ඈ නොසිතූවිරු ලෙස උද්යෝගයකින් යුතුව වැඩපල කළා ය. උදාසීන හා ඔතෑනි ලෙස ගෙවීගිය ඉන්දිරාගේ ජිවය සිදුනු ජීවිතයේ අඳුරු සෙවනැලි ඉවතලා නව ජීවයක් ලබන්නට සැරසීම ගැන දීපිකා සුබවාදී ඇසකින් බැලුවා ය.

“ඔයා දැන්වත් අම්මාට කිව්වාද නිලන්ත ගැන”

දෙදිනකට පසුව දීපිකා විමසුවාය. 

“තාම නෑ.”

“ඔයාගේ අම්මා ඔයා ගැන කොච්චර වදවෙනවාද? ඇයි ඉන්දිරා ඔයා නිලන්ත ගැන නොකීවේ?”

“මට එකපාරටම එයා ගැන කියන්න බෑ. ඔයා දන්නවානේ මම නිලන්තගේ වැඩි විස්තරයක් දන්නේ නෑ කියලා.”

“ඒවූනාට අම්මාට නොකියා ඉන්න එක හරි නෑ නේද?”

“ඔව් මම දන්නවා. එත් මොකද කරන්නේ. මම අම්මාට නිලන්ත ගැන කිව්වාම එයා නිලන්ත ගැන, එයාගේ පවුලේ විස්තර අනිවාර්්‍යයෙන්ම අහනවා. මට උත්තර දීගන්න බැරිවුනොත්. මට හොඳටම බැනලා එයා නිලන්තට අකමැතිවේවි.”

“ඔයා නිලන්තට මේ ගැන දන්වලා ලියුමක් දාන්න. ඉස්සෙල්ලා අම්මාට කියන්නේ නැතිව එයාව මුණගැහෙන්න යන්න බෑ කියලා.”

“මමත් ඒ ගැන හිතලයි තිබුනේ. අදම ලියුමක් දාන්න ඕනේ.”

දීපිකාගේ උපදෙස් මත යුහුසුලුව ලිපියක් ලියූ ඉන්දිරා නිලන්තට ඈ මුහුණපාසිටින ප්‍රශ්න ගැන සැකෙවින් ලියුවා ය. ඔහු ගැන වැඩිමනන් විස්තර නොදැන අම්මාට පවසන්නේ කෙසේදැයි ඈ ඔහුගෙන් ප්‍රශ්න කර සිටියා ය. 


“ඉන්දිරා ඔයාට කෝල් එකක් ඇවිල්ලා ”

“කාගෙන්ද මිස්?”

“අයියාගෙන් කිව්වා.”

කමලා මිස් සමච්චල සිනාවක් පෑවාය. ඉක්මනින් අසුනින් නැගිටගත් ඈ තම අංශයේ පාලන කාමරයේ දුරකථනය වෙත ඇවිද ගියා ය. 

“හෙ.  . . . හෙලෝ”

“හෙලෝ, ඔය ඉන්දිරාද?”

“ඔ. . ඔව්. . ඉන්දිරා තමයි කතා කරන්නේ.”

“ඉන්දිරා මම නිලන්ත.”

“ඇයි අයියේ හදිසියේ?”

“ඊයේ මට ඔයාගේ ලියුම ලැබුණා. මේ සුමානේ අන්තිමට මට එන්න වෙන එකක් නෑ. හදිසියේ අපිව වෙනින් කෑම්ප් එකකට මාරුකරන කතාවක් තියෙනවා. කොහේ කෑම්ප් එකකට මාරුකරයිද දන්නේ නෑ. ඒක නිසා ඔයා මේ කෑම්ප් එකට ආයේ ලියුම් එවන්න එපා.”

“එතකොට කොහොමද ලියුමක් එවන්නේ?”

“මම ඒ කෑම්ප් එකේ ඇඞ්රස් එක ලියලා එවන්නම්. ඒක නෙමෙයි හෙට ඔයාට වැඩද?”

“ඔව්. ඇයි අයියේ?”

“නිවාඩුවක් දාන්න බැරිද?”

“නිවාඩුවක්?”

“ඔව් නිවාඩුවක්. මට හෙට නිවාඩුයි. අපි මෙහෙන් යන්න ඉස්සර අන්තිම වතාවට හරි ඔයාව බලලා යන්න  පුළුවනිද කියලායි ඇහැව්වේ.”

