Saturday, August 1, 2020

පළිගු කිරිල්ලී - තුන්වන කොටස



Posted: 27 Jul 2020 05:22 PM PDT


“තමාලි අක්කේ. . . . තමාලි අක්කේ. . . . ගෙදර කව්දෝ. . . . . ” 
“කවුද?  ආ . . . මේ මිල්ටන්නේ ඇයි   මොකද? අද වැඩට ගියේ නැද්ද?”
“නෑ, අද වැඩට ගියා. ඒත් මේ . . . . ”
“වැඩට ගියානම් මෙහේ මොකද කරන්නේ? ඇයි ජයවීර අයියා පණිවිඩයක් කියන්න එව්වාද?”
“නෑ අක්කේ පොඩි කරදරයක් සිද්ධවූනා.” 
“ඇයි අදත් බස්එක කොහේ හරි වද්ද ගත්තාද? අයියාට කරදරයක් එහෙම නෑනේ?”
“පොඞ්ඩක් ඉන්න මට කියන්න ඉඩ දිලා. ජයවීර අයියා අතින් ළමයෙක් හැප්පුනා.” 
“කොහේදිද? ළමයාට අමාරුද?”
“අද ඉස්කෝලේ ගාව කහ ඉරේදි. ළමයාට ටිකක් අමාරුයි වාගේ. තව ඩිංගෙන් මිනිස්සු අයියටත් ගහලා බස් එකටත් ගිනි තියෙනවා.” 
“කෝ දැන් ජයවීර?”
“එයා පොලීසියට අරන් ගියා. පොඩි අවුලකට තියන්නේ අයියා ඒ වෙලාවේ ටිකක් අරගෙන තමයි හිටියේ.”
“මම ඔය මනුස්සයාට කියලා තියෙනවා බීලා බස් එක අල්ලනවත් එපායි කියලා. මම කියන ඒවා කනකටවත් ගන්නවා නම් කමක් නෑ. ඩිපෝ එකට කිව්වාද මල්ලියේ?”
“එහෙට කියලා තමයි මෙහේට දුවලා ආවේ.”
“මල්ලි පොඞ්ඩක් ඉන්න මම ඇඳුමක් දාගෙන එනකං.”
තමාලි ඉක්මනින් ගවුමක් ඇඳගත්තා ය. මිල්ටන් සමගින් ඇය රත්නපුර පොලීසියට ගියේ හැප්පුනු ළමයාට අනතුරක් නොවේවායි ප්‍රර්ථනා කරමින්ය. ළමයාට අනතුරක් නැත්නම් ජයවීර නිදහස් කරනු ඇතැයි ඈ සිතුවා ය. පොලීස් ස්ථානයේ ගේට්ටුවේ සිටි කොස්තාපල්වරයාට කිසිවක් කී මිල්ටන් තමාලිව රැගෙන ඇතුළට පිවිසිණි. 
“කොහේද යන්නේ?”
කාන්තා පොලීස් නිලධාරිනියක් තමාලිගෙන් ඇසුවේ මාර්ගය වැරදි පරිපාලන අංශයට ගිය අවස්ථාවේදිය. 
“මේ අර සිටිබි බස් ඇක්සිඩන්ට් එකේ ඩ්‍රැයිවර්ව හොයනවා.” 
මිල්ටන් පොලීස් කාන්තාවට කීවේය. 
මිල්ටන් දෙසත් තමාලි දෙසත් විමසුම් බැල්මක් හෙලු ඇය.
“තමුන්ගේ කවුද?” 
“මේ එයාගේ පවුල.”  
“පාරේ හිටපු ළමයි ගොඩක් බේරිලා තියෙන්නේ අනුනමයෙන්. කනමදයා වාගේ බීලා වාහන එලවලා මදිවට අහිංසක දරුවොත් යට කරනවා. අන්න අරහේ කුඩුවේ බලනවා.”
ඇය කෝපයෙන් යුතුව තමාලිට කියා ඇතුළට ඇවිද ගියා ය. 
සිර මැදිරි පිහිටි කොටසට ඇතුල්වූ ඔවුන් එතැන සිටි කොස්තාපල්වරයාගෙන් අවසර ගෙන කුඩුව අසලට ළංවින. අඩිදෙකක් පමණ පළලැති සිරමැදිරියේ යකඩ දොරහි ඝනකම් කමිබිකුරු අල්ලාගෙන පිටත බලාගෙන සිටින හැඩිදැඩි තරුණයාගෙන් අවහිර වූ දොරටුවෙන් ඇතුලේහුන් ජයවීරව ඔවුනට නොපෙනුණි. තමාලි කිහිප විටක් කූඩුවට තුළට එබිකම් කලත් දොරටුවේ හුන් තරුණයා ඉන් ඉවත්වූයේ නැත. ඉඩ ඇති තැනකින් එබී බැලූ ඈට ඔළුවට දෙඅත් තබාගෙන සිරකුටියේ බිම වාඩීගෙන සිටි ජයවීරව දුටුවා ය. කිහිපවිටක් ඔහුගේ නම හඬ ගෑමෙන් පසු හිමිහිට ඔළුව උස්සා බැලූ ජයවීර නැගිට දොරටුව වෙත ආවේය. අවුල්ව ගිය හිසකේ මෙන්ම හදඩියෙන් තැම්බුනු තෙල් බේරුණු මුහුණ දුටු තමාලිට ඇති වූයේ දුකක් නොව තරහකි. තමාලිට මුහුණ දීමට නොහැකියාවෙන් දැස් බිමට බර කරවාගෙන පැමිණ යකඩකුරූ අල්ලාගත් ඔහු හඬන්නට ළංවු කලකමෙන් දිස්විය. මෙතෙක් වේලාවක් තමාලිගේ සිතේ පැසවෙමින් තිබූ කෝපය ජයවීරගේ දුක්බර මුහුණ දුටුවිට නිවී ගියා ය. 
