Monday, October 17, 2016

ආ ටවුන් හෝල් බහින්න, එන්න ඉස්සරාට

"ආ.... ටවුන් හෝල් බහින්න, එන්න ඉස්සරාට. ..." ඇස්වාට්ටුව හන්දිය පැත්තෙන් මාර්ග අංක 120, 138, හා 155 බස් වල යන  ඕනේම කෙනෙකුට අහන්න ලැබෙන චවන සෙට් එකත් තමයි මේ. ටවුන් හෝල් එක කියන්නේ නගර සභා ශාලාවට නේ. ලංකාවේ පුරාම තියෙන නගරසභා ශාලාවන් ඔක්කෝම ඉතිං ටවුන් හෝල් තමයි. එත් කාටත් ටවුන් හෝල් කිව්වාම මතක්වෙන්නේ විහාරමහාදේවි පාක් එක ඉස්සරා තියෙන ධවල වර්ණ ගැන්වුනු දැවැන්ත ගොඩනැගිල්ලයි. මටනම් මේක දැක්කාම මතක්වෙන්නේ ඇමෙරිකාවේ ධවල මන්දිරේ තමයි. දන්නවාද මේක තමයි අපේ ලංකාවේ පළමු නගරසභාව හා විශාලතම නගරසභාව කියලා. මම මිට පෙර කොළොම්පුරේ ලිපියක් ලිව්වා නගර සභාවේ  ආරම්භය ගැන. බැලුවේ නැති අයට  එ්ක මෙතැනින් බලාගන්න පුළුවනි. පැරණි නගර සභා ශාලාව ගැනත් ලිව්වා. එහෙනම් ආයෙත් ලියන්නේ මොනවාද? මේ ලියන්නේ ධවල වර්ණ සුවිශාල නගරසභා ගොඩනැගිල්ල ගැනයි. 



කොළොම්පුරේ කියන්නේ  විශාල නගරයක් හින්දා නගරසභාවේ වැඩකටයුතු එන්න එන්නම වැඩිවෙන්න පටන්ගත්තා. ඒ එක්කම අළුත් නගර සභා ශාලාවක් හදන්නට අවශ්‍යතාවයක් මතුවුනේ පිටකොටුවේ ඇතිවෙන තදබදයත් හේතුවක් වුන නිසා. පිටකොටුව ජනාකීර්ණ වැඩි නිසාත් තරමක් විශාල හිස් භූමිබාගයක් හොයගන්නට අපහසු හින්දාත් වෙනිත් තැනක හිස් ඉඩමක් හොයාගෙන අළුත් නගරශාලාවක් හදන්න  ඕනේ කියලා 1907 අවුරුද්දේ දෙසැම්බර් 13 වෙනිදා යෝජනාවක් සම්මත කරගත්තා. 1914 දි ආණ්ඩුකාරවරයා විසින් කොළඹ නගරසභාවේ කටයුතු හොයාබලන්නට පත්කරපු කොමිෂන් සභාවද මේ කාරණය සැලකිල්ලට අරගෙන තිබුනා. හිස් භූමියක් හොයාගන්න වැඩෙත්  එ්කට වැය කරන්න වෙන විශාල මුදලත් හේතුවෙන් මේ අළුත් නගරශාලාවක් හදන වැඬේ දීර්ඝ කාලයක් සාකච්චාවන්ට පමණක් සීමාවෙලා තිබුනා.

ඔන්න කොළඹ නගරය සැලසුම් කරන්න ආපු ලෝකප‍්‍රකට ගෘහ නිර්මාණ හා නගර සැලසුම් ශිල්පි මහාචාර්ය  ප‍්‍රැටික් ගෙඩිස් කොළඹ නගරසභාව දැන් තියෙන භූමිය මේ නගර ශාලාව ඉදිකරන්න හොඳයි කියලා යෝජනා කළා. එ් 1921 අවුරුද්දේ. ජනාකීර්ණ නොවන තැනක තිබුන මේ ඉඩම නගර මධ්‍යයේ පිහිටලා තිබෙන එකත් සැලකිල්ලට අරගෙන ආණ්ඩුවත් මේක අනුමත කෙරේව්වා.


ඔන්න ඊළගට ආපු ගැටළුව තමයි නගරශාලාව සඳහා සැලැසුමක් අදින එක. දැන් කාලේ වගේ තමන්ගේ හිතවතකුට හරි කොමිස් කුට්ටිය වැඩියෙන් දෙන අයකුට හරි දෙන්නේ නැතිව මේකට තරගයක් පවත්වන්නට එයාලා තීරනය කළා. මේ තරගයෙන් ප‍්‍රථම ස්ථානය ලැබුනේ සිංගප්පුරුවේ රැල්ප් බුටි සහ සමාගමේ (Ralph Booty & company of Singapore) ඇස්.ජේ. එඞ්වර්ඞ්ස්  මහතා (S.J.Edwards) ඉදිපත්කරපු සැලස්මට තමයි. මුදුනත අර්ධ ගොලාකාර කොතකින් සමන්විත මේ සැලැස්මේ ගොඩනැගිල්ලේ අපූර්වයත්වයත් බොහෝම ආකර්ෂණීය විමත් ඇතුළත කාර්්‍යාලවලට වැඩි ඉඩකඩක් තිබිමත් මේ සැලැස්ම තෝරා ගන්නට හේතුවුනා. 




මෙහි ගෘහ නිර්මාණ ශෛලිය වෙන්නේ  නව සම්ප‍්‍රදායික වාස්තුවිද්‍යාත්මක ශෛලියයි (Neoclassical ).


1924 අවුරුද්දේ කොළඹ නගරාධිපති ධුරය දැරු ටි. රීඞ් මහතා (T. Reid) විසින් සුබ මොහොතෙන් මුල්ගල තියලා වැඩ ආරම්භකළා.

 

 ඉදිකිරිම් කටයුතු කලේ එ්. එ්. ගැමන් සමාගමයි (A.A.Gammon & Co.) . මේ පුරහල ඉදිකරන්නට රුපියල් 1,500,000 වියදම්වුනා. අවසානයේදි ඉතාමත් ආකර්ශණීය ගොඩනැගිල්ලක් සාදා නිමකරවා මේ පුරහල මහජන කටයුතු සඳහා 1928 අවුරුද්දේ අගෝස්තු 08 වෙනිදා විවෘත කළා. මේවන විට අවුරුදු අසුඅටත් පසුකරපු මේ ප‍්‍රතාපවත් ගොඩනැගිල්ල කොළොම්පුරයට අලංකාරයක් එක්කම අභිමානයත් එක්කරවමින් ඉන්නවා.



Monday, October 10, 2016

අභිරහස

කොළොම්පුරේ ඉතිහාස කතන්දර ලියලා මටත් දැන් පොඩි වෙනසක් කරලා බලන්න හිතුනා. හැමෝම වාගේ කවි කතන්දර ලියලා බ්ලොග් පොස්ට් දාන හින්දා කොළොම්පුරේ ඉතිහාස කතන්දර අස්සට පොඩි වෙනසක් වෙන්නත් එක්ක මම සඟරාවකට ලියපු කෙටි කතාවක් එකතුකරන්න අදහසක් ආවා. මේ කතන්දරේ ලිව්වේ මම වැඩකරන ආයතනයෙන් පළකරන සඟරාවකටයි. හැබැයි මෙහෙම කෙටිකතා කිහිපයක්  අපේ සඟරාවට ලිව්වාට හොඳක් නම් අහන්න ලැබුනේ බොහෝම ටික දෙනෙක්ගෙන් තමයි. ඊරිසියා හිතුන ගොඩාක් දෙනෙක් කිව්ව දේවල් මේකේ ලියන්න බෑ. අන්තිමේට ලියපු කෙටිකතාව නිසා ගුටිකන්නත් ගියා. අනුනමයි දශම කාලෙන් ගුටිනොකා බේරුනා. එ් මේ කතාව තමන්ට ලියපු එකක් තියලා හිතාගත්තු මරි මෝඩයෝ් යස අපුරුවට රෙදි අරන් මැෂිමන්ට් බලලා මොලේ කළඳක් නැති ඔලූගෙඩියට තොප්පිය මහලා දාගත්තු නිසයි. තවත් අඳබාලයෝ ගිනි අවුලෝලා  ඒ ගින්නට තව පිඳුරුදාලා පර්සනල් එකටත් ලියුමක් එහෙම දිලා තිබුනා එයාලට අපහාස කළා කියලා. කලාවට ලැදි කලාකාමි හදවතක් තියෙන ලොකු බොසුයි පොඩි බොසුයි දෙන්නා මේ කතන්දරේ ආරවුල විසදලා ෂේප් එකක් දාලා දුන්නා. හැබැයි මීට පස්සේ ආයතනයේ සඟරාවට නම් කතා ලියන්නේ නෑ. ඔය කතා ඔක්කෝම ටික ලියනවා බ්ලොග් එකට. දැන් ගහපල්ලාකෝ ලියුම්. ඔන්න එහෙනම් ගුටි කන්න ගිය මගේ කෙටිකතාව බලාගන්නකෝ. . .......