“නිවාඩුවක් නම් හෙට දාන්න වෙන්නේ ලෙඩ නිවාඩු තමයි.”

“හරි මොකක් හරි කමක් නෑ. හෙට උදේට අපි එදා වාගේම හන්දියේදි මුණ ගැහෙමු.”

“බලමු අයියේ. හෙට නිවාඩු දෙයිද දන්නේ නෑ.”

“කොහොම හරි නිවාඩු අරගන්න.”

“බලමු.”

“එහෙනම් ඔයා එනවා නේද? ඔන්න උදේ නමය වෙනකොට අනිවාර්යෙන්ම හන්දියේ ඉන්න. මම බලන් ඉන්නවා. එහෙනම් මම තියන්නම්.”

කී නිලන්තගේ ඇමතුම විසන්ධිවූයේ ඉන්දිරාට කිසිවක් කියන්නටවත් කාලයක් ඉතිරි නොකරමින්ය.

හෙට දිනයේ නිවාඩු ගත් හැකි වූවත් බෝඩිමේ අනෙක් අයට කියන්න දෙයක් ඇය සිතාගත නොහැකි විය. උභතෝකෝටිකත්වයට පත්වූ ඇය මැහුම් අංශයට ගියේ දීපිකාට එය සැලකිරීමටය. තම වැඩය නවත්වා අංශයෙන් එළියට ආ දීපිකා විමතියෙන් යුතුව ඈ දෙස බැලුවා ය. 

“නිලන්ත කොල් එකක් දුන්නා.”

“ඇයි?”

“එයාලව මාරු කරලා. ඒ නිසා ලබන ඉරිදාට එන්න බැරිවෙයිලු. හෙට පුළුවන්ද කියලා අහනවා එයාව මුණගැහෙන්න.”

“ඉතිං හා කිව්වාද?”

“මම බලන්නම් කිව්වා.”

“මෝඩි. සික් ලීව් එකක් දාලා ගිහිල්ලා හම්බවෙයන්.”

“කොහොමද මම බෝඩිමෙන් පැනගන්නේ.” 

“අම්මාට සනීප නෑ එයාව බලන්න යනවා කියපං.”

“මට බයයි බං.”

“අනේ මේ ඉස්සර විජිත මුණගැහෙන්න ගියේ නැද්ද ඉස්කෝලේ කට් කරලා? එතකොට බයවුනේ නැද්ද? හැබැයි මට නම් එන්න බෑ. මිස් බලන් ඉන්නවා. මම යනවා.”

දීපිකා යලිත් තම අංශයට පිටත්වූවා ය. 

සිතේ දෙගඩියාවෙන් යුතුව පසුදාවනතෙක්  ඈ ගත කළේ ඉතා අපහසුවෙනි. නියමිත වේලාවට ගල්කිස්ස හන්දිය වෙත පැමිණි ඈ නිලන්ත එනතෙක් මඳක් බස් නැවතුමේ රැඳී සිටියා ය. ඇඟට හිරවෙනසේ තද කොළපාටැති ටිෂර්ටයකින් සැරසුන නිලන්ත ඉන්දිරා දෙසට ඇවිද ආවේ ගාලු පාර එහා පැත්තේ සිටය.  

“මම පරක්කුවුනාද?”

“පරක්කුයි තමයි. මම මෙතන හිටියේ පපුව ගැහිගැහි.”

“පොඞ්ඩක් ඉන්න.”

කී නිලන්ත බස් නැවතුමට එහායින් නවතා තිබූ ත්‍රීරෝද රථයක් වෙත ඇවිද ගියේය. රියදුරාගෙන් යමක් විමසා සිටි ඔහු කතාව අතරතුරේදී හිස ඔසවා ඉන්දිරා දෙස බැලීමටද අමතක නොකළේය. කඩිනමින් පණ ගන්වා ඉදිරියට ගත් ත්‍රීරෝද රථයේ නැගගත් නිලන්ත ඇය ඉදිරියේ එය නවතාලීය.

“නගින්න.”

ඉන්දිරා ප්‍රශ්නාර්ථයක් මුහුණට නගාගනිමින් ඔහු දෙස බලා සිටියා ය.

