Sunday, August 2, 2020

කොන්ඩය කැපිල්ල හා චමින්දයාගේ රෙදි සේදිල්ල - සයුරේ දසවසක් - 17


Posted: 01 Dec 2019 07:27 PM PST


           මා සමගින් අමනාපයෙන් පසුවු එඩිසන් හා බක සිල්වා ඇතුලු කිහිප දෙනෙක් බලාසිටියේ පලිගැනිමට අවස්ථාවක් ලැබෙන තෙක්ය. විශ්ව විද්‍යාලයන් හි පවතින පළමු වසරේ නවක සිසු සිසුවියන් හට ලබා දෙන නවක වදය අවසන් වන්නේ බකට් කිරිමෙන් (නැහැවිමෙන්) පසුවය.  බකට් කිරිම වැනි අපගේ සමාගම සතු නැව් වල තිබු චාරිත‍්‍රයක් වුයේ පලමුවෙන් නැවියෙකු වශයෙන් නැවකට නගින ආධුනිකයන්ගේ කොන්ඩය කපා දැමිමත් එයත් සමගින් විවිධකාරයේ කි‍්‍රයාවන් සිදුකරන්නට කියා පොඩි නවක වදයක් දිමද සිදු කරනු බලයි. මෙම අවස්ථාව සිදු කරන්නේ  ඉහළ නිලධාරින්ද දැනුවත්ව එබි නැවියන් විසිනුයි. කොන්ඩය කැපිල්ලෙන් පසුව නැවේ කපිතාන්වරයා විසින් පාටියක් ලබා දිමත් එහි එක අංගයක් විය. මෙහිදි මත්පැන් බොන්නට අවසර නොමැති ආධුනිකයන්ට හොද හැටි බොන්නටද නොබොන කුලෑටි අයෙකුට ඇදගෙන වැටෙන තුරු පෙවිමද සිදුවිය. පුහුණු පාසලෙන් පිටත්වු අප සහෝදර මිත‍්‍රයන් සමගින් නැව් නගින්නට මා හට වැලදුනු අසනිපය ඉඩදුන්නේ නැත. එබැවින් කඞ්ඩාගේ කොන්ඩය කපා තිබුනේ මා නැවට එක්වෙන්නටත් ප‍්‍රථමයෙනි. අතර මගදි පැමිණි මා වෙනුවෙන්ම කොන්ඩා කැපිල්ලක් යොදාගන්නට නොහැකිවු බැවින් කොන්ඩය කැපිල්ලෙන් බේරි මාස කිහිපයක් සිටින්නට හැකිවිය. එකනායකද නැවේ සේවයට පැමිණ දින කිහිපයකින් තවත් ඔහුගේ බැච් එකේ ආධුනිකයින් කිහිප දෙනෙක් නැවේ සේවයට එක්වුනි. ති‍්‍රකුනාමල වරායෙන් ඔවුන් නෞකාවේ සේවය සදහා එක්විය. මෙතෙක් දිනක් යටපත්වි තිබුනු කොන්ඩය කැපිමේ කතාව ඉන් දින කිහිපයකට පසුව කරලියට පැමිනුනේය. 
වට කරගෙන කැපිල්ලෙත් හොදම කැපිල්ල


