Saturday, November 14, 2020

පළිගු කිරිල්ලී - දහනව වන කොටස


 

අවසාන හමුවීමෙන් පසුව දින ගණනාවකින් නිලන්තගෙන් කිසිඳු ආරංවියක් නොලැබූ නිසා ඉන්දිරා සිටියේ හේබාගිය හොන්දුමාන්දු ස්වරුපයෙනි. කඳවුර මාරු කරන විත්තිය කී නමුත් ඔවුන් උතුරේ යුද්ධය දරුණු ලෙසින් ඇවිල යන කාල වකවානුවක් වූ බැවින් නිලන්තවත් සටනට කැඳවීදැයි ඈට නිරන්තරව සිතුනි. දිනෙන් දින ගෙවීයමින් ප්‍රමාදවන නිලන්තගේ ලිපි ගැන සිතන්නට වූවායින් ඇගේ ආතතියද වැඩිවූවාය. ෆැක්ටේරියට දුරකථන ඇමතුමක් දීමටවත් නොහැකි උතුරේ සටන් පවතින පෙදෙසක කඳවුරකට යවන්න ඇතැයි දීපිකා කීවා ය. අසහනකාරි ලෙසින් ගෙවුන දින කිහිපය නිමා කරමින් නිලන්තගේ ලිපියක් ලැබිණ. දරුණු සිත්වේදනාවන් එක්වරම නිවීගියාක්මෙන් ඉන්දිරා ප්‍රබෝදමත් විය. ආරක්ෂක කුටියේ ලිපි රාක්කයෙන් ගත් ලිපිය කඩා බලනකම් ඈ සිටියේ නොවසිල්ලෙනි. කෑම විවේකය ලද සැනින් ඈ ලිපිය කඩා කියවා බැලීය. 


නටුවෙන් ගිලිහුනු පින්න මලක් සුළඟට පාව ඇවිත් 

මගේ හඳ පතුලේ නතරවෙලා සෙනෙහස් සුව විදිමින්..

මගේ ආදරණිය සුදු වෙත, 


සුදු කිව්වාට තරහා වෙන්න එපා. මගේ හිත ගත්ත සුදු කෙල්ල ඔයා තමයි. අනික සුදු ඔයා කොහොමත් මට වඩා සුදුයිනේ. එදා ඔයාගෙන් වෙන්වෙලා ආවේ බොහෝම අමාරුවෙන් තමයි. තව ටිකක් වේලාවක් තියාගත්තා නම් කියලා හිතුණා. අපිව වෙනින් කඳවුරකට මාරුකරනවා කිව්වාම මට ඉස්සෙල්ලාම මතක්වුනේ ඔයාවයි සුදු. ඒකයි පුළුවන් ඉක්මනටම මම ඔයාට කොල් එකක් අරගත්තේ. මගේ බඬේ මසල් එකක් ප්‍රක්ටිස් කරද්දී ඇදිලා ටිකක් රිදි රිදි තිබුනේ. එදා ඇවිත් ගියාට පස්සේ ඒක වැඩිවෙලාද මන්දා දැන් රිදෙනවා වැඩියි. කොහේද මේ කෙල්ල මට නිකං ඉන්න දුන්නේම නෑනේ. හරිම විසේකාරියක් තමයි. හැබැයි ඔය විසේ බස්සන්නත් මං නම් හොඳට දන්නවා. දැන් නම් මට ඔයා නැතිව බෑ වගේ. මට මානෙල් එක්ක ඉදිද්දී වත් එහෙම දැනිලා නෑ. මෙතනින් පැනලා ඔයාව හොයාගෙන එන්න හිතෙනවා. මොන ප්‍රශ්න තිබුනත් ඒවා ඔක්කෝම නැතිවෙනවා ඔයා ළඟ ඉන්න කොට. මේ ලියුම් යාළුවන්ට එහෙම පෙන්නන්න එපා. එයාලා අපි ගැන මොනවා හිතයිද මන්දා.

