Saturday, August 1, 2020

පළිගු කිරිල්ලී - දෙවන කොටස

Posted: 21 Jul 2020 05:22 PM PDT


මෝටර් සයිකලයක් මිදුලේ නවතන හඬ ඇසුණායින් හිත තිගැස්සුණු ඉන්දිරා අම්මා දෙස බැලීය. නිදන කාමරයෙන් එළියට ආ තමාලි ඉස්තෝප්පුවට පැමිණියේ විජිතට මුහුණ දීමේ බලාපොරොත්තුවෙනි. සයිකලයෙන් ආ තැනැත්තා තමාලිට සිනාවකින් සංග‍්‍රහ කරමින් ඉදිරියට ආවේය. 
”කෝ ඉන්දිරා? මට දැන් ටිකකට කලින් හේමමාලි කිව්වා ඉන්දිරා ආවා කියලා.”
”ආ මේ නිහාල් අයියානේ මම පොඞ්ඩක් බය වූණා විජිතට ආරංචිවෙලා මෙහේ ආවවද්ද කියලා.” 
තමාලිට පිටුපසින්  ඉදිරියට පැමිණි ඉන්දිරා කීවා ය.
”ඔයා බය වෙන්න එපා. දැන් එයාට පණිවිඩ ගෙනියන්න කවුරුත් මේ අහළ පහළ නෑ. එදා ඔයාට යන්න දුන්නා කියලා මම හොඳටම හේමාට බැන්නා. කවුද දන්නේ හිතේ වේදනාවට ඔයා කෙලි පොඞ්ඩි එක්ක මොනවා හරි කරගත්තොත් එහෙම කියලා.” 
”අයියා බය වෙන්න එපා. මම එහෙම කරගන්න තරම් දැන් මෝඩ නෑ. මොනවා හරි කරගන්න නම් ඒවා කරගන්න තිබුණේ මීට ගොඩකාලයකට කලියෙන්.”
”දැන් නංගි මේ මොකක්ද කරන්න හදන්නේ?” 
”මම මෙහෙන් යන්න යනවා.”
”නංගි කොහේද යන්නේ?”
”මගේ ගෙදරට එක්ක ගෙන යනවා.”
තමාලි හේමමාලිට කීවාය.
 ”මගේ බඩු මුට්ටු ටික අරගෙන යන්නයි ආවේ. අයියාට පුළුවනිද මට පොඩි ලොරියක් හොයලා දෙන්න.”
”විජිත ඇවිල්ලා මේවා හොයයිද දන්නේ නෑ?”
හේමමාලි ඇසුවා ය.
”එයාගේ බඩු නෙමෙයි මේවා. මට මේවා අරගෙන දුන්නේ අම්මා තමයි. අපිට නිදාගන්න ඇඳක් වාඩිවෙන්න පුටුවක් අරගන්න ඔය මිනිහාට සල්ලි තිබුණේ නෑ. අන්තිමේදි අම්මා අරගෙන දුන්නු බඩුවලින් මට ගහලාම ඒවා කඩලා බිඳලා දැම්මා. හැබැයි මම එපා කිව්වත් අම්මා නම් මේවා කීයටවත් එයාට දීලා යන්නේ නෑ.” 
”දැන් කොහේටද මේවා ගෙනියන්නේ? ඔයාගේ අම්මා ඉන්න දිහාවටද?”