අභිරහස

උඳේ පාන්දරම ආරංචියක් අරගෙන පින්සාර අයියා ඔෆිස් එකට ආවේ අපේ සිරිකුමාර මහත්තයාගේ අම්මා අසනිපවෙලා කියාගෙන. එදා දවසේ සිරිකුමාර මහත්තයා වැඩට ආවෙත් නෑ. පස්සේ බැලින්නම් අසනිප වෙලා ඉන්නේ නැන්දම්මා. දවසකට පස්සේ වැඩට ආපු සිරිකුමාර මහත්තයා අකම්පාලවෙලා කොයි වෙලාවෙත් කල්පනාවේම තමයි. එයා කොච්චර බය වුනාද කියලා කිව්වොත් දවස් දෙකක්ම දවල්ට කන්න කැන්ටිමට ආවෙත් නෑ. පව් අප්පා එයාගේ ගෙදර ගෟහමුලිකයාගේ මව්තුමියනේ. හිතුවා නේද මට වැරදුනා කියලා? නෑ මට වැරදුනේ නෑ. සිරිකුමාර මහත්තයා ගෟහමුලිකයා වෙන්නේ ඡන්ද ලැස්තුවේදි විතරයි. අමුලික බොරුවක් වුනත් ගෟහමුලික කියලා ඡන්ද ලෑස්තුවේ නම් ලියන්න එ් බාරියාව ඉඩදෙනවා.  
                 ඔන්න ඉතිං අපිත් බයවුනා නැන්දම්මාගේ අසනිපේ වෙනුවෙන් දුක් වෙලා සිරිකුමාර මහත්තයාට පපුවේ අමාරුවක් වත් හැදෙයි ද කියලා. එච්චරටම මිනිහා දුක්වුනා. මේ ළඟදි අපේ ඔෆිස් එකේ කට්ටිය සෙට්වෙලා පාටියක් එහෙම දැම්මා. මිනිහා නෙමෙයි එකටවත්  ආවේ. පින්සාර අයියා වගේම සිරිකුමාර මහත්තයාත් පිං අඩි කාරයා. පාටියක් තිබ්බොත් වරද්දනේ නැතිව එනවා. ඉතිං ආවේ නැති හින්දා බැලින්නම් නැද්දම්මාට බොධි පුජාවල් මාලාවක් සහෝදර සහෝදරියෝ ලෑස්ති කරලා. එයත් ඉතිං වෙනමම බොධි පුජාවක් එහෙම තියලා. මෙච්චර සැලිකිලි කරන්නේ ගෙදර බලවතාවු බවලතාගේ අම්මා නිසා කියලයි අපිත් හිතුවේ. කොච්චර බේත් කලත් නැන්දම්මාගේ අසනිපේ අඩුවුනේ නෑ. බයිපාස් ඔපරේෂන් එකකුත් කරන්න වෙලා. වෑල් දෙකක්ද කොහේද බ්ලොක් වෙලාලූ. එත් එ් අසරණ අම්මාගේ වයස වැඩි නිසා එකත් කොට උඩ තමයි තිබුනේ. ඔන්න එ් අතරේදි එක දවසක්  
”කෝ් මේ මේසේ උඩ තිබ්බ සීල් පෑඞ් එක?”
අපේ ක්ලාක් මහත්තයා ඒක පණ දාගෙන හොයනවා. බැලින්නම් ඒක නෑ තමයි. 
”ඇයි බං මේසේ උඩ ඊයේ හවසත් තිබුනා නේද?”
”ඔව් මේ මේස උඩ තමයි හැමදාමත් තියලා තිබුනේ. කවුරු හරි උස්සලා.” 
”කවුරු ගෙනියන්නද බං සිල් පෑඞ් එකක්?  ගෙදර ගෙනියලා මොකට සීල් ගහන්නද? උඹ කොහේ හරි දාන්න ඇති.”
”ඇයි උඹ හිතුවාද මට පිස්සු කියලා?”
ඔන්න දැන් අපේ ක්ලාක් මහත්තයාටත් කේන්ති ගිහිල්ලා. ක්ලාක් මහත්තයාගේ ආවේගශිලීබව වැඩිවුනාම පීඩනය වැඩිවෙනවා. පීඩනය, ආතතිය තව අටහුටාමාරක්  දේවල් වැඩි වෙලා එයත් පරණ මොරිස් මයිනර් එකක්වගේ  බොයිල් කරන්න ගන්නවා. ඔය මනුස්සයත් ඉතිං අහක යන දේවල් අරන් මලපන්න ගන්න කෙනෙක්නේ. හොයලා හොයලා බැරිම තැන ක්ලාක් මහත්තයාගේ සීල් පෑඞ් සෙවිල්ල කවුරු කවුරුත් අතහැරලා දැම්මා. පහුවදා උදේ වැඩට ආපු මට අපේ පියන් කොලූවා ක්ලාක් මහත්තයාගේ මේසේ පැත්තේ එන්න කියලා තකහනියෙන්ම කතා කරනවා. මෙන්න බොලේ සීල් පෑඞ් එක ආපහු තිබුන තැනට ඇවිල්ලා හිමිච්චා වගේ ඉන්න හැටි. වෙලාවට සීල් පෑඞ් එකට කටක් තිබුනේ නැත්තේ. නැත්නම් ඔෆිස් එකේ කට්ටිය සීල් පෑඞ් එකෙන් කට උත්තර ගන්නවා අම්මපා. 
           මෙන්න මේ කෙහෙල්මල් සීල් පෑඞ් එකක් නැතිවෙලා හින්දා අපේ සිරිකුමාර මහත්තයාගේ නැන්දම්මාගේ අසනිපේ ගැන කියන්නත් බැරිවෙනවා. දැන් සිරිකුමාර මහත්තයාට හරියට වැඩ. උදේම වැඩට එනිං ගමන් ඉස්පිරිතාලේට යනවා. දවල් කෑම පැයෙත් ඉස්පිරිතාලේට දුවනවා. ආයෙත් හවසටත් යනවා. මිනිහා ලෙඞ්ඩු බලන්න දෙන තුන්වරුවෙම ඔන් ඩියුටි. එ් අස්සේ දැන් අපේ සිරිකුමාර මහත්තයාගේ අප්සෙට් එක දෙගුන වෙලා. ඇයි දන්නවාද? මිනිහට හවසට  ඕටි පාරක් වත් කරගන්න බැරිවෙනවානේ. නැන්දම්මාට සනිපයකුත් නෑ. මිනිහා ෆුල් ශෝකේ.  අන්තිමේදි ප‍්‍රයිවෙට් ඉස්පිරිතාලයකට ඇඞ්මිඞ් කරලා බයිපාස් ඔපරේෂන් එකකුත් කළා. 
                  මෙන්න අපේ එකෙක් කියනවා අර සීල් පෑඞ් එක ආයෙත් හවසට අතුරුදහන්වෙනවා උදේට ආපහු එනවා කියලා. මෙන්න බොලේ ඔය සීල් පෑඞ් එකගැන ඇහැගහන් හිටිය හැමදේම හොයන ඔපිඩිපි කාරයෝ කියනවා දවල් කෑම පැයේ දිත් මේක අතුරුදහන් කියලා. දැන් ඉතිං කවුරු කවුරුත් මේ ගැන හොයන්න පටන්ගන්නයි යන්නේ. මම කිව්වා කවුද දන්නේ ආයෙත් සීල් පෑඞ් එක ඇවිදින්න යයි කියලා ක්ලාක් මහත්තයා අරන් තියනවා ඇතියි කියලා. ඊට පස්සේ කවුරුත් ඔය රෑට රෑට ඇවිදින්න යන සීල් පෑඞ් එකේ අභිරහස ගැන හොයන්න ගියෙත් නෑ. ඔන්න හිතන්න එපා මම එ්ක ඉස්සුවා කියලා.  
                       ලෙඩා මලත් බඩ සුද්දයි කියලා හිතන ප‍්‍රයිවෙට් ඉස්පිරිතාලේ දොස්තරලා වයස පැත්තකට දාලා අපේ යාලූවාගේ නැන්දම්මාට බයිපාස් ඔපරේෂන් එකකුත් කළානේ. එකෙන් පස්සෙත් අපේ යාලූවාගේ නැන්දම්මා තාමත් ඉස්පිරිතාලේ. මේ දවස්වල මිනිහා ඉන්නේ තවත් අප්සෙට් එකේ.  මෙහෙම කම්පා වෙවි ඉන්න යාලූවාට පොඞ්ඩක් කතාබහ කරලා තියෙන ප‍්‍රශ්ණ එහෙම අපිත් අහගෙන පපුවේ තියාගෙන දුක්විදින බර පොදිය අඩුකරලා හාට් එක කූල් ඩවුන් කරන්න හිතාගෙන මිනිහා ලඟට මම එන්ටර්වුනා. 
”මචං මොකක්ද අවුල? නැන්දම්මාට බයිපාස් එකක් කළානේද?”
”ඔව් බං එක ඉවරවෙලා ගොඩක් දවස්.”
”එහෙනම් මොකක්ද කේස් එක?”
”ආණ්ඩුවේ ඉස්පිරිතාලේ වේටින් ලිස්ට් එකේ ඉන්න වෙන හින්දයි අම්මාගේ වයස වැඩි හින්දයි ඔපරේෂන් එක ඇදුනා. අන්තිමේදි අපි ප‍්‍රයිවෙට් හොස්පිටල් එකකින් වැඬේ හොඳට කරගත්තා.”
”මොකක්ද එහෙනම්? දැන් ප‍්‍රෂ්නේ සල්ලිද?”
අපිත් දන්නවා සිරිකුමාර මහත්තයාගේ පවුලේ අයට හොඳට සල්ලි භාගේ එහෙම තියෙනවා කියලා. එත් ඉතිං කවුද දන්නේ මදිපාඩුවක් එහෙම තියෙනවාද කියළා. එහෙම තිබුනානම් කීයක් හරි ලිස්ට් එකක් දාලා එකතුකරලා දෙනවානේ.
