Saturday, August 1, 2020

එඩිසන්ගේ වැසිකිලි කෝපය - සයුරේ දසවසක් - 16

Posted: 12 Nov 2019 10:08 PM PST
ලංකාවේ උතුරු කොනේ වරාය වන කන්කසන්තුරය වාරය වෙත අපගේ නෞකාව ලගාවුනි. ප‍්‍රමාණයෙන් කුඩා නෞකාවන් වුවත් අපගේ නෞකාවන් කෙලින්ම වරාය තුලට ගෙන බඩු බෑම කරන්නට නොහැකිවුයේ බොහෝ කලකින් වරාය හාරා ගැඹුරුකල නොතිබු හෙයිනි. කලින් කලට දිය රළ සමගින් ඇදි එන මුහුදු වරාය පතුලේ ගැඹුර අඩු කරයි. වැලි පිරිගිය වරායන් හාරා ගැඹුරු කරනා ඩෙජර් නෞකාවන් (Dredger) එහි ලඟානොවන්නේ උතුරු අර්ධද්විපයේ ඇවිලුනු  යුද්ධයේ දරුණුකම වැඩි බැවින්ය. 



          කඩ්ඩා විසින් කරගෙන ආ වැසිකිලි සේදිමේ රාජකාරිය මට පැවරුනු පසුව සතුරන් සතුටුවුයේ මන්දැයි වැටහෙන්නට වැඩි දිනක් ගත නොවිය. කොපමණ සෝදා හොදින් පිරිසිදු කලත් එය හොද හැටි කර නැතැයි කියන්නට බක සිල්වා ඇතුලු කිහිප දෙනෙකු පෙලඹි සිටියහ. මේ අතරේ  නානකාමර හොදින් පිරිසිදු කර නොමැති බව එඩිසන් නැමැති එබි ද පවසන්නට පටන්ගත්තේය. මෙය බක සිල්වා විසින් මාහට අඹරන ගුලියක් බව මට වැටහුනි. එහෙත් කරන්නට දෙයක් නැත. වෙන දෙයකට මුහුණ දෙන්නට බලාගෙන ඔවුන්ගේ උපාය ගැන සැලකිල්ලෙන් පසුවිමි. දොළහ හතර වොච් ඩියුටිය අනුව දහවල් තෙක් නිදාගැනිමත් ඉතිරි පැය කිහිපයේ ඉන්ජින් කාමරයේ රාජකාරි වැඩවලට සිරවිමත් සමගින් නැවේ අනෙක් අය සමගින් ඇසුරු කරන්නට ලැබෙන වේලාව අඩුවිය. මෙය නිසා සතුරන්ගේ කි‍්‍රයාකලාපයන් පෙරතබා හඳුනාගන්නට අපහසුවිය. කඩ්ඩා වෙනුවට අලුතින් නැවට එක්වුනු එකනායක උදේ පිරිසිදු කිරිම් වලින් පසුව එඩිසන් හා බක සිල්වා විසින් පවසන දෑ මාහට පවසා ඒ  පිළිබඳව වෙලාසනින් අනතුරු හැගවිමක් කලේය.
 

       ඔවුන්ගේ උපායගැන තරමක් දැන හිටියත් මා හට කල හැකි දෙයක් නොවිනි. සුපුරුදු පරිදි පාන්දර හතරට වොච් ඩියුටිය අවසන්ව වෙනදාටත් වඩා හොදින් පිරිසිදු කිරිම්ද අවසන් කරන්නටද පටන්ගතිමි. රාති‍්‍ර දොලහ සිට පාන්දර හතර වනතෙක් වොච් ඩියුටිය කරනා මා යළි උදෑසන ආහාරය ගන්නට අවදිවන්නේ නැති නිසා ඩියුටියෙන් පසුව කන්නට ආහාර සලාකය ලෙසින් ක්ෂණික මැගී නුඞ්ල්ස් පැකට්ටුවක් හා බිත්තරයක් දිනපතාම ලැබින.  දින පතාම එකම ආහාරය දිගින් දිගටම කන්නට බැරිවිම නිසා මෙය අප විසින් විවිධාකාරයෙන් සකසා කෑමට ගන්නට පෙලබිසිටින්නෙමු. කෑලි පහයි වැඩ සියයි කියන්නා සේ අතට අසුවන කන්නට පුලුවන් මුලුතැන්ගෙයි ඉතුරුවුනු සෑම එලවලුවක්ම ලොකු ලුණු කපා දමා සොසේජස්,අල, උම්බලකඩ, කෑලි මිරිස්, සොයා සොස් මිශ‍්‍රකර අමුතුම කොත්තුවක් හදන්නට විය. මෙසේ අමුතුම කෑම හදන්නට හැකිවන්නේ කුක්ට හෝ ස්ටුවට්ට මුලුතැන්ගෙයි කබඩයේ යතුර අමතක ගිය දිනවලට පමණි. සමහර දිනවලට මේ මිශ‍්‍රණය වැරදිගොස් කටේ තබන්නට බැරි අච්චාරුවක් අවසානයේදි කන්නට සිදුවුනි. මිශ‍්‍ර කරන්නට දෙයක් නොතිබු හෝ දැඩි නිදිමත වැඩි දිනවලට නුඩ්ලස් එක තැම්බිමට දැමු උනුවතුරටම බිත්තරය කඩා දමා කෑමට ගත්තෙමු. 
 