“ජයේ. . .” 
“මොනවා කරන්නද තමාලි මම ඒ ළමයා පාර පනිනවා දැක්කේ නෑ.” 
“දැන් ඇප  දීලා එළියට එන්න පුළුවන් නේද?”
“එහෙම ගන්න පුළුවන් වෙන්නේ. ....”
“මෙතන කතා කරන්න තියා ගත්තාද? දැන් දැක්කානේ මිනිහා ඉන්නවා බව, යනවා යනවා. ගිහිල්ලා, පස්සේ එනවා.” 
සිරකුටියට පසෙකින්වූ මේසයේ සිටි පොලීස්කාරයා ඇය දෙස ඔළුව උස්සා බලා කෑ ගැසීය. තමාලිගේ දෑසේ මෝදුවූ කඳුළු කැට දෙකක් හිමිහිට කම්මුල් දිගේ පහළට ගලා ගියේ ඇය නොදැනුවත්වය. ඇය යකඩ කූරූ අල්ලා සිටි ජයවීරගේ දෑත් තදින් අල්ලා සිර මැදිරියෙන් ඉවත්වූයේ නොනවත්වා ගලන කඳුළු වැල් ලේන්සුවෙන් පිසදමමිනි. අඩි කිහිපයක් ඇවිද ගිය තමාලි ආපසු හැරී සිරකුටිය දෙස බැලූවාය. ඝනකම් යකඩ කූරු තදින් මිරිකාගෙන තමාලි දෙස බලා සිටින ජයවීරව කඳුලින් බොඳවූ දැසට අසුවූණි. තවදුරටත් එම ඉසව්වේ රැඳි සිටිමට නොහැකිවූ ඈ ඉක්මනින් පොලීසිය ඉදිරි පසට ගියේ කඳුළු සමගින් ආ ඉකිය පිට නොවන්නට තොල තදින් සපාගෙන සිතට දිරි රැගෙනය. ලේන්සුවෙන් දෑස් තෙත මාත්තු කළ තමාලි මිල්ටන් සෙවීය. කොහේදෝ සිට ඔහු තමාලි දෙසට ආවේ ඉක්මන් ගමනෙනි.
“කොහේද මල්ලියේ ගියේ ?”
“මට අක්කා එක්ක ජයවීර අයියා බලන්න එන්න දුන්නේ නෑනේ. මම බැලූවා අඳුණන කවුරු හරි ඉන්නවාද කියලා. ” 
“කවුරුවත් නැද්ද?”
“කොස්තාපල්කාරයෙක්ට පොඩි ගාණක් අතමිට මෙලෙව්වා. අයියාට ඇප දීලා ගන්න පුළුවන්ද කියලා බලන්න. ” 
“එහෙම ඇප දීලා ගන්න පුළුවනිද?”
“පොලීස් ඇප දීලා ගන්න පුළුවන් විදිහේ වරදක් නෙමෙයි එයා කරලා තියෙන්නේ. ඒ වෙලාවේ ජයවීර අයියා බීමතින් හිටියා කියලා ඔප්පුවෙලා ඉවරයි. පොලීසියෙන් බැලුමක් පුම්බලා බලලා තමයි එයාව අරන් ඇවිල්ලා තියෙන්නේ.” 
“අනේ මන්දා මේ ජයවීර කරගන්න දේවල්. දැන් කෝ අර හැප්පුන ළමයා? ඒ දරුවාට අමාරුවක් නෑ නේද?”
“ඒ ළමයා මළෝත් එහෙම අයියාගේ කේස් එක තවත් තද වෙනවා. අද සිකුරාදා හින්දා ජයවීර අයියාව සඳුදාට උසාවි දානවා. පොලීස්කාරයා කිව්වා දැන්ම පෙරකදෝරුවෙක්ව අල්ලගෙන ඉන්න කියලා.” 
ඔහු තමාලි සමඟින් පාරට බසින ගමන් කීවේය. 
“දැන් ඩිපෝ එකෙන් පෙරකදෝරුවෙක්ව අල්ලලා අයියාව බේරාගන්නේ නැද්ද?”
“එහෙම කරන්න පුළුවන් වෙන්නේ අයියා නිවැරදි නම් තමයි. කොහොම නමුත් ඒක තියෙන්නෙත් ලොකු මහත්තුරුන් අතේ තමයි අක්කේ.” 
බස් නැවතුමට පැමිණ පසු තමාලිව බස් රථයකට නංවා මිල්ටන් පිටත්වි ගියේ තම යහළුවෙකුගේ මාර්ගයෙන් දන්නා හඳුනන නීතිඥ මහතෙකු අල්ලා දීමට පොරොන්දුවීමෙන් පසුවය.
තමන් හා දරුවන්ගේ  අනාගතය පිළිබඳව විශාල බියක් සිතේ පැන නැගුනේ ජයවීර නැතිව පවුලේ ආරක්ෂාව ගිලිහී ගියා සේ දැනෙන්නටවූ පසුවය. කොහෙන්දෝ පාදුර්භූතවූ නොසිතූවිරූ ව්‍යසනයක් තම පවුල වටා වෙලෙන්නාක් මෙන් තමාලිට දැනිණ.

