Tuesday, July 5, 2016

සිංහලයන්ගෙන් බේරෙන්න පෘතුග‍්‍රීසීන් හදපු බේරේ වැව

කාලෙකට ඉස්සර බේරේ වැව ගැන නම කියනකොටම කවුරුත් නහය වහගත්තා. පසුගිය කාලේ බේරේ වැව හාරලා වැව රවුම සුද්ද බුද්ද කරලා මැද තියෙන දුපතේ අලංකාර රවුම් වහලක් එක්ක එ් දුපතට යන්න එන්න එල්ලෙන පාලමකුත් දැම්මාට පස්සේ නහය වහගත්තු උදවියටත් ජපන් ජබර හැදිලා කුණු වලින් පිරිලා එහෙම ගඳ ගහපු කාලයක් තිබුණා කියලත් අමතකවුනා නේද? එත් ආදිකාලේ බේරේ වැව කියන්නේ සුද්දෝ සුද්දියෝ වසඟයට ගත්තු ඉතා පිරිසිදු අති රමණිය අලංකාර වැවක්. ඔන්න එහෙනම් එ් අතීතයට පොඞ්ඩක් ගොඩවැදෙමු. 

වර්ෂ 1518 දි පමණ කොළඹ පෘතුග‍්‍රීසීන්ගේ යටතට පත්වෙලා තිබුනේ. කෝට්ටේ විජයබාහු රජතුමාගේ සිංහල සේනාවන්ගේ අක‍්‍රමණයන්ට බලකොටුවට වෙලා තමන්ගේ තුවක්කු වලින් එවා පරාජය කෙරුවත් සිංහල හමුදාවන්ගේ නිරන්තර ප‍්‍රහාරයන්ට ලක්වෙන්න පෘතුගි‍්‍රසින්ට සිද්ධවුනා. ඉතිං මේ ප‍්‍රහාර වලින් ගැලවෙන්න බලකොටුව වටා දිය අගලක් කපන්න තිරණය කලා. බලකොටුවේ බටහිර පැත්ත මුහුදෙන් ආවරණය වුනත් අනෙක් පැති වගුරු බිමකින් තමයි තිබුනේ. පෘතුගී‍්‍රසී හමුදාව ඉක්මණට දිය අගල කැපුවත් එකට දෙන්න හොඳ ස්භාවික ජල පහරක් තිබුනේ නෑ. දවසක් සිංහල සේනාවන්ගේ ප‍්‍රහාරයකට ලක්වෙච්චි පෘතුගී‍්‍රසී කපිතාන් ලොපෝ ද බි‍්‍රටෝ ඇතුලූ සොල්දාදුවෝ මුතුරාජ වෙල පැත්තට දිව්වා. එහිදි ඔවුන්ට කදිම ජල පහරක් හමුවුනා. මේ ජලපහර දෙමටගොඩ කඳුගැටයත් සාන්ත බස්තියම කඳුගැටයත් අතරින් සාගරයට ගලා බැස්සා. ඉතිං මේ විශාල දිය පහර එයාලා කලින් කැපු අගල එක්ක එකතු කරලා 1521 දි මේ බේරේ වැව හැදුවා. අක්කර 400ක් විතර විශාල වුන මේ වැව නිසා කොටුවෙන් පිටකොටුවට යන්න වුනෙත් මේ වැවේ ගමනාගමනය කරපු ඔරු පාරු වලින් තමයි.  එ් කාලේ මේ බේරේ වැව මුහුදට වැටුනේ බලකොටුව ගොඩබිමින් වෙන් කරමින් බටහිර පැත්තෙන් සෙන්ට් ජොන් ඇළත් නැගෙනහිර පැත්තෙන් කයිමන් ගෙට්ටුව අසළින්. මේ බේරේවැව පතුලට හින්දලා බලකොටුව අල්ලාගන්න සිතාවක මායාදුන්නේ රජ්ජුරුවො කිහිපසැරයක් උත්සාහ කලා. පසුකාලෙක එයාගේ පුතාවු රාජසිංහ රජ්ජුරුවො පතුලට හින්දුවා කියලා පොත් පත්වල සඳහන් වෙනවා. මේ බේරේ වැව පෘතුගී‍්‍රසීන් එයාලගේ ආරක්ෂාවට පවුරක් ලෙසින් යොදාගත්තා විතරක් නෙමෙයි බඩු භාන්ඩ ප‍්‍රවාහණයටත් යොදාගත්තා. කොටුවට පිටකොටුවට පළතුරු එළවළු ප‍්‍රවාහණය කරලා අවට නගරවලටත් බෙදාහරින්න මේ වැව උපයෝගිකරගත්තා. එ් වාගෙම මේ වැව පුරාම කිඹුල්ලූත් හිටියා. කයිමන් දොරකඩට නම වැටුනෙත් මේ බේරේ වැවේ ඇළක හිටපු කිඹුල්ලූ නිසා. 1665 දි ලන්දේසීන්ගේ ආක‍්‍රමණයන්ට ලක්වෙද්දි මේ බේරේවැව හරහා අවශ්‍ය දව්‍ය නිරන්තරයෙන් අරගෙන ආවා. 


