Wednesday, July 13, 2016

අබිං විකුණන්න බලපත‍්‍ර දුන් කොළොම්පුරේ නගර සභාව



කොළොම්පුරේ නගර සභාව කියන්නේ ලංකාවේ වසර 150 ක ඉතිහාසයක් තියෙන පැරණිතම හා ප‍්‍රමුඛතම පලාත්පාලන ආයතනය කියලා ඔයාලා දන්නවාද? ඔන්න මම කොළොම්පුර සවාරියෙන් යන්න හදන්නේ කොළඹ නගර සභාව දිහාවටයි. එකතුවෙන්න මාත් එක්ක නගර සභාවේ අතීතයට ගොඩවැදිලා එන්න. 



 බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ පාළනයට යටත්වෙලා තිබුන අපේ රටේ ඇතිවෙච්චි කැරලි හා විරෝධතා නිසා යම් තරමකට හරි ස්වයං පාලන ක‍්‍රමයක් ලබාදෙන්නට බි‍්‍රතාන්‍යයන්ට අවශ්‍යවෙලා තිබුණා. එ් නිසා කොළඹට නගර සභාවක් ලබා දෙන්න  ඕනේ කියලා බි‍්‍රතාන්‍ය පාර්ලිමෙන්තුවේදි ඔවුන් යොජනාවක් සම්මත කරගත්තා. එ් 1850 වර්ෂයේදි. වර්ෂ 1865  නොවැම්බර්  25 දින ප‍්‍රසිද්ධ කරපු නිවේදනයක් මගින් කොළඹ නගර සභාව පිහිටුවනු ලැබුවා. නගර සභාවේ මුල්ම නාගරික සිමාවන් විදිහට කොල්ලූපිටිය, කොම්පඤ්ඤ වීදිය, කොළඹ කොටුව, ශාන්ත සෙබස්තියන්, පිටකොටුව, ශාන්ත පාවුලූ පෙදෙස, කොටහේන, නිව් බසාර් සහ මරදාන තමයි අයත්වූනේ.
නාගරික මන්ත‍්‍රිවරුන් ලෙසන් ඉදිරිපත්විමට සුදුසුකම් ඇති පුද්ගලයින් පිළිබඳ ලේඛනයක් සකස් කරන්නට 1865 දෙසැම්බර් 08 දින කොළඹ කච්චේරියේ විශේෂ රැස්විමක්ද පැවැත්වූවා. මේ රැස්විමට සහභාගිවූවන් ගේ කමිටුව විසින්  පිළියෙල කරගත් ලැයිස්තුව දවස් 14ක් පුරා කොළඹ කච්චේරියේ ප‍්‍රසිද්ධ කෙරුවා. ඊට පස්සේ නාගරික මන්ත‍්‍රීවරුන් තොරාගැනිම සඳහා රැස්විම ඉදිරියේදි පැවැත්වෙන බව පත්තරවලත් ගැසට් එකෙත් පලකෙරුවා. 



පැරණි නගර සභා ගොඩනැගිල්ල

නාගරික මන්ති‍්‍රවරුන් පත්කරගන්නට මුල්ම රැස්විම 1866 වරෂයේදි ජනවාරි 12 ,13 සහ 15 දවස්වල පැවැත්වූවා. මේ මැතිවරණය පැවැත්වුයේ ආසන නවයක් වෙනුවෙන් පහතින් දැක්වෙන්නේ මුලින්ම නාගරික මන්ත‍්‍රිවරුන් පත්වෙච්චි කට්ටියගේ නම්.
සි.එල් ෆර්ඩිනැන්ඩිස් (කොල්ලූපිටිය) 
දොස්තර ඇෆ්. ඩබ්ලිව් විල්ස්ෆෝඞ් (කොම්පඤඤ වීදිය)
ජේ.ඩබ්ලිව්. වෙන් (කොටුව) 
එෆ්. ජේ. ද සේරම් (ශාන්ත බස්තියම)
දොස්තර ජේ. ඩබ්ලිව්. වෑන් ගේසල් ( පිටකොටුව)
එස්. තම්බයියා (ශාන්ත පාවුලූ)
සි.එ්. ලෝරන්ස් (කොටහේන)
ජේ.ඩි. අල්විස් (නිව් බසාර්)
එෆ්. සී. ලූස් (මරදාන)



පැරණි නගර සභා ගොඩනැගිල්ලේ මුල්ම නාගරික මන්ති‍්‍රවරුන්ගේ රැස්විම පැවත්වූ හැටි අදටත් අපට බලාගන්න පුළුවන්