 ඔයා හිතුවා නේද අපිව මාරු කරනවා කියලා එදා ඔයාව බොරු කියාගෙන බලන්න ආවා කියලා? ඒක ඇත්තක්. දැන් ඉන්නේ රත්නපුරේ කුරුවිට කඳවුරේ. අපිව මේ කඳවුරට මාරු කළේ ඇයි කියලා එදා කියන්න බැරිවුනා. අපේ කොල්ලොන්ට ගමේ කොල්ලෝ ටිකක් ගහලා. මොකක්ද කෙල්ලෙක්ගේ හුටපටයක් තමයි. ඔයා දැක්කාද දන්නේ නෑ පත්තර වලත් විස්තරේ දාලා තිබුණා. අපේ හමුදාවේ කොල්ලන්ට ගහද්දී මොන එකාද ඇස් පියාගෙන ඉන්නේ? මමත් එදා රණ්ඩුවට ගියා. ගමේ කොල්ලෝ හතර පස්දෙනෙක් තවමත් ඉස්පිරිතාලේ. අපිව පස්සේ සෙල් එකටත් දැම්මා. අපේ පඩිත් නතර කරලායි තියෙන්නේ. එදා එහෙට එන්නත් සල්ලි දුන්නේ මගේ යාළුවා ප්‍රසාද් තමයි. ඔයාට මතක නේද ප්‍රසාද්? එදා ඔයාලගේ ෆැක්ටේරියට මාත් එක්ක ආවේ. පඩි නැති කළාට මොකද පස්සේ හිඟ පඩියත් එක්කම ගෙවනවා. අපිව දැන් ඉන්නේ රත්නපුරේ කුරුවිට කෑම්ප් එකේ. මේ ලියුමේ පහළින් ලියලා ඇති කෑම්ප් එකේ ඇඞ්රස් එක. ඒකට ලියුමක් එවන්න. මම පස්සේ ඔයාට කෝල් කරන්න කෑම්ප් එකේ ටෙලිෆෝන් නොම්මරේ එවන්නම්. 

එදා කතා කරන්න බැරි වෙච්චි ගොඩාක් දේවල් තියෙනවා. ඔයාට බැරිද රත්නපුරේට එන්න. නිවාඩු දවසක් අල්ලලා. කොහොමත් ඉක්මනටම දකින්න ලැබෙනවානම් හොඳයි. අපිට කඳවුරෙන් පිටට යන්නත් තහනම් කරලා තියෙන්නේ. කොහොමත් ටික දවසක් යනකම් කොළඹ ඇවිත් යන්න බැරිවෙයි. ඔයා එනවානම් මම කොහොම හරි පැනලා එනවා. ඒක නෙමෙයි ඔයාගේ අම්මාට කිව්වාද මං ගැන? මටත් ආසයි අම්මාව මුණ ගැහෙන්න. එතකොටවත් සුදුගේ මං ගැන තියෙන අවිශ්වාසේ නැතිවෙයි නේද? සුදු ඔයා හරි අවංක කෙල්ලෙක්. ඔයා මාව මුණ ගැසුණු මුල්ම දිනේදීම ඔයාගේ ඇත්ත විස්තර ඔක්කෝම කිව්වා. එත් මම ඔයාට කිසිම දෙයක් නොකියා හංගාගෙන හිටියා නේද? මට හංගන්න දෙයක් නෑ කෙල්ලේ. එදා තමයි ඔයාට මගේ ඇත්ත විස්තර කිව්වේ. නිලන්ත කියන්නේ අවංක කොල්ලෙක් සුදු. ඔයා හිතනවාද දන්නේ නෑ මමත් අර විජිතවාගේ බොරු කාරයෙක් කියලා. මට ඔයාට ඇත්ත කියන්න හිතුනේ නැත්තේ සුදුව මට නැතිවෙයි කියලා. මම ඔයාට ගොඩාක් ආදරෙයි සුදු. මම මානෙල්ගෙන් දික්කසාද වෙන්න නඩුව ලෑස්ති කරලා තියෙන්නේ. සුදු ඔයා බය නැතිව මං ගැන හැම විස්තරයක්ම අම්මාට කියන්න. අම්මාට කියන්න ගමේ යනින් ගමන් අපේ කෑම්ප් එකටත් ඇවිල්ලා යන්න කියලා. කොහොමත් හල්දුම්මුල්ලට යන්න වෙන්නේ රත්නපුරේ හරහානේ. පුළුවන්නම් මල්ෂාවත් අරගෙන එන්න. හැබැයි අම්මටයි දුවටයි යන්න දුන්නත් ඔයාවනම් කොහොම හරි කුරුවිට නවත්තගන්නවා. මට ආසයි ඔයාගේ කෙලි පොඞ්ඩිව බලන්න. එයත් ඔයාවගේ ලස්සන ඇති නේද? මම දුවටත් තෑගී ගොඩාක් අරගෙන ඉන්නේ. කොහොම හරි එයාවත් එක්කගෙන එන්න. එහෙනම් දැනට මම නවතින්නම්. ඔයා පරිස්සමින් ඉන්න. බුදු සරණයි.