“නගින්න. ඉක්මන් කරන්න.”  

කිසිවක් සිතා ගැනිමටත් වේලාවක් නොතබා නිලන්ත අඬගසද්දී ඉබේටම වාගේ ඇයත් ත්‍රීරෝද රථයට ගොඩවිය. ඉන්දිරාට හිඳ ගැනිමට ඉඩ සලසා අසුනේ මුල්ලට වූ නිලන්ත ඇගේ සුරත තදින් අල්ලා ගත්තේය. එසැනින් ඉගිල්ලුනු ත්‍රීරෝද රිය ගාලු පාර ඔස්සේ දෙහිවල දෙසට හැල්ලේමේ දිවයන්නට පටන්ගති.

“අපි මේ කොහේද යන්නේ?”

“ඉන්න පොඞ්ඩක්.”

ගාලු පාරෙන් වම්පැත්තට හරවන ලද ත්‍රීරෝද රිය අතුරු මාර්ගයක් ඔස්සේ ධාවනය කරන්නට විය. යන දිහාවක් සිතාගත නොහැකිවූ ඈ පාර දෙස බලා සිටියා ය. උස් තාප්පයකින් වට සුවිසල් නිවසක ගේට්ටුවෙන් රිය ඇතුළු කරද්දී තාප්පයට උඩින් සවිකර තිබූ "සී මිස්ට් රෙස්ට් " නාමපුවරුව ඇගේ නෙත ගැටුණි. පෝටිකෝව යට නතර කෙරු ත්‍රීරෝද රියෙන් එළියට බට නිලන්ත රියදුරාට පසුම්බියෙන් ගත් රුපියල් පනහේ නොට්ටුවක් දිගුකළේ ඇය රිය ඇතුළේ සිටියදීමය. 

“කෝ බහින්න.”

නිලන්ත රිය තුලට අත දමා ඉන්දිරාගේ අතින් අල්ලා එළියට එන්නැයි කතා කලේය. ත්‍රීරෝද රියෙන් එළියට බැස්ස ඉන්දිරා තමන් පැමිණි ඉසව්ව ගැන අවබෝධයක් ඇතිවුණි. ඈ වහාම ත්‍රීරෝද රියදුරාගෙන් තම මුහුණ වසන්කරගන්නට අසාර්ථක උත්සාහයක් දරන්නට විය. 

“සර් ආපහු යන වෙලාව කිව්වා නම් මට ඇවිල්ලා ඉන්න තිබුණා.”

“වෙලාවක් කියන්න බෑ. ඒ නිසා ඕනේ නෑ.”

නිලන්ත ඔහුට පිළිතුරුදි කඩිමුඩියේ ඉස්තෝප්පුවට එහායින් තිබූ රිසෙප්ෂන් මේසය වෙත ඇවිද යන්නට විය. රිසෙප්ෂන් මේසයේ සිටි තරුණයාට මුදල් ගෙවා ඔහු යළි ඉන්දිරා දෙසට ඇවිද ආවේය. 

“පොඞ්ඩක් නිස්කලංකේ ඉන්න කියාපු තැන නේද?” 

“සර් මෙහෙන් එන්න.”

පිළිතුරක් ලැබෙන්නටත් පෙර අවුරුදු දහඅටක පමණ පෙනුමක් ඇති ළාබාල ගැටවරයකු ඔවුන් අතරට පැමිණ නිලන්තට අඬ ගැසීය. 

“එන්න සර්.”

“යමු.”

නිලන්ත ඉන්දිරාගේ අතින් අල්ලාගෙන කොලුවා පිටුපසින් නිවසට තුළට පියමනින්නට වුණි. නිවසේ කාමර කිහිපයක් පසුකර ගොස් තරප්පුපෙලක් අසළට පැමිණි පසු “උඩ තට්ටුවේ සර්.” කී ඔහු තරප්පුපෙළ නගින්නට විය. ගොළුවන් සේ  මුනිවත රකිමින් ඔහු පිටු පසින් නිලන්තත්  ඉන්දිරාත් ගමන්කරන්නට විණි. ඉහල මාලයේ වසා තිබූ කාමර කිහිපයක් පසුකර ගොස්  අංක අට සඳහන් සුදුපාට ගෑ දොරක් ඉදිරිපිටට පැමිණ ඔහු අත තිබූ යතුරින් එය විවරකළේය. ඇතුලත විදුලි බුබුලු දල්වා නිලන්තට අතට දොරහි යතුරදුන් ගැටවරයා ආපසු යන්නට හැරුනි.