නුඩ්ලස් කොත්තුව 


එදිනත් සුපුරුදු වැසිකිලි පිරිසිදු කිරිමෙන් පසුව මැගි නුඩ්ල්ස් පැකට්ටුව සකසා කෑමට ගතිමි. කෑමෙන් පසුව නිදාගන්නට ඇඳට වැටුන අතර උදේ හතට පමණ දැඩි නින්දේ සිටි මා එකනායක විසින් අවදිකරවීය.   
”අයියේ එඩිසන් අයියා ඔයාට කතාකරනවා.”
”මොකටද?”
තද නින්දේ සිටි මා අවදිකරවිම පිලිබදව මසිතේ ඇතිවුයේ දැඩි නොරිස්සුමකි.
”දන්නේ නෑ බාත්රූම් එක ක්ලීන් වෙලා නැතිලූ.”
”මුන්ට පිස්සුද මල්ලී? මම හැමදාම ක්ලීන් කරලා එන්නේ.”
”කෝකටත් අයියා ගිහිල්ලා බලන්න.”
”මට බෑ බං. නිදිමතයි.”
”මුං බලන් ඉන්නේ ලෙඩක් දාන්න අයියා පොඩ්ඩක්  යන්න.”
ඇදෙන් නැගිටගත් මා සිතේ පැන නැගුනු කෝපය සඟවාගෙන ඉහළ තට්ටුව වෙත ගියෙමි. නානකාමරය අසළ ඔරවාගත් මුහුනින් එඩිසන් හා බක සිල්වා බලාගෙන සිටියහ.
”බලනවා තමුසේ මේක හරියට ක්ලීන් කරලා නෑ.”
”කවුද කියන්නේ කලේ නෑ කියලා? මම වොච් එක ඉවරවෙලා ක්ලීන් කරලයි නිදාගත්තේ.”
”කලාට මේවා හරියට සුද්ද වෙලා නෑ.”
බක සිල්වා නාන කාමරයට හිස පොවා කීවේය.
”මීට වඩා මොනවා ක්ලීන්  කරන්නද? ”
”මු කට ගහගෙන එනවා වැඩියි.”
”තමුසේට ආයේ කියන්නේ නෑ දැන්ම ආපහු ක්ලීන් කරනවා. තමුසේ වොච්කරලා නිදාගෙන හිටියාට කමක් නෑ නැගිට්ටෝලා කරවනවා.”
එඩිසන් කීවේය. මා සිත කෝපයෙන් පිපිරියන්නට මෙන් වීය. කිසිවක් නොකියා යළිත් බාත්රූම් එක පිරිසිදු කර කැබිනයට පිටත්වි ආවෙමි. කැඩුනු නින්දත් සිත තුල නලියන කෝපයත් නිසාවෙන් යළිදු නින්ද අසළකටවත් නොආවේය.  අප මේවන විට සිටින්නේ කන්නසන්තුරේ වරාය පිටතින්ය. උතුරු කොටසට පැමිණිමේදි ජල සැපයුම සීමා කරන තිබියදී බාත්රූම් වල පාවිච්චිය සඳහාද ඇත්තේ මුහුදු ජලය පමණි. පිරිසුදුකාරක මුහුදු ජලය සමගින් එකතුවූවත් ඉන් හොඳ පිරිසිදු කිරිමක් බලාපොරෝත්තු විය නොහැකිය. බක සිල්වා එබි එඩිසන් ඉත්තෙකු කර ගනිමින් බළල්ලූ ලවා කොස්ඇට බෑවිමේ කර්තව්‍යයක නියැලීසිටින බව මට වැටහුනි. වොච් එකෙන් පසුව නිදාගෙන සිටි මා අවදිකර බාත්රූම් පිරිසිදු කිරිම අප එන්ජිනේරු අංශයේ ඉන්ජිනේරුවරුන් ඇතුලූ සියළු දෙනා දැනගත්තත් එයට විරුද්ධව කතා කරන්නට තරම් පිටකොන්දක් ඇති අයෙකු එහි නොවිය. පුළුවන් තරම් ආධුනිකයන් මරවා මරවා වැඩ ගැනිම මෙම නැව් සමාගමේ සිටි බොහෝ සිංහල නිලධාරින් හා ඉන්ජිනේරුවරුන්ගේ ප‍්‍රතිපත්තිය විය.  

