Saturday, August 1, 2020

පළිගු කිරිල්ලී - පළමු කොටස


Posted: 15 Jul 2020 08:35 AM PDT

1


පිම්මේ ආ තී‍්‍රරෝද රිය එකවරම ඉද්ද ගැසුවාක් මෙන් තිරිංග යොදමින් නැවත්වූයේ දහවල් හිරු රැසින් ගිනියම්වූ තාර පාරේ ටයර් කට්ට රටාවන් සිටිනසේය. දොර කවුලූවෙන් එන සුළං රැල්ලට දෑස් පියවීගෙන ආවා විතරය. තිගැස්සුනු ඉන්දිරා තමා සිටින්නේ කොහේදැයි සිහි එලවාගැනිමට ඈ ත‍්‍රීරෝද රියේ සිටම අවට  බලමින් මඳ වේලාවක් ගත්තා ය. සුවිශාල කළු පැහැති ගේට්ටුවක් ඉදිරිපිට නතර කර තිබු රියේ ඇක්සලේටරය කරකවා දෙතුන්වරක් එන්ජිම සැර දැමු රියදුරු කොලූවා පැති කන්ණාඩියෙන් ඉන්දිරා දෙස බලා 
”මෙතනද මිස් කිව්ව තැන?” ඇයි ඇසීය. 
තවත් වරක් කළු පැහැති සුවිශාල ගේට්ටුව දෙස බැලීමෙන් නියමිත ස්ථානයට තමන් පැමිණ ඇති බව ඈ පසක් කර ගත්තා ය. තවමත් සුව නින්දකට වැටි සිටින මල්ෂා දෙස බැලූ ඉන්දිරා ඇයව අවදි කරන්නට තැනුවා ය. අත ඉවතට තල්ලූ කර දැමූ මල්ෂා යළිත් අනෙක් පසට හැරී නිදන්නට උත්සාහ කළා ය.
”නැගිටින්න මල්ෂා. කෝ ඉක්මණට නැගිටලා බහින්න.” 
ඈලිමෑලි කඩමින් අවදිවූ මල්ෂා රියෙන් බහින්නට අදිමදි කරන්නට විය. පිටුපස අසුනේවූ විශාල ට‍්‍රැවලින් බෑගය ඉතා අපහසුවෙන් ඇද එළියට ගත් ඈ මල්ෂාව අනෙක් අතෙන් අදිමින් බලහත්කාරයෙන් බිමට බස්සවා ගත්තා ය. හැන්ඞ් බෑගයෙන් ගත් මුදල් නෝට්ටු කිහිපයක් රියදුරාට දිගු කල ඈ අසුන පිටුපසට වන්නට තබා තිබූ ඇඳුම් පිරවූ කළු පැහැති ෂොපින් බෑග් දෙකත් අසීරුවෙන් එළියට ඇදගත්තා ය. කිහිප සැරයක් එන්ජිම සැර දමා ගියරය මාරු කල තී‍්‍රරෝද රිය ඉන්දිරා හා මල්ෂාව සුවිශාල ගේට්ටුව ළඟ දමා ඉගිලූණි. කරෙහි එල්ලාගත් ට‍්‍රැවලින් බෑගය විශාල බැවින්, නිදි මතයෙන් සිටි මල්ෂා පාර දෙසට යෑම වලක්වාලන්නට ඇගේ අතින් අල්ලාගන්නට ඉන්දිරා අසීරු වෑයමක යෙදුණාය. ඊළඟ නිමේෂයේදී එකවරම ආ තී‍්‍රරෝද රියක් ඈ ඉදිරියේ නැවැත්වීය. ගොදුරකට ඉව අල්ලන වල් සතෙකුසේ ඉන්දිරා දෙස එකඑල්ලේම බලා සිටි තී‍්‍රරෝද රියහි රියදුරා
”යනවානම් නගින්න නංගි. කොහේටද යන්න  ඕනේ?” ඇසීය.