”එහේ මේවා තියන්න බැහැ. අනික ඉඩකුත් නෑ. අපිට පුළුවන් වෙයි නේද නිහාල් අයියේ මේවා ටික ස්ටේෂමට ගෙනිහිල්ලා ගමට යවන්න කෝච්චියට දාන්න.”
”මෙතන ලොකු බඩු ගොඩක් නෑනේ. මේ ටිකට අත්ට‍්‍රැක්ටර් එකක් හොදටෝම ඇති. මම හන්දියෙන් එකක් කතා කරගෙන එන්නම් එතකම් ඔයාලා බඩුටික ලැස්ති කරගන්නකෝ.” 
ඉන්දිරා අම්මා සමගින් කැඞීබිඳී අබලන් නොවු භාණ්ඩ පමනක් තෝරාබේරාගෙන රැුගෙන යාමට හැකිවනසේ අසුරාගත්තා ය. නිමල් අයියා රැුගෙන එන ලද අත්ට‍්‍රැක්ටරයේ අල්මාරියත් නිදන ඇඳත් සමඟ අනෙකුත් භාණ්ඩද පටවාලීය. බඩු පටවාගත් අත්ට‍්‍රැක්ටරේ ඉදිරිපසින් වාඩිගත් නිමල් අයියා 
”එහෙනම් නංගි අපි යන්නම්. ඔයා අම්මත් එක්ක තී‍්‍රවිල් එකක් කතා කරගෙන ස්ටේෂමට එන්න.” 
හේමමාලිට සමුදීමට ප‍්‍රථම ඉන්දිරා ඇගේ ඉතිරිව තිබූ පීරිසි කෝප්ප කට්ටලය තෑගි කළා ය.
”අක්කා මට කළ උදව් අමතක වෙන්නේ නෑ. මම අක්කාට නිවාඩු පාඩුවේ ලියුමක් එවන්නම්.”
”මේවා නංගි අරන් යන්නම ගිහිල්ලා කියලා දැනගත්තාම විජිත මොනවායින් මොනවා කරගනීද මන්දා? විජිත ආයෙමත් ඔයාව හොයාගෙන එයි. දන්නවානේ එයාගේ හැටි. ඒ නිසා නංගි පරිස්සමින් ඉන්න. නංගිට බුදු සරණයි.” 
ඈ දෙනෙතේ කඳුළු පුරවාගෙන ඉන්දිරාට සමුදුන්නා ය. ඉන්දිරාට හේමමාලි අක්කාගෙන් සමුගැනිම සිත පාරවන්නක්ම විය. විටෙක මවක් සේම විටෙක යෙහෙළියක සේ ඈට උදව් උපකාර කළ හේමමාලි අක්කාගෙන් වෙන්වී අම්මා හා මල්ෂා සමගින් හන්දියට පාගමනින් ආ ඉන්දිරා තී‍්‍රරෝද රථයක් ගෙන ස්ටේෂමට ගියා ය. ඈ ස්ටේෂමට ඇතුළු වෙද්දී නිමල් අයියා බඩු පාර්සල් දුම්රියට දැමීමේ මූලික කටයුතු අවසන් කර තිබුණි. මුදල් ගෙවා අවසන් කළ ඉන්දිරා නිමල් අයියාට ස්තුතිකර අම්මාත් සමඟින් ඉක්මනින් ආයෙත් නොඑන්නම ගනේමුල්ල ස්ටේෂමෙන් මෙන්ම නගරයෙන්ද පිටත්වුණි.

