ඊළග නඩු දිනය තෙක්වූ මාසයක පමණ කාල වකවානුව ගෙවීගියේ අඟහිඟකම් වලින් බැට දෙමින්ය. පොරොන්ඳූවූ පරිදි පෙරකදෝරු සිල්වා මහතා රිමාන්ඩ්කර සිටි ජයවීරව ඇප පිට එළියට ගත්තේය. ඇප මුදල් බැඳ කූඩුවෙන් නිදහස්ව පිටව යන්නට ඇවිද එද්දී අනපේක්ෂිත ලෙස උසාවි භූමියේ රැදී සිටි මියගිය ළමයාගේ මව තමාලි හා ජයවීර දැක ඉදිරියට ආවේ බොහෝ කෝපයෙනි.
“උඹ නේද මගේ දරුවා මැරුවේ? ඇයි මගේ අහිංසක දරුවාට එහෙම දෙයක් කෙරුවේ? තොපිලටත් දරුවෝ ඉන්නවා නේද?”
කෝපය මුසුවූ වාග් ප්‍රහාරය හමුවේ කිසිවක් කරකියා ගත නොහැකිව ජයවීර හා තමාලි බිම බලාගත්තේය. උසාවියේ තැනින් තැන රැදී සිටි මිනිසුන් එකා දෙන්නාගේ නෙත් ඔවුන් දෙස යොමු වන්නට විණි. මියගිය ළමයාගේ පියායැයි සිතිය හැකි පුද්ගලයෙක් පැමිණ ඇයව අස්වසමින් එතැනින් රැගෙන යන්නට උත්සාහ කරන්නට වූවත් ඇය ඔහුට මෙල්ල නොවීය. ඈ දෙනෙත් කෝපයෙන් දිළිසෙමින් කඳුලුවැලක් ගලා හැලෙන්නට පටන්ගති.
“මගේ අහිංසකයා මරපු උඹට සාප වෙනවා. මම උඹව එල්ලුම්ගස් යවනවා. දෙයියෝ බුදුන් මේ අපරාදේ බලාගන්න ඕනේ.”
ඇයව එතැනින් ඉවත් කරගන්නට මියගිය ළමයාගේ පාර්ශවයේ අය උත්සාහ කරද්දී, උසාවියේ සිටි පොලීස් නිලධාරියෙක්ද වහාම එතැනට පැමිණියේය.
“ඇයි මෙතන රණ්ඩු කරන්නේ? මේක උසාවිය කියලා දන්නේ නැද්ද? අල්ලලා දානවා දෙගොල්ලෝම කුඩුවට. යනවා, යනවා ඉක්මණට මෙතැනින්.”
පොලිස් නිලධාරියා විසින් කළ තර්ජනයෙන් මඳකට මෙල්ලවූ ඇයව අනෙක් අය වෙනතකට රැගෙන යන්න විය.
“තොට සාප වෙනවා මගේ අහිංසකයා මැරුවාට. උඹලාගේ පවුල් පිටින් හැඳී ගෑවිලා යන්න ඕනේ.”
උසාවියේ පසෙකට අරන් යන අතරතුරේදී යළිත් ජයවීර දෙස හැරී බැලූ ඈ කීවා ය. ළමයාගේ මවගේ හැවිල්ලෙන් යම් තරමකට තීගැස්සුනූ තමාලි ජයවීර කැටිව ඉක්මනින් පාරට පැමිණ ත්‍රීරෝද රථයකට ගොඩවීය. මෙතෙක් කළක් නිවස වසාගෙන තිබු අඳුරු මූසල ගතිය හිරු දුටු තුහින බිඳක් සේ වියැකී ගියේය. ගෙදර ආ තාත්තා දුටු කෝලිත දුවගොස් ඇඟේ එල්ලුනේ ඉමහත් ප්‍රිතියෙනි. රිමාන්ඩ් සිට ගෙදර ආ පසුදාම ඩිපෝවට ගිය ජයවීර එනතෙක් බලා සිටි තමාලි කෝලිතව නිදි කෙරෙව්වා ය. රාත්‍රි ආහාරය ද නොගත් තමාලි ජයවීර පැමිණෙන තෙක් බලා සිට අවසානයේ නිදා සිටි ඉන්දිරා අසළින් ඇඳේ ඇළවිය. ජයවීර පැමිණෙන විට ඈට හොඳින් නින්ද ගොසින් තිබුණි. නිවසට පැමිණි ජයවීර කෙලින්ම කුස්සියට වැඳී වසා තිබූ හැලිවළං වල කරමූඩි අරිමින් කෑමට ඇත්තේ කුමක්දැයි සොයන්නට විය. හැලිවළං ඇර වසනා හඬින් අවදිවූ තමාලි කුස්සියට කර පොවා බැලීය. බීමතින් පැමිණ කුස්සියේ කරණ විකාර දුටු ඇගේ කෝපය ඉක්මනින් නැඟ ආවේය.
“ඔයා අදත් බීව්වාද? දැන්වත් ඔය ජරා බීම අත්හරියි කියලා මම හිතුවේ. ආයෙත් ඕක පටන්ගෙන මේ පොඩි උන්ගේ ජිවිත අනාථ කරන්නද හදන්නේ?”
“මම බිව්වේ හිතේ අමාරුවට. ඔච්චර කෑගහන්න දෙයක් නෑ.”
“ඩිපෝවට ගිය මිනිහා මෙච්චර පරක්කු මොකද කියා මම මේ මඟ බලාගෙන ඉන්නවා. මේ මිනිහා හොඳට බී ගෙන ඇවිදිනවා. ඔය දැන් හිරෙන් ආවටද ඩිපෝ එකෙන් පාටි දැම්මේ?”
“ඩිපෝ එකෙන් දාපු පාටියක් නෑ. උන් හදන්නේ මගේ බෙල්ලට තොණ්ඩුව දාන්නයි. අම්මපා මට අර බුරුසුවාට දෙකක් දීලා එන්න බැරි වූනානේ.”