”අයියේ හෙටත් උදේට ඔයාව ඇහැරනවා. ඊයෙත් කිව්වා බාත් රූම් හරියට ක්ලීන් වෙලා නැතිලු. නැගිට්ටුවලා ආයෙත් කරවනවා කිව්වා.”
දින දෙකකට පසුව යළිත් අනතුරු ඇගවිමක් එකනායකගෙන් ආවේය.
”කවුද මාව ඇහැරවනවා කිව්වේ?”
”එඩිසන්.”
”හරි බලමුකෝ.”

දුම්මල වරම අතින් ගත් යකදුරාසේ කැබිනයට කඩා පැන්න එඩිසන්


පසුවදා පෙර පරිදිම එකනායක මා අවදිකරවීය. දැඩි නිදිමතකින් සිටි මා මාගේ කෝපය එකනායක වෙත එල්ල විය.
”අයියේ අන්න අදත් එඩිසන් කතා කරනවා.”
”මේ මොන මලවදයක්ද මන්දා. ගිහිල්ලා කියනවා මම මගේ වැඩ ටික ඉවරලා කරලා තියෙන්නේ කියලා.”
එකනායක මදක් පසුබට වෙමින් මගේ පනිවිඩය එඩිසන්ට පැවසීමට පැකිලෙන්නට විය. මා අනෙක් පසට හැරි නිදාගන්න විම නිසා ඔහු මගේ පනිවිඩය රැුගෙන ගොස් ඔහුට කීවෙය. යළිත් ඔහු පැමිණියේ එඩිසන්ගේ තර්ජනයක් සමගිනි.
”අන්න අරූට මලපැනලා ඉන්නේ. ආවේ නැත්නම් ඌ ඇවිල්ලා ඇදගෙන යනවා කිව්වා.”
”මම යන්නේ නෑ. ඌට  ඕනේ දෙයක් කරන්න කියපං.”
මා කෝපයෙන් යුතුව කීවෙමි. ටික වේලාවක් මාදෙස බලාසිටි ඔහු යළිත් තම රාජකාරියට පිටත්ව ගියේය. ඔහු කීවා නිවැරදිය එඩිසන් කැබිනයට පැමිණියේ කෝපයෙන් ගුගුරමින්ය.
” ඕයි මේ තමුසෙට පනිවිඩයක් එව්වාම එන්න දන්නේ නැද්ද? නැගිටපං. නැගිටපං. ඇවිල්ලා හරියට බාත්රූම් එක ක්ලීන් කරපන්.”
මා ඔහුගේ ගිගිරිම නොඇසුනාක් මෙන් සිටියෙමි. ඔහු මගේ ඇගෙන් අල්ලා සෙලවන්නට විය. එඩිසන්ගේ අත ගසාදැමු මා
”කරදර කරන්නේ නැතිව යනවා යන්න.”
”ඇදෙන් ඇදලා දාන්න ඉස්සර ගිහිල්ලා වැඬේ කරපන්.”
”මට බෑ. මම කරන්නේ නෑ.”
”උඹ මගෙන් ගුටිකන්නයි හදන්නේ බැහැපන්.”
”මම එකපාරක් කිව්වානේ බාත්රූම් එක ක්ලීන් කරලා තමයි ආවේ තමුසේට පුළුවන් දෙයක් කරනවා.”
එඩිසන් අතින් අල්ලා ඇදෙන් බිමට ඇද දමන්නට වැරෙන් අදින්නට විය. මගේ පුළුවන් විර්්‍යය යෙදා ඇදෙන් නොනැගිටි සිටින්නට උත්සාහ කලෙමි. ඔහු වරෙන් අදින තරමටම මා අසලවු කනුවක් බදාගෙන බිමට නොවැටි සිටින්නට වගබලාගතිමි. 
නැවක ඇදක්    


