Monday, March 8, 2021

හෝරස්ගේ දරුවා - දෙවන දිගහැරුම Son of Horus -2


පියසෝම එනතෙක් නිමාලිද පෙරමඟ බලා සිටියේ උදේවරුවේ සිට කළ කාවට්ටි බැඳී දුර්වර්ණ වූ බඳුන පිරිසිදු කිරීමේ කාර්යය පසුදිනට තබමිනි. පියරත්න මහතාගෙන් දැනගත් තොරතුරු ඇසූ නිමාලිද සතුටට පත්විය.

“ඒත් තාත්තේ තාත්තා කොහොමද තනියම වටිනා යමක් තිබුනොත් ගොඩට ගේන්නේ?”

“මමත් ඒක කල්පනා කළා. වෙන කරන්න දෙයකුත් නෑනේ කොහෝම හරි කරගන්න වෙනවා. මාව ඔය වැල්ල පැත්තේ කවුරුවත් සැකකරන්නේ නෑ. කොහොමත් මම කිමිඳෙන මිනිහා නිසා. ඒත් මම කල්පනා කළේ මගේ කිමිඳුම් කට්ටලය පරණ වැඩියි වැඩිවෙලා යට ඉන්ට බැහැ හොඳ කිමිඳුම් කට්ටලයක් වත් ගන්ට වෙයි වැඩිවෙලාවක් අල්ලලා ඉන්න පුලුවන් එකක් වෙන්න ඕනේ.”

“හොඳ කිමිඳුම් කට්ටලයක් මිලයි නේද?”

“ඔව් නමුත් ඔයවාගේ වැඩවලට කිමිඳුම් කට්ටලයක් විතරක් මදි. හරියට වැඩකරන්න තව උපකරණ අවශ්‍ය වෙනවා.”

“ඒ මොනවාද ඒ?”

“ඇයි මුහුදු පතුලේ තියෙන මඩ වැලි අයින්කරන්න සකර්. ඒවාගේම මුහුදු පතුල හොඳින් පෙනෙන්න ලයිට්. ඉතිං මං වාගේ මිනිහෙක්ට කොයින්ද ඕවා ගන්න සල්ලි?”

“අපි සල්ලි කොහෙන් හරි හොයාගත්තා කියමුකෝ ඒත් තාත්තේ ඔය කියන උපකරණ ලංකාවේ තියෙනවාද අපිට ගන්න? එහෙම ගන්න ගියොත් අපිව සැක කරන්න පුළුවන් නේද? මොකකටද මේවාගන්නේ කියලා.”

“ඒකනම් ඇත්ත දුවේ. මෙහෙ ඔය උපකරණ විකුණන්න නම් නැහැ. හැබැයි ඔය උපකරණ නියෝජිතයෝ මාර්ගයෙන් ගෙන්නගන්න පුළුවනි.”

“අපි ඔය උපකරණ වලට වියදම් කරලා පුරාවස්තු සෙව්වත් ඔය කියන රත්තරන් නැව නෙමෙයි නං හරි කවුරු හරි ඔය රත්තරන් ටික ගොඩට අරගෙන නම් අපි වියදම් කරපු සල්ලි අපරාදෙ වතුරෙ යනවා නේද?”

“මටත් ඒක කල්පනා වුණේ දැන් තමයි දුවේ. ඔය මුහුදේ පුරාවස්තු හොයන උදවිය ඔය වැඩවලට විශාල මුදලක් වියදම් කරනවා. සමහර වේලාවට ඒ මුදල් අපතේ යනවා. ඒක ඉතිං වෙලාව තමයි. හැබැයි මේ නැවේ රත්තරන් තියෙනවානං ඒවා හොයන උදවිය මේ නැව ගැන සෙවිල්ලෙන් ඉන්න පුළුවනි ඒ නිසා අපි ඉක්මන් වෙන එක හොඳයි නේද?”

“ඒක නං ඇත්ත තමයි. ඒත් තාත්තේ අපිට එච්චර වියදම් කරන්න පුළුවන් කමක්  නැහැනේ.” 

“ඒක තමයි මමත් කල්පනා කළේ.” 

“මට හොඳ අයිඩියා එකක් ආවා අපි හොඳ කිමිඳුම් කට්ටලයක් අරගනිමු කවුරු හරි ඇහැව්වොත් කියමු තිබුණ එක පරණ වැඩියි. ඒක නිසා අලුත් එකක් අරගත්තා කියලා එතකොට කවුරුවත් තාත්තාව සැක කරන්නෙත් නැහැ.” 

“ඔයාට නං එන්නේ පුදුම අයිඩියා තමයි. හරි අපි එහෙම කරමු ඒත් සල්ලි තමයි පරහට හිටින්නේ.” 

“අපි කොහොම හරි සල්ලි හොයාගනිමු. ඔය කිමිඳුම් කට්ටලයක් විතරක් තිබුණා කියලා තාත්තාට පුළුවන්ද ඔක්කෝම වැඩ කරන්න. අඩුම තරමේ මම කොල්ලෙක්වත් වුණානම් උදව්කරන්න තිබුණා.”

නිමාලිගේ එම වදන් ඊයම් බරු කිඳා බසින්නාක් මෙන් ගමන්කළේ පියසෝමගේ හදවත කඩාබිඳ දමමිනි. ඔහුට විශාල දුකක් සහ ආදරයක්ද නිමාලි කෙරහි උපන්නේය. දෑස්කෙවනි තුළට පිරුනු කඳුළු දැල්ල සඟවාගත් පියසෝම දුබල කටහඬින් නිමාලි ඇමතුවේය.

“නෑ දුවේ ඔයා දුක් වෙන්න එපා මට පුළුවනි. මම කොහොම හරි ඒක කරගන්නම්. මට හිතෙන්නේම මේ හම්බවුණේ ඔය රත්තරන්  අරගෙන ගිය නැව කියලාමයි.”

“අපේ පෙර වාසනාවක් තියේනං අපිට යමක් ලැබෙයි තාත්තේ.” 

“ඔව් ඒත් උත්සාහය අතහරින්න නරකයි. උඹේ අම්මා තමයි මාව පස්සට තල්ලුකරන්නේ.”

“එයා කියන දේවල් වලත් ඇත්තකුත් තියෙනවානේ තාත්තේ, අම්මා බය ඇති තාත්තා ආපහු රස්සාව නැතිකරගනියි කියලා.”

පියසෝම කථා නොකරම කමිසයේ බොත්තම් අරිමින් කාමරයට ගොස් සරමක් ඇඳගත්තේය.

විමලා ගෙනවිත් දුන් තේ කොප්පය ඉස්තෝප්පුවට වී තොලගාන්නට වු පියසෝම නිවස ඉදිරියෙන් වූ පාරේ සැන්දෑ කලුවර සමගම නිවෙස් වලට කඩිමුඩියේ දිවයන මිනිසුන් දෙස අරමුණකින් තොරව බලාසිටින්නට විය.  

ඔහුට විමලා මතක් කරදුන් අතීතයේ සිදුවීම් මාලාවක් චිත්‍රපටයක්සේ පෙනෙන්නට විය.

අවුරුදු ගණනාවකට පෙර පියසෝමගේ රැකියාව වූයේ ගාල්ලේ කර්මාන්ත ශාලාවක මැෂින් ඔපරේටර්වරයෙකු ලෙස සේවය කිරීමයි. පාසල් අධ්‍යාපනයට ආයුබෝවන් කී ඔහුට තම මාමා කෙනෙකු මාර්ගයෙන් කම්කරුවෙකු ලෙස රැකියාව ලබාගැනීමට හැකි වූ අතර ඉන් අවුරුදු ගණනාවකට පසු මැෂින් ඔපරේටර්වරයෙකු ලෙස සේවයේ උසස්වීමක්ද ලබාගැනීමට හැකි විය. ඒ වන විට කර්මාන්ත ශාලාවේ සේවකයින් අතර යම්කිසි ජනප්‍රියතාවයක් හිමිකරගෙන සිටි ඔහු කෙමෙන් කෙමෙන් වෘත්තිය සමිතියේ ලේකම් තනතුරද හිමිකරගත් අයුරු මතක්විය. පඩි වැඩිකරන ලෙස කළ ඉල්ලීම අවසානයේදී වැඩ වර්ජනයක් දක්වා දිග්ගැසීම එදා ඔවුන් දුටුවේ පාලකයින් කම්කරු ජනතාව සූරා කෑමක් හා ඔවුන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හෑල්ලුවකට ලක් කිරීමක් ලෙසින්ය. යළි වැඩට පැමිණ වැඩ අරඹන ලෙස පාලකයින් කරන ලද අවසන් දැන්වීමට අනුව වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය පාවාදී යළි සේවයට ගිය අයට හරිගියේය, උසස්වීම්ද ලැබීය. වැඩ වර්ජනය මෙහෙයවීම, රැකියාවට නොපැමිණීම හා කර්මාන්ත ශාලාවේ දේපළ වලට හානි සිදුකිරීම යන බොරු චෝදනාවල් නිසා රැකියාව අහිමිවයාම හා දින කිහිපයක් රිමාන්ඩ්වී සිටිමටවීමත් අවසානවූයේ අවුරුදු ගණනනාවක් ඇදුනු බොරු නඩුවක් ද පැටලීමෙනි. රැකියාවෙන් දොට්ට වැටුන පියසෝමට යළි කිසිදු රැකියාවක් සොයාගැනීමට නොහැකි වූයේ එම කර්මාන්ත ශාලාවේ ස්ට්‍රයික්කාරයින් රැකියාවලට නොගන්නැයි එහි පාලකයින් විසින් අනෙක් කර්මාන්ත ශාලා හා ආයතන වලට දැනුම් දී තිබීමෙන්ය. නිමාලිත් නදීකාත් කුඩා දරුවන්ව සිටි ඒ කාලයේ විමලා අනෝරා දුක් කටොළු වලට මුහුණ දුන්නාය.බොරු නඩුවට වියදම් කිරීමට පියසෝම ඉතිරිකරගත් මුදල්ද වියදම්වී නඩුව අවසානයේදී පියසෝම හා විමලා විසූ නිවසද පොලීකරුවන්ට සින්නවී ගියේ ඉතා කෙටිකලකිනි. විමලාටත් තම සහෝදරයාට මෙන්ම මහ ගෙදර අයිතියක් තිබීම නිසාවෙන් පාරට වැටුන පියසෝමගේ පවුල අවසානයේ එහි පදිංචි විය. විසිතුරු මසුන් අපනයනය කිරීමේ ව්‍යාපාරයක් කරමින් සිටි උපනන්ද මහතාව හඳුනාගැනීමෙන් පසුව පිහිනීමට හා කිමිඳීමට දක්ෂයෙකුවූ පියසෝමට තාවකාලිකව රැකියාවක් ලැබිණි. ඒ මුහුදේ කිමිඳී විසිතුරු මසුන් අල්ලා උපනන්ද මහතාට විකිණීමය. එමඟින් තම පවුලේ තිබූ ආර්ථික අපහසුතාවය මඳකට යටපත් කිරීමට හැකියාවක් ලැබිණි. දියණියන්ට කෑමටදී විමලා හා පියසෝම නොකා සිටි වාර ගණන අනන්ත විය. එය ඔහුට මතක්වී නෙතට කඳුලක් උපන්නේය. උපනන්ද මහතා මඟින් දැනට කරමින් සිටින කර්මාන්ත ශාලාවේ සිකුරිටි ගාඩ් කෙනෙකු ලෙස රැකියාවක් සොයා ගැනීමට පියසෝමට හැකිවූයේ රැකියාව නැතිවී අවුරුද්දකුත් හයමාසයක් පමණ ගතවූ පසුවය. සිකුරිටි රැකියාවෙන් ලද වැටුපෙන් යළි පෙර සිටි ආර්ථික තත්ත්වයට නැගීසිටීමට නොහැකිවූවත් පියසෝම දිගටම එහි රැඳීසිටියේ වෙනත් සුදුසු රැකියාවක් නොලැබීමත් මෙන්ම විසිතුරු මසුන් අල්ලා දීමෙන් අමතර අදායමක් ලැබීමත් හේතුවෙනි.

“ඔය නැවෙන් මොනවා හරි වටිනා වස්තුවක් ලැබුනොත් අපේ පවුලේ වාසනාව තමයි. විමලදාසට කීයක්හරි දීලා මුළු ගේම විමලාගේ නමට ලියාගන්න පුළුවන් වෙයි.”

ඔහු පුටුවට වී තම පපුවේ රෝම ඇඟිලි තුඩුවලින් අතගාමින් සිතුවේය. නුදුරු අනාගතයේදී තම දියණියන්ගේ ආවාහ විවාහ යුතුකම්ද ඉටුකිරීමට ඇතිබව මතක්වෙන වාරයක් පාසාම මුදල් නොමැතිව කුමක් කළයුතුදැයි ඔහුට සිතාගත නොහැකිවිය. තම නිවසේ පිටුපස පිළිකන්න දෙසින් බළලුන්ගේ පොරකෑමට කෑගැසීම් ශබ්දයක් පියසෝමට ඇසෙන්නට විය. ඔහු ඒ පිළිබඳව සැලකිල්ලක් නොදක්වා ඉදිරිපස දොර වසාදමා නිදාගැනීමට නිවස තුළට වැදගත්තේය.


    පසුදින උදේම අවදිවූ පියසෝම නිමාලිගෙන් බඳුන පිරිසිදු කිරීමේ වැඩකටයුතු විමසීය. 

“මම ටිකක් සුද්ද කළා තාත්තේ එකේ තදින්ම කාවට්ටි බැඳිලා. මම හිතන්නේ මේක හුඟාක් පරණ ඇති. අනික අපිට පුරාවිද්‍යාඥයින්ගේ වගේ තාක්ෂණය නැහැනේ මේක සුද්ද කරන්න. ඒක නිසා මේ වැඩේ කරන්න වෙන්නේ හිමිහිට තමයි.”

“කමක් නැහැ දුවේ හිමිහිට කරන්න ඕක පළුදු කරන්නේ නැතිව.”

“අම්මානං බනිනවා අපි මෝඩ වැඩකරනවා කියලා.”

“ඔය ගෑණි ඕන එකටයි එපා එකටයි දෙකටම කට දානවා. දන්න දෙයකුත් නැහැ. උඹ ඕවා ගණන් ගන්නේ නැතිව වැඩේ කරගෙන යන්න.”

කියා පියසෝම සරමේ ගැටය ලිහා යළි තදකරගත්තේ ඇතිවූ කේන්තිය මැඩගනිමිනි. එදිනත් පියසෝම වැඩට නොගිහින් වෙහෙසුනේ හොඳ කිමිඳුම් කට්ටලයක් මිලදී ගැනීම සඳහා මිලගණන් දැන ගැනීමටත් හා එයට අවැසි මුදල් සොයාගැනිමේ කාර්යයන් සඳහාය.

     මෙසේ දින කිහිපයක් ගෙවීයද්දී විමලදාසගෙන් මෙන්ම තම විසිතුරු මසුන් මිලදීගන්නා උපනන්ද මහතා ගෙන් ද සැලකිය යුතු මුදලක් අතමාරුවක් ලෙස ඉල්ලාගන්නට හැකිවිය. මේ අතරතුර ගිලුණු නැව අසල යළි යළිත් කිමිදී පරික්ෂාකර බැලීමද ඔහු විසින් සිදුකළේය. මේ අතරතුරේදි නිමාලි විසින් බඳුන පිරිසිදුකර අවසන් කළාය. අඟල් දොළහක් පමණ උස්වූ මෙම බඳුනේ විශේෂිත ගල් හෝ මැටි විශේෂයකින් නිමවා තිබුන බවක් ඈ දුටුවාය. එහි බඳෙහි විශේෂිත අක්ෂර කිහිපයක් කොටා තිබෙන බවක් පෙනෙන්නට වූ අතර එහි පියන යම්කිසි මුහුණක හැඩයක් ගන්නා බවක් ද නිමාලිට දැකගන්නට හැකිවිය. නමුත් එම බඳුන විශාල ලෙස ඛාදනයට ලක්ව තිබූ බැවින් එහි මුහුණද අක්ෂරද හරිහැටි හඳුනාගත නොහැකිවුණි. ඉතා තදින් වැසී තිබුණු පියන විශාල පරිශ්‍රමයක් යොදා නිමාලි හා පියසෝම විසින් විවර කරගත්තෝය. බඳුන තුළට ජලය කාන්දුවී තිබූ අතර එය තුළද කාවට්ටි බැඳි ගුලියක් ලෙස සැදී තිබින. දිරාපත්ව ගිය රෙදිකඩක් වැනි අවශේෂ වූ දෙයක් පමණක් හමුවූයේ ඔවුන් එම ගුලිය කඩා බැලිමේ දීය. වෙනත් වටිනා යමක් එහි දක්නට නොවීය. බලාපොරොත්තු කඩව ගිය පියසෝම හා නිමාලි දෙස විමලා හා නදීකා බැලුවේ අවඥාවෙනි. පියසෝම රැකියාවට නොයෑමට විරෝධය පලකරමින් සිටි විමලා තම පවුලට වින කිරීමට එක්වූ ව්‍යසනයක් ලෙස එම බඳුන හැඳින්වීය. යළිත් රැකියාව නැතිකරගෙන පවුලම පාරට බස්සන්න හදන්නේ යැයි කියමින් විමලා නිතර නිතර  පියසෝමට බැන වදින්නට වුනි. ආරම්භයේදි එලිපිට තම විරෝධය නොදැක්වූ ඇය පසුව මුහුණටම විරෝධය දැක්වීමට තරම් කෝප වූවාය. මේ අතර ඇගේ විරෝධය ගණන් නොගත් පියසෝම ණයට ඉල්ලා එකතු කර ගත් මුදලින් හොඳ වර්ගයේ කිමිඳුම් කට්ටලයක් මිලදී ගෙනාවේය. හොඳින් ඉරු එළිය වැටෙන දහවල් කාලයේදී පමණක් ගැඹුරු මුහුදේ පහළ පෙනෙන බැවින් දහවල් කාලයේ රැකියාවට නොගිහින් පූර්ණ කාලීනව කිමිඳීමට පියසෝම යොමුවිය. 

මේ අතර නිමාලි විසින් පිරිසිදු කර ගත් බඳුන නිවසේ අලංකාරයට තබනා ඇන්ටික් බඩුවක් ලෙසින් සාලයේ තැන්පත් කළාය. සවස් වරුවේ නිවසට පැමිණි පියසෝම නිමාලි විසින් සාලයේ තබා තිබූ බඳුන දැක නිමාලිට කතා කළේය.

“දුවේ මේක මෙතන තියෙන එක හරි නැහැ නේද?”

“ඇයි තාත්තෙ ඒකෙ වරදක් නැහැනේ.”

“මේක කවුරුහරි දැකලා ඇහුවොත් එහෙම.” 

“ඉතිං එහෙම ඇහුවත් අපි ඇත්තම කිව්වොත් විතරයි නේද තාත්තා මේ ගිලුණු නැවක පුරාවස්තු හොයනවා කියලා දැන ගන්නේ?“

“හරි මම දන්නවා ඔයා මේක කියන්නේ නැහැ කියලා ඒත් අම්මා හරි නංගි හරි කිව්වොත්.” 

“තාත්තා බය වෙන්න එපා ඒවා එයාලා කියන්නෙත් නැහැ කියන්න දෙන්නෙත් නැහැ.”

මේ අතර විමලාද මේ කතාබහ අතරට පැමිණ නිවසේ මුදල් අඩුපාඩු ප්‍රකාශ කළාය.

පියසෝම තම අතේ රැඳී තිබුනු අවසන් රුපියල් පන්සියය විමලා අතට පත් කළේ හෙට දිනයේ තම මෝටර්සයිකලයට පෙට්‍රල් ගැසීමට තබා තමාට කහට කෝප්පයක්වත් බීමට තරම්වත් සල්ලියක් අතේ තබා නොගෙනය.

“දුවේ නිමාලි උඹ ගාව සල්ලි කීයක් හරි ගන්න තියෙනවාද?”

“නැහැ තාත්තේ මං ගාව තිබ්බ සල්ලිවලින් තමයි ඊයේ සීනි පන්සීයක් අරගෙන ආවේ.”

“අද සයිකලේට පෙට්‍රල් ගහන්නවත් සල්ලි නැහැ. මං ඒ වගක් අම්මාට කීවේ නැහැ.”

“ඒක හොඳයි නැත්නම් අම්මා මටයි තාත්තාටයි දෙන්නාටම දෙහි කපයි.”

ඇය තමන්ගේ දෙකනේ තිබූ පුංචි කරාබු දෙක ගලවා පියසෝම අත තැබීය.

“මේක තියලා කීයක් හරි ගන්න.”

“එපා දුවේ ඕක කරන්න බැහැ. මම කාගෙන් හරි ඉල්ලාගන්නම්.”

“එපා තාත්තේ ඔයා දැන් හැමොටම ණයවෙලා ඉන්නේ ඒක නිසා මේක අරගෙන යන්න. පඩි අරගත්තාම බේරාගන්න පුළුවන්නේ. අනික ඉක්මනටම අපි විමලේ මාමාගේ සල්ලි ටික බේරමු එයා ළඟදි හොදටම බීලා අම්මා එක්ක තාත්තා එයාගෙන් සල්ලි ඉල්ලා ගත්ත කතාව කීවා.”

පියසෝම නොකැමැත්තෙන්වුවත් වෙන කරන්න දෙයක් නොමැති නිසාවෙන් නිමාලිගේ කරාබු දෙක උකස් කර මුදල් ලබාගත්තේය.

හවස්වරුවේ පියසෝම නිවසට ගොඩවදින තෙක් විමලා පාර දෙස නෙත් යොමාගෙන සිටියේ තරහින් පිපිරෙමිනි. විමලාගේ කෝපය ගැන කිසිත් නොදන්නා පියසෝම නිමාලිගේ කරාබු උකස් කර ලබාගත් මුදලින් නිවසේ කෑමට අවශ්‍ය කලමනා සුපුරුදු පරිදි රැගෙන නිවසට ගොඩවිය.

“ආ මනුස්සයෝ වැඩටයන්නේ නැතිව මොනවාද මේ කරන වැඩ?”

විමලාගේ ප්‍රශ්නයෙන් විපිලිසරව ගිය  පියසෝම ඇයි දැයි ඇසුවේය.

“ඇයි හුයි තමයි දැන් ළමයිගේ දේවල් විකුණගෙන කන්න හදනවාද? හොඳයි හොඳයි ඔහෝම ගිහින් තමුසේ ළමයින්වත් විකුණාගෙන කන්න හදයි.”

එළවළු මල්ල බිම අතහැරිය පියසෝම තරහින් විමලා දෙස බැලුවේය.

“මං මොනවාද විකුණාගෙන කෑවේ?”

“දන්නේම නැහැනේ දැන් තොත්ත බබා වෙනවා. මේ කෙල්ලගේ කරාබුදෙක ගලවාගෙන යන්න ලැජ්ජා නැතිද මනුස්සයෝ?”

“මේ ගෑනියේ බොරුවට කෑගහන්නේ නැතිව හිටපං. මම ගලවාගත්ත එකක් නැහැ නිමාලිමයි ඒක දුන්නේ.”

මේ අතරතුර විමලාගෙන් අතොරක් නැතිව බැනුම් අසා ඇඳටවී අඬමින් සිටි නිමාලි මේ කතාබහ ඇසී නැගිට අවුත් දෙදෙනා අතරට එක්විය.

“අම්මේ මම එක සැරයක් කීවානේ මං තමයි ඒක ගලවලා දුන්නේ කියලා, තාත්තා ඉල්ලන් ගියේ නැහැ.”

“මේ උඹ පැත්තකට වෙලා හිටපං අපේ කතා මැද්දට පනින්නේ නැතිව.”

විමලා නිමාලිව එලවා දැමුවාය.

“මේ කෙල්ල ගෙට වෙච්චවෙලාවේ ගෙදර සත පහක් වත් තිබුනේ නැහැ මගේ මාමාගෙන් ණයට සල්ලි ඉල්ලගෙනයි මේ කරාබු දෙක හැදුවේ. දැන් ඒකත් හෙට්ටිපොලේ. අනේ අම්මපා තමුසෙට ලැජ්ජාවක් නැති හැටි.” 

“ඕකට ඔච්චර කෑ කොස්සන් ගහන්නේ ඇයි ඕයි. මම ඊළඟ පඩියෙන් බේරාගන්නවානේ.”

“ආපෝයි අපෝයි තමුසේ ඕකම බේරාගනියි. දැන් තව ටික දොහකින් රස්සාවත් නැති කර ගනියි.” 

“ඈ යකෝ දවස් දෙකක් නොගියාම රස්සාව නැතිවෙන්නේ නැහැ.”

 පියසෝම පරල විය. 

“ඔව් ගියසැරේ වුණෙත් ඒකම තමයි. මහලොකුවට ගියා ස්ට්‍රයික් කරන්න. මං කියපුවා ඇහුවා නම් අපිට මෙහෙම වෙන්නේ නැහැ.” 

පියසෝමගේ යක්ෂයා ආරූඪ වූයේ පැරණි සිදුවිම් මතක් කරමින් ඇය ඔහුට පහර ගසන්නට වූ බැවිනි. ඔහු පැනපු සැනින් විමලාගේ කම්මුල හරහා වේගවත් අතුල් පහරක් එල්ල කළේය. 

“කටවහපං බැල්ලී.” 

“උඹට බැහැ මගේ කට වහන්න.” 

විමලාද පියසෝමගේ එල්ලීගෙන අවුත් අත මිට මොලවා උරහිස ප්‍රදේශයට එල්ල කළ පහරින් ඔහුගේ කේන්තිය ඉහවහා ගියේය. ඔහු ඇගේ පිට හරහා පහර කිහිපයක් ගැසුවේ විමලා මරහඬ නගද්දීය. මේ ගෝරිය මැදට පැන්න නදීකාද පියසෝමගෙ පහර කිහිපයකින් සංග්‍රහ ලැබීය. නිමාලි විසින් පියසෝමගේ දෑතින් අල්ලා මෙල්ලකර ගැනීමෙන් අනතුරුව පියසෝම තමාගේ කෝපය නිවාගැනීමට නිවසින් එළියට බැස ගියේය. 

“පලයන් යන්න උඹ තමයි තාත්තව නරක් කරන්නෙ.”

කියමින් විමලාගේ තඩිස්සි වී තිබූ කම්මුල අල්ලා බැලීමේ දී නිමාලිගේ අත ගසා දැම්මාය. නිමාලි විසින් පියසෝමගේ කිමිඳුම් වැඩවලට අනුබලදීම විමලා කිසිවිටෙකත් අනුමත නොකළාය. නිවසින් එළියට බට පියසෝම අරමුණකින් තොරව ඇවිදින්නට විය. ඔහු නොදැනුවත්වම ගාල්ල බස් නැවතුම්පල වෙත ඇවිද අවුත් සිටියෙන් අසල වූ වයින් ස්ටෝරුවක් වෙත ගොස් ගල් කාලක් හා තැම්බූ කඩල ගොටුවක්ද ගෙන ගාලු කොටුව දෙසට පියමං කළේය. කොටු බැම්ම මතට වී අරක්කු කාල උගුරට දෙකට හිස් කළ පියසෝම උගුර කට පිච්චීගෙන පහලට බසින අමු අරක්කු සැර අඩු කිරීමට කඩල අහුරක් ගිල දැමීය. විමලාට සිතින් බැන වදිමින් තම කේන්තිය අඩුවන තෙක් මුහුද දෙස බලා සිටි පියසෝම යළිත් නිවසට පැමිණියේ රෑ බෝවී බොහෝ වේලාවකට පසුවය. තමන්ගෙන් සිදුවූ වරද ගැන පසුතැවිලි වෙමින් බමන මතින් වැනි වැනි නිවසට ගොඩව ඉස්තොප්පුවේ පුටුවකට වැටුණු ඔහු යළිත් මේ ගිලුණු නැව ගැන කල්පනා කරන්නට විය. බළලුන්ගේ පොරකෑමේ සද්දය යළිත් ඔහුට ඇසෙන්නට වූයේ නිවසේ පිලිකන්න දෙසිනි. 

“චික් විතරක් මුංගේ මූසල සද්දේ.”

පියසෝම බළලුන් එලවා දැමීමට පිලිකන්න දෙසට පියනැගුවේය. කෙලින් කටින් සිටගත නොහැකිව වැනි වැනි හුන් ඔහුට බළලුන් සිටින දිශාවක් සොයාගැනීමට නොහැකි වුණි. පියසෝම චිප් චිප් යනුවෙන් කිහිප වරක් කෑගසා නිවසට වැදී දොර වසාගත්තේය. 