බුරුසුවා යන වචනය ඇසේද්දීම ඇසිල්ලකින් තමාලිට ඩිපෝ අධිකාරිවරයාගේ විශාල බුරුසු රැවුලත් කාමූක බැල්මත් සිහියට නැගුණි.
“දැන් එතැන ලොකු මහත්තුරුන්ට ගහන්න ගිහිල්ලා ආයෙමත් රිමාන්ඞ් වෙන්නද කල්පනාව. ඇයි දැන් බෙල්ලට තොණ්ඩුව දාන්න හදන්නේ?”
“නෑ ඌ කියනවා මට විරුද්ධව චෝදනා තියෙනවා ඒවාට පරික්ෂණ කරන්න ඕනෑලූ. එතකං රස්සාවට එන්න එපාලූ.”
“ඒකද මේ හිතේ දුකට බිව්ව කාරණාව? පහුගිය දවස් ටිකේ අපි මෙහේ කමක් බීමක් නැතිව දුක් වින්දා. මේ මිනිහා හිරෙන් ඇවිත් හිතේ දුකට බොනවා. මේ ටිකේ විදපු දුකට අපිත් අරක්කු බොන්න ඕනේ එහෙම නම්.”
“එතකොට මම අර බලු කූඩුවේ සැප වින්දා කියලාද උඹ හිතන්නේ?”
“බලු කූඩුවේ ලඟින්න උනේ සතුටට බීලානේ. අහිංසක ළමයෙක් යටකරලා මැරුවා මදිවට.”
“මේ ගෑණියේ මම මගේ පාඩුවේ ඉන්න දීලා පලයන් යන්න.”
“පාඩුවේ ඉන්න දෙන්න? තව ඩිංගෙන් මැරිච්ච ළමයාගේ මහ උන් මේ ගෙවල් දොරවල් ගිනි තියලා දානවා.”
“මම එක සැරයක් කීව්වා නේද මට මගේ පාඩුවේ ඉන්න දීපන් කියලා. කටු බැල්ලී වාගේ බුරාගෙන ඇගේ එල්ලෙන්නේ නැතිව.”
“මම කටු බැල්ලී? ඔව් මෙච්චර හරියක් කරලා එළියට ගත්තු මමයි දැන් කටු බැල්ලී. කෙල්ල කොයි වේලාවේ ගෙට වෙයිද දන්නේ නෑ. ඒකීගේ කොටහළුවට ගන්නයි කියලා එකතු කරලා තියා ගත්තු සල්ලි ටික වියදම් කලේ ඇප දීලා බේරගන්නයි. තමුන්ගේ කියලා හැමදාම කඹුරපු උන් තමුසේව බලන්න නිකමටවත් හිරේට ආවද? මේ ළමයි කෑවද බීව්වාද කියලා හොයලා බැලූවාද?”
“මේ ගෑණියේ, මගේ අම්මලා තාත්තලා ගැන මම බලාගන්නම්. උඹට ඕනේ නෑ ඒවා.”
“මං ගැන හොඳ කේලාම් ටිකක් ගොතන්න ඇති මහ උන්දෑ. එකයි අද හිතේ අමාරුව ආවේ. වෙනදා එන්නේ ඇඟේ අමාරුව. ඔහොම බීලා ඊළගට එන්නේ සිරෝසීස් අමාරුව.”
ඇගේ කතාවෙන් මෙතෙක් වේලාවක් අසීරුවෙන් තම කෝපය පාලනය කරගෙන සිටි ජයවීරගේ රතු ඉර පැන්නේය. ඔහු අත දිග හැර එල්ල කල කම්මුල් පහරින් විසිවී ගිය තමාලි මේසයේ හැපී බිම ඇඳ වැටුණි. සිරුරේ ශක්තින් සියල්ල එකවර නැතිවී ගියාක්සේ ඇයට දැනූණි. යළිත් නැගිට දෙපයින් සිට ගැන්මටවත් පණ කඳුලක් නොමැතිව බිම වාඩිගෙන සිටි ඈගේ දැසින් නොනවත්වා කඳුළු කඩා හැලෙන්නට විය. තාත්තා අම්මාට කෑගසා බනිනවා ඇසී අවදිවූ කෝලිත දිව ඇවිත් තමාලිගේ තුරුලට වැදුනේ හයියෙන් හඬමින්ය. තමාලිගේ හැඬුම තවත් වැඩිවුණි. ඇය කොලිතගේ හිස පිරිමදිමින් තම පපුවෙන් නැග ආ ඉකිය වලක්වාගන්නට උත්සාහ කළා ය. රත් පැහැගත් දෑසින් තමාලි දෙස රවාගෙන සිටි ජයවීර වැනි වැනි ගොස් සාලයේවූ වේවැල් පුටුව මතට ඇඳවැටුනේ මොනවාදෝ මුමුණමින්ය. බිත්තියට පිටදී කෝලිතගේ හිස අතගාමින් සිටි තමාලිට ඇගේ තරුණ කාලය මතක් විය. සුදු නැන්දා හා පොඩි මාමා ඇසුරේ ගෙවුණු සැපවත් ජීවිතය මේ බේබද්දා සමගින් දීග ඇවිත් නැති කරගත්තායී ඈට සිතුණි. අඬ හෝරාවක් පමණ ගතවෙද්දී ජයවීර උගුරෙන් ගොර හඬ නංවමින් නිදන්නට වූයේය. කෝලිතගේ හිස පිරි මදිද්දී සනිපයට ඇගේ තුරුලේ ඔහුට නින්ද ගොස් තිබුණි. ජයවීරගේ ගෙරවිලි ශබ්දය ඇරෙන්නට නිවස පුරා පැවතියේ දැඬි නිශ්ශබ්දතාවයකි. හිමිහීට දෙපයට වාරුගෙන නැගී සිටිය තමාලි කෝලිතව දෑතින් ඔසවාගෙන කාමරයට ගියා ය. කම්මුල්වල වියැලුණු කඳුළු සලකුණු ඇතිව නිදන ඉන්දිරා දුටු තමාලිගේ සිත යළි ඇවිලිණී. දැසට ඉනු කඳුලැල් ගවුම් පොටින් පිසදාගත් ඈ ඇඳේ කොනෙන් ඇලවුයේ සිතේ බුර බුරා නැගෙන දුක් ගින්න සමඟින.