මීට ආදර 

නිලන්ත.   


නිලන්ත ගෙන් ලිපියක් ලද බව ගැන දීපිකාට පැවසුවේද සිත් පිනාගිය සංතෝෂයෙනි. අම්මා හමුවීමට නිලන්ත කැමති නම් ඉන්දිරා එම හමුවීම කල්දමන්නේ ඇයිදැයි දීපිකා විචාළේය. තව දුරටත් කල්නොදමා නිලන්තට අම්මාව මුණ ගැස්සීය යුතු බව දීපිකාද අවධාරණය කර සිටියා ය.


* * * * *


වේලාසනින් හල්දුම්මුල්ලේ ගෙදර ගිය තමාලි මල්ෂාවත් කැටිව රත්නපුරයට එන්නටත් එහිදී ඉන්දිරා හා එක්ව නිලන්ත හමුවීමට යොදාගන්ටත් සැලසුම් කරගත්තා ය. දවසක නිවාඩුවක් ගෙන ඉන්දිරා පානදුරින් රත්නපුරයට යන බසයක නැඟුනාය. කඳවුර මාරු කළායින් දකින්නට නොලැබුණු නිලන්තව යළිත් දකිනා තුරු ඈට ඉස්පාසුවක් නොවීය. බස් රියේ කවුළුවෙන් ඉවත බලාගෙන සිටි ඉන්දිරා නිලන්තව හමුවී අම්මා කුමක් පවසාවිදැයි සිතුවා ය. නිලන්තගේ ලිපිය ලැබෙන්නට පළමුව ඉන්දිරා අම්මාට ඔහු පිළිබඳව පැවසූ අයුරුත් අම්මා ගේ විමසිලිමත් දැස මඟ හරිමින් නිලන්ත ගැන ඇසු පැණයන්ට පිලිතුරු දුන් අන්දමත් සිහිපත් විණි. අම්මාට ඉන්දිරා නිලන්තව බසයේදී හමුවීමේ සිට ෆැක්ටේරියට පැමිණ හමුවීම දක්වා විස්තර කළත් ඔහුහා ආගිය ගමන් ගැන කිසිඳු තොරතුරක් නොපැවසුවා ය. තමාලි ඉන්දිරාගෙන් වක්‍රාකාරයෙන් විමසා සිටියේද නිලන්ත සමඟින් වෙන ගමන් ගොස් කායික ඇසුරක් පැවැත්වූවාද යන්නයි.

“ඔය මිනිස්සු ගැන උඹලා දන්නේ මොනවාද? දවසක් දෙකක් ආශ්‍රය කල පලියට උන් ගැන මැනලා බලන්න බෑ. කසාදේ අත්හැරුණු ගෑණියෙක් දැක්කාම උන් ගේ අනුකම්පාව බේරෙනවා. බඩට දරුවෙක් ආපූ ගමන් ඉක්මනටම මාරුවෙන්න බලනවා. පරිස්සම් නොවුනොත් ඉන්න එකා මදිවට තවත් දරුවෙක් කරපින්නා ගන්න වෙන්න වෙයි. ”

ඇය අවවාදාත්මක ස්වරූපයෙන්  කීවාය.

“නිලන්ත එහෙම කෙනෙක් විත්තියක් පෙන්නේ නම් නෑ.”

“එහෙමද මෙහෙමද කියලා කොහොමද ඉන්දිරා දවස් දෙකක් තුනක් කතාබස් කරලා දැනගන්නේ?”

“අම්මාටත් එයත් එක්ක කතාකරලාම දැන ගන්න බැරියෑ.”

“ඔය කොල්ලා දික්කසාද වෙච්චි එකෙක් නම් කමක් නෑ. ඒත් ඉන්දිරා හින්දා නිලන්තගේ පවුල කැඩිලා එයාලා දික්කසාද වෙනවාට මම නම් කැමති නෑ”

“නෑ අම්මේ එයා මාව මුණ ගැහෙන්නත් ඉස්සරින් තමයි දික්කසාද වෙන්න හදලා තියෙන්නේ.”

 “හරි බලමු. කෝකටත් මටත් ඔය ආමිකාරයාව දැක බලාගන්න ඔනේ.”

“එයත් අම්මාව මුණ ගැහෙන්න ඕනේ කිව්වනේ. බොරුකාරයෙක් නම් අම්මාව මුණගැහෙන්න ඕනේ කියන්නේ නෑ.”

“ඒකත් ඇත්ත.”

අවසානයේ ඉන්දිරාට සංතෝෂවිය හැකි වදනක් තමාලිගේ මුවින් පිටවුණි. 



