Thursday, May 6, 2021

හෝරස්ගේ දරුවා - එකලොස්වන දිගහැරුම Son of Horus - 11

 


සිලි සිලි හඬනංවමින් මඳපවනට ලෙලදෙන්නට වූ ඉදිරිපස ගේට්ටු කණු වසා සිටි කලු පැහැති ඉටිකොල රැලි කොඩි ඉහළ සිට පහළට මකුණු දැලක් සේ විසිරී ඇත. අතරින් පතර තාප්පයේ එල්ලුනු පෝස්ටර් නුදුරු දිනකදි වූ සිසු විරෝධතාවයක අතීතය කදිමට කියාපෑවේය. ගේට්ටුවේ සිටි ආරක්ෂක නිලධාරියාගෙන් යමක් විමසා විශ්ව විද්‍යාල භූමියට ඇතුල්වුනු පොලිස් ජීප් රිය මන්දගාමීව ඉදිරියට ඇදුනි. අතරින් පතර තණබිස්සේ රැඳී හුන් හා මාවතේ ගමන් කරමින් හුන් සියල්ලන්ගේ නෙත් කිසිදා නොදුටු යමක් දෙස බලන්නාක් මෙන් ජිප්රිය හා එහි හුන් පිරිස දෙස යොමුවන්ටවූයේ පොලිස් නිලධරයන්ද අපහසුතාවයකට ලක්කරමින්ය. සුමංගල ශාලාව අසළ නැවත්වූ ඉන් බිමට බට පොලිස් කොස්තාපල්වරු දෙදෙනා ශාලාව තුළට ලහි ලහියේ වැදගත්තේ සිසු සිසුවියන්ගේ උපහාසාත්මක විමසිලිමත් දෑස් මඟහරවමිනි. කිසිදා විශ්ව විද්‍යාල ශාලාවකට ඇතුළු නොවූ ඔවුන් වංක ගිරියක් බදුවූ සුමංගලේ දේශණ ශාලා පන්ති කාමර පසු කරමින් පුරාවිද්‍යා අධ්‍යන අංශය සොයා ගියේ සිසුන් කිහිප දෙනෙකුගේ අසා සහය ලබාගැනීමෙන්ය. අංශයේ දොරෙන් ඇතුළුවද්දීම සිසුන් කිහිප දෙනෙක් හමුවූහ.

“මහාචාර්ය නාරද බණ්ඩාර ඉන්නවාද?”

“අර අතන ඉන්නේ.”

ඔවුන් පෙන්නු ඉසව්වේ රැඳී සිටියේ යම් සාකච්ඡාවක නිරතවෙමින් සිටි මහලු හා මැදිවියේ හුන් ආචාර්යවරු කිහිපදෙනෙකුයි. ඉතිරි කෙස් ගස් කිහිපයකින් ඉදිරිපස තට්ටය වසාගැන්මට අසීරු උත්සාහයක් දැරු යටි රැවුලක් සහිත හින්දෑරි පුද්ගලයෙකු වෙත ගිය පොලිස් නිලධාරින් ඔහුව ඇමතුවේය.

“මිස්ටර් නාරද මම නෙමෙයි. අර අතන ඉන්නේ.”

පොලිස් කොස්තාපල්වරුන් සිතූ ලෙසට නාරද බණ්ඩාර ඇන්ටික් පොරක් නොවීය. ඉතා ක්‍රියාශීලි තරුණ ජවයකින් යුක්තවූ ඔහු උත්තුංග දේහධාරියකුද විය. අතරින් පතර පැසුනු නර කෙසක් දෙකක් ඇරෙන්නට ඔහුගේ වයස මැදිවිය පසුකරමින් සිටින බව කියන්නට කිසිඳු සලකුණක් එක්කර නොතිබුනි. සම්පුර්ණයෙන් මුඩුකළ මුහුණේ ප්‍රියමනාප සිනහව සියල්ලන්ගේ සිත් ඇදබැඳ තැබීමට සමත්වන්නක්ද විය. පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය ධුරය උසුලන මහාචාර්ය නාරද බණ්ඩාර ආචාර්්‍යය මණ්ඩලයේ සගයන් හා පේරු රාජ්‍යයේ මාචු පීචු හි තමා කළ පුරාවිද්‍යා සංචාරයක් පිළිබඳව සුහඳ සංවාදයක නිරතවෙමින් සිටියේ මේ අතරතුරය. තමන් වෙතට එන පොලිස් නිලධරයන් දැක කතාව මඳකට නවතා ඔවුන් එන මඟ දෙස බැලීය.