මේ අතර නිමාලිද සිටියේ තද බල සිත් තැවුලකින්ය. සංවේදි චරිතයක් වූ ඇය රාත්‍රී නිදිවර්ජිතව ගතකළේ අම්මා සහ තාත්තා අතර වු රණ්ඩුව ඇගේ සිතට තදින් බලපෑ නිසාවෙනි. තමාද අනියමින් හෝ මේ දබරයට දායක වී ඇතැයි ඇයගේ සිත ඇයට දොස් නැගුවාය. නිදිමත ළඟාවී නින්දයාගෙන එන විටදී බළලුන්ගේ පොරට වැටෙන්නට පෙර ඇසෙන මූසල කෑගැසීම් හඬ ඇගේ දෙසවනට ඇසෙන්නට වීමෙන් නින්ද කැඩී කිහිපවරක් අවදිවන්නට නිමාලිට එම රාත්‍රිය පුරාවට සිදුවිය. මැදියම පසුවී එළිවන්නට හෝරා කිහිපයකට පෙර ඇයට හොඳින් නින්ද ගියාය.


 පසුදින පියසෝම අවදිවූයේ නිමාලි තේ ගෙනැවිත් කතා කළ පසුය. ඔහු ඇඳේ සිටියදී නොනැගිටම බුරුල්වූ සරමේ ගැටය තදකර ගැට ගසා ගත්තේය. නිමාලි දුන් තේ කෝප්පය තොලගාන ගමන් ඔහුට පෙර දින සිදුවූ කලබගෑනිය සිහියට නැගුනි. විමලාට හෝ ගෙදර අයට හෝ මුහුණ දීමට අපහසු ගතියකින් පියසෝම පෙලෙන්නට විණි. තේ කෝප්පය ගෙනයාමට පැමිණි නිමාලි පියසෝම හා කතාවට වැටුනාය. 

“තාත්තා ඊයේ බීල නේද ගෙදර ආවේ. ඔය වැඩේට නම් පුරුදු වෙන්න එපා ඒකෙන් අපි තවත් අමාරුවෙ වැටෙන එක තමයි වෙන්නේ.” 

පියසෝම කරබාගෙන නිමාලිගේ කතාව අසා සිටියේය.

“අම්මා කැමති නැහැ ඔය වැඩේට නිවාඩු දාගෙන රස්සාවට නොගිහින් කරනවාට. එයා හිතන්නේ තාත්තාව රස්සාවෙන් අස්කරාවි කියලා.”

“ඒ ගැණිට පිස්සු දුවේ. එහෙම කොහොමද එයාල මාව අස්කරන්නේ මම සික් ලීව් දාලනේ ඉන්නෙ.” 

“මං හිතන්නේ තාත්තා මේ වැඩේ ටික දවසකට අතහැරලා ආපසු වැඩට ගියා නම් හොඳයි.” 

“පිස්සුද දුවේ මෙච්චර දේවල් කරලා අතහැරලා දාන්න දැනටමත් ඔය නැව ගැන කීදෙනෙක් නම් හොයනවද? අතට ආපු වාසනාවට පයින්ගහන්න බැහැ”

“ඉතිං මේක හොයන්න වෙන විදිහක් නැද්ද?”

“තියෙනවා මං ඊයේ රාත්තිරියේ කල්පනා කළෙත් ඕක තමයි.”

“ඒ මොකක්ද තාත්තේ.” 

“මං හෙට ඉදලා නයිට් ඩියුටි දාගන්නම්. එතකොට මට දවල්වරුවේ ඔය කිමිඳුම් වැඩේ කරතෑකි. මොකද හොඳට පතුල පෙනෙන්න දවල් ඉර මුදුන්වෙන්න ඕනේ.” 

“අදහස නම් හොදයි එත් රෑ වැඩ කරලා තාත්තාට පුළුවන්ද පහුවදාට කිමිඳුම් වැඩ කරන්න?”

“පුලුවනි, බැහැයි කියලා මේක අතහැරලා දාන්න පුළුවන් වැඩක් නොවෙයි දුවේ.”

“ඒක නොවෙයි තාත්තේ මෙච්චර දවස් කිමිඳිලාත් ඔය නැවෙන් වටිනා යමක් තවම ලැබුනේ නැද්ද?”

“මේකේ තිබිලා මට කැඩුනු වයින් බෝතල් පිඟන් කටු කෑලි වගයක් නම් දැනට හමුවුනා. ඒවා මම උඩට ගෙනාවේ නැහැ වැඩක් නැති නිසා. මේක ඔයාලා හිතන තරම් ලේසි පහසු දෙයක් නොවෙයි. මේ නැව ගිලිලා හුගාක් කල් නිසා මඩේ එරිලා තියෙන්නේ පාදා ගන්න ලේසි නැහැ. මට තියෙන්නේ මේ අත් දෙක විතරයිනේ. අපට කොයින්ද මේවාට හරියන උපකරණ.”

පියසෝම තම දෑත් පෙන්වා කනගාටුවෙන් පැවසුවේය.

ඒ කතාව ඇසු නිමාලිගේ හදවත කඩාවැටුනාක් මෙන් විය.

“තාත්තා දුක් වෙන්න එපා මං අම්මාට කියන්නම් තාත්තා නයිට් එකට වැඩට යනවා කියලා”

“මං කැමති නැහැ ඔය ගෑනිත් එක්ක කතා කරන්න, ඉස්සරවාගේ නැහැ. කතා කළොත් කටු අත්ත වාගේ රණ්ඩුවකට පැටලෙන්න තමයි එන්නේ.” 

“ආ තාත්තේ මට අමතක වුණා අපි ඉක්මනටම විමලේ මාමාගේ සල්ලි ටික ගෙවලා දාමු. දැන් එයා බොනවාත් හොඳටම වැඩියි. අනික මම ආස නෑ එයාගෙන් සල්ලි ඉල්ලාගත්තා කියලා අම්මා එක්ක නිතරම කියවනවාට.”

“එකපාරට නම් බැරිවෙයි දුවේ. තාම මොකවත් ලැබුනේ නැහැනේ ලැබුනානං පොලියත් එක්කම ගෙවලා දාන්න තිබුනා.”

“එහෙනම් තාත්තා අද නයිට් එකට යනවානේ.”

ඇසූ නිමාලි එම ආරංචිය විමලාට දීමට කුස්සියට පියවර නැගුවාය.

පියසෝම කල්පනා කරමින් නිකමට මෙන් තම නිකට අතගෑවේය. තම රැවුල බෑමට අමතකවීමත් දින ගණනාවකින් තමා කන්ණාඩියක් ඉදිරියට නොගියබවත් මතක්වූයේ එවිටය. පිටුපස ළිඳ ළඟට ගොස් ළිංබැම්මේ කනුවක ඇණයකින් එල්ලා ඇති කැඩපත තුළින් තම මුහුණ දෙස බැලූ ඔහුට වියපත් වෙමින් පවතින අව්වට කළු ගැසුනු මුහුණේ දෙපස අඟලක් තරමට දික්ව වැඩුනු රැවුල පෙනින. රැවුලෙන් හරි අඩකටත් වඩා පැසී ගොසිනි. මේ දිනවල දිගින් දිගටම මුහුදේ ගතකළ බැවින්දෝ කොණ්ඩයත් තඹ පැහැගැන්වී ඇත.  ඇස් දෙක යට කළුවී වලගැසි ඇත්තේ තමා දරන වෙහෙස ඔරොත්තු නොදෙන නිසාදෝයි ඔහුට සිතුනි. විටෙක මේ සියල්ල අතහැර දැමීමට සිතුන නමුත් මේ අතට ලැබුන වාසනාවට පයින් ගසන්නට හෙතෙම අකමැති වුයේය. කැඩපතින් පෙනෙන තම ප්‍රතිරූපය දෙස බලමින් සිටි පියසෝම තම ජිවිතයේ සුන්දර අතීතයට පියමනින්නට විය.

මතුසම්බන්ධයි.....

Monday, March 1, 2021

හෝරස්ගේ දරුවා - පළමු දිගහැරුම Son of Horus - 1


සිතිජය සීමාවේ ගිනිබෝලයක්සේ දිලෙන සැන්දෑ හිරු සිය චණ්ඩ රශ්මී කදම්බයෙන් මිහිකත දවාලූ වෙහෙස දුරලන්නට අවරගිර අහසෙන් බැස සයුරේ ගිලී සැතපෙන්නට ආසන්න වෙමින් ඇත. මලානික කහ පැහැති ආලෝක කදම්බයන් අතරින් පතර නිවෙස් හා ගස්කොලන් නොමැති හිඩැස් වලින් පෙරී ඇවිත් පාරට දෙසට එබී බලමින් සිටී. දිනය නිමාවීමට ආසන්න නිසාදෝ සවස් වරුවේ වැඩ නිමවී යන බොහෝ දෙනා ලහිලහියේ තම කූඩු වලට ගාල්වනු පිණිස නොනවතින තරගයක නිරතවෙමින් සිටියහ. ලවන මුසු වාතය හා කෑකෑරුනු දුහුවිලි අවුස්සමින් මාතර ගාල්ල පාරේ හැල්මේ දුවන වාහන අතරින් පියසෝම රත්නායක මුහුදු සුළඟට දිරාපත්ව ගිය තැපැල් නයින්ටිය තම සුපුරුදු වේගයෙන් පදවමින් සිටියේය. 

ගාල්ලේ මිනුවන්ගොඩ පිහිටි තම නිවසට යන්නට ඔහු යතුරුපැදියේ වේගය වැඩි කළේය. දෙපයින් නැගිට ඇවිදින්නට හැකිවූ කළ සිටම මුහුද සමඟ කරදඬු උස්මහත්වූ පියසෝම එනිසාම හොඳ පිහිනුම්කරුවෙක්ද විණි. රැකියාවට අමතරව ඉඳහිට මුහුදේ කිමිදී විසිතුරු මාලුන් අල්ලා දීමෙන්ද අමතර ආදායමක් උපයා ගත් නමුදු වෘත්තියෙන් ගාල්ලේ ප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක මුරකරුවෙකු ලෙස සේවය කළේය. 

සුළංරැලි කපාගෙන තම මෝටර් සයිකලය පදවාගෙන යන අතර පියසෝම සිටියේ දැඬි කල්පනාවක වැටීගෙනය. තම අනාගතය ගැන සිහින දකිමින් ආ ඔහු පියවි ලොවට ආවේ තාර පාරේ වූ වලකට වැටීමෙනි. පිටුපස බැඳ ඇති පෙට්ටිය බුරුල්වූවා දැයි බැලීමට තම නෙත් යොමුකළ අතරම බයිසිකලය පදවාගෙන ආ මාර්ගයෙන් ඉවතට ගොස් ප්‍රතිවිරුද්ධ දිශාව දෙසට ඇදී යන්නට වුනි. විදුලි වේගයෙන් ඉදිරියට ආ ඉන්ටර්සිටි බසයක් මහහඬින් නලාව නාද කරමින් වෙට්ටුවක් දමා ඉගිලුනි. හෝන් හඬින් තිගැස්සුනු පියසෝම අනූනමයෙන් බසයේ නොගැටී තම බයිසිකලය හරි පාරට ගත්තේය. සිදුවන්නට ගිය අනතුරෙන් පසුව පපුවේ ගැස්ම වැඩිවී බියට පත්වුනු පියසෝම බයිසිකලය පාරේ අයිනකට අල්ලා නවත්වා මඳ හුස්මක් ගත්තේය. යළි නිවස බලා පිටත්වන්නට පෙර පෙට්ටිය හොඳින් සකස් කරගත් ඔහු සයිකලය පණ ගන්වාගෙන පාරට ගත්තේය. මදක් කට සැර ගැහැනියක් වූ විමලාත් තම දියණියන් දෙදෙනාවූ නිමාලි හා නදීකාත් විමලදාස නම් වූ විමලාගේ අවිවාහක සොහොයුරාද ජීවත් වූයේ පාර අද්දර පිහිටි පැරණි පන්නයේ නිවසක් වූ ඇගේ මහගෙදරය.  පියසෝම මෙන්ම නිහඬ චරිතයක් වූ නිමාලි පාසල් අධ්‍යාපනය අවසන්කර රැකියාවක් බලාපොරොත්තුව සිටියාය. නදීකා තවමත් පාසල් යමින් සිටින අතර ඇයත් තම මව් මෙන්ම කට සැර එකියක් වූවාය. නිවෙස අද්දර තැපැල් නයින්ටිය නැවැත්වූ පියසෝම ඉක්මනින් පිටුපස පෙට්ටිය ලිහාගන්නා ගමන් නිමාලිව ඇමතීය.

“දුවේ ඉක්මනට මේ බඩුටික අරගෙන යන්න.”

වෙනදාට තාත්තා ඔහුගේ කිමිඳුම් ආම්පන්න ගෙනයාමට නිමාලිව අමතන්නේ නැති බව  ඇයට වැටහුනි.

සීරුවෙන් පෙට්ටිය ලිහා ඉවතට ගත් පියසෝම වටපිට බලා තම නිවෙසට ඇතුල්වී තම නිදන කාමරයෙන් තැබීය. 

පියසෝම නිවසට පැමිණිබව ඇසුනු විමලා දුර්වර්ණව ගිය කිමෝනාවෙන් තම දෑත් පිසදමමින් තම මඳක් ස්ථුල වූ ශරීරය වෙහෙස කරවීමට අකමැති සේ හිමිහිට සාලය වෙත පැමිණියාය. ඇයගේ දෑත් කිමෝනාවේ පිසදැමීමෙන් ඉන දෙපස කලු පැහැයට ළංවී තිබීම දැක ඔහුට තම බිරිඳ ගැන කෝපය මුසු අප්‍රසන්න හැඟීමක් ද ඇතිවුනි. 

 “කෝ ගේන්න කිව්ව බඩුටික.”

 “අඩේ මට අමතක වුණානෙ.”

 “යසයි වැඩේ අද උයන්නවත් එළවලු මුකුත් නෑ. අද මොකද වෙලා තියෙන්නේ මම උදේම කීවානේ.”

“හරි හරි කීවානං තමයි මම අද වෙන කල්පනාවක ආවේ දැන් ගොඩක් හවස් වුණානේ ආයේ ටවුමට යන්න බැහැ. මේ ළඟ කඩේකින් දැනට මොනවා හරි අරගමු. මම හෙට ටවුමෙන් අරගෙන එන්නම්.”

“තාත්තේ මොකක්ද අර පෙට්ටියෙ තියෙන්නේ.”

නිමාලි ඇසුවාය.

“ඒක නිධානයක් දුවේ.”

පියසෝම සිතේ වූ සතුටට සිනාසෙමින් පැවසුවේය.

“නිධානෙන් එන පිලීගඳ තමයි ඉවසන්න බැරි. මොකට දාගන්නවාද කාමරේට. දාන්න ඔය ජරාව එළියට.”

විමලා කාමරයට එබී බලා කීවාය.

පියසෝම හිමිහිට පෙට්ටිය විවෘත කර එතුළින් ප්‍රමාණයෙන් අඩියක් පමණ උස්වූ කුඩා බඳුනක් වැනි යමක් එළියට ගත්තේය. බොහෝ සෙයින් කාවට්ටි හා දිය සෙවල බැඳී තිබුනු එය කුමක්දැයි හඳුනාගත හැකි නොවීය.

“අයියෝ ඕකද මහ ලොකු නිධානය?”

නදීකාද කාමරයට එබී බලා ඇසුවාය.

“මේක තමයි නිධානයකට පාර පෙන්නුවේ. මම අද රූමස්සල ගාව වෙනදා නොගිය හරියක කිමිඳුනා එතනදි මට ගිලුණු නැවක් හමුවුණා. ඒක අවට සොයද්දී නැව ළඟ තිබිලයි මේක ලැබුනේ.”

“ඉතිං.”

නිමාලි නොඉවසිල්ලෙන් ඇසුවාය.

“මේ නැව ගොඩාක් පරණ රුවල් නැවක් වෙන්න ඕනේ. ගොඩා හරියක් වැලි වලින් වැහිලා තියෙන්නේ. හොඳට හොයලා බලන්න ඕනේ නැවේ වටින යමක් තියෙනවාද කියලා. දන්නවාද මම පුංචි කාළේ අහලා තියෙනවා රත්තරන් පුරවාපු නැවක් ගාල්ලේ දි ගිලිලා තියෙනවා කියලා.”

“තාත්තේ ඔය පරණ ගිලුණු නැව්වලින් පුරාවස්තු ගොඩගන්න එක තහනම් නේද?”

“තහනම් කථාවක් නං මම දන්නේ නැහැ. නමුත් මේ ළඟදි ගිලුණු නැව්වලින් යකඩ ගොඩට ඇදපු කොල්ලෝ වගයක් නම් පොලීසියෙන් ඇල්ලුවා.”

“අපෝයි තමුසේ ඔය මඟුල් හොයන්න ගිහින් හිරේ විලංගුවේ වැටෙනවා එහෙම නෙවෙයි අපිට බැහැ ආයෙමත් වංගියක් පොලෝසි ගානේ ගාටන්න. මතකද ඉස්සර යුනියන් කාරයොත් එක්ක එක්කාසුවෙලා ස්ට්‍රයික් කරලා කරගත්තු හරිය.”

මීට අවුරුදු ගණනාවකට පෙර වැඩවර්ජනයක් මෙහෙයවීමෙන් පියසෝම රැකියාවෙන් දොට්ට දැමීම නිසා හරිහමන් ආදායමක් නොමැතිව අනේකවිධ දුක් තමාටත් දරුවන්ටත් විඳීමට සිදුවීම විමලා යළිත් සිහිපත් කළාය.  

“මං දන්නවා පරිස්සමෙන් වැඩේ කරන්න. මොනවා හරි ලැබුනොත් මට විතරක් නොවෙයිනේ උඔලා අපි කාටත් තමයි.”

පියසෝම නොරිස්සුමෙන් කීවේය.

“මොනවා කළත් රස්සාව නැති කරගන්නවා එහෙම නොවෙයි.” 

 කී විමලා යළි කුස්සියට ගියාය.

නදීකාව ළඟ කඩයකට පිටත් කර හැරිය පියසෝම නිමාලි වෙත ආවේය.

“දුවේ උඔට පුලුවන්ද මේක හිමිහිට සුද්ද බුද්ද කරලා ගන්න හැබැයි මොකක්වත් ආපදාවක් නොවෙන්න. ඊට පස්සේ බැරියැ මේක ඇර ගන්න පුළුවන්ද කියලා බලන්න.” 

“තාත්තේ මේ බෙල්ලන්ගේ පිළීගඳ හින්දා මුලුගේම ගඳ ගහනවා. අපි මේක පිටිපස්සේ තියෙන තීන්ත බාල්දියේවත් දාමු.”

පියසෝම එය එළියට දාන්න නොකැමතිවූවත් නිවසේ දුර්ගන්දය වැඩිවීම නිසා විමලාගේ රොස් පරෝස් ඇසීමට සිදුවන බව ඔහුට වැටහුන බැවින් නොකැමත්තෙන් වුවත් ඔළුව වැනුවේය.

නිමාලි බෙල්ලන් බැඳුන බඳුන රැගෙන ගොස් පරණ තීන්ත බාල්දියක බහා වතුරින් පිරවූවාය.

ශරිරයේ වු ලූණු වතුර සෝදා හොඳින් ස්නානය කරගත් ඔහු රාත්‍රී ආහාරයෙන් පසුව ගිලුණු නැවේ පුරාවස්තු සෙවීම පිළිබඳව ගැඹුරින් කල්පනා කරන්නට වූයේය. සුපුරුදු පරිදි මීවිතෙන් සප්පායම්වුනු විමලදාස වැනි වැනී නිවසේ ඉස්තෝප්පුවට ගොඩවිය. සුරාවෙන් දිරාපත්ව ගිය ශරීරයක් හිමිවූ විමලදාස ගාලු නගර සභාවේ කම්කරුවෙකු ලෙස සේවය කළේය. කිසිදා විවාහයක් ගැන නොසෙවූ ඔහු තම රැකියාවට ගියේ කොට කලිසම  හා උඩ බොත්තම නොපියවූ කමිසය අඳීමින්ය. ඉතාමත් නිහඬ ගුප්ත චරිතයක්වු විමලදාස කටේ තොලේ ගැවුනු පසු අනෙක් අයට කන්කරච්චලයක් බවට පත් වෙයි. පියසෝම දෙසවත් නොබැලූ ඔහු වැනි වැනී ගොස් ඇඳට වැටුණේය. 

“මේ මිනිහා බීලම  මැරෙන්න යනවා. හම්බුකරන මුලු සේසතම බීමට වියදම් කරනවා විතරයි ගෙදර වියදමටවත් මේකා සතයක් හොල්ලන්නේ නැහැ. මම මේ යකාටත් කන්න වියදමත් හොයන්න එපැයි.”

පියසෝම කැරලි සහිත රෝමයෙන් පිරුණු පපුව අතගාමින් සිතුවේය.

“මට මේ ගිලුණු නැවෙන් මොකක් හරි වටිනා යමක් හමුවුනොතින් විමලදාසයාගෙන් මේ ගෙදර සල්ලි වලට ගන්න පුළුවනි. බීලාම මූ මැරිලා යන්නේ නැති හැටි” 

විමලාගේ මහගෙදර විමලදාසටත් සමඅයිතියක් ඇති බැවින් පියසෝම එසේ සිතන්නට වූයේය. නිවසට නොදුරින් බළලුන් කිහිප දෙනෙක් පොරකෑමට සුදානම්වීමේ කෑගැසීම් ශබ්දයක් පියසෝමට රාත්‍රී කාලයේ ඇසිනි. ඔහු එය එතරම් ගණනකට නොගත්තේ රාත්‍රී කෑමෙන් පසු නින්ද යනතුරුත් ඔහු ගිලුණු නැවෙන් වටිනා පුරාවස්තු ගොඩ ගන්නා සැටි සැලසුම් කරමින් සිටි නිසාය. දහවල් මුහුදේ කිමිදී ගතේවු  තෙහෙට්ටුව ඉක්මනින් පියසෝමව නින්ද වෙත කැඳවා ගත්තේය. පසුදින උදයේම ඔහුට යළිත් තමාගේ අගනා වස්තුව අතගා බැලීමට සිත් විය. තීන්ත බාල්දිය වෙත ගොස් යළි එම බඳුන අතට ගත් ඔහු එය එහාට මෙහාට කරකවමින් බඳුනේ හැඩය බලමින් එය තුළ යම්කිසි දෙයක් ඇතිදැයි සොලවා බලන්නට විනි. එහෙත් එහි හැඩය පිළිබඳව හෝ කුමක් අරභයා යෙදාගත්තක්දැයි යම්කිසි චිත්තරූපයක් සිතට නගාගන්නට අපොසත්විය. 

“තාත්තේ මම ඕක හිමිහිට සුද්ද කරලා මතුකරලා ගන්නම් ඔය කාවට්ටි තදින් බැඳිලා නිසා හානියක් නොවි උන්ව අයින්කරගන්න ඕනේ.”

මේ අතර පියසෝම අසලට ආ නිමාලි කීවාය.

“ඔව් ඔය නැව ගිලුණු කාලේ ඉඳලා අවුරුදු ගණනාවක් කාවට්ටි ඕකේ බැඳෙන්න ඇතිනේ.”

“තාත්තේ සමුද්‍ර කෞතුකාගරයෙන් අපිට ගිලුණු නැව් ගැන විස්තර හොයාගන්න පුළුවන් වෙයි නේද?”

“ඔව්, ඒක මටත් කල්පනා උනා. විස්තර හොයලා බලන්න අදම ඒ පැත්තේ යන්න ඕනේ.”

“හැබැයි තාත්තේ පරිස්සමෙන්, මොකද එයාලා සැකකරන්න පුළුවන් අපිත් අර ගිලුණු නැව් වල පුරාවස්තු හොයන කණ්ඩායමක අය කියලා.”

“ඒයි මේ ඇහුනාද, ඔයා අද වැඩට යන්නේ නැද්ද?”

අසමින් විමලාද ළිඳ ළඟට විත් කථාවට බාධා කළාය.

“ මේ දුවේ තාත්තාගේ වැඩවලට අලඟු තියන්න එපා. ගිලුණු නැව් වලින් පුරාවස්තු ගොඩදාන්න ගිහින් කරගෙන ආපු බඩරස්සාවත් නැතිකරගන්න වැඩක් තමයි ඕක.”

ඇය කේන්තියෙන් කීවාය.

“හරි හරි ඒක මම බලාගන්නම්. උඹලා ඕකට කෑගහලා හැමතැනම ආරංචිකරන්න එපා.” 

කී පියසෝම ඉක්මනින් එතනින් ඉවත්විය. 

බාලදක්ෂ මාවත දිගේ තම තැපැල් නයින්ටිය පදවාගෙන ආ ඔහු ගාලු කොටුවට පැරණි කුඩා දොරටුවෙන් ඇතුල් වීය. බයිසිකලය උසාවිය අසල නවතා සමුද්‍ර කෞතුකාගාරයට ටිකට් පතක් ගෙන ඇතුල්වුවත් එහි ප්‍රදර්ශනයෙන් ගතහැකි සැලකියයුතු විස්තරයක් නොවීය. එබැවින් එහි උන් නිලධාරියෙකුගෙන් ගාලු මුහුදු ප්‍රදේශයේ ගිලුණු නැව් ගැන යම් විමසීමක් කිරීමට පියසෝම උත්සාහ කළේය. ඔහු එම විස්තර හාරාඅවුස්සමින් ප්‍රශ්න කරද්දී නිලධාරියාගේ සැකකටයුතු බැල්ම පියසෝම වෙත එල්ල විය. එය වැටහුනු පියසෝම ඉක්මනින් එතනින් පිටවුනි. ඔහු යළි දහවල් ආහාර වේලාව වන විට තම නිවෙස වෙත ළඟාවිය.

“තාත්තේ විස්තර මුකුත් ලැබුනාද?”

“නැහැ දුවේ එයාලා දන්න විස්තරයක් නැහැ. එක්කෝ දන්න දේවල් කියන්නේ නැහැ අපි ඒවා ගොඩගනියි කියලා. ගාලු වරාය ගාව ගොඩාක් නැව් ගිලිලා තියෙනවා කිව්වා හැබැයි ඒවායේ මොනවා ගෙනාපු නැව්ද කියලා විස්තර නැතැයි කිව්වා. තව ටිකක් විස්තර ඇහැව්වානම් එයාලා මාව සැක කරනවා. ඒ හින්දා ඉක්මනට මම එතනින් ආවා.” 

“ඔව් ඒක හොඳයි මමත් බයෙන් හිටියේ. තාත්තා මෝටර් සයිකලේ එතන නවත්තලද ඒකට ගියේ?”

“මම උසාවිය ළඟ තමයි නතර කළේ. ඇයි දුවේ?”

“නැහැ එයාලා තාත්තව සැක කළා නම් බයිසිකලේ නොම්මරේ ලියාගන්න තිබුනා ඒකයි.”

“මටත් ඒක හිතුන නිසා මම උසාවිය ළඟ නතර කළේ. එතන කොහොමත් මෝටර් බයිසිකල් නතර කරනවානේ. අනික නොම්බර ලියා ගන්න එතන එයාලට දුර වැඩීනේ.”

“තාත්තේ මතකද අර වක්වැල්ල පාරේ ඉන්න පියරත්න ඉස්කෝලේ මහත්තයා. අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් වෙලාත් හිටියා. එයා නේද ගාලු උරුමයන් සුරැකීමේ සංවිධානයේ සභාපති වෙලා හිටියේ?”

“ඔව් ඉතිං?”

“එයා ගාල්ලේ පුරාවිද්‍යාත්මක ස්ථානයන් ගැන පත්තරේට ලිව්වා තාත්තාට මතකද? එයා දන්නවා ඇති ඔය ගිලුණු නැව් ගැනත්.” 

“අඩේ මට ඔය පියරත්න මහත්තයා ගැන හාංකවිංසියක්වත් මතක් වුණේ නැහැනේ. එයා නම් යමක් කමක් දන්න මිනිහා, එයාව මුණගැහුනා නම් වැඩේ හරි.”

“හැබැයි තාත්තේ එයාගෙනුත් විස්තර දැන ගන්න ඕනේ එයාට සැක කරන්න ඉඩ නොතියා.” 