* * * * *


“අම්මා මොකද කිව්වේ?”

“එයා මුකුත් විශේෂ දෙයක් ඔයා ගැන කිව්වේ නෑ.”

“ඒ කියන්නේ අම්මා කැමතියි කිව්වේ නැද්ද මාව බෑනා කරගන්න?”

“ඔයා අපේ අම්මා ගැන දන්නෙ නෑ. එයා කිසි කෙනෙක් ගැන එකපාරටම හොඳ කියන්නේ නෑ. හොයලා බලන්නේ නැතිව සිද්දවෙච්චි දේවල් වලට තාමත් මං ගැන අම්මා දුක්වෙනවා. එත් එයා ඔයාට නරකක් කිව්වේ නෑ.”

“ඒ කියන්නේ තාම පරික්ෂණ මට්ටමේ ඉන්නේ?”

“වෙන්න ඇති. හැබැයි එයා ආපහු එද්දී නම් ගොඩාක් තහංචි මට දැම්මා. ”

“ඒ මොනවාද?”

“අම්මා මගෙන් හාර අවුස්සලා ඇහැව්වේ ඔයාත් එක්ක එහේමෙහේ ගියාද අනම් මනම් විස්තර තමයි. අම්මා බයයි ආයෙමත් මම විජිත වාගේ බොරු කාරයෙක්ට රැවටිලා ජීවිතේ කාලකණ්නි කර ගනියි කියලා.”

“ඉතිං ඔයා කිව්වාද අපි ගිය ගමන් ගැන?”

“පිස්සුද? ඒවා කියන්න පුළුවන්ද? අනික අම්මා දැන ගත්තෝත් මාව මෙහෙන් අස්කරලා ගමේ යවනවා. ඔයත් එක්ක කතාබස් කළාට කමක් නෑ ඒත් අනවශ්‍ය ගමන් යන්න එපා කිව්වා. ඒත් මට ෂුවර් අම්මා ඉන්නේ මං ගැන සැකෙන්.”

“අම්මාට මං ගැන සැක කරන්න දෙයක් නෑනේ. මම එයාට කිව්වානේ මම ඉන්දිරාව කසාඳ බඳීනවා කියලා. ඒක නෙමෙයි දුව මොකද කිව්වේ මං ගැන?”

“ඔයා ගැන තමයි එයාගේ කතාව. හොඳ අංකල් කෙනෙක් කිව්වා. අනික එයාට දුන්න තෑගී වලට තමයි ඔක්කෝටම වඩා ආස. අර බොනික්කාට තමයි දුව ගොඩාක් ආසාවුනේ. ගවුමත් දුවගේ ගාණටම තියෙනවා. ගොඩක් ගාණක් වෙන්න ඇති නේද? ඒත් ඔයාට සල්ලි නැතිව කොහෙන්ද තෑගී ගත්තේ?”

“පව් හුරතල් කෙලි පොඞ්ඩ. මං යාළුවෙක්ගෙන් ණයට ඉල්ල ගත්තා.”

“ඔයා ණයට සල්ලි අරගෙන තෑගී ගත්තේ ඇයි?”

“චුටි කෙල්ලව ඉස්සෙල්ලාම දකින දවසේ හිස් අතින් යවන්න පුළුවනිද ඉන්දිරා?”

“එයා ඇහැව්වා කවුද මේ හොඳ අංකල් කියලා?”

“ඉතිං ඔයා මොනවාද කිව්වේ?”

“මම කිව්වා ඒ අංකල් තමයි මීට පස්සේ ඔයාගේ තාත්තා වෙන්නේ කියලා. එයා අහනවා මගේ තාත්තාට මිසක් වෙන අංකල්ලාට කොහොමද තාත්තා කියන්නේ කියලා.”

“ඔයාත් හරි වැඩනේ කරන්නේ. ඇයි එයාට එහෙම කිව්වේ? දුව කිව්ව කතාව ඇත්ත. පව් ඔයා ඒ දරුවාගේ හිත නරක් කරන්න එපා.”

“ඔයා ගෙදරට කිව්වාද අපි ගැන?”

“ඔයාගේ අම්මා වගේ තමයි අපේ ගෙදරත්.”

“අම්මා අහනවා ඔයාගේ ප්‍රශ්නය ඉවර වෙන්නේ කවදාද කියලා? ”

“නඩුව තාම පටන් ගත්තා විතරයිනේ. දැන්ම ඉවර වෙන්නේ නෑ සුදු. මානෙල් අපේ ආමි එකේ මණ්ඩලේකටත් මේක දාලා තියෙන්නේ. ආමි එකේ කට්ටිය කැමති නෑ උසාවිගානේ ගිහිල්ලා ආමිඑකේ නම කැත කරනවාට.”