”ලැස්තිවෙලා හිටපන් හෙටානිද්දාට උඹෙත් කොන්ඩය කපාගන්න.”
බක සිල්වා මාහට පැවසීය.
”එහෙම කොහොමද මම ඇවිල්ලා දැන් මාස ගානක් වෙනවා. දැන් කපන්නේ මොකටද? මගේ කොන්ඬේ කපන්න තිබුනේ ආපු දවස්වලමයි.”
මගේ විරුද්ධවය ඔහුට පා එතැනින් ඉක්මනින් පිටවගියේ ඔහුත් සමගින් තවත් කථාබහ කිරිම නොවටිනා බැවින්ය. ති‍්‍රකුණාමලයෙදි ගොඩබිම් නිවාඩුව ලැබ ටවුම පැත්තේ ඇවිද එන්නට ලැබු පලමු අවස්ථාවේදිම අසල තිබු දෙමළ සැලුනයකට ගොඩවුනිමි. ඒවන තෙක් තරමකට වැවුනු මාගේ කොන්ඩය ඉතා කෙටිවන තෙක් කපා දමා ගත්තේ ඔවුන්ට කපා දමන්නට කිසිවක් ඉතිරි නොවන ලෙසින්ය.
 ”මෙන්න මු කොන්ඩය කොට වෙන්න කපන් ඇවිල්ලා.”
එදා රාත‍්‍රි කෑමට මෙස් කාමරයට ආ මා දැක වෙල්ඩරයා අනෙක් අයට පැවසීය.
”හිතුවාද උඹ කොන්ඩය කපං ආවාම උඹේ කොන්ඩය නොකපා ඉදියි කියලා.”
”මු හෙන මරිසියා. මුගේ කොන්ඩය බූ ගාලා දාන්න ඔනේ.”
බක සිල්වා පැවසීය.
”මම ආපු දවසේ ඉදන්නේ කොන්ඩේ කපනවා කියන්නේ. දැන් ඔයාලා කොන්ඩේ කපනකම් මම කොන්ඩය නොකපා බලාගෙන ඉන්නද ඔනේ? ”
එහෙත් මාගේ විරෝධය ඔහු තම වාසියට ගත් අතර මගෙන් පලිගැනිමට තිබු හොදම අවස්ථාව ලෙසින් එය යොදාගන්නට උත්සහා දැරුවේ තවත් එබි වරුන් සහායට ගනිමින්ය. නැවේ සේවයට එක්වු මුල් මාස කිහිපයේ මා සමගින් ඉතා හිතවත්ව සිටි එබි හා ආධුනික එබි වරු ඉතා ඉක්මනින් අමනාපවන්නට මුල්වුයේද මේ බක සිල්වාගේ කේලාම් හා බොරුකිම් අනුවය. සමහරුන් මුහුණට හමුවි කථාබස් කලද පෙර පරිදිම හිතවත්කම් යහළුකම් පවත්වාගෙන ගියේ නැත. එහෙත් කෙසේ හෝ මගේ කොන්ඩය කපා දමනා බව කියනා කතාබස්වලදි තදබල විරෝධයක් නොපා විහිළුවෙන් මෙන් එයට අකමැත්ත පල කරන්නට උත්සාහ කලෙමි.
"අද දෙන්නම් දොඹෙන් යන්න"
පලිගන්නට හොදම අවස්ථාවක් කරගෙන


                            කොන්ඩය කපනා කතාව යටපත් වෙමින් යළිදු මතු වෙමින් තිබුනි. ති‍්‍රකුණාමලයේදි කොන්ඩය කපන්නට නොහැකිවුයේ අප යළිත් කේ කේ එස් හෙවත් කන්කසන්තුරය බලා යාත‍්‍රා කරන්නට සිදුවු බැවින්ය. කොන්ඩය කපන්නට යොදාගත් දිනයද ඉක්මනින් උදාවිය. කන්කසන්තුරය වරායේ පාන් පිටි බැමක් නොතිබුනු ඉරිදා දිනයක සවස් වරුව එයට යොදාගෙන තිබුනි. ඒවන විට අප සිටියේ වරාය ආසන්නයේ නැංගුරම්ලාගෙනය. කොන්ඩා කැපිමේ සියළුම කාර්්‍යයන් වලට පෙරමුන ගෙන තිබුනේ එබි ලෙසින් සේවය කරන්නන්ය. නැවේ පිටුපසට අප නැවට එක්වුනු අලූත් සමාජිකයින් හා මාද ඇතුලූව සියල්ලන්ම කැදවනු ලැබිය. මුලින්ම කොන්ඩය කප්පවා නාවිකයෙකු ලෙසින් භෞතීස්ම කිරිමට අසුවුනේ අලූතින් එක්වුනු ටෙ‍්‍රනින් එබි කෙනෙකුය. ඔහුට බොලාඩයක් උඩ තක්කාලි ගෙඩියක් තබා එය උඩින් හිද ගැනිමට අණ කරනු ලැබිය. බොලාඩයේ හිදගත් ඔහුගේ කොන්ඩය එබි හා නිලධාරින් විසින් එකා බැගින් ඇවිත් තැනින් තැන කපා දමනු ලැබිය. සම්පුර්නයෙන් නොව පලින් පල කපා දැමුනු කොන්ඩයේ නැවේ වයර් කේබල් වල ආලේප කරන්නට තිබු ෆිෂ් ඔයිල් තවරන්නට විය. සමහරක්ගේ කම්මුල්වල දෙපස තින්ත වලින් නැවේ වම හා දකුණ පැත්ත ( පොර්ට් සයිඞ් හා ස්ටාර්බර්ට් සයිඞ් -port side and starboard side of ship) පෙන්වන නෙවිගේෂන් ලයිට් වල පාට වන කොල පැහැයත් තැඹිලි පැහැයත් තැවැරිය. එසේ කිහිප දෙනෙකු ගේ කැපිමෙන් අනතුරුව එකනායකගේ කොන්ඩයද කපා දැමින. ඊලගට මාගේ වාරය පැමිණි අතර මාද සිනහාවෙමින් පොඩිවි ගොස් තක්කාලි දියර තිබු බොලාඩය උඩින් වාඩි ගතිමි. පශ්චාත් භාගයට මඳ සිසිලක් දෙමින් තාක්කාලි දියර කලිසමට උරාගෙන දැනින. මගෙන් පලිගැනිමට බලා සිටි අයගේ සුදුසුම අවස්ථාව ඇරඹුනි. එන්ජින් කාමරයේ සහෝදර සේවකයින්වු ඔයිලර් වරයන්ටද මාගේ කොන්ඩය කපන්නට ඔවුන් ආරාධනා කලේය. එක ඔයිලර් කෙනෙකු විසින් හිසේ තැනක දෙකක කොන්ඩය කපා දැමිය. එන්ජින් කාමරයේ රබර් පැකින් කැපිමට ගන්නා මොට කතුරින් කොන්ඩය කැපියද්දි ඇගපුරා හිගඩු පිපුනි. ඔයිලරයාගෙන් අනතුරුව අනික් අය කොන්ඩය කපන්නට කතුර ගන්නට ප‍්‍රථම බක සිල්වා කතුර අත්පත් කරගත්තේය. ඔහු මාගේ හිස මැදින් ඉදිරි පස සිට පසුපසට තිරුවක් ලෙසින් සිටින සේ කොන්ඩය ඉතිරිකර දෙපස කපා දැමිම පටන් ගත් අතර කතුර වෙන අයෙකුට දුන්නේ තම සිතැගි ඉටුකරගත් පසුවය. ඔහු ගෙන් පසුව එකා දෙන්නා බැගින් පැමින හිස දෙපස කොන්ඩය තැනින් තැන කපා දැමිය. දැන් මාගේ හිස රොමානු සොල්දාදුවන්ගේ හිස් වැසුමක් සේ දිස්වුනි. සිරුර පුරා විසිරි දහඩියට ඇලුනු කෙස් වලින් ඇතිවුයේ සිහින් කැසිල්ලකි.   