* * * * *
විනය පරික්ෂණය සඳහා පැමිණෙන ලෙසට තෙදිනකට පසු ඩිපෝවෙන් ජයවීරට කැඳවීමක් ලැබිණ. ලිපිය ලද මොහෙතේ පටන් ඔහු වියරුවෙන් මෙන් හැසිරෙන්නටත් එකිනෙකාට අවලාද නගමින්ද තවත් විටෙක පුරාජේරු කතාද කියවන්නට විය. විනය පරික්ෂණයට නොයාමට තින්දු කල ජයවීර, මිල්ටන් හා තමාලිගේ බලවත් විරෝධයද අලුයම ලූ කෙල පිඬක් සේ නොතකා හැරියේය. ඔහු පෙනි නොසිටියත් ඩිපෝව හා මණ්ඩලය ඒකාබද්ධව ජයවීරට විනය පරීක්ෂණය තැබූ අතර සතියකින් පමණ එහි ප්‍රතිඵල ලිපියකින්ම ජයවීරගේ අතට පත්විය. “අධික බීමතින් රැකියාව කිරිම, අපරික්ෂකාරි ලෙස රිය ධාවනය කිරිම, මහමග පදිකයෙකුවූ පාසල් සිසුවෙකු අනතුරට පත් කිරිම, ගමනාගමන මණ්ඩලයේ නාමයට අපකිර්තියක් එක් කිරිම වැනි කරුණු කිහිපයක් මුල් කරගෙන පැවැත්වූ පරීක්ෂණයෙන් වැරදිකරුවූ බස් රථයේ රියදුරු ජයවීරගේ වැඩ තහනම් කිරිම සිදුකරන ලදී.” යනුවෙන් සඳහන් ලිපිය ගුලීකර විසිකර දැමූ ඔහු ඇඳට වැටී නිදන්නට විය. වැඩ තහනමින් පසුව වැඩිය එළි පහළියකට නොගොස් ගෙටම ඇලුණු ජීවිතයක් ගතකරන්නට පටන්ගත් ජයවීර නිසා තමාලි පත්වූයේ විශාල අපහසුතාවයකටය. ගෙදර දොරේ අගහිඟකම් වැඩිවෙද්දී ඒ පිළිබඳ සොයාබැලීමට කිසිදු ඕනෑකමක් නොමැතිව සාදා දෙන ඕනෑම දෙයක් බුදිමින් නිදාගන්නා ඔහු ගැන තමාලිට ඇතිවූයේ උසුලාගත නොහැකි තරහවකි. නිවසේ ආර්ථිකය එන්න එන්නම දුර්වල වෙද්දී තමන්ගේ කීමවල් ඔහු නොඅසන බැවින් තමාලි මිල්ටන් සොයාගෙන ගොස් ජයවීර ගැන සැල කළා ය. ඉක්මණින් ජයවීර රැකියාවක් සොයා නොගතහොත් තමන් ඇතුලූ පවුලේ සියල්ලන්ටම සිඳුවන්නේ පාරේ හිඟාකන්නට බැව් ඈ ඔහුට කීවා ය. පුළුවන් ඉක්මණින් ජයවීරට රැකියාවක් ගැන සොයාබලා ඔහුව මුණගැහෙන්නට එන බැව් පවසමින් ඇයව අස්වසාලීය. තමාලිට පොරොන්දුවූ පරිදි මිල්ටන් දෙදිනකට පසුව ජයවීර බලන්නට නිවසට ගොඩවැදුනි.
“දැන් ජයවීර අයියා රස්සාව ඉල්ලලා අභියාචනාවක් දානවා කිව්වා නේද?”
“තාම දැම්මේ නෑ.”
“ඇයි ඉතිං කල් යව යව ඉන්නේ දැන්ම දාන්න.”
“මට කීප දෙනෙක් කිව්වා ඔය අභියාචනා දාලා වැඩක් නෑ. කම්කරු උසාවියේ නඩුවක් ෆයිල් කරන්නය කියලා. අතේ මිටේ තිබ්බ සල්ලී ටික මේ දවස්වල වියදම් වෙලා හින්දා තමයි මේ නඩුව දාන වැඬේ පොඞ්ඩක් මඟ ඇරලා ඉන්නේ.”
“අයියා හිතනවාද නඩුවෙන් දිනන්න පුළුවන් වෙයි කියලා? අනික ඕවා අවුරුදු ගනන් ඇදෙන නඩු.”
“දිනන්න කෙසේවෙතත් වන්දියක් හරි ගන්න පුළුවන් වූනොත් හරි බං.”
“ඉතිං මෙහෙම ඉදලා හරියන්නේ නෑනේ අයියේ ජොබ් එකක් වත් කරන්න බලන්න. ජයවීර අයියාට ජොබ් එකක් එහෙම හම්බ උනාද?”
“තාම නෑ බං. මට මේ ඔක්කෝම එපා වෙලා ඉන්නේ. වෙලාවකට මේවා දමලා ගහලා යන්න හිතෙනවා.”
“එහෙම කියලා හරියනවද? ඇයි මේ දරුවන්ගේ කෑමබීම ඇඳුම් පැලැඳුම් වලට සල්ලි එපෑයි.”
“ඒකනම් ඇත්ත තමයි. එත් මේ මොන මූසල කමක්ද මන්දා මට කිසි දෙයක් කරන්න හිත දෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ.”