“හරි හරි මම ඒක කරගන්නම්, කෝ ඉක්මනට බත් එක බෙදලා දෙන්න දැන්නම් හරිම බඩගිනියි.” 


     

දිවා ආහාරයෙන් පසුව පියසෝම තම ඊළඟ මෙහෙයුම ක්‍රියාවට නංවන අයුරු සැලසුම් කරන්නට විය. හවස හතරට පමණ පියරත්න මහතා හමුවීමට වක්වැල්ල පාරේ තිබූ ඔහුගේ නිවසට ගියේය. පියරත්න මහතා හීන්දෑරි ශරීරයක් හිමි අවුරුදු හැට පහක් පමණ වයසින් යුතු විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වූ අතර පුරාවිද්‍යාව වැනි විෂයන් පිළිබදව ඇල්මක් දක්වන ප්‍රදේශයේ සමාජ සේවා කටයුතුවලට එක්වන කැපීපෙනෙන චරිතයක්ද විය. සිංහල උළු සෙවිලි කරන ලද ඕලන්ද ගෘහ නිර්මාණයට අනුව ගොඩනංවන ලද ඉතා පැරණි නිවසේ ඉදිරි ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ දිගෑදී ඉංග්‍රීසි පුවත්පතක් කියවමින් සිටි පියරත්න මහතා පුවත්පතට ඉහළින් එබී කන්නාඩි දෙකට යටින් ඇස් පුංචි කර බැලුවේ ගේට්ටුවේ කොක්ක ඇරුණු ශබ්දය ඇසුනු පසුවය. තම කන්නාඩි කූට්ටම නළලේ රුවාගත් ඔහු පියසෝමව ඇඳින ගත්තේය.

 “ආ මේ පියසෝම ළමයනේ මට එක පාරටම ඇඳින ගන්න බැරිවුනා.”

“දැං ඉතිං අපි වයසක මිනිස්සුනේ මහත්තයෝ.”

 කියමින් පියසෝම ඉස්තෝප්පුවට ගොඩවිය. 

“එන්න පියසෝම මෙහෙන් වාඩිවෙන්න ඉතිං කොහොමද තොරතුරු.”

“වරදක් නැහැ පියරත්න මහත්තයා මම මේ ටවුමට ආවා ගෙදරට කළමනා ටිකක් අරගෙන යන්න. ඒ ගමන් මෙහාටත් ගොඩවුනා කාලෙකින් මහත්තයාව දැක්කෙත් නැහැ නොවැ.” 

“ඉතිං බඩු ටික ගත්තද?”

“කොහේ ඔක්කොම ගන්නද දැං එන්න එන්නම බඩු ගණං යනවනේ.”

“ලොකු දුවට රස්සාවක් ලැබුනද පියසෝම?” 

“තවම නැහැ මහත්තයෝ. ඒකිත් හැම තිස්සෙම බලන්නෙ කීයක්හරි හොයාගන්න පුළුවන් රස්සාවක්. හොඳ එකක් ලැබුනොත් ගෙදර වියදම ටිකක් හරි අඩුකර ගන්න පුළුවන් කියලා.”

“අපරාදෙ කෙල්ල කැම්පස් නොගියේ පියසෝම, එයාට හොඳට ඉගෙන ගන්නත් පුළුවන්නේද?”

“එයාමයි කැම්පස් යන්න කැමති නැති වුනේ වියදම්කරන්න සල්ලි කොහෙන්ද කියලා. මාත් මොනවා කරන්නද මේ මුරවැඩෙන් ලැබෙන සල්ලි වලින්.”

වෙනත් ආගිය කතා කරමින් සිටි පියසෝම තමා මෙතෙක් නොඉවසිල්ලෙන් සඟවාගෙන සිටි කාරණාව පියරත්න මහතාගෙන් විමසුවේය.

“මහත්තයෝ මේ ළඟදි පිටරටින් ආවා නේද වරායේ ගිලුණු නැව් හොයන්න?”

“ඔව් ඔස්ටේ්‍රලියාවෙන්ද කොහෙද කණ්ඩායමක් ඇවිත් ගිලුණු නැවක් හොයාගත්තා. එකේ තිබුණු බඩු වගයක් ගොඩට අරගෙන අපේ සමුද්‍ර කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තියන්නයි හදන්නේ.”

“වටින බඩු එහෙම ඒකේ තිබුණාද?”

“පුරාවිද්‍යානුකුලව නං ඒවා වටිනවා.”

“මම අහලා තියෙනවා වරාය ළඟ ගොඩාක් නැව් ගිලිලා තියෙනවා කියලා.”

“ඔව් පියසෝම නැව් කිහිපයක් ගැන සඳහන් වෙලා තියෙනවා. සමහර ඒවා තියෙන තැන් සොයාගත්තා. සමහර ඒවා තාම සොයාගෙන නැහැ. අපට වාර්තා නොවි ගිලුණු නැව්ත් ගොඩාක් ඇති.”

“මම පුංචි කාලේ අපේ ආච්චි කියනවා අහලා තියෙනවා රත්තරන් පුරවාපු නැවක් ගාල්ලේ දි ගිලිලා තියෙනවා කියලා.” 

“මමත් ඔය කතාව අහලානං තියෙනවා පියසෝම. ඉස්සර යටත්විජිත රටවල් වලින් මංකොල්ලකාලා එකතුකරගත්තු රත්‍රං, මුතු, මැණික්, ඇත්දළ එහෙම එයාලාගේ රටවල් වලට අරගෙන ගියා. ඒවා අරගෙන ගිය රුවල් නැවක් කුණාටුවකට අහුවෙලා ඒක අලුත්වැඩියා කරගන්න ගාල්ලට එනකොට ගල්පරයක හැපිලා මුහුදුබත් වුණා කියලායි කියන්නේ.” 

මෙය ඇසූ පියසෝමගේ දෑස් දිලිසෙන්නට විය.

“ඉතිං ඔය නැවේ තිබ්බ වස්තු සම්බාරේ හොයාගත්තාද?”

“මං දන්න විදිහට නං තවම ඒක ගිලිලා තියෙන තැනක් හොයාගෙන නැහැ.”

“මහත්තයා හිතන්නේ ඒක කොයි හරියෙ ගිලෙන්න ඇතිය කියලාද?”

“මම නම් හිතන්නේ ගිලෙන්න ඇත්තේ කුඩා රාවණා මහා රාවණා ලයිට් හවුස් දෙක අතර වෙන්න ඕනේ. මොකද දන්නවාද මේ ලයිට් හවුස් දෙක අතරේ විශාල ගල්පරයක් තියෙනවා. මේ ගල්පරයේ හැපිලා නැව් විශාල ගණනක් මුහුදුබත් වුණු නිසා තමයි සුද්දො ඔය ලයිට් හවුස් දෙක හැදුවේ.”

“ඇයි පියසෝම මේ හදිසියේ ගිලුණු නැව් මතක් වුණේ?”

“නෑ මේ නිකං මං ඇහැව්වේ.”

කලබල වූ පියසෝම එය මඳ සිනාවක් පා සලිතව ගිය සිත මැඩපවත්වා ගනිමින් කීවේය. 

“නිකං නං වෙන්න බැහැ පියසෝම.”

“නෑ ඇත්තම කීවොත් මහත්තයා මේ ළඟදි මගේ යාලුවෙක් මාව කොටුවේ ඔරියන්ටල් හෝටලයට අරගෙන ගියා සුද්දෙක් හමුවෙන්න. ඒ සුද්දා ඇහැව්වා ගිලුණු නැව් තියෙන තැන් දන්නවාද කියලා? ඒකා අපේ වරාය ළඟ මුහුදේ සිතියම් වගයකුත් එළියට අරගෙන මට පෙන්නුවා.”

“ඉතිං පියසෝම දන්නවා කීවද?”

“නැහැ මහත්තයෝ මට ටිකක් සැක හිතුනා. ඒ නිසා මං ඔය තැන් දන්නේ නෑ කීවා. ඒකයි මම  මේ ඇහැව්වේ.”

පියසෝම තම සැලසුමට අනුව ගල් පැලෙන බොරුව ඇද බෑවේය.

“පියසෝම ඔය සමහර සුද්දන්ගේ විනෝදාංශයක් තමයි ගිලුණු නැව් බලන්න කිමිදෙන එක. ඔයාත් කිමිඳුම්කාරයෙක් නිසා ඔයාගෙන් ගිලුණු නැව් තියෙන තැන් දන්නවාද කියලා විස්තර දැනගන්න බැලුවාද දන්නෙත් නැහැනේ. හැබැයි මට මතකයි මීට අවුරුදු ගණනාවකට ඉස්සර ඔය කියන රත්‍රං නැව අයිති රටේ සුද්දෝ වගයක් ඇවිත් නැව හෙව්වා කියලා.”

“මොන රටේ සුද්දෝ ද මහත්තයා?”

“මං හිතන්නේ ඕලන්දක්කාරයෝ වෙන්න ඇති. හැබැයි උන්ට නං මුකුත් ලැබුනේ නැහැ. ඔය සුද්දෝ හිටිය බෝට්ටුව ලොකු අනතුරකට ලක් උනාය කියලා මං අහලා තියෙනවා. අනික ඔය කියන සුද්දා ආවේ ගිලුණු නැවේ වස්තුව හොයන්න නම් ඔයා ඔය මංකොල්ලකාරයන්ගේ වැඩවලට හවුල් වෙන්න එපා.”

පියරත්න මහතා අවසානයේදි අවවාදාත්මකව කීවේය.

“හොඳමයි මහත්තයෝ. දැන්නම් ඇඳිරිවැටෙන්නත් ළඟයි මං එහෙනම් ගිහිල්ලා එන්නම්”

 කී පියසෝම පියරත්න මහතාගෙන් සමුගෙන හනිකට තම නිවස බලා පියවර තැබුවේ ලොකු කල්පනාවක යෙදිමිනි. පාරේ දෙපස නොබලා මහවීදිය හරහා පාර මාරුවීමට ගොස් පිටුපසින් පිම්මේ ආ ත්‍රීරෝද රථයක් මහ හඬින් ගැසූ බ්රේක් පාරේ ශබ්දය නිසා පියසෝම පියවි සිහිය ලැබගත්තේය. ත්‍රී විලරය පැදවූ ළාබාල කොලුවා පියසෝමට කුණුහරුපයකින් සංග්‍රහකරමින් මහවීදිය දිගේ ඉදිරියට ඇදිනි. වෙන වේලාවකදී නම් එය පියසෝමගේ යක්ෂයා ආරූඬ වෙන සිදුවීමක් වුවත් මෙවර පියරත්න මහතාගෙන් ලැබුණු හෝඩුවාව නිසා සිතේ ඇතිවූ සතුටේ බලයෙන්දෝ එය පිළිබඳව ඔහුට ගනිච්චියක් නොවීය. ඔහු තම පය ඉක්මන් කරමින් තම නිවෙස බලා ඇදුනේ තම සතුට දියණිය හා බෙදාගැනීමටය.

මතුසම්බන්ධයි......

Wednesday, December 30, 2020

පළිගු කිරිල්ලී - අවසාන කොටස

 බදුල්ල බස් නැවතුමේ නතර කෙරූ බසයෙන් බැසගත් විගසමවාගේ ඇඟපතෙන් නැඟ ආ විඩාව ඉවසිය නොහැකි සේ දැනෙන්නට විය. ගතට ප්‍රාණයක් නොමැතිව අබල දුබලවූයේ දෙදිනකින් කුසට හරිහමන් කෑමක් නොවැටනු හෙයිණි. නැගෙන මහන්සි සහගත තෙහෙට්ටුව හා හිස රුදාව අප්‍රාණික සිරුරට ගෙන දුන්නේ දැඬි අපහසුතාවයකි. යටපත්වූ උණ යළිත් මතුව එන්නට වෙර දරන්නාක් සේ දැනුනායින් කඩයකින් ගත් පැනඩොල් පෙති දෙකක් මුවට දමාගත්තා ය. බෝඩිමෙන් පිටව නිවසට අවුත් ගතවන දෙවන දිනයේදී උණ රෝගය අඩුවූවත් සිරුර වසාගත් අප්‍රාණික කෙඩෙත්තුව අඩුව ගොස් නොතිබුණි. කිසිම දෙයකට නොනැමනෙන තම චිත්ත ධෛර්යත් දැඬි අධිෂ්ටානයත් පෙරදැරිකරගත් ඉන්දිරා තම අරමුණ කරා ගමන් කරන්නට උත්සාහ කළා ය. ගත පමණක් නොව සිතද දැඬිව ගිලන්ව තිබූ මෙහොතක හල්දුම්මුල්ලේ නිවසට ආ ඉන්දිරාගෙන් උණ රෝගය බෝ නොවෙන්නට අම්මා සිටින කාමරයට නොයන ලෙසින් සුදු නැන්දා කොතෙක් අවවාද උපදෙස් දුන්නද මල්ෂා ඒවා ගණන් නොගෙන තමා වටා දැවටෙන්නට වූ අයුරු සිහියට ආවේය. 

        ඈ තම දෙපා ඉක්මන් කළා ය. කිහිප දෙනෙකුගෙන් මඟතොට අසාගත් පසුව නියමිත ස්ථානයට ඉක්මනින් ළඟාවන්න ඈට හැකිවුණි. ගොවිජන සේවා මධ්‍යස්ථානය පිහිටා තිබූ ගොඩනැගිල්ල ඉදිරිපිට සිටගත් ඈ ඒ දෙස මඳක් බලා සිටියා ය. සිත තුළ ව්‍යාකූල නොසන්සුන් කමක් හටගත්තේ මානෙල්ට මුහුණ දීමේ අපහසුතාවය හේතුවෙන්ය. නිලන්ත කියූ පරිදි මානෙල් මාන්නාධික සැරපරුෂ ගැහැණියක් විය හැකියැයි සිතුණි. තම සැමියා සමඟින් යහන්ගතවූ වෙසඟනක් ලෙසින් ඇගේ ද්වේෂයට හා මධ්‍යස්ථානයේ සියල්ලන්ගේ සමච්චලයට ලක්වන්නට සිදුවෙතැයි උපවිඥානයේ සිතුවිලි තර්ක කරන්නට විය. මෙපමණ දුරක් පැමිණ හැරීයන්නට නොකැමැත්තෙන් වෙන දෙයක් සිදුවෙද්දෙන් සිතාගත් ඉන්දිරා මධ්‍යස්ථානය දෙසට දෙපා එසැව්වා ය. පිළිගැනීමේ නිලධාරිනියගේ සුහදශීලි සිනහව ඇගේ චකිතය මඳක් අඩු කෙරිණ. 

“මිස් මේ ඔෆිස් එකේ මානෙල් ගමගේ කියලා මිස් කෙනෙක් ඉන්නවාද?”

“මානෙල්? මානෙල් ගමගේ කියලා කෙනෙක් නම් නෑ ඒත් මල්ලිකා ගමගේ කියලා ඇග්රිකල්චර් ඇසිස්ටන් කෙනෙක් ඉන්නවා.”

“ආ මට වැරදුනා මල්ලිකා ගමගේ තමයි. මට එයාව මුණ ගැහෙන්න පුළුවනිද?”

“මෙතන දොරෙන් ඇතුලට ගිහිල්ලා දෙවන කාමරේට යන්න එතැන තුන්වන මේසේ මල්ලිකා මිස් ඉන්නේ.”

“බොහෝම ස්තුතියි.”

ඉන්දිරා ඈට සිනහවකින් සංග්‍රහ කර ඉදිරියට ඇදුණි. දෙවන කාමරයට අසළට එද්දීම හෘද ස්පන්දනය වේගවත් වී යනු දැනෙන්නට විය. මල්ලිකා මිස්ට තම අනන්‍යතාවය කෙසේ පවසන්නදැයි ඉන්දිරාට සිතාගත නොවී ය. බදුල්ලට එන්නට තිබූ ඕනෑකමත් උනන්දුවත් ධෛර්යත් මේවන විට සිඳිගොස් ඇති බව ඉන්දිරාට පසක්වුණි. ආපසු හැරී යන්නට සිතුනත් දැන් එයට අවස්ථාව නොවන බව දැනුනේ එකා දෙන්නාගේ විමසිල්ලට ඈ ලක්වූ බැවින්ය. ඈ හිමිහිට තුන්වන මේසය අසළට ඇවිද ගියා ය. කහපැහැති කුඩා මල් වැටුනු සාරියක් ඇද සිටි මල්ලිකාගේ තළෙලු බව ඉන්දිරාගේ නෙතට අසුවිය. ඉන්දිරා මේසය අසළට පැමිණ සිට ගත්තත් එවගක් නොදැන මල්ලිකා පෙරළාගත් ෆයිල් කවරයක රාජකාරි කටයුත්තක යෙදී සිටියා ය.

“මේ මල්ලිකා මිස්ද?”

ඈ තම කුඩා වටකුරු මුහුණ ඔසවා බැලීය. ඇගෙන් දිස්වූයේ ප්‍රියමනාප සුහදශීලිභාවයකි. 

“ඔව්.”

ඈ ප්‍රශ්නාර්ථයක් මුහුණට නගා ගනිමින් සුහඳව සිනාසුණි.

“මම ආවේ මිස්ව මුණගැහෙන්න.”

“වාඩිවෙන්න.”

ඉන්දිරා ඇගේ මේසය ඉදිරිපිට තිබූ පුටුවේ වාඩිගත්තේ අවට දෙස බලමින්ය. වෙනත් මේසයන්ගේ රාජකාරි කරන මැදිවියේ ගැහැණු පිරිමි එකා දෙන්නාගේ විමසුම් දෙනෙත් වලට තමන් නිරික්ෂණයට අසුවෙනවා ඉන්දිරාට පෙනුණි.

“ඔව් මොකක්ද උවමනාව?”

“මට මිස් එක්ක පොඞ්ඩක් කතා කරන්න ඕනේ. එත් මෙතන කතා කරන්න බෑ. මේක පෞද්ගලික කතාවක්”

ඈ හිමිහිට කීවාය. එම වදන් ඇසූ විගසින්ම මල්ලිකාගේ කුඩා වටකුරු මුහුණ හැකිලී කලුව යනු අයුරු ඉන්දිරා දුටීය. 

“එහෙනම් අපි එළියට ගිහිල්ලා මොනවා හරි බොනගමන් කතා කරමු.”

කී මල්ලිකා තම අසුනින් නැගිටගොස් මේස කිහිපයක් එහායින් සිටි තැනැත්තෙක්ට කුමක්දෝ පවසා ඉන්දිරාට අතින් සන් කළේ ඈ හා එන ලෙසිණි.  ඉන්දිරා ද මල්ලිකා පිටුපසින් ගමන් කළේ හිතේ දෙගිඩියාවෙන් යුතුවය. ගොවිජන සේවා මධ්‍යස්ථාන ගොඩනැගිල්ලෙන් පිටතට ආ ඔවුන් පාරෙන් එහා පැත්තේ තිබුනු කුඩා හෝටලයකට ගොඩවීය. එකෙකු දෙන්නෙකු හැරෙන්නට වැඩිය සෙනගක් නොවුන හෝටලයේ නිසකලංක තැනක් සොයා එහි වාඩිගත්හ. වේටර් එනතෙක් ඉන්දිරා තම කතාව ප්‍රමාද කළ අතර මල්ලිකා තේ ඇනවුම් කළා ය. තම කතාව කෙසේ පටන්ගන්නදැයි සිතාගත නොහැකිව කැළඹිල්ලෙන් හුන් ඉන්දිරා මේස රෙද්දේ වූ ඉරක් උඩින් තම ඇඟිල්ල එහා මෙහා කරන්නට විය.

“ඔයා කව්ද? මොකක්ද ඔයාට කියන්න තියෙන්නේ?”

තවදුරටත් නිහැඬියාව දෙස බලා නොහැකිවූ මල්ලිකා ඇසුවාය. සිතේ මෙතෙක් වේලාවක් දරාගෙන තිබූ සියලු දුක්ඛ දෝමනස්සයින් පිටකරවන්නට මෙන් ඉන්දිරාගේ දෙනෙත් කඳුලින් පිරීගියේය. ඉන්දිරා තමා කවුදැයි හඳුන්වාදෙමින් නිලන්ත කොළඹ යන බසයේදී හමුවූ අහඹු ආකාරයද විස්තර කළා ය. ඔහු මෙතෙක් කරන කියන කරන ලද සියල්ල බොරුබව සැක කිරීමත් සමඟින් මෙම සම්බන්ධය නවතාලන්නට උත්සාහ කළද නිලන්තගේ අයාචනා කරදර කිරීම් මෙන්ම තර්ජනය කිරීම්ද මල්ලිකාට පැවසීය. ඉන්දිරා එක හුස්මට කියාගෙන කියාගෙන ගිය කතාව අවසානයේදී මල්ලිකාගේ දෙනුවන් ද කඳුලින් තෙමීගොස් තිබුණි. ගැඹුරු හුස්මක් ගත් ඕ තම දෙනෙත් පිසදාගත්තීය.  

“ඉන්දිරා නංගි”

මල්ලිකා ඉන්දිරාගේ දෑත් තදින් අල්ලා ගනිමින් ඈ කරුණාවන්ත ලෙසින් ඇමතුවා ය. 

“ඔයාට කවුද කිව්වේ මම මෙහේ වැඩකරන බව.”

“ප්‍රසාද්.” 

“ප්‍රසාද් මාව දන්නවා. එයා අපේ ගෙදරත් ඇවිල්ලා තියෙනවා කිහිප සැරයක්. එයත් දැනුවත්වද මේ කැත වැඬේට හවුල් වෙලා තියෙන්නේ?”

“එයාට මුකුත් කියන්න එපා. ප්‍රසාදුත් අසරණයි නිලන්ත කරන වැඩ හින්දා.”

“ඒත් එයාට තිබුනා නිලන්ත කරන්නේ වැරදි වැඩක් නිසා ඒවාට උදව් නොකර ඉන්න. එහෙම නැත්නම් ඔයාට හරි මට හරි මේ ගැන හොරෙන් දන්වන්න. කමක් නෑ දැන්වත් ඔයා ඇත්ත දැන ගත්තානේ.”

“එත් මට බයයි මල්ලිකා මිස්. ”

“මොකට බයවෙන්නද?”

“මට බය ප්‍රසාද් මිස් ගැන විස්තර කියලා තියෙනවා නිලන්ත දැනගත්තොත් මේවා කොහෙන් කෙලවරවෙයිද කියලා.”

“නෑ ඔයා බයවෙන්න එපා. මම ඔයාට කරදරයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ. අනික ප්‍රසාද්වත් මේකට ගාවන්නෙත් නෑ. මේ නිලන්තගේ කපටි කැත වැඬේට අහුවෙච්චි පළවෙනි කෙල්ල ඔයා නෙමෙයි.”

ඉන්දිරාගේ සිත පාරවාගෙන යන්නට එම වදන් සමත්විණි.

“පළවෙනියා මම නෙමෙයි නම් මීට ඉස්සරත් එයා කෙල්ලන්ව රවට්ටලා අමාරුවේ දාලා තියෙනවා? එහෙනම් මිස් ඔයාත් දන්නවා නිලන්ත මේ වාගේ කැත වැඩකරනවා කියලා?”

“ඔව්. මටත් මීට ඉස්සරින්නුත් මේ වගේ දේවල් දැනගන්න ලැබුණා. මම එයාගෙන් අයින්වෙලා දික්කසාද කරන්නයි හැදුවේ. ආයෙමත් ඒවාගේ වැඩ කරන්නේ නෑ කියලා දිවුරලා කිව්ව නිසා තමයි එයාට සමාව දුන්නේ. මම මේතරම් හරි ඉවසලා ඉන්නේ මගේ දරුවාට තාත්තා කෙනෙක් ඕනේ හින්දයි.”

“ඔයාලට දරුවෙකුත් ඉන්නවා.”

“ඔව් ඉන්නවා. අවුරුදු හයක.”

“මමත් දුවෙක් ඉන්න අම්මා කෙනෙක්. මට සමාවෙන්න මල්ලිකා මිස්. මමත් වැරදිකාරියෙක් තමයි ඒත් එයා මගේ අසරණකමෙන් ප්‍රයෝජන ගත්තා. මම ඔයාට ද්‍රෝහිවුනේ නෑ. නිලන්ත කියපු දේවල් ඔක්කෝම ඇත්තයි කියලා විශ්වාස කළා. ඒ මදිවට නිලන්ත අපේ අම්මාව මුණගැහිලා එයාගෙනුත් අවසර ගත්තා අපේ සම්බන්දෙට.”

ඉන්දිරා තම දෙකපුල් දිගේ රූරා හැලෙන කඳුළු වැල් පිසදමමින් කීවා ය.

“ඔයා වැරදිකාරියෙක් කියලා මම කියන්නේ නෑ. මගේ කසාද මිනිහා වුනත් නිලන්ත කියන සල්ලාලයා ගේ වනචරකමට මට ඔයාත් එක්ක තරහාවෙන්නවත් වෛරකරන්නවත් ඕනේ කමක් නෑ.”

“මම හිතුවේම නෑ ඔයා මෙච්චර හොඳ කෙනෙක්ය කියලා. ඔයා හමුදාවේ ඉහළ නිලධාරියෝ එක්ක බුදියන මහ වනචර ගෑණියෙක් විදිහටයි එයා කියලා තිබුනේ.”

“නිලන්ත හැසිරෙන්නේ බෝධිසත්වයෙක් ගාණට එත් එයා කරන වැඩවලට හමුදාවටත් ලැජ්ජාවක් අවනම්බුවක්. ඔයා කොහොමද දැන ගත්තේ මෙයා කියන්නේ බොරු කියලා?”

“නිලන්තගේ කතාවල් එක එක දවසට වෙනස්වෙන්න ගත්තා. මගේ අම්මාත් යාළුවොත් නිලන්ත කියන කතා ගැන තේරිලාද කොහේද එයාව විශ්වාස කරන්න එපා කිව්වා. අන්තිමේදී හමුදාවෙන් නිලන්තට අණ කළ නිසා ආපහු ඔයාව භාරගත්තායි කිව්වා. එහෙනම් ඔයාව භාරගෙන ඉන්නවා නම් තවත් මොකටද මම අනුන්ගේ පවුල් කඩා හීරවන්නේ කියලා තමයි එයාගේ සම්බන්දේ නතර කරන්න හැදුවේ. මේ ළඟදී ඇවිල්ලා කරදර කරලා කිව්වා එයා එක්ක සම්බන්දේ නතරකොලොත් මාව උස්සනවා කියලා.”

“මේ වාගේ දහජරා මිනිහෙක් එක්කයි මම මෙච්චර දවසක් පවුල් කෑවේ. අන්තීම සැරේ දරුවාගේ ඔළුවට අත තියලා දිව්රුවා ඒත් කරලා තියෙන්නේ ඒ ජරා වැඬේමයි. ඇත්තමයි මම ආයෙත් නම් සමාව දෙන්නේ නෑ. මේ පාර නිවාඩුවට ආවදෙන්කෝ. නිලන්තගේ කටින්ම මම අල්ලගන්නම්.”

“අනේ මල්ලිකා මිස් ඔයාලා අතර ප්‍රශ්න ඇති කරන්න නෙමෙයි මම ආවේ. මගේ මේ ගමනින් තවත් පවුල් අවුල් කරන වැඩක්වෙයිද මන්දා. අනික ප්‍රසාද්ටත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවනි.”

“ඔය මිනිහා මාව බැඳගත්තෙත්  වංචාවෙන් තමයි. මගේ අයියා හිටියෙත් හමුදාවේ. අයියාගේ යාළුකමට එයා ඒකාලේ මෙහේ කිහිප සැරයක් ඇවිල්ලා ගියා. අයියා ඔඞ්ඩුසුඩාන් වලදි මැරුනට පස්සෙත් අපේ ගෙදර එයා ආවා ගියා. මාරවිල එයාට ඇති දේපලක් නෑ. එයා දන්නවා අයියා මළාට පස්සේ අම්මලා තාත්තලාගේ දේපල වලට ඉන්න එකම උරුමක්කාරයා මම කියලා. මට ලැබෙන්න තිබුනු දේපල දැකලා ඒවාට වහ වැටිලා තමයි මාව රවට්ටගෙන බැඳගත්තේ. ඒ නිසා මෙයා මොන ගෑණි ළඟට ගියත් මාව අතහරින්න කැමති නෑ.”

“ඒත් මට බයක් දැනෙනවා මිස්.”

“ඉන්දිරා ඔයා බයවෙන්න එපා. මේ ජරා වැඬේ දැන්ම නතර නොකෙරුවොත් ඔයා වාගේම තවත් අසරණ ගෑණු ළමයෙක් දෙන්නෙක් අහුවෙයි.”