“මහාචාර්ය නාරද බණ්ඩාර?”

“ඔව් මම තමයි නාරද බණ්ඩාර ඇයි?”

ඔහු කුතුහලෙන් යුක්තව ඇසීය.

“සර් අපි ආවේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයෙන්, සර්ව එහෙට එක්කන් එන්න කිව්වා.”

“ඇයි මොකක්වත් ප්‍රශ්නයක්ද?”

“වැඩි විස්තරයක් නම් කිව්වේ නැහැ. ලොකු මහත්තයා තමයි නෝටිස් එක දුන්නේ.”

“මේ දැන්ම එන්න ඕනේද? මොකද මට දැන් ලෙක්චර් එකක් තියෙනවා.”

“නැහැ එහෙම එකක් නැහැ. සර්ගේ ලෙක්චර් එක ඉවරවෙන්නේ කීයටද?”

“දෙකට”

“එහෙම නම් සර් ඒක ඉවරකරලා පොලීසියට එන්න. එහෙනම් අපි යනවා.”

මහාචාර්ය නාරද බණ්ඩාරට ප්‍රශ්නාර්ථයක් නැඟුනේ තමන් කිසිම වරදක් නොකරම පොලීසියට කැඳවීම පිළිබඳවයි. ඔහු සමඟ හුන් අනෙක් අචාර්යවරු මේ පිළිබඳව වෙනත් නිගමනවලට එළඹෙද්දී ඔහු ඔවුන් මඟ හරිමින් දේශන ශාලාව වෙත ගියේය. දේශනය අවසන් කළ නාරද තම ටොයෝටා ඇලියොන් මෝටර් රථයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ගියේ දැඬි කල්පනාවක නිරතවෙමිනි. ඔහුට මේ කැඳවීම විශාල ප්‍රශ්නාර්ථයක්ම විය. පොලීසිය වෙත ඇතුල් වෙද්දීම ඈතින් පැත්තකට වන්නට තිබූ මේසයක උදේ වරුවේ තමන් හමුවීමට විශ්ව විද්‍යාලයට ආ පොලිස් කොස්තාපල්වරයෙක් විශාල පොතක් පෙරලාගෙන යම් ලියවිල්ලක් සකසමින් සිටිනා අයුරු නාරගේ දෑසට අසුවිය. නාරද ඔහු ළඟට ගොස් උගුර පෑදූ නමුදු එම පොතට ඔලුව ඔබාගෙන වැඩයේ යෙදී හුන් කොස්තාපල් වරයා නිකමට හෝ තම හිස උස්සා බැලුවේ නැත. දෙවන වරටත් එසේම කළමුත් පෙරසේම වැඩයේ යෙදෙමින් සිටියා මිසෙක ඔහුගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොවන බැවින් ඔහුව ඇමතීය.

“එක්ස්කියුස්මී මම ප්‍රොපෙසර් නාරද බණ්ඩාර මට. ....”

ඉතිරි වචන කිහිපය සම්පුර්ණ කිරීමටත් පෙර ඉද්ද ගැසුවාසේ නැගී සිටි පොලිස් කොස්තාපල්වරයා, 

“සර් එනකං අපේ සර් බලාගෙන ඉන්නවා යමු යමු.” කී ඔහු ඉක්මනින් මහාචාර්යවරයාව ඇතුල් කාමරයක් තුළට කැඳවාගෙන ගියේය. කාමරයේ සුවපහසු අසුනක වාඩිගත් කාලවර්ණ ස්ථුල සිරුරති ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා මහාචාර්යවරයා දැක අසුනින් නැගිට ඔහුට අතට අත දුන්නේය.

“මේ ප්‍රොපෙසර් නාරද වෙන්නැති. මම එස් එස් පී මනෝජ් පෙරේරා. වාඩිවෙන්න ප්‍රොපෙසර් අපි මුකුත් බීලාම කතාවට බහිමු නේද?”