“අයියා රිමාන්ඞ් එකේ හිටපු කාලේ තමාලි අක්කා හරියට ණයවූනා. මම හිතන්නේ රත්තරන් බඩු එහෙමත් උකස් කරන්න ඇති. පහුගිය ටිකේ ගෙදර ණය එහෙම ගෙවලා දාන්නේ නැද්ද?”
“ඒවා එකලාසයක් කරන්න ටික දවසක් යයි බං. අපේ අම්මලානම් කියන්නේ තමාලිගේ මූසල කමටයි මේ හැමදේම වෙන්නේ කියලා.”
“චි අයියේ, එහෙම කියන්න එපා. ඔයා හිරේ හිටපු දවස්වල ළමයි දෙන්නා එක්ක කොච්චර දුක් වින්දාද. මම හිතන්නේ අක්කා හරියට කෑමක් බීමක් වත් ගත්තේ නෑ. ඔන්න ඔය වැඩකට නැති කතා අත හැරලා දාන්න. මම මේ ආවේ අයියාට ටෙම්පරියක් තියෙනවා කරන්න කැමතිද කියලා අහන්න.”
“කොහේද බං?”
“අර සැමුවෙල් මුදලාලිගේ ලොරියක.”
“අපෝ ඌ මහ ලෝබයා කියලයි මම අහලා තියෙන්නේ.”
“මිනිහා ටිකක් මසුරා තමයි. මේක ටෙම්පරියක්නේ.”
“ඩිපෝවේ වගේ ගෙවන එකක් නෑ.”
ජයවීර අදිමදිකරමින් පැවසීය.
“ඩිපෝවෙත් මහ ලොකු ගාණක් ගෙව්වේ නෑනේ. මේ වෙලාවේ සල්ලිත් ඕනෑ කරන නිසා දැනට විතරක් කරන්න. අපි පස්සේ වෙන හොඳ එකක් හොයලා බලමු.”
“හරි කවදාද වැඩ පටන් ගන්න ඕනේ?”
“හෙට ඉදලා.”
මිල්ටන් අසුනින් නැඟිටින ගමන් කීවේය.
“ඔන්න ඔහේ ගිහිල්ලා බලනවා. හැබැයි මිනිහා පඩි දෙන්නේ නැත්නම් මම නතරවෙනවා.”
“දැන්වත් අයියාගේ බීම අතහැරලා දාන්න.”
“පිස්සුද බං මම බේබද්දෙක් නෙවෙයිනේ. මටත් මේ බීම නතර කරගන්නයි ඕනේ.”
ඉස්තෝප්පුවේ අන්තිම පඩිය උඩ සිටගත් ජයවීර මිල්ටන්ට සමුදෙමින් කීවේය.
* * * * *
සැමුවෙල් මුදලාලිගේ බඩු ලොරියක තාවකාලික පදනමක රියදුරුකම ලැබුනත් ජයවීරට සැමදා එහි ස්ථිර සේවකයෙකු සේ වැඩකරන්නට සිදුවුණි. ඉක්මනින් ඩිපෝවේ රැකීයාව යළි ලැබෙතැයි සිතු ජයවීර ලොරියේ තාවකාලීක රියදුරුකම හෙවත් ටෙම්පරිය දිගටම කිරීමට කැමතිවූවා සේම සැමුවෙල් මුදලාලිද ඊට ඉහටත් උඩින් කැමති වීය. තමාලි කෙතරම් ආඩාපාලි කිව්වත් තම දිනචරියාවේ අංගයක්වූ සවසට මත්පැන් බීම ඔහුගෙන් අත්හැරුනේ නැත. ලොරියේ රියදුරුකම කරන දිවා කාලයේ ඔහු නොබී සිටින නිසාත් දිගින් දිගටම ටෙම්පරියක් ලෙසින් අඩු වේතනයකට ජයවීර වැනි පළපුරුඳු රියදුරෙක් තබාගත හැකිවිම නිසාත් සවස් කල ජයවීරගේ බේබදුකම නොසලකා හරින්නට මුදලාලි සිතාගත්තේය.
ඉද හිට අම්මා බලන්නට යන ජයවීරට කලකින් මහ ගෙදරට ගොඩවීමට බැරි විය. රිමාන්ඞ් හි රඳවා සිටි කාලයේදීවත් මහ ගෙදරින් කවුරුවත් තමන් බලන්නට නොපැමිණීම ජයවීරට තදබල ප්‍රශ්නයක් විය. එදින ලොරියේ වැඩ නැති දිනයක් වූ බැවින් ඔහු සැමුවෙල් මුදලාලිගෙන් ඇඞ්වාන්සයක් ලබාගත්තේ මහ ගෙදරට අවශ්‍ය කළමණා ටිකක් රැගෙන යන්නටය. බඩු මල්ලත් රැගෙන පිළීකන්න පැත්තෙන් ගෙට ගොඩවී කුස්සියට එබිකම් කරනවිට අම්මා සිටියේ හොද්දක් ඒදමින්ය. ජයවීර අම්මාට ඇසෙන්නට උගුර පෑදීය.
“ආ උඹ ආවද?”
“හම්”
කුස්සියේ කළු ගැසී ගිය මේසය උඩින් බඩු මල්ල තබා වංගෙඩිය වසා තිබූ රවුම් ලෑලී කැබැල්ල හරි ගස්සවාගෙන ජයවීර එහි වාඩි ගත්තේය.
“ඇයි අම්මලා මාව බලන්නවත් රිමාන්ඞ් එකට ආවේ නැත්තේ? අම්මලාට ලැජ්ජ හිතෙන්නේ ඇති, ඒකයි නේද?”
“උඹේ මහ ලොකු කුමාරිහාමි නිකමටවත් අපිට කිව්වද උඹ රිමාන්ඞ් එකේය කියලා.”
“එතකොට අම්මලා දැනන් හිටියේ නෑ?”