“ඉතිං මානෙල් ගැන හමුදාවට තියෙන කැක්කුම මොකක්ද?”

“ඇයි මම ඔයාට කිව්වේ නැද්ද එයාත් හමුදාවේ කියලා?”

“නෑ. මට ඒ විස්තර කියලා නෑ.”

“එයා ඉන්නේ යුධ හමුදා පොලීසියේ.”

“හමුදාවේ ඉන්නැද්දීද හම්බවුනේ?”

“ඔව්. මමත් එයාට රැවටුනා. මගෙන් එයාට වෙච්චි වැරද්දකට මම එයාව බැන්දා.”

“ඇයි මානෙල්ගෙන් අයින්වෙන්න හදන්නේ?”

 “එයාගේ චරිතේ හොඳ නෑ සුදු. එයා ගැන එක එක කතා මට අහන්න ලැබුණා. ඒත් මම මුලදී ඕවා විශ්වාස කළේ නෑ. පස්සේ මට අහුවුනා මේජර් කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබිලා. මගේ යාළුවන්ගෙන් තමයි ඒ ගැනත් ආරංචිවූනේ. මට බෑනේ ලොක්කෝත් එක්ක රණ්ඩු කරන්න යන්න. එහෙම කරන්න ගියානම් මාවත් යුද්දේ තියෙන පැත්තක ෆන්ට් ලයින් එකට මාරුකරයි. මම මානෙල්ව එපාම වුනා. මම වෙන්වෙන්න හදන්නේත් ඒ නිසාමයි. එත් අපේ ගෙදරින් වත් මං ගැන නෙමෙයි සලකන්නේ.”

“ඇයි ඒ?”

“අනේ මන්දා සුදු අපේ ගෙදරටත් මානෙල්ව විශ්වාසයි. එයාලා විශ්වාස කරන්නේ නෑ මානෙල් මේජර් කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබ්බා කියලා. අම්මලා හිතන්නේ මට වෙන සම්බන්ධකම් තියාගන්න ඕනේ නිසා මානෙල්ට බොරු චෝදනා කරනවා කියලා. මටත් හිතාගන්න බැරි විදිහට මාව ප්‍රශ්න ගොඩකට පැටලිලා. මේ කසාදෙන් අයින් වෙනකම් මුකුත් කරගන්න බෑ.”

“එහෙම අම්මලා කියන්නේ ඔයාට මං ඇරෙන්න වෙන ගෑණු එක්ක සම්බන්ධකම් තිබුනාද?”

“ඔයා මේ අහන්නේ මොනවාද ඉන්දිරා? ඔයාට මාව පෙන්නේ වනචර සල්ලාලයෙක් විදිහටද?”

“මම ඔයාට එහෙම කියන්නේ නෑ අයියේ. එත් අම්මලාත් මානෙල්ගේ පැත්ත ගන්න මොකක් හරි දෙයක් තියෙන්න ඕනේ නේද?”

“මම දැනුවත්ව නම් එහෙම වැඩ කරලා නෑ. ඒත් මම හිතන්නේ මේ සිද්ධිය කියලා වෙන්න ඇති මානෙල් අපේ අම්මලාව රවට්ටලා තියෙන්නේ.”

“ඒ මොකක්ද?”

“අපේ ටීම් එකේ ඉන්න සමන්ගේ තාත්තා ආන්ත්‍රාවුනා. ඒ මළගමට අපි ගිහිල්ලා වැඩකරද්දී තමයි සමන්ගේ නැන්දාගේ දුව අපිත් එක්ක ෆිට් වුනේ. සමහර කෙල්ලෝ ආමී එකේ කොල්ලන්ට පැනලානේ දෙන්නේ. අපිත් ඉතිං එයාව පොඞ්ඩක් විතර අප් කළා. පස්සේ සමන්ගෙන් මේ කෙල්ල මගේ ඇඞ්රස් එක ඉල්ලගෙන ලියුම් දෙකක් විතර එව්වා. ඒක තමයි ඔය අපේ ගෙදරින් සැක කරන්න ඇත්තේ.”

“ඔයාත් එයාට ලියුම් යවන්න ඇති?”