“අඳුනගන්න ලැබීම සතුටක් ඉන්ස්පෙක්ටර්. දැන් මුකුත් අවශ්‍ය නැහැ. මට දැන ගන්න ඕනේ ඇයි මාව කැඳෙව්වෙ කියලා.”

“හොඳයි එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. ප්‍රොපෙසර් දකින්න ඇති නේද පත්තරවලින් එහෙම මේ ළඟදි බත්තරමුල්ලේ ලොකු බිස්නස්මන් කෙනෙක්ගේ මර්ඩර් එකක් උනා.”

“ඔය කියන්නේ අර ඔක්ෂනර් ස්ටැන්ලි වික්‍රමපාල ගැනනේ.”

“අන්න හරි එයා තමයි. මිනිහාගේ ගෙදරට හොරු පැනලා ඇඳ උඩම මරලා දාලා තිබුනානේ. පොස්ට් මොටම් එකේදි දැනගන්න ලැබුනා මිනිහාව මරන්න ඉස්සර නොසෑහෙන්න වඳ දීලා ඒ කියන්නේ ගහලා තියෙනවා. මේ ස්ටැන්ලිගේ මර්ඩර් කේස් එක හැඩල් කරන්න දාලා තියෙන්නේ මාව. මේ මර්ඩර් සස්පෙක්ට්ලාව ඉක්මනට ඇරෙස්ට් කරන්න කියලා ඉහළින් නියෝග ඇවිල්ලා තියෙනවා.”  

“ඉතිං මාවත් මේකේ සස්පෙක්ට් කෙනෙක් කරලාද?”

නාරද නොඉවසිල්ලෙන් ඇසීය.

“ඇයි ප්‍රොපෙසර් එහෙම අහන්නේ?”

“මම කොහොමටවත් සම්බන්ධ නැති අඳුරන්නේවත් නැති ස්ටැන්ලි වික්‍රමපාලගේ මර්ඩර් එකට පොලීසියට එන්න කිව්වාම ඕනෑම කෙනෙකුට එහෙම හිතෙනවානේ.”

“අයියෝ නැහැ. අපි එහෙම දෙයකට නෙමෙයි කතාකළේ. ඔබතුමාගෙන් පොලීසියට අවශ්‍යකරන උපකාරයක් බලාපොරොත්තුවෙන්.”

“ඒ මොකක්ද?”

“ස්ටැන්ලි වික්‍රමපාල ගාව විශාල වටිනාකමක් තියෙන බඩුවගයක් තිබිලා තියෙනවා එයාගෙ සේප්පුවල. හොරු ඒ සේප්පු ඇරලා ඒවා ගෙනහිල්ලා තියෙනවා. අපි සැක කරනවා ඒ සේප්පුවල තිබුනු බඩු අතරින් එයාගාව පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති බඩුවගයක් තිබිලා තියෙනවා කියලා.”

“එහෙම කොහොමද කියන්නේ ඒ සේප්පුවල පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති බඩුවගයක් තිබ්බා කියලා? අපි දන්නේ නැහැනේ.”

“ඇයි අපිට එයාගේ ක්ලාක් දුන්නු කට උත්තරේ සඳහන් වෙනවානේ නිධන් වලින් ගත්තු ඒවා වගයක්  සේප්පුවල දාලා තිබුණා කියලා.”

“එහෙම කට උත්තරේට දුන්නු පලියට හොයන්න බැහැ ඒවා පුරාවස්තුද කෞතුක වස්තුද කියලා.”

“ඒක තමයි අපි ඔබතුමාව මෙහෙට කැඳෙව්වේ. අපිට ප්‍රොපෙසර්ගේ උදව් අවශ්‍යවෙනවා.”

“උදව් කරන්න පුළුවන්වෙන්නේ ඒ භාණ්ඩ දැක්කොත් විතරයි ඉන්ස්පෙක්ටර්. පුරාවස්තූන්ද කියලා තීරණය කරන්න එහෙම බැහැ. ඒවා විද්‍යාත්මකව පරික්ෂා කරලා බලන්නත් ඕනේ. පොලීසියෙන් මේ භාණ්ඩ හොයාගත්තාද?”

“නැහැ තාම ඒවා හොයාගෙන නැහැ. මේවා සොයාගන්නත් නීතිමය පැත්තෙන් කටයුතු කරන්නත් මේවායේ වටිනාකම අවශ්‍ය වෙනවා.” 