“අපි දැන ගත්තේ පිට උන් ගෙන්. ඒ කතාව ඇත්තද දැනගන්න ගියාම අර පර බැල්ලී මට හොඳටම බැන්නා. ඒ විතරක්ද, ඕකී මට ගෙට එන්න නොදී දොරත් වහලා දැම්මා.”
“බොරු කියන්න එපා අම්මේ, තමාලි එහෙම කරන කෙනෙක්ද?”
“මම මොකටද උඹට බොරු කියන්නේ. අන්න අර උඹලාගේ අල්ලපු ගෙදර නාකිච්චිගෙන් අහපන් සිද්දවෙච්චි දේ.”
“ඉතිං තාත්තාවත් නාවේ?”
“උඹ ඒ ගෑණී අරගෙන අපේ පවුලට ලැජ්ජා කළා මදිවට දැන් බේබඳුකමට බීලා ළමයි යටකරලා අවනම්බු කරනවා. එයා තමයි කිව්වේ බලන්න යන්න එපාය කියලා. අපේ හත්මුතු පරම්පරාවේ කිසිම එකෙක් පොලීසි ගානේ ගිහිල්ලා නෑ ඔය වාගේ කිරිමෙල් වැඩ කරලා.”
“මේක හරි කතාවක්නේ, මම කරපු කිරිමෙල් වැඩක් නෑ. ඒ මූසල කොල්ලා එක පාරටම පාරට පැන්නා. කොහේද මේ කරුමක්කාර බස් එකේ බ්‍රේක් අඩුයි. උගේ වේලාවටම වැදුනේ නෑ.”
“උගේ නොවේයි, උඹේ වේලාවයි හොඳ නැත්තේ. නැත්තම් අරකි වාගේ අඩු ජම්මෙ එකියෙක් උස්සාන එයියෑ. තාත්තාවූනත් කැමති නෑ උඹේ ඔය කුමාරිකාවගේ මූණවත් බලන්න. මේ මූසලී ගත්තාට පස්සේ තමයි උඹ ඔය ජරා බීමට පුරුඳුවූනෙත්.”
තවදුරටත් අම්මාගේ ආඩපාලී අසා සිටිමට නොහැකිව නැගී සිටියේය.
“උඹ ඔය නැගිට්ටේ යන්නද? හිටපන් බත් ඩිංගක් කාල යන්න. කොස් තම්බලා කිරමින් හොදියි බතුයි තියෙනවා. කොස් තම්බලා කන්න උඹ ආසයිනේ.”
“දැන් කන්න බෑ.”
“ඇයි උඹේ කුමාරිහාමි කිව්වාද මෙහෙන් කන්න එපා කියලා?”
ජයවීරගෙන් දිස්වුයේ මානසික ගැටලුවකට මැදිවූ කෙනෙකු කල්පනාවක යෙදී සිටින්නාක් ලෙසිනි. ඔහු කිසිත් නොකියා මුනිවත රැකීය.
“ඉස්සර මෙහේ ආවම උඹ කෑම ටිකක් කාලා හවස්වෙලා ගියේ. ඒකට දැන්, කඩදාසිය ලිපේ දැම්මා වාගේ එනවා ආපහු දුවනවා. ඇයි උඹට මෙහේ එන්න අරකි තහනම් කරලාද?”
“අම්මාට පිස්සුද. දැන් කන්න පිරියක් නෑ. උදේට කෑම කෑවෙත් දැන් තමා.”
“බලපන් දැන් උඹේ හැටි අරකි උඹට කන්න දෙන්නේ නැද්ද? ඔය මූසලි අරගත්තත් හරි උඹ විනාසවෙන්න ගත්තා.”
“මොකක්ද අම්මේ මේ, මම මෙහෙට ආවොත් අර ගෑණීට බනින එකමයි වැඬේ. කනක් ඇහිලා ඉන්න නෑ. දැන් මෙහෙට එන්න හිතෙන්නේ නැත්තෙත් ඕක තමයි.”
අම්මා තමාලිගේ නුගුණ කියමින් ජයවීරගේ සිත තුළට ගිනි අවුලවන ලද්දෙන් ඔහු එසේ කියමින් කුස්සියෙන් පිටවී ගියේය. තම මව මිදුලේ දමා නිවසේ දොර වැසූ තමාලි කෙරේ ඇතිවූයේ කලකිරිම මුසු අසීමිත කෝපයකි. සුමනේ අයියාගේ කසිප්පු වාඩියට ගොඩවී රුපියල් විස්සක කසිප්පු ගෙන ඉක්මනින් උගුරට හලාගත්තේය. ගලනාලය දිගේ පිච්චිගෙන පහළ බසින කසිප්පු නිසා ඔහුගේ කට කකාරවාගෙන ආවේය. කාරා කටට ආ සෙම මිශ්‍ර කෙළතලිය කාණුවට හැලූ ජයවීර හන්දියේ කඩල කරත්තයෙන් ගත් තැම්බූ කඩලගොටුවෙන් කඩල අහුරක් හපමින් නිවසට පියවර මැන්නේය. වෙනදා මෙන් පදමට බී ගෙට ගොඩවූ ජයවීරගෙන් මත්පැන් ගඳ මිශ්‍ර දහඩිය දුගඳ වහනය වන්නට විය. ඔහු ළඟට එනු දුටු වහාම තමාලි හකුළාගෙන සිටි මුහුණ තවත් බකුසු කර ගත්තා ය.
“ඈ බං ගෑණීයේ ඇයි උඹ මගේ අම්මලාට මම රිමාන්ඞ් එකේ ඉන්නවායි කිව්වේ නැත්තේ?”
“මම කොහොම කියන්නද. මට එහෙට එන්න එපා කියලා තියෙද්දී. ”
“එහෙනම් උඹ මොකටද මෙහෙට ආපු මගේ අම්මාට දොර වැහැව්වේ? ඇත්තටම මට උඹේ බෙල්ල ගලවලා අතට දෙන්න හිතෙනවා.”