”පිස්සුද බං? අපේ නැන්දම්මට සල්ලි වලින් අඩුපාඩුවක් ඇත්තේ නෑ. එයාට තියෙනවා කෝටිගානක් වටිනා දේපල. එත් මේ අම්මන්ඩිගේ කුණු ලෝබ කමට අපේ ගෑණිට තියා අනිත් උන්ටවත් කිසිම දෙයක් ලියලා නෑ. මහ පෙරේත ගෑණි.”
අර නැන්දම්මාව මෙච්චර උදේ හවා බලන්න ගිය මිනිහා මෙන්න බොලේ කේන්තියෙන් කියවනවා.
”කොච්චර දේපල තිබුනත් වැඩක් නෑ බං ලියන්නේ නැතිව මැරුනොත්. එතකොට තමයි ප‍්‍රශ්නේ. දන්නවානේ ඔය බූදල් නඩු.”
”එක තමයි මටත් තියෙන ලොකුම ප‍්‍රශ්නේ. වයිෆ්ගේ අනිත් උන් ටිකත් බලාගෙන ඉන්නේ මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජන අරගෙන ඔය දේපල ටික ලියවා ගන්නයි. මේ මසුරු ගෑණි නෙමෙයි මැරුනත් ලියන්නේ.”
”ඇයි දැන් බයිපාස් එක ඉවරනම් ඩිස්චාර්ජ් කරන්නේ නැත්තේ?”
මම කතාව වෙනිං පැත්තකට ඇදලා ගත්තා.
”තවත් ලෙඩක් හැදිලා.”
”එ් මොකක්ද හාට් එකේ තව ප‍්‍රශ්ණයක්ද?”
”නෑ බං ඇගිලිවල.”
”මොකක් ඇගිලිවල? ඇගිලිවල තියෙන ප‍්‍රශ්නේ මොකක්ද?”
මාත් ඉතිං කරකවලා විසික්කරා වගේ වුනා මේ ඇගිලි කතාව ඇහැව්වාම. 
”එකතමයි බං දැන් තියෙන ප‍්‍රශ්නේ. නැන්දම්මාගේ ඇගිලි දිග අරින්න බැරිවෙලා. දැන් ඉන්නේ අත මිට මොලවාගත්තු ගමන්මයි.”
”අත් දෙකේම?”
”ඔව්. අත් දෙකේම.”
”ඉතිං දොස්තරලා කියන්නේ මොකක්ද?”
”මෙහේ ඉන්න දොස්තරලා, විශේෂඥ දොස්තරලා, මානසික පිස්සු දොස්තරලා ගෙන්නුවා. එත් ලෙඬේ හොයාගන්න බෑ.  දැන් පිට රටින්වත් විශේෂඥ දෙස්තර කෙනෙක්වත් ගෙන්නන්න තමයි වෙන්නේ.”
”මාර වැඩක්නේ? කවදා ඉදලාද බං මේ ලෙඬේ හැදුනේ?”
”හාට් එකේ ලෙඬේ හැදිලා බයිපාස් කරන්න වෙයි කියලා දැන ගත්තු දා ඉදලා තමයි. එදා ඉදන් අතමිට මොලවාගෙන තමයි ඉන්නේ. අපි ඔක්කෝම ෆුල් ට‍්‍රයි කලා එත් බෑ බං දිග ඇරගන්න.”
”ඔය මහලොකු ලෙඩක් නෙමෙයිනේ හාට් ඇටෑක් එකක් තරම්. පිස්සු නැතිව ගෙදර අරන් පලයන්.”
”උඹට පිස්සුද? කොහෝම හරි ඇගිලි දිග ඇරවාගන්න  ඕනේ. නැත්නම් අපි මෙච්චර කරපුවා ඔක්කෝම වතුරේ.”
සිරිකුමාර මහත්තයා ඔළුවට අත්දෙක ගහගෙන උඩ බලාගත්තා. මට මේ මිනිහා කියන අප‍්‍රබංසේ තේරුනේ නෑ. මිනිහා ආයෙත් අහස පොලව ගැටලන්නවාගේ  කල්පනා කරන්න වුනා.
”නැන්දම්මා මැරුනොත් දේපල ලියවා ගන්න බුදල් නඩු කියන්න වෙයි නේද?”
”ඔව් බුදල් නඩු කියලා සහොදර සහෝදරියෝ අතරේ බෙදෙනවා.”
”මට ඔය කථාව අපේ අමරසිරිත් කිව්වා. මැරෙන්න ඉස්සරින් ලියවා ගනිං කියලා. මිනිහා කිව්ව විදිහටවත් කරලා බලන්න  ඕනේ.”
සිරිකුමාර මහත්තයා තනියම කියවන්න ගත්තා. අමරසිරි කියන්නේ අපේ ඔපිසියේ ඉන්න ලෝක අන්ඩපාලයෙක්. ගල්පලං මද කාපු ගොබිලෙක්. මිනිහා ගොඩ පෙරකෙදාරුකම් එහෙමත් කරනවා. ඔය එකා දෙන්නා එනවා දික්කසාද නඩු ඉඩං නඩු ගැන අහගන්න. අනුන්ගේ ඉඩමක් කඩමක් එහෙම තමන්ගේ නමට හොරෙන් ලියවා ගන්නේ කෙහොමද කියලායි නිතරම බලන්නේ. ළඟදිම ලොයර් විභාගෙත් ගන්නවා කියලයි මිනිහා මහා ලොකුවට කියන්නේ. අමරසිරියා ලෝයර් කෙනෙක් වෙලා නඩුවක් කථාකරපු දවසට වැරදිකාරයා වෙලා හිරේ යන්නේ නඩුව අහපු නඩුකාරයා තමයි. එච්චරටම කූටකයා. ඉතිං මේ කූටකයාගෙන් අපේ සිරිකුමාර මහත්තයා ගත්තු ඔපිනියන් එක මොකක්ද කියලා  මමත් දහඅතේ කල්පනා කලා. 
                            ඔන්න ඉතිං ලෙඩ ඇඳේ ඉන්න සිරිකුමාර මහත්තයාගේ නැන්දම්මාව නොබලා ඉන්නත් බෑනේ. අපේ ඔෆිස් එකේ කට්ටිය සෙට්වෙලා ඉස්පිරිතාලේ ගියා. බොස් තමයි නඬේ ගුරාවගේ ඉස්සරායින්ම යන්නේ. අර ප‍්‍රයිවෙට් ඉස්පිරිතාලේ දෙවනි තට්ටුවේ දාසයවෙනි කාමරේට පොඩි තට්ටුවක් එහෙම දාලා අපි සෙට් එකම ඇතුලට කඩාගෙන වැටුනා. හැබැයි සිරිකුමාර මහත්තයා නම් පේන්න හිටියේ නෑ. අනේ අර අසරණ අම්මත් ඇඳේ අතමිට මොලවාගෙන වකුටුවෙලා ඉන්නවා. අපි ලෙඩා බලන්න ගියාට ලෙඩා අපිව අඳුනන්නේ නෑනේ.  නඬේගුරා අපේ බොසා, පැන්නා ඉස්සරාට නැන්දම්මාට කතා කරලා අපිව අඳුන්නලා දෙන්නගියා.
”දැන් අම්මාට කොහොමද? අපි මේ අම්මාගේ බෑනා සිරිකුමාර මහත්තයාගේ ඔෆිස් එකේ .......”
ඉතිරි ටික කියන්න හැදුවා විතරයි අර අසරණ විදිහට ඇඳේ වකුටුවෙලා උන්නු නැන්දම්මා අයිලේ නටපු යකාට මී මැස්සේක් ඇන්නවා වගේ පරල වෙලා කියවන්න පටන් ගත්තතේ නැතැයි.
”කෝ ඔය පාහරයා.  ඕකා මාව විනාස කළා, මාව නැති කළා. මම අසනිප වුනු දවසේ ඉදලා මේ ඇගිලිටික වකුටු කරන් හිටියේ මුං හැමෝම ගෙන් බේරෙන්න. එකෙක් උදේට එනවා. තව එකෙක් දවල්ට එනවා. අනේ දෙයියනේ මම මේ ටිකේම එක පොඞ්ඩක් ඇහැපියවාගත්තේ නෑ. රාත්තියේ ලඟ ඉන්න එපායිත් කිව්වා එත් ඇහැව්වේ නෑ. මුං ඔක්කෝමට  ඕනේ මං මැරෙන්න ඉස්සරින් දේපලට ටිකට විදින්න. අනේ බුදු මහත්තයෝ අර පාහර සිරිකුමාරයා දැන් ටිකකට කලියෙන් ඇවිල්ලා කකුල් දෙකේ මොනවාද ජරාවක් උලලා ගියා. අයියෝ මට මගේ කකුලේ ඇගිලි ටික නවාගන්න බැරිවුනා. දැන් ඉතිං ඔක්කෝම ඉවරයි.”
කුපිත වෙච්චි සිරිකුමාර මහත්තයාගේ නැන්දම්මා පිස්සුවෙන් වාගේ තව මොන මොනවද කියවාගෙන යන්න පටන් ගත්තා. අර අම්මන්ඩිගේ කකුල් දෙකේ යටිපතුල් දෙකම දම්පාට ගැහිලා. ඔපිනියන් දුන්න අපේ ගොඩ පෙරකෙදාරුවා අමරසිරියා කට අතින් වහගෙන හිකි හිකි  ගගා හිනාවෙනවා. ඇගිලි දිග ඇරලා කණ අත්සන ගහගෙන දේපල ටික ලියවා ගන්න බැරි තැන තමයි ගොඩ පෙරකෙදාරුවාගේ ඔපිනියන් එකට නවලා හංගගන්න බැරි කකුලේ ඇගිලි මාක් එක හිස් කොලේකට අරගෙන ගිහිල්ලා තිබුනේ. හැමදාම අතුරුදහන්වෙන සීල් පෑඞ් එකේ අභිරහසත් දැනගෙන නැන්දම්මාගේ මේ ලෝකෙත් නැති අපි කවදාකවත් අහලත් නැති අමු සුද්ද සිංහල ව්‍යාකරණ පාරිභාශික ශබ්දකෝෂයම අහගෙන ඉස්පිරිතාලේ කාමරෙන් එළියට පැන්නා නෙමෙයි එළියට විසික්වුනා. 