                                                                * * * * *

“තමාලි අක්කේ..... තමාලි අක්කේ.....”
දරුවන්ට තේ හදමින් මුළුතැන්ගෙයි සිටි තමාලිට මිදුල දෙසින් මිල්ටන් තමන් අමතන හඬ ඇසිණ.
“ආ මේ මල්ලිනේ. ඇයි මේ උදේ පාන්දරින්ම?”
“ඊයේ මම ගියා අර කිව්ව යාළුවා හම්බවෙන්න. එයා කිව්වා අර පෙරකදෝරු මහත්තයා ඉන්නේ පිටරවුම් පාරේ ගෙදරකලූ. උදේට උසාවි යන හින්දා එයාව හවසට මුණගැහෙන්න පුළුවනි. මම මේ වැඩට යනින් ගමන් ආවේ අක්කාට කියලා යන්න.” 
“එහෙනම් අපි කීයටද විතරද යන්නේ?”
“මම හතරට විතර එන්නම් ටවුමට අක්කාට පුළුවන්නේ බස්ටැන්ඞ් එකට එන්න.” 
“හා එහෙම හොඳයි මල්ලියේ.” 
මිල්ටන් බයිසිකලයේ පැඩලය පසු පසට වටයක් කරකවා දකුණු පයට තද කරගෙන උළුවස්සට හේත්තුවී ඔහුගේ කතාවට සවන්දී ගෙන සිටි ඉන්දිරා දෙස බලා මඳ සිනහවක් පෑවේය. 
“යන්නම් අක්කේ.” 
කී මිල්ටන් දකුණු කකුලට බර දමා වාරුගෙන බයිසිකලය පැද ගියේය.
“අම්මා අද මල්ලිව ඉස්කෝලේ නොයවා ඉන්නම්.”
“ඇයි දැන් ඔයත් නොයා ඉන්නද කල්පනාව. විභාගෙත් ලඟයි නේද? තාත්තාගේ මෝඩ වැඩ වලට  ඉස්කෝලේ වැඩ පාඩු කරගන්න එපා.”
තමාලි නොමනාපයෙන් පැවසුවා ය. 

