Sunday, July 17, 2016

බිග්බෙන් ඔරලෝසුවටත් වඩා පැරණි ලංකාවේ පළමු ඔරලෝසු කණුව


එංගලන්තයේ ලන්ඩන් නුවර සුප‍්‍රකට බිග්බෙන් ඔරලෝසු කුළුණටත් වඩා පැරණි ඔරලෝසු කුළුණක් ලංකාවේ තිබෙන බව දන්නවාද? කොළොම්පුරයේ ඓතිහාසික වැදගත් කමක් දරන ස්මාරක අතරින් ප‍්‍රමුඛ ස්ථානයක් ගන්නා ලංකාවේ පළමු ඔරලෝසු කණුව පිහිටා ඇත්තේ කොළඹ කොටුවේ. කොළොම්පුරේ අතීත මතක සටහන් රැසක් නිහඬව දරාගෙන ඉන්නා මේ ප‍්‍රදිපාගාර ඔරලෝසු කණුව ජනාධිපති මන්දිරය අසල පිහිටලා තිබෙනවා. 



ඔයාලා දන්නවාද ලංකාවේ සතර අතටම දිවෙන මාර්ග පද්ධතියේ දිග ගණනය කරන්නේ මේ හෝරා ස්ථම්භයේ පාමුලින් කියලා? එ් කියන්නේ කොළඹ සිට යාපනේට දුර, කොළඹ සිට ගාල්ලට දුර සැතැපුම් ගණන කියන්නේ මෙතනින් පටන් අරගෙන තමයි.    




බි‍්‍රතාන්‍ය රජය මගින් ශ‍්‍රී ලංකාවේ පිහිටවු මේක ලක්වැසියන් කිසිදා නොදැක්ක එකක් නිසා ඔවුන්ට විශ්මය දනවන කාරණාවක් වූනා. මේ හෝරාස්ථම්භය සැලසුම් කලේ එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා වු හෙන්රි වෝඞ් මහතාගේ බිරිදයි. එමලී එලිසබෙත් වෝඞ් ආර්යාව අතිදක්ෂ චිත‍්‍ර ශිල්පිනියක් වු නිසා මේකේ සැලසුම අදින්න ආණ්ඩුකාරයා එයාට බාරදුන්නා. හැබැයි ප්ලෑන් එක ඇන්දාට කීයක් ගෙව්වාද කියලා නම් දන්නේ නෑ. 



1814 දි මේ හෝරා ස්ථම්භයට සවි කරන්න විශේෂ ඔරලෝසුවක් එංගලන්තයෙන් "ඩෙන්ට් " නම් ඔරලෝසු හදන සමාගමෙන් පවුම් 1200 ක් වියදම් කරලා අරගෙන ආවා. ඔයාලා දන්නවාද මේ ඩෙන්ට් කොම්පැනියෙන් තමයි පසු කාලෙක බිග්බෙන් ඔරලෝසුවත් හදලා තියෙන්නේ. එත් මේ හෝරා ස්ථම්භය ඉදිකිරිමේ කටයුතු ටිකෙන් ටික පස්සට ඇදිලා ගියා 1857 වෙනකම්. අවුරුදු 43 ක කාලයක් මේ ඔරලෝසුව රජයේ බඩු ගබඩාවේ තැම්පත් කරලා තිබුණා. දැන් කාලේ වගේ ගත්තු තැන දමලා මලකඩ කලා, දිරලා පොළෙවේ පස්වෙලා යන්නනොදී විශේෂ සැලකිල්ලකින් නඩත්තුකලා. එ් නිසාම මේක සවිකරන අවස්ථාව වෙනකොටත් හොඳම තත්වයේ තමයි තිබුනේ. 
හෝරා ස්ථම්භය ඉදිකරන්න බාර දුන්නේ රජයේ වැඩ දෙපාර්තුමෙන්තුවට. වැඬේ සුපර්වයිස් කලේ ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තුමෙන්තුවේ ඩිරෙක්ටර් ජනරාල් ජෝන් ෆ්ලේමින් චර්චිල් මහත්තයා.