Monday, October 3, 2016

රික්ෂෝකාරයා

අහලා තියෙනවාද රික්ෂෝව (Rickshaw) ගැන? සමහරවිට අහලත් ඇති. එත් මේ  කොළොම්පුරේ තිබුණු රික්ෂෝවේ ඉතිහාසය ගැන දන්නේ නැතිව ඇති. දන්න අයගේ දැනුම වැඩි කරගන්නත් නොදන්න අයට දැන ගන්නත් මෙන්න රික්ෂෝවේ කතන්දරේ.

 
අද කාලේ කොළඹ විතරක් නොවෙයි ලංකාව පුරාම කොහේ හරි කෙටි ගමනක් යන්නට  ඕනේ නම් අපි කතා කරන්නේ ත‍්‍රිරෝද රථයකට නේ එත් 18 වන සියවසේ අගබාගේ ඉදන් 19 වැනි සියවසේ මැදක්වන තුරු කෙටිදුරක් යන්නට භාවිතා කලේ රික්ෂෝව තමයි. මිනිස් ශ‍්‍රමයෙන් දුවන මේ රික්ෂෝව කුඩා කරත්තයක් වගෙයි. එහි රියදුරා විදිහට කටයුතු කරන්නා විසින් ඇදි දෙකෙන් අල්ලාගෙන ඇදගෙන දිවිම තමයි කරන්නේ.

 
මේ කාලයේදි චිනය හා ජපානයේ බහුල විහිදට මේ රික්ෂෝව පාවිච්චි වුනා. එ් නිසා අපේ කොළඹටත් මේ රික්ෂෝ රථ හඳුන්වලා දෙන්න හිතපු විටෝල් සමාගමේ අයිතිකාර ජේමිස් විටෝල් මහතා 1883 අවුරුද්දේ  මුල්ම රික්ෂෝව ලංකාවට ගෙන්වුවා. තමන්ගේ තත්වය ප‍්‍රදර්ශණය කරන්නට මේක හොඳ මෙවලමක් කරගත්තු ප‍්‍රභූ පැලැන්තිය රික්ෂෝ තමන්ගේ පුද්ගලික ප‍්‍රයෝජනයට රික්ෂෝ මිලට ගන්නවුනා. රික්ෂෝ දෙකතුනක් තිබිව තමන් සමාජයේ ගෞරවයට පත්වෙනවායි එ්කාලේ හිටපු අයත් හිතුවා. කාර්ගිල්ස් සමාගම හා දොන් කරෝලිස් සමාගමත් මේ රික්ෂෝ රථ ගෙන්වලා අලෙවි කරන්නට පටන්ගත්තා. රික්ෂෝ අලෙවිය වැඩිවෙන්න පටන්ගත්තාම දොන් කරෝලිස් සමාගම පසු කාලිනව මෙරටදිම රික්ෂෝ නිෂ්පාදනය කරන්නටත් පටන්ගත්තා. මේ රික්ෂෝ කොළඹට එක්වුනු මුල්ම කාලේ අලංකාරවත් ලෙසින් සරසලා තිබුනා විතරක් නොවෙයි රියදුරාත් සුදු පැහැති දිගු කලිසමකින්ද ෂර්වානියක් වැනි දිග කබායක්ද හැඳ බඳවටා වර්ණවත් පටියක්ද බැදලා හිටියා. රික්ෂෝකාරයාට තවත් අත්උදව්කායෙක්ද හිටියා එ් කදුවැනි තැන්වලදි රික්ෂෝව පසුපසින් තල්ලූකරන්නයි. 

 







1884 වගේ කාලේකදි කොළඹ නගර සභාව මේ රික්ෂෝවලට බලපත‍්‍ර දෙන්න කටයුතු කරන්නට වුනා. මේ  බලපත‍්‍රය ගන්න නගරසභාවේ පශු වෛද්‍යවරයා ලඟට ගිහිල්ලා රික්ෂෝවේ තත්වය ද රියදුරාගේ තත්වයද පරික්ෂා කරගන්න  ඕනේ. ඊට පස්සේ තමයි බලපත‍්‍රය ගන්න පුළුන්කම තිබුනේ. එ් විතරක් නෙමෙයි ගමන් ගාස්තුද නගර සභාවෙන් නියම කෙරුවා. 

මේ ගමන් ගාස්තු නියම කරලා තිබුනේ දුරට වඩා ගමනට ගතවන කාලය අනුවයි. 
මිනිත්තු 10 කට වැඩි නොවන ගමනක්  සඳහා සත 10 
මිනිත්තු 10 කට වැඩි පැය භාගයකට අඩු ගමනක් සඳහා සත 25
පැය භාගයකට වැඩි පැයකට අඩු ගමනක් සඳහා සත 50 
ඊට පස්සේ සෑම පැය භාගයකටම  සත 10 යි 
වශයෙන් තමයි ගාස්තු නියම කරලා තිබුනේ. 




 

1895 අවුරුද්දේ ලංකාවට ආපු ජර්මන් ජාතික පඩිවරයෙකුවු  මහාචාර්ය විල්හෙලම් ගයිගර් කොළඹ සිට ගල්කිස්සට රික්ෂෝවකින් ගමන් කරපු විත්තියත් ඔහු ලියු ගයිගර් දුටු ලංකාව පොතේ සඳහන්ව තිබෙනවා. රික්ෂෝ නම හඬගැසු පමණින් රික්ෂෝ කරුවන් කිහිපදෙනෙක් දුවගෙන එනබවත් එම පොතේ සඳහන් වෙනවා. ඔහුට පැයක ගමනක් සඳහා වියදම් වෙලා තියෙන්නේ සත 52 ක්. අදකාලේ කොළඹ  ඉදන් ගල්කිස්සට වාහනයකින් ආවත් පැයක් හෝ  විනාඩි 45 ක් විතර යනවා. එත් අදවාගේ  කාපට් කරපු පාරවල් නොතිබ්බ අබලන් පාරවල් වල දැඩි අව්වේ දාඩිය මුගුරු හෙලාගෙන මිනිහෙක් ඇදගෙන දුවන්න රික්ෂෝකාරයෙක් කොච්චර මහන්සියක් ගන්න ඇතිද කියලා හිතාගන්නත් බෑ. වන වැදුන දොස්තර (Surgon of Wilderness – christine Spittle Wilson)  නම් පොතේ දොස්තර ආර්. එල්. ස්පිටල් තමන්ගේ පෞද්ගලික ගමන් සඳහා රික්ෂෝවක් තබාගත්තත් මිනිසෙකු විසින් තවත් මිනිසෙකු රථයක තබා ඇදගෙන යාම බොහෝම පිළිකුල් කරමින් මොටර් රථයක් ගන්නා දවසක් ගැන සිහින මවමින් දිනපතා රික්ෂොවෙන් රෝහලට ගිය විත්තියක් එහි ලියවි තියෙනවා. 

 
පස්සේ කාලයක් යනකොට  රික්ෂෝකාරයා ඇදගෙන හිටපු අලංකාරවත් ඇඳුම් විතරක් නොවෙයි රථයේ තිබුන සැරසිලිද අඩුවෙලා ගැලවි යන්න ගත්තා. 
1950 අවුරුද්ද වෙනකොට මේ රික්ෂෝ රථ 250ක් දක්වා පහත වැටුනා.  1950 මැයි මාසේ 10 වෙනිදා නගර සභාවේ ඉදිරිපත්වුන යෝජනාවක් අනුව පනතක් සම්මත කරගත්තා ජු නි මාසේ 01 වෙනිදා සිට රික්ෂෝ රථවලට අලූතින් බලපත‍්‍ර දෙන එක නතර කරන්න. එ් මිනිහෙක් උජාරුවට හිදගෙන ඉද්දිද්දි සතෙකුමෙන් තවත් මිනිහෙක් ගිනියම්වු පාරේ දහඩිය වගුරවමින් ඇදගෙන යනඑක මිනිසත් කමට කරන නින්දාවක් විදිහට සලකන්නට මිනිස්සු හිතන්න පටන්ගත්ත නිසයි. එ් නිසාම රික්ෂෝ රථයන් හා රික්ෂෝකාරයන්ද කොළොම්පුරෙන් නැතිවිගියා.




යොර්ක් ස්ටි‍්‍රට් එකේ ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හොටලය හා පොලිස් මුලස්ථානය ඉදිරිපිට යුරෝපිය ඇදුමින් සැරසි පයිප්යක් මුවේ රදවාගත් වැදගත් මහත්තයෙකු නංවාගෙන දුවන සරම්කොටයකින් සැරසුන රික්ෂෝ කරුවෙකු ප‍්‍රතිමාවක් දකින්නට ලැබෙනවා.  

Monday, September 26, 2016

කනට ඇසෙන ලංකාවේ නැති ගමක් - මුවන්පැලැස්ස

මේ කියන නම තියෙන ගමක් ලංකාවේ තියා ලොකේවත් නෑ. හැබැයි කාගෙන් ඇහුවත් මේ ගමේ නම නොදන්න කෙනෙකුත් නෑ. එ් විතරක් නෙවෙයි කවුරුත් මේ ගමේ නම කිව්ව සැනින් එ් ගමේ ඉන්න හැමෝමත් අඳුනනවා. එ් ගමේ නම තමයි මුවන්පැලැස්ස. මිට දශක කිහිපයකට පෙර රූපවාහිනි යන්තර ගෙවල් ආක‍්‍රමණය කරන්න කලියෙන් අපේ උදවියට තිබුන එකම විනෝදාස්වාදක යන්තරේවුනේ රේඩියෝ එක තමයි. ඉතිං ඒ කාලේ ගුවන් විදුලියේ ගිය මෙගා නාට්‍යක්වු මුවන්පැලැස්ස ලංකාවේ හතරදිග්බාගයේ කවුරුත් අහන්නටවුනා. මුවන්පැලැස්ස  කොච්චර ජනප‍්‍රියද කියන්න අනූව දශකයට කලියෙන් ඉපදුන  ඕනේම කෙනෙකුගෙන් ඇහුවෙත් මේ නාට්‍ය ගැන දන්නවා. දන්නවාද මේක තමයි ආසියාවේ දීර්ඝතම ගුවන්විදුලි නාට්‍ය කියලා.  

 


හෙළයේ ගැමිහඬ භාෂාව ගුවන් විදුලිය ඔස්සේ මුලූ රටටම හඳුන්වලා දුන්න මේ මුවන්පැලැස්ස නාට්‍ය රචනා කලේ  හොමියෝපති වෛද්‍යවරයෙකුවු මුදලිනායක සෝමරත්න මහතායි. ගුවන් විදුලි අධ්‍යෂකවරයාවු එස්.බි. සේනානායක මහතා මුදලිනායක සෝමරත්න මහතාට ගැමිසුවඳ වෑහෙන ලස්සන නාට්‍යයක් ලියන්නැයි ආරාධනා කෙරුවා. එතුමාගේ උපදෙස් අනුව ඔහු මිණිපේ, මහියංගණය, ලග්ගල, මීමුරේ, කයිකාවල, දියනිල්ල ආදි හද්දා පිටසිර පලාත්වලට ගියා. එ් වනගත ගැමි ගම්මානවල මිනිස්සු ජිවත්වෙන්නේ කොහෝමද ඔවුන්ව සුරාකන අය කවුරුදු කියලා මුදලිනායක සෝමරත්න මහතා අධ්‍යනයක යෙදෙන්නටවුනා.  