ඉන් තිගැස්සී ගිය ඉන්දිරා පාරට පිටුපා ගේට්ටුව දෙසට හැරුණා ය. මඳ වේලාවක් එන්ජිම සැරදමමින් ඉන්දිරා දෙස බලාසිටි තී‍්‍රරෝදකරු ඉක්මනින් එතැනින් පිටවී ගියේය. උසුලාගෙන ඉන්නට බැරි තරම් බරින් යුතු ට‍්‍රැවලින් බෑගයත් ෂොපින් බෑග් දෙකත් බිම තැබූ ඉන්දිරා විදුලි සීනුවේ බොත්තම තද කළා ය. විනාඩි කිහිපයක් ගතවුවත් නිවසේ කවුරුවත් ගේට්ටුව විවර කරන්නට නොආවේය. ගේට්ටුවේ වූ හිදැසක් තුළින් ගෙවත්තට එබිකම් කරන්නට උත්සාහ කල නමුත් ඇගේ දෘෂ්ටියට අසුකරගැනීමට තරම් එහි හිදැස විශාල නොවීය. තවත් තප්පර කිහිපයක් බලාසිටි ඉන්දිරා යළිත් විදුලි බොත්තම තද කළා ය. පාරේ පිම්මේ ආ තී‍්‍රරෝද රථ කිහිපයක්ම ඉන්දිරා අසලදි සැර බාල කර ඈ දෙස බලමින් සෙමින් සෙමින් ධාවනය වන්නට විය. 
රත්වු තාර පාරෙන් නැග එන කෑකෑරුණු වාතය ඔවුන් දෙදෙනා දවාලමින් ඉහළ අවකාශයට ඇදිණි. තව දුරටත් දැඩි දාහය මධ්‍යයේ පාරේ රැඳි සිටින්නට නොහැකි බව ඇයට පසක්වුණි. නිවසේ කවුරුන් හෝ නොමැති වුවහොත් නොදන්නා පෙදෙසෙක නොදරුවෙකු සමඟින් මහපාරේ තනිවන්නට සිදුවීම පිළිබඳව බියක් ඈ සිතේ මෝදුවන්නට විය. අපේක්ෂාභංගත්වයට පත් ඉන්දිරා තම අභිනිෂ්ක‍්‍රමණය පිළිබඳ පශ්චාත්තාපයට පත්වූවා ය. එන්න එන්නම වැඩි වන අව්රශ්මිය නිසාවෙන් තොලකට වියැළී පිපාසාව එන්න එන්නම දැඩිවෙන්නට වුණි.
”අම්මා මට වතුර තිබහයි. වතුර බොන්න  ඕනේ.”
”ටිකක් ඉන්න පුතේ.”
”මට වතුර  ඕනේ.” 
”ඇයි මම බීම බෝතලයක් අරගෙන දුන්නේ. තව ටිකකින් වතුර දෙන්නම්.”
”මට තිබහයි අම්මේ වතුර  ඕනේ.”
මල්ෂා කන්කෙඳිරි ගාන්නට පටන්ගත්තා ය. සිත් පුරා දැවෙන කරදර ගොන්නෙන් පිඞීත වි සිටින ඉන්දිරාට මල්ෂාගේ කෙඳිරිය නුරුස්සන්නක්ම විය.  
”එක සැරයක් කිව්වා නේද තව ටිකකින් වතුර දෙන්නම් කියලා. දැන් කරදර කරන්නේ නැතිව ඉන්නවා.”
මල්ෂාව නිහඬ කරන්නට දැඩි ස්වරූපයකින් ඇමතීය. අම්මාගේ තවරටුවෙන් සිත පාරවාගත් මල්ෂාගේ සිඟිති මුහුණ අඬන්නට මෙන් බෙරි විය. අතේවූ ලේන්සුව ගෙන උඩුතොලේ හටගත් දහඩිය බිඳු කිහිපය පිස දැමු ඈ යළිත් වරක් සීනුව නාද කරන්නට බොත්තම වෙත අත දිගු කළා ය. සුවිශාල ගේට්ටුවේ වූ විවරයකින් පිටත බැලූ යමෙකු සීනුව නාද කරන්නට පෙර ගේට්ටුවේ අගුල පන්නන හඬ ඇසිණ. 
විවරවූ ගේට්ටුව තුළින් එළියට ආ මඳක් වියැකුණු තාරුණ්‍යයෙන් යුතු ගැහැනිය දැක විදුලි බොත්තම වෙත දිගු කළ අත ඈ යළි ආපස්සට ගත්තා ය.
”ඇයි ඔයා මෙහේ ආවේ?”
 හැඟීම් විරහිත හිස් බැල්මෙන් ඉන්දිරා දෙස බැලූ ඈ ඇසුවා ය.
”මට වෙන යන්න තැනක් තිබුනේ නෑ.”
”මම කියලා තියෙනවානේ මෙහේට එන්න එපා කියලා.”
”මට යන්න එන්න තැනක් නැති වුණාම ඔයා ළඟට එනවා මිසක් වෙන කොහේ කියලා යන්නද අම්මේ?”
”ඔයා දන්නවානේ සුන්දරලිංගම් මහත්තයා මගේ කවුරුවත් මෙහෙට එනවාට කැමති නැති විත්තිය.”