සවස හතරවන විට බස් නැවතුම් පොළට පැමිණි තමාලි මිල්ටන් සමගින් නීතිඥ මහතා හමුවීමට පිටරවුම් පාරේ පිහිටි ඔහුගේ නිවස බලා පිටත්වූණි. තරමක් පැරණි පන්නයේ නිවසක් අසළ නතරවූ මිල්ටන් 
“අර තියෙන්නේ ඒ මහත්තයාගේ ගෙදර.”
භාගෙට විවරවූ ගේට්ටු පළුව අතරින් ගෙවත්තට ඇතුළුවෙද්දී බිත්තිය අයිනේ එල්ලෙමින් තිබූ අව්වට පිච්චී අතරින් පතර තීන්න පතුරු ගැලවුනු කළු පාට ලෑල්ලක සුදු පැහැති අකුරින් ලියන ලද නීතිඥ මහතාගේ නම සඳහන් බෝඞ් ලෑල්ල තමාලි කියැව්වා ය.

එම්. කේ. සිල්වා. 
එල්. එල්. බි (සිලෝන්)

කාලෙකින් කිසිදු සාත්තුවක් නොකල වල් බිහිවූ වත්තද භාගෙට දිරාපත්වූ පැරණි මොටර් රථයද නිවසට ගෙන දුන්නේ පාලු මූසල ස්භාවයකි. මිල්ටන් නිවසේ සීනුවේ බොත්තම එබීය. මුළු කොණ්ඩයම සුදු පැහැගත් වයසක කාන්තාවක් පැමිණ නිවසේ දොර විවර කෙරුවා ය.
“ඇයි?”
“පෙරකදෝරු මහත්තයා හම්බවෙන්න.” 
“ආ එළියේ කන්තෝරු කාමරේ තියෙන්නේ. අර පැත්තෙන් එන්න. මම දොර අරින්නම්.” 
“මහත්තයා එනකම් ඉඳගෙන ඉන්න.” 
විවර කරන ලද කන්තෝරු කාමරයට ඇතුළුවූ ඔවුනට මහලු කාන්තාව කීවාය. 