 

මුදලිනායක සෝමරත්න මහතා

මේ නාට්‍යට මුවන්පැලැස්ස කියන නම යෙදුනෙත් අපුරු ආකාරයකටයි. මුදලිනායක සෝමරත්න මහතාට එක් හැන්දෑවක එක්තරා ගමක ගැමියෙකු හමුවි ඔහු සමගින් කතාබහක යෙදි සිටිනකොට ඔහුගේ ගමට කියන නම පලැස්ස යැයි කිව්වා. එ් අවස්ථාවේදි මුවන් රංචුවක් ඔවුන් දෙදෙනා ඉදිරියෙන් ගමන්කල නිසා එ් මුවන් දෙස බලාසිටි මුදලිනායක සෝමරත්න මහතාට මුවන්පැලැස්ස නම මනසේ මැවුනා. එ් අනුව තමයි මුවන් පැලැස්ස නම ගුවන්විදුලිනාට්‍යට යෙදුවේ.  1963 අවුරුද්දේ තමයි මේ ගුවන්විදුලි නාට්‍ය මුලින්ම ප‍්‍රචාරයවුනේ. 

මේ ගුවන් විදුලි කථාව පටන්ගන්නේ සුදු ජාතික දිසාපතිවරයෙක් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය සමයේ ලංකාවේ  ආදිවාසින් ගැන තමන්ගේ පොතකට කරුණු හොයන්න ලංකාවට එනවා. ඔහු තවත් සගයන් කිහිප දෙනෙක් එක්ක ආදිවාසින් හොයාගෙන ඈත වනාන්තරයට පිටත්ව යනවා. මේ ගමනේදි දිසාපතිවරයාට මුවන්පැලැස්ස නම් ගම්මානයක් හමුවෙනවා. මේ ගමේ ඉන්නා අපුරු චරිත කිහිපයක් ඔහුට මුණගැහෙනවා. එ් තමයි වෙද මාමා, වෙඩික්කාරයා, බිනරමලී, ආරච්චිල හා ඔහුගේ බිරිඳ එතනහාමි, මැණිකේ, පිනා. පසුකාලෙක වෙඩික්කාරයා කදිරා ලෙසින් ද ආරච්චිල කෝරලේ මහත්තයා ලෙසින්ද වෙනස්වෙනවා. එ් එක්කම වාගේ සුදු ජාතික දිසාපතිගේ චරිතයද මේ නාට්‍යයෙන් ඉවත්වෙලා යනවා.  මේ චරිත සියල්ලක්ම මුදලිනායක සෝමරත්න මහතා ගොඩනගලා තියෙන්නේ ඔහුට ගම්මානවලදි හමුවු ගැමියන් ආශ‍්‍රය කිරිමෙනුයි. 

කෝරලේ මහත්තයා සහ මැණිකේ.
විජේරත්න වරකාගොඩ සහ රත්නාවලි කැකුණවෙල 


මුවන්පැලැස්ස ගමේ කතාවක් ලෙසින් ගුවන්විදුලියේ මුල් බැසගත්තා. එත් 1971 අවුරුද්දේ අපේ‍්‍රල් 08 වෙනිදා මුදලිනායක සෝමරත්නයින් ඇමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ස්ථිර පදිංචියට යනවා. මේ නිසා මුවන්පැලැස්ස විකාශනය කිරිම නතරවෙනවා. ගුවන්විදුලියට ලංකාවේ හතරදිගින් ලියුම් ගලාගෙන  එන්නට පටන්ගත්තා.  එවකට ගුවන් විදුලියේ සභාපති හා අධ්‍යක්ෂක ජෙනරාල් තේවිස් ගුරුගේ මහතා වහාම මුවන්පැලැස්සේ ශිල්පින් ගෙන්වලා මේක නතර කරන්නට පුළුවන් නාට්‍යන් නොවන බැවින් ඉදිරි කොටස් කිහිපයක් රචනා කරලා පෙන්වන ලෙසට ඉල්ලා සිටිනවා. ධර්ම ශ‍්‍රී මුණසිංහ, පි. වැලිකල, වික්ටර් මිගෙල්, ගැමුණු විජේසුරිය,  යන ශිල්පින් පිටපත්  ලියා තේවිසුගුරුගේට ඉදිරිපත් කළා. එ්වායින් ඔහු තෝරාගත්තේ වික්ටර් මිගෙල් රචනා කල පිටපතයි. ඊට දෙමසකට පසුව යළිත් මුවන්පැලැස්ස විකාශනය කිරිම ආරම්භ කළා. 1971 ජුනි 25 වෙනිදා සිට මුවන්පැලැස්සේ කදිරාගේ චරිතයද රඟපාමින් අවුරුදු විසිපහක් මුවන්පැලැස්ස රචනා කලේ වික්ටර් මිගෙල් මහතායි.

 
                           වික්ටර් මිගෙල් මහතා


1995 දි වික්ටර් මිගෙල් මහතා හෘදයාබාදයකින් අභාවප‍්‍රාප්ත වෙනවා. ඉන්පසුව ශ‍්‍රී නිමල් පද්මකුමාර මහතා  මුවන්පැලැස්ස නාට්‍ය අවුරුදු 15 ක් පමණ රචනා කෙරුවා.  

   ශ‍්‍රී නිමල් පද්මකුමාර මහතා

යළිත් වතාවක් මුවන්පැලැස්ස රචනා කරන්නයි එහි ආරම්භක රචකයාවු මුදලිනායක සෝමරත්ත මහතාට ගුවන් විදුලියේ සභාපතිවරයා ඉල්ලා සිටියා. ඉන් අනතුරුව ඔහු ඇමෙරිකාවේ සිට මුවන්පැලැස්ස රචනා කර පිටපත මෙරටට එවන්නට පටන්ගත්තා.

මුවන් පැලැස්ස පටිගත කිරිමක් 




එ්කාලේ රෑට රේඩියෝ එක ලඟටවෙලා මුවන්පැලැස්ස අහගෙන හිටපු ඔක්කෝටම දෑසින් නොදැක්කට කනට ඇහිලා මනසේ මැවුනු මේ අපුරු ගමේ අපුරු ගැමි චරිතයන් ටික අමතක නැතිව ඇතියි හිතනවා.     

Sunday, September 18, 2016

ජනාකීර්ණ වීදි අස්සේ තනිවුන පුරහල

කොළඹ පුරහල නැත්නම් ටවුන් හොල් (Town Hall)  එක ගැනයි මේ කතා කරන්න යන්නේ. හැබැයි අද මම ලියන්න යන්නේ අපි කවුරුත් දන්න කියන අර විහාර මහාදේවි පාර්ක් එකට ඉස්සරා තියෙන ධවල වර්ණ ගැන්වුනු දැවැන්ත කොළඹ නගර සභා ගොඩනැගිල්ල ගැන නම් නෙමෙයි.   මේක තමයි දැනට සියවස් එකාහමාරකට ඉස්සර කොළොම්පුරේ තිබුන පුරහල වෙන්නේ. ඒවාගේම මේ පුරහල තමයි ලංකාවේ පළමු පුරහල වෙන්නෙත්. පිටත පෙනුමෙන් සමහරුන්ට මේක කතෝලික පල්ලියක් වාගේ පෙනෙන්න පුළුවනි.  අද මේ පුරහල  කොළඹ ජනාකීර්ණ කඩසාප්පු අස්සේ තනිවෙලා, කවුරුවත් මේ ගැන සොයා නොබලන තත්වයකුයි තියෙන්නේ. හැබැයි මේක ඇතුලට ගියොත් නගරසභාවේ ඉතිහාසය විතරක් නොවෙයි පාර තලන ගල් රෝල්, ගෑස් ලාම්පු ආදි තව තව දේවල් ගොඩාක් තියෙන කෞතුකාගාරයක් දැක බලාගන්න පුළුවන්.







1850 වර්ෂයේදි කොළඹ නගරයට නගර සභාවක් ලබා දෙන්න  ඕනේ කියලා බි‍්‍රතාන්‍ය පාර්ලිමෙන්තුවේදි බි‍්‍රතාන්‍යයන් යොජනාවක් සම්මත කරගත්තා. වර්ෂ 1865  නොවැම්බර්  25 දින ප‍්‍රසිද්ධ කරපු නිවේදනයක් මගින් කොළඹ නගර සභාව පිහිටුවන ලැබුවා. 1865 අංක 17 දරන පනතින් තමයි කොළඹ නගරසභාව පිහිටුවාගනු ලැබුවේ. මම මිට පෙර ලියපු නගර සභාව ගැන ලිපිය මෙතැනින් බලාගන්නත් පුළුවනි. 

මේ නගරසභාවේ මුලිකම කාර්යය වුනේ  නගරසභාව සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරිමයි. එ්කට ඉතිං හොඳ භූමියක් හොයන්න ගත්තා. කෙලින්වීදියට මුහුණලා තියෙන භූමිබාගයක් තමයි නගරසභාව ඉදිකරන්න තොරාගන්නේ. මේ ගොඩනැගිල්ලේ සැලසුම අදින්නට ජී. බර්ටන්ට භාරදෙනවා. ඔහුට එ් වෙනුවෙන් ගිනි 50ක් ගෙව්වා කියලාත් සඳහන්වෙනවා.  ඔහු ඇදපු සැලසුමට අනුව සභා ගර්භය හා අනෙක් කාර්යාල සඳහා ඉහළ මාලය වෙන්කරලා තිබුනා. පුස්තකාලය, ශාලාව, මහෙස්ත‍්‍රාත්  කාමරය,කෞතුකාගාරය ඉහළ මාලයේ සැලසුම් කළා. පොළොව යට ගබඩා කාමරද මේ සැලැස්මේ තිබුනා. බර්ටන් ගොතික් ගෟහ නිර්මාණ ශිල්පය අනුවයි මේ සැලැස්ම ඇදලා තිබුනේ. මේ නගර ශාලාව හා එඩින්බරෝ වෙළඳ පොළ (Edinburgh Market) ඉදිකරන්න සැලසුම් කල ඇස්තමේන්තු වියදම පවුම් 15400ක් වෙන බව ගණන් බලලා මේකට යන වියදම වැඩියි කියලා රජය මේ සැලසුම අතහැරදැම්මා.