අඩි 96 ක් උස මේ හෝරා ස්ථම්භය තමයි මුළු කොළොම්පුරේම උසම ගොඩනැගිල්ලවුනේ. 1857 මාර්තු මාසේ 25 දා ආණ්ඩුකාර හෙන්රි වෝඞ් විසින් විවෘත කලා. මේක විවෘත කර අවුරුදු 10කට පස්සේ මේ කුළුණ මුදුනේ පහනක් සවිකලේ මුහුදු ගමන් යන නාවික යාත‍්‍රාවල කොළඹ වරාය පිහිටි ඉසව්ව හඳුනාගන්න එකේ අරමුණවුනේ. එදා ඉඳලා මේ ඔරලෝසු කණුව හැඳින්වුයේ ප‍්‍රදිපාගාර ඔරලෝසු කණුව කියලා තමයි. මුල්ම කාලයේ භුමිතෙල්වලින් පත්තුවෙන පහනක් තමයි තිබුනේ. පහනින් පිටවන ආලෝකය සැතපුම් 16 ක් දුරට විහිදිලා යන විදිහට විදුරුවක් යොදාගත්තා. මේ විදුරුව නිෂ්පාදනය කලේ එංගලන්තයේ "චාන්ස් සහෝදරයෝ" සමාගමෙන්. 1907 දි ගෑස් භාවිතාව ආව හින්දා මේ පහනත් ගෑස් වලින් පත්තු කරන්න පුළුවන් විදිහට හදාගත්තා. 1933 දි විදුලි බලයෙන් මේ ප‍්‍රදිපාගාර පහන දල්වන්න පටන්ගත්තා. ඉටිපන්දම් 1500 ක විදුලි එළියක් ඉන් නිකුත් කරන්නට මේ විදුලිබලය හින්දා පුළුවන් වෙලා තියෙනවා. 



ඔන්න ඉතිං ඔරලෝසුව දිවා රාත‍්‍රි නොබලා අවුරුදු පනහක්ම එක දිගට දිව්වාට පස්සේ ලෙඩ දෙන්න පටන් ගත්තා. 1907 අවුරුද්දේදි පමණ තමයි ඔරලෝසුව ලෙඩ වෙන්න පටන් ගත්තේ. මේ පරණ ඔරලෝසුව අයින් කරන්න සිදුවුනා. අළුත් ඔරලෝසුවක් එංගලන්තයෙන් ගෙන්නලා 1913 ඔක්තොම්බර් 22 දා කුළුනේ සවිකෙරුවා. මේ අළුත් ඔරලෝසුව පරණ එකට වඩා ටිකක් ලොකු හින්දා ඔරලෝසු කණුවත් රෙපෙයාර් කරන්න සිදුවෙලා තියෙනවා. ඉතිං මේ රෙපෙයාර් වලින් පස්සේ පළමු ලෝක යුද්ධය ආරම්භ වෙන්න ඔන්න මෙන්න තියලා 1914 අපේ‍්‍රල් 04 වෙනදා මේක ආයෙමත් විවෘත කලා. 



මේ අළුත් ඔරලෝසුවේ මුහුණත අඩි හයක් දිගැති දිළිසෙන පලිඟු විදුරුවක් සවිකරලා තියෙනවා. පැයෙන් පැයට නාද වෙන්න කිලෝ 250ක් බර ප‍්‍රධාන සීනුවක් හා පැය කාලෙන් කාලට නාදවෙන්න කිලෝ 152ක් බර කුඩා සීනු දෙකක්ද එහි සවිකර තිබෙනවා.  
  
1952 අවුරුද්දේ ජුලි මාසේ 12 සිට මේ ප‍්‍රදිපාගාර පහනේ කි‍්‍රයාකාරිත්වය නවත්තලා දැම්මා. එ් වරායේ නව ප‍්‍රදිපාගාරය විවෘත කරපු හින්දා විතරක් නෙමෙයි පසුකාලෙක ගොඩනැගුනු අවට ගොඩනැගිලි වලින් මේ ඔරලෝසු කණුවේ පහන ආවරණය වෙන හින්දායි. දැන් මේ ප‍්‍රදිපාගාර පහන වැඩ නොකලත් ඔරලෝසුව නම් තාමත් තිතට වැඩ. ලන්ඩන් නුවර බිග්බෙන් ඔරලෝසු කුළුණටත් වඩා පරණ අවුරුදු දෙකක් වැඩිමල් අපේ ලංකාවේ පළමු විතරක් නෙමෙයි ලෝකේටම තියන එකම ප‍්‍රදිපාගාර ඔරලෝසු කණුව කොළොම්පුරේ අභිමානය වැඩි කරමින් අතීත රහස් රැසක් හංගාගෙන නිහඬව වේලාව දක්වනවා.   



3 comments:

අදහස් මෙතන නිදහස් කරන්න

මෙන්න ඒ ගීත 10

ගියවර පොස්ටුවෙන් ඇහැව්වා සිංහල ගීත10 ක් පුළුවන්ද නම් කරන්න කියා. නමිනං උන්නැහැ ගීත දෙකක් ද කොළඹ ගමරාල අප්පුහාමි එක ගීතයක් ද හා වෘත්තාන්ත බ්ල...