”එහෙනම් මොනවා කරන්නද මම යන්නම්.”
දැඩි හිරු රැසින් මුවා වීමට මෙන් ඉන්දිරාගේ සාය අල්ලාගෙන පිටුපසට වී හොරෙන් බලා සිටිනා මල්ෂාව  තමාලිගේ දෑසට අසුවිය.
”මෙතෙන ඉදන් කතා කරන්න බැහැනේ. මේ දරුවාටත් බඩගිනි ඇතිනෙ යමු ඇතුළට.”
”නැහැ  ඕනේ නෑ. අපි යන්නම්. ප‍්‍රශ්නයක් ඇති කර ගත්තොත් අම්මාට රස්සාවත් නැතිවෙයි.” 
”මම ඒක මහත්තයා එක්ක බලාගන්නම්. එන්න, යමු ඇතුළට.”
තමාලි ඉන්දිරා ඇතුළට රැගෙන ගේට්ටුව වසා දැමිය. විශාල ගේට්ටුවෙන් ආවරණයවී පිටතට නොපෙනුණු අලංකාර ගෙවුයනකින් යුක්තවූ ධවල පැහැ මන්දිරය ඉන්දිරා දුටුවේ පළමු වතාවට ය. මෙපමණ අලංකාර නිවසක් දුටු ප‍්‍රථම වතාවවූ නිසාම මල්ෂා විශ්මයට පත්වුණි. 
”අම්මේ මේ බලන්නකෝ මේ ගෙදර ලස්සන.” 
කී ඈ නිල්වන් තණ බිස්ස පාගමින් දිවගියා ය.
”කොහේද දුවන්නේ. මෙහේට එන්න.”
”කමක් නෑ ඔන්න ඔහේ ගියාවේ. හැබැයි දරුවෝ ඔය මල් ගස්වල මල් කඩලා දාන්න එපා.”
මන්දිරයේ ඉදිරිපසින් වූ අතුරුමඟකින් එහි පසුපසට ඉන්දිරාව රැගෙන ගිය තමාලි ප‍්‍රැන්ටියේ වූ කුඩා කෑම මේසයේ අසුන්ගැන්වීමට සැලැස්සුවා ය. සුරංගනා ලොවක අතරමංවූවාක් මෙන් නෙක විසිතුරු දෑ බලමින් තැන තැන ඇවිදන මල්ෂාව ඉන්දිරා ළඟට ගෙන්වාගෙන ඔඩොක්කුවේ හිඳුවාගත්තා ය.
”දැන් මොකද වෙලා තියෙන්නේ? කෝ විජිත?”
”මොනවා වෙන්නද අම්මේ. අම්මා දන්නවානේ වෙනදා ඉන්න විදිහ. තවත් මේ තිරිසනා කියන විදිහට ඉන්න බෑ ඒකයි මම දමලා ගහලා ආවේ.” 
”දමලා ගහලා එන එක නෙමෙයි විසඳුම. දැන් මේ දරුවත් එක්ක මොකද කරන්නේ?” 
”මම රස්සාවක් හොයාගන්නවා.” 
”උඹ රස්සා කරන්නේ කොහොමද ළමයා එක්ක? කොහේද නතරවෙන්නේ?”
”මම  එ්ක ගැන හිතුවේ නැහැ.”                                                                                                                              
”උඹ කවදාද ඉස්සරහ ගැන හිතලා වැඩ කළේ? ඒ කාලේ හිතුවානම් මෙහෙම ළමයෙක් එක්ක අනාථ වෙන්නේ නෑ.”
තමාලි කීවා ය. ඇගේ වදනින් සිත රිදවාගත් ඉන්දිරා නිරුත්තරව සිටියා ය. මඳ වේලාවක් කල්පනා කරමින් සිටි තමාලි 
”ඔය දෙන්නාව මෙහේ නතර කරගන්න බැහැ. හපුතලේ සුදු නැන්දලාගේ ගෙදර නවතින්න තමයි වෙන්නේ. ”
”මට එහෙට යන්න බෑ.” 
”ඇයි එහෙම කියන්නේ? වෙන යන්න කියලා තැනක් අපිට නෑනේ. ටික දවසකටවත් එහෙට ගියොත් හොදයි.”