“මේවා දකින්නෙවත් නැතිව මට කොහොමටවත් කියන්න බැහැ.”  

මහාචාර්යවරයාට පොලීසිය පිළිබඳව නොරිස්සුම තවත් වැඩිවන්නට වූයේ මේ කතාබහ අතරවාරයේදීය. 

“ප්‍රොපෙසර් මේ ෆයිල් එක බලන්නකෝ. ඔය ෆයිල් එකේ තියෙනවා ස්ටැන්ලිගේ සේප්පුවල තිබ්බ බඩුවල විස්තරයි ෆොටෝයි.”

එස් එස් පී මනෝජ් මේසය මත තිබුනු ෆයිල් කවරයක් දිගුකළේය. එය අකමැත්තෙන් මෙන් අතට ගත් නාරද උඩින් පල්ලෙන් පෙරලා බලන්නට පටන්ගති.

“ප්‍රොපෙසර් මේවා දැන් බලන්න මහන්සිවෙන්න එපා. ගෙදර ගිහින් නිවී සැනසිල්ලේ බලන්න. මට මේවා කෞතුක වස්තුද කියලා පරීක්ෂණ වාර්තාවක් දුන්නාම ඇති. හැබැයි ප්‍රොපෙසර් මට මේ කේස් එක ඉක්මනටම ඉවරකරන්න ඕනේ. මොකද මේ කේස් එකට මට ඉහළින් එන බලපැම් වැඩි නිසා පුළුවන් ඉක්මනින් වාර්තාව ලැබුනොත් හොඳයි.”

“මම මේ දවස්වල විශේෂ උපාධියකට ලෑස්තිවෙනවා. ඒ නිසා ටිකක් වැඩ වැඩියි. හොඳයි මම පුළුවන් ඉක්මනටම දෙන්න බලන්නම්. ඒත් මට කියන්න ඇයි මාවම මේ වැඩේට තෝරාගත්තේ?”

“අපි ඉල්ලීමක් කළා අපිට සහාය ලබාගන්න කෙනෙක් අවශ්‍යයි කියලා. අපිට කෞතුකාගාර අධ්‍යක්ෂයි පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුවෙනුයි ඔබතුමාවයි නිර්දේශ කළේ.”

ඇත්තෙන්ම එයාලට තේරෙන්නේ නැහැ මේවාගේ වැඩකට මාවම අවශ්‍යය නැතිබව. මේ ෆයිල් එක බලලා වාර්තාව දෙන්න එයාලට උනත් පුළුවන්නේ. හොඳයි මම බලන්නම්.”

“මෙන්න මගේ සෙලියුලර් නම්බර් එක ප්‍රොපෙසර්ට ඕනෑ වෙලාවක මට කතාකරන්න.”


පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවෙන් පිටව ආ නාරද බණ්ඩාර පොලිස් අධිකාරි දුන් ෆයිල් කවරය තම මෝටර් රථයේ ඉදිරි අසුන මත තිබු පොත්පත් මතට විසිකළේ කෝපයෙනි. යළි විශ්ව විද්‍යාලය වෙත නොගිය ඔහු ඉක්මනින් දෙහිවල වෛද්‍ය පාරේ වූ තම දෙමහල් නිවසට රිය පැදෙව්වේ සිතේ නැඟ ආ කෝපය මැඩගනිමිනි. රථය පෝටිකෝව යට නවත්වා ඉදිරි අසුනේ වූ පොත්පත් හා ෆයිල් කවරයද රැගෙන ගොස් මේසය මතට දැමීය. 

“අද මොකද තරහා ගිහින් ?”

නාරදගේ සිතුම්පැතුම් ඉවෙන් මෙන් දන්නා කුමාරි පැමිණ ඇසුවාය. 

“මුන් ඔක්කෝම මාව පැටලුවානේ පොලිස් ඉන්වෙස්ටිගේෂන් එකකට. මට මගේ වැඩ වලටත් කාලයක් නැතිව ඉන්නකොට.” 

“ඇයි මොකක්ද කාරණාව?”

“බලන්න කුමාරි ආකියෝජිකල් ඩිපාට්මන්ට් එකෙන් මාව නොමිනේට් කරලා අර වෙන්දේසිකාරයාගේ මර්ඩර් කේස් එකට.”