ඉන්දිරාට සිඳුවී ඇති කරදරය සුන්දරලිංගම් මහතාට පැවසු තමාලි  ඔවුන් සමඟ හපුතලේ යෑමට නිවාඩු ලබාගත්තේ අසීරුවෙනි. පසුදිනම ඈ ඉන්දිරා හා මල්ෂා සමඟින් හපුතලේ බලා පිටත්ව ගියා ය. හපුතලේ හල්දුම්මුල්ලේ සුදු නැන්දාගේ නිවසට ගිය තමාලි ඉන්දිරාව හා මල්ෂාව එහි නතර කිරිමට කටයුතු ලෑස්ති කළා ය. අවුරුදු ගණනාවකින් හල්දුම්මුල්ලේ සුදු නැන්දලාගේ නිවසට පැමිණි ඉන්දිරාට යළිත් තම පැරණි මතකයන් සිහිපත්වූණි. වසර කිහිපයකට පෙර තිබු නිවසම කිසිදු අලූත්වැඩියාවකට ලක් නොවී පැරණි වෙමින් තිබෙනු දැක ඈට පොඩි මාමා සිටියා නම් නිවස කොතරම් අලංකාර වනු ඇතිදැයි සිතුණි. සති අන්තයේ නිවසට පැමිණි පසු වත්ත පිටිය උදලූ ගාමින් වල් පැළ උදුරා මල් පැළ සිටවූ අයුරුත් තමාත් ආසාවෙන් ඔහුට උදව් කළ අයුරුත් ඇගේ මනසේ රඟ දෙන්නට විය. ගරා වැටෙමින් තිබෙනා මේ නිවසේ බිත්තිවලට සුදු හුණු ටිකක්වත් ආලේප කර පිළිිසකර කරන්නට ලොකු මල්ලි හා පොඩි මල්ලිටවත් උනන්දුවක් නැතිසේය.  සාලයේ වේවැල් පුටුවක අසුන්ගත් ඉන්දිරා බිත්තියක දෙපස එල්ලා තිබු පොඩි මාමාගේ හා තාත්තාගේ ඡයාරූප දැක්කා ය. තවදුරටත් ඒදෙස බලා සිටිමට නොහැකි වූයේ තම අඳුරු අතීතය සිහියට නැඟ එමින් දෑසට කඳුළු පුරවාලන්නට වු නිසාවෙනි. සුදු නැන්දා සමඟින් අම්මා කතාබහ කරද්දී ඉන්දිරා සුදු නැන්දාට මුහුණ දීමට නොහැකියාවෙන් නිවසේ මුලූගැන්වී සිටියා ය.
”මේකිට අපිව එපා කියලා ගියාට අන්තිමේදි ආයෙමත් එන්න උනෙත් මෙහෙටම තමයි. මේකිලාගේ හදිසිකමට උනුදේටත් කතා අහගත්තේ මම. මතකද තමාලි උඹ රට ඉඳලා ඇවිල්ලා කෙල්ලව ආරක්ෂා කරගන්න බැරිවූණා කියලා උඹ මගෙත් එක්ක අල්ලපු කස්තිරම. කමක් නෑ වෙච්චි දේ උනා. ඒත් තමාලි මට බෑ ආයෙත් වංගියක් උඹෙන් කතා අහගන්න. උඹ ඉන්දිරාව අරන් පලයන්. ඒත් මම උඹ ගැන හිතලා මේ කෙලිපොඞ්ඩිව විතරක් බාරගන්නම්.” 
”ඒක කරන්න බෑ සුදු නැන්දේ. මේ කෙල්ලට අම්මා  ඕනේ. අනික මල්ෂා ඉඳියිද අම්මා නැතිව?” 
තමාලි ඉන්දිරා දෙස බලා ඇසීය. ඉන්දිරා මේ කිසිවක් නෑසුණු ගානට බිම බලාගෙන සිටියාය. 
”ඇයි බං උඹත් දිනේෂ් මා ගාව දාල යද්දි ඒකාට අවුරුදු දෙකක්වත් නෑ නේද? දවසක් දෙකක් කෙලි පොඞ්ඩි අඬයි, ඊට පස්සේ පුරුදු වෙයි අගේට. ඒත් මට මේකි කරපු දේ තමයි තාමත් වාවන්නේ නැත්තේ. හැමෝමගෙන් ඇති පදම් බැනුම් ඇහැව්වා.” 
”හරි සුදු නැන්දේ දැන් වෙච්චි දේ උනා. මට ඉන්දිරාව වැඩ කරන තැන නවත්තගන්න බෑ. දැන් මේ දෙන්නා ගේ වියදම් එහෙම බලාගන්නත්  ඕනේ. මේ කරදර ටික එකලාසයක් වෙනකං ටික දවසකටවත් මෙහේ තියාගන්න.” 
ටික වේලාවක් ඉන්දිරා දෙස බලා සිටි සුදු නැන්දා ”උඹලා  ඕනේ දෙයක් කරගනිල්ලා.” කියා නැගිට කුස්සියට දෙසට පියනැඟී ය. 