පාරේ ගමන් කරනා මිනිසුන් දෙස බලාගෙන ඉන්දිරා නිහඬව තේ කොප්පයේ අවසන් තේ උගුරු කිහිපය පානය කළාය. 

“එයා නිතරම නිවාඩුවට දියතලාවේ සමන්ලාගේ ගෙදර යනවා කියනවා. මම ඇහැව්වා ඇයි ඔයා ගෙදර යන්නේ නැතිව සමන්ගේ ගෙදර යන්නේ මොකටද සමන්ට නංගියෙක් වත් ඉන්නවාද කියලා? ”

“නිලන්ත මොකද කිව්වේ?”

“සමන්ගේ නංගි නම් එයත් එක්ක යාළුවෙන්න ආවාලු. එයා හරිම ෆාස්ට් කේස් එකක් දැඟලිල්ල වැඩියි. එයත් එක්ක යාලුවෙන්න හැදුවට ඒවගේ කෙල්ලන්ට කැමති නැති හින්දා කැමැතිවුනේ නෑ කිව්වා.”

“බලන්න ඉන්දිරා එතැනත් කියලා තියෙන බොරුව. මම තමයි සමන්ගේ නංගි. සමන් කියන්නේ මැරිච්ච මගේ අයියා.”

ඈ කේන්තියෙන් දත්කූරු සැපුවා ය.

“අනේ මිස් නිලන්ත ආයෙමත් කරදර කරන්න බෝඩිමට ආවොත් මට එතැනින් යන්නයි වෙන්නේ.”

“ඔයා බයවෙන්න එපා මම ඔයාට එයාගෙන් ආයෙත් ප්‍රශ්නයක් ඇති වෙන්න දෙන්නේ නෑ.”

මල්ලිකා අවසාන වශයෙනුත් කීවා ය. මල්ලිකා සමඟින් කළ කතාබහෙන් ඇගේ හදට යම් සැනසීමක් ලැබුණත් සිතේවූ බරගතියත් අවිනිශ්චිතභාවයත් තුරන්වූයේ නැත. මල්ලිකාට ස්තූතිකළ ඉන්දිරා හෝටලයෙන් එළියට බැස්සා ය. සිත්පතුලේ ශේෂව තිබෙනා නිලන්තගේ අවසාන මතක සැමරුම් සියල්ලත් බදුල්ලේදී මිහිදන් කරදමා එන්නට ඉන්දිරා උත්සාහ කළා ය. හල්දුම්මුල්ලෙන් බසයෙන් බැසගන්නාවිට ඉර හැරී වරු තුනක්ද පසුවී ගොස් තිබුණි. උදේට හරිහමන් කෑමක් ද නොමැතිව බදුලු ගිය ඉන්දිරාට දහවල් ආහාරයද අතපසුවූ බව මතක් විය. දැඬිව නැඟුනු කුසගින්න අඩුවීගොස් බඩ පපුව සිසාරා ඇසිඞ් හැලූ ලෙසින් අධික පිච්චිල්ලක් දැනෙන්නට පටන්ගෙන ඇති සෙයකි. වැස්සට පස් සේදීගොස් ගල් බුරුල්ව ඇති බෑවුම් පාරේ ආයාසයෙන් කන්ද නැගගත්තා ය. ඇඟපත රිදුම්දෙන අධික තොහෙට්ටුවද අප්‍රාණිකත්වයද මැදින් ඉන්දිරා නිවසට ඇවිද ආවේ ඉවසිය නොහැකි අපහසුවකිනි. ඉස්තෝප්පුවේ වේවැල් පුටුවට ඇඳවැටුනු ඈ මල්ෂාට කතාකර වතුරටිකක් ඉල්ලාගත්තා ය. මුවට ගත් වතුරටිකත් ගලනාලයෙන් පහලට ගලාගොස් කුසට එක්වූයේ දැවිල්ලක් එක්කරවමින්ය.

“උඹ කොහේ රෝන්දයක්ද ගියේ? උණ පොඞ්ඩක් අඩුවෙලා කකුල් දෙකට පණ එනකොට එක විදිහකට ඉන්න බෑ. මේ දැරිවියත් හදාගන්න බෑ උඹලාගේ නාඩගං හින්දා.”

සුදු නැන්දාගේ සිතේ පැසවමින් තිබුනු කේන්තිය ඉන්දිරා නිවසට ගොඩවූ බව දැනගත් විගසින් ඉස්තෝප්පුව පැමිණ පිටකරවන්නට පටන්ගත්තා ය. 

“අනේ සුදු නැන්දේ පොඞ්ඩක් කෑ නොගහා ඉන්නවාද මට නිකං කැරකිල්ල වගේ”

“ඇයි මොකද?උඹ උදේට කාලත් නෙමෙයි නේද ගියේ? දවල්ට කෑවද?”

ඉන්දිරා හිස සෙලෙව්වා ය. මුළු ඇඟම දහඩියෙන් තෙමුනු ඉන්දිරාගේ රත් පැහැගැන්වුනු දෑස් දෙස බලා සිටි සුදු නැන්දා පිටි අත්ල නලළට තබා ඇගේ රස්නය බැලුවා ය. 

“ඇග පොඞ්ඩක් රස්නෙයි වගේ. ඇගත් මහන්සි වෙලා තියෙන එකේ උණද කියලා කියන්න බෑ.”

“මට පැනඩෝල් පෙත්තක් දෙනවාද?”

“දවල්ට කාලත් නෑ නේද? කෑම නොකා බේත් බෙන්න හොඳ නෑ. බත් ටිකක් කාලම බොන්න.”

සුදු නැන්දා ඉන්දිරාගේ බ්ලවුසයේ උඩ බොත්තම් දෙකක් විවර කරවීය. 

“මල්ෂා දරුවෝ ඉක්මනට ඔය පත්තරයක් හරි මොකක් හරි ගෙන්න.”

මල්ෂා දුන් පත්තරය ගෙන ඉන්දිරාට පවන් සලන්නට විය.

“මට බඩගින්නක් නෑ සුදු නැන්දේ. පොඞ්ඩක් මෙහෙම හිටියාම හරියයි.”

මල්ෂාගේ වදයට බත් කටවල් දෙකක් පමණ කෑ ඉන්දිරා ඇඳට වැටී නිදන්න විය. ගමන් මහන්සිය හා ඇගේ පතේ වූ අප්‍රාණිකත්වය ඉක්මනින් නින්ද කැඳවාගත්තා ය. සුදු නැන්දා ඉක්මනින් වෙනිවැල් ගැට කෑල්ල කුඩා කැබලි වලට කපන්නට පටන්ගත්තේය. කොත්තමල්ලි කටුවැල්බටු දැමූ මුට්ටියට වෙනිවැල් ගැට කැබලි එක්කර ලිපේ තැබුවේ ඉන්දිරා අවදිවූ පසුව බොන්නට දෙන්නටය. එහෙත් කොත්තමල්ලි කොප්පය බොන්නටවත් අවදි නොවුන ඉන්දිරා තදින් නිදන්නට විය. මඳක් යටපත්ව තිබුනු උණ රෝගය ගමන් මහන්සිය නිසාවෙන් යළිඳු මතුව අවුත් රාත්‍රියේදී සහලෝලා උණගැනුන ඉන්දිරා තදින් වෙව්ලන්නට විය. සුදු නැන්දා දොස් නගමින් තබමින් තැම්බූ කොත්තමල්ලි කෝප්පය ඈ අතට දුන්නා ය. එහෙත් වෙනිවැල්ගැට කොත්තමල්ලි තැම්බු වතුරෙන් ඈ පෙලු උණ අඩුවූයේ නැත.

“උඹට මං කිව්වා ටිකක් ඇඟට පණක් එනකම් ඇඳට වෙලා ඉන්නය කියලා. කෝ ඇහැව්වායැයි. මම එපා කියද්දීම ගියා රෝන්දේ. මේක හරි යන්නේ නෑ. උඹ ලැස්තිවෙයන් ඉස්පිරිතාලේටවත් යන්න.”

“ඕනේ නෑ සුදු නැන්දේ උණ අඩුවෙලා යයි.”

“මොන අඩුවක්ද දැන් පෙන්නේ නැද්ද උඹ වේවලන හැටි. කොළඹ ඉදලා වසංගත හදාගෙන එනවා. පොඩි එකීටත් බෝවෙයිද කියලා මම බයේ ඉන්නේ.” 

එළිවෙන තෙක් සැරින් සැරේ ඉන්දිරා සීතලෙන් වෙව්ලමින් කෙඳිරි ගාන්නට විය. එළිවෙන තෙක් අවදියෙන් පසුවූ සුදු නැන්දා විනාකිරි පෙඟවූ පාන්කඩ කැබැල්ලක් ඇගේ නළල්තලය උඩ වරින් වර තබමින් සාත්තුසප්පායම් කළා ය. පාන්දරින්ම ඉන්දිරාව රැගෙන රෝහලට යන්නට ලෑස්තිවුනු සුදු නැන්දා මල්ෂාව බලාගැනීම දිනේෂ්ට පවරා නිවසින් එළියට බැස්සාය. කෙලින් සිටගන්නටවත් ප්‍රාණයක් නොමැතිව ගිය හෙයින් සුදු නැන්දාට වාරුවී කෙඳිරිනගමින් පාරතෙක් ගමන් කළේද දැඬි අපහසුවකිනි. ත්‍රීරෝද රථයක් කතා කරගත් ඈ ඉන්දිරාව කැටුව හාල්අටුතැන්නේ පිහිටි හල්දුම්මුල්ල රෝහලට පිටත්වුනි. දෙවුර පොරෝනාවකින් වසාගත් ඉන්දිරා ත්‍රීරෝද රථයේ දොරටුවෙන් එන සිසිල් සුළං පහරට දැඬි ලෙස වෙව්ලන්නට විය. උත්සන්නවූ ඇගේ රෝග තත්වය විනිශ්චය කළ දොස්තර මහතා නේවාසිකව ප්‍රතිකාර ලබන්නට සිදුවන බව පවසා ඈව දියතලාව රෝහලට ඇතුලත් කරවන්නට කටයුතු කරවීය. තවත් රෝගින් දෙදෙනෙකු සමඟ ඉන්දිරාව ගිලන් රථයකින් දියතලාව රෝහල වෙත පිටත්කර හැරියේය.  

“සුදු නැන්දේ යනින් ගමන් වැඩපලට ටෙලිග්‍රෑම් එකක් යවන්න මට උණ හින්දා ඉස්පිරිතාලේ නැවැත්තුවා කියලා” 

වාට්ටුවට ඇතුලත් කර පිටවයන්නට සැරසෙන සුදු නැන්දාගෙන් අසීරුවෙන් මෙන් දෑස් විවර කරගෙන ඈ ඉල්ලුවා ය. වාට්ටුවේ ඇඳක් මත වැතිර සිටිනා ඈට ජීවිතයේ බොහෝ සුන්දර තැන් යළිත් මතකයට නගා ගන්නට උත්සාහ කළාය. එහෙත් තම ජීවිතයේ සුන්දර මතකයන්ට වඩා අසුන්දර ගද ගහන තැන් බොහෝ ඇති බව සිහිපත්වුණි. උණ අඩුවනතෙක් රෝහලේ ටිකට් කැපීමක් නොමැති බව දන්නා ඉන්දිරාට සැර බෙහෙත් ගඳ ඉවසාගෙන අකමැත්තෙන් වුවත් එහි රැඳෙන්නට සිදුවිය. දෙදිනක් ගතවෙද්දී ඉන්දිරාගේ උණ අඩුව ගොස් තිබූ නිසා තුන්වන දිනයේදී ටිකට් කැපීය. රෝහලෙන් නිවසට ආ පසු ඉන්දිරාට අවැසිවූයේ ඇගපතේ වූ කිලිටි කුණු සෝදා යවා නා කියා ගැනීමටය. උණ සුවවී දිනක් ගතවන්නට පළමුව නාන්න හොඳ නැතිබව සුදු නැන්දාගේ අදහස වුනි. එහෙත් ඉන්දිරාගේ බලවත් ඇවටිල්ල මත ඈ වතුර මුට්ටියක් ලිප තැබුවේ ඇගපත ටිකක් සෝදා ගන්නයැයි පවසමින්ය.

“මල්ෂා ඔය වතුර හැලියට ගින්දර ටිකක් දාන්න.”

සුදු නැන්දා මල්ෂාට කීවාය. මල්ෂා ලිප් බොක්කටවී ඇවිලී යන දර පතුරු කැබලි අතරට අලුත් දර කැබලි ලිපට ඔබන්නට විය.  

“දරත් ඉවරවේගෙනයි එන්නේ සුදු ආච්චියේ.”

“දර ඉවර නොවී තියෙයිද උණුවතුර නාන්න වතුර රත් කරන්න ගියාම. හවසට වත් පයිනස් කැලේ පැත්තෙ ගිහින් දර ටිකක් එකතුකරගන්න ඕනේ.”

පවසමින් සුදු නැන්දා බැරලයෙන් වතුර පුරවාගත් බාල්දියක් එළියෙන් තැබීය. විටෙක ඈනුම්පද කියමින් සිත රිදවන සුදු නැන්දා විටෙක ඉතා කරුණාවෙන් සලකන අන්දම ගැන ඉන්දිරාට සිතා ගැන්මට අපහසු විය.  

“ඇත්තට උඹ එදා කොහේද ගියේ?”

උණු වතුර හැලිය ඇල් වතුර පිරවූ බාල්දියට හලනා ගමන් සුදු නැන්දා ඇසීය. සුදු නැන්දා නිසැකයෙන්ම තමන් ගිය ගමන් බිමන් ගැන හාරා අවුස්සන විත්තිය දැන සිටි ඉන්දිරා සිය බදුලු ගමන ගැන ඈට නොකියා සිටින්නට සිතා ගෙන තිබුණි. නිහඬව සිටිනා ඉන්දිරා දෙස විමසිලිමත් බැල්මක් හෙලූ සුදු නැන්දා ඇගේ ඇට්ටර කම ගැන සිතෙන් බැන වදිමින් බාල්දියට දැමූ උණු ජලය නියමිත ලෙසින් මිශ්‍රවි දැයි බලන්නට වුණි.

“උඹට ආයෙත් උණ වැඩිවුනේ ඔය අනවශ්‍ය ගමන් නිසා. හොඳ වේලාවට දරුවට බෝ වුනේ නැත්තේ. අපරාදේ මේ දවස් ටිකේ වැඩට යන්නත් බැරිවෙනවා.”

“එක අතකට හිතෙනවා ආයෙත් වැඩට නොගිහින් ඉන්න.”

ඉන්දිරා දිය රෙද්ද තන මත්තට ඔසවා ගනිමින් කීය. 

“ඒ මොකද? උඹට ඇතිවුනාද රස්සාවල් කිරිල්ල? නැත්තම් අර කොලුවා එපා කිව්වාද?”

“මොන කොලුවාද?”

“අර ආමිකාරයා.”

“එයත් එක්ක ඇති ගනුදෙනුවක් නෑ සුදු නැන්දේ.” 

“ඒ කියන්නේ?”

“ඌ මහ බොරුකාරයෙක්.”

බාල්දියෙන් කෝප්පයකට පුරවාගත් වතුර ඔළුවට හලා ගන්නා ගමන් ඉන්දිරා කීවා ය.

“ඔය මොකක්ද ඔය කරගත්තේ? මම කිව්වා නේද නාන්න එපා කියලා? ආයෙමත් උණ හදාගනින්. ඉක්මනට ඔළුව පිහිදාගනින්.”

“ආ... මට අමතක උනා. දැන් කමක් නෑ නාලම ඉන්නවා.”

“උඹේ ඔය ඇට්ටරකම තාම අඩුවෙලා නෑ. අම්මාගේම දුවනේ. උඹලාට හිතෙන හිතෙන දේවල් කරන හින්දා තමයි ඔයවාගේ බොරුකාරයින්ටත් රැවටෙන්නේ? හොඳ වේලාවට උඹට එක වෙලාසනින් තේරුනේ නැත්නම් තවත් එකෙක් දෙන්නෙක් එල්ලගෙන තමයි ඉන්න වෙන්නේ.”

කී සුදු නැන්දා උණුවතුර මුට්ටිය කුස්සියට රැගෙන ගියාය. උණුවතුර ස්නානයෙන් පසුව ඉන්දිරාට දැනුනේ කිව නොහැකි සනීපයකි. ඉවසිය නොහැකි කුසගින්නක්ද ඈට දැනෙන්නට විය. සුදු නැන්දා ඉක්මණින් ලුනු මිරිසක් කොටා පරිප්පු හොද්දක් සමඟින් බත් පිඟානක් ඈ අතට දුන්නා ය. දින ගණනාවකින් නොකෑ අයෙකු මෙන් බත් පිඟානම කා අවසන් කළ ඕ තවත් බත් ටිකක් ඉල්ලීය. 

“එපා දැන් ඔය ඇති. එක පාරමට ගොඩක් කන්න හොඳ නෑ. බඩ පත්තියම් වෙන්න දෙන්න ඕනේ.” 

උණුවතුර නෑමෙන් ඇතිවූ ප්‍රබෝධයත් අහරින් කුසත් පිරුනු පසු ඉන්දිරාට ඇතිවූයේ දැඬි නිදිමතකි. කෑමෙන් පසු නින්දට වැටුණු ඉන්දිරා අවදිවන විට සවස් වන්නට ආසන්න වෙමින් පැවතිණි. තවමත් පහව නොගිය නිදිමත නිසාවෙන් ඇඳේ සිටම ඈනුමක් යවා නිදිගැට හැරියා ය. තවත් ඇඳට වී සිටින්නට කුසීත කමක් දැනෙන්නට වූ නිසාම තේ එකක් බිව්වානම් හොඳයැයි ඈට සිතුණි. ඇඳෙන් බැසගත් ඕ කුස්සිය දෙසට පිය නැගුවා ය. මුළු නිවසම පාළු ස්භාවයකින් නිහැඬියාවක ගිලගෙන ඇති සෙයකි.  මුළුතැන්ගෙට යාබද කාමරයට හිස පොවා බැලූ ඈට නිදාගෙන සිටිනා පොඩි මල්ලි, දිනේෂ්ව දුටුවේය. කුස්සියට හා පිළිකන්න දෙසට ගොස් බැලුවත් මල්ෂා හා සුදු නැන්දා දක්නට නොලැබුනි. කුස්සියේ මිටි බංකුව උඩ හිදගත් ඈ දරකෝටු කිහිපයක් ළිපට ඔබා ගිනි දැල්වීය. කේතලය ළිප උඩින් තබා යකඩ බටෙන් හුලං පිඹ ගිනිදැල් වැඩි කරවූ ඈ සුදු නැන්දා හා මල්ෂා කොහේ ගියාදැයි සිතන්නට විය. නින්දෙන් අවදිවූ දිනේෂ් අලස ගමනින් පැමිණ කුස්සියට එබී බැලීය. 

“ආ නිදි කුම්බා නැගිට්ටාද? තේ හදනවා ඕනේද?”

“එපා.”

“කෝ සුදු නැන්දා?”

“ඇයි ගෙදර නැද්ද? එහෙනම් පයිනස් කෑල්ලට යන්නැති. දර ඉවර කතාවක් කිව්වා.”

“ඉතිං නරකද ගිහිල්ලා උදව්කළානම්.”

“තමුසෙට උණුවතුර නාන්නනේ තියෙන දර ටිකත් පිච්චුවේ. ඉතිං ගිහිල්ලා දර එකතු කරන් එන එකයි තියෙන්නේ. දර ටිකත් ඉවරකරලා තව එනවා මට කියන්න.”

දිනේෂ් ඉන්දිරාට බැණ වදිමින් කුස්සිය පැත්තෙන් එළියට බැස්සේය. කුඩා දැරිවියක් වූවත් මල්ෂාව තනිපංගලමේ නිවසේ රඳවා කිසිවිටෙකත් සුදු නැන්දා බැහැරව නොයන බව ඉන්දිරාට සිතුණි. මල්ෂා මෙන්ම තමාගේ කුඩා කාලයේදීත් සුදු නැන්දා විසින් ආරක්ෂාව රැකවරණය දුන් අයුරු තම මතකයෙන් ගිලිහී නොයන බව සිහිපත් කළා ය. මහන්සිවී එන සුදු නැන්දා හා මල්ෂාට තේ පිළියෙල කර තැබුවොත් හොඳ බව සිතූ ඈ තවත් වතුර ටිකක් කේතලයට එකතු කරවීය. තේ මණ්ඩි ටික පිළිකන්නේ දෙහිගස මුලට වීසිකර තේ ගොටුව අලුත් කළා ය. නිවසේ ඉදිරිපස දොරට තට්ටු කරනා හඬ ඇසුනු ඉන්දිරා ළිපට තවත් කොටු කැබැල්ලක් ඇතුලු කර මිටි බංකුවෙන් නැගිට ගත්තේය. නිදාගෙන සිට අවුල් වූ කොණ්ඩය අතින් සකසමින් සාලය දෙසට ඈ හිමිහිට ඇවිද ආවා ය. ඉස්තෝප්පුවට ගොඩවී සාලයේ දොර අභියස සිටිනා රුව දුටු ඉන්දිරා එකෙනිම ගල් ගැසුණි. ගත සිත වෙලාගෙන තිබූ ප්‍රහර්ෂිත ප්‍රබෝධය එකවරම අතුරුදහන්වී ගියා ය. මෙතැනින් පලායාමටවත් තම දෙපා අවසඟව සිරුරේ සියලු සංවේදනයන් අකර්මණය වී ගොසින් බව ඉන්දිරා අවබෝධ කරගත්තීය. ඔහු තම දිඳුලන දෙනෙත් තමන්වෙත රඳවාගෙන සිටිනුයේ ගොදුරකට කුරුමානම් හෙලන වන සතෙකුසේ යැයි ඈට සිතුණි. තම දිවියේ යළිත් දකින්නට අකමැතිවූ අමිහිරි පුද්ගලයා තම දොරකඩ නොසිතූවිරූ ලෙසින් රැඳී සිටිනු දුටුමනින්ම වේගවත්වූ හෘදයේ රුහිරු මුළු සර්වාංගය පුරා දිවයනු දැනිණ. ඔහු තම බරති අඩි තබමින් තමන් ඉදිරියට පැමිණෙමින් සාලයට ඇතුල්වනවා දුටු ඈට කළයුතු කිසිවක් සිතාගත නොවීය. ඉන්දිරා තම සිතට දිරිගත්තා ය. වෙව්ලන දෙතොල් අතරින් වචනයක් පිටකරගන්නට ඈ අපමණ වෙහෙසක් දැරීය.   

“ඇයි විජිත මෙහේ ආවේ?”

“මට මල්ෂාව බලන්න ඕනේ.”

“මොකට මල්ෂාව බලන්නද?”   

“මම එයාගේ තාත්තා නිසා.”


නිමි...


කතාව මෙතැනින් අවසන්වන්නේ නැත. මෙහි අවසානය කෙසේ විය යුතුදැයි ඔබගේ සිතුවිල්ල කුමක්ද? 



2014 වසරේදි ලියා අවසන් කරන ලද මෙම නවකතාව එහි සේදුපත් බැලීමට තිබුණු අළසකම නිසා බොහෝ කාලයක් පරිගණකයේ සිරවී තිබුනි. නිදි ගේ පංචත්‍රන්තය බ්ලොග් අඩවියේ මා මිතුරු නිමල් දිසානායකයන්ගේ උනන්දු කිරීම නොවන්නට තවත් මෙය පළනොවන්නට තිබුනි. අවසාන කොටස දක්වා කතාව රසවිදි හා ප්‍රතිචාර දැක්වූ ඔබ සැමට ස්තුතියි.  


කෙරුවා  නිදි කවි ගෙත්තම් ලස්සන    වැඩ 

ගැසුවා    ප්‍රා වැට බ්ලොග් දෙවටේ         හැඩ 

බැරුවා   පනිනට ලලිත් අනුමානෙට      සැඩ 

දැමුවා    අජිත් හා ඩ්‍රැකීයා කෙමෙන්ටු ගොඩ



Saturday, December 26, 2020

පළිගු කිරිල්ලී - විසිහත්වන කොටස


 

දීපිකාගේ කෑගැසිල්ලෙන් සිතුවිලි දැහැනින් මිදී ඔහුගේ ලිපිය අතේ තබාගෙනම කුස්සියට ගොඩවූ ඉන්දිරාට ළිපේ දුම් දමමින් වතුර නටන කේතලය දුටුවා ය. කෙමනියෙන් පිටවන සිහින් අළු පැහැති වාෂ්ප මඳක් ඉහළට ගමන්කර වායුගෝලයේ අතුරුදහන්ව යන සැටි බලා උන්නා ය. අතරැඳි ලිපිය අත්ලේම පොඩිව ගොස් නිවෙන්නට ආසන්න මලානික ගිනිඳලු අතරට වැටී ඒවා ප්‍රාණවත්කරමින් ගින්දර අතරම සැඟවගියේ ඉන්දිරාගේ මියගිය ආදර කතාව ආදාහනය කරවන්නට මෙන්ය.

“මොකද බං? කෝ තාම තේ හැදුවේ නැද්ද?”

“නෑ.”

“ඉන්දිරා උඹට මොකද බං මේ වෙලා තියෙන්නේ? කොයිවෙලාවෙත් බුම්මගෙන. ඇයි උඹට මොකක් හරි අසනිපයක්ද?” 

“නෑ. ”

“නැත්තේ නෑ. උඹ නිකං හෝන්දු මාන්දු වෙලා වගේ.”

“නිලන්තගෙන් ලියුමක් ඇවිල්ලා.”

“මොනවාද කියලා තියෙන්නේ?”

“වෙන මොනවාද ඉතිං හැමදාම කියන එකම දේ එයාගේ දුක වේදනාව තමයි. මම එදා එයාට කෙලින් තීරණයක් ගන්න කොන්ද පණ නෑ කියලා කිව්ව එකට දොස් කියලා තිබුණා.”

“එහෙම කිව්ව එක නම් හොඳයි. එයාගේ කොන්ද පණ තියාගෙන හරි තීරණයක් අරගන්න පුලුවන් මිනිහෙක් නෙමෙයි. ඒ ගෑණි එහේ තියාගෙන මෙහේ ඔයාව තියාගන්නයි නිලන්තට ඕනේ.”

“ආයෙමත් එන්නේ නෑ, කතා කරන්නේ නෑ කියලා කිව්වාට මට හිතෙන්නේ නෑ එයාගෙන් ලේසියෙන් අයින් වෙන්න පුළුවනි කියලා.”

“ඇයි එහෙම කියන්නේ?”

“මේ ලියුම තැපැල් කළාට පස්සේත් මට දෙසැරයක් විතර වැඩපලට කෝල් කරලා තිබුණා.”

“ඉතිං උඹ ගිහිල්ලා කතා කළේ නැද්ද? මොනවාද මිනිහා කියන්නේ?”

“නෑ මම කතා කරන්න ගියේ නෑ. මම වැඩට ආවේ නැහැ කියන්න කිව්වා.”

“එහෙම කිව්ව එකත් හොඳයි මිනිහා ආයෙත් කතා කරන එකක් නෑ.”

“ඒත් ෂුවර් නෑ දීපිකා. එයාට හිතුනොත් ඒ දෙය කරන කියන ජාතියේ අමුතු මිනිහෙක්.”

“ඉතිං උඹ ඔය දේවල් දැනගෙනද මෙච්චර කල් ආශ්‍රය කළේ?”

“ඒවූනාට දීපිකා එයාගෙන් මට ලැබුනු ආදරය ආරක්ෂාව මට විජිතගෙන්වත් ලැබිලා නෑ.”

පැවසූ ඉන්දිරා සීනි බෝතලය අතට ගෙන ඇතුලත ඇලී තිබුනු සීනි හූරන්නට විය. සීනි හැන්දක් පමණ දීපිකාගේ අල්ලට හළා තම අල්ලටද මඳක් ගෙන වසා දැම්මාය.


ඉන්දිරා අනුමාන කළා සේම යළිත් නිලන්තගෙන් දුරකථන ඇමතුමක් වැඩපලට ලැබුනි. පෙර පරිදිම ඈ වැඩට නොපැමිණි බව පවසන්නයි දැනුම් දුන්නාය.


★★★★★★★★★★★★★★

 

“ළමයෝ. ඉන්දිරා ළමයෝ.”