“ඉතිං පුරාවිද්‍යා මහාචාර්ය කෙනෙක් මොනාකරන්නද? ඒකට ඕනෑ කරන්නේ අපරාධ විද්‍යාව කරපු කෙනෙක්නේ. ඔයාව නොවෙයිනෙ යවන්න ඕනේ ප්‍රොපෙසර් නිරිඇල්ලනේ.”

“මට ඒ වාගේ වැඩක් නෙමෙයි කරන්න තියෙන්නේ.”

“එහෙනං මොකද්ද?”

“වෙන්දේසිකාරයාගේ ගෙදර තිබ්බ පුරාවස්තුවගයක් හොරු පැහැරගෙන ගිහිල්ලා. ඒවා ගන්න ගිහිල්ලා තමයි මේ මර්ඩර් එක කරලා තියෙන්නේ. ඉතිං මේ නැති වෙච්ච පුරාවස්තු ගැන වාර්තාවක් හදලා දෙන්න කිව්වා.”

“හොඳයි වැඩේ. වාර්තා දෙන්න නම් හොරුත් අල්ලන්න වෙයි. මේ පොලීසියටත් පිස්සුද කොහෙද? නැතිවෙච්ච බඩු දකින්නේ නැතිව කොහොමද වාර්තාවල් දෙන්නේ?”

ඇය අවඥාවෙන් සිනාසුනාය.

“මේ වෙන්දේසිකාරයා ඔය බඩු ගැන ෆයිල් එකක් මේන්ටේන් කරලා තියෙනවා. එයාගේ ක්ලාක් ඒවායේ පින්තුරත් අරගෙන ඒකට ඇඩ්කරලා තියෙන්නේ පිටරට ඔක්ෂන් එකකට දාන්නයි. ඉතිං මේ ෆෙටෝස්වලින් තමයි මට අනුමාන කරලා වාර්තාවක් දෙන්න කියන්නේ.” 

“හරි හරි දැන් ඔය කේන්තිය නිවෙන්නත් එක්කම හොඳ වොෂ් එකක් දාගෙන එන්නකෝ. මම තේ හදලා තියන්නම්. ආ ඔයා ආස හැලප වගයකුත් තියෙනවා.”

කුමාරි තුවායක් ඔහුගේ කරට දමා නාන කාමරයට තුළට තල්ලු කළාය. හොඳින් දිය නා ප්‍රබෝධමත් සැහැල්ලු සිතෙන් එළියට ආ නාරද මේසය මත තබා තිබූ දුම් දමන තේ කෝප්පයක් හා හැලප පිඟාන දැක්කේය. 



“දැන් වාර්තාව හදන්නේ මමද ඔයාද?”

පොලීසියෙන් ගෙන ආ ෆයිල් කවරය දිගහැරගෙන එය පිරික්සමින් සිටි කුමාරිව දුටු නාරද ඇසීය.

“ඇයි බැරි මට උපාධි දෙකක්ම තියෙනවානේ.”

“ඒ මොකක්ද මම නොදන්න උපාධි?”

“ඇයි අමතක උනාද මමත් පුරාවිද්‍යාව විශ්ව විද්‍යාලයේදි හදාරපු බව. අනික තමයි මහාචාර්ය නාරද බණ්ඩාරගේ බිරිද වීමේ ගෞරව උපාධිය.”

නාරද හඬනගා සිනාසෙන්නට වූයේ බිරිය කෙරහි ආදරණීය හැඟීමකින් හදවත පුරවාලමින්ය. සරසවි සිසුවියන් අතරින් ඉගෙනීමට දක්ෂ කැපීපෙනුන හැඩකාරියක් වුනු කුමාරි තම ජීවන සහකාරිය ලෙස තොරාගත්තේ තමාගෙන් ඈ ඉගෙනුම ලබන කාලයේදීමය. උපාධිය අහවර කළ ඈ නාරදගේ කටයුතුවලට උදව් කරමින් ළමයින් හදාවඩාගත්තා මිසක වෙනත් රැකියාවක් කිරීම ප්‍රතික්ෂේප කළාය. පිඟානෙන් ගත් හැලපයෙන් කැල්ලක් කඩා කුමාරිගේ කටට දැම්මේ අසීමිත සෙනහසිනි. 