සුරතල් දඟකාරකම්වලින් පිරුණු මල්ෂා ඉක්මනින් සුදු නැන්දා සමඟින් කුලූපග විය. මල්ෂාගේ ආදරය නිසාම ඉන්දිරා සමඟින්වූ විරසකය ඉවතලා ටිකෙන් ටික තම අදහස් හුවමාරු කරගැණිමට සුදුනැන්දා පෙලඹිණි.
”දැන් මේ කෙල්ලව ඉස්කෝලේට අරින්නත් වෙයි නේද?”
”මෙයා ඉස්කෝලේ යන්නේ ලබන අවුරුද්දේ සුදු නැන්දේ. තාම මොන්ටිසෝරි යනවා.” 
” දැන් අවුරුද්දෙන් භාගයක් විතර ඉවරයි නේද? පාඩම් වැඩ අතපසු වෙන්න කලියෙන් පන්සලේ පටන්ගත්තු මොන්ටිසෝරියටවත් දාන්න බලමු.”
”ඔය ටික දවසත් ඔන්න ඔහේ ගෙදර හිටපුවාදෙන්.” 
”උඹත් හරි අම්මා කෙනෙක් තමයි. එහෙම පුළුවනියෑ පන්සලේ මොන්ටිසෝරියට මේ ළමයාව දාමු.”
”ලබන ජුලි මාසෙට අවුරුදු පහත් ලබනවා. තව මාස හයකින් ඉස්කෝලෙකට යවන්න වෙන්නේ.”
”ඉස්කෝලෙකට දාගන්න එක තමයි අමාරු වෙන්නේ. ළමයාගේ තාත්තාව අහයි නේද ඇතුල්කරද්දී?” 
”ඒ මිනිහා මොන තාත්තෙක්ද? මයේ ළමයාට මම විතරක් උන්නාම මදැයි. ”
”උඹත් උඹේ අම්මා වාගේමයි. තමාලිත් උඹේ තාත්තටත් කිව්වේ ඔය ටිකම තමයි. හැබැයි එහෙම කියලා කරපුවාවලින් විඳවන්න වුණෙත් උඹලාටමයි නේද?”
ඇගේ වදන් ඉන්දිරාගේ හදවත පසාරු කරගෙන යනවා දැනිණ. සුදු නැන්දා තවත් මොනවාදෝ දොඩවනවා යාන්තමට ඇසුණේ ඇගේ සිත ඇසිල්ලකින් අතීතයට පියමන් කර තාත්තා පිළිබඳ මතකය අලූත් විය.
තවත් දිනයක් හල්දුම්මුල්ලේ නතරවී සිටි තමාලි ඉන්දිරා හා මල්ෂාව එහි නතරකර යළි කොළඹ බලා පිටත්ව යන්නට ලෑස්ති විය. එදින හපුතලේ ටවුමට ඉන්දිරාව රැුගෙන ගිය තමාලි නිවසට අවශ්‍ය කරන දෑ රැගෙන දුන්නා ය.  තමාලි බස් රථයට ගොඩවීමට ප‍්‍රථම ඉන්දිරාගේ අතට දාහේ කොළ හතරක් දී
”උඹ සුදු නැන්දා මොනවා කීවත් එකට එක කියන්න යන්න එපා. නෑහුණා වාගේ හිටපන්. මේ වේලාවේ අපිට ඉන්නේ එයා විතරක් බව හොඳට මතක තියාගනිං.” 
ඉන්දිරා කිසිත් නොකියා බිම බලාගත්තා ය. බස් රථය පිටත්ව යන තෙක් බලා නොසිට ඉක්මනින් නිවසට යන මෙන් තමාලි උපදෙස් දුන් තමාලි බසයට ගොඩවී පැති වීදුරු ජනේලය අසළ වාඩිවී ගත්තා ය. ඈ ඉන්දිරා සමගින් සිටි මල්ෂාට අතවැනුවා ය. හපුතලේ බස් නැවතුම්පොළින් පිටත්වූ බසය කොළඹ බලා ඇදෙද්දී සීතලට සුළං රැුළිවලින් බේරීමට ඇඳ සිටි ස්විටරයේ උඩු බොත්තම් පියවාගත් ඈ දෑත් ළමැදට කර බැඳගත්තා ය. ඉන්දිරා හා මල්ෂා ගැන සිතන්නටවූ තමාලිට පෙර දින රාති‍්‍රයේ සුදු නැන්දා හා ඉන්දිරා අතරවූ සංවාදය ඇගේ දෙසවන් පුරා දෝංකාර දෙන්නට විය.
”උඹත් උඹේ අම්මා වාගේමයි. තමාලිත් උඹේ තාත්තාට කිව්වේ ඔය ටිකම තමයි. හැබැයි එහෙම කියලා කරපුවා වලින් විඳවන්න වූණෙත් උඹලාටමයි නේද?”
අසුනේ පිටුසට හිස තබාගෙන දෙනෙත් පියාගත් තමාලිගේ සිතට නිබඳවම වද දෙන අතීතයේ සිදුවීම් යළි මතකයට ගලා එන්නට පටන්ගත්තේය.