“වට්ටී අම්මා වාගේ මෙතන ඇවිදින් බෙලිකටු මල්ල හොලවා හොලවා මට දෙස් තියන්න ගත්තේ තමුසෙගේ අම්මායි. මම පුළුවන් තරම් ඉවසුවා.”
“යකෝ මගේ අම්මා වට්ටී අම්මා? අපේ සනුහරේ කවුරුත් වට්ටී අම්මලා නෑ. උඹලාගේ උන් නම් වට්ටී අම්මලා තමයි.”
“මගේ උන් වට්ටී අම්මලා උනත් ඔය වාගේ ජරා කැරුට්ටුවක් නෑ. වාචාල කටින් මුළු ගමටම ඇහෙන්න කෑගැහුවා. පාරේ යන එන මිනිස්සුත් ඇවිල්ලා මෙතන වටවෙන්න පටන්ගද්දී තමයි මම දොර වැහැව්වේ. තමුසේගේ අම්මා මම අඩු කුලේ කිය කියා බැන්නා.”
“උඹ අඩු කුලේ නිසා තමයි මට මගේ දෙමව්පියන් නැතිවුනේ. එත් උඹේ මහන්තත්තකම නම් අඩුවෙලා නෑ.”
“තමුසේට මාව බඳිනකොට නම් මගේ කුලේ අඩුකම පෙනුනේ නෑ. දැන්ද මගේ කුලේ පේන්න ගත්තේ?”
“මේ උඹ දැන් කට වහනවාද නැද්ද? තවත් කට කියවන්න අවොත් උඹේ දත්වහල්ල බිමට වැටෙන්න ගහනවා.”
ජයවීර ළග තිබු පුටුවට පයින් ඇන්නේය. තවදුරටත් ඔහු හා වාද කිරිම ගුටි කෑමකින් කෙලවරවන බව දැනගත් ඈ නිහඬවී තම සිතේ පැසෙමින් තිබෙන කේන්තිය සහ ආවේගය පාලනය කරගත්තා ය. ඈ ඉක්මනින් කුස්සියට වැදුනේ දහවල් පාසල් ඇරි ගෙදරට එන ඉන්දිරාට හා කෝලිතට කුමක් හෝ කෑමට සෑදිම සඳහාය.
* * * * *
සති කිහිපයක් නිහඬව ගෙවී ගිය අතර පාසලේ දී ඉන්දිරා වැඩිවියට පත්විමේ සලකුණු පෙන්නුම් කළා ය. හිසේ සිට බෙඞ් ෂිට් එකකින් ආවරණය කරන ලද ඉන්දිරා ගුරුවරියකගේ රැකවරණය සමඟින් නිවසට රැගෙනවිත් තමාලිගේ භාරයට පත්කරන ලදී. ඉක්මණින් ජයවීරට පණිවිඩයක් යැවූ තමාලි ඉන්දිරාට යකඩ කැබැල්ලක් අතටදි කාමරය මුල්ලේ ඇඳ රෙදිවලින් තිරයක් යොදා කොටු කළා ය. තමාලිගේ පණිවිඩය ලැබී ජයවීර නිවසට එනවිට බොහෝ සවස්වී තිබුණි.
“මම හිතුවේ ඔයා ඉක්මණටම එයි කියලා.”
“එහෙම කොහොමද එන්නේ. මම ගෙදර ආවම ලොරිය එළවාගෙන එන්නේ ගෝලයාද? දැන් මොනවාද කරන්න තියෙන්නේ.”
“කෙල්ලව තනියෙන් දාල කොහේවත් යන්න එන්න බෑ. කාන්තිගේ දුවවත් තනියට නවත්ත ගන්න කතා කරගන්නත් ඕනේ.”
“හරි මම එයාලට පණිවිඩය දෙන්නම්. ඔයාට මේවා තනියම කරගන්න පුළුවනිද?”
“නාවන්න වේලාවක් බලාගන්න යන්න ඕනේ. කෙල්ලට අලුත් ඇඳුම් කෑලී දෙකක්වත් මස්සන්නත් වෙනවා. මේ වැඩ හොඳට දන්නේ අපේ සුදු නැන්දා. සුදු නැන්දා මෙහෙට ගෙන්න ගත්තොත් මට දුවලා පැනලා අනික් වැඩ ටික කරගන්න පුළුවනි.”
“එයා මෙහේ එයිද?”
“මම එහා ගෙදර පොඩි මල්ලී පොස්ට් ඔෆිස් එකට යැව්වා හල්දුම්මුල්ලට ටෙලීග්‍රෑම් එකක් යවන්න. එයා මට බෑ කියන එකක් නෑ.”
“සුදු නැන්දට විතරක් කතා කරලා හරියන්නේ නෑ නේද? පොඩි මාමටත් කතා කරන්න.”
“දැන්ද ඔයාට එයාලව මතක් වූනේ? මෙහේ උත්සවයක් ගන්නේ නැති නිසා එයාට එන්න කියන්න ඕනේ නෑ. අනික මේ පොඩි දෙයකට එයා නිවාඩු දාලා එන එකකුත් නෑ.”
“එහෙම කරන්න හොඳ නෑ තමාලි. දැන් පොඩියටවත් උත්සවයක් ගන්නත් ඕනේ නේද?”
“ඒවා කරන්න සල්ලී කොයින්ද? කෙල්ලගේ බෙල්ලට මාල පොටක් වත් දාන්නයි මම හිතාගෙන උන්නේ. ඒකට එකතුකරලා තිබ්බ සල්ලී ටිකත් නඩුවට වියදම් උනානේ.”
“හරි බං මම ඒ වැඩ වලට සල්ලී හොයාගන්නම් කෝ.”
“අපි පුළු පුළුවන් හැටියට චාරිත්තර ටික විතරක් කර ගනිමු. දැන් ණයවෙලා තියෙන හරිය මදෑ තවත් ණය වෙන්න එපා.”