ලියන මේසය ඉදිරිපිටවූ වේවැල් පුටුවක වාඩිගත් තමාලි කාමරය සිසරා දෑස් දිවැව්වා ය. දූවිලි හා මකුණු දැල් බැඳුන පොත් රාක්කය පුරවා තිබුණේ විශාල හම්බැම්මෙන් බදින ලද නීතිය පිළිබඳ පොත්වලින් හා මිටි බදින ලද කාඞ්බෝඞ් ෆයිල් කවරවලිණි. බිත්තියේ ඇණයක එල්ලෙමින් තිබු පාට වියැකුණු කළු කබාය මත මකුළුවෙකු දැලක් වියමින් සිටිනා අයුරු ඈ දෙනෙතට අසුවිය. නඩු වාර්තා හා කොළ කැබලි අපිළිවෙලකට විසිරි තිබූ ලියන මේසය මත විරාජමානවූ එකම වස්තුව වූයේ පැරණි පන්නයේ විශාල යතුරු ලියණය  පමණි. පසෙකවූ දොර විවර කරගෙන අවුරුදු හැට පහක් පමණ වයසැති නීතිඥ මහතා කාමරයට ඇතුළු විය. අඩුවෙන් වර්ණ ගන්වා තිබූ හිසකේ වලින් දිස්වූයේ දුඹුරු පැහැයකි. ඩයිවලින් බේරුනු සුදු කෙස් ගස් හිසේ පලින් පල ඉතිරිව තිබුණායින් ඔහුගේ මුහුණට ගෙන දුන්නේ විසුළු පෙනුමකි. අසුනේ හරබරි ගැසී හිදගත් ඔහු තමාලි දෙස විමසිලිමත් බැල්මක් හෙලීය.
“හොඳයි කියමු බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා.” 
මිල්ටන් හා තමාලි විසින් පැවසූ විස්තරය හොඳින් අසා සිටි ඔහු ඇය දෙස කන්ණාඩිය යටින් බලා එය ගලවා අතට ගත්තේය. ගිජු ලිහිණි හොටක් වන් වක ගැසුනු නාසය මත යළිත් කන්ණාඩිය රැඳවූ ඔහු නලල රුලි වට්ටා මුහුණට බරෑරුම් පෙනුමක් ආරූඪ කරගත්තේය.  
“මෙතන වැරදි දෙකක් සිද්ධවෙලා තියෙනවා. එකක් තමයි රියදුරු මහතා අනතුරක් වලක්වා ගත්තේ නැතිකම. අනික තමයි ළමයෙක්ව හප්පලා මනුෂ්‍ය ඝාතනයක් කරන්න හැදීම. දැන් මේ හැප්පුනු ළමයාට කොහොමද?”
“ඒ ළමයා ඉන්නේ දැඩි සත්කාර ඒකකයේ.” 
“එහෙනම් මේ ළමයා හොඳවෙලා රෝහලෙන් ඩිස්චාර්ජ් කරනකම් රිමාන්ඞ් ඉන්න වෙයි. අපි බලමු කොහොම හරි ඇප දීලා එළියට ගන්න. මගේ ගාස්තුව එක නඩු වාරෙකට රුපියල් දාහක් ගන්නවා. එත් මේ ඔය ළමයාගේ යාළුවාගේ කීම අහක දාන්න බැරි නිසා මට රුපියල් අටසිය පනහක් දෙන්න. 
“හා හොඳයි මහත්තයෝ.” 
“එහෙනම් සඳුදා උදේට උසාවිය ළඟට එන්න. මම එතැනදී මුණගැහෙන්නම්.” 
නීතිඥ කාර්යාලයෙන් එළියට බට තමාලි හා මිල්ටන් පිටරවුම් පාර දිගේ ඉදිරියට ඇවිද ආහ.
“මල්ලි දෙයියෙක් වාගේ මේ වෙලාවේදි පිහිටට ආවේ. නැත්නම් මම මොනවා කරන්නද කියලා මටම තේරෙන්නේ නෑ.” 
“ඇයි ජයවීර අයියාගේ කට්ටිය?”
“ඔයා දන්නවානේ මල්ලියේ එයාලා මාත් එක්ක ජන්මාන්තරයි කියල. මගේ කුලේ උන්ට ගැලැපෙන්නේ නැතෙයි කියලා මාව ඒ ගෙවල්වලට වද්දගන්නවත් කැමති නෑ.” 
“එත් මේ වෙලාවේදි කරදරයේ වැටිලා ඉන්නේ ජයවීර අයියානේ.” 
“පිස්සුද මල්ලියේ උන් කියයි දැන් මේ මිනිහා බීමට වැටුනේ මගේ වරදින්ය, ඒ නිසා ඇක්සිඩන්ට් එකේ වරදත් මගේ කර පිටට දාලා උන් කර අරියි. එයලා මේ මනුස්සයාගේ සල්ලි තියෙනකං විතරයි නැදෑකම් තියාගන්නේ.”
“ඇයි අක්කගේ අය?”
“මටයි කියලා හරි හමන් නෑයෝ නෑ මල්ලියේ. අම්මයි තාත්තයි දෙන්නම පොඩි කාලේදි මැරිලා. අනික ඉන්න නෑයොත් ඉන්නේ හපුතලේ පැත්තේ.” 
“ඉතිං එයාලගෙන් උදව්වක්වත්?”
“මඟුලකට, මරණෙකට තියා උන් ඉන්වාද මළාද කියලා බලන්න නොගිය ජයවීර අයියා නිසා මටවත් එහේ ගිහිල්ලා දැන් උදව් ඉල්ලන්න පුළුවන්ද?”
“එකනම් ඇත්ත තමයි.” 
“මල්ලි මේ කරන උදව්වලට බෝහොම පිං. එත් මේ වැඩ වලට නිවාඩු දාගෙන එන්න එපා. ඔයාගේ රස්සාව නැතිවූනොත් එහෙම මට තමයි ඒකටත් වග කියන්න වෙන්නේ.”
“අක්කා බය නැතිව ඉන්නකෝ. මිනිහෙක් කරදරේ වැටුනාම තමයි උදව් පදව් අවශ්‍ය වෙන්නේ. අනික ජයවීර අයියා මගේ සහෝදරයෙක් වාගේ.” 
තමාලිව බස් නැවතුම තෙක් රැගෙන ආ ඔහු ඇයව බසයක් එනතෙක් රැඳී සිට බසයට නංවාලීය.