                                                                                            *  *

සැන්දෑ කළුවරත් සමඟින් ගෙට ගොඩවූ ජයවීර දහඩියෙන් පෙඟුණු කාකි කමිසය ගලවා කෑම මේසයටම තිබූ එකම පුටුවේ ඇන්දක එල්ලා දැම්මේ පුපුවට කටින් සුළං පිඹදමමිනි. 
”ආ දුවේ මේක අම්මාට දෙන්න. ” 
ලොකු ෂොපින් කවරයක දා තිබූ එළවළු මල්ල ඉන්දිරා අතට දුන් ඔහු මැඳින් බොකු ගැසුනු වේවැල් පුටුවේ අසුන් ගත්තේ ඇණ බුරුල්වූ මූට්ටු වලින් නැඟුන කිරි කිරියක් සමඟිනි. ජයවීරගේ හඬ ඇසී සාලයට ආ තමාලිිට ඔහු ඇඳ සිටි බැනියමේ ඉදිරිපස ගෙතුම් ලිහී මතුවූ විශාල සිදුරක් හා කුඩා සිදුරු කිහිපය දුටුවාය. ජයවීර පුටුව ඉස්සරාහට නැමී කහ පැහැ ගැන්වූණු බැනියම ලිහා අතට ගත්තේය.