ඊට පස්සේ  මේ නගර ශාලාව සඳහා වෙනත් අයකුගේ සැලැස්මක් අනුමතවුනා. එ්ක ඇන්දේ එ්කාලේ කිර්තිමත් ගෟහ නිර්මාණ සැලසුම් ශිල්පියෙක්වු ජේ.ජී. ස්මිදර් මහතා (J.G.Smither). 1870දි මේ ගොඩනැගිල්ලේ වැඩ ආරම්භවුනා. වැඩ පටන්ගෙන අවුරුදු තුනකට පස්සේ පවුම් 7000ක් වියදම් කරලා වැඩ අවසන් කරපු මේ ගොඩනැගිල්ල 1873 අවුරුද්දේ ආණ්ඩුකාර විලියම් ග්‍රෙගරි මහතා විසින් විවෘත කළා. අතුලත දොර ජනෙල් ආදිය බුරුමයෙන් ගෙන්වනු ලැබු තෙක්ක ලීයෙන් කරවලා තියෙනවා.  මේ නගර ශාලාවට යාබදව ගොඩනැගූ එඩින්බරෝ වෙළඳ පොළ (Edinburgh Market) එදින ආණ්ඩුකාරවරයා විවෘත කෙරේව්වා.   එඩින්බර්ග්හි ඇල්ෆ‍්‍රඞ් ආදිපාදවරයා (Alfred Duke of Edinburgh) විසින් 1870 අපේ‍්‍රල් 22 වෙනිදා තමයි මේ එඩින්බරෝ මාර්කට් එකට මුල්ගල තිබ්බේ. සැලසුම ඇන්ද ස්මිදර්ගේ අදහස් අනුව විශාල වශයෙන් යකඩ එකතුකරගෙන තමයි එඩින්බරෝ මාර්කට් එක හැදුවේ. 



නගර සභාවේ කටයුතු එන්න එන්නම පුළුල්වෙන්නත් කොළඹ වීදි ජනාකීර්ණ වෙලා පිටකොටුවේ ඇතිවෙන අධික තදබදයන් නිසාත් අලූත් නගරශාලාවක් හදන්න  ඕනේ කියලා අදහස් එන්න පටන් ගත්තා. ජනාකීර්ණ පිටකොටුවේ හිස් ඉඩක් නැති නිසා වෙනින් ස්ථානයක අළුත් නගරශාලාවක් හදන්න 1907 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 13 වෙනිදා යෝජනාවක් සම්මත කරගත්තා. හැබැයි මේක සාකච්චාවලට විතරක් සීමා වෙලා තිබුනේ වෙනත් හොඳ හිස්භූමියක් හොයාගන්න අපහසුවත් මීට වියදම් කරන්න වෙන මුදල වැඩි නිසාත් තමයි. 

1928 අවුරුද්දේ අළුතින් හදපු පුරහලට නගරසභාව ගෙවදුනාට පස්සේ මේ ගොඩනැගිල්ල පාළුවට ගියා. හිටපු ජනාධිපති ආර් පේ‍්‍රමදාස මහතා අගමැතිධුරය දරන කාලේ ඔහුගේ අදහසක් අනුව තමයි මේ ගොඩනැගිල්ල පිලිසකර කරලා කෞතුකාගාරයක් විදියට මහජන ප‍්‍රදර්ශණයට විවෘතවෙන්නේ.  





මේ කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තියෙන කොළඹ නගරසභාවේ යන්ත‍්‍රසුත‍්‍ර, වාෂ්පයෙන් දුවන පාර තලන ගල්රෝල්, ලංකාවේ ප‍්‍රථම ජංගම පුස්තකාල වෑන් රථය, ගෑස් ලාම්පු ආදිය තවත් ගොඩාක් දේවල් දැක ගන්න පුළුවනි. ආ මේකත් කියන්න අමතක වෙනවා සුප‍්‍රසිද්ධ ගාලුමුවදොර පිටිය නැත්නම් ගොල්ෆේස් එක විවෘත කරද්දි පිහිටුවපු සමරුඵලකය අද ආරක්ෂිතව තියෙන්නෙත් මෙතන තමයි.

 එහෙනම් පිටකොටුව පැත්තට ගියවෙලාවක  පිටකොටුවේ බොධිරාජ මාවත, වේල්ල වීදිය කෙලින් වීදිය හමුවන හන්දියේ තනිවෙලා ඉන්න ලංකාවේ පළමු පුරහල තම පැරණි බව විරාජමාන කරවමින් සිටින මේ පැරණි නගරසභා ගොඩනැගිල්ලට ගොඩවැදිලා එන්න අමතක කරන්න එපා.


මෙහි පලකරන ඡයාරූප සියල්ල අන්තර්ජාලයෙන් ලබාගත් ඡයාරූපයි.

Monday, September 5, 2016

කොළොම්පුරයෙන් බිහිවු මුල්ම සිංහල මුද්‍රිත පොත

මුල්ම සිංහල මුද්‍රිත පොත මොකක්ද?  කොපමණ කාලයකට ඉස්සර ද පළකෙරුවේ?  මේ ගැන සොයා බලන්න අපේ කොළොම්පුරේ අතීත චාරිකාව යන්නයි හදන්නේ. මුල්ම සිංහල මුද්‍රිත පොත ගැන කතා කරන්න ඉස්සර අපේ රටේ ලේඛන ඉතිහාසය ගැනත් කතානොකර බැහැ. අපේ රටේ ඉතාමත් පැරණි ලේඛන ඉතිහාසයක් තියෙනවා. පුරාවිද්‍යාත්මක සාධක අනුව කි‍්‍ර.පු. 3 වන සියවසටත් වඩා ඈතට දිවයන බවයි කියවෙන්නේ. අපේ රටේ හැම තැනින්ම හමුවෙන සුලබ ලේඛනයන් වෙන්නේ ශිලා ලේඛන. ඊටත් පසුව පුස්කොළවල ලීවිම ආරම්භකරලා තියෙනවා. සුවිශේෂිත ලේඛනයන් තඹ, රත්තරන් වැනි ලෝහ තහඩු භාවිතා කරලා ලේඛන ගතකරලා තියෙනවා. මතකද යාපනේ වල්ලිපුරම් ගමෙන් හමුවුනු වල්ලිපුරම් රන් සන්නස. පසු කාලෙක පිහාටු පෑනෙන් කඩදාසිවලත් ලියන්නවුනා. එත් මේවා මොකක්වත් මුද්‍රණය කරලා ප‍්‍රකාශයට පත්කරපුවා නෙමෙයිනේ.  



සිංහලෙන් මුද්‍රණ කටයුතු කරන්නට බලපෑවේ ලන්දේසින් විසින් ආරම්භ කරපු කි‍්‍රස්තියානි ධර්ම ප‍්‍රචාරක වැඩපිලිවෙලයි. මේ සඳහා උපයෝගිකරගන්න පුළුවන් විදිහට ශුද්ධ ලියවිලි සිංහලයට පරිවර්තනය කරගෙන සිටිම එයාලට වැදගත්වුනා.




 සිමොන් කාට් (Simon Kat), යොහැන්නස් රුවෙල් (Joannes Ruel), විල්හෙලම් කොනයින්  (Wilhelm Konyn) වැනි   ඕලන්ද රෙපරමාදු සභාවේ (Duch Reformed Church) දේවගැතිවරු ශුද්ධ ලියවිලි සිංහලයට පරිවර්තනය කරන්නට මුලික වෙලා තිබුනා. මේ අය අතරින් විල්හෙලම් කොනයින් දේවගැතිවරයා තමයි විශාල වැඩකොටසක් කරගෙන ගියේ. ඔහු 1739 දි ශුභාරංචි  පොත් හතර (Four Gospels) සිංහලයට පරිවර්තනය කර පුස්කොල පොත්වල ලියා තැබුවා. පසුව ඔහු තවත් ලේඛන ගනනාවක් සිංහලයට හරවලා තියෙනවා.  මේ වැඩ පිලිවෙලට  ඕලන්ද රජයේ පුර්ණ සහයෝගයද ලැබුණා. එ් නිසාම හෙන්ද්‍රික් බෙකර් (Hendrik Bkker 1707- 1716 ) ආණ්ඩුකාරවරයා එ් සඳහා අනුග‍්‍රහය දෙන ලෙස එක්සත් පෙරදිග ඉන්දියා සමාගමට (V.O.C - Vereenigde Oost Indische Compagnie) නියෝග කෙරුවා. එ් නියෝගය නිසා සිංහල බසින් ශුද්ධ ලියවිලි මුද්‍රණය කරන්ට සියල්ලන්ගේම අවධානය යොමුවුනා. මෙහි ප‍්‍රතිඵලයක් විදිහට 1734 අවුරුද්දේ සිංහල මුද්‍රණාලයක් පළමුවරට කොළඹ නගරයේ පිහිටුවනු ලැබුවා. සිංහල අකුරු සකස් කිරිමේ කාර්යය ලන්දේසින්ගේ යුද්ධායුද  ගබඩාවේ බාස් කෙනෙකුවු  ගබ්රියෙල් ස්කාද (Gabriel Schade ) වෙත පැවරුණා. ඔහුට පිලිප්පස් වෙට්සිලියස්  (Philippus Wetzelius) හා කොනයින් (Konyn) යන දේවගැතිවරුන් දෙදෙනාගේ උපදෙස් ලැබුණා.
 