“ මමයි ණය ගන්නේ, මමයි ණය බේරන්නේ. තමුසේ එකට බයවෙන්න එපා. අපිට ඉන්නේ එක කෙල්ලයි. කවුද දන්නේ මුංගේ මඟුල් දකින්න අපි ඉදියිද කියලා. ඒක නිසා කරන මඟුලක් දැම්ම කරලා දාමු.”
“මොනවාද මේ කියන කතා. දැන් ගිහිල්ලා කාන්තිටයි නිලන්තිටයි පණිවිඩයක් දෙන්න. මේ කෙල්ල ගෙදර තනියෙන් දාල යන්න හොඳ නෑ.”
ජයවීර විසින් කාන්තිට හා නිලන්තිට පණිවිඩ යවා ගෙන්වාගත් ඔවුන්ගේ දියණියන් ඉන්දිරාගේ තනියට රඳවා තැබීය. ඉන්දිරාගේ කොටහළු මංගල්ලය ජයට ගැනීම ජයවීරගේ අභිප්‍රාය වූවත් තමාලිගේ දැඬි විරුද්ධත්වයත් තම ආර්ථික තත්වයත් හමුවේ මඳක් පසු බෑවේය. දෙවනි දිනයේ හවස් වන විට හපුතලේ සුදු නැන්දා නිවසට අවශ්‍ය කළමණා ටිකකුත් රැගෙන ආවා ය. තමන් රැගෙන ආ බඩු මල්ල බිම තැබූ ඈ සාරි පොටින් බෙල්ල දෙපස පිසදා ගත්තා ය.
“හරිම මහන්සියි. තමාලි මට වතුර ඩිංගක් දුන්නා නම්.”
“ආ සුදු නැන්දා ආවද? ඔය පුටුවෙන් වාඩී වෙලා ඉන්න, මම වතුර ගෙන්නම්.”
තමාලි වතුර විඳුරුව ගෙන එනතෙක් නොසිටි සුදු නැන්දා ඉන්දිරා රඳවා තිබූ කාමරයට හිස පෙවා බැලීය. වතුර විඳුරුව රැගෙන ආ තමාලි
“ආ සුදු නැන්දේ මෙන්න.”
“කෝ බං ජයවීර?”
“එයා වැඩට ගිහිං.”
“මම බඩු ඩිංගක් අරගෙන ආවා. ඔය මල්ල කුස්සියෙන් ගිහිල්ලා දැම්මා නම්.”
“මොකට උස්සන් ආවද මන්දා.”
“කෙල්ල නාවලා ගෙට ගන්න වෙලාවක් බැලුවාද?”
“තාම නෑ. කෙල්ලව ගෙදර තනියම දාලා කොහොමද යන්නේ?”
“ඇයි අර දැරිවියක් ඉන්නවා නේද?”
“ඒ ළමයි විතරක් තනි පංගලමේ තියන්න පුළුවන්ද?”
“දැන් මං ඉන්නවානේ ගිහිං වේලාවක් බලං වරෙන්.”
බුලත් අතක් ගෙන ගුණේරිස් රාලහාමි හමුවට ගිය තමාලි ඉන්දිරාගේ මල්වරවූ වේලාව හා කේන්දරය පරික්ෂාකර සුබ නැකතක් බලාගෙන නිවසට ආවා ය. ගුණේරිස් රාලාහාමි කේන්දරය පරික්ෂා කර කී දේවල් නිසා ඒ මොහොතේ ඇගේ සිත යම් තරමකට සැලුනද ඒත් තමාලි ඒවා එතරම් සැලකිය යුතු දෙයක් ලෙස දැක්කේ නැත.
“කෝ වෙලාව බලාගත්තාද?”
“නැකත හදලා දුන්නා. ඒත් කෙල්ල ගෙටවුණු වේලාව තාත්තට නරකයිලු.”
“ඔය විත්තියක් ජයවීරට එහෙම කියන්න එපා.”
“ජයවීරට නරක් උනේ කෙල්ල ගෙටවූණු එක නෙමෙයි බේබදු කම.”
“කෝකටත් ජයවීරගේ කේන්දරේත් බලවාගත්තා නම් හොඳයි නේද?”
“පිස්සුද සුදු නැන්දේ, ඔය මිනිහා හදවන්න කේන්දරෙන් බෑ. ඔන්න බලන්න අදත් බීලා එන්නැද්ද කියලා.”
“තව මොනවාද කිව්වේ?”
“කෙල්ල හොඳට පරස්සම් කරගන්න කිව්වා. අවුරුදු දාහතර පහළොහ කාලේ විශේෂයෙන් පරිස්සම් කරගන්නය කීවා.”
“ඉතිං උඹ ඇහැව්වේ නැද්ද එහෙම කියන්නේ ඇයි කියලා?”
“මට එච්චර ඒ ගැන අහන්න නිච්චියක් නැතිව ගියා. අනික කෙල්ලෙක්ව කොහොමත් කසාද බඳිනකම් අම්මලා පරිස්සම් කරනවානේ. ඕක ඉතිං අහන්නත් දෙයක්ද?”
තම කුසින් දරුවන් වදා උතුම් මව් පදවිය නොදැරුවත් අම්මා කෙනෙකුසේ තමාලිව රැකබලාගත් අයුරු සුදු නැන්දාට සිහිපත් විය. ජයවීර හා හාද වී තමන්ට අකීකරුවූ තමාලි එදා හැසිරුනු අයුරු සිත්තම් පෙලක් සේ මනසේ ඇඳී යන්නට විය. නිහැඬියාව බිඳමින් තමාලි කතා කළා ය.
“තියෙන හැටියට සුළුවෙන් චාරිත්තර ටික කරමු.”
“දැන් උත්සවයක් එහෙම ගන්නේ නැද්ද?”