”මෙතන බලාගෙන ඉන්නේ නැතිව ඔන්න ඔය ටික කුස්සිය පැත්තෙන් තියන්න.”
තමාලි එළවළු මල්ල රැගෙන තමා දෙස බලා සිටින ඉන්දිරාට කීවා ය.
”මේක මෙතන දාල මුළු ගෙදරම ගඳ ගස්සනවා. හැමදාම මම කියලා තියෙනවා නේද එළියේ වැලට දාල එන්නය කියලා. ” 
ඈ ජයවීර විසින් ගලවා පුටු ඇන්දේ එල්ලා දැමූ කමිසය දැක කුණු මාළු කෑල්ලක් අල්ලාන්නාක් මෙන් ඇඟිලි තුඩුවලින් අල්ලා මුහුණ ළඟට එසෙව්වා ය. නාසයට ළංවෙද්දී ඉන් හමා ආ දහඬිය මිශ‍්‍ර අරක්කු ගඳට මුහුණ ඇඹුල් කර ගනිමින් කීවා ය.  
”එළියේ වැලට දාලා පින්නට පෙෙඟනවා. පෙඟුණු කමිසය හෙට උදේට වැඩට අඳින්න ගන්න පුළුවන්ද?” 
මේකේ තියෙන ඌෂ්ණේට කොහොම ඇඳගෙන ඉන්නවාද මන්දා.”
”එහෙනම් හෝදලා දාන්න.”
”දැන් හේදුවාම කොහොමද වේලෙන්නේ. අඩුම තරමේ දෙකක්වත් තිබුණා නම් එකක් හෝදලා වේලෙනකම් අනික අදින්න හරි තිබුණා. දැන් තියෙන්නෙත් එකයි නේද?”
”තියෙන එක මදෑ.”
”අරක්කු විසත් එක්ක දාඩියට තැම්බිලා මේකේ රෙද්ද දිරලා. හෙට අනිද්දාටම බරස් ගාලා ඉරිලා යයි. මම මේක හොදන්නෙත් පරිස්සමෙන්.”
”මේ සැරේ යුනිෆෝම් රෙදි දුන්නේ නැහැ.”
”කවුද දන්නේ අනික් උන් කරන්නා වාගේ එකත් විකුණලා බීලාද කියලා.” 
”අනේ මේ ගෑණියේ මගේ කට අවුස්සා ගන්නේ නැතිව ඉදින්. නොදන්න රෙද්දවල් කියවන්නේ නැතිව.” 
ජයවීර කෝපයෙන් යුතුව සරම කැහැපට ගසාගෙන ළිඳ වෙත පියමැන්නේය.
”පරණ එකත් ඉක්මණටම දිරුවේ බොන මලජරාවේ උෂ්ණෙට මිසක් රෙදිවල බාල කමකට නොවෙයි. මොකට මේ දහජරාව බොනවාද මන්දා. හම්බකරන හැමදේම උන්ට පුදලා එනවා.”
”මං බොන්නේ ඇෙඟ් අමාරුවටයි. උඹලා දන්නේ නැහැනේ මේ දහිරවාට්ටු කරකවන්න තියෙන අමාරුව.” 
සබන් කෑල්ල ගැනිමට යලි නිවසට ගොඩවූ ජයවීර කිවේය. 
”හොඳ දහිරවාට්ටු. හම්බකරන් කන වාහනේට නේද ඔය කුණු කතාව කීවේ?”
”අනේ මේ  ඕයි දැන්වත් තමුසේ කට වහගන්නවාද? ඩිපෝ එකේ මහ උන් මේවායේ ස්පෙයා පාට්ස් ගන්නේ නැතිකොට. ගත්තත් ගන්නේ තනිකරම බාල බඩු. අපේ හොඳ පණ යනවා කෑලී හැලි හැලි මඟ දිගට නතර වෙවී බස් දුවන්න ගිහිල්ලා.” 
තමාලි තම කතාව නතර කර කුස්සියට ගියේ තරමක බීමත් කමින් සිටින ජයවීර සමඟින් තවදුරටත් කතාවට ගියහොත් එය අහවර වෙන්නේ රණ්ඩුවකින් බව දැනගෙනය.
රත්නපුර ඩිපෝවේ බස් රියදුරෙකු ලෙස රැකියාවේ නිරත ජයවීරගේ බීමත්කම ටිකෙන් ටික වර්ධනය වූයේ තමාලිගේ බලවත් විරෝධය මධ්‍යයේය. තාත්තාගේ බීමත් කම නිසා දිනෙන් දින ඇතිවන සුළු සුළු ආරවුල් අඬදබරයක් දක්වා දුරදිග යන්නට විම ඉන්දිරාගේ අධ්‍යාපන කටයුතුවලට බලපාන්නක්ම විය. තාත්තා බීමත්ව නිවසට ගොඩවදිද්දී පොඩි මල්ලී පාඩම් පොත් ටික දමා දුව ගොස් ඇඳට වැටෙන්නට පටන්ගෙන ඇති බව ඉන්දිරාට වැටහුණි. 


                                                                                                         *  *

”තමාලි අක්කේ. . . . තමාලි අක්කේ. . . . ගෙදර කව්දෝ. . . . . ” 
”කවුද?  ආ . . . මේ මිල්ටන්නේ ඇයි   මොකද? අද වැඩට ගියේ නැද්ද?”
”නෑ, අද වැඩට ගියා. ඒත් මේ . . . . ”
”වැඩට ගියානම් මෙහේ මොකද කරන්නේ? ඇයි ජයවීර අයියා පණිවිඩයක් කියන්න එව්වාද?”
”නෑ අක්කේ පොඩි කරදරයක් සිද්ධවූනා.” 


මොකක්ද සිදුවූ පොඩි කරදරය ? ......... මතු සම්බන්ධයි ......... 

No comments:

Post a Comment

අදහස් මෙතන නිදහස් කරන්න

පළිගු කිරිල්ලී - පස්වන කොටස

ඊළග නඩු දිනය තෙක්වූ මාසයක පමණ කාල වකවානුව ගෙවීගියේ අඟහිඟකම් වලින් බැට දෙමින්ය. පොරොන්ඳූවූ පරිදි පෙරකදෝරු සිල්වා මහතා රිමාන්ඩ්කර සිටි ජය...