මාගේ හිස රොමානු සොල්දාදුවන්ගේ හිස් වැසුමක් සේ




                        පලමු වතාවට නැවට එක්වුනු නිලධාරියකු වු විදුලි කාර්මිකවරයාද කොන්ඩය කපාගෙන භෞතීස්ම ලැබිය. ඔහුගේ කොන්ඩය කපා රේසරයකිින් බූ ගාදැමිද සිදුකෙරුනි. ඉන් අනතුරුව ටින් කබල් බාල්දි කොසු ඩස්ට් පෑන් ආදිය රැගෙන එවාට තඩිබාමින් පෙරහරක් මෙන් නැවේ ඉදිරියට ගමන් කරන්නට අණ ලැබින.  අපගේ පිස්සු පෙරහැර දෙස ප‍්‍රිමා ජැටියේ සිටි අයත් බලාගෙන සිටිම අපව ලැජ්ජාවකට පත් කරන්නක් වුවත් ඔවුන් නොදැක්කා සේ අපගේ පෙරහැර ඉදිරියට ගමන් කරන්නට සිදුවුනි. කවුදෝ ගෙනවිත් දුන් පොල් ගෙඩි කිහිපයක් නැවේ ඇන්කර් වින්ලස් එක අසල බොලාඩයක ගසා බිද දමන්නට ද සිදුවිනි. බිදින ලද පොල් කැබිලි ද රැගෙන යලිත් අනෙක් පැත්තෙන් නැවේ ඇකමඬේෂන් එක වෙත ගමන්කරවු අපගේ පෙරහැර කැප්ටන් ගේ කැබින් කාමරය වෙත කැදවාගෙන යන්නට විය. කැබින් කාමරයෙන් එලියට ආ කැප්ටන් ඉදිරියෙන් පෙල ගැසුනු අප හට කවුදෝ අතින් ලියු දිවුරුම් පත‍්‍රයක්ද ලැබින. තම අංශයේ අයට අවංකව හා කීකරුව සේවය කරන බව ලියවි තිබුණ එය කපිතාන් ඉදිරියට පැමිණ එකා බැගින් දිවුරුම් පත‍්‍රය කියවන්නට වුහ. මාගේ වාරයට පැමිනි පසුව මා විසින් ද එම දිවුරුම් පත‍්‍රය කියවා පොරොන්දුව ප‍්‍රකාශ කලෙමි. අනිත් අයගේ පොරෙන්දු දිම එතැනින් ඉවරවුවත් මටත් එකනායකටත් එම දිවුරුම් පත‍්‍රය රැගෙන ප‍්‍රධාන එන්ජිනේරුවරයාගේ කැබිනයට ගොස් ඔහු ඉදිරියේද යළිත් කියවන්නට සිදුවුනි.