”එයා නිසයි මට මේ දේ සිද්දවුණේ.”                                                                                                                                                                                         
”ඒක සුදු නැන්දාගේ වැරද්දක් නොවෙනේ. උඹනේ ඒකට වගකියන්න  ඕනේ.”
”අම්මා දැන් ආයෙමත් පරණ කුණුගොඩවල් අවුස්සන්න එපා. ඒ දවස්වල සිද්ධවුණු දේවල් මම දැන් අමතක කරලායි ඉන්නේ.”
”දැන් විජිත දන්නවාද ඔයා ආපු බවක්?”
”දැන් දන්නවාත් ඇති. මාව බැල්ලියෙක් ගානට එහෙන් එලවාපුවාම මට තවත් එතැන ඉන්න පුළුවන්ද?”
”එතකොට අර ගෙදර බඩුමුට්ටු එහෙම? ඒවාට මොකද කළේ?”
”මොනවත් කළේ නෑ. එහෙමම දාල ආව.”
”අපරාදේ ඒවා ටික නැතිවෙලා යාවි.”
”කමක් නෑ ඒවා නැතිවුණාට කමක් නෑ. මට මගේ ජීවිතෙත් නැතිවුණ එකේ ඔය බඩු මොකක්ද.”
”නෑ ඒවා අරගන්න  ඕනේ. ඒ බඩු එකක්වත් විජිත ඔයාට අරන් දුන්න බඩු නෙමෙයි නේ. විජිත ගාව තිබ්බොත් ඒවාත් විකුණලා දාවි.”
තමාලි දුන් සිසිල් බීම වීදුරුව එක හුස්මට බී අහවර කළ මල්ෂා තවත් ටිකක් ඉල්ලූවා ය. තමාලි තව බීම වීදුරුවක් පිළියෙල කරන තෙක් ඉන්දිරා බීම විදුරුව අතතිව කල්පනාවට වැටුණි. 
එදින හවස පැමිණි නිවසේ අයිතිකාර මහත්තයාට ඉන්දිරාව පෙන්වා දින දෙකකට පමණක් ඇයව නවත්වාගන්නට තමාලිට අවසර ගැනිමට හැකිවිය. 
”මම මහත්තයාගෙන් අවසර ගත්තා හෙට ගනේමුල්ලේ යන්න.”
රාත‍්‍රි ආහාර ගන්නා අතරතුරේදී ඉන්දිරාට තමාලි පැවසීය.
”මොකටද ආයේ එහේ යන්නේ?”
”ඇයි උඹලාගේ බඩු මුට්ටු? ආයෙත් ඒ මිනිහා එක්ක පවුල් කන්නේ නැත්නම් මොකටද ඒවා එහේ තියන්නේ?”
”ඔන්න ඔහේ ඒවා අතහැරලා දාමු අම්මේ, මට  ඕවාට ආසාවක් නෑ.”
”එහෙම පුළුවන්ද නිකං දීලා දාන්න?”
”ඒත් මට බයයි එහේ යන්න. විජිත හිටියොත් එහෙම.”
”මොකටද බය වෙන්නේ. එයාගේ බඩුමුට්ටු එතන නෑනේ. මොකක් හරි ප‍්‍රශ්නයක් දාන්න ආවොත් අපි පොලීසියට යමු.”
ඉන්දිරාගේ අකැමැත්ත නොතැකු තමාලි සුන්දරලිංගම් මහතාගේ නිවසින් උදෑසනින්ම පිටවී ගනේමුල්ලේ පිහිටියාවූ ඉන්දිරා හා විජිත පදිංචිවී සිටි කුලී නිවසට ගියා ය. ඉන්දිරා තම කුලී නිවස දකිද්දීම බියෙන් හැකිළෙන්නට වුයේ විජිත නිවසේ සිටිය හැකි බැවිනි. නිවස වසා දමා තිබුණායින් ඈ අනෙක් පසින්වූ නිවසේ හේමමාලි අක්කාව හමු වූවා ය.
”අනේ ඉන්දිරා ඔයා ආවාද. මම හොඳටම බයවෙලා හිටියේ කොහේ කියලා හොයන්නද කාගෙන් අහන්නද කියලා. අයියත් මට බැන්නා ඔයාට යන්න දුන්නා කියලා. ඔයා ගිහිල්ලා මොනවා හරි කරදරයක් කරගනීද දන්නේ නැති නිසා.”
”කෝ අක්කේ විජිත?”