“මේවා කොහෙද පුරාවස්තුවෙන්නේ. පොලීසියටත් පිස්සු. ඔයා කවදාද මේ වර්තාව දෙන්න ඕනේ?”

ඈ ෆයිල් කවරය පෙරලා බලා ඇසුවාය.

“මේ මැරිච්ච වෙන්දේසිකාරයාට ලොකු ලොකු කන්ටෑක්ස් තිබිලා තියෙනවා. ඒවායින් මේ මර්ඩර් කේස් එක හොයන්න කියලා පොලීසියට ලැබෙන බලපෑම් වැඩියි. ඒ නිසා මේක ඉක්මනටම දීලා දාලා මගේ වැඩක් කරගන්න එක මගේ නුවණට හුරුයි.”

“ඔව් ඒකනම් හොඳයි.”

මතුසම්බන්ධයි....


14 comments:

  1. https://en.wikipedia.org/wiki/Provenance

    ReplyDelete
  2. ඔන්න දැන් අපි යම්කිසි තැනකට එළඹෙනවා.

    මහාචාර්ය තුමා තරුණයි කියපු ගමං මතක් වුනේ ඩොක්ටර් ජෝන්ස්. බාබි ගර්ලුත් ඉන්න එකේ, මේ ගෙදරට එහෙම අර අද්භූත භාජනේ ගේනව නෙමෙයි අසංග... ඕං නොකිව්වයි කියන්ඩෙපා හරිය?

    ReplyDelete
    Replies
    1. තුන්හිතකවත් නොතිබුනු පැත්තක් ගැනනේ මේ කියන්නේ.... තරුණයි කිව්වාට අපිවගේ කොල්ලක් තමා ....

      Delete
  3. https://en.wikipedia.org/wiki/Indiana_Jones

    https://www.youtube.com/watch?v=-1jPUB7gRyg

    මොකෝ අපි ලිංක් දැම්මොත් අහස කඩං වැටෙයි යැ? අපිටත් පුළුවං...

    ReplyDelete
    Replies
    1. ඕං ඩ්‍රැකියා වැටාධිපතිතුමාගෙන් වැටමාර පෙලුපාරක් කන්නයි යන්නේ...

      Delete
  4. දැන් නං පොටකට එනවා වාගෙයි
    ෆොටෝවලට සාපේ නැති පාටයි
    ප්‍රොෆෙසර් ඉන්දදී නෝනා වැඩ දෙයි
    කියලා හිතුණේ නිකම්මත් නෙවෙයි!

    ReplyDelete
    Replies
    1. නොනාද මහත්තයාද වැඩකාරයා කියලා ඉස්සරාට බලාගන්න පුලුවනි

      Delete
  5. ඉන්ඩියානා ජෝන්ස් පැත්තට කතාව හැරෙනවා

    ReplyDelete
    Replies
    1. අනේ අසරණ ඩොක්ටර් ජෝන්ස් අපේ ප්‍රොපෙසර් නාරදට පරදිනවා....

      Delete
  6. හම්මේහ්.. යන්තං සුචිත්‍රායි වත්සලායි නම් බේරුණා.. කුමාරි ගැන තමයි මට ඊළඟ බය. :))

    දැන් ඔන්න ඔක්කොම කියවල ඉවර කරේ.. ඉක්මණට 12 දැම්මේ නැත්නම් එවනවා අර බුජම උඹලයේ ගෙදරට..

    ReplyDelete
    Replies
    1. අද රෑ හිනෙන් ඕක බොට පෙනෙනවා සත්තයි......

      Delete
    2. බුජමක් හොයා ගන්න බැරිද යවන්න තැනක් තියනවා

      Delete
    3. මෙන්න බොලේ බිස්නස් එකක් සෙට් වෙන්නයි යන්නේ. යවමු යවමු....

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

නෞකා තට්ටුවේ ඇති යන්ත්රෝපකරණ වර්ග Deck Machineries

  නැවක ඇති තට්ටු යන්ත්‍ර මොනවාද?  Deck Machineries  තට්ටු යන්ත්රෝපකරණ යනු යාත්‍රාවේ නිරාවරණය වූ තට්ටුවේ - Exposed Deck සවිකර හැකි යන්ත්‍ර වේ...