“ඕවා කරන්න සල්ලි කොහෙන්ද සුදු නැන්දේ. කෙල්ල ගෙට වෙයි කියලා එකී වෙනුවෙන්ම මම සල්ලි ටිකක් ඉතුරු කරලා තිබ්බා චේන් පොටක්වත් දාන්න කියලා. ඒකත් ඉතිං ජයවීරගේ නඩුවට වියදම් වුණා.”
“මොන නඩුවද බං?”
“මම පස්සේ ඔය විස්තරේ කියන්නම්. සුදු නැන්දා මෙතන කෙරෙන්න ඕනේ චාරිත්තර ටික බලාගන්න කෝ.”
මුදල් අඟහිඟකමින් පෙලුණූ ජයවීර එක්වරම නිවසට අවශ්‍ය භාණ්ඩ රැසක් රැගෙන ඒම ඇය විමතියකට ලක් කල කරුණක් වීය. මස් මාළු ඇතුලූ ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයකුත් ගෙනවිත් දුන් ඔහු තවත් මල්ලක් හොර රහසේම තම කාමරයේ ඇඳ යටට රිංගවා සැඟවීය. කාමරයේ හොරෙන් සඟවන ලද දුඹුරු පැහැති සිමෙන්ති උරයෙන් සකස් කල බෑගය දුටු කල්හි එහි ඇත්තේ කුමක්දැයි තමාලි ක්ෂණිකව වටහා ගත්තා ය.
“මේ ජයේ ඔයාට කොහෙන්ද මෙච්චර බඩු ගෙන්න සල්ලි? ඔයා ණයටවත් ගත්තාද?”
“මම සැමුවෙල් මුදලාලිගෙන් පොඩි ගාණක් ඉල්ලා ගත්තා.”
“මම කිව්වා නේද ණයවෙලා මඟුල් ගන්න ඕනේ කමක් නෑ කියලා. ඇයි ඔයා සැමුවෙල් මුදලාලිට ණයවෙන්න ගියේ? මට පෙනෙන්නේ ඔයා තව බෝතලුත් ගෙනල්ලා වාගෙයි. මේ වාගේ දවස්වලට බෝතල් පාටි දාන්න හොඳද?”
“මේ හොඳ දවසේදීවත් තමාලි තමුසේ මගේ කේන්ති අවුස්සනේ නැතිව ඉන්නවා. මම කරන්නේ මට ඕනේ දේ.”
ජයවීරගෙ මුවින් මත්පැන් ගඳක් වහනයවූයෙන් ඔහු සමඟින් එකට එක කියා යෑම රණ්ඩුවක මුල පිරීමක් බැවින් ඈ නිහඬව ඉන්න උත්සාහ කළා ය.
“කෑම උයන්න දන්න කෙනෙක්ට කතා කරගත්තා නම් හොඳයි.”
“දැන් ලොකුවට උත්සවයක් ගන්නද මේ බඩු ගෙනාවේ?”
“නෑ පොඩීයට එකක් දානවා. සුදු නැන්දාත් ඉන්න එකේ තනියෙන් කරගන්න බෑ අමාරුයි විතරක් නම් කියන්න එපා.”
නැකත යෙදී තිබූ දිනයේ උදෑසනම ළිඳ වෙත රැගෙන ගිය ඉන්දිරාව සුදු නැන්දා පිච්ච මල් දැමූ සීතල වතුරෙන් නහවා කළගෙඩිය ළිං පඬියේ ගසා කුඩුකර දැම්මා ය. චීත්තයකින් ආවරණය කරගත් ඉන්දිරාව නිවසට රැගෙන ගොස් අලුත මැසු රෝස පැහැති ගවුමෙන් සැරසීය. කාමරයක දින ගණනාවක් කොටුවී සිටී එම දින කිහිපයට ශරිරය මඳක් වැඩී පිරිපුන් ගතියක්ද මුහුණෙන් පැහැපත් පෙනුමක්ද දිස්වීය. තමාලි ඇයට පුළුවන් උපරිමයෙන් චාරිත්‍ර කිරිමට උත්සාහ කළා ය. ජයවීරගේ දෙමව්පියන්ට හා සහෝදරයින්ට ඉන්දිරාගේ වැඩිවියට පත්වීම දන්වා ඇරියත් ඔවූන් එයට සහභාගී නොවීය. මල්වර උත්සවය දිනයේ තෑගී බෝග රැගත් ඉන්දිරාගේ යෙහෙළියන් හා අසල්වාසින් එකා දෙන්නා ඉන්දිරා බලන්නට ආවාහ. නිවසට එනෙන වැඩිහිටි අසල්වාසින්ට ආයුබෝවන් කියන්නටත් දණ ගසා වදින්නටත් සිදුවීමෙන් ඉන්දිරා සවස්වෙද්දී සිටියේ හෙම්බත්වය. මඟුල් උත්සවයට පැමිණී සියල්ලන්ගේ දෙනෙත් යොමුවූයේ නිවස ඉදිරියේ පැමිණ නවතන ලද කිරි පාටැති ලාන්සර් බොක්ස් රථය දෙසටය.
කාර් රථයෙන් ආවේ කවුද? .... මතුසම්බන්දයි ........
මෙම නවකතාවේ වර්තමානයේ සිදුවන සිදුවිම් දේවල් කළු පාටින් හා අතිතාවර්ජනා කොටස් නිල් පැහැයෙන් දක්වා ඇත.
ඔය හරි ගිහිං තියෙන්නෙ...
ReplyDeleteතාම විස්වාසයක් නෑ
Deleteඒ කාලෙ හැටියට නං ලාන්ස්ර බොක්ස් එකකිං ආවෙ ලස්සපතියෙක් වෙන්න නෙ
ReplyDeleteවෙන කවුද කොළොම්පුරයා මිසක්
Deleteකතාව නම් ලස්සනට යනවා මලේ .
ReplyDeleteස්තූතියි. පැමිණිම ලොකු හයියක්
Delete