ආණ්ඩුකාරවරයා විසින් නාගරික මන්ත‍්‍රිවරුන් ලෙසින් තවත් පස්දෙනෙක්  පත්කෙරුවා. 
සි. පි. ලෙයාර්ඞ් (බස්නාහිර පළාතේ රජයේ දිසාපති )
දොස්තර ඩබ්ලිව්. පි. චාර්ස්ලි (ප‍්‍රධාන සිවිල් වෛද්‍ය නිලධාරි)
එච්. එ්. එවට් (මහාමාර්ග කොමසාරිස් )
ටි. බර්වික් (නියෝජ්‍ය රාජ්‍ය නීතිඥ)
ජේ.ජේ. ග‍්‍රින්ලින්ග්ටන් (සර්වේ ජනරාල්ගේ සහායක)
නිතරගයෙන්ම මේ නගර සභාවේ සභාපති ධූරයට  සි. පි. ලෙයාර්ඞ් (බස්නාහිර පළාතේ රජයේ දිසාපති ) පත්වුනා. ලේකම් ලෙසින් සැමුවෙල් ග්‍රෙනියර් පත් කරගත්තා. මේ පස්දෙනාම පස්සේ කාලෙක නයිට් නාමයන්ගෙන් පුදනු ලැබුවා. 

1866 අපේ‍්‍රල් 05 දින මුදල් හා ආදායම් එකතු කිරිම, සෞඛ්‍ය හා පොලීසිය, මහජන වැඩ, නීති, සාමාන්‍ය කටයුතුවශයෙන් වෙන් කෙරුණු ස්ථාවර කාරක ස්‍යා පහක් පත්කෙරුණා. 1887 දි සම්මත කරගත් නගර සභා අඥාපනතට අනුව ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳ දැනිමක් නැති කිසිවෙකුටත් නගර සභා නියෝජිතයෙක් වෙන්න අවසරයක් තිබුනේ නෑ. කොළඹ මහ නගර සභා මන්ත‍්‍රීවරයෙක් වෙන්න ඉදිරිපත්වෙන එක්කෙනාට රුපියල් 5000 ක වටිනාකමක නිශ්චල දේපළක් අයිතිවෙන්න හරි රුපියල් 500 ක ආදායමක් තියෙන ගෙදරක පදිංචිවෙලා ඉන්න  ඕනේ. 
1910 අංක 06 දරන නාගරික සභා පනත මගින් මෙතෙක් පැවති නාගරික සීමාවන් තවත් පුළුල් කෙරුවා. 1935 අංක 06 දරන නාගරික සභා අඥා පනතින් නගරාධිපති වරයාද නියෝජ්‍ය නගරාධිපතිවරයාද තෝරාපත් කරගන්නට ඉඩකඩ සැලසුනා. එවාගේම නාගරික කොට්ඨාශ 20ක් දක්වා පළල් කෙරුණා.  

1947දි කොළඹ නගර සභාව විසුරවා හැරලා නාගරික කොමසාරිස්වරයෙකු යටතට පත් කිරිම ද දේශපාලන පක්ෂ බොහෝමයක්ගේ දෝෂාරෝපනයන්ට ලක්වෙන්නත් සිදුවූනා.  1963 දි පළාත් පාලන ඇමතිවරයා විසින් ගෙන ආ යෝජනාවකට අනුව කොළඹ නගර සභා ඡන්ද කොට්ඨාශ 47 දක්වාත් වැඩි කෙරුණා. 
1866 සිට 1937 දක්වා වසර 71 නගර සභාවේ පාලනය තිබුනේ යුරෝපියන් අතේ. 1937 දි කොළඹ නගර සභාවේ පළමු ලාංකික මන්ත‍්‍රිවරයා මෙන්ම ප‍්‍රථම නගරාධිපති ධුරයද රතනසෝති සරවනුමුත්තු මහතා ලැබුවා. 

කොළඹ නගර සභාවේ පළමු අවුරුද්දේ ආදායම ලෙස රන්පවුම් 6429 ලැබුවා කියනවා. 1872 රුපියල් සත ලංකාවට හඳුන්වාදිමත් එක්කම අදායම වුයේ රුපියල් 29,444 ක්. මේ කාලේ නගර සභාවේ ප‍්‍රධාන අදායම් මාර්ගයවුයේ තක්සේරු වරිපණම් බදු, වාහන සහ සත්ව බදු, විදී රේන්ද බදු, පාලම් හා ඇළවල් බදු, සත්ව ඝාතන බලපත‍්‍ර, ප‍්‍රවාහන බදු,වයින් හා සිල්ළර වොළද බලපත‍්‍ර, තුවක්කු බලපත‍්‍ර, මුද්දර ගාස්තු, මස්මඩු ගාස්තු, පොලිස් හා මහෙස්ත‍්‍රාත් වරුන් විසින් අයකරන ගාස්තු ආදියයි. 