මළකඩ කෑ ගේට්ටූ පලුව විවර කරගෙන වත්තට ඇතුළුවූ ඉන්දිරා බෝඩිම් කාමරය පිහිටා තිබූ පිළිකන්න දෙසට ගමන්කරද්දී එහි අයිතිකාර මැදිවියේ ගැහැණිය ඈ අමතන හඬ ඇසිණ. ඉන්දිරා යන ගමන නවතා ඈ දෙස බැලුවා ය. 

“ඇයි ඇන්ටි?”

ප්‍රශ්නාර්ථයක් මුහුණට නගාගෙන ඈ ඇසුවා ය.

“ඉන්දිරාව මුණ ගැහෙන්න කවුද ඇවිල්ලා ඉන්නවා.”

“කවුද ඇන්ටි?”

“දන්නේ නෑ ළමයෝ ඔය ළමයාගේ මල්ලිගේ හමුදාවෙ යාළුවෙක් කිව්වා. මම මල්ලිගේ යාළුවෙක් කිව්ව හින්දා නවත්ත ගත්තා.”

රටේ පවතින යුධමය වාතාවරණය නිසා මේ දිනවල නිරන්තර ඇසෙන බෝම්බ පිපිරීම් ඇගේ මතකයට ක්ෂණිකයෙන් පිවිසුණි. ඉන්දිරාට එකවරම කෝලිතගේ මුහුණ මැවීපෙනුණා ය. යුධමය ක්‍රියාන්විත බහුල නොවන පෙදෙසක සිටියත් හමුදාවේ රාජකාරි කරනා ලොකු මල්ලිට අනතුරක් සිඳුනොවනා බව ස්ථිර ලෙසින් කියන්නට නොහැකිය. ඉන්දිරා නිවසේ ඉස්තෝප්පුව දෙසට ඇගේ පිටුපසින් ඇවිද ගියා ය. ඉස්තෝප්පුවේ පුටුවක අසුන්ගෙන සිටිනා නිලන්තගේ රුව ඇගේ නෙතට අසුවෙද්දී සිරුර පුරා විඳුලි සැරයක් දිවයන්නාක් සේ භිතීයක් හට ගනු දැනිණ. විමතියෙන්මෙන් ඔහු දෙස බලා සිටි ඉන්දිරාට ඔහුගේ නෙත් හා යාවෙනු දැනුනායින් ඈ වහාම බිම බලාගත්තා ය. අසුන් නැගිටගත් ඔහු ඉස්තෝප්පුවෙන් පිටව ඉන්දිරා සමිපයට ඇවිද එන්නට විය. 

“ඉන්දිරා.”

නිලන්තගේ අභිබවන සුළු ගැඹුරු හඬ ඇගේ දෙසවන් අද්දරින් ඇසුනායින් තිගැස්මක් සහිතව හෘද ස්පන්දනය වේගවත්වනවා දැනෙන්නට විය. 

“ඇයි මට බොරු කරන්නේ? මගේ කෝල් වලට කතා කරන්න ආවේ නැත්තේ?”

“මොකටද මෙහෙට ආවේ? මෙහෙට එන්න එපා කියලා නේද තියෙන්නේ? මට මෙහෙ ඉන්න එකත් නැතිකරන්නද ඔයා හදන්නේ?”

“ඔයාට මගේ ලියුම ලැබුනාද බලන්නයි මම කතා කළේ. කිහිප දවසක්ම ඔයා වැඩට ඇවිල්ලා නෑ කිව්ව නිසයි මෙහෙට ආවේ අසනීපයක්ද කියලා බලන්නයි.” 

“මට ඇති අසනීපයක් නෑ. ඇයි මට කරදර කරන්නේ? මට මගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ ඇයි?”

“ඉන්දිරා ඇයි ඔයාට මගේ ආදරේ තේරෙන්නේ නැත්තේ? ඔයා මාව පිස්සු වට්ටන්න එපා. මම මානෙල්ව අතහැරලා ඔයාව මගේ ළඟට ගන්නවා.”

“මම ඔයාට ආදරේ කරපු තරම ඔයා දන්නේ නෑ අයියේ. ඒ ආදරේ මගේ හිතෙන් මැරිලා ගිහිල්ලා ගොඩාක් දවස්. ඔයා දැන් මේවා කියන්න පරක්කු වැඩියි.”

“ඔයාට බෑ සුදූ මගෙන් ඈත් වෙන්න. මම කොහොමටවත් ඉඩ දෙන්නේ නෑ.”

“එහෙම කොහොමද කියන්නේ? ඔයා බැඳලා. ඔයාට කසාද ගෑණියෙක් ඉන්නවා. එයා ගැන බලාගන්න මට කරදර නොකර.”

“මට මානෙල්ගෙන් වැඩක් නෑ ඉන්දිරා. මට ඕනේ ඔයාවයි.”

පැවසූ නිලන්ත ඉන්දිරාගේ අතින් අල්ලාගත්තේය. දැඬි පිළිකුලක් ඈ වෙලාගත්තාක් සේ දැනුනායින් ඉන්දිරා අත ගසාදැමීය. 

“ඔයාට පිස්සුද නිලන්ත? කරුණාකරලා මෙතැනින් යන්න බෝඩිමේ ඇන්ටිත් බලාගෙන ඉන්නවා.”

බෝඩිමේ හිමිකාරිනිය දෙතුන්විටක් නිවසින් එළියට පැමිණ තමන්ගේ කතාබහ කිරීම නිරික්ෂණය කරන අයුරු ඉන්දිරාගේ දෙනෙතට අසුවිය. ඈ ඉන් තවත් කළබලයට පත්විය.

“මම යන්නේ නෑ ඉන්දිරා. ඔයා මගේ හැටි දන්නේ නෑ.”

“මට දැනගන්න ඕනෙත් නෑ. තවත් කරදර කරන්න ආවොත් මම මානෙල්ට ගිහිල්ලා කියනවා.”

ඈ ඔහු ළඟින් මෑත්වෙමින් සෙමින් නමුත් දැඬිව කියා සිටියා ය. 

“ඉතිං කියනවා. මම බයවෙයි. තමුසෙව මම උස්සනවා. අනිවාර්්‍යයෙන්ම උස්සනවා. ” 

ඉන්දිරා වෙත ඇඟිල්ල දිගුකළ ඔහු තම තර්ජනය ඈට එල්ලකළේය. 

“ඉන්දිරා ළමයෝ ඇයි මොකක්ද ප්‍රශ්නයක්ද?”

නිලන්තගේ උස් හඬ ඇසුනු ඇන්ටි ඉස්තෝප්පුවේ සිට විමසිලිමත් වෙමින් ඇසුවා ය. ඈ දෙස හැරි බැලූ නිලන්තට බෝඩිම් හිමිකාරිනියගේ නුරුස්සනාසුලු බැල්ම නෙතට අසුවීය. තවදුරටත් මෙතැන නොරැඳි ඉක්මනින් ඉන්දිරාගෙන් වෙන්ව යායුතු බව ඔහුට හැඟිණ. 

“මම යනවා ඉන්දිරා. ඒත් ඔයාට මගෙන් ලේසියෙන් මඟ හැරලා යන්න බෑ ඒක මතක තියාගන්න.”

කී ඔහු ගේට්ටුව දෙසට ඇවිද යන්නට විය. නිලන්ත පිටව යන තෙක් ඉස්තොප්පුවේ රැඳීහුන් ඇන්ටි ඉන්දිරා වෙත ගියේ පුලුටු කරගත් මුහුණෙනි.

“ඉන්දිරා මොකක්ද මේ හුටපටේ? ඇයි ඒ මිනිහා ඔයාට බැන්නේ?”

“අනේ ඇන්ටි එයාගෙන් බේරිල්ලක් නෑ. දැන් ටික දවසකට ඉස්සෙල්ලා වැඩපලටත් ආවා. මම මඟ ඇරලා ඉන්නේ.” 

“මොකක්ද මල්ලිගේ යාළුවත් එක්ක තියෙන ඔයාගේ සම්බන්දේ? කොහේද වැඩ කරන්නේ?”

“එයා ආමි තමයි. ආදරේ ඉල්ලලා කරදර කරනවා. පස්සේ දන්නේ මිනිහා කසාඳ බැඳපු මිනිහෙක් බව ඇන්ටි.”

ඉන්දිරා තම දෑසට පිරුනු කඳුළු ලේන්සු පොඩියෙන් පිසදැමීය.

“ඔය විත්තියක් දන්නවානම් මම කීයටවත් ගෙට වද්දගන්නේ නෑ. ඔය ළමයාගේ මල්ලිගේ පණිවිඩයකට ආවයි කිව්වේ?” 

“අනේ ඇන්ටි මම හිතුවේ නෑ මෙච්චර කරදරයක්වෙයි කියලා.”

“මම මෙහෙට එනකොටම ඔයාලට කියලා තියෙනවා මේ ගෙදර මඟුල් නටන්න තියා ගන්න එපා කියලා. ඔයාලත් හොඳට මොළේ තියෙන ළමයි නේද? අදට විතරයි සමාව දෙන්නේ. බැඳපු මිනිස්සුයි එක එක ජාතියේ වනචරයෝ මෙහෙට එන්න කියන්න මේක ගුබ්බෑයමක් නෙමෙයි. මම කියන විදිහට මේ බෝඩිමේ ඉන්න බැරිනම් අදම වෙන කාමරයක් හොයාගෙන යන එකයි තියෙන්නේ.”

ඉන්දිරා තෝන්තුවෙන් මෙන් කාමරයට ඇවිද ගියා ය. බෝඩිමේ ඇන්ටි තව මොන මොනවදෝ කියමින් බැන වදිනවා ඉන්දිරාට ඇසුණි. ඕපාදුප මල්ලක් වන් අමාලි නාන කාමරයේ සිට හිස එළියට දමාගෙන ඇන්ටි කියන දේවල් අසාගෙන සිටිනවා ඉන්දිරාගේ දෙනෙතට අසුවිය. නිලන්ත පැවසූ දේවල් සිත්තම් පටයක් සේ ඈට යළි යළිත් තමා වටා භ්‍රමණයවෙමින් දර්ශනය වෙන්නාක් මෙන් දැනෙන්නට විය. ආකර්ෂණිය ලෙසින් මවාපානා ව්‍යාජ සිනහවක් පෙන්වමින් නිර්ලජ්ජිත ලෙසින් බෝඩිමට පැමිණි නිලන්තගේ හැසිරීම තවත් ව්‍යසනයකට පාර කැපීමක්දැයි තම යටි සිතෙන් සිතුවා ය. ජීවිතයේ තවත් එක් සන්ධිස්ථානයක සිදුවූ වරදක් නිසාවෙන් මුළු ජීවිතයම හෝදාපාළුවී යන්නට ඉඩ නොදෙමියි ඉන්දිරා සිතාගත්තා ය. නාන කාමරයේ සිට එළියට ආ අමාලි ඉන්දිරාගෙන් සිදුවුන දේ දැනගන්නට මෙන් එහාමෙහා ගැවසුනත් නිහඬව තම වැඩක් කරගෙන කිසිවක් නොවූ විලසින් සිටින්නට ඈ උත්සාහ කළා ය. දීපිකා බෝඩිමට පැමිණෙනතෙක් නොවසිල්ලෙන් පසුවූ ඉන්දිරා ඈට සිදුවූ සියල්ල පැවසීය.

“එදා ඔයා නිලන්ත ගැන කිව්වාම මටත් හිතුනා ඔය මිනිහා මෙහෙටත් එයිදෝ කියලා. ඒත් බෝඩිමේ ඇන්ටිට කොල්ලෝ ඇලජික් නිසා එයාව පන්න ගනියි කියලයි හිතුනේ.” 

“එයා ඇන්ටිවත් රවට්ටගෙන. ඒත් දීපිකා මට බය ආයෙත් එයිද කියලා. අනේ මට මෙතන ඉන්න එකත් නැති කරන්නයි හදන්නේ.”

“අපොයි ආයෙත් ආවොත් වෙන කාමරයක් හොයාගෙන තමයි යන්න වෙන්නේ. දන්නවානේ ඔය ගෑණිගේ කට. අර බඞ්ඩ හිටියේ නැද්ද?”

“හිටියේ නාන කාමරයේ ඉදන් ඔක්කෝම අහගෙන. මගේ වටේ කැරකුණා මම කියයි කියලා.”

“දැන් ඉතිං ඉනෝකලාට අනික් සක්කරවට්ටම් වලට රස කර කර කියයි.”

“එයා ආපහු ඇවිත් ඇන්ටිට අපි කරපු කියපු දේවල් එහෙම කිව්වොත්.”

“ඔය මිනිහාට ලැජ්ජාවක් ඇතිව කියන්න පුළුවනිද?”

“එයාට ලැජ්ජාවක් තියේනම් මෙහෙට එයිද දීපිකා? අනික තමයි මාව උස්සනවා කියලා තමයි නිලන්ත ගියේ.”

“අන්න ඒකට නම් බය වෙන්න ඕනේ. අපි ටිකක් විතර පරිස්සම් වෙන්න ඕනේ ඒ කතාවට තමයි. පොලිසියේ ඇන්ටි්‍රයක් දාමුද?”

“මොනවා කියලා දාන්නද? එතැන ගිහිල්ලාත් වෙන්නේ මාව ලැජ්ජාවට පත්වෙන එකයි.”

“නිලන්තගේ ගෑණි කොහේද වැඩ කරන්නේ? අපි එයාට කියමු.”

“අපෝ එපා. ඒක නිලන්ත තවත් කේන්ති ගස්සන වැඩක්.”

“නෑ ඔයවාගේ මිනිස්සුන්ට කරන්න තියෙන හොඳම දඬුවම තමයි ඒක. උඹ බයවෙන්න එපා මමත් ඉන්නවානේ. කියපං කොයි කෑම්ප් එකේද වැඩ කරන්නේ?”

“නිලන්ත මුලින්ම කිව්වේ මානෙල් ඉන්නේ හමුදා මූලස්ථානයේ කියලා. මට මතක විදිහට පස්සේ කිව්වේ මැලේ ස්ටී්‍රට් එකේ තියෙන කෑම්ප් එකේ කියලා.”

“යමු ගිහිල්ලා කියමු මිනිහාගේ පැටිකිරිය. එතකොටවත් නතරවෙයිනේ.”

“අපි කරන්න හදන වැඬේ හරි නෑ නේද? මට පේන්නේ ඔය වාගේ වැඩක් නොකර නිලන්ත මෙහෙට එන එක නතර කරගත්තාම වැඬේ ඉවරයි.”

“උඹට මෙතන ඉන්න එකත් එකා නැති කරන්නයි හදන්නේ. පිස්සු නැතිව වරෙන්. උඹේ ඕනෑවට වැඩි අනුකම්පාව තමයි හෙනේට ඉදලා තියෙන්නේ.”

දීපිකා කෝපයෙන් පැවසුවාය. 

“අනිද්දාට නිවාඩු දවසක් වැටෙනවානේ එදාට ලෑස්තිවෙයන් යන්න.”

එක එල්ලේම විරුද්ධත්වය පෑමට නොහැකිවූ ඉන්දිරාට දීපිකාගේ ප්‍රබල බලපෑම නිසාවෙන් ඇයගේ සිතැඟි අනුකුලව කටයුතු කරන්නට සිදුවුණි. දීපිකාගේ උනන්දුව හා කැපවීමට කෘතවේදී වන්නට තරම් යහපත් මානසික තත්වයක ඉන්දිරා සිටියේ නැත. ඈ මානෙල් හමුවන්නට බියක් හා චකිතයක් ඇතිව සිත තුළ පැන නැංවෙන අග්නිජලාවන්ට මැදිව දුක්වින්දාය. මානෙල් සොයා යන ගමන නොයා ඉන්නට අහේතුක කරුණු එකින් එක දීපිකා හමුවේ තැබුවේ එම නිසාවෙන්මය. ඉන් දීපිකා කෝපයට පත්වූවා ය. අකමැත්තෙන් වූවත් ඉන්දිරා ගමනට සුදානම් වූයේ දීපිකාගේ කෝපය හමුවේ ඈ නිරුත්තර කරවන්නක් වූ බැවිනි. 

පිටකොටුව බලා දිවෙන බසයකට ගල්කිස්ස හංදියෙන් ගොඩවූ ඔවුන් දෙදෙනා මැලේ වීදියෙන් බැසගත්හ. කඳවුරේ ගේට්ටුව අසළට යනවිටදීම ඉන්දිරා දීපිකාට පසුබා සිටියා ය. දීපිකා චෝදනාගාරයේ සිටි සෙබලෙක්ගෙන් කාන්තා සෙබල මානෙල් ගමගේ ගැන විමසීය. එහිදී එම සෙබලාගෙන් ලද පිළිතුරෙන් දීපිකා මෙන්ම ඉන්දිරාද විමතියට පත්වීය. 

“මේ කෑම්ප් එකේ කාන්තා සෙබලියන් නෑ. ඒ නිසා යුධ හමුදා කාන්තා පොලිස් අයත් මෙහේ නෑ.”

“අපිට මේ මානෙල් ගමගේ කියන එක්කෙනා හොයාගන්නයි ඕනේ.”

“එහෙනම් එක්කෝ ඔයාලා හෙඞ්ක්වාටස් වලට හරි නැත්නම් පනාගොඩ කෑම්ප් එකේ තියෙන හමුදාවේ වැටුප් අංශයෙන් තමයි බලන්න වෙන්නේ.”

කඳවුරේ ගේට්ටුවෙන් එළියට ආ පසුව ඉන්දිරා දෙස අවිනිශ්චිත බැල්මක් දීපිකා හෙළීය.

“බලපං මේ මිනිහා උඹව රවට්ටලා තියෙන විදිහ. මානෙල් කියලා කෙනෙක් තියා එක ගෑනු පුළුටක් වත් නෑ.” 

“නෑ වෙන්න බෑ. එයා මේ ළඟදී එව්ව ලියුමකත් තිබුනා මානෙල් ඉන්නේ මේ කෑම්ප් එකේ කියලා.”

“එහෙනම් මූ අමු කෙප්පයක් තමයි අපිට ඇදබාලා තියෙන්නේ. අපිට රේකෝඞ්ස් හොයන්න යන්න වෙයි වගේ.”

“අනේ ඔන්න ඕක අතහැරලා දාමු.”

“උඹට පිස්සුද? මේ ගෑණි ගැන හොයලා මිසක් මම අද බෝඩිමට යන්නේ නෑ. ආමි හෙඞ් ක්වාටස් තියෙන්නේ මේ ලඟනේ වරෙන් යන්න.”

“මේ යුද්දේ තියෙන අස්සේ අපිට හෙඞ් ක්වාටස් වලට රිංගන්න දෙයිද? අනික මේ විස්තර දැන ගන්නත් කොච්චර වෙලාවක් ඉන්න උනාද? දැන් හෙඞ් ක්වාටස් වලට ගියොත් අපිට එතැන දවසක් විතර ලගින්න වෙයි.”

“කමක් නෑ එතැන දවසක් හරි ලැගලා මේ නිලන්ත කිව්ව මානෙල් ගැන හරි විස්තරයක් දැනගෙන යන්න ඕනේ.”

“දැන් මොකක් දැන ගත්තත් මොකද මම නිලන්තත් එක්ක සම්බන්ධයක් නෑනේ.”

“සම්බන්ධයක් නැතිවූනත් ඒ  මිනිහා උඹට දෙන වදයම ඇති නේද මේ ගෑණි ගැන හොයන්න?”

පැවසූ දීපිකා පොළවට පතිතවන දැඬි හිරු රැසින් ආවරණයවීමට හැන්ඞ් බෑගයෙන් කුඩයක් රැගෙන ඉහලාගත්තා ය. පෙර පරිදිම මේ යන්නේ නිෂ්ඵල ගමනකැයි සිතමින් ඉන්දිරා දීපිකා පසුපස ගමන් කරන්නට විය.

“අපි මල්ලිට කියමුද මානෙල් ගැන හොයලා කියන්න කියලා?”

“අපෝ එපා ඊට වඩා හොඳයි හෙඞ් ක්වාටස් එකේ පෝලිමේ ඉදලා විස්තර දැනගන්න එක. එයාට කිව්වොත් නැති ප්‍රශ්න ගොඩකට පැටලෙනවා.”

“ඔව් මටත් ඒක හිතුනේ දැන් තමයි. අනික එකපාරින්ම මානෙල් ගැන එයාට හොයාගන්න බැරිවෙයි.”

“එයි අර නිලන්තගේ යාළුවා මොකක්ද නම?”

  කල්පනා බරිතව මඳ දුරක් ගමන් ගත් දීපිකා ඇසීය.

“ප්‍රසාද්.”

“මිනිහා ඉන්නේ මොන කෑම්ප් එකේද? නිලන්තයි ප්‍රසාදුයි එක කෑම්ප් එකක නෙමෙයි නේද ඉන්නේ?”

“ඔව් නිලන්ත මාරු කළාට ප්‍රසාද්ව මාරු කළේ නෑ. මම හිතන්නේ තාම ඉන්නේ කොහුවල කෑම්ප් එකේ. ඇයි?”

“එහෙනම් වැඬේ හරි. අපි යමු ප්‍රසාද්ව මුණ ගැහෙන්න. ආමි හෙඞ් ක්වාටස් වල පෝලිමේ ඉදලා විස්තර දැන ගන්නවාට වඩා ඉක්මනින් එයාගෙන් දැන ගන්න පුළුවනි.”

“ප්‍රසාද් නිලන්තවගේ ද දන්නේ නෑ. කොහොමත් එකවගේ අයනේ යාළු මිත්‍රකම් පවත්වන්නේ.”

ඉන්දිරා ලේන්සුවෙන් මුහුණේ මතුව ආ දහඩිය පිසදාලමින් කීවා ය.

“ඒක මම එයත් එක්ක බලාගන්නම් ඉන්දිරා බය නැතිව මම කියන ඒවාට විතරක් උත්තර දෙන්න.”

පිටකොටුවෙන් එකසියවිස්සේ බසයකට නැගුන ඔවුන් කොහුවල හන්දියෙන් බැසගත්හ. කඳවුර සොයාගෙන දහවල් ගිනි මද්දහනේ පයින්ම ඇවිද ගිය ඔවුන් කඳවුරු භූමියට ඇතුල් වූහ. කඨෝර හිරු රැස් පිටස්තරයින්ට රැඳී සිටින්නට සකසා තිබූ මඩුවේ තහඩු ගිනියම් කරන්නට විය. අමුත්තන් රැඳී සිටිනා තාවකාලික ගොඩනැගිල්ලට ඇතුළුවූ ප්‍රසාද් හාත්පස සිසාරා තම නෙත් දිවයැව්වේ තමන් හමුවට ආ අමුත්තා සොයාගැන්මටය. සෙනග අතරින් තමන් සිටිනා ඉසව්ව සොයාගැනුමට නොහැකිව වටපිට බලනා ප්‍රසාද්ව දුටු දීපිකා අසුනින් නැඟිට ගත්තා ය. ප්‍රසාද්ගේ නෙත් දීපිකාගේ නෙත් හා යාවුණී. ඔහු ඈ දෙස විමතියෙන් මෙන් තප්පර කිහිපයක් බලාගෙන සිටින්නට විය. ඊළඟ නිමේෂයේදී ඉන්දිරාගේ රුව ඔහුගේ නෙතු ගැටුනායින් ප්‍රසාද් යම් තැතිගැන්මකට ලක්වී අපහසුතාවයකින් පෙළෙන්නාක් සේ හැසිරෙන්නට විය. ඔහු තුළ පැන නැගි ප්‍රශ්නාර්ථය සඟවාගනිමින් ආයාසයෙන් මුහුණට නගාගත් සිනහාවක් පෑවේය. 

“ඇයි ඉන්දිරා නංගි මෙහේ ආවේ?”

ඔහු දීපිකා දෙස විමසිලිමත් බැල්මක් හෙලමින් ඇසීය.

“මට ඇඳුම් වගයක් ගන්න අපි නුගේගොඩට ආවා. ඉන්දිරා කිව්වා ඔයා ඉන්නේ කොහුවල කෑම්ප් එකේ කියලා. ඉතිං අපිට ඔයාව බලන්න හිතුනා.”

ඉන්දිරා මුනිවත රකිද්දී දීපිකා තම දෙනෙත් නටවා දඟකාරි ලෙසින් කීවා ය. ඇගේ දඟකාර හැසිරීම දෙස ප්‍රසාද් බලාසිටියේ පුළුල් සිනහාවක් මුවට නගා ගනිමිණි.  

“දැන් ඉතිං දැක්කානේ.”

“එහෙනම් යන්නද කියන්නේ?” 

“අපෝ නෑ. මදිනම් තව බලාගන්න කියන්නයි හැදුවේ.”

මෙතෙක් වෙලාවක් ප්‍රසාද්ගේ සිත අකර්මණ්‍ය කරවූ වරදකාරී අවිනිශ්චිත හැඟුමන් පහව ගියේය. ඔහුද ඈ සමඟ එක්වෙමින් සිනාසෙන්නට විය.  

“එක නෙමෙයි කෝ ඔයාගේ ලොක්කා?”

“කවුද? නිලන්තද?”

“වෙන කවුද ඉතිං. ඔයා වැඩකරන්නේ එයා කියන හැටියටනේ. නේද ඉන්දිරා?” 

ඉන්දිරාගේ සිටියේ කොතැනින් මේ සංවාදය පටන් ගනිමිදෝ සිතමින්ය. මනෝභාවයන් වෙන ඉසව්වක රැඳීසිටිය නිසාවෙන් දීපිකා කියූ කිසිවක් ඈ දෙසවනට වැටුනේ නැත. දීපිකා තම නම අමතන ඇසුන විගසින් තිගැස්සී ගිය ඉන්දිරා වෙනතක රැඳුණු සිත යළි තමන් වෙතට ඇදගත්තා ය. කිසිවක් නොතේරුනත් ඈට හුමිටි දුන් ඕ යළිත් කඳවුරේ ඈත අනන්තයක් දෙසට නෙත් දිවයැව්වා ය. 

“එහෙමද ඔයාලා හිතාගෙන ඉන්නේ? එයා මට වැඩිය රෑන්ක් එකෙන් පොඞ්ඩක් විතර උඩින් ඉන්නේ. මොනවා කරන්නද හමුදාවේ හැටි එහෙම තමයි.”

“ඇත්තටම ඇයි ප්‍රසාද් නිලන්ත අපේ අහිංසකීට එයාගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ? දැන් කී සැරයක් එයා වැඩපලටත් ආවාද? ඒ මදිවට එහෙට කෝල් කරනවා. එයාට කියන්නකෝ මෙයාට පාඩුවේ ඉන්න දෙන්න කියලා.”

“නිලන්ත අපි කියන කිසිම දෙයක් අහන්නේ නෑ. මම එදා යන්න එපා කියද්දී තමයි ප්‍රැක්ටිස් වලින් කට් කරලා මාවත් ඇදගෙන ආවේ. පස්සේ අපේ කෝචර්ගෙන් බැනුම් ඇහැව්වේ මමයි.”

“ඔයාලා ඇවිල්ලා ගියාට පස්සේ නිලන්ත බෝඩිමටත් ඇවිල්ලා ඉන්දිරාව මුණ ගැහෙන්න. ඔයා දන්නවානේ ප්‍රසාද් අපේ බොඩිමේ ඇන්ටි කොල්ලෝ බෝඩිමට එනවාට කැමතිම නෑ කියලා. ඉන්දිරාට හොඳටම බැනලා වෙනින් තැනක් හොයාගන්න කියලා. මෙයා මෙච්චර අකමැතියි කියලත් ආපහු මෙයා පස්සේ එන්නේ ඇයි?”

“නිලන්තට මේ දවස්වල හරියට කේන්ති යනවා. මට හොඳම බැන්නා මදිවට ගහන්නත් ගියා. දැන් එයා බොනවා වැඩියි. දවසක් බීලා වැඩිවෙලා ටිම් එකේ අයත් එක්ක ගෝරියක් දාගත්තු නිසයි එයාව මෙහෙන් වෙන කෑම්ප් එකකට මාරු කළේ.”

“ඇයි එයාට ගොඩාක් ප්‍රශ්න තියෙනවාද?”

“මොන ප්‍රශ්න ද දීපිකා? ”

“ඇයි අර නඩුව?”

“මොන නඩුවද?”

ප්‍රසාද් විමතියෙන් මෙන් දීපිකා දෙස බැලීය. නිලන්තගේ සැඟවුනු රහස් ඇති බව දීපිකා මෙන්ම ඉන්දිරාද ඉන් තේරුම් ගත්හ. 