                                * * * * *

තමාලි සඳුදා උසාවියට ගියේ ඉන්දිරා හා කෝලිත සමඟිනි. ඒවන විටත් උසාවි බිමේ තැන තැන මිනිසුන් කිහිප දෙනෙක් රැස්වි තම නඩු කටයුතු ගැන සාකච්චා කරමින් සිටියහ. ඇය ගේට්ටුවෙන් ඇතුළුවී මිල්ටන්ව සෙව්වාය. එකා දෙන්නා ඇතුළු වෙමින් උසාවි භූමිය ජනාකීර්ණ වෙන්නට විය. කිසිදාක උසාවියකට ගොඩ නොවූ ඉන්දිරා මෙන්ම උසාවියක් ගැන අසා නොතිබු කෝලිතට මෙය අරුමයක්ම විය. ඉන්දිරා විසින් තදින් අල්ලාගෙන සිටි බැවින් කොහොටවත් දුව පැනයාමට ඉඩ ඇහිරුනු කෝලිත තම ඇස් එහා මෙහා කරමින් උසාවි භූමිය නිරික්ෂණය කළේය. තමාලි අසල පිහිටි විශාල ගසක සෙවනට ඔවුන්ව රැගෙන ගොස් කඩයකින් මිලදි ගත් සීනි බනිස් ගෙඩි දෙකක් කෑමට දුන්නා ය. කෝලිතට අවශ්‍යය වූයේ බනිස් ගෙඩිය රස බැලීමට නොව කිසිදා නොදැක්ක මේ අරුම පුදුම උසාවියේ ඇවිද බැලීමටය. උදෑසන ආහාරයට කිසිත් නොකෑ තමාලි ගේට්ටුව දෙසට තම නෙත් දියැව්වේ මිල්ටන් බලාපොරොත්තුවෙනි. ඉන්දිරා තම බනිස් ගෙඩියෙන් කොටසක් කඩා තමාලිට දුන්නාය. 
“එපා දුවේ. ඔයා කන්න. මට බඩගින්නක් නෑ.”
“නෑ අම්මා මේ කෑල්ලවත් කන්න. මටත් බඩගිනි නෑ.” 
ඇය බනිස් කෑල්ල දිගුකරන ගමන් පැවසීය. ඉන්දිරාගෙ හිස අත ගානගමන් අවුල්ව ගිය කෙස් රොදක් සැකසූ තමාලි බනිස් කෑල්ල අතට ගත්තා ය. 
“දුවේ මල්ලිව හොඳට බලාගන්න. මේ සෙනග ගොඬේ දුවන්න එහෙම දෙන්න එපා.”
කෑල්ලක් කඩාගත් ඈ හිමිහිට එය හපන්නට විය. තමාලිට ජයවීරව සිහියට නැඟුනායින් බනිස් කෑල්ල කෑමේ පිරියක් නොමැති විය. ඈ ඉතිරි බනිස් කෑල්ල යලිත් ඉන්දිරා අතට පත්කළා ය. උසාවි ගේට්ටුවෙන් ඇතළුවූ මිල්ටන් තමාලි සොයමින් ඇවිදිද්දී ගසක් යටටවී සිටිනා තමාලි සහ දරු දෙදෙනා දුටුවේය. සිනහමුසු මුහුණින් යුතුව තමන් ඉදිරියට එන මිල්ටන් මාමා දුටු ඉන්දිරා අම්මාට ඔහුව පෙන්නුවා ය. 
“ අක්කලා ඇවිල්ලා ගොඩක් වේලාද?”
“නෑ මල්ලියේ දැන් ටිකකට ඉස්සරින් තමයි ආවේ.” 
“තාම අපේ පෙරකදෝරු මහත්තයා උසාවියට එනවා දැක්කේ නැද්ද?”
“මමත් බැලුවේ ඒක තමයි. මෙතනින් ගියාද දන්නේ නෑ.” 
“තව වේලා තියෙනවා උසාවිය පටන් ගන්න. තාම මහත්තයා ඇවිල්ලා නැතිව ඇති.” 
“අර යන්නේ පෙරකදෝරු මහත්තයා නේද?”
තමාලි කළු කොට්බෑයෙන් සැරසී ෆයිල් කිහිපයක් රැගෙන උසාවි ගේට්ටුවෙන් ඇතුළුව ඉදිරියට ඇවිදගෙන එන නිතිඥ මහතාව දැක මිල්ටන්ට පෙන්වීය.
“යමු, යමු. ඒ මහත්තයා අපිව හොයයි.” 
ඔවුන් නිතිඥ මහතා ඉදිරිපිටට ගියහ. 
“ආ මම මේ කොහේද කියලා බැලුවා. තව ටිකකින්  උසාවියේ වැඩ පටන් ගන්නවා. දැන්ම ඔයාලා රථවාහන උසාවියට ගිහිල්ලා ඉඳගන්න. මම ඔයාලගේ නඩුව කතා කරන්නේ කීයටද කියලා බලන්නම්.” 
ඔහු කළු කබාය හරිගස්සමින් ෆයිල් කිහිපයත් කිහිලිගන්නාගෙන උසාවි කාර්යාලය දෙසට පිය නැගීය. 