ලන්දේසීන්ගේ පාලන කාලේදි මේ වැව තවත් විශාල කලා. එ් පෘතුග‍්‍රීසීන් හදපු බලකොටුවේ තුනෙන් එකක් විතර වැවට යට කරලා කුඩා කරලා දැම්මා. පසුකාලිනව මේ වැව කෙන්ද්‍රකරගනිමින් ඉතා පුළුල් වු කාර්්‍යක්ෂම ඇළ මාර්ග පද්ධතියක් නිර්මාණය වුනා. වැවට නැගෙනහිරින් වු සාන්ත බස්තියන් කන්ද කපා දමා වැව කැළණි ගඟට සම්බන්ධ කෙරෙන සාන්ත බස්තියන් ඇළ නිර්මාණය කෙරුවා. දකුණු පැත්තෙන් බොල්ගොඩ බොල්ගොඩ  කිරුළපන ඇළවල් හරහා වැව පානදුර ගඟට සම්බන්ධ කරණු ලැබුනා. එක පසුව කළුගඟටත් සම්බන්ධවුනා. මේ මුළු ඇළ මාර්ග ජාලය තුලින් ඇතිවු ජල පද්ධතිය හරහා  භාන්ඩ හා මගී ප‍්‍රවාහණ සේවයක් ඇති කෙරෙව්වා. එ් නිසා රත්නපුරයේ ඉදලා බඩු භාන්ඩ කළුගඟ ඔස්සේ පාරු මගින් කොළඹ කෙටුවට අරගෙන එන්නත් පුළුවන් කම තිබුනා. මේ වැවේ පිටාර ජළය බැසයාම පාළනය කරන්නත් ගේට්ටු පවා ලන්දේසීන් හදලා තියෙනවා.

එ් කාලේ මේ බේරේ වැවට කිව්වේ කොළඹ වැව කියලා. 1920 දි පවා කොළඹ සිතියම් වල තිබුනෙත් කොළඹ වැව (Colombo Lake) නමින් තමයි. මේ වැවට බේරේ වැව කියලා නම වැටුන හැටි නම් කවුරුත් හරියටම දන්නේ නෑ. සමහරුන් කියන්නේ පෘතුග‍්‍රීසීන් ගේ බේරේ (Beira) නම් ඉන්ජිනේරුවා වැව හදවන්න මුලික උනා හින්දා එයාගේ නම දැම්මා කියලා.  තවත් එකක් නම් ඞී බියර් (De Beer)නම් ලන්දේසී ඉන්ජිනේරුවාගේ නමින් බිදිලා ආපු වචනයක් කියලා. බොට්ටු නැංගුරම් දාන ස්ථානයට කියන ඩිබියර් යන වචනින් බේරේ යන්න බිඳිලා ආවා කියනවා.

මේ වැව ඉංගී‍්‍රසින්ගේ පාළන කාලයේදි ඔවුන්ගේ උත්සව වලටත් ජලකි‍්‍රඩා වලටත් යොදාගත්තා. එතකොට නම් දැන් කාලේ වාගේ වැවේ ජලය දුෂණය වෙලා තිබුණේ නෑ. හැබැයි ඔවුන් ගේ පාළන කාලේදි  මේකේ විනාශයද ආරම්භකලා. ඔවුන් මේ වැව ගොඩකර දමමින් කොළඹ කොටුවට හා පිටකොටුව ඇතුළුවන්නට එ් පෙදෙස් වල භූමිය අත්පත් කරගත්තා. දැනට මේ බේරේ වැවේ ශේෂව තියෙන්නේ එදා කොළඹ නගරය වටා තිබුන ජල පද්ධතියෙන් ඉතා කුඩා කොටසක් පමණයි.

5 comments:

  1. බේරෙ වැවට තාමත් තැන් තැන් වලින් කුණු එකතු වෙනවා. මේ දේවල් දවස ගානෙ දැක්කත් ඒවයේ ඉතිහාසය දන්නෙ අල්ප දෙනයි. මේ දැනුම බෙදාගැනීම ගැන ඔබට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.

    ReplyDelete
  2. ඉස්සර මම වැඩකරා කොළඹ රොවින් ක්ලබ් එක එහා පැත්තේ තිබුණු බිල්ඩින් එකේ, සොෆ්ටෙක් කියල කොම්පැනියක ... අපි නිතරම ඔය පැත්ත බලාගෙන ඉන්නවා වැරදිලාවත් කවුරුහරි රොවින් කරන එකෙක් වැටෙයිද කියල වැවට :)

    ඒ දවස් වල නම් ගන්දස්සාරේ බැරුවා !

    ReplyDelete
    Replies
    1. කෙල්ලෝ දිහා බලන් ඉදලා හු හු හු...

      Delete
  3. අපූරු විස්තරයක්........

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

ස්ටේෂන් පෙන්නීම

      ඔන්න කොළොම්පුරයාගේ හිතාදර ගුරුජී අන්දුබයියාගේ විර වික්‍රම ඇඟපත සුලලිත වෙලා කිලිපොලා යන අති සුන්දර කතන්දරයක් අරන් ආවා. ඔන්න එක්තරා සෙනස...