 නගර සභාවට අයවිය යුතු ගාස්තු මුදල් ලබාගැනිම සඳහාත් නිති ආදිය ක‍්‍රියාත්මක වෙනවාද බැලීම සඳහා නගර සභා ගොඩනැගිල්ලේ ඇතුලේ උසාවියක්ද පවත්වාගෙන ගියා. මේ උසාවිය සෑම දිනකම රැුස්වුනා. මේ උසාවියෙන් විවිධ පැමිණිලි විභාගයට ගත්තා. දඩ ගැසීම් වලින් විශාල අදායමක්ද නගර සභාව ලැබුවා. 



මේ කොළඹ නගර සභාවෙන් කරපු සුවිශේෂ කාර්්‍යයන් ගොඩාක් තියෙනවා. 1870 අපේ‍්‍රල් 22 දිනයේ දි පිටකොටුව එඩින්බරෝ වෙළඳ පොළ සඳහා එඩින්බරෝ ආධිපාදවරයා විසින් මුල්ගල තැබුනා. 1892 දි පමණ පළමු ගල් තලන යන්ත‍්‍රයක් නගර සභාව වෙත මිලදීගත්තා. මේ අවුරුද්දේම කොළඹ කනත්ත හා මාදම්පිටිය කනත්තද නගර සභාවට පවරාගත්තා. 1893 වසරේදි ශාන්ත ජෝන් මාළු වෙළඳ පොළ රුපියල් 17500 ක මුදලක් යොදවා ඉදි කෙරේව්වා. කොළඹ නගරයේ කොටසක් විදීපහන් කණු යොදවා ආලෝකමක් කෙරුවේ 1897 දි . තවත් අවුරුදු දෙකට පස්සේ අවුරුද්දකට එක් විදී පහනක් නඩත්තු කිරිම  සඳහා රුපියල් 45 ක සේවා ගිවිසුමක් යටතේ විදී පහන් 2000කින් කොළඹ නගරය ආලෝකමත් කරවන්නට කොළඹ ගෑස් සමාගම එක්ක ගිවිසුමක් ඇතිකරගත්තා. මේ අවුරුද්දේම තමයි කොළොම්පුරයේ විදුලි ට‍්‍රෑම් රථ සේවාව ආරම්භකලේ.

 1943දි බවුස්ටඞ් සමාගමට රුපියල් 3, 663, 443 ක මුදලක් ට‍්‍රෑම් කාර් සේවාව නගර සභාවට පවරාගත්තා. 1954 දි ට්‍රොලි බස් සේවාව ඇති කරපු හින්දා ට‍්‍රෑම් කාර් සේවය නැතිවෙලා ගියා.  

 දන්නවාද කොළඹ නගරයේ අබිං විකුණන්නත් නගර සභාවෙන් බලපත‍්‍ර ලබාදීලා තිබුණා කියලා? අබිං වෙළදාමට හා අරක්කු තැබෑරුම් වලට බලපත‍්‍ර දීමෙන් නගර සභාව විශාල අදායමක් උපයාගත්තා. කොළඹ නගරයට ලබුගම ජලාශයෙන් නල මගින් ජලය පොම්ප කර ජලසම්පාදන කටයුතුද 1905 ජනවාරි පලමුවෙනිදා සිට කසළ ශෝධන කි‍්‍රයාවන්ද නගර සභාව පවත්වාගෙන යන්නට පටන්ගත්තා.  

මේ සියවස් එකහාමාරක් පැරණි නගර සභාවේ තවත් කරපු කියපු දේවල් ගැන කියන්න ගොඩාක් දේවල් තිබ්බත් එතකොට මේ ලිපිය කියවන ඔයාලත් නීරස වෙන හින්දා පස්සේ දවසක එ්වාත් අරගෙන එන්න හිතාගෙන කොළඹ හතේ විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිට අලංකාර මන්දිරයක තියෙන අපේ කොළොම්පුර නගර සභා ගොඩනැගිල්ලෙන් එළියට බැස්සා.    
       




4 comments:

  1. සයිමන් දොරකඩ ගැනත් ලියමු ඔහොමම..

    ReplyDelete
  2. ඔව් කයිමන් දොරකඩ ගැනත් ලියන්න තමයි ඉන්නේ. තව කරුණු හොයනවා. ලියන්න කාලය මදිකමයි ලොකුම දේ

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

ප්‍රචන්ඩ රළ මැද අනතුරක් - සයුරේ දසවසක්

දස වසරක මාගේ නාවික දිවියේ ලැබූ අත්දැකීම් හා සිදුවීම් බොහොමයි. ඒවා හොඳ හා නරක සම්මිශ්‍රණයක් වෙනවා. මෙතැන් පටන් ලියවෙන්නේ නාවිකයෙක්ගේ නාවික දි...