මිල්ටන් තමාලි සමඟින් අධිකරණ ශාලාවේ ලෑලී බංකුවක වාඩිගත්තේය. දික්කසාද, නඩත්තු නඩු මෙන්ම ළමා අපචාර නඩු කිහිපයක්ද ඉදිරි දිනවලට කල්ගියේ නඩුව අසන්නේවත් නැතිවය. තෝල්කයා ඊළග නඩු අංකය ලෙස රත්නපුර පොලීසියෙන් ඉදිරිපත්කර තිබූ ජයවීරගේ නඩුව කැදවන ලදී. විත්ති කූඩුවට නඟින ජයවිර දුටු කෝලිත. “අන්න අම්මේ අර තාත්තා, අන්න අරහේ ඉන්නවා. තාත්තේ, තාත්තේ. .. .” කියමින් කෑගසන්නට විය. තමාලි ඔහුව නිශ්ශබ්ද කරන්නට උත්සාහ කළා ය. කෝලිතගේ කටහඬ ඇසී ඒ දෙසට සියල්ලන්ගේ අවධානය යොමුවීය.
“ඔය ළමයාගේ කෑගැහිල්ල නතර කරන්න. බැරිනම් එළියට අරන් යනවා.” 
තෝල්කයා සැරවීය. ඔහුගේ කෑගැසිල්ලට බියවූ කෝලිත අම්මාගේ තුරුල්ලට වැදී සැඟවෙන්නට උත්සාහ කළේය. කෝලිත සිටි දිශාවට නෙත් යොමු කල ජයවීර යලිත් නඩුකාරතුමා දෙසට හැරුණි.
“ඔය උඩ බොත්තම දාගන්නවා. උසාවියකට එනකොට හරියට එන්න දැනගන්නවා.” 
යළිත් තෝල්කයාගේ දෝෂාරෝපණය උසාවි ශාලාව පුරා ගිඟුම් දුණි. ඉන් කලබලයට පත්වූ නීතිඥ මහතා ජයවීරට කුමක්දෝ පැවසීය. ඉක්මණින් කමිසයේ උඩ බොත්තම දාගත් ජයවීර බිය රැඳි දෑසින් මහෙස්ත්‍රාත්වරයා දෙස බැලීය. තවමත් අනතුරට පත්වූ දැරිය බරපතල ලෙස අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හෙයින් පොලීසිය ජයවීරට ඇප දීමට විරුද්ධවිය. එබැවින් ඇප අයදුම්පත්‍රය අවලංගුකල මහෙස්ත්‍රාත්වරයා යළිත් ජයවීර රිමාන්ඞ් භාරයට පත්කර නඩුව ඊළග මාසයට කල්දුන්නේය. විත්ති කූඩුවෙන් බැස හිස පහතට නැඹුරු කරගෙන බන්ධනාගාර නිලධාරින් සමඟින් යළිත් උසාවි සිර මැදිරියට ගමන්කරන ජයවීරව දුටු  තමාලිට මෙන්ම ඉන්දිරාගේද නෙත් කඳුලින් තෙත් කරන්නට සමත්විය. තවදුරටත් එතැන රැඳීමට අකමැතිවූ තමාලි දරුවන් දෙදෙනා සමගින් උසාවියෙන් එළියට බැස්සේ  මිල්ටන්ට නීතිඥ මහතා සමග කතාබස් කරගන්නැයි පවසමින්ය.  උසාවියේදී තමාට සැරකළ මිනිසාගේ නපුරු මුහුණ කෝලිතට විටෙන් විට මැවි පෙනෙන්නට විය. ඔහුට තාත්තා ගෙදර නොපැමිනෙන්නේ ඇයිදැයි සිතාගත නොහැකි විය. ඇසීය යුතු ප්‍රශ්න රාශියක් කෝලිතගේ සිත තුළ නලියන්නට වූවත් අම්මා හා අක්කාගේ සොබර මුහුණු දුටු ඔහු නිහඬවිය. රාත්‍රි ආහාරය සදහා කඩෙන් පාන් රත්තලක් ගෙන්වාගත් තමාලි පරිප්පු හොද්දක් සදා නිම කළා ය. තමාලිට කෑම රුචියක් නොවුණි. ඉන්දිරාට කන්නට කීවත් ඇයද කෑම ගැන පිරියක් නොවුනාසේ සිටියා ය. වියෝවේදනාව ගත සිත දෙකම අකර්මණය කර තිබුනායින් ඔවුන් කෑම කෑවා නොකෑවායින් ඉක්මනින් නින්දට වැටුනි. සිහිනෙන් උසාවියත් එහි ගෝරනාඩු කල නපුරු තෝල්කයාත් දුටු කෝලිත බියටපත්වී අවදිව හඬන්නට විය. කෝලිතව යළි නිදිකර තමාලි නිදි වර්ජිතව අළුයම වනතෙක් කාලය ගෙව්වා ය. 