“පළවෙනි ලියුමෙන්ම මම කියලා ඇරියා මම බැඳලා විත්තිය. දෙවනි එකට ලියුම් ඇරියෙ නෑ. ඔයාටත් මාව සැකයි නම් මම දෙන්නම් ඒ කෙල්ලගේ ගෙදර ටෙලිෆොන් නොම්මරේ. ඒකට අරගෙන චන්දිකාව අහලා ඔයාම විස්තරේ දැන ගන්නකෝ. අනේ මන්දා සුදු අහක යන ලෙඩත් මගේ කරපිටට වැටෙන්නේ මොන කරුමයකටද මන්දා. ”

“නෑ මට ඕනේ නෑ ඔයාව සැක කරන්න. මට බෑ ඔය අහක ඉන්න කෙල්ලොන්ට කතා කරන්න. අනික ඒ කෙල්ල මට බැන්නොත්.”

“බැන්නොත් ඔයාත් බනින්න.”

“අනේ මට බෑ. ඔයාට මාව බඳින්න බැරිවුනාට මට ඔයාව බඳින්න කිසිම තහනමක් නෑ ඒ මාව විජිත බැඳලා හිටියේ නැති නිසා.”

“හොඳට හිටියි ඔයාව බැන්දොත්. බහු විවාහ කරගත්තා කියලා හිරෙත් දායි. ප්‍රශ්න පිට ප්‍රශ්න කොහෙන් ඉවරයක් වෙයිද මන්දා. ඔයත් එක්ක මේ ඉන්න සුළු මෙහොතේදී තමයි ටිකක් හරි සැනසිල්ලක් තියෙන්නේ.”

“තාම ඔයාගේ පඩිය හැදුනේ නැද්ද?”

“තාම නෑ. ලබන මාසේ විතර හදයි. ඔයාගෙන් සල්ලි අරගෙන මේ හොටල් කාමරේටත් ගෙවපු එකට තරහද?”

“පිස්සුද නෑ.”

“ඔයා ඔය ගාමන්ට් එකේ දුක් මහන්සිවෙලා හම්බකරපුවා මම ඉල්ලගෙන වියදම් කරන එකත් මහ පව් වැඩක්. පඩිය හම්බවුන ගමන්ම ඔයාගේ ණය ගෙවලා දාන්නම්.”

“මේ ගාමන්ට් වල වැඩ කරලා ලැබෙන දෙයක් නම් නෑ තමයි. මට වෙලාවකට හිතෙනවා රට යන්න.”

“රට යන්න?”

“ඔව් හවුස්මේඞ් විදිහට.”

“මටත් හිතිලා තියෙන්නේ. අපේ පැත්තේ අය ඉතාලි යනවා. මම ගියොත් ඔයාවත් ගෙන්න ගන්නම්.”

“රස්සාවෙන් අස්වෙලාද යන්නේ?”

“මේ යුද්දේ දවස්වල ආම් එකෙන් අස්වෙන්න දෙයි කියලා ඔයා හිතනවාද? කොහොමත් ඇබ්සන්ට් වෙලා පැනලා යන්න තමයි තියෙන්නේ.”

“ඉතාලි යන්න ලොකු සල්ලියක් ඕනේ නේද? ඔයාට ගෙවන්න සල්ලි තියෙනවාද?”

“සල්ලි තමයි ප්‍රශ්නේ සුදු. ගෙදර උගස් කරලා හරි සල්ලි ගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ.”

“ගෙදරින් කැමතිද රට යනවාට?”

“තාත්තා නම් කැමතියි. ඒත්  අම්මා නම් කැමති නෑ. අනික මම රට යන්න හදනවා කියලා දැන ගත්තොත් මානෙල් මාව ආමී එකට කියලා හිර කරයි.”

ඔහු තද හුස්මක් ගෙන ළය පුරවාගත්තේය.

“ඒක නෙමෙයි සුදු, අපේ අම්මා මට මේ ළඟදී මාර කතාවක් කිව්වා”

“ඒ මොකක්ද?”

“දැන් කාලෙකට ඉස්සර ඉදන් මානෙලුයි මායි එකට ජීවත් වෙන්නේ නැති බව දන්න නිසා අම්මා කියනවා වෙන කෙල්ලෝ හරි ගෑණු එක්ක හරි සම්බන්ධකම් පවත්වන්න යන්න එපා කියලා.”

“ඇයි එහෙම කියන්නේ? ඇයි අම්මාට ඔයා අපේ සම්බන්දේ කිව්ව නිසාද?”