                     සමහරුන් තම කොන්ඩයට සිදුවු විපත ගැන දුක්වුවත් මා විසින් එය ගැන කිසිවිටකත් දුක් නොගත්තෙමි. ඔවුන්ගේ  කරපු පිස්සු වැඩය ගැන සිනාසෙමින් පහලට ආ අප නාන කාමරයට ගොස් හොදින් නා පිරිසිදු විමු. සැන්දෑ කළුවර වැටෙද්දි නාවිකයින් ලෙසින් භෞතීස්ම ලැබුවන් වෙත පාටියක් ලැස්ති කර තිබුනි. කැප්ටන් වෙතින් විස්කි බෝතල් දෙකක් ද අප වෙනුවෙන් ප‍්‍රධාන එන්ජිනේරුවරයාගෙන් බෝතලයක්ද ප‍්‍රධාන නිලධාරියා ගෙන් හා බොසන් වෙතින් බෝතලයක් බැගින් පාටියට අවශ්‍ය දෑ ලැබින. කැප්ටන් ඇතුලූ සියළුම නිලධාරින් ද සහභාගිවු කොන්ඩා කැපිමේ සාදය ජයමට පැවැත්විය. සියළුම ආධුනිකයින්ට ඇති පදම් බොන්නට ලැබුනි. එන්ජින් කාමරයෙ හි වොච් එක කරනා අපහට කොතරම් බිව්වද තම රාජකාරිය හරියට සිදුකල යුතුව තිබුනි. නැව වාරය ආසන්නයේ නැංගුරම් ලාගෙන නවතා තිබු නිසා වොච් එකේ නිරත වන අයට එතරම් විශාල වැඩ කොටසක් නොවිය. අට දොලහ වොච් ඩියුටියේ නිරත ඔයිලර් සැරින් සැරේ එන්ජින් කාමරයෙන් පිටතට පැමිණ පාටියට සහභාගිවිය. මාහට අරියාදු කල අවලාද කල පුද්ගලයින් කිහිප දෙනා අතර රැදෙන්නට සිත ඉඩ නොදුන්නේ මත්පැන් පානයෙන් පසුව ඔවුන්ගේ යටි සිතේ සැගවුනු යක්ෂයා එලිබසින බැවිනි. මඳ පමණට මත්පැන් පානයෙන් පසුව සාදය පැවති අවස්ථාවේදි මා ඉක්මනින් එතැනින් ඉවත්ව ගියේ රාති‍්‍ර දොලහේ පැයේ සිට පාන්දර හතර පැය දක්වා වොච් එක කරන්නට සිදුවන බැවින් නිදාගත යුතු බව පවසමින්ය.

පාන්දර වන තෙක් ජයටම ගිය පාටිය


          ඉක්මනින් නින්දට වැටුන මා රාති‍්‍ර දොලහට  පෙර අවදි කරනු ලැබිය. එවන විටත් සාදය හමාරවි නැති බව ඉහල තට්ටුවේ සින්දු කියනා හඬින් තේරුම් ගතිමි. එකනායකගේ ඇඳ එක හිස්ව තිබු බැවින් තේරුම් ගියේ ඔහු තවමත් පාටියේ රැඳි ඇති බවය. මා සිතේ සියුම් නොරිස්සුමක්ද ඇතිවුයේ මෙපමන වේලාවක් එහි රැදිසිට මාගෙන් පසුව ඩියුටිය කලයුත්තේ ඔහුය. නිදිවරා මත් වි සිටින්නෙකු තම රාජකාරිය කරන්නේ කෙලෙසකද යන්නයි. කෙසේ නමුත් මා ඩියුටියට යන්නට ප‍්‍රථම එකනායක බඹරෙකුසේ  වැනිවැනි අවුත් ඇදට වැටුනි. පාන්දර හතරට පෙර ඔහුව අවදිකරන්නට එනවිටදි මුළු කැබින් කාමරයේ බිම විසිරි යන සේ වමනය දමා තිබුනි. කිහිප වාරයක් නැගිට්ටුවාලිමෙන් පසුව අපහසුවෙන් නැගිට ගත් ඔහු තම රාජකාරිය කරන්නට ආවේ එහෙන් මෙහෙන් කාමරයේ බිම පිසදමු පසුවය. ඔහු එනතෙක් වැඩිපුර වේලාවක් එන්ජින් කාමරයේ රැදි සිටන්නටත් ඉන් අනතුරුව කාමරයේ බිම පිසදමන්නටත් සිදුවුනි. සුපුරුදු  පරිදි නිදන්නට ප‍්‍රථම සිදුකලයුතු කාර්්‍යය වන නානකාමර පිරිසිදු කිරිමට පිටත්වුනිමි. පුදුම සහගත සිද්ධියක් වුයේ මේ පාන්දර වෙල්ඩර් චමින්දයා යට කලිසමකින් සැරසී රෙදි සෝදමින් සිටිමයි.