රැකියාවක් නොකල බැවින් තමාලිට නිවසේ අඟහිඟකම් දැනෙන්නටවූයේ අතමිට ගැවසුණු මිලමුදල් අවසන්වෙද්දීය. ඇය ජයවීර රැකියාව කල ඩිපෝවට ගොඩවූයේ ඔහුගේ අවසන් මස වැටුප් ලබාගැනිමේ හා ඔහුගේ නඩුවට රැකියාව කල ස්ථානයෙන් ලැබෙන පිටුවහල කුමක්දැයි සොයාබලන අටියෙනි. මුදල් අංශයේ කැෂියර්ගෙන් ජයවීරගේ අවසන් මස වැටුප ලබාගත් ඈ ඩිපෝ අධිකාරි හමුවීමට ගියා ය. විශාල උඩු රැවුලක් හිමි මැඳිවිය පසු කරමින් සිටි ඩිපෝ අධිකාරිතුමා දුටු තමාලිට ජයවීරලා ඔහුව අමතන බුරුසුවා යන විකට නාමය මතකයට නැගුණි. ඇය දුටු මනින්ම තම මනමාල සිනහව පෑ බුරුසුවා ඇයට අසුන්ගන්නා ලෙස කීවේය. 

බුරුසුවාගෙන් සහනයක් ලැබේවිද? ...... මතුසම්බන්දයි

2 comments:

  1. ඊලග කොටසත් ඉක්මනින් ලියන්න...

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

පළිගු කිරිල්ලී - හතරවන කොටස

රැකියාවක් නොකල බැවින් තමාලිට නිවසේ අඟහිඟකම් දැනෙන්නටවූයේ අතමිට ගැවසුණු මිලමුදල් අවසන්වෙද්දීය. ඇය ජයවීර රැකියාව කල ඩිපෝවට ගොඩවූයේ ඔහුග...