“ඇයි ඔයා දන්නේ නැද්ද නිලන්ත වයිෆ්ගෙන් දික්කසාදේ ඉල්ලලා මීගමුවේ උසාවියේ දාලා තියෙන නඩුව?”

“ආ.... ඒ.... ක ද?”

ඔහුගේ මුවගට ආ කිසිවක් පිටවන්නට නොදී ආයාසයෙන් රඳවාගෙන සඟවාගත්තාක් මෙන් ඔවුනට දැනුණි. ප්‍රසාද් එකවරම නිහඬ විය. දීපිකාගේ තියුණු නෙත්සරට තවදුරටත් ලක්වනු නොහී ඔහු නිහැඬියාව රකිමින් බිම බලාගත්තේය. 

“මට ඇත්ත කියන්න ප්‍රසාද් නිලන්තගේ වයිෆ් වැඩකරන්නේ හමුදාවේ නෙමෙයි නේද?”

“ඇයි ඕවා මගෙන් අහන්නේ? ඕවා නිලන්තගෙන් අහගන්න. මට එයාගේ විස්තර කියන්න බෑ.”

“ඇයි අයියේ ඔයා මේ හැමදේම දැනගෙන හංගන්නේ? අපි එයාට කියන්නේ නෑ. අනික මම දැන් නිලන්ත එක්ක සම්බන්ධයක් නෑනේ.”

මෙතෙක් වේලාවක් මුතිවත රකිමින් සිටි ඉන්දිරා තම නිහැඬියාව බිඳ දමමින් මුවගොළු විවර කළාය.

“එහෙනම් මොකටද එයා ගැන විස්තර හොයන්නේ?”

නුරුස්සනා බැල්මක් ඉන්දිරා දෙස හෙළමින් ඔහු ඇසීය. තම දෑසට කඳුළු පිරීගෙන එන බව ඉන්දිරාට දැනුණි. ඈ දුබල කටහඬින් ඔහු ඇමතුවා ය.

“මට ඕනේ එයා මාව කොච්චර රැවැට්ටුවාද කියලා දැන ගන්න.”

“නිලන්තගේ විස්තර මගෙන් අහන්න එපා ඉන්දිරා. මම කැමති නෑ එයාගේ දේවල් කියලා තවත් ප්‍රශ්න වැඩි කරන්න.”

“ඔයාට පිං අයිතිවෙයි අයියේ. මට ඔයා දන්න ඔක්කෝම කියන්න. ඔයා කිව්වේ නැත්නම් මම මෙතැනින් යන්නේ නෑ කීයටවත්. ඔයා දන්නවා මානෙල්ට දික්කසාද නඩුවක් දාලා නැති විත්තිය.”

“මානෙල්? කවුද මානෙල්? නිලන්ත බැඳලා ඉන්න එක්කෙනාගේ නම මානෙල් නෙමෙයි.”

“එහෙනම්?”

“එයාගේ නම මල්ලිකා. මල්ලිකා ගමගේ. ”

“වැඩකරන්නේ හමුදාවේ කිව්වෙත් බොරු නේද?”

“එයා වැඩ කරන්නේ ගොවිජන සේවා එකේ.”

“කොහේ එකේද? හෙඞ් ඔෆිස් එකේද?”

“ඉස්සර නම් හිටියේ කොළඹ. මම හිතන්නෙ දැන් ඉන්නේ ගෙවල් පැත්තේ මධ්‍යස්ථානයක.”

“ඒ කියන්නේ මාරවිල?”

“මාරවිල ඉන්නේ නිලන්තගේ අම්මලා විතරයි. නිලන්තලා පදිංචිවෙලා ඉන්නේ දියතලාවේ. මල්ලිකා  මෙහෙන් මාරුවෙලා ගියේ බදුල්ලට වෙන්න ඕනේ.”

නිලන්ත තමන්ව නිර්දය ලෙසින් රවටා ඇති බව සිතට නැගෙද්දී නෙත් පුරවා දමමින් තිබූ කඳුලැලි රූරා හැලෙන්නට විය. මුවින් නැඟුණ ඉකිය පිටවන්නට නොදී වලකාගන්නට ඉන්දිරා තම අතරැඳි ලේන්සුව විකාගත්තා ය. මුළු සර්වාංගයම අග්නිජාලාවකින් වැසී ගොස් සිත තුලවූ සියලු සංවේදනයන් භාව කම්පනයකින් සැලෙන්නාක් සේ ඈට දැනෙන්නට විය. දැස් අභියසවූ කඳුළුද බරවූ නාසයද ලේන්සුවෙන් පිසදාගත්තා ය.  

“ඇයි ප්‍රසාද් අයියේ මෙහෙම කරන්නේ? මෙයා තව කෙල්ලෝ කී දෙනෙක් මෙහෙම බොරු කියලා රවට්ටලා ඇද්ද?”

සිතට වෙර ගෙන කතා කරන්නට තැනූ ඉන්දිරා බිඳුණු හඬින් ඇසුවා ය. 

“ඇත්තටම හමුදාවේ කොල්ලන්ට තියෙන ගරුත්වයත් මේ නිලන්ත වාගේ අසමජ්ජාති බොරු වංචාකාරයින් හින්දා නැති වෙනවා. ඇත්තටම ඔයාලටත් මේවාගේ සහෝදරියන් ඉන්නවා කියලාවත් හිතෙන්නෙ නැද්ද?”

කෝපයෙන් දීපිකා ඇසීය.

“අනේ මම ඕවා දන්නේ නෑ. අනික මේවාට ඔයාලත් වග කියන්න ඕනේ. හොයන්නේ බලන්නේ නැතිව රැවටෙනවාට.”

“ඔයාත් මේකට උදව් කළානේ.”

“මම ඉන්දිරා ගැන දැනගන්න කොට ඔයාලා දෙන්නා ගේ සම්බන්ධය පටන් අරන් ඉවරයි. නිලන්ත ඉන්දිරාට කියලා තියෙන්නේ මොනවාද මොන මොන අදහස් හුවමාරුවෙනවාද කියලා මම දන්නේ කොහොමද?  මට අනුන්ගේ ලියුම් එහෙම කඩලා බලන්න පුළුවන් කමක් නෑ.”

“එහෙම කියන්න එපා ඔයා නිලන්ත ගැන අපිට වඩා යමක් දැනගෙන හිටියානේ. එයා මේ අහිංසක කෙල්ලව රවට්ටනවා කියලා ඔයා දන්නවානේ.”

“යාළුවෙකුට විරුද්ධව වැඩකරන්න පුළුවන් කමක් මට තිබුනේ නෑ. මට සමාවෙන්න ඇත්ත විස්තරේ 

දීපිකාගේ චතුර වචන හරබයන් හමුවේ පසුබාගිය ඔහු අවසානයේදි දුබල හඬකින් තමන් ද නිලන්තගේ නිහීන වංචාවන්ට හවුල්වූ වග පිළිගෙන සමාව අයැදීය. අවශ්‍ය තරම් කරුණු ප්‍රසාද්ගෙ මුවින් එළියට ගන්නට තරම් දීපිකා ශුර එකියක වූවා ය. උදයෙන්ම බෝඩිමෙන් පිටව ආ බැවින් දහවල් කුස ගින්නද දැඬිවෙමින් පැවතියහ. තවදුරටත් කඳවුරේ රැඳෙන්නට අවකාශයක් නොතිබුනායින් ඔවුන් දෙදෙනා ඔහුගෙන් සමුගෙන එළියට ආවෝය. ව්‍යාකුලවූ හැඟුමන්ද මානසික තෙහෙට්ටුවද සමඟින් හේබාගිය පරඬැලක්සේ දීපිකා පසුපසින් ඉන්දිරා ඇදුණා ය.

“නිලන්ත මාව රවට්ටලා තියෙන්නේ එයාව මුණගැහැනු මුල්ම දවසේදීමයි. මට කිව්වේ එයා රගර් තරගයකට ඇවිල්ලා මේ ආපහු කෑම්ප් එකට යන ගමන් කියලා. දැන් බලනකොටනේ දන්නේ මේ මිනිහා නිවාඩුවට ගෙදර ගිහිල්ලා එන ගමන් තමයි මාව බස් එකේදී මුණගැහිලා තියෙන්නේ.”

“ඔය මිනිහා ගැන තේරිලා එයාගෙන් අයින් වෙන්න හදන එක ගැන මට හරිම සංතෝෂයි.”

“දීපිකා ඔයාට බොහෝම පිං අයිතිවෙන්න ඕනේ. ඔයයි අම්මයි නැත්නම් මාව තාමත් නිලන්ත රවට්ටනවා මිනිහා මවලා පෙන්නපු බොරුවලට යන්න අපායක් වත් තියෙයිද දන්නේ නෑ.”

“දැන් නිලන්ත ගැන වැඩක් නෑ. දැන් නම්  මට හොඳටම බඩගිනියි.”

“දැන් ගිහිල්ලා උයන්න බෑ. උඹට විතරක් බත් පාර්සලයක් අරගන්න.”

“මොකකද්ද එකක්? ඇයි උඹ කන්නේ නැද්ද?”

“මට කන්න බෑ. බඩගින්නක් නෑ.”   

“අනේ මේ පිස්සු නැතිව හිටපං. නොකා නොබී ඉන්න මෙතන මළ ගෙයක් වුනේ නෑනේ.”

“මළ ගෙයක් වෙන්නත් තිබුණා නිලන්ත මාව උස්සනවා කියලයි ගියේ.”

“අනේ ඔය මනස්ගාත අතහැරලා දාපං. තනි එයාට මොනවා කරන්න පුළුවනිද? අනික ඔය මිනිස්සුන්ට කේන්ති ගියාම කියන කතාවල් නේ බං ඕවා.”

“මට මානෙල් මුණගැහෙන්න ඕනේ.”

“මොකටද?”

“මට මානෙල් කවුද මොන වගේද කියලා බලන්න ඕනේ. එයාට කියන්න ඕනේ නිලන්ත මාව කැත විදිහට රවට්ටපු හැටි.”

“ඕවා ඒ ගැණිට කියලා වැඩක් තියෙයිද? අනික ඒ ගෑණි උඹව පන්නා ගනියි එයාගේ මිනිහා එක්ක බුදිය ගත්තු වල් ගෑණියෙක් කියලා.”

“කමක් නෑ මාව පන්නාගත්තත්. ඒ ගෑණි දන්නේ නැතිව ඇති මේ වනචරයාගේ සල්ලාලකම්. මට ඕනේ කරන්නේ තවත් අහිංසක කෙල්ලෙක් මම වාගේම මේ තිරිසනාගේ රැවටිලි වලට අහුනොවෙන්න වලක්වන්නයි. ඉස්සෙල්ලා මාව මානෙල් මුණ ගැහෙන්න එක්කගෙන ඇවිල්ලා ඇයි දැන් එයාව හොයාගෙන යනවාට අකමැති?”

ඉන්දිරාගේ පැනයෙන් ඈ නිරුත්තර වූවා ය.

“උඹ කොහොමද දියතලාවේ ගෙදර දන්නේ?”

“මොකටද ගෙදර යන්නේ මම බදුල්ලේ ගොවිජන සේවා එකට ගිහිල්ලා එයාව මුණගැහෙනවා.”

“කවුද දන්නේ එතැනින් මාරුවෙලා ගිහිල්ලාද කියලා.”

“එහෙම නම් එතැන අය දන්නවා ඇතිනේ එයා කොහේටද මාරුවුනේ කියලා.”

ඇය තම දැඬි තීරණයේම එල්බගනිමින් කියා සිටියා ය. 


බෝඩිමට ගිය පසුත් ඉන්දිරා පසුවූයේ තොන්තුවූවාක් සේය. දහවල් ගිනි මද්දහනේ අව්රශ්මියත් කැකෑරුනු දුහුවිලි මිශ්‍ර වාතයත් ආග්‍රහණය කළ නිසාදෝ ඉන්දිරා සවස්වන විට මලානිකව පසුවන්නට විය.


එක රෑනට වැඩපලින් නික්මුනු යුවතියන් අතරින් ඉක්මන් ගමනින් අත්තිඩිය හන්දියේ සිට ජනතා මාවතේ බෝඩිම තෙක් ඇති කෙටිදුර ඇවිද ගිය ඉන්දිරාට ඈතින් තමා වෙතට ඇවිද එන රුව අඳුනාගත්තාය. ඔහු දුටු විගසම විදුලි සැරයක් වන් තිගැස්මක් සහිත අනතුරක සේයාවක් පෙන්නුම් කරනා සංවේදනයන් සිරුර පුරා දිව යනු ඈට දැනුණි. ඇසිපිය හෙලනා නිමේෂයෙන් තමන් ඉදිරි පිටට පාදුර්භූතවූ නිලන්ත මඟ හැර යායුතු අතුරු මඟක්ද නොවුනු ප්‍රධාන පාරේ ආපසු හැරී දිවයන්නද නැතිනම් ඔහු ඉදිරියට ගමන් කරන්නද සිතා ගත නොහැකි විය. නිලන්ත තමන් ළඟට තවත් ළං වද්දී ඈ දහඩියෙන් නැහැවී ගියා ය. නිලන්ත තම දියණිය මල්ෂාගේ අතින් අල්ලාගෙන සිටිනු දුටු ඈ මුව විවර කළේ කෑ ගසන්නට නමුත් එකදු වදනක් වත් පිටකරවාගන්නට නොහැකිවුණි. කෙලිලොල් දඟකාරකමින් යුතුව නිලන්තට කුමක්හෝ කියා සිනාසෙන මල්ෂා දුටු සැනෙන් ඉන්දිරාගේ ඉහමොළ ගිනිගත්තාක් සේ දැනෙන්නට විය. හැල්මේ සෙනග අතරින් පිරාගෙන ඔවුන් දෙසට ඈ දිව ගියේ කෑ ගසමින්ය. ඔවුන් අසළට ළංවෙද්දීම පදිකවේදිකාවේ ගැලවී තිබුනු ගලක පය පැටලි ඉන්දිරා බිම ඇද වැටුණි. අසීරුවෙන් නැගිටගන්නට තනද්දී ඔවුන් ඉන්දිරා අසළටම පැමිණියහ. කකුල් පැටලි බිම වැටීහුන් ඉන්දිරා දෙස බලමින් ඔවුන් සමච්චල් ලෙසින් සිනහාවෙන්නට පටන්ගෙන ඇති සේය. ඉන්දිරාගේ මනසේ ආතතිය වැඩිවීගොස් දෑස් පුරා කඳුළු පිරිණ. තම කුසින් උපද්දවන ලද ප්‍රාණ සමාන දරුපැටියා ගුජුප්සාජනක මේ මිනිසා රවටා ගත්තේ කෙසේද? ඔහුගේ සිනා හඬ දෙසවන් පුරා දෝංකාර දෙන්නාක් මෙන් සියලු හඬවල් අභිබවමින් ඇසෙන්නට විය. ගලේ වැදී ලේ ගලමින් ඇදුම්කන කකුලට බරනොදී අසීරුවෙන් ඕ නැගිට ගත්තා ය. බිම වැටුනු තමාට මෙපමණ සිනාසෙන ඔහුගේ මුහුණ දෙස තම හිස ඔසවා බලද්දී මුළු සියොළඟම කිලිපොලා යනු දැනිණ. ඈ කෑගසන්නට මුව විවර කළා ය. මල්ෂාගේ අතින් අල්ලාගෙන සමච්ල් සිනා පානා පුද්ගලයාවූයේ නිලන්ත නොව විජිතය. විජිතගෙන් මල්ෂාව මුදාගන්නට ඉන්දිරා යටිගිරියෙන් කෑගසමින් ඉදිරියට පැන්නා ය.


“ඇයි ඉන්දිරා ඇයි?”

ළඟ නිදා හුන් දීපිකා ඉන්දිරාව දෙතුන්විටක් සොලවා කතා කළා ය. වසන්ති අක්කා ඉක්මනින් කාමරයේ විදුලි පහන දල්වාලීය. දෙනෙත් විවර කළ ඉන්දිරාට සිහිනයත් පියවි ලොවත් අතර දෝලනය වන මනසින් සිහිඑලවාගැන්මට මඳ වේලාවක් ගතවිය. හිරිගඬු පිපී මුළු ගතම දහඩියෙන් නැහැවී තිබූ ඉන්දිරා බියෙන් වෙවුලමින් සිටියා ය. පිටු පසින් අතක් යවා එක් උරයකින් අල්ලාගෙන දීපිකා ඈ වත්තන් කරගත්තා ය. 

“ඇයි මොකද හීනයක්වත් දැක්කාද?”

වසන්ති අක්කා ඈ ලඟට පැමිණ හිස අතගාමින් ඇසීය. නිහඬව සිටි ඉන්දිරා ඔව් කියන්නට මෙන් හිස වැනිය. ප්ලාස්ටික් ජෝගුවට කළයෙන් වතුර ටිකක් වත්කරගත් වසන්ති අක්කා ඈට බොන්නට දුන්නා ය. වේලුනු තොලකට තෙමාගන්නට වතුර උගුරු කිහිපයක් බිව් ඈ තමන් දෙස බලන් සිටිනා සෙස්සන්ගේ දෑස් මඟ හැර යළිත් පැදුරේ හාන්සිවූවා ය. මරහඬින් කෑ ගැසූ ඉන්දිරා නිසා බෝඩිම් කාමරයේ සෙස්සන්ද බියවී ඇහැරි තිබුණි. 

“විකාර හීන බලල අපිවත් බය කරනවා. මුන්ගේ මළ සමයං”

“මමත් හොඳටම බයවුනා අර ග්‍රීස් යකා කියන එකා ඇවිල්ලාද කියලා.”

අමාලි ඉනෝකා දෙස බලමින් කීවාය. ඔවුන්ගේ කතාව කන වැකුණු වසන්ති අක්කාගේ කෝපය වැඩිකරවන්නක් විය. 

“නරක හීනයක් පෙනිලා බය වුනා කියලා කාටවත් අමාරුවක් එහෙම තියෙනවාද? කවුරු කවුරුත් නිදාගත්තානම් හොඳයි”

ඉනෝකා දෙස බලමින් වසන්ති අක්කා අසද්දී ඈ තම පොරෝණාව හිසේ සිට පොරවාගත්තා ය.  

පාන්දර සහලෝලා උණ ගැනුණ ඉන්දිරා වැඩට යන්නට බැරි බව දීපිකාට පැවසුවා ය. දීපිකා කොතෙක් ඇවිටිලි කළත් බෙහෙත් ගන්න යාමට තියා ඈ සාදාදුන් කොත්තමල්ලි කෝප්පයට අතවත් තැබුවේ නැත. කියනදේ නාහන ඉන්දිරාගේ මුරණ්ඩු ගතියට කෝපගත් දීපිකා ඈට බැණ වදිමින් වැඩට පිටත්වුණි. පෙරදින රාත්‍රියේ දුටු ගුජුප්සාජනක හීනය යළි සිහිපත් වෙද්දී ඉන්දිරාගේ ඇගපුරා හිරිගඬු පිපීගොස් මනස නොසන්සුන් වන්නට විය. ඈ සිතුවම් පටයක් සේ එම සිදුවීම් යළි මෙනෙහි කරන්නට උත්සාහ කරන්නට විය. එහෙත් එහෙන් මෙහෙන් කෑල්ලක් දෙකක් යළි මනසේ දිස්වූවත් පුර්වාපර සන්ධි ගලපා ගනිමින් තමන් දුටු සිහිනය තේරුම් ගන්නට නොහැකිවුණි. 

           පාළු බෝඩිම් කාමරයේ පැදුරේ වැතිර ගත් ඉන්දිරාට පාළුව කාන්සියෙන් පෙලෙමින් විටින් විට මතකයේ ඒකරාශිවන සිතුවිලි එකින් එක යළි පෙළගස්වන්නට පටන්ගත්තා ය. නිලන්ත සිය ආදරය නැමැති කඩතුරාවෙන් තම දෑස් බැඳ දමා ඔහුගේ අතොරක් නැති ආශාවන්ගේ ගොදුරක් කරගත් අයුරු මතකයට නැගෙද්දී දෑස් කඳුලින් තෙත්වන්නට වුණි. ඔහුගේ කායික සන්තර්පණයන්ට ඉඩදී තමනුත් අශ්වාදයක් ලැබූ බවත් එහි වරදකාරිත්වය තමන්ගේම බවත් යටි සිත විටෙක මතක් කරදුන්නා ය. තවදුරටත් මේ පාළු කාමරයේ තනිවී මනංකල්පිත මානෝභාවයන් සමඟින් තර්ක කරමින් සිටිනවාට වඩා හල්දුම්මුල්ලට යන එක මැනවැයි ඕ අදහස් කර ගත්තාය. වැතිර සිටි පැදුර අකුලා දැමූ ඉන්දිරා අපහසුවෙන් වුවත් ගෙදර යාමට ඇඳුම් කැඩුම් බැගයක අසුරා ගත්තා ය. බෝඩිමෙන් පිටව යාමට පෙර අසනීප නිසා ගෙදර යන බව දන්වමින් දීපිකාට ලියූ ලිපිය බෝඩිම් ඇන්ටිගේ අතට පත්කළා ය.  


ඉන්දිරා යන්නේ යළි නොඑන ගමනක්ද? මතුසම්බන්ධයි.....

Monday, December 21, 2020

පළිගු කිරිල්ලී - විසිහයවන කොටස


 “ආ මට කියන්න බැරිවුනා. එක දවසක් විජිත ආවනේ අක්කාව හොයාගෙන.”

“කවදාද?”

විස්මයට පත්වූ තමාලි ඇසීය. විජිතගේ නම දිනේෂ් ගේ මුවින් පිටවෙද්දි ඉන්දිරා සන්ත්‍රාසයට පත්වූවාය.

“ අයියා ටේ්නින් වලට යන්න සුමානෙකට විතර ඉස්සර.”

“ විජිත අපේ ගෙදරට නම් ආවේ නෑ.”

සුදු නැන්දා තමාලිට කීවාය.

“ මල්ෂාව අරගෙන එන්න සුදු නැන්දා ගිය වේලාවක තමයි මිනිහා ආවේ. හැබැයි මම දැක්කේ පහළ බස් හොල්ට් එක ළඟදි. අර සුදු පාට හයිඑස් වෑන් එකෙන් ඇවිල්ලා තිබුනේ. ඒ වෙලාවේ අයියා දිස්නා අක්කලා ගෙදර හිටියේ.”

“ ඉතිං?”

“ මම විජිතට නොපෙනෙන්න ටක් ගාලා ගිහිල්ලා අයියාට කිව්වා. අයියයි මායි අර කෑලෑ පාරෙන් ගිහිල්ලා මිනිහා අපේ ගෙදර යන්න කලියෙන් මඟදි අල්ලාගත්තා.”

“විජිත මොකටද ඇවිල්ලා තියෙන්නේ? ”

“දන්නේ නෑ. මිනිහා කිව්වේ නම් මල්ෂාව බලන්න ආවා කියලා. ”

“අපෝ දුවට ආදරේ ඇති තාත්තා. අම්මවයි දුවවයි ගෙදරින් පන්නලා මාස හත අටකට පස්සේ විතර එනවා දුවව බලන්නය කියලා.”

“අපි කිව්වා මෙහේ ඇති මල්ෂා කෙනෙකුත් නෑ. ආයේ මෙහෙට එන්නත් එපා කියලා.”

“ඉතිං ඒකා සද්ද නැතිව ගියාද?”

“නෑ පිස්සුද? මිනිහා ඇවිල්ලා තියෙන්නේ මල්ෂාව උස්සාගෙන යන්න වෙන්න ඇති.”

“එහෙම කොහොමද කියන්නේ?”

“නෑ අම්මේ විජිත තනියෙන් නෙමෙයි ඇවිල්ලා තිබුනේ. තව කොල්ලෙක් එක්කයි. ඌ හිටියේ විජිතගේ වෑන් එකේ.”

“එහෙනම් අර කොල්ලා වෙන්නැති. දෙන්නා එක්ක ජෝඩු දාලා බණ්ඩාරවෙල පැත්තේ ගිහිල්ලා එන ගමන් ද දන්නේ නෑ.”

ඉන්දිරා කීවාය.

“ඊට පස්සේ අපි ආයෙත් හල්දුම්මුල්ල පැත්ත පළාතේ එන්න එපා කියලා ආපහු හරවලා යැව්වා. කොහොමත් මිනිහා ආයෙත් එහේ එන එකක් නෑ ”

“ උඹලා දෙන්නා ඌට ගැහැව්වාද?.”

“ පොඞ්ඩක් විතර මුණට තට්ටුවක් දැම්මා. ආයේ හල්දුම්මුල්ල පැත්තේ ආවොත් නම් හොඳටම නෙලලායි ආපහු යවන්නේ කිව්වා.”

“ ඇයි උඹලා දෙන්නා ඌත් එක්ක රණ්ඩුවට ගියේ? එත් ඇයි මෙච්චර දවසක් මටවත් මේක නොකිව්වේ?”

සුදු නැන්දා විස්සෝපවෙමින් කීවා ය.

“මම දන්නවානේ සුදු නැන්දාගේ හැටි. පොඞ්ඩ ඇත්නම් කලබල වෙන නිසා කිව්වේ නෑ. දැන් ප්‍රශ්නයක් නෑනේ. විජිත එදායින් පස්සේ ආපහු ආවෙත් නෑ.”

“පුතාලා කෙලි පොඞ්ඩිව බේරගෙන තියෙනවානේ එහෙම කරපු එකත් හොඳයි සුදු නැන්දේ.”

“මම දන්නවා විජිත ආවේ ඇයි කියලා. එයාගේ බිස්නස් පටන්ගත්තේ, ඒක දියුණුවුනේ මල්ෂා ලැබුනාට පස්සේ. ඒ විත්තිය එයා හොඳින්ම දන්නවා. එයාට ඕනේ මල්ෂාව එයා ළඟ තියාගන්න.”

විජිතගේ හල්දුම්මුල්ල ආගමනයේ සැගැවුනු ගුප්තාර්ථය ගැන ඉව වැටුනු ඉන්දිරා එය හෙළිදරව් කළා ය. ඉන්දිරාගේ කතාව හිතලුවක්සේ බැහැර කළ නොහැකි බව තමාලිට වැටහුණි. 

“කොහොමටත් සුදු නැන්දේ කෙලි පොඞ්ඩිව පරිස්සම් කරගන්න වෙයි.”

නිහඬව කල්පනාවක ගැලී හුන් තමාලි අවසානයේදී පැවසුවා ය. යම් ව්‍යසනයක් වන්නට ගොස් අතරමඟදි අහම්බයකින් මෙන් එය නතරවූවාක් සේ සියල්ලන්ටම දැනෙන්නටවුණි. විජිත කරන්නට හැදුවේ මල්ෂාව පැහැරගෙන යන්නනම් නොපෙනෙන බලවේගයක් විසින් හෝ එය වලක්වා ඇති බව සුදු නැන්දා පවසමින් දෙවියන්ට පිංපෙත් පමුණුවන්නට පටන් ගත්තා ය. වැල්ලවත්තේ ගෙවන දෙවන දිනයත් උදාවූයේ අම්මාගේ ආඬපාලිත් සමඟින. ඉන්දිරා මුවින් නොබැන අම්මාගේ කටුක වදන් ඉවසාගෙන ඉන්නට උත්සාහ කළා ය. දහවල් කෑමෙන් පසුව සුදු නැන්දාත් මල්ෂා හා දිනේෂ් ද යළි හල්දුම්මුල්ල බලා පිටත්වුණි. දින දෙකක් තම උණුසුමේ රැඳිහුන් මල්ෂා වෙන්ව යන්නට බැරිය කියමින් හඬන්නට වීම ඈට දරාගත නොහැකි විය. ඉන්දිරාද අත්තිඩියේ බෝඩිම වෙත ගියේ විශාල දුකක් සිතේ දරා ගනිමින්ය. තම තුරුල්ලෙන් අසීරුවෙන් මුදවාගත් මල්ෂාව රැගෙන සුදු නැන්දා ත්‍රීරෝද රියකට නැගුන සැටි සිහිපත් කරමින් ඉන්දිරා ජනතා මාවත දිගේ පියනැගුවාය. සැන්දෑ කළුවර රැගෙන බෝඩිමට පය තබද්දී දීපිකා ඈ වෙත දිව ආවා ය.

“ඇයි මොකද වුනේ?”

“මුකුත් නෑ.”

“එහෙනම් අම්මා එක්කගෙන ගමේ ගියේ?”