මහ පාන්දර රෙදි සෝදන චමින්දයා

”මොකද මේ පාන්දර රෙදි සෝදන්නේ උඹට තාමත් වෙරිද? ”
”නෑ බං මේ රෙදි වගයක් සෝදන්න දාලා තිබුනා ඒක කරන්න බැරිවුනා.”
පෙරදින රාති‍්‍රයේ තිබු අපගේ කොන්ඩය කැපිමේ පාටියේදි මත්පැන් පානය කල ඔහු ඒ වන විටත් සිටියේ වෙරිමතිනි. බිම දමා තිබු ඔහුගේ පෙරදින පාටියට ඇදපු ඇඳුම් අතරේ මාගේ උකුසු ඇසට අසුවනේ ඔහු එවන විටත් සෝදමින් සිටන්නේ ඇද රෙද්දක් බවය.
”අනේ බං උඹ මටත් මොත්තේ දානවානේ. මොකක්ද උනේ කියපං.”
”නෑ මං ඇත්ත කිව්වේ.”
චමින්දයා අපහසුවෙන් මෙන් කීවේය.
”පලයං බං බොරුව දාන්නේ නැතිව. මට මේක ක්ලීන් කරන්න තියේනවා. දන්නවානේ එඩිසනයයි බකයයි මට අරින්නනේ බලං ඉන්නේ. හිටපං මං අනිත් උන්ට කියන්නම් උඹ පාන්දර රෙදි සෝදපු හින්දා මට ක්ලින් කරන්න බැරිවුනා කියලා.”
”අනේ එපා මචං.”
”එහෙනම් මොකද උනේ කියපං. මොකද උඹ බෙට් ශිට්  හොදන්නේ? ඇයි උඹට ඇදේ බොග ගියාද?”
”අනේ මචං කාටවත් කියන්නේ නෑ කියලා පොරොන්දු වෙයන්.”
”හරි කියන්නේ නෑ. කියපං මොකක්ද කියලා.”
”මාර වැඩක්නේ උනේ. වෙරිමරගාතේ ඇඳට ඇවිත් වැටුනා දන්නේම නැතිව මට බොග ගිහිල්ලා.”
”යකෝ මමත් බැලුවා මොකක්ද මේ ගඳ කියලත්. උඹත් මාර පොරක්නේ. ”
අනෙක් වෙල්ඩරයාමෙන් මා සමගින් නොරොක් නොවුනත් චමින්දයාත් ඔවුන්ගේ පැත්තේ සිටියෙකු විය. කටින් පිට පිට පනින්නට දගලන සිනහාව තද කරගෙන සිටියේ ඉතා අපහසුවෙනි.
”උඹ මෙය රෙදි කන්ද සෝදලා ඉවර වෙනකම් මට බලාගෙන ඉන්න බෑ. මම යනවා නිදා ගන්න. උඹ රෙදි සෝදලා ඉවර වෙලා මේ බාත්රුම් එක හෝදලා පලයන් හරිද. උඹ හරියට නොකර යනවා එහෙම නොවෙයි. නැත්නම් එඩිසනයා ඇවිත් මොකක් හරි කචල් එකක් දැම්මොත් උඹේ මේ සිද්ධිය කියන්න වෙනවා. ”
මා චමින්දයාට අනතුරු ඇගෙව්වෙමි.
”හරි මං එක කරන්නම්.”
මාහට අරියාදු කල අය ගෙන් එක් කෙනෙකුට හෝ මා ඉදිරියේදිම අපහසුතාවයටන් ලක්වන්නට සිදුවිම ගැන සතුටුවෙමින් නිදා ගන්නට ගියෙමි. 

No comments:

Post a Comment

අදහස් මෙතන නිදහස් කරන්න

නෞකා තට්ටුවේ ඇති යන්ත්රෝපකරණ වර්ග Deck Machineries

  නැවක ඇති තට්ටු යන්ත්‍ර මොනවාද?  Deck Machineries  තට්ටු යන්ත්රෝපකරණ යනු යාත්‍රාවේ නිරාවරණය වූ තට්ටුවේ - Exposed Deck සවිකර හැකි යන්ත්‍ර වේ...