          ප‍්‍රධාන එන්ජිම පනගැන්වෙන හඬ එන්ජින් කාමරයෙන් ඇසින. කන්කසන්තුර වරායේ පිටත නවතා තිබු අප නැව බඩු බෑම සඳහා යළිත් වරාය මුව වෙත යාත‍්‍රාකරන්නට පටන් ගෙන ඇත. එඩිසන්ගේ ශක්තිමත්භාවයට මා පැරදුනි. බදාගත් කණුව දෑතින් ගිලිහි ගියායින් ඇදෙන් බිමට ඇද දමන්නට ඔහුට හැකිවුනි. තවදුරටත් ඔහු සමගින් වාදකලහොත් අනිවාර්යෙන්ම ගුටිකන්නට සිදුවන බැව් සිතට දැනුනි. මා ගත පුරා කෝපය අගිනිජාලාවක් සේ දිව යන්නට පටන්ගෙන ඇති සේය. ශරිරයෙන් උස මහත ඔහු හා ගහගැනිමට නොහැකිය. කලයුත්තේ එතැනින් පැනගැනිම බැව් මගේ සිතට ක්ෂනිකයෙන් පිවිසුනි. කෝපයෙන් මුසපත්වු මා අතට අසුවුන කමිසයද රැගෙන ඇලිවේ එක දිගේ දිවයන්නට විය. එඩිසන්ද මා පසුපසින් දිව එන්නට වුයෙන් එකවරම එන්ජින් කාමරයේ ෙදාර ඇරගෙන ඇතුලට දිවගියෙමි. ඔහුද මා පසුපසින් ඇතුලට පිවිසෙන බව නෙත් කොනකට දිස්විය. පඩි පෙලවල් බසිමින් පහත තට්ටුවටම දිවගිය අතර මේ වන විට කන්කසන්තුරේ වරාය වෙත පිවිසෙන්නට නැව ගමන් කරමින් තිබුනි. එන්ජින් කාමරයේ හි දෙවන හා තුන්වන ඉන්ජිනේරුවරුන් හා ඔයිලර්වරුන් සියල්ලන්ම සිටියහ. මා පහළ තට්ටුවට දිවගියේ උඩකය නග්නව කමිසය අතින් රැුගෙනය. පසුපසින් එලවාගෙන ආ එඩිසන් මා පහළ තට්ටුවට පැමිණි පසුව ආපහු හැරි ගොසිනි. සියල්ලන්ම තුෂ්නිම්භූත වි මාදෙස බලන්නට විය. මාහට සිදුවු දේ කුමක්දැයි දෙවන ඉන්ජිනේරුවරයාට පවසන්නටවුයේ ජෙනරේටර් එන්ජින් හා ප‍්‍රධාන එන්ජිමෙන් නැගෙන දැඩි ගෝෂාව මධ්‍යයේය. මැනුවරින් අවසන් වන තෙක් ලෑලී පෙට්ටියක් උඩ අසුන්ගෙන සිටින ලෙසින් පැවසු ඔහු යළිත් තම කාර්්‍යයේ නිරතවන්නට වුනි. කමිසය හැදගත් මා ලෑලී පෙට්ටිය මතට වි සිරුර පුරා දිව යන කෝපය සමනය කරගන්නට උත්සාහ කරන්නට විමි. මැනුවරින් අවසන් වන විට තවත් අඬ හොරාවක් පමණ ගේවිගියේය. ඉන් අනතුරුව ඔහු මගෙන් සියළු විස්තර ඇසීය. අලූයම හතරෙන් පසුව පිරිසිදු කල නාන කාමරය හා වැසිකිලිය උදේ හතවන විට කිදෙනෙක්  පාවිච්චි කරන්නට ඇතිද? එවන විට එය දිලිසෙන්නේ නැතිබව මම දෙවන ඉන්ජිනේරුවරයාට පැවසුවෙමි. මෙය එඩිසන් හා බක සිල්වා විසින් කරන ලද්දේ පලිගැනිමේ චේතනාවෙන් බව කීවෙමි. ඔහුට මා කියන ලද්ද සත්‍යක්දැයි බැලීමට අවශ්‍යවුයෙන් මාද කැටිව ප‍්‍රධාන තට්ටුවේ නානකාමර දෙක පරික්ෂාකර බැලීය. යළිත් කැබිනයට ගොස් නිදාගන්නට පැවසු ඔහු එඩිසන් සමගින් කතාවට නොගිහින් ඉන්නැයි ඉල්ලා සිටියේය. කැබිනයට ආ මා ඇදේ ඇලවූවත් නින්ද යළි කැඳවාගන්නට නම් නොහැකිවිය. සිත පුරා උඩුදුවන නොසන්සුන් කමත් කෝපයත් නිසාවෙන් ඉතිරි පැය කිහිපය නොනිදාම ගතකලෙමි. නාරාවලක් බදුවූ මෙම නෞකාවෙන් ඉතා ඉක්මනින් බැස ගෙදරයන්නට ඇත්නම් විටෙන් විට සිතට නැගුණි.