“ඔහේ ගිය ගමක් නෑ. වැල්ලවත්තේ මහත්තයාගේ ගෙදරට තමයි අරන් ගියේ. සුදු නැන්දයි මල්ෂායි ඇවිල්ලා තිබුණා.”

“එහෙනම් කමක් නෑ. මම හිතුවේ අම්මාගෙන් හොඳට බැනුම් අහන්න ඇති කියලා.”

“ඒක නම් හොඳට ඇහැව්වා. එයා දන්නේ බනින්න විතරයිනේ.”

ඉන්දිරා කලකිරීම මුසු හඬින් කියමින් බෝඩිම ඇතුළට පිවිසියා ය. රැගෙන ආ බෑගය පසෙක දැමූ ඕ ඇඳුම් මාරුකරන්නේ වත් නැතිව පැදුරක ඇලවිය.

“මොකෝ බං? සනිප නැද්ද?”

කාමරයට ආ අමාලි පැදුරේ වැතිර සිටිනා ඉන්දිරා දැක ඇසුවා ය.

“නෑ බං ටිකක් තෙහෙට්ටුයි. මෙහෙම හිටියාම අඩුවෙලා යයි.”

කොට්ටයට හිස ඔබාගෙන යළිත් අම්මාත් දීපිකාත් පැවසූ දේවල් සමඟින් නිලන්තගේ කියුම් කෙරුම් හා සසදමින් සිහිපත් කරන්නට උත්සාහ කළා ය. නිලන්ත ඇත්තටම සැබෑ ආදරයක් ඇතිව තමාවෙතට එන්නේ නම් ඔහු තමන්ගේ කායික ආශාවන් සන්තර්පණය කර ගැන්මට මුල්තැන දෙන්නේ ඇයි දැයි ඈට සිතුණි. නිලන්ත හා ඇතිකරගත්  ඇසුර මුල් අවස්ථාවේදීම කායික සබඳතාවයක් දක්වා දුරදිග ගෙන යාමට ඉඩප්‍රස්ථා සලසා දීමෙන් තමන් සිඳුකරගෙන ඇත්තේ විශාල වරදක් බව පසක්කරගත්තා ය. අම්මා හා දීපිකා නිලන්ත පිළිබඳ කියූ කතා හිතලුවක් නොවන බව සිහිපත් කළ ඈ ඔහු සල්ලාල ඇවතුම් පැවතුම් ඇති අයෙකුදැයි සිතන්නට විය. බෝඩිමේ අනෙක් යුවතියන් නිලන්ත සමඟින් ආදර සම්බන්ධතාවයට එහා ගිය කායික සම්බන්ධතාවයක් ඇතැයි දැනගත්තොත් සියල්ලන්ම තමන් විළිබිය සිඳගත් එකියක යැයි සමච්චලයට ලක් කරතැයි බියට පත්විය. 

            ජීවිතය පටළැවුනු නූල් බොලයක් සේ තවත් අවුල් සහගත තත්වයකට මුහුණ දෙමින් සිටින බව ඉන්දිරා වැටහුණි. මානසික තෙහෙට්ටුව අධිකව දැනුනායින් පැදුරේ වැතිර සිටි ඉන්දිරා නිරාහාරව නින්දට ගියා ය. පසුදින ඈ සිටියේ හේබාගිය මැලැවුනු ස්වරුපයෙනි. ඒ නිසාම බෝඩිමේ යෙහෙලියන් තමන් අසනීපයෙන් සිටිද්දැයි විමසා සිටීම ඉන්දිරාට තවත් කරදරයක්ම විය. මූණිච්චාවට සිනාසුනත් ඉන්දිරා සිටියේ බොහෝ ළතැවිලි හිතේ දරාගෙනය. නිලන්තව සිහියට නැගෙන විටෙක ඔහු හා තනිවී ගතකළ ආස්වාදනිය හෝරා කිහිපය යළි යළිත් හදවතේ ඉසිඹුලමින් උණුසුම් කරවීය. එම නිසා අම්මාගේ කතා මනංකල්පිත මිථී්‍යාවන් බව සිතමින් ඒවා බැහැරකරවන්නට විටෙක සිතුවා ය. ඔහු මානෙල් ගැන කියනා කරුණු විටෙක විශ්වාස කළ නොහැකි පරස්පර විරෝධි බව ඒ ගැන ගැඹුරෙන් සිතන විටදී ඉන්දිරාට අවබෝධවන්නට විය. ඇත්තෙන්ම නිලන්ත බොරුකරයෙක්දැයි ඈ තම සිතෙන්ම තර්ක කරගත්තා ය. එසේ නම් ඔහු අම්මා හමුවී නියම පෙම්වතෙක් මෙන් ඇගේ කැමැත්ත විමසා සිටියේ ඇයි දැයි සිතාගත නොහැකිවූණි. තමන්ට ආදරය කළත් ස්ථිරවශයෙන්ම විවාහ කරගන්නා බවට ඔහු කියා නොතිබූ බවත් සිහියට නගාගත හැකි විය. ඈට නොතේරුණු පටලැලි සහිතවූ අවස්ථා ගනනාවක් තමන්ගේ නොවිමසිලිමත් බව නිසා මඟහැරුනු බව විටෙක ඈ තේරුම් ගත්තා ය. හෝටල් කාමරවල තනිවෙන්නට කාමර කුලියට මුදල් ඉල්ලා ගත්තේද මාසික පඩිය විවිධාකාර හේතු මත අත්හිටුවා ඇති බව දක්වමින්ය. එසේ ඉල්ලාගන්නා මුදල් යළිත් ඔහුගෙන් ලැබුනේද නැත. මේ සියල්ල ඈට මතක්වන්නට පටන්ගත්තේ නිලන්තව අහඹු හමුවීමේ සිට මෙතෙක් දක්වා සියල්ල ආවර්ජනා කරන්නට පටන්ගත් පසුවය. කාලය හැල්මේ දිව ගොස් ඇති බව දැනුනේ නිලන්ත හා ඇසුර පවත්වන්නට පටන්ගෙන අවුරුද්දකට ආසන්න වෙමින් පවතින බව සිහිපත් වීමෙනි. අම්මාගේ විරුද්ධත්වය සාධාරණ බැව් ඈට සිතුණි.  


“බැඳලා දික්කසාද වෙච්චි එකෙක් එක්ක හරි යාළුවුනත් කමක් නෑ. ඒත් නිලන්ත කියන්නේ කසාද බැඳපු පවුල් කාරයෙක්. එක්කෝ එයා ඒ ගෑණිව දික්කසාද කරලා එන්න ඕනේ. මට පේන්නේ ඔය මිනිහා හදන්නේ උඹව හොර ගෑණි කරගන්නයි. තාම නිලන්තගේ ගෑණි දැන ගෙන නැතිව ඇති උඹ ඔය මිනිහා එක්ක තියෙන පටලැවිල්ල. ඒක දැනගත්ත දාට ඒ ගෑණි උඹව හොයාගෙන වැඩපලට හරි බෝඩිමට හරි එනවා. එතකොට මොකද කරන්නේ?”

අම්මාගේ වදන් දෙසවන් සිසාර රැව්පිලිරැව් දුණි. නිලන්ත තමන් විවාහකරගැනීමට කිසිඳු උත්සාහයක් දරණ බවක් නොමැත්තෙන් ඔහුගේ ඇසුරට නැවතිමේ තිත තබාලන්නට සුදුසු කාලය එලැබ ඇතැයි සිත කියවන්නට විය. අවසානයට එවන ලද ලිපියට අනුව මානෙල් යළිත් ඔහුට නොදුරු දිනෙක බාරගන්නට සිදුවන බව ලියා තිබූ බව සිහිපත්වුණි. උසාවියේ තිරණයක් නොවුනත් හමුදාවේ තිරණයන්ට අනුකුල විය යුතු බව ඔහු සඳහන් කර තිබීය.  පරණ සිදුවීම් අමතකර දමා මානෙල් සමඟින් හොඳින් ජීවත්වත්වී තමන් අමතක කර දමන මෙන් ඉල්ලමින් ඉන්දිරා ලිපියක් ලියා නිලන්තට තැපැල් කළා ය. හැරෙන තැපැලෙන් ඉන්දිරා නමට ලිපියක් වැඩපළට පැමිණ තිබුණි. ඈ යුහුසුලුව කවරය ඉරා ලිපිය සුරතට ගත්තා ය.


කුරුවිට කදවුරේදි


ආදරණිය සුදු වෙත ලියමි.

 ඔයාගේ ලිපිය මාගේ සුරතට පත්වූ විගසින් සිතට ඇතිවූ ප්‍රීතිය කියවාගෙන යද්දී නැතිව ගියා. මගේ හදවතේ ඇතිවුනු දැඩි දුක්වේදනාවන්ගෙන් දැවි දැවී කල්පනා සාගරයක තනිවූණා. මොන වැඩක් මාහට පැවරුවත් හදවතේ දෝංකාර දෙන්නේ ඔයා මාහට අහිමිවේදෝ කියා සිතෙන බයංකාර දෙයයි.  මම දන්නවා ඔයා මට පණටත් වඩා ආදරේ බව. මමත් එහෙම තමයි. මම අසරණ වෙලා ඉන්න වෙලාවේදි ඔයා මගේ බිරිඳ වගේම වරකට අම්මා කෙනෙකු වාගේ මම ළඟම සිටියා. ඉතිං මේ සියල්ල කොහොමද අමතක කරලා මගේ හදවතින් ඈත් කරන්නේ? මට මගේ බිරිඳගෙන්වත් නොලැබුනු දේවල් ඔයාගෙන් මට හිමිවෙලා තියෙනවා. ඔයා මගෙන් ඈත්වුනොත් මට මොනවා වෙයිද දන්නේ නෑ සුදු. මට අවශ්‍ය සැබෑ ආදරය විතරයි සුදු. ඒ පිවිතුරු ආදරය තියෙන්නේ ඔයා ළඟයි.  මම මින් ඉහතදි කවරදාකවත්ම ඔයාගෙන් විතර ආදරයක් ලබලා නෑ. මානෙල් මට ආදරය කළේ සැබෑවට නෙමෙයි. මානෙල්ට මිනිහෙක් නැති නිසාවෙන්න ඇති එයාගේ බොරු ආදරය මට පෙන්නුවේ. ඒත් ඔයාගේ ආදරය ගොඩාක් වෙනස්. මම සැබෑ ආදරය ගැන ඉගෙනගත්තේ ඔයාගෙන් සුදු. ඔයා ළඟින් මාව ඈත් කරන්න උත්සාහ කරන්න එපා. මට වෙනදා වාගේ සෙනෙහස දක්වන්න සුදු. ඔයා දන්නවා ආදරයක අඩංගුවිය යුතු දේවල් මොනවාද කියලා. ඔයා මාව තනිකර දමා ගියොත් මම හිස හැරුනු අතේ යනවා. මට ඔය වගේ ආදරයක් ලැබිල නැහැ කවදාකවත්. ඒ නිසාම ඒ පිවිතුරු ආදරයට ගෞරව කරනවා. අනික තමයි සුදු මට කියාගන්න බැරි දෙයක් තියෙනවා. ඒ තමයි මම කැමති නෑ ඔයා වෙනකෙනෙක් ගාවට යනවාට. ඉතිං ඔයාට නොගිහිනුත් බැහැ. ඔයාගේ අනාගතය එළිය වෙන්නත් ඕනේ නේද? අපගේ ආදරය කොපමණ කාලයක් පවතියිද දන්නේනෑ.  ඔයා ලියලා තියෙන දේවල් වලට මට හරිම වේදනායි සුදු. මම ඔයාව තියාගෙන ඉන්නේ මගේ අවශ්‍යතාවයවල් ඉටුකරගන්න නෙමෙයි. මගේ අවශ්‍යතාවයවල් සපුරලා හරියන්නේ නෑ. ඔයා විවාහ වෙන්න ඕනේ. ඔයා දුක් විදිනවා දකින්න මම කැමති නෑ. නැත්නම් මට පව් ගෙවලා ඉවරයක් කරගන්න බැරිවෙනවා. මට වෙන වස්තුව තිබුනත් ඇති වැඩක් නෑ සුදු ඔයා නැතිව. මට කියන්න තේරෙන්නේ නෑ ඔයාට ඇති ආදරය මේ ලියුමෙන්. එක්කෝ ඔයා හිතනවාද දන්නේ නෑ මම මහ පිස්සු මිනිහෙක් කියලා. ඇත්තටම මාව පිස්සු හදවන්නේ ඔයා තමයි. අනික තමයි මට ඔයාව නොදැක ඉන්නත් ඉතාම අපහසුයි. වෙනදාට ඔයා දුරකථනයට කතා කරනවානේ. මම මේ බලන් ඉන්නේ දැන් දෙයි දැන් දෙයි කියලා. ඔයා දන්නවානේ මම සෑම සඳුදා දිනයකම ඔයාගෙන් ලිපියක් හරි කෝල් එකක් හරි එයි කියලා බලාගෙන ඉන්නවා කියලා. මට හිතෙනවා ඔයා දැන් ටික ටික මගෙන් ඈත් වෙන්න හදනවා කියලා. එහෙම කරලා ඔයාට හොඳක් වෙනවා නම් මං කොහොම හරි දරාගෙන ඉවසන්නම්. සුදු ඔයා දන්නවානේ මම මානෙල්ට වඩා ඔයාට ළංවූනා කියලා. මානෙල් නොදන්න දේවල් පවා ඔයා දන්නවා මගේ. ඉතිං ඇත්ත බිරිඳ ඔයා තමයි. සුදු ඔයා මගෙන් ඈත්වූනොත් මම හිස හැරුනු අතේ යනවා මිසක් මම ඔයාට වෛර කරන්නේ නෑ. මම ආදරයට කෑදරවෙලා ඉන්න කෙනෙක්. මේ හැම දෙයකටම මානෙල් වඟකියන්න ඕනේ. මට එයා හොඳ ආදරයක් එදා පෙන්නුවානම් අද මම මේවගේ තත්වයකට පත්වෙන්නේ නෑ සුදු. ඉතිං සුදුගේ මිතුරියන් මාව හොඳ නෑ කිව්වා නේද? මගෙන් වරදක්වූනා නම් සමාවෙන්න සුදු. තව ටික දිනකින් මගේ කඳවුරු සීමාව ඉවර වෙනවා එතකොට පුළුවන් මට නිදහසේ ඔයාව බලන්න එන්න. ලබන සතියේ දිනයක ඔයාව හමුවන්න වැඩපලට එනවා හොඳද. එදාට අපි කතා කරලා මේ ප්‍රශ්න සියල්ල විසදාගනිමු. අනික තමයි මේ සෑම දෙයක්ම ලිපියේ ලියන්න බැහැනේ මම හිතාගෙන ඉන්නේ සැනසීමේ කතාකරන්න පුළුවන් තැනකට ගිහිල්ලා අපේ ප්‍රශ්න සියල්ලම කතා කරන්නයි. ඉතිං සුදු මේ දීර්ඝ ලිපිය යළි මුණගැසෙන බලාපොරෙත්තුවෙන් නතර කරමි.

මීට 

ආදර 

නිලන්ත.          



                                  නිලන්තගේ ලිපිය එක හුස්මට කියවා දැමූ ඈ ගැඹුරු හුස්මක් ගත්තා ය. ලිපියේ අකුරු තම සිත ගිනි අවුලවාලන ලෙසින් දැනෙන්නට විණි. ඔහුගේ ආදරය පුන පුනා ප්‍රකාශ කළත් නිලන්ත පවසන දේ සත්‍යයෙන් තොර බවක් ඉන්දිරාට වැටහුණි. එදා සිට මේ දක්වා නිලන්ත තමන්ට තැපැලෙන් එවන ලද ලිපි දමා තිබූ කවරයට එම ලිපියත් එක්කල ඈ අකමැත්තෙන් වූවත් නිලන්තගෙන් වෙන්ව යාමට කාලය හරි යැයි දෙවන වතාවටද සිතා ගත්තා ය. හය හතරක් නොතේරුණු ළබාල හිරිමල් අවදියේදී විජිතගේ බොරුකාර ව්‍යාජ ආදරයට රැවටී අකාලයේ විනාසවූ ජීවිතය නිලන්ත ගෙන් යළි පණ නළ ලබන්නට ගත් උත්සාහය ව්‍යර්ථ වන බව ඈට දැනෙන්නට විය. දහංගැටවලින් තෙම්පරාදු කළ වචනින් ලියු ලිපිවලින් තමන්ව තවදුරටත් රවටාලන්නට නොහැකි බව සිතට පිවිසියා ය. 

ලිපිය ලැබී දින කිහිපයකට පසුව නිලන්ත තමන් හමුවන්නට විසිටර්ස් රූම් එකට පැමිණ ඇති බව ආරක්ෂක අංශයෙන් ලැබුනු පණිවිඩය අනුව සිතාගත්තා ය. හදවත තුලින් අකමැත්ත මතුවූවත් ඈ නිලන්ත හමුවන්නට විසිටර්ස් රූම් එකට ගියා ය. පාළුවට ගිය විසිටර්ස් රූම් එකේ එක් පසෙක නිලන්තත් අනෙක් කෙළවරට වන්නට ඔහුගේ යහළුවාවූ ප්‍රසාද් අසුන්ගෙන සිටිනු ඕ ඈත සිටම දැක්කා ය. කල්පනා බරිතව බිම බලාගෙන සිටි ඔහුගෙන් වෙනදා මෙන් සුපුරුදු දඟකාර සිනහව ඉන්දිරාට ලැබුනේ නැත. ඇයත් ඕනෑවට එපාවට මෙන් ඇතුලට ගොස් බිත්ති කණ්ඩියට පිටදී සිටගත්තා මිස ඔහු අසළින් අසුන්ගත්තේ නැත. හිස ඔසවා නොබැලූ නිලන්ත කල්පනාවක ගැලුණු විලසින් සිටින්නට විය. අහක බලාගත් ඉන්දිරා විසිටර්ස් රූම් එක තුල නිහඬියාව රජයන්නට ඉඩහැරියා ය. තව දුරටත් එසේ බලාසිටිමෙන් ඵලක් නොවන දැනගත් ප්‍රසාද් නිහැඬියාව බිඳ දමමින් කතා කරන්නට විය. 

“මොකක්ද නංගි මේ ඔයාලගේ ප්‍රශ්නේ. මෙයා කන්නේ බොන්නේ නැතිව ඉන්නවා මදිවට ප්‍රැක්ටිස්වලට එන්නෙත් නෑ.” 

තවත් මොනවාදෝ කියන්න හදද්දී නිලන්ත වලක්වාලීය.

“මචං පොඞ්ඩක් කට පියාගෙන එළියෙන් හිටපං.”

ඔහු අණක ස්වරුපයෙන් කීවේය. එය ඇසූ විගසින්ම තමන් කරගෙන ආ කතාව නතර කෙරු ප්‍රසාද් විසිටර්ස් රූම් එකෙන් එළියට බැස දැල් කාමරයෙන් පිටත අඹගස් සෙවණ වෙත ඇවිද යන්නට විය. 

“ඉන්දිරා.”

ඔහු තම රතුව ගිය දෑස් ඈ වෙත එල්ල කරමින් කතා කරන්නට තැනුවේය. කාමරයේ කම්බි දැල් අතරින් එළිය බලා සිටි ඈ ඉන් දෑස් මුදවාගෙන ඔහු දෙස බැලීය. දෑසට දෑස මුණ ගැසුනු ක්ෂණිකයෙන් තම නෙතු ඔහුගෙන් මුදවාගත් ඕ යළිත් දැල් අතරින් අනන්තය පිරික්සන්නට විය.

“ඉන්දිරා මගේ ලියුම ලැබුනාද?”

ඈ නිහඬව සිටියා ය.

“ඇයි ඔයා කතා කරන්නේ නැත්තේ? ඔයාට මගේ ලියුම ලැබුනා නේද?”

“ඔව්.”

“ඔයාට තේරෙන්නේ නැද්ද මට තියෙන ප්‍රශ්න? ඇයි තවත් මට ප්‍රශ්න ඇති කරන්නේ? මම ඔයාට ගොඩක් ආදරෙයි ඉන්දිරා. ඇයි දැන් මෙහෙම වෙනස්වෙන්න හදන්නේ? ඔයාට වෙනින් කෙනෙක් එක්ක සම්බන්ධයක් එහෙම තියෙනවාද?”

“නෑ.”

“එහෙනම්?” 

“ඇයි අයියේ අපි අපිවම බොරුවට රවට්ටාගන්නේ? ඔයාට බෑ මාව බඳින්න. ඉතිං බොරුවට මෙහෙම ආශ්‍රය කිරිල්ලෙන් වෙන්නේ මිනී වලවල් තුනක් කැපෙන එක විතරයි.”

“එහෙම වෙන්නේ නෑ ඉන්දිරා.”

“ඔයා නිසා මට මේ සමාජයෙන් අහන්න වෙන්නේ නරක නාමයක් විතරයි. ඔයා දන්නවානේ මට නරකට හැසිරෙන්න ඕනේ නම් මම තාමත් ඉන්නේ විජිත එක්කලා කියලා. මට මගේ දරුවාව ආරක්ෂා කරගන්න ඕනේ. එයාගේ අම්මා වල් ගෑණියෙක් කියලා අහගන්නවාට මම කැමති නෑ. ඔයා මට ආදරෙයි නම් මානෙල්ගෙන් දික්කසාද වෙලා එන්න. එහෙම නැතිව මේ විදිහට ආශ්‍රය කරන එකේ තේරුමක් නෑ.”

“ඒවූනාට සුදු මට ඔයා නැතිව බෑ.”

ඔහුගේ රතුවූ දෙනෙත් කඳුලින් පිරී දිඳුලන්නට විය. ඒකවරම ඉන්දිරාගේ සිතට නැගුනේ විසිටර්ස් රූම් හි රැඳුනු කාලය ඉතා වැඩි බවය. 

“දැන් මට යන්න ඕනේ.”

“බෑ මට ඔයත් එක්ක මේ ප්‍රශ්නේ විසදාගන්න ඕනේ.”

“තව මොන ප්‍රශ්ණද තියෙන්නේ කතා කරන්න? දැන් මෙතන ගොඩාක් වේලා හිටියා. මට වැඩ තියෙනවා.”

පැකින් එකේ කමලා මිස්ගෙන් හොඳහැටි ලුණු ඇඹුල් ඇතිව බැනුම් අසන්නට අනිවාර්්‍යයෙන්ම සිදුවන බව ඉන්දිරාට එත්තුගියායින් ඉක්මනින් නිලන්තගෙන් සමුගැනීමට කාලය හරිවග පවසමින් ඈ විසිටර්ස් රූම් එකෙන් එළියට ආවා ය.

“ඉන්දිරා අපිට මෙතන කතාකරන්න බෑනේ අපි දෙන්නා පොඞ්ඩක් එළියට ගිහිල්ලා කතා කරමුද?”

“පිස්සුද නිලන්ත. ඔයා හදන්නේ මාව රස්සාවෙන් අස්කරලා දාන්නද?”  

“එහෙනම් හෙට නිවාඩුවක් දාලා එන්න අපි මේක කතාකරලා විසදාගනිමු.”

“නිලන්ත අයියේ තවත් මෙතන ඉන්න බෑ. කරුණාකරලා මට පාඩුවේ ඉන්න දෙන්න.”

දැස් පුරවාගෙන එන කඳුළු හිතේ ධෛර්්‍යයෙන් නවතා ගත් ඈ නිලන්තට එසේ පවසා තම අංශය වෙත දිව ගියා ය. ඉන්දිරා සිතූ පරිදිම ඈට කමලා මිස්ගෙන් බැනුම් අසන්නට සිදුවිය.


“ඇයි බං උඹට කමලා මිස් බැන්නේ?”

“අද නිලන්ත ආවා මාව මුණගැහෙන්න.”

“එහෙනම් ෂුවර් එකටම උඹ පරක්කුවෙලා සෙක්ෂන් එකට එන්නැති.”

“ඔව්. ඒක තමයි වුණේ.”

“නිලන්ත මොකද කිව්වේ?”

“මොනවා කියන්නද දීපිකා. එයා එන්නේ මාව රවට්ටන්න. තවත් එයාට මාව රවට්ටන්න බෑ. මම තීරණයක් අරගෙන ඉවරයි මේ සම්බන්දේ නවත්තලා දාන්න.”

“ඒක හොඳයි. පරක්කුවෙලා හරි එහෙම හිතපු එක නම් හොඳයි. නිලන්තගෙන් උඹට බබෙක් එහෙම ලැබුනානම් මොකද කරන්නේ?”

“හදාගන්නවා.”

“උඹට පිස්සුද?”

“දැන් නම් ටිකක් විතර පිස්සු වගේ තමයි දීපිකා.”

“ඒක නෙමෙයි අර උඹ උකස් තිබ්බ මුද්දයි පෙන්ඩන් එකයි බේරලා දුන්නාද?”

“නෑ.”

“ඇයි මෝඩියේ උඹ මේ සම්බන්දේ නවත්තන්න ඉස්සරින් ඒවා උකසින් බේරාගනින්.”

“දැන් කිහිප දවසක්ම ඒවා ගැන අහලා නිලන්ත මගෙන් රිසිට් ටික ඉල්ලා ගත්තා.”

“එහෙනම් ඉතිං එක ගැන නිලන්තට මතක් කරපං. නැත්නම් ඌ සද්ද නැතිව ඉදියි.”

“වැඩක් නෑ දීපිකා මම ඒවා හිතින් අයින්කරලා තියෙන්නේ.”

“උඹට පිස්සුද? උඹ අමාරුවෙන් හම්බකරලා ගත්තුවා අර කපටි කෛරාටිකයා සල්ලි ඉල්ලන ඉල්ලන වේලාවන් වලට උකස් කරලා දුන්නා. ඇත්තටම උඹ වාගේ මෝඩ එළදෙනෙක්.”

“එළදෙනෙක් හින්දා තමයි නිලන්තට රැවටිලා හිටියේ.”

දැඬි කරගත් සිත තුළ ශේෂව තිබෙන ආදරය බිජාංකුරයක්සේ යළිත් නැඟ එන්නට ඉඩ නොදිය යුතුබව ඈ පසක් කරගත්තීය. නිලන්ත සිතින් මකා දැමීමට උත්සාහ කරමින් ඉන්දිරා දින කිහිපයක් ගෙවා දැමුවා ය.


* * * * *


“ඉන්දිරාට විසිටර් කෙනෙක් ඇවිල්ලා.”

කමලා මිස් ආරක්ෂක අංශයෙන් ලැබුනු පණිවිඩය ඉන්දිරාට සැලකළා ය.

“ඔය වැඬේ නිතරම තියාගන්න එපා. ලව් කරන්න වැඩ වෙලාවෙන් පස්සේ තියාගන්නවා මෙතන වැඩ පරක්කුවෙනවා. ගිහිල්ලා ඉක්මණට එනවා එදාවගේ කාලේ නාස්ති නොකර.”

පැකින් අංශයේ සියල්ලන්ටම ඇසෙන්නට මෙන් කමලා මිස් නෝක්කාඩුවක ස්වරූපයෙන් කීවා ය. නිලන්ත යළිත් තමා හමුවට පැමිණ ඇතැයි ඈට නිසැඟයෙන්ම සිතා ගත හැකිවුණි. විසිටර්ස් රූම් එකට යම්දෝ නොයම්දෝ සිතාගත නොහැකිව දෙගිඩියාවෙන් යුතුව ඉන්දිරා එළියට බැසගත්තා ය. මෙසේ නිරන්තරව වැඩපලට පැමිණිම තමාට මෙන්ම ආයතනයටද කරදරයක් වන බවද සිත බිඳුනු කල්හි යළිඳු සුවපත් කළ නොහැකි බවද ඔහුට නොතේරෙන්නේ ඇයිදැයි සිතමින් ඈ ප්‍රධාන දොරටුව දෙසට ඇවිද ආවා ය. විසිටර්ස් රූම් පෙනෙනා මානයට ආ ඉන්දිරා නිලන්තගේ පැමිණිම වලක්වාගන්නේ කෙසේදැයි සිතන්නටවූවා ය. අමුතන්ගේ කාමරයේ දැල් කවුළු අතරින් එහි අසුනක හිදගෙන සිටිනා ප්‍රසාද් හා නිලන්තත් ඇගේ දෑසට අසුවෙත්දී හෘද ස්පන්දනය වේගවත්වී මුළු සිරුරම අකර්මණ්‍යවනවා දැනුණි. සිහි එලවා ගැන්මට මෙන් මඳක් එදෙස බලා හුන් නිලන්තගේ දසුනට අසුවෙන්නට ප්‍රථමයෙන් නතරව සිටි තැනින් පළායන්නට අවැසිවූ ඉන්දිරා එකවරම ආපසු හැරී දිව ගියා ය. තම අංශය තෙක් හැල්මේ දිව ආ ඈ දොරටුව අභියසට පැමිණ හති හරින්නට වූවාය. ඉහින් කනින් පෙරෙනා දහඩියෙන් නැහැවුනු ඉන්දිරා තම මේසය වෙත ඇවිද ගියේ කිසිත් නොවුනා සේය.