”එදායින් පස්සේ එයාව දැක්කේම නෑ. ගෙදරට ආවද කියලා දැක්කේත් නැහැ. ලැජ්ජාවට මූණ දෙන්න බැරිවද දන්නේ නෑ, මෙහෙට නම් එයා ආවේ නෑ. ඔයා දුන්න ගෙදර යතුර මා ගාව තියෙනවා.”
ඇය ශීතකරණය උඩ තබා තිබු යතුර රැගෙන ඉන්දිරාට ලබා දුන්නා ය.
”දැන් ඔයා මොකද කරන්නේ?”
”මම අම්මා ළඟ ටික දවසක් ඉන්නවා. දැන් ආවෙත් ගෙදර බඩු ටික අරගෙන යන්න.” 
”ඔයලා මෙහෙම වෙන්වෙන එක දුවටයි බලපාන්නේ. තව ටිකක් බැලූවානම් හොඳ නැද්ද?”
”අනේ අක්කේ මේ මිනිහා එක්ක තවත් ඉන්න එකත් පණපිටින් අපායේ යනවා වගෙයි. මේ ගින්දර උහුලලා මට ඇති වෙලා. තවත් හිටියොත් දුවටත් කරදර කරයිද දන්නේ නෑ.” 
”කොහොමටත් ඔය මිනිහා එන්න ඉස්සරවෙලා මෙහෙන් බඩු අරගෙන යන එක හොඳයි.”
තමාලි කීවා ය. 
වසා දමා තිබු නිවසට ඇතුළු වෙද්දීම ඉන් නැග ආවේ ඉවසිය නොහැකි පිලූනු දුගඳකි. සාලය පුරා විසිරුණු බත් ඇට හා හොදිවලින් එදා සිදුවූ කලබගෑනිය තමාලිට අවබෝධ විය. පසෙක පෙරළී තිබූ පුටුව යළි නැගිටවාලූ ඈ හිමිහිට ඇතුළට අඩිය තිබුවේ කැඩුනු පිඟන් කටු බේරමිනි. මල්ෂා හේමමාලිගේ පුතු සමඟින් මිදුලේ වැලි අතගාමින් සෙල්ලම් කරනු දුටු තමාලි හෙමිහිට පිඟන් කටු කැබලි අහකට පයින් තල්ලූ කළා ය. නිදන කාමරයේවූ එක් දොරක් ඇතුලට ඇඹරිගිය යකඩ අල්මාරියේ අනෙක් දොරහි බාගෙට බිඳුණු කන්ණාඩියෙන් තමාලි ඇගේ ප‍්‍රතිරූපය දෙස මඳක් බලාගෙන සිටියා ය. ඇඹරි ගිය අල්මාරි දොරෙන් තම දියණිය හා විජිතගේ පවුල් ජීවිතය කෙසේ ගත කළේ්දැයි වටහාගත්තා ය.   
”දැන් කොහේටද මේ බඩුමුට්ටු ඔයාලා අරගෙන යන්නේ?”
”ඒක තමයි මමත් කල්පනා කළේ. මම ඉන්න ගෙදරට ගෙනියලා තියන්න තැනකුත් නෑ. අදම මේවා හපුතලේට කොච්චියෙන්වත් යවන්න බලන්න  ඕනේ.”
”ඉන්න මම නිහාල් අයියාට කෝල් එකක් දුන්නා, එයා තව ටිකකින් ඒවි. එයා මොනවා හරි කරන්න බලයිනේ. ” හේමමාලි කිවාය. 
තමාලි හා ඉන්දිරා ඉක්මනින් නිවසේ කැඞීබිඳී අබලන් තත්වයේ නොවූ ගෘහභාණ්ඩ තෝරාබේරාගෙන සාලයට එකතු කරන්නට වූහ. මෝටර් සයිකලයක් මිදුලේ නවතන හඬ ඇසුණායින් හිත තිගැස්සුණු ඉන්දිරා අම්මා දෙස බැලීය.

නිවසට ආවේ කවුද?  .............. මතුසම්බන්ධයි.................

No comments:

Post a Comment

අදහස් මෙතන නිදහස් කරන්න

පළිගු කිරිල්ලී - හතරවන කොටස

රැකියාවක් නොකල බැවින් තමාලිට නිවසේ අඟහිඟකම් දැනෙන්නටවූයේ අතමිට ගැවසුණු මිලමුදල් අවසන්වෙද්දීය. ඇය ජයවීර රැකියාව කල ඩිපෝවට ගොඩවූයේ ඔහුග...