“මම අම්මාට කියන්න ගියේ නෑ සුදු. අම්මා කියන්න ඕනේ නෑ. මම දන්නවා මානෙල් එහෙම මේවා දැනගත්තෝත් මාව වැරදිකාරයා කරලා මගේ නඩුව තව හිර කරන්න පුළුවන්.”

“ඒක නෙමෙයි කාරණාව.”

“එහෙනම්?”

“අම්මා දන්නවා ඇති පුතණ්ඩියාට කෙල්ලෙක් අහුවුනොත්  ඉවරයි කියලා. දන්න සෙල්ලම්, හපන්කම් ඔක්කෝම දාපූ නිසා වෙන්න ඇති පුතණ්ඩියාට මානෙල්ව බඳින්නවුනේ නේද? අන්න ඒක දන්න නිසා වෙන්න ඇති පරිස්සම් වෙන්නයි කිව්වේ.”

“අනේ පලයං බං යන්න. කෙල්ලෝ තමයි අපිවාගේ උපාසක කොල්ලන්ට ඉන්න දෙන්නේ නැත්තේ.”

ඔහුගේ කතාවට සිනාසුන ඈ ටික වේලාවක් නිහඬව සිටියා ය. නිලන්නගේ නග්න පපුව පිරිමදිමින් ඇගේ අත හිමිහිට ගමන් කරවන්නට වූවා ය. 

“අයියේ.”

“ඇයි?”

“මට බය හිතෙනවා අයියේ.”

“මොකටද?”

“ඔයත් එක්ක මෙහෙම ගමන් එන එකට. අනික ඔයාගේ අම්මලා දැන ගත්තෝත් මම මහ නරක ගෑණියෙක් කියලා කියයි.”

“ඔයා බය වෙන්න එපා ඉන්දිරා එහෙම වෙන්නේ නෑ.”

“ඒත් අයියේ අපේ අම්මා කියන කතාව එක පැත්තකින් හරි. අපි මෙහෙම එකට ඉදලා වැරදිලා හරි බබෙක් හිටියොත්. මාව ලොකු අමාරුවක නේද වැටෙන්නේ?”

“එකට තමයි පරිස්සම් වෙන්න ඕනේ කියන්නේ. මම ඔයාට කී සැරයක් විතර කිව්වාද ළමයි හම්බවෙන්න නැති වෙන්න අර අවුරුද්දකට ගහන ඉන්ජෙක්ෂන් එක ගහ ගනිමු කියලා. ඉන්ජෙක්ෂන් ගැහැව්වාම මහත් වෙනවා කියලා ඔයානේ එකට කැමති නැත්තේ.”

“මම මෙච්චර දුරක් ආවේත් ඔයාට ඇති ආදරේ නිසයි අයියේ. ඔයා හිතනවාද දන්නේ නෑ මම මේ වාගේ ගමන් යන වල් ගෑණියෙක් කියලා.”

“පිස්සුද ඉන්දිරා? මොනවාද මේ කියන කතා?”

“අයියලාගේ ගෙදර අයත් දැන ගත්තොත් අපි මෙහෙම ඉන්නවා කියලා ඒක මටත් හරි නෑ නේද? අනික මානෙල් දැන ගත්තොත් මොනවායින් මොනවා වෙයිද දන්නේ නෑ.”

කඳුලින් පුරවා ගත් දෑසින් නිලන්ත දෙස බලා සිටි ඈ නිහඬව කල්පනා කරන්නට වූවාය. ආදරයේ නාමයෙන් නිලන්ත සොයා රත්නපුරයට ආ පසු ඔහු සමඟින් මෙසේ හෝටල් කාමරයක් තුළ යහන්ගතවූ බව නිලන්තගේ දෙමව්පියන් දැනගත් දිනෙක තමා දෙස වෛශ්‍යාවක් ලෙසින් සලකා අවඥාවෙන් බලනු ඇතැයි ඈට සිතුණි. තනියම පැමිණි ගමනේ බැරෑරුම්කම ඈට අවබෝධවූයේ මේ මෙහොතේදීය. මානෙල් ගැන සිහිපත්වූ නිලන්තගේ සිත බොහෝ දුර ඉසව්වක් කරා ගොස් තිබුණි. අතොරක් නැතිව දොඩමළුව සිටි ඉන්දිරාගේ නිහැඬියාව ඔහුට දැනෙන්නට මඳ වේලාවක් ගතවූයේ ඒ බැවිනි. අනවශ්‍ය දේවල් කියවන්නට ගොස් කලකට පසුව ලැබුනු අස්වාදනීය පැය කිහිපය නිරපරාදේ නිකරුනේ වැය කරවන්නට වෙන බව ඔහුට කල්පනා විය. කාලය ඉක්මනින් ගෙවීයයි. සවස්වෙන්නට ප්‍රථම ඉන්දිරාව බෝඩිමට පිටත් කලයුතුබව ඔහුගේ මනසේ රැව් දෙන්නට විනි. අහම්බයෙන් බසයකදී හමුවූ මහානර්ඝ වස්තුවක්වන් ඉන්දිරාව අතනොහැර සන්සුන්ව රසමවුලක් සේ ඇගේ තුණුසපුව රස විදින්නට ඔහුට ඇවසි විය. අකර්මණය වූ ගත යළිත් ප්‍රාණවත්කරගන්නට උත්සාහ කළ ඔහු ඉන්දිරාගේ මුව සිපගන්නට තැත් කළේය. ඉන්දිරා තම වත අහකට හරවාගෙන නිලන්තගේ උත්සාහය සියුම්ව මඟහැරියා ය. ඇගේ අකමැත්ත නොතැකූ නිලන්ත බලහත්කාරයෙන් මෙන් ඉන්දිරාගේ මුහුණ තමා වෙත හරවාගෙන මුව කමල තදින් උරාබොන්නට විය. අතොරක් නොමැති උත්තේජනයන්ට ලක්වූ ඈ අවසානයේ නිලන්තගේ පුරුෂාධිපත්‍යට යටත්වුණි. 