 ලංකාවේ  ඕලන්ද ආණ්ඩුකාර ගුස්ටාප් විලෙම් බැරන් වෑන් ඉම්හොෆ්  (Gustaaf Willem Baron Ven Imhoff   1736-1740)  කොළොම්පුරය පාලනය කරන කාලයේ  1737 අපේ‍්‍රල් මාසයේ ප‍්‍රථම මුද්‍රිත පොත එලිදැක්වුණා.  සිංහල යාඤා පොත (Singaleesck Gebeede Boek) නම්වු  මේ පොත සෙ.මි 19.5 × 13 ප‍්‍රමාණයේ පිටු 40 කින් සමන්විත වෙනවා. මෙහි පිටු සදාගෙන ඇත්තේ රෙදි කැබිලි යොදාගෙන අතින් සෑදු කඩදාසි යි. මෙහි කවරය රතු පැහැති  සම් රෙද්දකින් නිමවා එ් වටා රත්තරන් පාට බෝඩරයකින් අලංකාර කර තිබෙනවා. කවරයේ මැද එක්සත් පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමේ කොළඹ ලාංඡනය VOC මුද්‍රණය කරලා තියෙනවා. "ප‍්‍රදානවු යාඤාවල් පහද අපෙ කි‍්‍රස්තියානි  ඇදහිල්ලේ පංගු ෙදාළහ සහ දෙව් ස්වාමි  දරුවාණන් වහන්සේට අහස්තලින් දෙවා වදාළ අනාඥාවල් දසයද මෙහි ඇත.""දිප්තිමත්වු කොම්පඤ්ඤ වෙනුවෙන් අච්චු ගැසුවේ වෂි 1737 "

ඕලන්ද භාෂාවෙන් පලමු පිටුවේ මෙසේ සදහන් වෙනවා.
SINGALEESCH GEBEEDE-BOEK


දෙවන පිටුවේ ඕලන්ද භාෂාවෙන් මෙසේ සදහන් වෙනවා.

INHOUD
HET GEBED DES HEEREN
MORSEN EN AVOND GEBE
GEBED VOOR EN NA DEN
EETEN
DE XII ARTYKELEN DES
GELOOFS
DEX GEBODEN GOOS


මෙම පොත ප‍්‍රකාශයට පත්විම හා සමකාලීනව සිංහලෙන් මුද්‍රිත පරිපාලන ලේඛනයක් වු 1737 අප්‍රෙල් 5 වෙනිදා ප‍්‍රකාශවට පත්කල පලක්කාර්තු (Plakkat) නම්වු  ලන්දේසින්ගේ නිවේදනයක් නිකුත්වුනා.  මෙහි  සඳහන්වෙන්නේ  මාතර දිසාවේ මිරිස් වගාව සම්බන්ධ නියෝගයන්ය. මේ පලක් කාර්තුවේ ව්‍යවහාර භාෂාව යොදාගෙන තිබේ.1770 අවුරුද්දේ  තවත් ශුද්ධ ලියවිලි ගනනාවක්  ලන්දේසින් විසින් ප‍්‍රකාශයට පත්කෙරුවා.  ඕලන්දයේ ලයිඩන් විශ්ව විද්‍යාලයේ දේව ධර්මය හැදෑරු සිංහල දේවගැති හෙන්රිකස් පිලිප්සට එ්වන විට පරිවර්තනය කර තිබුනු ශුද්ධ ලියවිලි මුද්‍රණය සඳහා සකස් කරන්නට පැවරුණා. එ් අනුව මුලින්ම බයිබලයේ නව ගිවිසුමේ කි‍්‍රයාපොත 1771 අවුරුද්දේද. රෝම 1772 අවුරුද්දේද. කොරින්ති සිට ගලාති දක්වා 1773දිද. එපිස සිට හොබ්‍රෙව් දක්වා 1776 දිද. ජාකොබ් සිට එළිදරව් දක්වා 1776 දි, ශූභාරංචි පොත් හතර 1780ද, පරණ ගිවිසුමේ උප්පත්ති 1783 අවුරුද්දේ  නික්මයාම 1786 ලෙවිකතාව, ගණන් කතාව, ද්ව්තිය නිති සංග‍්‍රහය 1789 දීද ඔහු විසින් සංශෝධනය කර මුද්‍රණය සදඟා සකස්කළා.  මේ ශුද්ධ ලියවිලි වලද පලක්කාර්තුවේ තිබුන පරිදි කොළඹ ව්‍යවහාර භාෂාව යොදාගෙන තිබුණා. 1705 දි ගෝවේ සිට පැමිණ ලංකාවේ ධර්ම ප‍්‍රචාරක කටයුතු වල යෙදි සිටි ඔරතෝනියානු (Oratorian) මීසමට අයත් කතෝලික පුජකයෙකුවු ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා දුර්වල තත්වය තිබු සිංහල කිතුණු සාහිත්‍ය නංවාලීමට විශාල මෙහෙයක් ඉටුකරන්නට වුනා. සිංහල, දෙමළ , පෟතුගි‍්‍රසි,  ඕලන්ද භාෂා හොදින් දැන සිටි මෙතුමා පෘතුග‍්‍රීසි - සිංහල, සිංහල- පෘතුග‍්‍රීසි හා පෘතුග‍්‍රීසි - දෙමළ වශයෙන් ශබ්දකෝෂ තුනක් රචනා කළා. එ් හැරණුකොට එතුමා තවත් කිතුණු ග‍්‍රන්ථ විස්සක් පමණ රචනා කර තිබෙනවා. එ් අතරින්  දේව වේද පුරාණය, ධර්මොද්‍යානය,දුකප‍්‍රාප්ති ප‍්‍රසංගය,දේව වේද සංකෙෂපය හා මංගල ගීතය වැනි පොත් වියත් බස්වහරකින් සිත් ගන්නා අයුරින් ලියා තිබෙනවා.

Sunday, August 21, 2016

කලාවට කැපවු අප‍්‍රසිද්ධියේ සිටි ප‍්‍රසිද්ධ කලා කරුවා

කවුද මේ කලාවට කැපවු අප‍්‍රසිද්ධියේ සිටි ප‍්‍රසිද්ධ කලා කරුවා? මේ කලාකරුවා නම් අන්තිම අහිංසකයෙක්, අවිහිංසාවාදියෙක්, මස්මාළු නොකන නිර්මාංශිකයෙක්,මත්පැනින් තොර සත්‍යගරුක පුද්ගලයෙක්, තමන් බැසගත් තීරණය වෙනස් නොකරන අපූරු මිනිසෙක්. එ් විතරක් නෙමෙයි කලාවට කැපවු අවිවාහකයෙක්. ඉතිං කවුද මේ? අපිට කැලණි විහාරය කිව්වාම මතක්වෙන දෙකක් තියෙනවා. එකක් තමයි අපේ ගෞතම බුදුන්වහන්සේ බුද්ධත්වයෙන් අටවෙනි අවුරුද්දේ වෙසක් පුන්පෝදා කැලණියට වැඩමකර මණිඅක්ඛිත නාරජුගේ මැණික් පුටුවේ හිද ධර්ම දේශානාවක් කිරිම. අනික තමයි විහාරයේ තියෙන ලොව පරසිද්ධ සිතුවම් ටික. සිංහල බෞද්ධයන්ගේ පූජණීය ශුද්ධ භූමියේ හෙළ මුර්ති හා චිත‍්‍ර කලාවන්ගේ කලාගාරයක්වගේ තියෙන කැළණි පන්සලේ චිත‍්‍ර හා මුර්ති ශිල්පියා කවුද? මේ ලෝප‍්‍රකට සිතුවම් වල නිර්මාණ ශිල්පියා ගැන තමයි අද අපේ කොළොම්පුරෙන් කතා කරන්න යන්නේ. 



කහවේ වලිමුනි සෝලියස් මෙන්ඩිස් නැත්නම් අපි කියන විදිහට සෝලියස් මැන්දිස් නම් අපේ චිත‍්‍රශිල්පියා හත්දෙනෙකුන්ගෙන් යුත් පවුලක දෙවෙනියා විදිහට 1897 ජුනි 17 දා මහවැව දි ආයුර්වේද වෛද්‍යවරයෙකුවු පියාට දාව උපන්නා.  කුඩා සන්දියේදි හොඩි පොත කියවන්නට මාදම්පේ කි‍්‍රස්තියානි මිෂනාරි පාසලට ඇතුලූවෙලා හත්වෙනි පන්තිය දක්වා එ් පාසලේ ඉගෙන ගත්තා. පසුව නාත්තන්ඩියේ විරහේන විද්‍යාරත්න පිරිවෙනේ සුගත තිස්ස මාහිමියන්ගෙන් පාලී හා සංස්කෘත භාෂාවන් ඉගෙනගන්නට වුනා. තාත්තාගේ සිහිනයක්වුනේ තමන්ගේ අඩිපාරේ අරන් ගිහිල්ලා ආයුර්වේද වෛද්‍යවරයෙක් බවට සෝලියස් ව පත්කරවන්නයි. එත් සෝලියස් ගේ හිත ඇදිලා ගියේ සෞන්දර්්‍යාත්මක පැත්තට තමයි. සෝලියස් මැන්දිස් තමන්ගේ ඥාතියෙක්වු සුප‍්‍රකට විහාර චිත‍්‍රශිල්පි මෙමෝනිස් සිල්වා ගුරුන්නාන්සේ වෙතට ගිහිල්ලා ඔහුගේ ගෝලයෙක් බවට පත්වුනා. සෝලියස් මැන්දිස් ශිල්පියාගේ තෙලිතුඩින් හැඩවුනු විහාරයන් ගනනාවක් තියෙනවා.මාවිල සුමනකුසුමාරාමය, ගිරිඋල්ල මැද්දේපොල රජමහා විහාරය, රණස්ගල්ල රජමහා විහාරය, පොළොන්නරුවේ ශී‍්‍ර ජයමහ විහාරය සහ මල්වානේ ලෙනගම්පොළ පුරාණ රජමහා විහාරය හබරාදුව පිටිදුව කැළණිගංගොඩ විහාරය එ් අතර වෙනවා. 