          දොලහේ වොච් එකට යන්නට එකලොහාමාරට දහවල් අහාරය හිමිවෙයි. එහෙත් මෙම නැවේ කෑමෙන් පසු ලැබෙන අතුරුපස කිසිදාක දහවල් දොලහට පෙර කෑම ගන්නා මට නොලැබුනි. කෑම ගැනීමට ගැලියට ගිය මා හට වෙනදා පෙනෙන චීෆ් කුක්ගේ සිනාමුසු මුහුණ දක්නට නොලැබුනි. විශාල වරදක් කර ඇති අයෙකු සේ මා ගනන් නොගෙන කතාබහකින් තොරව බත්පත බෙදාදුනි. කෑම එක කන අතරේ චීෆ් ඉන්ජිනියර්ගෙන් කැදවිමක් ඇතිබව එකනායක පැමිණ දැනුම්දුනි. අහාරයෙන් පසුව ඔහුගේ කැබිනයට ගිය මාගෙන් අද දින සිදුවු සිද්දියේ විස්තර ඇසීය. දින කිහිපයක් තිස්සේ මේ ලෙසින් එඩිසන් කරදර කල බවත් අද දින කැබිනයට පැමිණ ඇඳෙන් බිමට ඇඳ දමා පහර දිමට පැමිණි බවත් කීවමි. එසේම ඔහු මා පසුපසින් එන්ජින් කාමරය තෙක් එලවාගෙන ආ බවත් එය මැනුවරින් වෙලාවේ එන්ජින් රූම් හි සිටි සියල්ලන්ම දුටු බවත් පැවසුවෙමි. මෙම බාත්රූම් මා විසින් නිසි පරිදි පිරිසිදු කර ඇතිද යන්න චීෆ් ඉන්ජිනියර් විමසීය.  ඕනෑම කෙනෙකුට පාන්දර හතරෙන් පසුව මාගේ කාර්්‍යය පැමිණ බලාගත හැකිබවත්. නැව මුහුදේ ගමන් කරන විටදි මා සමගින් වොච් එකහි සිටින දෙවන ඉන්ජිනේරුතුමා එය දැක ඇතිබව කීවෙමි. කිසිත් නොකියා හිස සෙලවු ඔහු නැවත එන්ජින් රූම් එකට ගොස් වැඩකරන ලෙසින් පැවසීය. 


          මෙම සිදුවිමෙන් පසුව ඩෙක් අංශයේ බොහෝ දෙනෙකු මා සමගින් කතාබහ කිරිම උවමනාවෙන්ම මගහරින්නට විය. අත්‍යාවශ කරුණකට කරන කතාබහක් වුවත් අරියාදුවට මෙන් කරන්නට බක සිල්වා වෙල්ඩරයා ඇතුලූ නහරකාරයින්ට  ඕනෑවීය. චීෆ් ඉන්ජිනියර් විසින් චීෆ් ඔෆිසර්ට මේ සිද්ධිය පැමිණිලි කිරිමෙන් පසුව එඩිසන්ගේ අනවශ්‍ය ඇඟිලි ගැසීම් අඩුවිය. එහෙත් ඔහු කල කි‍්‍රයාවට විරුද්ධව නැවේ ඉහළ නිලධාරින් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගත්තාදැයි අදටත් මා නොදන්නා දෙයකි.                       

No comments:

Post a Comment

අදහස් මෙතන නිදහස් කරන්න

පළිගු කිරිල්ලී - හතරවන කොටස

රැකියාවක් නොකල බැවින් තමාලිට නිවසේ අඟහිඟකම් දැනෙන්නටවූයේ අතමිට ගැවසුණු මිලමුදල් අවසන්වෙද්දීය. ඇය ජයවීර රැකියාව කල ඩිපෝවට ගොඩවූයේ ඔහුග...