ඉන්දිරා අම්මාට අසුවෙයිද?..... මතුසම්බන්ධයි........


මෙම නවකතාවේ වර්තමානයේ සිදුවන සිදුවිම් දේවල් කළු පාටින්  හා අතිතාවර්ජනා කොටස් නිල් පැහැයෙන් දක්වා ඇත.  


10 comments:

  1. අපේ ජීවිත වගේම තමා මෙව්වත්... ඉදිරිය නිශ්චිත නෑ. පහුගිය කොටසෙ කෂ්ඨිය කරපු අනුමාන වැරදුනා නෙව...

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත තමයි ඩ්‍රැකියෝ.... ජීවිතෙත් ඉදිරිය ගැන අනුමාන කරන්න පුලුවන් එත් මොහොතකින් ඒවා වෙනස්වෙන්නේ හිතාගන්නටත් බැරි සුළු කාරණාවලින්

      Delete
  2. හමුදාව සතුරන්ට වැරෙන් පහරදෙමින් ඉදිරියටම ගමන් කරයි... හා හා ....

    ReplyDelete
    Replies
    1. සතුරා පරාජය බාරගනිද නැතිනම් සාම සාකච්චා වටයක් යයිද?

      Delete
  3. //නිලන්තගේ පුරුෂාධිපත්‍යට යටත්වුණි// මෙතැන එහෙම ලියන එක හරිද? නිලන්තගේ බල කිරීමට වගේ කීව නම්? පුරුෂාධිපත්‍ය කියන්නේ ටිකක් සීරියස් එක්කක් නේ. තවම නිලන්ත එහෙමම කියල පේන්නේ නැහැ. පස්සේ පැනලා යනකොට පෙනෙයි හේ හේ

    ReplyDelete
    Replies
    1. ඔය වාක්‍යය අරුත් ගැන්වෙන්නේ සෙක්ස් පැත්තෙන්. ඒ කියන්නේ ඇය පුරුෂයාට අවශ්‍ය විදිහට ආපසු කාම ආලිංගනයට නතුවුනා කියලා හෝ තවත් යටි අරුත් කිහිපයක් හැගවෙන්නයි.

      Delete
  4. හිතන දේ නෙවෙයි වෙන්නෙම වෙනින් දෙයක්
    එහෙම වෙන එකෙත් තියෙනව වෙනම රහක්
    කොහොම වුණත් මනුස්සකම තියෙන එකෙක්
    ඉන්දිරාට හමුවෙල නම් සැනසිල්ලක්!

    ReplyDelete
    Replies

    1. ජීවිතයම වැලපිල්ලක්
      හිතුවට සිතුවිල්ලක්
      පතමුයි සැනසිල්ලක්
      කරමින් විමසිල්ලක්

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

නෞකා තට්ටුවේ ඇති යන්ත්රෝපකරණ වර්ග Deck Machineries

  නැවක ඇති තට්ටු යන්ත්‍ර මොනවාද?  Deck Machineries  තට්ටු යන්ත්රෝපකරණ යනු යාත්‍රාවේ නිරාවරණය වූ තට්ටුවේ - Exposed Deck සවිකර හැකි යන්ත්‍ර වේ...