“මොකෝ බං බයවෙලා වගේ? ඇයි මේ දාඩිය දාගෙන?”

ඉන්දිරාගේ මේසයේ අනෙක් කෙලවර සිටි අනෝමා ඇසීය.

“මුකුත් නෑ. ඉක්මනට ආවා නැත්නම් කමලා මිස්ගෙන් අදත් බැනුම් අහන්නනනේ වෙන්නේ.”  

“ගිහිල්ලා මුණ ටිකක් හෝදගෙන වරෙන් උඹේ දාඩිය ඇඳුම් වලට හලන්නේ නැතිව.”

ඉන්දිරා වැසිකිලි පෙළ ඉදිරියෙන් ඇති වතුර පයිප්පය දෙසට ඇවිද ගියේද නිලන්ත ගැන සිතමින්ය. තවමත් තමන් එනතෙක් මඟබලාගෙන ඔහු විසිටර්ස් රූම් හි රුඳි සිටිනු ඇතැයි සිතුණා ය. නිලන්ත හමුවන්නට නොගිහින් යළි හැරී ආ ගමන ගැන ඇගේ සිතේ යම් පසුතැවිල්ලක් හටගෙන තිබුණි. යළිත් ඔහු දෙසට ගමන් කළ නොහැකි බැවින් ඉන්දිරා වතුර පයිප්පයෙන් ගලා ආ සිසිල් ජල දෝතක් රැගෙන මුහුණ දොවාගත්තීය. තම මේසයට පැමිණ වැඩ අරඹා අඬ හෝරාවකට පමණ පසුව කමලා මිස් ඉන්දිරා හමුවට පැමිණියා ය. 

“ඉන්දිරා අර විසිටර්ස් රූම් එකේ ඉන්න කොල්ලෝ දෙන්නා තාම බලාගෙන ඉන්නවා. ඇයි ඔයා ගියේ නැද්ද?”

“නෑ මිස්.”

“ඇයි මොකක්ද ප්‍රශ්නේ? යනවා ගිහිල්ලා එනවා.”

“ඔතනට ගියොත් අදත් මට මිස්ගෙන් අහගන්න වෙන්නේ එදාවගේ බැනුම් තමයි. ඒක නිසා ඕනේ නෑ.”

“තමුසෙලා එක එක කොල්ලෝ එක්ක මඟුල් නටලා උන්ට පොලු තියනවා. අපිටයි මේ මළ කරදරේ මඳ කිපිච්ච උන්ගේ පණිවිඩ අරන් ඇවිදින්න. එක්කෝ ගිහිල්ලා උන්ව පිටත් කරලා එනවා. නැත්තනම් සිකුරිටි එකට දන්නනවා අර කොල්ලන්ට යන්න කියන්න කියලා.”

ඉන්දිරා පැවසූ දෙයින් තම කේන්තිය හා ආවේගය ඇවිස්සුනු ලැබූ කමලා මිස් ඈ දෙස රවාගෙන සිටියා ය. කෝපාවිෂ්ට කමලා මිස්ගේ කඨෝර වදන් පැකින් අංශය පුරා ගලාගෙන ගියේ ඉන්දිරාගේ දෙනුවන් ද කඳුළින් පුරවාලමින්ය. කමලා මිස්ගේ බැනුම් හඬ අසමින් වැඩයේ යෙදුනු අනෙක් යුවතියන් එකා දෙන්නා හොරහින් ඉන්දිරා දෙස බලද්දී ඈ කිසිවක් නොකියා බිමට බරකරගත් හිසින් යුතුව තම වැඩයේ යෙදෙන්නට විය. කෙරුම්කාර මාන්නාධිකයෙකු විසින් බෙලහිනයෙකු තම ආධිපත්‍යයට යටත් කරගන්නට මෙන් කමලා මිස් නිහඬව සිටිනා ඉන්දිරාගෙන් තවත් උත්තේජනයන් ලැබ කටකමිසිරියාවක් නොමැතිව බැණ වදින්නට වුණි. මඳ වේලාවක් බැණවදිමින් සිටි ඈ අංශයේ වෙනත් කොටසකට ගියේද මොනවාදෝ කියවමින්ය. පීඩනය හා ආවේගය විසින් පෙලනු ලැබූ ඉන්දිරාට දරාගත නොහැකි හිසරුදාවක් මතුව ආවේය. කමලා මිස්ගේ ඇනුම් බැනුම් ප්‍රහාරයෙන් චිත්ත පීඩාවෙන් ඇතිවූ හිසේ කැක්කුම හිස පුපුරන්නට තරමට වැඩිවනවා දැනුනායින් හැන්ඞ් බෑගයෙන් ගත් පැනඩෝල් පෙති දෙකක් මුවට දමා ගත්තා ය. අමතක කරන්නට තැත් කලත් දිය යට එබූ රබර් බෝලයක් සේ යළිත් සිතට මතුව එන නිලන්තගේ ආගමනයත් තමා කළ ක්‍රියාවත් නිසාවෙන් ඉන්දිරා සේවය නිමාවන තෙක් ගතකලේ ආයාසයෙනි. අසීරුවෙන් ගතකළ පැය කිහිපය අවසානවූයෙන් අතිකාල සේවයේ නොයෙදි බෝඩිම බලායන්නට තම අංශයෙන් එළියට බැසගත් ඉන්දිරා දීපිකා එනතෙක් බලා සිටියේ ඈ සමඟින් ගමන් කරන අතරතුරේදී දහවල් සිදුවූ සිදුවීම් පවසාලන්නටය. 

“ඉන්දිරා මොකද ඔතනට වෙලා? දන්නේ නැද්ද අද දීපිකාට ඕටි දාලා. හයට නේ ඔෆ් එක.”

පසෙකට වී බලාසිටින ඉන්දිරා දැක දීපිකාගේ අංශයේ වැඩ කරනා කෙල්ලෙකුවූ කුමුදු පැවසුවාය. දීපිකා නොමැතිව තනියම යන්නට සිඳුවන බව දැනගත් ඕ කඩිමුඩියේ කුඩා ගේට්ටුවෙන් එළියට යන්නට පොදිකන යුවතියන් ගොන්නට එකතුවූවා ය. කඩ සාප්පුවලට හා වෙනත් අතුරු මාර්ගවලට හැරී යන්නටවූ නිසාවෙන් තමන් හා එක ගොන්නට ආ යුවතියන් එකා දෙන්නා අඩුව ගොස් ජනතා මාවත දෙසට ඇවිද එද්දී ඉන්දිරා සමඟින් ඉතිරිවූයේ තවත් කිහිප දෙනෙකු පමණි. ඉන්දිරාගේ මනස පුරා රැව්දුන්නේ දහවල් තම සිත වේදනාවට පත්කල සිදුවීමය. ඔහුව රස්තියාදු නොකර විසිටර්ස් රූම් එකට ගොස් හරවායවන්නට තරම් කාරුණිකවූවානම් හොඳ බව ඇගේ විඥානය නිරන්තරවම පවසන්නට විය. තමන් ඔහුට අකෘතඥ වුනා නොව ඔහු මේ එන ගමනේ නිෂ්ඵලත්වය පෙන්වා යළිත් වැඩපලට නොඑන්නට තේරුම් කරදුන්නා පමණක් බව උඩු සිතින් තර්ක කළා ය. ඉන්දිරා ජනතා මාවතෙන් හැරී තවත් අතුරු මාර්ගයකට පිවිසුනා පමණි.

“ඉන්දිරා. ඉන්දිරා.... පොඞ්ඩක් නවතින්න.”

ඉන්දිරාගේ නම අඬගසනා කටහඬක් ඈට ඈතින් ඇසුනි. ඈ ක්ෂණිකයෙන් හඬ ආ දෙසට හැරී බැළීය. ඉන්දිරාට යාර කිහිපයක් පසුපසින් ප්‍රසාද් ඇගේ නම අඬගසමින් එනු දැක්කා ය. ප්‍රසාද් පසුපසින් නිලන්තද ඇවිද එමින් සිටිනා දුටු ඉන්දිරාගේ සිත තුළ ඇති කළේ තැති ගැන්මකි. ඔහුට මුහුණ නොදී මෙතැනින් පැන දිව යාමට සිතුනත් දෙපා තම සිතට අවනත නොවූවායින් එක තැනම ඈ ගල්ගැසුනා ය. කෝපයෙන් කලුවූ නිලන්තගේ මුහුණ දෙස බලන්නවත් බියවූවායින් සිතේ හටගත් ව්‍යාකුලභාවයත් තැතිගැන්මත් නිසා තමන් ගේ මුළු සිරුරම බියෙන් වෙව්ලන බව ඈට හැගිණ. 

“මොකක්ද මේ කරන්නේ ඉන්දිරා?”

ප්‍රසාද් ඉන්දිරාගෙන් ඇසීය. සිතට දිරිගත් ඈ ගොළුව තිබූ මුව ආයාසයෙන් විවර කරගත්තා ය. 

“ඇයි?”

“අපිට ඔයාත් එක්ක කතා කරන්න ඕනේ ඉන්දිරා. ප්ලීස් මෙයා පිස්සුවෙන් වගේ දැන් හැසිරෙන්නේ. ප්‍රැක්ටිස් වලට වත් එන්නේ නෑ. මේ ඔක්කෝටම ඔයාත් වග කියන්න ඕනේ.”

“ මම කරපු දේ මොකක්ද? අපිට කතා කරන්න තවත් දේවල් ඉතිරිවෙලා තියෙනවාද මන්දා අනික මෙතන කතා කර කර ඉන්න පුළුවන් තැනක් නෙමෙයි නේ.”

“ඇයි මෙතන කතා කරන්න පුළුවන් නේද? මුකුත් තහනමක් දීලා නෑ නේද?”

“අනේ ප්‍රසාද් අයියේ මට කරදර නොකර යන්න කියන්න. මෙතන කතා කරනවා දැක්කොත් බෝඩිමෙ ඉන්නත් බැරිවෙනවා.” 

මෙතෙක් වේලාවක් ප්‍රසාද් පිටුපසට වී නොමනාපයෙන් අහක බලාගෙන හුන් නිලන්ත ප්‍රසාද්ගේ උරයෙන් අල්ලා  පසෙකට කරවීය.

“ඉන්දිරා මට ඔයාත් එක්ක කතා කරන්න ඕනේ.” 

උගුරෙන් මතුව ආ දැඬි හඬින් ඇමතූ නිලන්ත තම රතුවගිය දෑස්වලින් ඉන්දිරා දෙස බලාගෙන සිටින්නට විය. සිතේ නළියන වරදකාරිත්වය හමුවේ ඔහුගේ දෑස් දෙස බලාසිටින්නට නොහැකිවූනු ඉන්දිරා බිම බලාගත්තා ය. 

“ඉන්දිරා.”

හදවතේ ගැඹුරුම තැනකින් ගලා ආ වචනයක් සේ ඇගේ නම ආමන්ත්‍රණය කරනු ඇසී ඈ හිස ඔසවා ඔහු දෙස බැලුවා ය. 

“සුදු ඇයි මට මෙහෙම කරන්නේ? මට ටිකක් කතා කරන්න ඕනේ.” 

“දැන් බැහැ.”

“නෑ දැන් කතා කරන්න ඕනේ.”

“මම කිව්වානේ එක සැරයක්. මෙතන මිනිස්සුත් බල බල යනවා.”

ඉන්දිරා අනෙක් පසට හැරි යන්නට තනද්දී සැනින් ක්‍රියාත්මකවූ ඔහු ඇගේ බාහුවෙන් අල්ලා නතරකරවිය.

“මෙතන පිස්සු නටන්න එපා ඉන්දිරා ඔයා ගියොත් මමත් බෝඩිමට එනවා.”

ඔහුගේ අත ගසා දමා නිදහස් කරගත් ඈ ආපසු හැරුණා ය. කියන දේ කරනා දැඬි හිතක් ඇත්තෙකු වූ නිලන්ත ගැන දන්නා ඉන්දිරා ඔහු නියත වශයෙන්ම තමා පසුපසින් බෝඩිමට එන වග දැනගත්තා ය.

“දැන් මොකක්ද ඔයාට ඕනේ? අනික මාව බලන්න වැඩපලට එන්න එපා. එදත් මම නිකං බැනුම් ඇහැව්වා. අදත් බැනුම් ඇහැව්වා. ඔයා හින්දා නිරපරාදේ මම කමලා මිස්ගෙන් බැනුම් අහනවා.”

“ඒ මොකටද බනින්නේ?”

“ඔයත් එක්ක කතා කරන්න ගියාම මගේ ටාගට් එක කවර් කරගන්න බැරිවෙනවා. අනේ අයියේ දුප්පත් ගෑණියෙක් මං, මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.”

“මොකක්ද සුදු ඔයාට මේ වෙලා තියෙන්නේ? ඇයි එකපාරටම මගෙන් ඈත් වෙන්න හදන්නේ? ඇයි ඔයාට වෙනින් කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවාද?”

“අපි දෙන්නා ආදරය කරනවා කියලා මේ කරන්නේ මොකක්ද? මේ වැඩෙන් වෙන්නේ නිරපරාදේ පවුල් අවුල් වෙන එක. අපේ දරුවන්ටත් මේවා නරකට හිටියි? අන්තිමේදී මගේ දරුවාට එයාගේ අම්මත් නැතිවෙනවා. ”

“ඔයා මේ මොනවාද කියන්නේ?”

“අයියේ ඇයි මේ බොරුව හැමදාම කරගෙන යන්නේ? අපි දෙන්නා ඇත්ත දන්න නිසා දැන්වත් මේක නතරකරලා දාමු.”

“සුදූ ඔයා මේවා කියන්නේ හිතකින්ද?”

“ඔව්. ඔයාට බෑ නේද මාව බඳින්න. මාව බඳින්න බැරිනම් මෙහෙම ආශ්‍රය කිරිල්ලෙත් වැඩක් නෑ. මේවා ඔයාගේ මානෙල් දැනගත්තෝත් මෙතන ගිනිවිජ්ජුම්බරයක් වෙයි. මට මගේ පාඩුවේ රස්සාව කරගන්නත් නැතිවෙයි.”

“නෑ එයාට දැනගන්න ඉඩ තියන්නේ නෑ.”

“දැන ගත්තත් නොගත්තත් අපි දෙන්නාට මෙහෙම හොරෙන් ආදරය කරන එක වැරදියි. අනික මම ගෑණු දැරිවියක් ඉන්න අම්මා කෙනෙක් එයාටවුනත් මේ වැරදි දේවල් පෙන්නන්න හොඳ නෑ. හැමෝම කියයි මම මහ වනචර ගෑණියෙක් කියලා. අනික ඔයාට ආපහු මානෙල් බාරගන්න වෙනවානම් ඇයි මාව හොයාගෙන එන්නේ? ”

අසීරුවෙන් වචන ගලපාගත් ඉන්දිරා තම දෑස් අඟට එකතුවූ කඳුළු බිඳු ලේන්සුවෙන් පිසදාගත්තා ය. 

“ඇයි ඉන්දිරා ඔයා ඔහොම කියන්නේ? කවුද ඔයාව වෙනස් කළේ? ඔයා මට ආදරේ නැද්ද?”

“මම කරපු වරද තමයි ඔයාට ආදරේ කරපු එක. ඔයාටවත් මටවත් එකතුවෙන්න බෑ. එහෙම කරලා මම කරන්නේ තවත් ගෑණියෙකුට විරුද්ධකම්කරන එකයි. තවත් මට ඒ වරද දැන දැන කරන්න බෑ. ”

“ඒ කියන්නේ ඔයා මට ආදරේ නෑ කියන එකද?”

“ඔව්.”

ඉන්දිරා මුරණ්ඩු ස්වරූපයෙන් කියා යන්නට හැරුණා ය. 

“ඒකද ඔයාගේ අන්තිම තීරණය. හැබැයි සුදූ මේකත් මතක තියාගන්න. මම ඔයාට තාමත් ආදරේ විත්තිය. අනික තමයි ඔයා එක්ක වෙන එකෙකුට යාළුවෙන්න නම් ඉඩ තියන්නේ නෑ.”

“මොනවාද මේ කියන කතා? ඔයාට පුළුවන්ද එහෙම කරන්න. අනික මගේ යාළුවොත් කියන්නේ ඔයාට හරි තීරණයක් ගන්න කොන්ද පණ නෑ කියලා. ”

ඉන්දිරා ආපසු හැරී බලා කීවා ය. 

“ගෑණු චපලයි කියලා කියන්නේ මේවාට තමයි. වරෙන් බං යන්න.”

මඳක් ඇතින් වන්නට සිටි ප්‍රසාද් දෙසට හැරුනු නිලන්ත එසේ පවසමින් ප්‍රධාන පාර දෙසට පියවර තබන්නට වුණි. ආපසු හැරී නොබැලූ ඉන්දිරා ඉක්මන් ගමනින් බෝඩිම වෙත ගියේ දරුණු වේදනාවන්ගෙන් යුතු කැලඹිල්ලක් සිතේ දරාගෙනය. කෑගසා වැළපෙන්නට තරම් සිත්වේදනාවන්ගෙන් පෙලණු ඉන්දිරා හේබාගිය සිරුරෙන් යුතුව බෝඩිම් කාමරයට ගොඩවිය. ඇතුල්වූ  සැනින් පරඩැලක්සේ පැදුරේ ඇලවූවා ය. පැනඩෝල් පෙත්තෙන් මඳක් අඩුව තිබුනු හිසේ කැක්කුම නිලන්ත හමුවීමෙන් පසුව වැඩිවී ඇති බව ඈට දැනුණි. මුළු ජීවිතයම ගැන කාලකන්ණි හැඟීමකින් වෙලාගෙන ඇතිබව පැදුරේ සිටම ඈ සිතන්නට වූවා ය.  

උදාසීන ලෙසින් ගතවූ දින කිහිපයක් මුළුල්ලේම ඉන්දිරා වෙරදරමින් සිටියේ තම පෑරුණු සිත සන්සුන් කරවාගන්නට උත්සාහ කරමින්ය. ඈට තම මනස වෙනතකට යොමුකරවන්නට අවශ්‍යවූවායින් මල්ෂා ගැන සිතන්නට වුණි. පසුගිය හයමසක කාලයක් තුලදි මල්ෂා පිලිබඳව සොයා නොබැලූ විත්තියත් ඈ තම මතකයෙන් ඈත්ව ගොස් තිබුනේ නිලන්ත තම දිවියේ මුල්තැනට ආ නිසාදැයි කල්පනා කරන්නටවුණි. මල්ෂාගේ අනාගත සුබසිද්ධිය උදෙසා සුදු නැන්දාගේ හෝ අම්මාගේ විවාහ යෝජනා බලපෑම්වලට අවනත නොවී තනිකඩව සිටින්නට ඉන්දිරා ඉටාගත්තීය.   

තවත් ලිපියක් ඉන්දිරාගේ සුරතට පත්වූයේ දිනකිහිපයකට පසුවය. ඈ ගැහෙන හදින් යුතුව ලිපිය විවර කළා ය. 


යුධ හමුදා මූලස්ථානයේදිය.


ආදරණිය සුදූ වෙත.

අදට දින ගණනාවක් වෙනවා ඔයාගෙන් ලිපියක් හෝ දුරකථන ඇමතුමක් නොමැතිව. මට හරිම ප්‍රෙහේලිකාවක්වුනේ මගෙ කටහඬ නොඅසා ඉන්න බැරිවුන ඔයා මෙච්චර දවසක් කොහොමද හිටියේ කියන එක. මම තවමත් ඔයාගෙන් ලිපියක් එනතුරා මඟ බලාගෙන ඉන්නවා. ඔයාව හමුවීමට ආවේ සැනසිල්ලක් බලාපොරෝත්තුවෙන්. ඒත් ඒ සැනසිල්ල සැහැල්ලුව ඔයාගෙන් වෙන්වී එන්න හදන විට දැවි අළුවී ගිහිල්ලා තිබුණා. එක දවසකුත් ඔයාමට කිව්වා මගේ කොන්ද පණ නෑ කියලා. ආයෙමත් ඔයා ඒ වචනේ කියලා මගේ හිත පෑරේව්වා. පෑරුනු මගේ හිත තව තවත් පාරන්න එපා. ඒක මගේ හිතට ගොඩාක් වැදුනා. මම ඒවගේ දේවල් මීට පෙර අහලා නෑ. මුලින්ම ඔයාගෙන් තමයි අහන්නවුනේ. මට යළිත් වතාවක් ඔය වචනේ අහන්න සිදු කරන්න එපා. ඇයි දෙයියනේ ඔයා මට මෙච්චර වේදනා දෙන්නේ? මට දැන් ආදරය කරන්න කෙනෙක් නෑ. මට හිටියේ ඔයා විතරයි සුදූ එත් දැන් ඔයත් මගෙන් ඈත් වෙනවා. මට මානෙල්ට වඩා ඔයා ලොකුයි. ඉතිං නංගි මට ඔයාගේ කටහඬත් අහන්නේ නැතිව ඉන්න අපහසුයි. ඉතිං ඒ නිසා මට මට තේරෙන්නේ නෑ මම ඉදිරියට කරන්නේ මොකක්ද කියා. 

                      මමත් හරිම චපල හිතක් ඇති කෙනෙක් මගේ පිරිමි කමට අවනම්බුවක්. මට එක වෙලාවකට හිතෙනවා ඔයාට දුන්න දුකදෝ දැන් මට පටිසන් දීලා තියෙන්නේ කියලා. දැනට ඇති ප්‍රශ්නය තමයි ඔයාගේ තනිකඩ ජීවිතය මම විනාශ කර දැමූ එකයි. මම ඔයාව අසරණ කෙරුවේ නෑ. බොරු ප්‍රකාශ කළේ නෑ. මගේ සැබෑ තත්වය තමයි ඔයාට මෙයට පෙර කියලා තිබුනේ. ඔයාට ආයෙමත් මේ ගැන විස්තර කරලා පැහැදිලි කරලා යන්නයි මම ප්‍රසාද් එක්ක ඔයාව බලන්න ආවේ. මම හිතාගෙන හිටියේ සුදූව මගේ අනාගත බිරිඳ කරගන්නයි. එහෙත් මගේ දෛවය අපට හරහට හිටිනවා වාගේ පෙනෙනවා. ඒ මගේ දෛවයේ හැටි තමයි. දෛවයට සරදමක් වෙන්න මට බෑ. එන සෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න සුදානම්. මගේ හදවත ඔයාට තේරුම් ගන්න බැරිවුණා. මම දන්නවා සුදූ ඔයාට මාව එපා වෙලා ඇති කියලා. ඒත් මම ඔයා ගැන සිතමින් දුක්විදිනවා සුදූට පේන්නේ නැති එක ගැන දුකයි. ඒත් ඉන්දිරා ඔයා සතුටින් ඉන්නවානම්  මම ඔයාට වෛර කරන්නේ නෑ. තව සැරයක් වත් සුදූගේ මුණ බලලා ඇත්ත ප්‍රකාශ කරන්න වැඩපලට එන්න හිටියත් ඔයාට වැඩපලින් ප්‍රශ්නයක් ඇතිවෙයි කියලා මම ආයෙමත් ඔයාට කරදර කරන්න එන්නේ නෑ. මගේ හදවත තේරුම් ගන්න කාටවත් බැරිවූණා. ඒක මගේ ලබා උපන් හැටිවෙන්න ඕනේ. මම ඔයාටත් ගින්දර දුන්නා ඒවා මටම පත්තුවෙනවා. මේ සියලු වේදනාවක්ම මම කොහොම ඉවසාගෙන ඉන්නද? මොනවා කරන්නද අනිවාර්යෙන්ම ඉවසාගෙන ඉන්න වෙනවා. 

                   ඔයාට කියන්න ගොඩාක් දේවල් තිබුනත් ඒ සියල්ල යටපත් කරගෙන හිනාවෙලා ජීවත්වෙනවා මිනිස්සුන්ට පේන්න මට ප්‍රශ්න නෑ කියලා. ලිපි ලියන්න ලියන්න මගේ වේදනාව තවත් වැඩිවෙනවා මිසක්  ලබන සතුටක් නෑ. මේ ලිපිය බලලාවත් ලිපියක් එවන්න උත්සාහ කරන්න. අමතක කරන්න එපා අපි වසරකට වඩා ආදරෙන් හිටියා. ඒ සුන්දර කාලය යලිත් පණ ගැන්වෙයිද මන්දා. වෙලාවකට හිතෙනවා ඔයාව වෙනත් කෙනෙකුගේ ආදරයකට මැදිවෙලාද කියලා. අපි කොච්චර ආදරයෙන් හිටියාද ඒත් ඔයා එකපාරටම මාව අමතක කරලා වෙන්වෙලා යන්න හදන්නේ ඇයිද කියලා හිතාගන්න බෑ. ඔයා වෙන අයෙක් එක්ක ඉන්නවා බලන්න මට දරාගෙන ඉන්න බැරිවෙයි. ඔයා දන්නවානේ ආදරයත් කාසියක දෙපැත්ත වගේ කියලා. එක පැත්තක ආදරය අනිත් පැත්තේ තියෙන්නේ වෛරය. ගොඩාක් දේවල් ලියන්න තිබුනත් හදවතේ ගැස්ම හා වේදනාව ඉඩදෙන්නේ නෑ ඒ හැම එකක්ම අකුරු කරන්න. 

එක් වසරක පෙම් ගීතය 

ගොළුවෙලා ගියාදෝ


ඔබටත් වෙලාවක් ඇතිවූවහොත්  මාහට ලිපියක් එවන්න උත්සාහ කරන්න.


මීට 

නිලන්ත.


නිලන්තගේ ලිපිය දෙවන වතාවටත් කියවා අවසන් කල ඉන්දිරා හිස් බැල්මෙන් යුතුව ලිපියේ වු අකුරු දෙස බලාගෙන සිටියා ය. නිලන්තගේ භවාතිශය ආදර අයාචනා දුක් ගැනවිලි වලින් පිරුනු ලිපිය කියවාලද්දි සිතට මතුව ආ ශෝකය මැඩපවත්වන්නට සමත්වු ඈ තව දුරටත් ඔහු ගැන සිතන්නට හෝ ආදරය කරන්නට සිතේ කොණකවත් ඉඩක් ඉතිරිව නැතැයි පසක්කරගත්තීය.

“ඉන්දිරා වතුර නටනවා මටත් එක්ක තේ එකක් හදලා තියන්න. මම ඉක්මනට මේ හෝදපු රෙදිටික වැලේ වනලා එනකම්.”

 දීපිකාගේ කෑගැසිල්ලෙන් සිතුවිලි දැහැනින් මිදි ඔහුගේ ලිපිය අතේ තබාගෙනම කුස්සියට ගොඩවු ඉන්දිරාට ළිපේ දුම් දමමින් වතුර නටන කේතලය දුටුවා ය. කෙමනියෙන් පිටවන සිහින් අළු පැහැති වාෂ්ප මඳක් ඉහලට ගමන්කර වායුගෝලයේ අතුරුදහන්ව යන සැටි බලා උන්නා ය. අතරැඳි ලිපිය අත්ලේම පොඩිව ගොස් නිවෙන්නට ආසන්න මලානික ගිනිඳලු අතරට වැටි ඒවා ප්‍රාණවත්කරමින් ගින්දර අතරම සැඟවගියේ ඉන්දිරාගේ මියගිය ආදර කතාව ආදාහනය කරවන්නට මෙන්ය.


ඉන්දිරාට නිලන්තගෙන් ගැලවුමක් තියේයිද? මතුසම්බන්ධයි........

කොළොම්පුරයාගේ වෙසක් කූඩු කතා වස්තුව

 වෙසක් සිරියෙන් රටම බබලන්න මැයි මාසේ උදාවෙලා තියෙද්දි කොළොම්පුරයාගේ මතක ගබඩාවේ දුහුවිල්ලෙන් වැසිලා ගිහින් තිබුන පරණ සිද්ධියක් මතකයට නැගුනා. ...