1930 දශකයේදි කැලණිරජමහා විහාරයේ පිළිසකර කිරිම ඇරඹෙනවා. මේ යුගයේදි යුරෝපයේ දේවස්ථානයන්හි සිතුවම් කලාව ඇසුරෙන් දීප්තිමත් වර්ණ යොදාගෙන තාත්වික සිතුවම් නිර්මාණය කිරිම ආභාසයට ගෙන තිබෙනවා. කැලණි පන්සලේ ප‍්‍රධාන දායිකාව වෙලා සිටිය හෙලේනා විජයවර්ධන මැතිනිය යුරෝපයේ ශෛලීය අනුගමනය නොකර පෙරදිග ශෛලියට අනුව සාම්ප‍්‍රදායික විදිහට අදින්න පුළුවන් චිත‍්‍ර ශිල්පියෙක් හොයන්නට වුනා. අති දක්ෂ තරුණ සිතුවම් නිර්මාණ කරුවෙකුවු සෝලියස් මැන්දිස් ගැන දැනගන්නා හෙලේනා විජයවර්ධන මැතිනිය කැලණි පන්සලේ සුවිශේෂි කාර්්‍යය ඔහුට පවරා දුන්නා. 

මේ සුවිශේෂි කාර්්‍යය ඉටුකරන්නට අවශ්‍ය නිර්මාණාත්මක අදහස්වලින් තම දැනුම වැඩිකරගන්නට සෝලියස් මහතා අජන්තා, එල්ලෝරා හා සාරනාත් වල තිබෙන චිත‍්‍ර අධ්‍යනය කරන්නට ඉන්දියාවට පිටත්වෙලා යනවා.  ඔහු ආයෙත් ලංකාවට එන්නේ තමන් අධ්‍යනය කරන්ට ගිය චිත‍්‍රවල සටහන් හෝ පිටපතක්වත් නැතිව. තමන්ගේම ශෛලියක් බිහිකරගැනිමට ඔහු කරන්නේ ඉන්දියාවේ බෞද්ධ සිතුවම්වල තිබෙන සියුම් ලක්ෂණ සහ අමුදව්‍ය හා අපේ රටේ හෙළ බිතුසිතුවම් හා සංස්කෟතිය එකතුකරවිමයි. 


කැලණි විහාරයේ සිතුවම් නිර්මාණය කරන්නට පටන් ගන්න කොට සෝලියස් මැන්දිස් ගේ වයස අවුරුදු 30 පසුකලා විතරය. ඔහු තමන්ගේ ජිවිත කාලයෙන් අවුරුදු 18 ක් පමණ අපමණ වෙහෙසක් දැරුවේ කැලණි පන්සලේ චිත‍්‍ර අවසන් කරන්නටයි. මේ ඔහුටම විශේෂිතවු ශෛලීයෙන් කරපු නිර්මාණ විචාරකයින්ගේ මතයවන්නේ පෙළොන්නරු යුගයෙන් පසුව ශ‍්‍රී ලංකාවේ නිර්මාණයවු විශිෂ්ඨතම කෘතින් බවයි. අනෙක් බොහෝ චිත‍්‍රශිල්පින්ගේ සිතුවම් බුද්ධාගමික හා සම්බුද්ධ චරිතය ඇතුලූ ජාතක කතා වලින් නිර්මාණ කල එවා වුවත් සෝලියස් මැන්දිස් මහතා ඊට වෙනස් නව මංපෙත් ඔස්සේ සිතුවම් ඇන්දා. මෙතෙක් පැවතගෙන ආ විහාරචිත‍්‍ර ක‍්‍රමයවු බිත්තිවල හරස් තීරුවල චිත‍්‍රාවලි ඇදිම වෙනස් කර සම්පුර්ණ බිත්තියක් මුළුමනින්ම රූපරාමුවක්  ලෙස ගෙන චිත‍්‍ර ඇදිම සිදුකලා. ජාතක කතා නිරූපනය නොව බෞද්ධ එතිහාසික කතා එහි ඇන්දා. දන්ත කුමරු හා හේමමාලා කුමරිය දන්ත ධාතුන් වහන්සේ ලංකාවට රැුගෙනඑම, බුදුන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩමකරවිම, මාතලේ අළුවිහාරයේ බුද්ධඝෝෂ හිමියන් විසුද්ධි මග්ගය අත්පිටපත් කිරිම. ජයසිරිමහා බෝධින් වහන්සේ ලංකාවට වැඩවමකිරිම, සංඟරාජහිමියන්ට අක්තපත‍්‍ර බාරදිම, රහතන්වහන්සේ නමක් තෙල් කටාරමේ හිදවා  මැරිම ආදි එතිහාසික සිද්ධින් තොරාගත්තා. ඔහු එම අවස්ථා නිරුපණය කරන මිනිස් රූප ජිවමාන ප‍්‍රමාණයටම ඇදිම සිදුකළා. මේ සිතුවම් වල ද්විමාන ලක්ෂණ ඉවත දමා ති‍්‍රමාණ ලක්ෂණ වලට ඇදි ඉතාමත් සියුම් රේඛා සහ වේගවත් රේඛා මගින් ස්භාවිකත්වය ඉස්මතුකරලා තියෙනවා. මේ කලාකෘති අතර විවිධ මල්වර්ග, කුමර කුමරියන්,රජවරුන් ,භික්ෂුන් වහන්සේලා මෙන්ම ඔවුන් අඳින ලද ඇඳුම් වර්ග, ආභරණ ආදිය සියුම්ව මතුකර ඇති බව පෙනේනවා. 

 

මෙම සියලූම චිත‍්‍රවලට යොදාගත් වර්ණ සෝලියස් මෙන්ඩිස් විසින්ම අපේ රටේම ද්‍රව්‍ය උපයෝගි කරගෙන සදාගත්තා. මේවාට එළවළු, පැලෑටි, පත‍්‍ර, මකුලූ මැටි ආදිය සමගින් කල් පැවැත්ම සඳහා තවත් අමුද්‍රව්‍ය යොදාගත්තා. මේ වර්ණ දිප්තිමත් දිස්නයක් ගෙනෙන වර්ණ නොවන නිසා ඇසට පි‍්‍රය සෞම්‍ය බවක් ගෙනදෙනවා. කැලණි විහාරයේ සිතුවම් වලට අමතරව සොලියස් මැන්දිස් කලාකරුවා අතින්  ගෘහ නිර්මාණයද පිළිම ඇඹිමද සිදුවුනා. මේ අග‍්‍රගන්‍ය කලාකරුවා ඇදි සිතුවම් තිබෙන තවත් ස්ථානයක් ලෙසින් ගිරිඋල්ලේ මැද්දේපොල රජමහාවිහාරය හඳුන්වා දෙන්න පුළුවනි.


සොලියස් මැන්දිස් කලාකරුවා බොහෝ වෙහෙස වෙමින් අවුරුදු 18 ක් කැලණි විහාරයේ සිතුවම් නිමකලත් ඔහුගේ කාර්්‍යය අවසන් කරගන්නට නොහැකිවුවයි කියවෙනවා. කිසියම් හේතුවක් නිසා කැලණි නව වෙහෙරේ බුදු පිලිමයේ පසුබිම් චිත‍්‍ර ඇදිමට විදේශික චිත‍්‍ර ශිල්පියෙකුට පැවරුවා. ඉන් බොහෝ සිත් වේදනාවකට පත්වෙච්චි අපේ කලාකරුවා නිහඬව පලංචියෙන් බැස යන්නට ගියා. ඔහුට ඇතිවු සිත්වේදනාව නිසා යළි කිසි දිනෙක සිතුවම් ඇන්දේ නැහැයි කියවෙනවා. 


ඔහුගේ අවසන් කාලයේ තමන් සතු සියලූ වස්තුන් අසරණයන් සඳහා කැප කෙරේව්වා. තමන් පදිංචිව සිටි මාදම්පේ නිවස පිරිමි අනාථ ළමුන් සඳහා පරිත්‍යාග කළා. එ් නිවාසයේ නඩත්තුව වෙනුවෙන් තමන්ගේ අක්කර 85 ක පොල්වත්තද පවරාදුන්නා. මහවැව සිව්රාජ අනාථ නිවාසය තමයි ඔහු පරිත්‍යාග කරපු නිවස. අද මේ නිවස අඳ ගොළු බිහිරි ළමුන්ට රැකවරණය දෙන නිවාසයක්.

කිසිදු  ප‍්‍රසිද්ධියකට කැමති නැති මේ නිරහංකාර කලාකාමියා අවුරුදු 78 ක් ආයුවලදා 1975 සැප්තැම්බර්  01 වෙනිදා අප අතරින් වෙන්ව ගියා. 2016 සැප්තැම්බර් 01 වෙනිදාට ඔහු මිය ගිහින් අවුරුදු 41 වෙනවා.  ඉතිං අපිත් මේ සැප්තැම්බර් 1 යමු කැලණි විහාරයට ගිහිල්ලා වෙහෙර වැඳපුදාගෙන විහාරයේ සේලියස් මැන්දිස් කලාකරුවා ඇදි සිතුවම් ටිකත් නරඹමු. හැබැයි අමතක කරන්න එපා අවුරුදු 41ට කලින් වියෝවුනු අපේ නිරහංකාර අග‍්‍රගන්‍ය කලාකරුවාට පිංපෙත් පමුනවලා ඔහුට නිවනේ අමාඵල බලන්න ප‍්‍රර්ථනා කරන්න.  


මගේ නොවන මගේම කැබිනය හා මිලේනියම් එක සැමරිම - සයුරේ දසවසක්

මාගේ තුන්වන නෞකාව වූ කුමණේ සිටියදි 1999 වසරේ   ජනාධිපතිවරණය   පැවැත්වු අයුරුත් අපත් එයට සමගාමිව  ජනාධිපතිවරණය ක් පවත්වූ අයුරු පෙර ලියා ඇත්තෙ...