“සර්ලාට මොනවා හරි ඕනේවුනොත් බෙල් එක ගහන්න.” 

කොලුගැටයා ගිය පසු කාමරයේ දොර වසාදැමූ නිලන්ත විදුලි පංකාව ක්‍රියාත්මක කෙරුවේය. යුගල ඇඳක්ද තුවා දෙකක් දමන ලද ඇඳුම් රැක් එකක් හා කණ්නාඩි මේසයකින් සමන්විතවූ එම කාමරයේ එක් පසෙක කුඩා ප්‍රමාණයේ රුපවාහිනි යන්ත්‍රයක්ද සවිකර තිබුණි. කිසිදු රැල්ලක් ඇති නොවන ලෙසින් ඇඳ මත අතුරා තිබූ සුදු ඇතිරිල්ල දෙස මඳ වේලාවක් බලා සිටි ඈ කාමරයේ කෙළවරකට වන්නට තිබුණු කණ්නාඩි මේසය අසළට ගියා ය. කණ්නාඩියෙන් පෙනෙන තම ප්‍රතිබිම්බය දෙස බලා සිටිද්දී පිටුපසින් පැමිණි නිලන්ත ඇගේ උරහිස මතට තම දෑත තබා ඔහු වෙත නැඹුරු කරගත්තේය. මෙතෙක් වේලා ඇගේ උරහිසේ රැඳුනු හැන්ඞ් බෑගය ඉවත්කරවූ නිලන්ත එය කණ්නාඩි මේසය මත තබා ඉන්දිරාව සයනය මත වාඩිකරවාලීය. 

නිලන්තගේ විස්තර ඉන්දිරාට පවසයිද? මතුසම්බන්ධයි...............


මෙම නවකතාවේ වර්තමානයේ සිදුවන සිදුවිම් දේවල් කළු පාටින්  හා අතිතාවර්ජනා කොටස් නිල් පැහැයෙන් දක්වා ඇත.  

14 comments:

  1. චි චි හමුදාවේ මල්ලි...... වැඩේ කැතයි.......

    ReplyDelete
    Replies
    1. මෙව්වා සාංග්‍රාමික උපක්‍රම. සතුරු කදවුරක් ආක්‍රමණය කරනවා වෙන්නැති.

      Delete
  2. පවසයි ම කියල හිතෙනව...

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.... බොලයි මායි දන්න හමුදා උපක්‍රම.

      Delete
    2. ඔව්. කෑම්ප් එක මාරු කරනව කිව්වම හිතා ගත්තා

      Delete
  3. 'අය්යා' හරිම skillful නේද. ඔය ආමි එකේ කතාත් බොරුද කියලා මට හිතෙනවා.

    ඔබ ඉතා දක්ශ ලෙස ලියනවා චරිත ස්වභාවික විදිහට හසුරවමින්. මේක පොතක් කරන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. යෝජනාව හොදයි. පොතක් කරන්න බලාපොරොත්තුවක් ලබාදුන්නාට ආයෙත් සැරයක් ස්තුතියි.

      Delete
  4. ඉතිරියත් ඉක්මනින් ++++++++

    ReplyDelete
  5. අම්මෝ ඉතිරි කොටස ඒන්න කල් යන තරම්..
    කුමන්ත්‍රණයක් වෙනවද මන්ද පිටපත වෙනස් කරන්න..
    වැඩි සද්ද නැතිව හිටියට අපි පාඨක ජනතාව අවදියෙන් හරිය..

    ReplyDelete
    Replies

    1. අපිත් ලොක්ඩවුන් වෙනකොට හිතත් ලොක්ඩවුන් වෙනවා. හරි ඊළග කොටස ඉක්මනින් එනවා.

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

මෙන්න ඒ ගීත 10

ගියවර පොස්ටුවෙන් ඇහැව්වා සිංහල ගීත10 ක් පුළුවන්ද නම් කරන්න කියා. නමිනං උන්නැහැ ගීත දෙකක් ද කොළඹ ගමරාල අප්පුහාමි එක ගීතයක් ද හා වෘත්තාන්ත බ්ල...